ජාතික ඵලදායීතා මහ ලේකම් කාර්යාලය මගින් 2018 වර්ෂයේ දී පවත්වනු ලැබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර තරගයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට දික්වැල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය සමත් වී ඇත. ඵලදායිතා ශිල්පක්‍රම භාවිතය තුළින් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබාදීම සඳහා රාජ්‍ය සේවකයින් පෙළ ගැසීමේ අරමුණ ඇතිව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සෑම වසරකම මෙම තරගාවලිය පවත්වනු ලැබේ.
මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ඡන්ද බල ප්‍රදේශයේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත. වී වගාව පොල් වගාව මෙන්ම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ පාරම්පරික රන් හා කුඹල් කර්මාන්තය ප්‍රදේශවාසීන්ගේ ආර්ථික ක්‍රමෝපාය මාර්ග වන අතර මෙහි සුදු වැල්ල හා නිල්වැල්ල යන ධීවර වරායන් දෙකකින් ද යුක්තය. වර්ග කිලෝමීටර් 52 කින් යුත් දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 48 කින් සමන්විත වේ.
1972 දී ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාසයක් ලෙස ඇරඹි මෙම කොට්ඨාසය 1979 දී ප්‍රාදේශීය උපදිසාපති කොට්ඨාසයක් ලෙස ද 1991 දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට ද පත්වී ඇත.
මේ දක්වා ආයතන ප්‍රධානීන් දාහතර දෙනකු යටතේ පැවැති මෙම කාර්යාලයේ වර්තමාන නායකත්වය හොබවනු ලබන්නේ බී.එස්.රංජිත මහතාය. එතුමා 2008 දී සහකාර ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස වැඩ භාර ගත් අතර 2011 දී ඔහු ප්‍රාදේශීය ලේකම් තනතුරට පත් විය.
2004 සුනාමි ව්‍යසනයේදී පැමිණි අඩි 14ක් උස රුදුරු ජල කඳ හේතුවෙන් කාර්යාලය මුළුමනින්ම විනාශයට පත් විය. ඒ කෙසේ වෙතත් දුක් කම්කටොලු බාධක මැදින් නව ජීවයක් ලබන්නට දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හැකි විය. ඒ අනුව 2011 දී ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ දී කුසලතා සම්මානයත්, 2013 දී විශිෂ්ට කුසලතා සම්මානයත් 2014 හා 2015 වසර වලදී ජාතික මට්ටමේ දෙවන ස්ථානයත් හිමිකර ගැනීමට දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමත් විය.
නව ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ වත්මන් ප්‍රාදේශීය ලේකම් බී. එස්.රංජිත මහතා -
![]() | |
මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා, දික්වැල්ල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති සහ බී.එස්.රංජිත යන මහත්වරුන් ලැබූ සම්මාන සමඟ |
අපි නව තාක්ෂණික ක්‍රමවේද වලට අනුව වැඩකටයුතු ක්‍රියාත්මක කළා. මෘදුකාංග දත්ත පද්ධති හතළිහක් කාර්යාලයට හඳුන්වා දුන්නා. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය විසින් හදුන්වාදුන් දත්ත පද්ධති ද ඇතුළත් කළා. තොරතුරු තාක්ෂණයේ විශිෂ්ටත්වය ඵලදායිතාව සඳහා යොදා ගත්තා. 2016-2020 උපායමාර්ගික කළමනාකරණ සැලැස්ම යටතේ මානව සම්පත් සංවර්ධනයේ විශිෂ්ට පරමාදර්ශ සනිටුහන් කරමින් 2017 වර්ෂය තුළ කාර්ය මණ්ඩලයේ සෑම නිලධාරියකුටම පැය 100 ඉක්මවා යන පුහුණුවක් ලබා දුන්නා. පුළුල් ධාරිතා සංවර්ධන වැඩසටහනක් සෑම නිලධාරියකුටම හඳුන්වා දී තිබෙනවා. කාර්ය මණ්ඩලය හා බාහිර දරුවන් ඉලක්ක කරගත් උපදේශාත්මක හා රසාස්වාදන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙනවා.
සාම්ප්‍රදායික පිළිගැනීමේ කවුළුව වෙනුවට මහජන සේවා ප්‍රවර්ධන ඒකකය ස්ථාපිත කර ස්ථිර නිලධාරින් දෙදෙනකු හා ජංගම ක්‍රියාකාරී නිලධාරීන් හත් දෙනකු සේවයේ යොදවමින් උසස් සේවාලාභී තෘප්තියක් ලබා දීමට කටයුතු සලස්වා තිබෙනවා. සේවාලාභී ගොවි ජනතාවට හා ධීවර කර්මාන්තකරුවන්ට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් පුවරු හඳුන්වා දී තිබෙනවා.
