Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන කරපු වැඩක් නෙවෙයි

$
0
0
ජුනි 4, 2019 01:00

රංග ජයකොඩි සහ චමල් රත්නායක

ජනයි ප්‍රියයි කියන්නෙ, ජීවිතේ ප්‍රශ්න කරදරවලින් හෙම්බත් වුණු මිනිස්සුන්ගේ මූණට හිනා රැල්ලක් ගෙනවිත්, පුදුමාකාර සතුටක් ලබන ගජ මිතුරන් දෙදෙනෙකි. මේ දිනවල ජනා (රංග ජයකොඩි) සහ ප්‍රියා (චමල් රත්නායක) පිළිබඳ කතාබහ අලුත් වන්නේ, ප්‍රේක්ෂක ජනතාවගේ මුවගට සිනහව ගෙනෙන අතර වාරයේ ම මනුෂ්‍යත්වයේ දෑත් දිගු කිරීමට ඔවුන් ගත් තවත් පියවරක් සමඟයි.

මුලින් ම අපි කතාබහ කළේ රංග ජයකොඩි (ජනා) සමඟිනි

* ජනයි ප්‍රියයි එකතු වෙලා අලුත් වැඩක් පටන් ගත්තා කියලා දැනගන්න ලැබුණා?

ඔව්. “Making Smile With Janai Priyai” කියලා අපි අලුත් වැඩක් පටන්ගත්තා. ඒ වැඩසටහන හරහා දැනටමත් අපි උදව් අවශ්‍ය අයට උදව් කරන්න පුළුවන් විදිහෙ වැඩ දෙකතුනක් කරගෙන ගියා. දුප්පත් ළමයින්ට අවශ්‍ය කරන පාසල් උපකරණ අරන් දුන්නා. අඩු පහසුකම් සහිත පාසලකට අවශ්‍ය උපකරණ ලබාදුන්නා. තව දුරටත් අපි ව්‍යාපෘතියක් සැලසුම් කරගෙන යනවා, අපේ උදව් අවශ්‍ය අයට උදව් කරන්න. මේ වැඩේ අපි කරගෙන යන්නේ විනිවිදභාවයක් ඇතිවයි. උදාහරණයක් විදිහට කියනවා නම් ගෙයක් නැති මනුස්සයෙක් ඉන්නවා නම්, අපි මුලින් ම ඒ කෙනා ගැන සමාජ මාධ්‍යයෙන් කියනවා. පස්සේ අපේ යාළුවොත් ඇඳුරුම්කම් තියෙන අයත් ඒ කෙනාට උදව් කරන්න අපිට මුදල් දෙනවා. ඒ ලැබෙන මුදල්වලින් ගේ හදලා ඉවර වුණාට පස්සෙ අපි ඒකත් සමාජ මාධ්‍ය හරහා පෙන්වනවා, ගේ හදලා ඉවරයි කියලා.

*සමාජ සත්කාර්යයකට අත ගැහුවා කියන්නෙ ජනයි ප්‍රියයි විනෝදාස්වාදය සැපයීම වෙනුවෙන් වෙන් කරන කාලය අඩු වේවිද?

එහෙම වෙන්නෙ නෑ. අපේ වීඩියෝ සමාජ මාධ්‍යයට එකතු කරන වැඩේ දිගට ම ඒ විදිහට ම කරගෙන යනවා. නමුත් අපි දන්නවා, බොරුකාරයෝ නොවන ඇත්තට ම ජීවිතේ ප්‍රශ්න කරදරවලින් මිරිකිලා ඉන්න මිනිස්සු අපි අතර ඉන්න බව. ඒ නිසයි අපි හිතුවේ අපිට ඒ වගේ මිනිස්සු මුණගැහුණම අපේ යාළුවෝ, අපි දන්න අඳුරන අය එකතු කරගෙන ඔවුන්ට උදව් කරන්න ඕනෙයි කියලා. අරමුදලක් හදලා මේ වැඩේ දිගටම කරගෙන යන්න තමයි අපේ අදහස.

*ජනයි ප්‍රියයි යූ ටියුබ් එකට වීඩියෝ මුදාහරින්න පටන් අරන් දැන් කොයිතරම් කාලයක් වෙනවා ද?

