Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අපේ පැවැත්ම අවදානමට ලක් කරන වායු දූෂණය වළකමු

$
0
0
ජුනි 5, 2019 01:00

අදට (05) යෙදෙන ලෝක පරිසර දිනය නිමිත්තෙනි.

සමකාලීන ගෝලීය සමාජය දේශපාලන, සමාජ ආර්ථික හා සංස්කෘතික වශයෙන් මුහුණ දෙන අභියෝග අතර තීරණාත්මක අභියෝගයක් එල්ල වන්නේ නූතන පාරිසරික ගැටලුව ඔස්සේය. වත්මන් මානව ක්‍රියාකාරකම් ඔස්සේ ප්‍රබල ලෙස පරිසරයේ සිදුව ඇති හායන හේතුවෙන් ස්වභාවික පාරිසරික සමතුලනය බිඳ වැටීමට ලක්වීමෙන් ගෝලීය ජෛව පැවැත්ම බරපතළ අවදානමකට ලක් වී ඇත. ජෛව යහ පැවැත්මට අහිතකර ලෙස බලපාන ප්‍රධානතම පාරිසරික ගැටලුවක් වී ඇත්තේ ‘ගෝලීය උණුසුම’ (Global Warming) ඉහළ යාමත් ඒ නිසා ඇති වන ‘දේශගුණ විපර්යාසයත්’ ය (Climate Change) . එය 2030 වන විට ලෝක සමාජය විසින් අත්කර ගතයුතු තිරසර සංවර්ධන අභිමතාර්ථ ජය ගැනීමට ද බාධාවකි.

වායු දූෂණය (Air Pollution) ගෝලීය උණුසුම ඉහළ යාමට බලපාන ප්‍රධානම සාධකයයි. ශාකවලට සත්වයන්ට මෙන්ම මනුෂ්‍යයාට හා අජීවී වස්තූන්ට අනිෂ්ට විපාක ඇති කරවන වාතයෙහි භෞතික, රසායනික හා ජෛවී ලක්ෂණයන්ගේ ඇතිකරවන වෙනස්වීමක් ‘වායු දූෂණය’ යනුවෙන් හැඳින්වේ. නූතන කාර්මීකරණය හා ලිබරල් වෙළෙඳපොළ ක්‍රමය ඔස්සේ සිදුවන බහුවිධ නිෂ්පාදන මාදිලි මගින් ප්‍රධාන වශයෙන් වායු දූෂණය සිදුවන අතර, මේ ආකාරයේ දිගින් දිගට වායු දූෂණය සිදුවීමෙන් ගෝලීය උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක 2කින් ඉහළ ගියහොත් ගෝලීය සමාජයට දරුණු විපාකවලට මුහුණ දෙන්නට සිදු වන බැවින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට හෝ ඊටත් අඩු මටටමක පවත්වා ගත යුතු බව ජාත්‍යන්තර පරිසර විද්වතුන්ගේ මතයයි.

ඒ අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට බලපාන ප්‍රධානතම සාධකය වන ‘වායු දූෂණය’ මෙවර ලෝක පරිසර දින තේමාව ලෙස ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) කටයුතු කර ඇත. 1972 වර්ෂයේ පැවැති මානව පරිසරය පිළිබඳ ස්ටොක්හෝම් සමුළුවේ සමාරම්භය සමරනු වස් එක්සත් ජාතීන්ගේ සංවිධානය (UNO) විසින් මේ ලෝක පරිසර දිනය ප්‍රකාශයට පත් කෙරෙන අතර ලෝක පරිසර දිනය සැමරීමට අදාළ සියලු මෙහෙයුම් කටයුතු සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මගිනි. මෙවර ලෝක පරිසර දින සැමරුම් වැඩසටහනේ සත්කාරක රාජ්‍ය වන්නේ චීනයයි. චීනයේ ෂෙජිඈන්ග් (Zhejiang) පළාතේ නගර ගණනාවක සැමරුම් උත්සවය වෙනුවෙන් වායු දූෂණය පාලනය සඳහා වන ජාතික වැඩසටහන් ගණනාවක් සංවිධාන කෙරෙන බව වාර්තාවේ.

