ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජනක රත්නායක
චිත්‍ර කතාව යනු එකල පාඨකයා සිහින ලොවකට කැඳවා ගිය අපූරුතම මාධ්‍යයයක් විය.එහි නිර්මාණකරුවන් ද එකල සුපිරි තරු බවට පත්වීය. ඒ අතර ජනක රත්නායක යනු එවැනි චිත්‍ර ශිල්පියෙකි. එක් රාමුවකට කොටුව තිබූ චිත්‍රකතාව යොවුන් පරපුර හරහා වෙනත් ඉසව්වකට යොමුකරවූ පුරෝගාමියා ඔහු වීය. ඔහු අතින් නිර්මාණය වුණු සුසීමා, අත්තික්කා මල්, කබලෙන් ළිපට, සුදු කලු අශ්වයෝ, කුමාරයාණෙනි වැනි චිත්‍ර කතා එකළ ඉතා ජනප්‍රිය විය. සැබැවින්ම ඔහු තවත් චිත්‍ර ශිල්පියකු නොව,චිත්‍රකතා ක්ෂේත්‍රය තුළ පුරාවතක් ලෙස හැදින්වීම අතිශයෝක්තියක් නොවේ.අද සංවාදය ඔහු සමගයි.
* කොපමණ කලක් වෙනවාද චිත්‍ර අඳින්න පටන් අරන්?
මං පොඩි කාලෙ ඉදලාම චිත්‍ර අඳිනවා. තාත්තාට වඩා අම්මාගෙ පැත්තෙන් තමයි මට චිත්‍ර උරුම වුණේ. අපේ මාමලා දෙන්නෙක්ම චිත්‍ර ශිල්පීන් නිසා. අපේ පවුලේ හත්දෙනෙක්. මගේ නංගි නෙලුම් සහ මම විතරයි චිත්‍ර ඇන්දේ.මම මුලින්ම ශ්‍රී සඟරාවට චිත්‍රකතාවක් ඇන්දේ පාසල් යනකාලෙදිමයි. පස්සේ "සතුට"පත්තරේට දිග චිත්‍රකතාවක් ඇන්දා ‘කබලෙන් ළිපට‘ නමින්.ඒ තමයි ආරම්භය. දැනට වසර හතලිස් පහක් විතර වෙනවා චිත්‍ර අඳින්න පටන් අරන්.
මම ඇදපු කතා ඒ කාලේ හරිම ජනප්‍රිය වුණා. ඒ සදහා මට ඇතිවූ ඉල්ලුම හරහා වැඩිපුරම චිත්‍රකතා ඇන්දා. මට මතක හැටියට 300කට වඩා වැඩියි.
* ඔබ වගේම එකල සිටි ජනප්‍රිය චිත්‍රකතා ශිල්පීන් එක්ක තරඟයක් තිබුණේ නැතිද ?
සුසිල් ප්‍රේමරත්න, බන්දුල හරිශ්චන්ද්‍ර මට කලින් ආ අය. සරත් මධූ වගේ එකල සිටි කා එක්කවත් අපිට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් නිර්මාණ හරහා තමුන්ගේ දක්ෂතා පෙන්නන්න බැලුවා. නමුත් ඒ හැමෝම ඇන්දේ ගැමි හුරුවකටයි. මං ඒක බිඳ දැමුවා. තරුණ තරුණියන්ට ගැලපෙන ලෙස රූප ඇන්දා. කතා වුණත් ඒ අයට ගැලපෙන ලෙස ලිව්වා. ලංකාවට අදි වේග මාර්ග එන්න බොහෝ කලකට එපිට 1976 දී විතර මම අධිවේග මාර්ග ඇන්දා. නවීන පන්නයේ වාහන ඇන්දා. මේ හේතු නිසා මා වටා තරුණ තරුණියෝ විශාල පිරිසක් එක් රොක් වුණා
* ඒ අයගෙ ප්‍රතිචාර මොනවගේද ඒ කාලේ?
අපි කොච්චර ජනප්‍රිය වුණත් තැනකට ගියාම රූපය හදුනන්නෙ නෑ.එහෙම කනින් කොනින් ආරංචි වුණොත් පුදුම පිළිගැනීමක් ලැබෙනවා .ඒ කාලෙ මට හිටියා ලිපි ලියන පන්දාහකට වඩා පාඨක රසික කැළක්.
