මුස්ලිම් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟ මෙරට දේශපාලන කතාබහ නව මානයකට පිවිසී තිබේ. ඒ අතර ආණ්ඩුවට එරෙහිව ජවිපෙ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගය විවාදයට ද දින නියමවී ඇත. රට තුළ උපවාස සහ විරෝධතා රැල්ලක් ද පවතී. මෙකී තත්ත්වය තුළ ආණ්ඩුවේත් රටේත් අනාගතය කෙසේවේද යන්න පිළිබඳ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මෙසේ අදහස් දක්වයි.
* ජනපති අගමැති විපක්ෂය එක්නොවී ජාතික ප්‍රශ්නය විසඳන්න බැහැ
* සන්සුන් වුණු රට කිසියම් පිරිසක් ජාතිවාදයට තල්ලු කළා
* සිවිල් සමාජය පූජ්‍ය පක්ෂය නඩු අහන්න අරන්
* ආණ්ඩුව වැටෙන්නේ නැහැ බයවෙන්න එපා
* විශ්වාසභංගය ප්‍රශ්නයක් නෙමෙයි
* එජාපයේ කිසිම අර්බුදයක් නැහැ
අප්‍රේල් 21ට පස්සේ රටේ ජන ජීවිතය සම්පූර්ණ කඩාවැටීමකට ලක්වූ බවට නැඟෙන චෝදනා ගැන ඔබ මොකද කියන්නෙ?
පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ ජන ජීවිතය තැතිගැන්මකට ලක්වුණා. විශේෂයෙන් මේ ප්‍රහාරයෙන් කතෝලික ජනතාව වැඩි පිරිසක් මියගියා. සමස්තයක් හැටියට රටේ අනෙකුත් ජනතාවටත් මේ ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වුණා. ආණ්ඩුවක් හැටියට අපි මේ තත්ත්වය පිළිගන්න අවශ්‍යයි.
ආණ්ඩුව ඒ තත්ත්වය පිළිගත්තත්, ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත්කරන්න අපොහොසත් වෙලා නේද?
ප්‍රහාරවලට සම්බන්ධ ප්‍රධාන ත්‍රස්තවාදීන් සියලුදෙනාම දින කිහිපයක් යනකොට අඳුනගන්න හැකි වුණා. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. ප්‍රධාන ත්‍රස්තවාදීන්ට උදව් කරපු, සබඳතා පවත්වපු සියලු දෙනාවම අත්අඩංගුවට ගත්තා. ත්‍රස්ත ප්‍රහාරයට සති තුනක් ගතවෙනකොට රට සාමාන්‍ය තත්ත්වයට පත්වුණා. යම් පිරිසක් එහෙම තිබුණු රට ජාතිවාදී ගැටුම්වලට තල්ලු කළා. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ඒක වර්ධනය වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ජාතිවාදී ආකාරයට ජනතාව එකතුකරන්න විවිධ පිරිස් උත්සාහ කරනවා. ඒක රටට හොඳ දෙයක් නෙවෙයි.
ආණ්ඩුව දෙන විසඳුම ජනතාව පිළිගන්න කැමති නැහැ. ආණ්ඩුවෙ විවිධ දුර්වලතා මේ තත්ත්වයට හේතුවෙලා නේද?
ජනාධිපතිතුමත්, අගමැතිතුමා ඇතුළු අනෙකුත් කණ්ඩායමත්, විරසකයක සිටීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක්. ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය දුරුවෙලා. ජනාධිපතිතුමත්, ආණ්ඩුවත්, විපක්ෂයත් මේ ජාතික ප්‍රශ්නය විසඳන්න එකතු විය යුතුයි.
ඔබ එහෙම යෝජනා කළත් පසුගියදා ආණ්ඩුවෙම මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වුණා නේද?