ලෝක පරිසර දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වන්නේ, පරිසර සංරක්ෂණය සඳහා ඒ ඒ රාජ්‍ය හා ආණ්ඩුවල මෙන්ම කර්මාන්ත අංශයේ, ව්‍යාපාර අංශයේ, මහජනතාවගේ අවධානය හා ක්‍රියාකාරී සහභාගිත්වය ලබා ගැනීමටය. මෙවර මෙරට ලෝක පරිසර දින සැමරුම් උත්සවය ජූනි 06 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ගෝලීය කාලගුණ අවදානම් දර්ශකය (Global Climate Risk Index) මගින් සිදු කරන්නේ කාලගුණ විපර්යාස ලෝකයේ එකිනෙක රටවලට බලපාන ආකාරය මිණුම් කිරීමයි. 2018 නොවැම්බර් මස නිකුත් වූ එහි නවතම වාර්තාව මගින් 2017 වර්ෂයේ කාලගුණ විපර්යාසවල අහිතකර බලපෑමට ලක් වෙමින් වැඩිපුරම විපතට පත් රටවල් 10 අතර 2 වැනි තැනට ලංකාව පත් වී ඇත. කාලගුණ විපර්යාස මගින් රටට කොතරම් බලපෑමක් කර ඇත්දැයි මෙමගින් පැහැදිලි වන අතර, අනාගතය පිළිබඳ යම් ආකාරයක භීතියක් ද දනවනු ලැබ ඇත.

ගෝලීය උණුසුම හේතුවෙන් දැනටමත් ධ්‍රැවගත අයිස් දියවෙමින් පවතී. මේ ජලය එකතු වන්නේ සාගර වලටය. එහි ප්‍රතිඵලය ලෙස සාගර ජල මට්ටම ඉහළ යයි. ඉන් පසු සිදු වන්නේ මුහුද ගොඩ ගැලීමයි. එය මාල දිවයින ශ්‍රී ලංකාව වැනි දූපත් වැසියන්ට අනතුරුදායකය. ඒ අනුව පරිසරයට මුදාහරින කාබන් පාලනය කිරීමට එනම්, වායු දූෂණය වැළැක්වීමට ඒ මගින් ගෝලීය උණුසුම පාලනයට දායකවීමට ශ්‍රී ලංකාව ද අවදානමට ලක්ව ඇති රාජ්‍යයක් ලෙස දැඩි කැපවීමෙන් කටයුතු කරමින්, පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග සලස්වා ගත යුතුය. තවත් විදියකට කියන්නේ නම්, ‘කාලගුණික සරණාගතයන්’ නොවන්නට වගබලා ගත යුතුය. ලොව සෙසු රටවල් හා බලන විට ගිනි කඳු, භූමි කම්පා, ස්වභාවික විපත් අවම පතිරූපදේශයක් ලෙස කියැවුණු මෙරටට අද අත්වී ඇති ඉරණම ඛේදජනකය. පූර්ව අවධානයෙන් තොරව සිට ආපදාවක් සිදුවීමෙන් අනතුරුව සංරක්ෂණ පියවර ගැනීමට වෙහෙසීම ජාතික අනන්‍යතාවක් බව කාලයක සිට ප්‍රකට කර ඇති බැවින්, එම අභාග්‍යසම්පන්න, තත්ත්වයෙන් මිදීමට අදාළ වගකිව යුතු අංශ මෙන්ම අප සැම ක්‍රියා කළ යුතුය.

