Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

ඡායාරූපකරණයට අධ්‍යයනය වැදගත්

$
0
0
ජුනි 4, 2019 01:00

ප්‍රදර්ශන සංඛ සම්මාන

වසර හැට නවයක අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මෙපමණ කලක් නොමිලේ සිය දැනුම බෙදා දෙමින් ඡායාරූප ශිල්පයට දක්ෂයන් බිහි කළ ආයතනයකි. ඔවුන් සෑම වසරකම වාර්ෂිකව පවත්වනු ලබන ඡායාරූප ප්‍රදර්ශනය මේ වසරේ ද පැවැත්වෙයි. මේ පෙළ ගැසෙන්නේ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ නව ප්‍රදර්ශනය පිළිබඳ එහි අධ්‍යක්ෂ ප්‍රදර්ශන සංඛ සම්මාන සමඟ'රසමංජරිය'ට කළ සාකච්ඡාවකි.

* ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මඟින් ඡායාරූප ප්‍රදර්ශනය පවත්වන්නේ කවදාද?

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මඟින් මේ ඡායාරූප ප්‍රදර්ශනය පවත්වන්නේ 43 වැනි වරටයි. ඒ වගේ ම අප අන්තර්ජාතික මට්ටමින් පවා ඡායාරූප ප්‍රදර් ශනත් පවත්වනවා. එහෙත් මේ ප්‍රදර්ශනය දේශීය වශයෙනුයි පැවැත්වෙන්නේ. එය මේ මාසයේ 07, 08, 09 දිනවල ජී. එල්. ඩී. කලාගාරයේ පැවැත් වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය වී අවසන්. මේ ඡායාරූප ප්‍රදර්ශනයත් සමඟම තවත් විශේෂ කටයුත්තක් පිළිබඳ සඳහන් කළ යුතුයි. ඒ මීටත් වඩා විශේෂ ආකාරයෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිත හැත්තෑ වැනි සංවත්සරික ඡායාරූප ප්‍රදර්ශනයයි. ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය ආරම්භ කර ලබන වසරට වසර හැත්තෑවක්. එය නිමිති කර ගනිමින් අන්තර්ජාතික මට්ටමින් මේ ප්‍රදර්ශනය පවත්වන්නට නියමිතයි.

* මේ ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වීමේදී තරගකරුවන් තෝරා ගැනීම සිදු කරන ලද්දේ කුමන ආකාරයෙන් ද?

අපේ රටේ ඕනෑම කෙනකුට මේ ඡායාරූප තරගයට ඉදිරිපත් වීමට හැකි ආකාරයෙනුයි ඡායාරූප ප්‍රදර්ශනය පැවැත් වු‍ණේ. ආධුනිකව ඡායාරූප ප්‍රදර්ශනයට ඡායාරූප ඉදිරිපත් වන්නන්ට අසාධාරණයක් නොවෙන්නට අප ආධුනික අංශ දෙකක් ඉදිරිපත් කළා. ඒ කළු සුදු සහ ආධුනික වර් ණ කියලා. මේ සඳහා පාසල් ළමයින්ට, උපාධියක්, ඩිප්ලෝමාවක් ලබා ගත්ත නැති අයට, අන්තර්ජාලයෙන් ඉගෙන ගත්ත අයට ඇතුළු ඕනෑම අයකුට මේ තරග අංශය සඳහා සහභාගි විය හැකියි. ඒ වගේ ම විවෘත අංශය සඳහා වයස් භේදයක් නැතිව, පාසල් ළමයකුට පවා ඉදිරිපත් විය හැකියි. එලෙසයි මෙවර ඡායාරූප ප්‍රදර්ශනය පැවැත් වු‍ණේ. වනජීවී, සොබාදහම, භූමි දර්ශන, සංචරණ ඡායාරූප නමිනුත් අංශ කිහිපයක් පැවැත්වුණා.

* මෙවර ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ඡායාරූප කොපමණ ප්‍රමාණයක් ඉදිරිපත් වූයේ ද?

මේ තරගයට ඡායාරූප දෙදහසක පමණ ප්‍රමාණයක් නියෝජනය කළා. ඡායාරූප ශිල්පීන් 150කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා ඉදිරිපත් වී සිටියා. සමස්තයක් වශයෙන් ගත්තොත් ආධුනික හා විවෘත කියන අංශ දෙකටම පැමිණ තිබුණු ඡායාරූප සංඛ්‍යාව එක සමාන බවක් ගත්තා. ඒ මඟින් අපට පෙනෙන්නේ තරගකරුවන් ආධුනික අංශය සඳහා ඉදිරිපත් වීමට මෙවර වැඩි වුවමනාවකින් කටයුතු කළ බවයි.

