චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ සිංහල සේවයේ උපදේශක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගත් රත්නායකගේ “තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති”(Information revolution & News) කෘතිය පිළිබඳ ඔහු සමඟ පැවැත්වු සාකච්ඡාවකි මේ. වෘත්තීය ජීවිතය තුළ ලත් අත්දැකීම් හා ශාස්ත්‍රීය කරුණු ඇසුරින් සම්පාදිත මේ කෘතිය, විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය හදාරන සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන් ඉලක්ක කර රචනා කර ඇත.
මෙවැනි විෂය මුලික පොතක් ලියන්න අදහස් කළේ ඇයි?
අපට ජීවත් වෙන්න ආහාර අවශ්‍ය වගේ ම, තොරතුරුත් අවශ්‍යයි. නුතන යුගයේ අප ජීවත් වෙන්නේ තොරතුරු ලෝකයක. මේ තොරතුරු ලැබෙන්නේ ප්‍රවෘත්ති හරහා. හැබැයි අපේ ජීවිතයට මෙතරම් බලපෑම් කරන ක්ෂේත්‍රයක් පිළිබඳ අපේ සමාජයේ තියෙන්නේ අඩු සැලකිල්ලක්. අනෙක් අතට වර්තමානයේ මාධ්‍යවේදියාගේ භූමිකාවත් නොපැහැදිලි තරමට ම වෙනස් වෙලා. මාධ්‍යවේදීන් කියන්නේ සමාජයේ පෙර ගමන්කරුවෝ. ඒ නිසා ඔවුන්ට හොඳ දැක්මක් තියෙන්න ඕනැ. ඒ දැක්ම ඔස්සේ තමයි ඔවුන්ට තම පෑන, මයික්‍රෆෝන හෝ කැමරාව, ඵලදායි විධිහට මෙහෙය වන්න පුළුවන් වෙන්නේ. ප්‍රවෘත්ති ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන නවකයන්ට ප්‍රවෘත්තිකරණය පිළිබඳ කියවන්න තියෙන සිංහල පොත්පත් දුර්ලභයි. මේ හිඩැස පිරවීම තමයි මගේ අරමුණ වුණේ. මේ කෘතිය ප්‍රවෘත්තිකරණය පිළිබඳ අත්පොතක්. සමාජ වගකීම් හා රටේ අවශ්‍යතා වටහාගෙන, හොඳ අවබෝධයකින් යුතුව, කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න පුළුවන් ප්‍රවෘත්ති මාධ්‍යවේදීන් බිහි කරන්න, මේ පොත හේතු වෙයි කියලා මම විශ්වාස කරනවා.
ප්‍රවෘත්තිකරණයේ විවිධ ක්ෂේත්‍ර මේ පොතෙන් ඔබ ආවරණය කර තිබෙනවා. පොතේ අන්තර්ගතය පිළිබඳ සැකෙවින් සඳහන් කළොත්?
ලෝක ප්‍රවෘත්ති ඉතිහාසයේ සිට අද අපේ ජීවිතයට දැඩිව බලපෑම් කරන සමාජ මාධ්‍ය දක්වා න්‍යායාත්මක හා ප්‍රායෝගික කරුණු මෙහි අන්තර්ගතයි. ඒ වගේ ම, ප්‍රවෘත්තියක් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාමේ ක්‍රියාවලිය, ඒ කියන්නේ ප්‍රවෘත්ති වාර්තාකරණය, සංස්කරණය, නිවේදනය නිවරැදිව කරන ආකාරය හා එම අවස්ථාවලදී එන අභියෝග පුළුල් වශයෙන් මේ කෘතිය තුළ සාකච්ඡා කරලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රවෘත්ති ක්‍රමවේදය, මාධ්‍ය ආධිපත්‍ය, ප්‍රවෘත්තිවල බලපෑම්, මාධ්‍යවේදීන් කරන වැරැදි, මේ සියල්ල මේ කෘතියෙන් සාකච්ඡා කළා. ලෝකයේ ප්‍රවෘත්ති ඒජන්සි හා ඒවායේ න්‍යාය පත්‍ර, මාධ්‍ය ආයතන තම අවශ්‍යතා අනුව විවිධ කෝණවලින් විකෘති කර ප්‍රවෘත්ති වාර්තා කරන ආකාරය වගේ ම, මේ වනවිට තොරතුරු දැන ගැනීමේ අයිතියට ප්‍රබල බාධාවක් වී ඇති වහුන්පත් ජනමාධ්‍යවේදය වැනි අලුත් ම කරුණු පිළිබඳ මම ගැඹුරින් සාකච්ඡා කර තිබෙනවා.