පෘථිවිය, වායුගෝලය හා දූෂණය

පෘථිවිය, වායුගෝලයෙන් ආවරණය වී ඇත. ගුරුත්වාකර්ෂණය හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයට ආසන්නව රැඳී ඇති වායු අණුවලින්ද සමන්විතය. වායු ගෝලයේ නයිට්‍රජන් 78%ක්, ඔක්සිජන් 21%ක් හා ආගන් 0.9%ක් අන්තර්ගත වන අතර, ක්‍රිප්ටන්, කාබන්ඩයොක්සයිඩ් ආදී වායු සුළු ප්‍රමාණයක් ද, ජල වාෂ්ප, දූවිලි අංශු විවිධ ප්‍රමාණවලින් ද යුක්ත වේ. මතුපිට පස, මුහුදු ජලය, ගිනිකඳු ක්‍රියාකාරීත්වයෙන් පිටවන අංශු හා වායු වර්ග හේතු කරගෙන ස්වභාවිකව වායු දූෂණය සිදු වන අතර බරපතළ ලෙස වායු දූෂණය සිදු වන්නේ මානව ක්‍රියාකාරීත්වය, එනම් රථවාහන හා කර්මාන්ත ශාලා දුම්වලින්, පොසිල ඉන්ධන දහනයෙන් පිට වන විමෝචනවලින්, නාගරික හා ගෘහස්ථ ඝන අපද්‍රව්‍ය පිළිස්සීමෙන් එනම්, ප්ලාස්ටික් නිෂ්පාදන පිළිස්සීමෙන්, පිටවන විමෝචනවලින්, සංවර්ධන ක්‍රියාවලියේදී හෝ අලුත්වැඩියා කිරීම්වලදී ඇති වන දූවිලි අංශු වලින්ය.

දර දහනය. සිගරට් දුම, ඉසුම්කාරක, ගෘහ භාණ්ඩ අලවන පෝමැල්හයිඩ්, ග්‍රැනයිට්වලින් නිකුත් වන රේඩෝන් වායුව, මදුරු දඟර, හඳුන්කූරු දැල්වීමෙන් ආදී වශයෙන් සිදු වන ගෘහස්ථ වායු දූෂණ තත්ත්වයන් ද මෙහිදී සඳහන් කළ හැකිය. රථවාහන දුම මෙන්ම මාර්ග සංවර්ධනය වායු දූෂණ තත්ත්වය වැඩි කරන ප්‍රධාන සාධක වේ. වාහන දුම්, ලිහිසි තෙල් තුළ ඇති සංඝටක, වාහන රෝද හා තිරිංග පද්ධති, නිසි ලෙස වාහන නඩත්තු නොකිරීම, දැඩි වාහන තදබදය, දූෂිත තත්ත්වය වැඩි කිරීමට හේතු වු සාධකයන්ය.

ලෝකයේ ප්‍රධාන නගර 3500ට වැඩි ප්‍රමාණයක් වායු දූෂණ ගැටලුවට මුහුණ දී ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ දත්තවලට අනුව පසුගිය වසර 10 තුළ ආසියානු නගර තුළ වායු දූෂණය වැඩි වී ඇති අතර ලොව වඩාත්ම දූෂිත නගර 15න් 13ක්ම පිහිටා ඇත්තේ ආසියාවේය. චීනයේ බීජිං නගරය, නවදිල්ලිය, අලහබාද් හා පැට්නා, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලයේ කත්මණ්ඩු නගර උදාහරණ ලෙස දැක්විය හැකිය.

