ආචාර්ය සුනිල් රණසිංහ (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)
නූතන මානවයාගේ හැසිරීම. නොනිත් ආශාවන් හා අභිලාෂ ගැන අවධානය යොමු කිරීමේ දී එකවර විමතියක් මෙන් ම දැඩි කම්පනයක් ද ඇති වෙයි. මානවයාගේ වත්මන් අධි ක්‍රියාකාරිත්වය අනුව හෙතෙම තම වර්ගයා මෙන් ම අනෙක් සියලු සත්ත්ව විශේෂ ද ව්‍යසනයකට ඇද දමන න්‍යෂ්ටික බෝම්බ හා විස රසායන රැස්කර අවසන්ය. එක් තැනක වාර්ගික හෝ ආගමික නො පෑහීම්ය. තවත් තැනක යුදකාමීන්ගේ භූ දේශපාලනික ආක්‍රමණයන්ය. තවත් තැනක බල දේශපාලනයේ නොපනත්කම්ය. නූතන ගෝලීය පාදඩ පාලක පංතිය වෙළෙඳ පොළ ලාභය හා භූ දේශපාලනික අවශ්‍යතා සඳහා දස දහස් සංඛ්‍යාත අහිංසක ජනතාවක් සමූල ඝාතනය කිරීමට සැ දී පැහැ දී සිටියි. එමෙන් ම එම සාපරාධි ක්‍රියාව සාධාරණීයකරණය කිරීමේ හේතු තර්ක ඉදිරිපත් කරන අන්තර්ජාතික ආයතන, කූඨ බුද්ධිමතුන් හා ආගමික ඉන්ද්‍රජාලකයන් නිර්මාණය වී තිබීම අදහාගත නො හැකි තරම් විස්මිතය.
තෝරාගැනීමේ නොහැකියාව
තමන්ට අවශ්‍ය දෑ තෝරා ගැනීමට බුද්ධියක් නොමැති එක ම සත්ත්වයා මානවයාය. පා පතුල් සිට හිස මුදුන දක්වා ද ගේ දොර අවශ්‍ය දෑ තෝරා දීමට බුද්ධිමතුන් ලෙස වෙස්වලා ගත් කූඨ වෙළෙඳ නියෝජිතයෝ ද, වංචනික වෙළෙඳ මාධ්‍ය ද මානව වාසස්ථානවල ආලින්දයේ (TV) නිරතුරු ව අවදියෙන් සිටිති. ඔවුන්ගේ උපතේ සිට මරණය දක්වා, මරණයෙන් පසු ඉතා ඉක්මනින් ම ජීවත්වනවුන්ට මළගිය ඇත්තන් අමතක වන තෙක් ම සියල්ල තෝරාදීමට ගැලවුම්කරුවෝ සැ දී පැහැ දී සිටිති. උසස් සතුන් එසේ නො වෙයි. තමන්ට අවශ්‍ය දෑ පමණක් තොරාගැනීමේ හැකියාව ඔවුන් කුඩා කළ සිට ම ප්‍රගුණ කරන්නේ ස්වභාවික ශික්ෂණයක් වශයෙනි. ඇනුම්පද කියමින් පළිගැනීමට අවස්ථාව එනතෙක් මාන බලමින් සිටින්නේ මානවයාය. උසස් සත්ත්ව විශේෂ තුළ පළිගැනීමේ චේතනාවක් නැත . උසස් සත්ත්වයන් තම ප්‍රතිවාදියාට එරෙහි ව ද්වන්ධ සටන් සඳහා පෞද්ගලිකව ම පෙළඹේ. සත්ත්වයන් හා මානවයා අතර වෙනස නම් අනෙකාට එරෙහි ව සාමූහික ව යුද්ධයට පෙළඹීම හා සමූල ඝාතනයයි. දස දහස් ගණනකගේ රුධිරය දැක සතුටට පත් වන, ප්‍රීති ඝෝෂා නගන, එම ප්‍රචණ්ඩත්වය උත්සවශ්‍රීයෙන් සමරන, පරාජිතයාගේ ස්ත්‍රීන් පැහැර ගෙන දුෂණය කරන, ඔවුන්ට අයත් වස්තූන් මංකොල්ලකන, අත්පත්කර ගත් භූමියේ තම ආගමික සංකේත බලහත්කාරයෙන් වපුරන එක ම ජීවියා මානවයාය. එහෙයින් සත්ත්ව විශේෂ අතර ප්‍රචණ්ඩ හා කෲරතම සත්ත්වයා මානවයාය.
