මහාචාර්ය සිරි හෙට්ටිගේ
ශ්‍රී ලංකාවේ පවත්නා අර්බුද ගැන අපි කතා කරමින් සිටින්නේ වසර ගණනාවක සිටය. එවැනි තවත් එක් අර්බුදයක් ගැන කතා කරන්නට යාමෙන් සැලකිය යුතු පිරිසක් තුළ ඒ ගැන උනන්දුවක් හෝ මහජන අවධානයක් ඇතිවීමේ හැකියාවක් නැති තරම්ය. නමුත් අද අප මුහුණ දී සිටින අර්බුදය, හුදෙක් තවත් එක් එවැනි අර්බුදයක් පමණක්ම නොවේ. වර්තමානයේ අපි අත්දකිමින් සිටින අර්බුදය කෙතරම් සුවිශේෂී ද කියතොත්, එය නොසලකා සිටීම යනු අප විසින්ම අප භයානක උපද්‍රවයකට ලක්කර ගැනීමකි. එය දිගු කලක සිටම නොසලකා හරිනු ලැබූ ආර්ථික, දේශපාලනික හා සමාජීය ගැටලු මාලාවක් එහි උච්චස්ථානයට පත්වීමේ ප්‍රතිඵලයක් මිස අනෙකක් නොවේ. රට තුළ පැන නැඟෙමින් තිබෙන මෙම තත්ත්වයේ බැරෑරුම්කම හඳුනාගනිමින් එම අනපේක්ෂිත අර්බුදයෙන් ගොඩඒමට දැනට තිබෙන සියලු ආකාරයේ විධික්‍රම පුළුල්ව ගවේශනය කොට විසඳුම් සොයා නොගතහොත් රටක් වශයෙන් අපට විඳින්නට සිදුවන ප්‍රතිඵල අතිශය භයානක වනු ඇත.
දේශපාලනික නිදහස ලබා වසර හැත්තෑවකට වැඩි කාලයක් ගතව තිබුණ ද, වාර්ගික, ආගමික හා භාෂාමය වශයෙන් බෙදීම් අතික්‍රමණය කරමින් දේශපාලනික ලෙස සංසක්ත වූ ඒකීය ප්‍රජාවක් ලෙස නැඟී සිටීමට ජනතාව තවමත් සමත්වී නැත. මීට ප්‍රධානම හේතුව වන්නේ ගෙවී ගිය වසර හැට තුළ කරළියට බට පශ්චාත් නිදහස් රාජ්‍ය තන්ත්‍රයන් විසින් ජාතික මට්ටමේ එබඳු ඉලක්ක සපුරා ගැනීම සඳහා සුදුසු ජාතික ප්‍රතිපත්ති ක්‍රියාවට නොනැඟීමය. එහි ප්‍රතිඵලය වූයේ මුල්‍යමය හා මානව සම්පත් මහා පරිමාණයෙන් අකාලයේ නාස්ති වීමෙන් නොනැවති බහුතර රටවැසියන් රට හැරදා යන තත්ත්වයකට පෙළඹවූ, වරින්වර හටගන්නා අන්තර් සමාජීය ප්‍රචණ්ඩකාරී ගැටුම් හා අර්බුද සහිත වාතාවරණයක් රට තුළ නිර්මාණය වීමය. විරල සම්පත් අනවශ්‍ය ලෙස නාස්ති වීම නිසා දැරීමට සිදු වූ ආවස්ථික පිරිවැය ද අතිවිශාල බවට හොඳම සාක්ෂි ලෙස රටේ අධ්‍යාපනය, පොදු ප්‍රවාහන පහසුකම්, මහජන සෞඛ්‍ය සේවා හා සමාජීය ආරක්ෂාව වැනි සාමාජීය යටිතල පහසුකම්වල පවත්නා දුර්වල තත්ත්වය දැක්විය හැකිය.