වායු දූෂණය- ආර්ථික හා සෞඛ්‍ය හානි

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට ආහාර කිලෝග්‍රෑම් 1 – 2 ක් ද, ජලය ලීටර් 1 – 2 ක්ද හා වාතය ලීටර් 10,000ක් පමණ ද පරිභෝජනය කරයි. පරිභෝජනයට ගනු ලබන ආහාර වර්ග, ජලය මෙන්ම වෙනත් භාණ්ඩවල පවිත්‍රතාව, ප්‍රමිතීන් පිළිබඳ අප සැලකිලිමත්ය. ඒත් අපේ පැවැත්මට අත්‍යවශ්‍ය ‘වායුවේ’ පවිත්‍රතාව, ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් ද? විවිධ මානව ක්‍රියාකාරකම් සඳහා පොසිල ඉන්ධන දහනයේදී කාබන් මොනොක්සයිඩ්, කළු දුම් ලෙස පිටවන කාබන් අංශු, සල්ෆර් ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් ඩයොක්සයිඩ් ආදී වායු දූෂකාරක හටගනී. නයිට්‍රජන් හා සල්ෆර් ඩයොක්සයිඩ් යනු හානිකර වායු දූෂකයක් වන අතර ඒවා පෙණහළු පටකවල ඇති ආරක්ෂිත පටලයට හානි කරන අතර, එම නිසා බැක්ටීරියා හා වෛරස්වලට පෙණහළුවලින් ශරීරයට ඇතුළුවීමට ඉඩ ප්‍රස්ථා ලැබේ. මේ නිසා ඇදුම, බ්‍රොන්කයිටිස්, කල්ගත පුප්පුසීය පෙණහළු රෝගය, හා පෙණහළු පිළිකා ආදී ශ්වසන රෝගවලට අමතරව විවිධ හෘද රෝග, අඩු බර දරු උපත් ඇතිවීම, ස්ථුලතාව මෙන්ම අකල් මරණ ද සිදු වේ.

වායු දූෂණ පාලනය හා ගෝලීය ක්‍රියාමාර්ග

කාර්මික විප්ලවයෙන් පසු පොසිල ඉන්ධන දහනය නිසා කාබන් ඩයොක්සයිඩ්වලට අමතර වශයෙන් වායුගෝලයට එකතු වන කාබන් මොනොක්සයිඩ්, මීතේන්, සල්ෆර් ඩයොක්සයිඩ්, ඊයම් වැනි ලෝහවල ඔක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම ද, වායු දූෂණයට හේතු වී ඇති අතර, අමතරව කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගනු ලබන වනගහනය අඩුවීම ද තත්ත්වය උග්‍ර කිරීමට හේතු වී තිබේ. වායු දූෂණය පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය සියවසකටත් එහා දිව යයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කිරීමෙන් අනතුරුව එහි මහා මණ්ඩල සැසිවලදී ඒ පිළිබඳව සාකච්ඡා වී තිබේ. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන යටතේ 1972 වසරේ සිට නොයෙක් පර්යේෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරනු ලැබුව ද ඒවා ක්‍රියාත්මක වුයේ මන්දගාමීවය. අනතුරුව ඉලක්ක ගොඩ නගා ගනිමින් කඩිනමින් ඒවාට ළඟාවීම සඳහා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) යටතේ දේශගුණික විපර්යාසය උදෙසා අන්තර් ආණ්ඩු අනුමණ්ඩලයක් (IPCC) 1988 වසරේ පිහිටුවන ලද අතර ඉන් ලද නිර්දේශ අනුව විවිධ සම්මුති වරින් වර සකස් කරන ලදී. 2015 වසරේ පැරිස් නුවර දී සියලු රාජ්‍යවල එකඟතාවයෙන් අනුමත වූ ‘පැරිස් සම්මුතිය’ අවසන් වරට සකස් කළ සම්මුතිය විය. රටවල් 196 ක සහභාගීත්ව‍ෙයන් 2016 අප්‍රේල් මාසයේදී මේ සම්මුතියට අත්සන් තබන ලදී.