අපි මේ වැඩේ පටන් අරන් මේ ගතවෙන්නෙ තුන්වෙනි අවුරුද්ද. මේක අපි ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන කරපු වැඩක් නෙවෙයි. අපි දෙන්නා ළඟ තිබුණා විහිළු කතා ටිකක්. අපිට ඕන වුණේ ඒ දේවල් හැමෝමත් එක්ක බෙදාගන්නයි. අපි මේ වීඩියෝ ෆෝන් එකෙන් රූගත කරලා තමයි අපේ වෙළඳ ප්‍රචාරණ ආයතනයෙන් එළියට දුන්නෙ. මුලින් අපිට ජනයි ප්‍රියයි කියලා පේජ් එකක් තිබුණෙත් නෑ. අපේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම්වල තමයි මේ වීඩියෝ අප්ලෝඩ් කළේ. හොඳට ම ජනප්‍රිය වුණු මුල් ම වීඩියෝ එක තමයි “කිරි කිරි” කියන වීඩියෝ එක. ඒ වීඩියෝ එකට ලැබුණ ජනප්‍රියත්වයත් එක්ක තමයි අපි පේජ් එකක් හදලා වැඩේට බැස්සෙ. එතනින් පස්සෙ යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා.

* කොහොමද ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම?

ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් බොහොම සතුටුදායක විදිහට ලැබෙනවා. අපේ ප්‍රේක්ෂකයො අතර ගොඩක් ලාබාල අයත් ඉන්නවා. ඒ අය අපිට කතා කරනවා. සුබ පතනවා. සමහර අම්මලා ඒ අයගේ දරුවන්ට අපිත් එක්ක ෆෝන් එකෙන් කතා කරන්න අවස්ථාව අරන් දෙනවා. මගතොටේදී මුණගැහුණත් අපි දෙන්නම අපේ ලාබාල ප්‍රේක්ෂකයන් එක්ක ගොඩක් කතාබහ කරනවා. වයස් භේදයක් නැතුවම අපිට ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් ඉන්නවා කියන එක හිතට සතුටක්.

* ජනාගේ පෞද්ගලික තොරතුරු ටිකක් කිව්වොත්?

මම විවාහකයි. පුතාලා දෙන්නෙක් ඉන්නවා. පන්නිපිටියේ මම පොත් ගුල කියලා පොත් ව්‍යාපාරයක් කරගෙන යනවා වගේ ම Gliter Solution කියන අපේ වෙළඳ ප්‍රචාරණ ආයතනයේ වැඩ කටයුතුත් කරගෙන යනවා. ඒ අතර ඉතින් මිනිස්සුන්ට හිනාව අරගෙන එන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරන්නෙ. මිනිස්සුන්ට හිනාවෙලා ඉන්න, සන්තෝසෙන් ඉන්න පුළුවන් වාතාවරණයක් හදන්නයි ජනයිප්‍රියයි උත්සාහ කරන්නෙ. මිනිස්සු ඉන්නෙ ගොඩක් ප්‍රශ්න ඔළුවෙ තියාගෙන. ඒ ආතතිය මඟහරවා ගන්න පුංචි හරි උදව්වක් දෙන්නයි අපිට ඕනෙ. ඒ නිසා ම ප්‍රේක්ෂකයෝ අපිත් එක්ක ඉන්න තාක් කාලයක් අපි ඒ දේ කරනවා.

ඉන්පසුව අපි යොමු වුණේ චමල් රත්නායක (ප්‍රියා) වෙතයි

*ජනයි ප්‍රියයි එකතු වුණු හැටි ගැන කිව්වොත්?

කාලයක් මම ටෙලිනාට්‍ය සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කළා. ඒ කාලෙදි තමයි මධුෂාන් හත්ලහවත්ත කියන රංගන ශිල්පියා මගේ හොඳම හිතවතෙක් වුණේ. ඔහුගේ මාර්ගයෙන් තමයි මම රංග (ජනා) හඳුනගත්තේ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත් වුණාට පස්සෙ මම වැඩ කළේ වෙළඳ ප්‍රචාරණ ආයතනයක. රංගත් එතන ම වැඩ කළා. එතනදි ඇති වුණු ඇඳුරුම්කමත් එක්ක අපි අතර ලොකු මිත්‍රත්වයක් ඇති වුණා.

*කොහොමද මේ නම් දෙක වැටුණෙ?