කෘෂිකාර්මික හා කාර්මික සංවර්ධනය
ආර්ථික සංවර්ධනය පැත්තෙන් සැලකු කල, දිනෙන් දින නරක අතට හැරෙමින් පවත්නා අන්තර් ප්‍රජා සම්බන්ධතා හා ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ වුව ද සැලකිය යුතු මට්ටමේ කෘෂිකාර්මික හා කාර්මික සංවර්ධනයක් ඇති කිරීමට උරදුන් කෘෂිකාර්මික හා කාර්මික ප්‍රතිපත්තින් ක්‍රියාවට නැඟීමට, පනහ හා හැට දශකයන්හීදි බලයට පත් වූ ඇතැම් පශ්චාත් නිදහස් රාජ්‍ය තන්ත්‍රයන් සමත් වූහ. ශීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහණය හා වෙනත් කාරණා හමුවේ සිදු වූ ආර්ථික සංවර්ධනය ප්‍රමාණවත් නොවන පසුබිමක් තුළ 1970 වන විට පුළුල් ලෙස ව්‍යාප්ත වූ දරිද්‍රතාවය, විරැකියාව හා පාරිභෝගික භාණ්ඩවල හිඟයක් හටගත්තේ හැත්තෑව දශකයේ අගභාගය වන විට ආර්ථික ප්‍රතිපත්තිවල ස්වතන්ත්‍රකරණයක් අරමුණුකොටගත් රැඩිකල්වාදී වෙනසක් ඇති කිරීමට වාතාවරණයක් සකස් කරමිනි.
රජයේ පාලනය යටතේ තිබූ කර්මාන්ත හා වෙනත් ව්‍යාපාර රජයේ භාරකාරත්වයෙන් ගිලිහී යාම, විකාර්මිකරණයකට තුඩුදුන් සේම පුද්ගල ශ්‍රමය පිටරටවලට ඇදී යාම ග්‍රාමීය මට්ටමේ සුළු කර්මාන්ත හා කෘෂිකර්මාන්තය කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය. වාර්ගික හා භාෂාමය වශයෙන් බෙදුණු සමාජයක් තුළ එළැඹි දශක කිහිපයේදී ග්‍රාමීය හා නාගරික වශයෙන් පැවති විසමතා හා ආදායම් අසමානතා වඩාත් කැපී පෙනෙන්නට ගත් අතර, තව දුරටත් උද්ගත වෙමින් තිබූ එවැනි අසමානතාවන් දෙස බහුතරයක් බැලුම් හෙළුවේ බෙදුම්වාදී සමාජයක පිළිබිඹුවක් ලෙසය. 1983 දී දෙමළ ජාතිකයන්ට එරෙහිව හටගත් කැරලි කෝලාහලවලදී එවැනි අනවබෝධයන් පැහැදිලිවම ඉස්මතු වූ අතර, මෑතකාලීනව රටේ බොහෝ ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට එරෙහිව හටගත් ගැටුම්ද පන්නරය ලැබුවේ එබඳු මනෝභාවයන්ගෙනි.
මෑත කාලයේදී ශ්‍රී ලංකාව කලාපීය හා ගෝලීය භූ දේශපාලනික බලවේග වඩාත් සමීපාකාරයෙන් වැලඳගන්නා තුරු ඉහත සඳහන් කළ විකාශයන් ප්‍රධානකොටම ජාතික මට්ටමේ සංදර්භයකට පමණක් සීමාව තිබිණි. නමුත් වර්තමානය වන විට ඇමරිකා එක්සත් ජනපදයේ හා චීනයේ භූමිකා ගැන සඳහන් කිරීමකින් තොරව ශ්‍රී ලංකාව බිලිගෙන තිබෙන අර්බුදය ගැන කතාකිරීමට සිතීම පවා හිතළුවකි. මෙය සංකීර්ණ තත්ත්වයක් වුවද, පටු පෞද්ගලික ලාභ හා මතවාද මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් තොරව සිදුකරන ස්වාධීන සුපරික්ෂාකාරී විශ්ලේෂණයන්, රට මුහුණදී සිටින බැරෑරුම් තත්ත්වය වළක්වාලීමට රුකුලක් වන්නට තිබිණි. නමුත් අද වන විට රට භූ දේශපාලනික මඩ ගොහොරුවක ගිලී සිටින්නේ, සුපිරි ලෝක බලවතුන් දෙදෙනාගේ කඹ ඇදිල්ලට මැදිවය.