![]() | |
සංහිද කවය මගින් සෑදූ නව නිවස ප්‍රතිලාභීන්ට පරිත්‍යාග කළ අයුරු |
ප්‍රජාව ඉලක්ක කර ගත් ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ අතර ඩෙංගු වැළැක්වීමේ ව්‍යාපෘතිය, සංචාරක කර්මාන්තය ප්‍රමිතිගත කිරීම හා ප්‍රවර්ධනය නිපුණතා සංවර්ධනය සමාජ සත්කාරක පියස, ව්‍යවසායකත්ව සංවර්ධනය ආදිය ඇතුළත් වෙනවා. මේ අතර පාසල් දරුවන් සුභාවිත ගීතයට යොමු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය, රුක් රෝපණ වැඩසටහන්, මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් ආදිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. කාර්යාලයට පැමිණෙන ගර්භනී මාතාවන්ට නොමිලේ කිරි පැකට් ප්‍රදානයක් ද, දරුවකුට යෝගට් ප්‍රදානයක් ද සිදු කරනවා.
ඵලදායිතා සංකල්පය අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරසි, සමගි, සසන්, සුහද, සරණ, සහන, සකුණ, සමරු, සචල, සංහිද, සංහිත නමින් තත්ව කව 11 ක්‍රියාත්මක වෙනවා. මෙම තත්ව කව මගින් විවිධාකාර ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා. සංහිඳ තත්ව කවය මගින් රුපියල් ලක්ෂ 11ක් පමණ වැයකොට අහිංසක දරු පවුලකට නව නිවෙසක් සාදා පසුගියදා පරිත්‍යාග කළා.
කාර්යාලීය උද්‍යානය සකස් කිරීම නිසා වටපිටාව සුන්දර මනරම් පරිසරයක් බවට පත්ව තිබෙනවා. කාර්යාල පරිසරය පොලිතීන් හා ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත් කරමින් මනා ආදර්ශයක් සපයා තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමේ වොලිබෝල් හා ක්‍රිකට් ශූරතාව දිනා ගනිමින් නිලධාරීන්ගේ ක්‍රීඩාශීලීත්වය හා සාමූහිකත්වය පෙන්වා දී තිබෙනවා.
මානසික පීඩනයකින් හෝ ආතතියකින් තොරව තම සේවය ලබා දීමටත් සේවය ලබා ගැනීමටත් හැකිවන අයුරින් මුළු කාලය පුරාම සුභාවිත ගීත වාදනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එසේම අභ්‍යන්තර සන්නිවේදන කටයුතු සඳහා විශේෂිත වූ සංගීත අනුවාදන හඳුන්වා දී තිබෙනවා. අභ්‍යන්තර ඇමතුම් ක්‍රමය හා කෙටි පණිවිඩ භාවිතය තුළින් මූල්‍ය පිරිවැය හා කඩදාසි භාවිතය අවම කර තිබෙනවා .
E-library සංකල්පය හඳුන්වාදීම යටතේ සමස්ත කාර්ය මණ්ඩලයට සහෝදර රාජ ආයතනවලට හා සේවාලාභීන්ට අලුත් අත්දැකීමක් එක්කරමින් විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමේ දොරටු විවෘත කර තිබෙනවා. සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා වලට ගරු කරමින් ඔවුන්ට කාර්යක්ෂම හා ගුණාත්මක ඵලදායි සේවාවක් ලබා දී අප ලැබූ මේ ජයග්‍රහණය මෙතැනින් නොනැවතී ඵලදායිතා රන් සම්මානය දිනා ගැනීමේ අරමුණින් අපි සැවොම කටයුතු කරමින් සිටිනවා. එසේම මෙම ජයග්‍රහණය උදෙසා නන් අයුරින් සහයෝගය දුන් සැමට ගෞරවනීය ස්තූතිය පිරිනමන බව ඉතා නිහතමානී ආඩම්බරයකින් යුතුව පවසන බව දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් බී එස් රංජිත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සටහන සහ ඡායාරූප
වලස්ගල සමූහ - ලක්ෂ්මන් කුමාරසිංහ
දික්වැල්ල විශේෂ - ජී.සිරිසේන