සම්මුතියේ පොදු එකඟතාව නම්, වායු දූෂණයට ප්‍රබල සාධකයක් වන පොසිල ඉන්ධන භාවිතය සීමා කිරීමයි. එසේම වායු දූෂණයට හේතු වන සියලු ක්‍රියාකාරකම්වල පාලනයක් ඇති කර ගැනීමයි. එකඟතාවට අදාළ සැලසුම 2020 වර්ෂයේ සිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින්, 2040 වර්ෂය වන විට එය අවසන් කිරීමට කටයුතු කිරීමයි. ආසියා පැසිපික් ප්‍රදේශවල වායු දූෂණය වැළැක්වීම සඳහා හරිත තාක්ෂණික ප්‍රතිපත්ති 25ක් ක්‍රියාත්මක කරන බවත්, එමගින් වාතයේ කාබන් ඩයොක්සයිඩ් 20%කින් අඩු කිරීමටත්, 45%කින් මීතේන් දූෂණය වැළැක්වීමටත් හැකි වෙනු ඇති බව කියා සිටියි. ඒ අනුව ගෝලීය උණුසුම අවම කිරීම සඳහා වායු දූෂණය පාලනයට මෙන්ම වායු තත්ත්වය වැඩි දියුණු කිරීමට ‘පුනර්ජනනීය බලශක්ති’ (Renewable energy) ප්‍රවේශයන්ට හා ‘හරිත තාක්ෂණයට’ (Green technologies) පිවිසීමත්, එහි නව සොයා ගැනීම් සිදු කර ගැනීමත්, අත්‍යවශ්‍ය බව මෙවර තේමාව මගින් ලෝකයට අවධාරණය කරයි.

මෙරට වායු දූෂණ පාලන ක්‍රියාමාර්ග

මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ අධ්‍යයනයකට අනුව දිනකට කොළඹ නගරයට ඇතුළු වන වාහන සංඛ්‍යාව 300,000කි. 2018 වන විට ලංකාවේ ලියාපදිංචි මෝටර් රථ වාහන ප්‍රමාණය මිලියන 7.24කි. යතුරු පැදි මිලියන 4.04ක්ද, ත්‍රීරෝද රථ මිලියන 1.14ක්ද වේ. සෑම වසරකම වාහන 600,000ක් පමණ අලුතෙන් ලියාපදිංචි කෙරේ. 1990 සිට 2010 දක්වා මෝටර් වාහන සංඛ්‍යාව 14 ගුණයකින් වැඩි වී ඇත. යතුරු පැදි හා ත්‍රීරෝද රථ 600 ගුණයකින් වැඩි වී ඇත. තවමත් සාර්ථක ප්‍රවාහන පද්ධතියක් නොමැති නිසා ජනතාවගෙන් 50% පමණ සිය සේවා සඳහා පෞද්ගලික වාහන භාවිතා කරයි. 2012 දී කොළඹ නගරයේ රථ වාහන වල සාමාන්‍ය වේගය පැයට කි. මී. 22 වූ අතර වර්මානයේ එය පැයට කි. මී.17 වී ඇත. දැරිය නොහැකි ලෙස අධික වාහන ප්‍රමාණයක් කොළඹ නගරයට ඇතුළුවීම අනවශ්‍ය තදබදයක් ඇති වීමට හේතු වේ. වේගය සීමා වීම නිසා අනවශ්‍ය ලෙස ඉන්ධන ද දහනය වේ. කළු දුමාරයෙන් සෞඛ්‍යයට ද අහිතකරය. තදබදයෙන් කාලය නාස්තිය ද සිදු වේ. කොළඹ නගරයේ සියුම් අංශු මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශිත මට්ටමට වඩා 3.6 කින් වැඩි බව ස්වාධීන පර්යේෂකයෝ සඳහන් කරති.