තිස් වසරක් රට පෙළූ වාර්ගික යුද්ධය 2009 වසරේ දී අවසන් වීමත් සමඟ පශ්චාත් යුද පාලන තන්ත්‍ර විසින් ජාතික මට්ටමේ සමඟි සන්ධාන හා කල්පවත්නා සමාජ හා ආර්ථිකමය සංවර්ධන ක්‍රියාවලියක් කෙරෙහි නැඹූරු වනු ඇතැයි බවට රට වැසියෝ බලාපොරොත්තු වූහ. නමුදු ජාතික සැලැසුම් සකස් කිරීමේ කවුන්සිලය වැනි පක්ෂග්‍රාහි නොවන ජාතික මට්ටමේ වෘත්තීය ඒකකයක් නොමැතිකමින් පශ්චාත් යුද යුගයේ සංවර්ධනය හා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාම තත්කාර්ය හා දේශපාලනික වාසිවලින් පොළඹවනු ලැබූවක් බවට පත්වූ බව නොරහසකි.
ණයට ගත් මුදල්වලින් කළ බහුතරයක් ආයෝජන රටේ සංවර්ධනයට හෝ සියල්ල ඇතුළත් අපක්ෂපාතී සංවර්ධනයක් සඳහා රට සතු ඵලදායී ශක්‍යතාවන්ගේ ප්‍රයෝජනය සඳහා හෝ කිසිදු දායකත්වයක් ලබා දුන්නේ නැත. කෘෂිකර්මාන්තය ද එක තැන පල්වෙමින් තිබෙන හෝ තව දුරටත් පිරිහී යන වාතාවරණයක දී වුව ද, ශ්‍රමකාර්ය මූලික කොටගත් කාර්මික සංවර්ධනයක ලකුණකුදු දක්නට තිබුණේ නැත.
එහි ප්‍රතිඵලයක් ලෙස ලාංකිකයන් බහුතරයක් රැකියා සොයා විදේශගත වෙද්දී රට මුහුණ දුන් වෙළෙඳ පරතරය අකාමකා දැකීමට පශ්චාත් යුද රාජ්‍ය පරිපාලනය ගත් පියවර, දේශීය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් යැයි කියමින් විදෙස් රටවල් කරා සිදුවන ශ්‍රම ගලනය වඩ වඩාත් උත්තේජනය කිරීමයි. යුද සමයේ රට රැක දුන් ‘රණවිරුවන්ගේ‘ තැන, පශ්චාත් යුද සමයේ දී රට රැක ගැනීමට විදෙස්ගත වන ‘රට විරුවන්ට‘ හිමි වුණේ එලෙසය. මේ අතරවාරයේ දේශීය ආර්ථිකය වඩ වඩාත් සේවා සපයන කර්මාන්තවලින් පොහොසත් වූයේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය තව දුරටත් පිරිහෙන්නට ඉඩ හරිමිනි.
ස්ථිරසාර මහජන ප්‍රතිපත්ති
යුද්ධය නිමවීමෙන් පසු ගෙවී ගිය දශකයේදී පාලනය සම්බන්ධයෙන් උද්ගත වූ බරපතළ මට්ටමේ අර්බුද ගැන පුළුල් අන්දමින් සාකච්ඡා කර ඇති නිසාත්, ඒවා තව දුරටත් කිසිවකුටවත් අලුත් දේවල් නොවන බැවිනුත් මෙහිලා යළිත් ඒ ගැන සඳහන් කිරීම අනවශ්‍යය. 2015දී රටේ පාලන තන්ත්‍රයේ සිදු වූ දැවැන්ත පෙරළියට පසුබිම සකස් වූයේ පාලනය සම්බන්ධයෙන් මතුව තිබූ එකී අර්බුද නිසාවෙන් බව පමණක් කීම ප්‍රමාණවත් වනු ඇත. කෙසේ වුවද 2015 වසරේ දී බලයට පත් වූ නව රජය ද පාලන ව්‍යුහය නවතාවයකට පත්කිරීම හා ස්ථීරසාර මහජන ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් රටවැසියන් තුළ වූ බලාපොරොත්තු සුන් කළ බව ද දැන් කිසිවකුටවත් රහසක් නොවන නිසා ඒ ගැන වැඩි දුරටත් අටුවාටීකා ලිවීම ද අවශ්‍ය නොවේ. 2015 මැතිවරණයෙන් මාස කිහිපයක් ගෙවී යන්නට මත්තෙන් රජයේ සන්ධානගත හවුල්කරුවන් අතර වු අසමඟිය හා ප්‍රතිපත්ති මත පදනම්වූ ගැටුම්කාරී තත්ත්වය සියල්ලන්ට ප්‍රත්‍යක්ෂ වන්නට පටන්ගත් අතර, පසුගිය සිව් වසර තුළ දී සිදු වූයේ රට එක් ආගාධයකින් තවත් ආගාධයකට ඇදවැටීමය.