මට රංග මුණගැහෙන්න කලින් මම ලියලා තිබුණා, “ජනප්‍රියයි ජනකාන්තයි” කියලා රූපවාහිනී වැඩසටහනක්. ඒක මම රැකියාවක් නැතුව ඉන්න කාලෙක රූපවාහිනී නාලිකාවකට ලියපු වැඩසටහනක්. පස්සෙ වෙළඳ ප්‍රචාරණ ආයතනයේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ අපි තැන් තැන්වල යාළුවෝ එක්ක එකතු වුණාම විහිළු කරනවා. විහිළු කතා කියනවා. යාළුවන්ගෙන් යෝජනාවක් ආවා වීඩියෝ එකක් කළා නම් හොඳයි කියලා. ඒ අය කිව්වේ අපි විතරනේ මේවා අහන්නෙ දකින්නෙ, හැමෝටම බලන්න වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලයි. පස්සෙ “ජනප්‍රියයි ජනකාන්තයි” අපි වැඩ කරපු ආයතනයේ අනුග්‍රහයෙන් රූගත කළා. නිෂ්පාදනයට සම්පූර්ණ වියදම් දැරුවේ අපි වැඩ කරපු වෙළඳ ප්‍රචාරණ ආයතනය. ඒ ආයතනය අපිත් එක්ක ගිවිසුමක් ගැහුවා අවුරුදු පහක් යනතුරු “ජනප්‍රියයි ජනකාන්තයි” කියන නම සහ සංකල්පය ඔවුන්ට අයිතියි කියලා. තාම ඒ ගිවිසුම අවසන් නෑ. නමුත් ඔවුන් ඒ වැඩසටහන කිසිම රූපවාහිනී නාලිකාවකට දුන්නෙ නෑ.

ඒ ආයතනයෙන් ඉවත් වෙලා තමයි අපි දෙන්නා Gliter Solution නමින් වෙළඳ ප්‍රචාරණ ආයතනයක් පටන් ගත්තෙ. එතනදි මගේ ලැප් එකේ තිබුණ “ජනප්‍රියයි ජනකාන්තයි” වීඩියෝ දර්ශන දැකලා යාළුවෝ කිව්වා යූ ටියුබ් දාමු කියලා. නමුත් අපිට අයිතියක් තිබුණෙ නෑ ඒ නමවත් පාවිච්චි කරන්න. ඒ නිසා “ජනප්‍රියයි ජනකාන්තයි” වෙනුවට “ජනයි ප්‍රියයි” කියලා අපි වීඩීයෝ කිහිපයක් කළා. ඒක සමාජ මාධ්‍ය හරහා විකාශය වෙන වැඩක් විදිහට දිගට ම කරගෙන ගියා.

* ඇයි මිනිස්සුන්ට හිනාව ගේන්න හිතුවෙ?

ඒක ඇත්තටම අපි දෙන්නට ම සහජයෙන් ආව හැකියාවක්. අපි නිතර ම කැමතියි මොකක් හරි කතාවක් කියලා වටේ ඉන්න අයව හිනස්වන්න. අපිට ඕනෙ අපි වටේ ඉන්න අයව සතුටින් තියන්නයි. සමහරු තමන් අපහසුතාවට පත්වෙයි කියලා යාළුවන්ගෙන් හංගන විදිහේ යම් යම් දේවල් පවා අපි නම් අපේ ලැජ්ජාව ගැන හිතන්නෙ නැතුව අනිත් අයගේ හිනාව වෙනුවෙන් කියලා දානවා. අපි හිතුවා, මොන දේ වුණත් හරියට කරන්න පුළුවන් වෙන්නෙ මිනිස්සු සන්තෝසයෙන් ඉන්නවා නම් විතරයි කියලා. ඉතින් දිගටම අනිත් මිනිස්සුන්ව සන්තෝසයෙන් තියන එක අපිට සතුටක් වුණා. හොඳ විහිළු කතාවක් මට ඇහුණම, මම ඒක ඇවිත් අනිත් අයටත් කියන්නෙ, මම විඳින සතුට ම ඒ අයත් විඳිනවට කැමති නිසයි.

* රංගගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?

රංග කියන්නෙ මට ඉන්න හොඳ ම යාළුවා. මගේ ජීවිතේ හැමදේම දන්න යාළුවා. “ජනයි ප්‍රියයි” ගොඩක් ම ජනප්‍රිය වෙන්න හේතුව තමයි රංගගේ රංගනය. මට වඩා හොඳට ඔහුට රඟපාන්න පුළුවන්. ජනයි ප්‍රියයි පටන් ගන්න රංගයි චමලුයි එකතු වුණේ නෑ. රංගයි චමලුයි එකතු වෙලා තමයි ජනයි ප්‍රියයි පටන්ගත්තේ. ජනයි ප්‍රියයි කියන සංකල්පය ඇතුළෙ විතරක් නෙවෙයි, මගේ ජීවිතෙන් හරියට ම බාගයක් තමයි රංග කියලා කියන්නෙ.

* ”ජනයි ප්‍රියයි”ගෙන් එහාට ගියාම ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් යමක් කියමුද?

මම මාතර අකුරැස්සෙ. අම්මයි තාත්තයි හැම වෙලේ ම මාත් එක්ක ම ඉන්නවා. ඒ වගේ මට අයියා කෙනෙක් ඉන්නවා. මම අපේ ම වෙළඳ ප්‍රචාරණ ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කරගෙන යන ගමන් තමයි මේ හැමදේ ම කරන්නෙ.

කාංචනා සිරිවර්ධන


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>