* ඔබ චිත්‍රකතාවක රූප රාමු වෙනුවෙන් වඩාත් සැලකිල්ලක් දක්වන බව මා අසා තිබෙනවා .?
ඔව්. බොහෝ ශිල්පීන්ට වඩා මං ඒ ගැන හිතුවා. ඇතැම් කතාවලට පාදක වුණු ප්‍ර දේශ ඒ ආකාරයෙන්ම අඳින්න ඕන නිසා මම සමහර ස්ථාන වලට ගිහින් ඒවා බලාගෙන සටහන් කරගෙන ඇවිත් චිත්‍ර කතාවට ඇන්දා.පාඨකයෝ ඒවාට හරිම කැමති වුණා .එක් කතාවක උඩට නගින තරප්පු පෙලක පඩිපෙළ අනිත් සතියේ අඩුවෙන් මට ඇඳිලා.පාඨකයෙක් ඒ අඩුවීම ගැන මගෙන් ප්‍රශ්න කළා .ඒ තරම් ඔවුන් රූප රාමු වලට අවධානය යොමු කරලා තිබුණා. කතාවට ගැලපෙන විවිධ කෝණ මං පාවිච්චි කලේ සජීවී බව රැකෙන අයුරින්.ඒ වගේම සටන් වගේ ‘ඇක්ෂන් සීන්ස්’ මම බොහොම සාර්ථකව ඇන්දා. පාසල් යන කාලේ පටන් මා බොක්ෂින් ක්‍රීඩාවට දක්ෂ නිසා මට ඒක පහසු වුණා. මම යම් රූපයක් අදින්න කලින් නිරුවත් රුවක් හිතෙන් මවාගෙන සැකිල්ල නිර්මාණය කරනවා. ඉන් පසු තමයි ඇදුම් අන්දවන්නේ. එය ඉතා සාර්ථක ක්‍රමයක්.
* බොහෝ සෙයින් ජනප්‍රියව තිබුණු චිත්‍රකතා කලාවට ඇත්තටම මොකද වුණේ?
ඒකට විවිධ හේතු තිබුණා. අපි වගේ අඳින කොපි කරන අනුකාරකයින් අතින් හොද නිර්මාණ බිහි වුණේ නෑ. අපි චිත්‍ර එක්ක කතාවත් නිර්මාණය කළේ පරිස්සමින්, සැලසුම් සහගතවයි. නමුත් ඉහත කී ශිල්පීන් කතාව චිත්‍ර කියා යොදාගෙන මොනවා හරි දෙයක් කළා. අපි දෙබස් පවා යෙදුවේ හරිම පරිස්සමින්. බාල චිත්‍ර කතා ප්‍රකාශන වැඩි වුණා. හැම පැත්තකින්ම පිරිහුණා. වැඩිහිටියන් චිත්‍ර කතා බලන්න එපා කියන මට්ටමට ආවා. අන්තිමට චිත්‍ර කතා පත්තර නැත්තටම නැති වුණා.
* එයින් පසු එහි නියැලුණු ශිල්පීන් ඉතා අසරණ තත්වයට පත්වෙන්නට ඇති ?
එහි නියැලුණු අප වැනි ප්‍රමිතියක් ඇතිව නිරිමාණ කරපු කිසි කෙනකුට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ අයට මොන යම් හෝ මඟක් හමුවුණා. ප්‍රශ්නය වුනේ අවර ගනයේ ශිල්පීන්ටයි. මම වෙනත් ජාතික පුවත්පත්වල චිත්‍ර ශිල්පියකු ලෙස රැකියාව කළා.අදටත් පුවත්පතක චිත්‍ර කර්තෘ ලෙස රැකියාවක් කරනවා.
* ඔබ පුවත්පත් චිත්‍ර ශිල්පියකු ලෙසත් විවිධ ශෛලීන්ගෙන නිර්මාණකරණුයෙහි නියැලනෙවා?