සාමකාමී සහජීවනය
ඉහත පෙන්වාදුන් පසුබිම හමුවේ ගෙවීගිය වසර කිහිපය තුළදී පවත්නා රජය සංවර්ධනය හා වෙනත් අර්බුද විසඳීම අරමුණු කරගත් සංගත ජාතික ප්‍රතිපත්ති මාලාවක් පසුපස හඹායනු ඇතැයි බලාපොරොත්තුවීම යථාර්ථවාදී නැත. මේ නිසාම රටේ විවිධ ජනවාර්ගික හා ආගමික කොට්ඨාස අතර සාමකාමී සහජීවනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික මට්ටමින් පෘථුල සංහිඳියා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජය අසමත්වූ විට එය කාටවත් පුදුමයක් වුයේ නැත. විවිධ ජනවාර්ගික කොට්ඨාස අතර හටගෙන තිබෙන අසමඟිය යනු වියුක්ත අධ්‍යාපන ක්‍රමය, වර්ගවාදී දේශපාලනය, අවිචාරවත්බව, වෙනස්කොට සැලකීම හා තර්ජනාත්මක අනවබෝධය වැනි හේතු මාලාවක ප්‍රතිඵලයක් වන පසුබිමක් තුළ, සාමකාමී පැවැත්මක් තහවුරු කිරීම සඳහා ප්‍රචණ්ඩකාරී ක්‍රියා පාලනය කිරීමේ අරමුණින් දැඩි නීති ගෙන ඒම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත.
කවුරුත් හොඳින් දන්නා පරිදි වත්මන් රජයද ඇතුළුව පැවති රජයන්ද ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක් කිරීමට අපොහොසත් විය. මෑත කාලයේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාර හා ඊට සමගාමී සෙසු ප්‍රචණ්ඩකාරී සිදුවීම් දෙස ද අපි බැලිය යුත්තේ මෙවන් පසුබිමක හිදිමිනි. මෙවැනි මෑත කාලීන සිදුවීම් සම්බන්ධයෙන් රජයේ වගකිව යුත්තන් ක්‍රියාකර ඇති ආකාරය ද තත්ත්වය වඩාත් නරක අතට හැරීමට හේතුවක්ව තිබේ.
මනා අවබෝධයකින් හා සැලකිල්ලකින් යුතු ශික්ෂිත රටවැසියෝ ගෙවී ගිය දශක කිහිපය තුළ ඉහත කී පෙරළි සිදුවන අයුරු ඇසින් දුටුවෝය. විවිධාකාරයේ සංකල්පවේදී දෘෂ්ටීන් ගුරුකොටගත් පාලන තන්ත්‍ර හා ඒවායේ නායකයන් මෙබඳු විනාශවලදී මූලික වුවද කාලයක් රට ගිලගනිමින් තිබූ ව්‍යසනය වඩ වඩාත් නරක අතට හැරීම වැළැක්වීමට අසමත් විය.