මෙය පර්යේෂණාත්මක කෘතියක් ද?
ඔව්. චීන ගුවන් විදුලියේ සේවයට ගියාට පස්සේ මට ලැබුණු විවේකී අවස්ථා මා යොදා ගත්තේ මේ පර්යේෂණය වෙනුවෙන්. ඒ වනවිට දශක එක හමාරකට අධික කාලයක් මම ප්‍රවෘත්තිකරණය පිළිබඳ අත්දැකීම් ලබලා තිබුණා. සාමාන්‍යයෙන් ඒක සුළුපටු කාලයක් නෙමෙයි. මේ අත්දැකීම් අනාගත පරම්පරාවට ලියලා තියන්න ඕනැ කියලා මම හිතුවා. සිරස ප්‍රවෘත්ති අංශයේ මා කටයුතු කළ කාලයේ ලබපු ප්‍රායෝගික අත්දැකීම් හා ගුරුහරුකම් බොහෝයි. මම මාධ්‍යවේදියෙක් කරපු සිරස ප්‍රවෘත්ති අංශයේ ඒ අතීතයත් මම ආදරයෙන් මතක් කරන්න ඕනැ. ඒ වගේ ම, චීන ගුවන්විදුලියෙන් මට ලැබුණේ වෙනස් ම ආකාරයේ ජාත්‍යන්තර මාධ්‍ය අත්දැකීම් සමුහයක්. එහි භාෂා 65 කින් වැඩ කරන, විවිධ රටවලින් පැමිණි මාධ්‍යවේදීන් ඇසුරු කරන්නට, ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කර ගන්නට වගේ ම, ජාත්‍යන්තර සමුළු රැසක් ආවරණය කරන්නට මට අවස්ථාව ලැබුණා. ඒ ප්‍රායෝගික අත්දැකීම්වලට, න්‍යායාත්මක කරුණු ගවේෂණය කරලා කරපු පර්යේෂණයක් විධිහට මේ කෘතිය හඳුන්වන්න පුළුවන්.
වත්මන් මාධ්‍ය භාවිතය පිළිබඳ ඔබට සෑහීමකට පත්විය හැකිද?
ඇතැම්විට, මාධ්‍ය ආයතන වගකීම් අවබෝධ කරගෙන නැති බවක් පේන්න තිබෙනවා. අපි පාසල් කාලයේ ඉගෙන ගත්තේ අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලයි. කනගාටුවට කරුණ, තවමත් ඒ ලේබලය එහෙමමයි. ඉන් මිදෙන ක්‍රමයක් පිළිබඳ ඡායාවක්වත් මට පේන්නේ නැහැ. අපේ රට ඒ තත්ත්වයෙන් මුදා ගන්න, අපි හැමෝම අසමත් වෙලා. අපට පසු පසින් සිටි ලෝකයේ බෙහෝ රටවල් වේගයෙන් ඉදිරියට යනවා. ඒක වෙනම ම කතා කළ යුතු මාතෘකාවක්. මේ දේට දේශපාලඥයන් විතරක් නෙමෙයි, මාධ්‍යයත් වග කියන්න ඕනැ. ඒකට හේතුව, මැතිවරණ කාලයට මාධ්‍ය ආයතන, පුද්ගලයෝ, පක්ෂ පුම්බමින් , මාධ්‍ය ආචාර ධර්ම පවා කඩ කරමින් කටයුතු කරන්නේ කොහොමද කියලා අපේ අත්දැකීම් අනුව අප දන්නවා. ඒවයේ අනිටු ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ.
ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය ආයතන, තෝරා ගත් දේශපාලඥයන්ට, පක්ෂවලට මුක්කු ගහනවා. එතකොට ඔවුන් ගන්නා වැරැදි තීන්දු තීරණ මාධ්‍ය ආයතනවලට පේන්නේ නැහැ. සත්‍ය තොරතුරු වසන් කරලා ජනතාවට ප්‍රවෘත්ති වාර්තා කරනවා. රටක සංවර්ධනයට, මාධ්‍ය මඟින් සුවිශේෂී කාර්යභාරයක් කරන්න පුළුවන්. ඒත්, ඒ වගකීම් මාධ්‍ය ආයතන අද නිසි ලෙස ඉටු කරනවාද කියන එක ප්‍රශ්නයක්. මේ රට මුහුණදීලා තියෙන තත්ත්වයට මාධ්‍යයත් වග කියන්න ඕනැ කියලා මම මුලින්ම කිව්වේ ඒකයි.
මාධ්‍ය හරහා සමාජයට හිමි විය යුතු දේ ලැබෙනවා යැයි ඔබ විශ්වාස කරනවා ද?