ඔව්. පුවත්පතකට චිත්‍ර ශිල්පියකු යනු විශාල ආලෝකයක් ලබා දෙන්නෙක්. චිත්‍ර ශිල්පියකුට සහජ හැකියාව පමණක් තිබීම ප්‍රමාණවත් නැහැ. පසුව ඒ ගැන හැදෑරිය යුතුයි. ප්‍රගුණ කළ අත්දැකීම් බහුල වූ විට ඕනෑම චිත්‍රයක් අඳින්න ලෙහෙසියි. මම ස්වභාවික චිත්‍ර වගේම කාටුන් චිත්‍ර පවා පරිස්සමෙන් නිර්මාණය කරනවා.
* අද ශිල්පීන් චිත්‍ර ශිල්පය සඳහා පරිගණක තාක්ෂණය බොහෝ සේ යොදාගන්නවා නේද ?
චිත්‍ර ශිල්පියකු නිර්මාණයක් කරන්නේ දිය සායම්,තෙල් සායම් වගේ මාධ්‍යයක් හරහායි. තාක්ෂණයෙන් එය කරන්න බැහැ. කෘත්‍රීමව නිර්මාණය කරන දෙයක වටිනාකමන් නැහැ. ඒ නිසා මම අද දක්වාම චිත්‍ර අඳින්නේම අතින්. වර්ණ පවා යොදන්නේ අතින්මයි. මම දිය සායම් මාධ්‍යයට බොහෝ සේ කැමතියි. ඉස්සර වඩා තාක්ෂණය දියුණු නිසා අප අඳින චිත්‍ර එළෙසම මුද්‍රණය වෙනවා. මම ගොඩනැගිල්ලක් හදන්න කළින් එහි නිමාව අවසන්වූ සේ දිස්වන චිත්‍ර නිර්මාණය කළේ තාක්ෂණය උපයෝගී කරගෙන නෙමෙයි. මහවැලි රීච් හෝටලයේ සැලැස්ම පවා මම එලෙස ගොඩනැගිල්ල හදන්න කලින් නිර්මාණය කළා. එය සාර්ථක වුණා. ඒවාට හැමෝම කැමති වුණා.
* බොහෝ පොත් කවර පවා ඔබ අතින් නිර්මාණය වෙලා තිබෙනවා නේද?
දිනක් එක් පොත් සාප්පුවකට මම ගිය වෙලාවකදි එක් පොත් රාක්කයක් පුරවලා මම ඇඳපු කවර තිබුණා. මට හිතුණා දැන් ඇති කියලත්. ඒත් කතුවරුන්ගෙන් සහ ප්‍රකාශකයන්ගෙන් මට ඊට ඉඩක් නැහැ. පොතක අන්තර්ගතයට ගැලපෙන අයුරින් ඒ අය සමග සාකච්ඡා කරමින්, පොත් කවර නිර්මාණය කරන නිසා මට එහි සාර්ථකත්වයක් ලබා ගන්න හැකි වුණා.
* චිත්‍ර ශිල්පියකු වීම ගැන ඔබට මොකද හිතෙන්නේ ?
බොහොමත්ම සතුටුයි. ආඩම්බරයක් දැනෙනවා. මම 1976 දි අවුරුදු තුනක් පමණ ගුරුවරයකු ලෙසත් සේවය කළා. චිත්‍ර ශිල්පියකු වීම නිසා මට ඉන් ඉවත් වෙන්න සිදුවුණා. මා අතින් නිර්මාණය වුණු ‘කුමාරයාණෙනි, අත්තික්කා මල්, සුසීමා, කබලෙන් ළිපට වැනි තවත් නිර්මාණ පාඨකයා බොහොම ආදරයෙන් වැලඳගත්තා. ඒ අතර චිත්‍රපට ටෙලිනාට්‍ය වලට පවා මගේ නිර්මාණ යොදා ගත්තා. නිම්නක සහ මේනුක නමින් පුතාලා දෙන්නෙක් මට ඉන්නවා. මගේ බිරිඳත් සමග අද මට සාර්ථක දිවියක් ගත් කරන්න පුළුවන් වුණේ චිත්‍ර ශිල්පියකු වීම නිසයි. මේ රටේම චිත්‍ර ශිල්පියෙකු ලෙස යළිත් ඉපදෙන්න තිබෙනවා නම් මං හරිම කැමතියි. නමුත් තවමත් මම හිතනනේ හොඳම නිර්මාණය තවම මා අතින් නිර්මාණය වෙලා නැහැ කියලයි.
සටහන
දර්ශ කපුගේ