ඒ ඇතැම් පාලකයන් වසර ගණනාවක් බලයේ සිටිය ද, පෙර සිදු වූ අතපසුවීම් හා වැරදීම්වලින් පාඩම් ඉගෙන ගැනීමට හා දිගු කාලීන අර්බුද විසඳාලීමට සුදුසු විකල්ප ප්‍රතිපත්ති හා උපාය මාර්ග ක්‍රියාවට නැඟීමට තරම් හැකියාවක් හා පරිණතබවක් ලබා ඇති සෙයක් පෙනෙන්නට නැත. මේ නිසාවෙන් රට වැටී සිටින උග්‍ර සාමාජීය, ආර්ථික, දේශපාලනික හා පාරිසරික පරිහානියෙන් මුදාගැනීම සඳහා වඩාත් ප්‍රගතිශීලි හා නවෝත්පාදන ප්‍රතිපත්ති මෙන්ම ඒවා ක්‍රියාවට නැඟීමට සමත් පිටකොන්දකින් යුතු නව දේශපාලන නායකයන් කණ්ඩායමකගේ අවශ්‍යතාව වැඩි වැඩියෙන් රට වැසියන්ට දැනෙන්නට පටන්ගෙන තිබේ. නමුත් රටේ බහුතර ඡන්ද දායකයන් පිරිස මැදිහත්ව, තම දරුවන්ගේ මෙන්ම, රටේ අනාගතය භාරගැනීමට සිටින තරුණ ප්‍රජාවගේ හෙට දවස මුහුණදී ඇති අවධානම වටහාගෙන රටේ පොදුජන කටයුතු සිදුවන ආකාරයේ විප්ලවීය වෙනසක් වෙනුවෙන් පෙරමුණ නොගතහොත්, සාමකාමී හා සෞභාග්‍යමත් හෙට දිනයක් වෙනුවෙන් කාගේ කාගේත් බලාපොරොත්තු සුන්වයාම නොවැළැක්විය හැකිවනු ඇත.
ප්‍රතිපත්තිමය විකල්ප
යම් හෙයකින් මෙම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවහොත් නා නා විධ ක්ෂේත්‍ර නියෝජනය කරන, විශේෂයෙන්ම සම්පත් දායකත්වයෙන් ඉහළ පුරවැසියන් විශාල පිරිසක් සදහටම රට හැරදා යනු ඇත්තේ, නිහඬව සියල්ල විඳදරා ගැනීමට හැර අන් කිසිවක් කරකියාගත නොහැකි අසරණ වින්දිතයින් පිරිසක් පමණක් රට තුළ ඉතිරි කරමිනි.
සාමකාමී, නිදහස්, සර්ව සාධාරණ, හා තිරසාර අනාගතයක සුරක්ෂිත හිමිකරුවන්වීමට නම් ලාංකිකයන් ලෙස අප සතු දේශපාලනික හා ප්‍රතිපත්තිමය විකල්ප දැන් ඉතාම පැහැදිලිය. එකී ඉලක්කයට ළඟා වීමට රටක් ජාතියක් ලෙස අප ගමන් කළ යුතු මාර්ගය, මෙවැනි විපතක මුව පිටටම අප රැගෙන ආ දෝෂ සහගත දේශපාලනික න්‍යාය ධර්ම හා ප්‍රතිපත්තිවලින් මුලුමනින්ම බැහැර වූවක් විය යුතුය.
ජාති හා ආගම්වාදී, දේශපාලනික අනුග්‍රාහකත්වය මත පදනම් වු බෙදුම්වාදී දේශපාලනික න්‍යායධර්ම වෙනුවට සියලුම වාර්ගික කොට්ඨාස ආවරණය කෙරෙන ජාතික මට්ටමේ දේශපාලනික ක්‍රමවේදයක් ස්ථාපිත කරන අතර, අසමඟිය, තරගකාරීත්වය, හා වාර්ගික එදිරිවාදිකම්වලට උල්පන්දම් දෙන ආකාරයේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනුවට, රට වැසියන් අතර ඒකීයත්වය, ඒකාග්‍රතාව, සාමුහිකත්වය, සමානාත්මතාව, හා එකඟතාව වැනි සහජීවනශීලී හැඟීම් දනවන ආකාරයේ සුපැහැදිලි ප්‍රතිපත්ති ප්‍රතිස්ථාපනය විය යුතුය.
සෙසු සියලුම ප්‍රතිපත්ති ද ඉහත කී කාරණාවන්ට උරදෙන ආකාරයේ කොන්දේසි නිර්මාණය කරනවාට අමතරව පාරිසරික හා සමාජීය විධිවිධානයන්ට අනුකූල අපක්ෂපාතී, තිරසාර, හරිත සංවර්ධනයද ප්‍රවර්ධනය කෙරෙන ආකාරයෙන් සකස් වීම අත්‍යවශ්‍යය.
(කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිරි හෙට්ටිගේ විසින් 31/05/2019 වන දින ඩේලි නිව්ස් පුවත්පතේ පළකර තිබූ “ Sri Lanka’s unprecedented Socio-Political crisis “ නැමැති ලිපිය ඇසුරිනි)
පරිවර්තනය - රුක්ලන්ති පෙරේරා