මුස්ලිම් ඇමැතිවරයකුත් ආණ්ඩුකාරවරු දෙන්නෙකුත් සම්බන්ධව චෝදනා එල්ල වුණා. ඒ චෝදනා සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙනවා. ඒත් තවම ඔප්පුවෙලා නැහැ. එහෙම වෙලාවක මාධ්‍යවලින්, ඔවුන්ව වැරදිකරුවො කළා. මේ අර්බුදය වෙනත් දිශාවකට ගමන් කරමින් තිබුණා. මුස්ලිම් ජන සමාජය රටේ අනෙකුත් ජනතාවගෙන් කොන් කිරීමේ වැඩපිළිවෙළක් දියත් වුණා. මේ තත්ත්වය විශාල ජනවාර්ගික ගැටලුවක් බවට පත්වෙයි කියන බිය නිසා මුස්ලිම් ජනතාවගෙන් මේ ඇමතිවරුන්ට යම් බලපෑමක් එල්ල වුණා. ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වෙලා නැහැ. ඇමැති ධුරවලින් විතරයි ඉවත් වුණේ.
අන්තවාදයට යටවෙලා මුස්ලිම් ඇමතිවරු තනතුරු අතහරිනකන් ආණ්ඩුව නිහඬව හිටිය කියලද ඔබ කියන්නෙ?
ආණ්ඩුව ඇතුළෙ මේ ගැන අවස්ථා ගණනාවකදීම කතා කළා. ආණ්ඩුකාරවරු දෙන්නව පත්කළේ ජනාධිපතිතුමා. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා නීත්‍යානුකූලව වැරදි කරුවෙක් වෙනකන් ඔහුගෙ පැත්තෙ සිටිය යුතුයි කියන ස්ථාවරයෙ අපි හිටියා. මුස්ලම් ජන සමාජය විශාල පීඩනයකට පත්වෙලා. ඒ පීඩනය නිසා තමයි ඔවුන් මෙවැනි තීරණයක් ගන්න ඇත්තෙ. මුස්ලිම් දේශපාලනඥයන් සම්බන්ධව තියෙන චෝදනා සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තෙක් ඔවුන් දරන තනතුරුවලින් ඉවත්වීමක් තමයි වුණේ. ඒක සාමූහික තීන්දුවක්.
ඔවුන් කියන්නෙ මාසයක් ඇතුළත සියලු පරීක්ෂණ අවසන් කරන්න කියලයි? මේ අභියෝගය ආණ්ඩුව භාරගන්නවද?
පරීක්ෂණවලට අදාළ ආයතන රැසක් තියෙන්නෙ. ජනාධිපති යටතෙ. ජනාධිපතිතුමත් එක්ක යම් අවබෝධතාවකින් කටයුතු කරන්න ඕන.මුස්ලිම් ජන සමාජය අන්තවාදයට තල්ලු කරන්න අපි සූදානම් නැහැ. ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ ඉතා සුළුතරයක්, බහුතර මුස්ලිම් ජන සමාජය මේ ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කළා. ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න, ඔවුන් ගැන තොරතුරු දෙන්න මුස්ලිම් ජන සමාජයෙන් විශාල සහායක් ලැබුණා. ත්‍රස්තවාදීන් ළඟට ඔවුන්ව තල්ලු කරනවද කියල අපි කල්පනා කළ යුතුයි.
මේ සිද්ධි සම්බන්ධයෙන් ආණ්ඩුව කරන පරීක්ෂණ ගැන සැක බවයි සමහරු කියන්නෙ. කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දාපු කමිටුවට සාක්ෂි දෙන්න නොපැමිණෙන තත්ත්වයකුත් උදාවුණා.?
කාටහරි චෝදනාවක් එල්ල වුණාම දැන් නඩුව අහන්නෙ මාධ්‍යයෙන්. එහෙම නැත්නම්, සිවිල් සමාජය, පූජක පක්ෂය, දේශපාලකයො, මේ අය නඩුකාරයන් බවට පත්වෙලා. මේක ඉතාම අවාසානවන්ත තත්ත්වයක්. නිවැරදි පරීක්ෂණ කරන්න ආයතන තියෙනවා. ඇමැතිවරයා පත්කරපු කමිටුව ගැන විශ්වාසයක් නැත්නම්, වෛද්‍ය සභාව තියෙනවා. ජී.එම්.ඕ. එක තියෙනවා. මේ හරහා සත්‍ය අසත්‍යතාව හොයාගන්න අවශ්‍යයි.මේව ප්‍රමාද කිරීම මුස්ලිම් වෘත්තිකයන්ට කරන විශාල අසාධාරණයක්. වැරදිකරුවෙක් නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වැරදි නැත්නම් ඔහුව නිදහස් කළ යුතුයි. දේශපාලන න්‍යායපත්‍ර මේව පිටුපස තියෙවා. මේ දේශපාලන න්‍යායපත්‍ර නිසා රට අවාසනාවන්ත තැනකට තල්ලු වෙනවා. ඒ තත්ත්වය නැතිකරන්න අවශ්‍යයි.