මාධ්‍ය, සමාජයේ පෙර ගමන්කරුවෙක් වීම අනිවාර්ය දෙයක්. මාධ්‍ය, ජාතික සංවර්ධනයේ කොටස්කරුවෙක් වගේම, දේශපාලකයන්ට, ජනතාවට යහමඟ පෙන්වන මාර්ගෝපදේශකයෙක් වෙන්න ඕනැ. සමාජයේ වැරැදි තැන් සියුම්ව නිරීක්ෂණය කරලා, ඒ පිළිබඳ සත්‍ය තොරතුරුවලින් ජනතාව සන්නද්ධ කරන්න ඕනැ. එතකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ශක්තිමත් වෙන්නේ. අද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන වාර්තා කරන ඇතැම් ප්‍රවෘත්ති පිළිබඳ විශ්වාසය අඩුවෙලා. මෙහි ප්‍රතිඵලයක් විධිහට තමයි අද බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය හාරා අවුස්සමින් තොරතුරු ගවේෂණය කරන්නේ. මැති ඇමැතිවරුන්ගේ ඉඳලා, සමාජයේ සෑම පුද්ගලයෙක්ම අද වාර්තාකරුවෙක්. ඔවුන් තමන්ගේ ජංගම දුරකථනයෙන් පාර්ලිමේන්තුවේ සිදුවන දේ ක්ෂණිකව වාර්තා කරනවා. තාක්ෂණයේ විප්ලවීය වෙනස සහ තොරතුරු ගලා යාමේ වේගයත් සමඟ, ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ට අතීතයේ තිබුණ තත්ත්වය අද අහිමි වෙලා. අනෙක, අද බහුලව ව්‍යාජ ප්‍රවෘත්ති (Fake News) සංසරණය වෙනවා. මේ හරහා සමාජයට වෙන හානිය අති ප්‍රබලයි. ඒ නිසා, මේ වැටිලා තියෙන අගාධයෙන් රට බේරා ගැනීම සඳහා, මාධ්‍ය ක්ෂේත්‍රයෙන් පුළුල් දායකත්වයක් දෙන්න මාධ්‍ය ආයතන උත්සාහ ගන්න ඕනැ. ඒක යුගයේ අවශ්‍යතාවක්.
ඔබ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් සහිත, ජාත්‍යන්තර අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙක්. බොහෝ තරුණ කොටස් අද මාධ්‍ය ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්න දැඩි උනන්දුවක් දක්වනවා. ඔබට ඔවුන්ට දෙන්න තිබෙන උපදේශය කුමක්ද?
පළමු කාරණය තමයි, ඔවුන් මේ විෂය ක්ෂේත්‍රය ශාස්ත්‍රීය වශයෙන් හොඳට අධ්‍යයනය කරන්න ඕනැ. දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනැ. ප්‍රවෘත්ති මාධ්‍යවේදියකුට පුළුල් පරාසයක දැනුම් සම්භාරයක් තිබීම අවශ්‍යයි. එහෙම වුණොත් තමයි හොඳ මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන් වෙන්නේ. අනෙක තමයි පළපුරුද්ද. එක රැයකින් හොඳ මාධ්‍යවේදියෙක් බිහි වෙන්නේ නැහැ. ඒ සඳහා කාලයක් පුරාවට ක්ෂේත්‍රයේ නියැළෙන්න ඕනැ. ඒ මඟින් ලබන අත්දැකීම් අතිශයින් වැදගත්. ඒ වගේ ම තමයි පොත් පත් කියවන්න ඕනැ. ගවේෂණය කරන්න ඕනැ. හොඳ ඉවසීමක් තියෙන්නත් ඕනැ. ප්‍රවෘත්ති කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක්. මේ ආයුධය භාවිත කිරීමේදී, අභියෝග රැසක් එන්න පුළුවන්. ඒවාට එඩිතරව මුහුණ දෙන්න ඕනැ. ප්‍රවීණයන්ගේ චරිත අධ්‍යයනය කරන්න ඕනැ. ඒත් අද තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. මාධ්‍යවේදියා සේවකයෙක් වෙලා. ක්ෂේත්‍රයට එන බොහෝ නවකයන් හොඳ හෝ නරක හෝ කුමන හෝ ක්‍රමයකින්, ඉතා කෙටි කාලයක් තුළ ඉහළට එන්නයි මාන බලන්නේ. කෙසේ වුවත්, නවකයන්ගේ මේ ආකල්පයත් වෙනස් වෙන්නම ඕනැ.
සංවාදය ක්‍රිසන්ති විතාරණ