* එලෙස තරගකරුවන් ආධුනික අංශය සඳහා වැඩි වුවමනාවකින් ඉදිරිපත් වීමට හේතු වූ කාරණා ලෙස ඔබ දකින්නේ කුමක් ද?

මේ වන විට පාසල්වලත් ඡායාරූප සංගම් තිබෙනවා. ඒ පිළිබඳ ඉගෙන ගැනීමට අද අන්තර්ජාලය මඟිනුත් ඕනෑතරම් පහසුකම් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේ ම මේ පිළිබඳ නිර් මාණය වුණු තරග පිළිබඳ, ඉන් ලැබුණු සම්මාන පිළිබඳත් සමාජජාල මඟින් කරන ප්‍රචාරය නිසා ළමයින්ගේ අවධානය මේ තරග කෙරෙහි යොමු වෙලා. ඒ වගේම මීට පෙර තිබුණු ඡායාරූප සේයාපටල ක්‍රමය අද ඩිජිටල්කරණය වීමත් සමඟ වෙනදා මෙන් ලැබ් එකකට ගිහින් ඡායාරූප මුද්‍රණය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද ඒ සියල්ල කිරීමට පහසුයි. මේ ප්‍රවණතා ඡායාරූප ප්‍රදර්ශනවලට තරගකරුවන් වැඩි වීමට යම් හේතුවක්. ඒ කුමක් වුවත් ඡායාරූපකරණය සම්බන්ධයෙන් ක්‍රමවත් අධ්‍යාපනයක් ලැබිය යුතු බවයි මගේ හැඟීම වන්නේ.

* ඡායාරූපකරණය පිළිබඳ ක්‍රමවත් අධ්‍යාපනයක් ලැබිය යුතු යැයි ඔබ පවසන්නේ ඇයි?

නව තාක්ෂණයෙන් බොහෝ දේ කළ හැකි වුවත් ඡායාරූකරණයේ හැම දෙයක්ම ඒ ආශ්‍රයෙන් කිරීමට නොහැකියි. ඩිජිටල්කරණය මඟින් ඡායාරූප ගත්තා වගේ නොවෙයි, ඒ ආකාරයෙන් ඡායාරූප ගත නොහැකි අවස්ථාත් උදා වෙනවා. එවැනි විටකයි ඡායාරූපකරණය පිළිබඳ විධිමත් විදියට ලද අධ්‍යාපනය ප්‍රයෝජනවත් වන්නේ. ඒ නිසයි ඒ දැනුම ලබා ගැනීම ප්‍රයෝජනවත් වන්නේ.

* සමාජයේදී තරග විභාග සම්බන්ධ විනිශ්චය පිළිබඳ විවිධ මත පළ වෙනවා. මේ ඡායාරූප තරගයේ විනිශ්චය සඳහා ඔබ සහභාගි කරගත් විනිශ්චය මණ්ඩලය සුදුසුකම්වලින් සපිරි පිරිසක් ද?

මමත් අන්තර්ජාතික මට්ටමින් තරගවලට සහභාගි වී තිබෙන නිසා එවැනි ඡායාරූප ප්‍රදර්ශන තරග තබන්නේ කෙලෙස ද යන්න ගැන වැටහීමක් තිබෙනවා. මේ නිසා මෙවර වඩාත් පළපුරුදක් ඇති, අන්තර්ජාතික මට්ටමේ තරගවලට සහභාගි වී සිටින, අන්තර්ජාතික සම්බන්ධතා තිබෙන පිරිසකුයි විනිශ්චය මණ්ඩලය සඳහා සහභාගි කර ගත්තේ. මාස්ටර් ඔෆ් පොටෝග්‍රැපි පිළිබඳ ලංකාවේ සිටින එකම පුද්ගලයා හා අන්තර්ජාතික ඡායාරූප කලා සමිති සම්මේලනයේ මාස්ටර් සම්මානය ලද අපේ රටේ සිටින එකම පුද්ගලයා වන හෙන්රි රාජකරුණා, එක්සලන්ස් එෆ්. අයි. ඒ. පී. කියන සම්මානය, බ්‍රිතාන්‍ය රාජකිය ඡායාරූප සංගමයේ සාමාජිකයෙක්, ගුරුවරයෙක්, ඡායාරූප උපදේශකයෙක්, විනිශ්චය මණඩලය පිළිබඳ හොඳ අත්දැකීම් තිබෙන කෙනෙක් වන බන්දු ගුණරත්න, ඊ. එෆ්. අයි. ඒ. පී., එක්සලන්ස් එෆ්. අයි. ඒ. පී. කියන සම්මාන ඇතුළු සම්මාන රැසක් ලබාගත්, තවමත් ඡායාරූපකරණයේ නියැළී සිටින චන්ද්‍රසේන පෙරේරා, ජේෂ්ඨ කථිකාචාර්ය, ඡායාරූප ශිල්පය සිනමාකරණය පිළිබඳ හසල දැනුමක් ඇති, ජාතික ඡායාරූප කලා සංගමයේ උපදේශකයකු ලෙස කටයුතු කරන, විවිධ විනිශ්චය මණ්ඩලවල කටයුතු කර ඇති පළපුරුදු කෙනකු වන සිතුමිණි රත්නමලල, වනජීවී ජීව විද්‍යාඥයෙක්, වනජීවී ඡායාරූපකරණ ශිල්පය සම්බන්ධ ප්‍රවීණ ශිල්පියෙක් වන විමුක්ති වීරතුංග, නව පරපුරේ සිටින, බ්‍රිතාන්‍ය රාජකීය ඡායාරූප සංගමයේ සම්මාන ලද, ඊ. එෆ්. අයි. ඒ. පී. සම්මාන ලද ලක්ෂිත කරුණාරත්න යන ප්‍රවීණයන් පිරිසකුයි මේ විනිශ්චය කටයුතු සඳහා සහභාගි වුණේ.