ආණ්ඩුව 2015 බලයට එන්නෙ හොරු අල්ලනවා, මිනීමරුවො අල්ලනව කියලයි. අල්ලපු හොරෙකුත් නැහැ. මිනීමරුවොත් නැහැ. පරීක්ෂණත් නැහැ. වර්තමාන පරීක්ෂණ ගැනත් ජනතාව බලන්නෙ ඒ දෘෂ්ටි කෝණයෙන් නේද?
වැරදිකරුවන්ට දඬුවම් කිරීම කාරණය අපෙ අතින් අතපසු වුණා. පරීක්ෂණවලට ප්‍රමාදතා ඇති වුණා. ඒකට නොයෙක් කාරණා බලපෑවා. ජාතික ආණ්ඩු යාන්ත්‍රණයෙ තිබුණු දුර්වලතා ප්‍රධානයි. ඒ නිසා ජනතාව තුළ පවතින සැකය එක පැත්තකින් සාධාරණයි.
කොහොම වුණත් මේ හොරු ඔක්කොම අද ජාතිවාදයට මුවාවෙලා තමන් නිවැරදිකරුවන් පිරිසුදු දේශපාලකයන් හැටියට සමාජගතවෙන්න උත්සාහ කරනවා. ඒක තමයි අවාසනාව. පහුගිය කාලෙ මහදවල් හොරකම් කරපු හොරු සුදුපිරුවට ඇඳගෙන රතන හාමුදුරුවන්ගෙ උපවාසෙ ළඟ හිටියා. ගෞරවනීය සංඝරත්නයට මුවාවෙලා ජාතික වීරයො වෙන්න හදනවා. හොරුන්ට මිනීමරුවන්ට එරෙහිව කටයුතු කරන්න බැරිවෙච්ච එකට රජය වගකිවයුතුයි.
ඒ වගකීම ඔබටත් තියෙනවා?
ඔව්, සාමූහික වගකීම තියෙනවා.
ඒ වගකීම ඉෂ්ට කරන්න ආණ්ඩුව හැටියට මොනවගේ පියවරද අරන් තියෙන්නෙ?
ත්‍රිපුද්ගල විශේෂ විනිශ්චය සභා ඇතිකරල අධිකරණ කටයුතු වේගවත් කරන්න කටයුතු කරල තියෙනවා. ඒව දේශපාලකයන්ට අවශ්‍ය විදියට කරන්න බැහැ. නීති යාන්ත්‍රණයකට අනුවයි ක්‍රියාත්මක වෙන්නෙ. ප්‍රමාද වෙලා හරි වැරදිකරුවන්ට දඬුවම් කරන්න අවශ්‍ය කටයුතු සිදුවෙනවා.
ත්‍රස්තවාදීන් නොවන මුස්ලිම් ප්‍රජාවට ඇතිවන දුෂ්කරතාවන්ට, ආණ්ඩුව පිළිතුරුදී නැහැ කියලත් කියනවා?
ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සෙ වැඩිම බලපෑම එල්ල වෙලා තියෙන්නෙ මුස්ලිම් ප්‍රජාවට. රෝහලට ගියත්, රජයෙ ආයතනයකට ගියත් ඔවුන්ව දකින්නෙ ත්‍රස්තවාදීන් විදිහට, ඔවුන් මේ සමාජයෙන් කොන්වෙලා. මේක ඔවුන්ට විශාල පීඩාවක්. සියයට දශම ගණනක් කරපු වැරදිවලට සමස්ත සමාජය ගැනම වැරදි විදිහට බලනවා. දේශපාලකයන් මේ වෙලාවෙ තමන්ගෙ පටු අරමුණු වෙනුවෙන් කටයුතු නොකර රටක් විදියට හිතුවොත් මේ තත්ත්වය නිවැරදි කරගන්න පුළුවන්. සමහර දේශපාලකයන් තමන්ගෙ පටු අරමුණු වෙනුවෙන් වෛරය වපුරනවා.