‘’මානවයා දේශපාලන සත්ත්වයෙකැ’’යි ග්‍රීක දාර්ශනික ප්ලේටෝ වරක් ප්‍රකාශ කළේ වැරදීමකින් නොවේ. මවගේ ගර්භාෂයේ සිට පොළෝ ගැබ තුළ මිහිදන්වන තෙක් හෙතෙම දේශපාලන බලයට යටහත්ය. එහෙයන් මානවයාට අනෙක් සතුන්ට මෙන් නිදහස් පැවැත්මක් නැත . මානවයා බල දේශපාලනික සීමා මායිම් තුළ ජීවිතාන්තය දක්වා වධබන්ධනයන්ට ගොදුරු වූ දේශපාලන සිරකරුවෙකි. පාදඩ දේශපාලකයන්ගේ අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකි. මෙම සිරකාර මානසිකත්වය නිසා නිදහසේ සැරිසරන කුරුල්ලන්, මත්ෂ්‍යයන් හා වෙනත් සිවුපාවුන් අල්ලා කූඩුගතකර හෙතෙම සතුටට පත් වන්නේ මානසික ව්‍යාධියෙනි. ඔහු ම සදා ගත් රාජ්‍යයක හා වාසස්ථානයක සිරකරුවෙක් වග හෙතෙම නො දනියි.
බලය ඉදිරියේ තම වර්ගයා වහලකුබවට පත් කරන එක ම සත්ත්වයා මානවයාය. බෙලහීනයා හෝ පරාජිතයා බලය ඇත්තන් ඉදිරියේ මානසික ව හෝ කායික ව වහලකු වේ. අපේ යුගයේ මානවයා වැටුප සඳහා රජයේ හෝ වෙනත් ස්වාමියකුගේ වහලෙකි. මානවයා ආගමික වහලෙකි. බල දේශපාලනික වහලෙකි. වර්තමානයේ පරිභෝජන මතවාදයේ වහලෙකි. උසස් සත්ත්වයන් තමාගේ ක්‍රියාකාරකම්වල යෙදෙමින් කිසිවකුගේ වහලකු නොවී තම පැවැත්ම සහතික කර ගනී. සියලු සත්ත්ව ජීවින් අතරින් බල දේශපාලනය හෝ ආගමික මායාජාල හමුවේ දණ්ඩ නමස්කාරය කරන එක ම දුර්වල සත්ත්වයා මානවයාය.
ආගමික සත්ත්වයකු වූ මානවයා හැර අනෙක් සියලු ජීවීහු තමා අවට පරිසරය හා ජීවිතය වින්දනය කරමින් සතුටින් කල් ගෙවන්නේ පැවැත්ම පිළිබඳ යථා අවබෝධයෙනි. මානවයාගේ පටු ආගමික දැක්මට අනුව අනෙක් සියලු සත්ත්වයෝ අතීත පාපය නිසා ඒ ඒ ආත්මවල අයාලේ සැරිසරන බැවින් ඔවුන් එම දුක්ඛදායක දිවියෙන් ගලවා ගත යුතුය. නැතිනම් තව එකකුගේ දැක්මට අනුව ඔවුන් මානවයාගේ ප්‍රයෝජනය උදෙසා සර්වබලධාරී දෙවියන්ගේ නිර්මාණයකි. එහෙත් මානවයා තමාට ගැලවීමේ මගක් නොමැති ව අන් සරණ පතා හිස හැරුණ අත දුවන්නේ උමතුවෙනි. තමා මෙන් ම රෝග ව්‍යාධි හා වධබන්ධනවලට ගොදුරුව මියැදුණ මළවුන්ගෙන් පිහිට පතන්නේ ප්‍රඥාව නොමැති හෙයිනි. තම දු දරුවන් පරම්පරාවෙන් පරම්පරාවට එම මායා ජාල තුළ ගාල් කර අඳුරේ හෙළන්නේ ජීවිතය ගැන අනවබෝධයෙනි. අනෙක් ජීවීහු එසේ නොවෙති. ඔවූන් අස්වාභාවික දේ දේශනා කරන පරපෝෂිතයන්ට හා ඉන්ද්‍රජාලකයන්ට සවන් නො දෙන්නේ යථා අවබෝධයෙනි. එහෙයින් මානවයා අනෙක් සත්ත්ව කොට්ඨාස මෙන් ජීවිතය ගැන යථා අවබෝධයෙන් පසු නොවේ.