මධ්‍යම පරිසර අධිකාරියේ 2010 වායු විමෝචන දත්ත ලේඛනයට අනුව වායුගෝලයට දූෂකාරක එකතු කරන ප්‍රධාන සංරචකය ලෙස ‘වාහන දුම්’ හඳුනාගෙන ඇති අතර වාහන දුම් පරීක්ෂණ වාර්තා නිකුත් කරමින් වාහන දුම පාලනය කිරීමේ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රමිති උපමාන මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කර ලබා දී ඇති අතර, ඇතිවන ගැටලු වළක්වාලීමට අදාළ තාක්ෂණික මැදිහත්වීම ද 2008 වර්ෂයේ සිට ලබා දී ඇත. එම වාහන දුම් පරීක්ෂණ ක්‍රියාවලියට විවේචන ඇතත් එමගින් ප්‍රධාන නගර බොහොමයක වායු දූෂණය පාලනයට හැකියාව ලැබී තිබේ. කෙසේ නමුත් පදනම් දත්ත වාර්තා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ බරපතළ වායු දූෂණ තත්ත්වයක් නොමැති බවත් වාණිජකරණය, මෝටර් රථ ප්‍රමාණය වර්ධනය, හා කාර්මීකරණය ආදී හේතූන් මත අනාගතයේදී වායු දූෂණ අවදානමක් ඇති බවයි. ජංගම වායු තත්ත්ව රසායනාගාරයක් මගින් දිවයින පුරා වායුගෝලීය තත්ත්වය පසුවිපරම් කිරීම ද සිදු කෙරේ. වායු දූෂණය පාලනය හා වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය ද, උපාය මාර්ග හඳුනා ගැනීම ද, ක්‍රියාත්මක වැඩපිළිවෙළ සකස් කිරීම ද අදාළ ආයතන හා එක්ව සිදු කර ඇත.

ද්විත්ව පහර (TWO Stoke) එන්ජින් සහිත වාහන ආනයනය අත්හිටුවීම, ඊයම් සහිත පෙට්‍රල් භාවිතයෙන් ඉවත් කිරීම හා ඉන්ධනවල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම, වායු තත්ත්ව පාලන රෙගුලාසි කාලීනව සංශෝධනය කරමින් ශක්තිමත් කිරීම, ‘නීල හරිත යුගයක්’ පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ 2025 සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම මගින් සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් සඳහා ‘පිරිසුදු වාතය’ සහතික කිරීමටත් විමෝචන පාලන ප්‍රවේශයක් ලෙස ‘යුරෝ iv ප්‍රමිතිය යටතේ වාහන හා උපකරණ ආනයනය කිරීමටත්, ඉන්ධන හා ගල් අඟුරු භාවිතය අවම කිරීමටත් සූර්ය බලශක්තිය, සුළං, මුහුදු රළ හා ජීව වායු ආදී පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයටත්, සමස්ත පරිසරයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම පිණිස තිරසර වන කළමනාකරණයටත් රජය ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙවර ලෝක පරිසර දින සැමරුම් උත්සවය වෙනුවෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව බත්තරමුල්ල හා මහනුවර වායු තත්ත්ව පාලන ඒකක 2ක් හා ස්වයංක්‍රීය වායු තත්ත්ව තොරතුරු ප්‍රදර්ශන පුවරු 2ක් ස්ථාපනයට කටයුතු යොදා ඇත. එමගින් දෛනිකව ඒ ඒ අවස්ථාවල වායු තත්ත්ව තොරතුරු ජනතාවට ලබා ගත හැකි අතර, මහජන සෞඛ්‍යයට හා ජනතාවගේ චර්යාවන් හැඩගස්වා ගැනීමට ඉන් පිටිවහලක් ලැබේ. වායු තත්ත්ව ක්‍රියා පටිපාටිය පිළිබඳව අත්පොතක් ද, වායු තත්ත්ව පාලන ගැසට් පත්‍රය ද නිකුත් කෙරෙන අතර පරිසර සතියක් ද ප්‍රකාශයට පත් කරමින් දිවයින පුරා වායු දූෂණ පාලනය පිළිබඳව දැනුවත් කිරීම් හා ක්‍රියාකාරී වැඩසටහන් සංවිධාන කෙරෙනු ඇත.