රට තුළ අනවශ්‍ය කැලඹිලි ඇතිවෙනවා. ආණ්ඩුව ඒ සම්බන්ධව මුනිවත රකිනවා. ආණ්ඩුව විසඳුම් ගේන්නෙ කැලඹීමෙන් පස්සෙ. අද ඇතිවෙන විරෝධතාවලට මේ තත්ත්වය හේතුවක් නේද?
මීට වඩා බරපතළ තත්ත්වයක් ඇතිවෙන්න ඉඩ තිබුණා. ආරක්ෂක අංශ, පොලිසිය ක්‍රියාකරපු ආකාරය නිසා මේ ප්‍රහාර නැවතුණා. එතනින් පස්සෙ මාධ්‍ය හැසිරීමත්, සමහර දේශපාලකයන් කටයුතු කරන ආකාරයත් ගැටලුවක්. ජනතාව පෙළගස්වන්න යන වැඩපිළවෙළ වළක්වගන්න අපිට බැරිවීම ගැන අපි කනගාටුවෙනවා.
පාස්කු ප්‍රහාරයට ලක්වෙච්ච කතෝලික ප්‍රජාවට සාධාරණයක් ඉටුනොවුණු බවටත් චෝදනා එල්ල වෙනවා?
ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයට, තුවාල ලැබූ අයට, ඔවුන්ගෙ පවුල්වලට වෙච්ච පාඩුවට වේදනාවන්ට, සාධාරණයක් දෙන්න කාටවත් බැහැ. ආණ්ඩුවක් හැටියට ඒ පවුල්වලට යම් වන්දි මුදලක් දෙන්න විනාශ වෙච්ච දේවස්ථාන පිළිසකර කරන්න අපි කටයුතු කළා. කොහොම වුණත් මේ වෙච්ච පාඩුව මකන්න බැහැ.
රටේ පවතින දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන්, ආණ්ඩුව බිඳවැටීමේ අවදානමක් තියෙන බවයි කියන්නෙ?
මේ ආණ්ඩුව ඉතාම පැහැදිලිව ශක්තිමත්ව වැඩ කරනවා. ආණ්ඩුවෙ බිඳවැටීමක් නැහැ. ජනාධිපතිවරණය මේ අවුරුද්දෙ තියෙනවා. ලබන අවුරුද්දෙ මහ මැතිවරණය එනවා. මුස්ලිම් ඇමැතිවරු අයින්වීමත් එක්ක සමහරු හිතන්නෙ ආණ්ඩුව ඉවරයි කියල. එහෙම වෙන්නෙ නැහැ. ඔවුන් ආණ්ඩුවෙන් අයින්වුණේ නැහැ. පරීක්ෂණවලට සහාය දෙන්න ඔවුන් ඇමැතිකම්වලින් තාවකාලිකව ඉවත්වුණා.
පාස්කු ප්‍රහාරයත් එක්ක එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර දෙදරීමක් ඇති බවටත් කරුණු වාර්තා වුණා.
කිසිම අභ්‍යන්තර අර්බුදයක් බෙදීමක් නැහැ. ඉදිරි ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කළ යුතුයි කියන මතයෙ අ පි හැමෝම ඉන්නවා. ඒ වෙනුවෙන් අපි නිවැරදි තීන්දු තීරණ ගන්න ඕන.
ඒකාබද්ධ විපක්ෂය මේ ආණ්ඩුව ඉල්ලා අස්වනතුරු ඔවුන් පාර්ලිමේන්තුව තුළත් ඉන්පිටතදීත් විරෝධතා පවත්වන බව කියනවා. ඒ සමඟම ජ.වි.පෙ. ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයකුත් ගෙනවිත් තියෙනවා?
විශ්වාසභංගය ජයග්‍රහණය කරන එක ආණ්ඩුවට ප්‍රශ්නයක් නෙවෙයි, අපි ඒක කොහොමත් දිනනවා. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් විපක්ෂය වැඩ කරනවා. දින 52 කුමන්ත්‍රණය ඒකට හොඳම උදාහරණය. ඒකෙන් විපක්ෂය පරාද වුණා. ඒ පරාජයෙන් වෙච්ච හානිය අද ජාතිවාදය අවුස්සල නැතිකරගන්න හදනවා. විපක්ෂය කරන වැඩ ගැන බහුතර ජනතාව හොඳ අවබෝධයකින් ඉන්නවා.
ඡායා-රොෂාන් පිටිපන