ජීවිතය හා මරණය පිළිබඳ නිරතුරු ව දැඩි බියකින් පසුවන එක ම ජීවියා මානවයාය. ඔහුට ජීවිතය දුකකි. ඉපැදීම දුකකි. ඔහු තමන් කිසි දිනක නොදුටු අයකුගේ මනාපය පරිදි හෝ කර්මය, පාපය නිසා මහපොළවට සංක්‍රමණය වී ඇත. ඔහුට කිසිවක් වටහාගත නො හැක. ජිවිතය දුකකැයි මෙනෙහි කරන හෙතෙම ඉන් මිදීමට වඩා නැවත නැවත සංසාර චක්‍රයේ සැරි සැරීමට ප්‍රියමනාප වෙයි. කිසිවක් අතහැර දැමීමට ඔහු අසමත්ය. අනෙක් ජීවීන්ට පැවැත්ම දුකක් නොවේ. මක්නිසාදයත් සත්ත්ව සමාජයේ ජීවිතය හා මරණය අතර මැදිහත්කරුවන් වූ ආගමික ඉන්ද්‍රජාලකයන් හෝ මායා මන්දිර නොමැත. ව්‍යාජ ආගමික සංකල්ප ලේඛන ගත කළ පෙළ පොත් නොමැත. එහෙයින් ආගමික මායාජාල හා සියලු දෙවි දේවතාවන් මානවයාගේ ම පහත් නිර්මාණ බව අප අමතක නො කළ යුතුය.
සත්ත්ව විශේෂ අතරින් ආගමික සත්ත්වයා මානවයා පමණි. මහපොළව මත මානවයා නිර්මාණය කළ ආගම් දස දහසක් පමණ වේ. තමාට මෙන් ම අසල්වැසියාට හා සියලු සතුන්ට ප්‍රේමය, කරුණාව, මෛත්‍රිය කරමින් තම අදහසට එකඟ නොවේ නම් අනෙකාට එරෙහි ව ප්‍රචණ්ඩකාරී සටනට එළඹෙන එක ම සත්ත්වයා මානවයාය. ඔහු ලොව පුරා සැරිසරමින් අනෙක් මානවයන් හා සත්ත්ව විශේෂ ඝාතනය කරමින් සොහොන්පිටි ඉදි කොට, තම අසල්වැසියා සමාදානයේ සැතපීම හෝ නිවන් දැකීම ප්‍රාර්ථනය කරන්නේ වංචනිකවය.
ජීවත්වන්නවුන් පමණක් නොව මිහිදන්වූවන් ද ආගමික සංකේත යටතේ බෙදා වෙන් කොට, පාංශූ කුලයට (මහපොළවට) කාබනික ව ජීරණය කරගත නො හැකි සේ බාධා පමුණුවන එක ම සත්ත්වයා මානවයාය. උසස් සත්ත්වයන්ට ආගමක් නැත . එහෙයින් ඔවූහු කිසිදු ආගමික මැදිහත්කරුවකුගේ විධානයෙන්, පව් සමාකිරීමෙන්, බණ භාවනාවෙන් තොර ව සොබාදහමේ ධර්මතාවට අනුව සමාදානයේ සැතපෙති. නැවත නැවත මානවයා මෙන් සංසාර චක්‍රයේ නූපදිති. සංසාරය යනු මෙම ජීවිතය තුළ අනෙකාට හා සොබාදහමට හිරිහැරයක් නොවන සේ නිදහසේ සැරිසැරීමයි.
සියලු දරුවන් ගතානුගතික වහල්භාවය වන පොත් කරන පාසල නමැති වධක භූමිවලට ගාල් කොට නිදහස් දැක්ම හා ස්වශක්තිය කප්පාදු කර දමන්නේ මානව සමාජයේය. ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමවේද යනු අනෙකා මංකොල්ල කෑම හා සොබාදහම බලහත්කාරයෙන් වෙනස් කිරීමේ උපාය මාර්ග හැදෑරීමයි. සත්ත්ව සමාජයේ ඒ ඒ ජීව විශේෂයට අයත් පැටවුන්ට තම පැවැත්ම සඳහා මව්පියන් හෝ කණ්ඩායම තුළම අඛණ්ඩ ව ඉගැන්වීම් සඳහා පාසල් පැවැත්වේ. එහෙත් එම ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පිළුණු වූ පෙළපොත්, අපරාධකරුවන් රඳවා තබන සිරමැදිරි වන් පංති කාමර, ගතානුගතික ගුරුවරුන් නොමැත. ඔවුන්ගේ පාසල සොබාදහමයි. පරිසරය තම කෑදර වුවමනා වෙනුවෙන් විග්‍රහ කොට බල දේශපාලනික ආශ්චර්යයන් සඳහා බලහත්කාරයෙන් වෙනස් කිරීමට වෙහෙස දරන්නා මානවයාය. අනෙක් සත්ත්ව ජීවීහු වෙනස්වන සොබාදහමට අනුව අනුවර්තනය වෙති .