වායු දූෂණය පාලනය හා සමාජ වගකීම

වාහන මගින් සිදුවන දූෂණය පාලනය සඳහා වාහන හිමියන්ට, රියැදුරන්ට සැලකිය යුතු වගකීමක් පවතී.ගමන් කළමනාකරණය කර ගනිමින් ඉන්ධන භාවිතය අවම කර ගත යුතුය. වාහන නඩත්තු සේවා නියමිත පරිදි කළයුතු අතර, නිසි ප්‍රමිතියෙන් යුත් උපාංග සවි කිරීමටද වගබලා ගත යුතුය. වායු දූෂණය අවම කරන ඔක්ටේන් 95 පෙට්‍රල් භාවිතයට පෙට්‍රල් වාහන හිමියන් පිවිසීම ද අවශ්‍යය. කොළඹ නගරයට දිනපතා ඇතුළු වන වාහන අතරින් වැඩිම වාහන ප්‍රමාණයක් පෞද්ගලික වාහනය. ජාතික ප්‍රතිපත්තියකට අනුව පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපනය කිරීමෙන් අනවශ්‍ය වාහන ප්‍රමාණයක් නගරයට ඇදී ඒම සීමා කිරීමත්, වාහන තදබදයත්, අනවශ්‍ය කාලය නාස්තියත්, වායු දූෂණය පාලනයත් සිදු කළ හැකිය. ත්‍රීරෝද රථ හා යතුරු පැදි භාවිතයද විධිමත් කළ යුතුය. මහාමාර්ග භාවිතා කරන්නන් මාර්ග නීති රීති පිළිපදින ස්වයං - විනයක් සහිත ශිෂ්ට පිරිස් බවට පත්වීම ද සමාජයකට අවශ්‍යය. ඒ සඳහා ආකල්ප හැඩ ගැස්මකට ද අප යා යුතුය.

වායු දූෂණය පාලනයේදී පොදු මහජනතාව හැටියට අප සැම බලශක්තිය පිරිමැසීම අත්‍යවශ්‍යය. රෙදි සෝදන යන්ත්‍රයෙන් රෙදි වේළීම වෙනුවට හිරු එළියෙන් වේළාගත හැකිය. රෙදි මැදීම, විදුලි පහන් දැල්වීම මෙන්ම නිවසේ වෙනත් විදුලියෙන් ක්‍රියාත්මක උපකරණ භාවිතයේදී යම් කිසි පාලනයක් හා සකසුරුවමක් කළ යුතුය. බලශක්තිය පිරිමැසීම අද වන විට අත්‍යවශ්‍යව ඇති බැවින් සූර්ය බලශක්තිය’ (Solar Energy) වෙත අප පිවිසිය යුතුය. එය ලංකාව වැනි ඝර්ම කලාපීය රටකට විශේෂයෙන්ම උචිත බලශක්ති ජනන ක්‍රමයක් වේ. මේ ක්‍රමය ජනතාව අතර ප්‍රචලිත කළ යුතු අතර අවශ්‍ය උපකරණ කට්ටල (Solar panels) සහන මිලකට ලබාදීමට බලධාරීන් පියවර ගත යුතුය. වර්තමානයේ පවතින අධික මිල එම බලශක්තිය ප්‍රවර්ධනය සඳහා සුදුසු නොවේ. ලොව පුරා සූර්ය බලශක්තිය හැඳින්වෙන්නේ අඩු මිලට ලබා ගත හැකි සුපිරිසිදු බලශක්ති (Cheap and Clean Energy) ප්‍රභවයක් ලෙසටය. එසේ නමුත් ලංකාවේ සූර්ය බලශක්තියට පිවිසීම අධික මූල්‍ය පිරිවැයකි. මේ සඳහා සහන ණය යෝජනා ද ක්‍රියාත්මක කළ හැකිය. බටහිර ධනවත් රටවල් ද බලශක්ති අර්බුදයට කල් පවත්නා විසඳුම් ලෙස සූර්ය බලශක්තිය භාවිතා කරයි.

බලශක්තිය පිරිමැසීමට සුදුසු මෙන්ම පරිසරය සුරකින ප්‍රවාහන මාධ්‍යයක් වන්නේ ඉලෙක්ට්‍රොනික මෝටර් රථ හඳුන්වා දීමයි. ලොව පවත්නා ඉලෙක්ට්‍රික් මෝටර් රථවලින් හරි අඩක් (1/2) හිමිකාරීත්වය දරන්නේ චීනයයි.