* ඡායාරූප ප්‍රදර්ශනයේ ආරම්භය සනිටුහන් වන්නේ කෙලෙසක ද?

මේ ඡායාරූප ප්‍රදර්ශනය ජේ. ඩී. එල්. පෙරේරා කලාගාරයේදී ප්‍රවීණ සිනමා කැමරා ශිල්පී එම්. ඩී. මහින්දපාල මහතාගේ ප්‍රධානත්වයෙන් උදේ 10.00ටයි ආරම්භ වන්නේ. අනෙක් දවස්වලට උදේ 8.30ට පමණ ආරම්භ වන ඡායාරූප ප්‍රදර්ශනය සවස 6.00 දක්වා පැවැත්වෙනවා. ඉරිදා දිනයේ සවස 1.00ට පමණ විනිශ්චය මණ්ඩලය හා තරගකරුවන්, ඒ විෂයයට කැමැත්තක් දක්වන අය සහභාගි කරගෙන මේ ඡායාරූප පිළිබඳ කතා කරන්නයි අදහස් කරගෙන සිටින්නේ. එදිනට සහභාගි වන විනිශ්චයකරුවන් කවුද යන්නත් ඒ සඳහා තිබෙන නිවැරැදි දිනය මා ෆේස් බුක් පිටුව මඟින් දැනුවත් කිරීමටයි සිතාගෙන සිටින්නේ.

* ඡායාරූප ප්‍රදර්ශනයක් වසර 43ක් තරම් දීර්ඝ කාලයක් පවත්වාගෙන පැමිණීම කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙන්න ඇති නේද?

ඒ වසර 43ක් කියන්නේ දේශීය ඡායාරූප ප්‍රදර්ශන පමණයි. ඊට අමතරව පැවැත් වූ අන්තර්ජාතික ඡායාරූප තරගත් ගත්තට පස්සේ අප සියලු ඡායාරූප ප්‍රදර්ශන හැටක පමණ ප්‍රමාණයක් පවත්වා තිබෙනවා. ඒක ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. ඒ සඳහා අතීතයේ සිටි අයගේ වගේම වර්තමානයේ, අනාගතයේ සිටින අයගේ සහයෝගයත්, කැපවීමත් ලැබිය යුතුයි. ආරම්භයේ පටන් මේ කටයුතු සඳහා කාලය, ශ්‍රමය වැය කළ ප්‍රවීණ පිරිසකගේ කැප කිරීම නිසයි අද අප මෙතැන සිටින්නේ. අද අප මෙතැන මේ දේ කරන නිසයි අනෙක් දරුවොත් ඒ දේවල් කරන්න පෙලඹෙන්නේ. විල්සන් හෑගොඩ සූරීන්ගේ අදහස අනුව අප මේ ආයතනයේ අධ්‍යාපනය ලබා දෙන්නේ නොමිලේයි. ඒ සංකල්පය නිසයි අප සියලු දෙනා එකම පවුලක් ලෙස බැඳී සිටින්නේ. වර්තමානයේ පවතින වාණිජ ලෝකයේ ඒ කාර් ය බොහෝ අපහසු දෙයක් බව සත්‍යයක්. මෙහි උගන්වන ගුරුවරුත් නොමිලේ උගන්වනවා. සිය කාලය, ශ්‍රමය කැප කරන ළමයින් රැසකුත් මෙහි සිටිනවා. ස්වේච්ඡාවෙන් කරන මේ කටයුත්ත නිසයි අද දක්වා ජාතික ඡායාරූප කලා සංගමය පැවැත්වෙන්නේ.

සාකච්ඡාව හා සේයා රූ
තිලානි ශානිකා විතානාච්චි


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>