අප ගමන්වලදී පොදු වාහන ක්‍රමයක් භාවිතා කිරීම සුදුසු වන අතර පෞද්ගලික වාහන භාවිතයේ පාලනයක් ඇති කර ගත යුතුය. අනවශ්‍ය ගමන් සීමා කළ යුතුය. හැකි සෑම ගමනක්ම පයින් හෝ පා පැදිවලින් යාම වැදගත්ය. වායු දූෂණය පාලනය සඳහා ඉතා වැදගත් පොදු ජනතාවට කිරීමට අපහසු නොවන කාර්යයක් නම් රුක් රෝපණය කර රැක බලා ගැනීමයි. 35% දක්වා වන වියන වැඩි කර ගැනීමේ රජයේ අපේක්ෂාව සාර්ථක කර ගැනීමට පොදු ජන සහාය ද අත්‍යවශ්‍යය. කර්මාන්තකරුවන් සිය කර්මාන්ත පවත්වා ගැනීමේදී ‘පරිසර ආරක්ෂණ බලපත්‍ර’ ආදී නිසි බලපත්‍ර ලබා ගැනීමත් ඒ සමඟ ලබා දෙන කොන්දේසි පිළිපැදීමත් කළ යුතුය. එය පරිසර සංරක්ෂණයට ලබා දෙන මහඟු දායකත්වයක් වේ.

මහා පරිමාණ කර්මාන්තකරුවන්, ආයෝජකයින් සිය ආයෝජන ව්‍යාපෘතිවලදී අදාළ වන පරිසර බලපෑම් ඇගයීම් (EIA) හෝ උපායමාර්ගික පරිසර බලපෑම් ඇගයීම් (SEA) ආදී වශයෙන් පරිසරය සුරැකීම සඳහා වන නියාමන හා නෛතික කාර්යයන්ට අනුගත විය යුතුය.

නූතන මානව සමාජය දිව යන්නේ ආර්ථික, සමාජ, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් විවිධ අභියෝග මධ්‍යයේය. මානව යහපැවැත්ම උදෙසා තිරසර සංවර්ධන ප්‍රතිපදාවක ගමන් කළ යුතු බවට ප්‍රත්‍යක්ෂ වී ඇත. ඒ සඳහා ලොව සැම එක්ව අප පොදු ගමනක් යා යුතු අතර සමාජය ද හැඩගස්වා ගත යුතුය. සෑම අංශයකම පාරිසරික හානිය ගණනය කර තේරුම් කර ගැනීම කාලීන වැදගත්කමකින් යුක්තය. එය පරිසර සංරක්ෂණයටත්, තිරසර සැලසුම්වලටත් වැදගත් වේ. දළ ජාතික නිෂ්පාදිතය ගණනයේදී හරිත ජාතික ගිණුම ඔස්සේ පාරිසරික හානිය ගණනය කිරීමට මහ බැංකුවේ අවධානය යොමු වීම නැණවත් ක්‍රියාමාර්ගයක් වේ. ඒ අනුව පරිසරය පිළිබඳව සාර්ව දෘෂ්ටියකින් බැලීමට ආයතන පද්ධතීන් මෙන්ම සමාජය ද බල ගැන්වීම කාලීන අවශ්‍යතාවක් වේ. සමාජ ව්‍යුහයේ සියලු අංශවල ප්‍රතිශෝධනයක් සිදු කරමින් ආකල්පමය හා චර්යාමය වෙනසක් ඔස්සේ ‘හරිතකරණ සමාජයක්’ ගොඩ නැංවීම සුරක්ෂිත පරිසරයක ජීවිතයේ යහ පැවැත්මටත්, මතු පරපුරේ පාරිසරික උරුමය සුරැකීමටත් හේතු වනු ඇත.

දීපාල් ද සිල්වා 
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිසර ප්‍රවර්ධන) 
මධ්‍යම පරිසර අධිකාරිය


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>