සත්ත්ව විශේෂ අතර එක ම දේශහිතෛශියා මානවයාය. අනෙක් සියලු සතුන් දේශ සීමා රහිත ජීවියෝය. මානවයා තම වාර්ගික හා ආගමික ධජ හා මතවාද යටතේ අනුගාමිකයන් බෙදා වෙන් කරන්නේ අමානුෂිකවය. එතැන ව්‍යාජ දේශහිතෛශියා බෙදුම්වාදියෙකි. මහපොළවේ සීමා මාලක ලකුණු කොට මතෘභූමිය පීතෘභූමිය වෙනුවෙන් වහසි බස් දොඩා අනුගාමිකයා ප්‍රචණ්ඩත්වය උදෙසා පොළඹවන්නේ නම් හෙතෙම අන්තවාදියෙකි. වෙනස්කම් සහිත අනෙක් ජාතීන් සතුරකු ලෙස සලකා පහත් කොට සලකන්නේ නම් ඔහු අවමානුෂික වර්ගවාදියෙකි. එකෙක් අනෙකාට එරෙහි ව වහා ඇවිලෙන වර්ගවාදී ගිනි කඳු මත ගොඩ ගසන්නේ නම් ප්‍රඡුණ්ඩ සත්ත්වයෙකි. අනෙක් සත්ත්ව විශේෂ හා මානව වර්ග නිදහසේ ජීවත් වන භූමිය ආයුධ සන්නද්ධ ව මංකොල්ල කා අත්පත් කර ගෙන තම දෑතේ රුධිරය ආගමික ව සෝදා අන්තර්ජාතික සහෝදරත්වය ගැන වාචාල බස් දොඩවන්නේ උමතුවෙනි. මේ සියල්ල පහත් සත්ත්ව ක්‍රියාකාරිත්වයන් මිස උසස් ජීවීන්ගේ හැසිරීම් රටා නොවේ. පෘථිවිය මත වෙසෙන මිලියන සංඛ්‍යාත සත්ත්ව විශේෂ අතර දරුණු ම ත්‍රස්තවාදියා මානවයාය. මංකොල්ලකරුවන් අතර අකාරුණික මංපහරන්නා මානවයාය. ඝාතකයන් අතර කෲරතම ඝාතකයා මානවයාය. දුෂකයන් අතර නො හික්මුණ දුෂකයා මානවයාය.
ඕපදූප මත යැපෙන්නා
සමස්ත ජීවිතය ම ඕපදුප මත පමණක් යැපෙන එක ම ජීවියා මානවයාය. ඒ සඳහා ඔහු විද්යුත් හා මුද්‍රත යැයි කොටස් දෙකක් බෙදා වෙන් කර ඇත. රාජ්‍ය හා පෞද්ගලික ආයතන නිර්මාණය කර පැය විසි හතර පුරා ඕපාදුප ප්‍රචාරණය කරයි. මානව ජීවිතයේ දැනුම ඒ ඕපදුප මත තීරණය වෙයි. ඇතැම්විට ඕපදූපයෙන් තොර ජීවිතයක් ගැන සිතීම පවා අපහසුය.
මානවයාට සියල්ල සනාථ කිරීමට හේතු තර්ක ඇත. එහෙත් මානවයා අතාර්කික ජීවියෙකි. ඔහුගේ ඉතිහාසය දෙස බලන්න. ප්‍රචණ්ඩත්වය, කෲරත්වය, බලලෝභය, කාමුකත්වය අනුව ඔහු කවරෙක් ද? ඔහුගේ වංශ කථා ඉතිහාසය යනු ස්ව මානසික ව්‍යාධිය පිළිබඳ චමත්කාර සටහනකි. පසුගිය වසර තුන් දහස තුළ ලෝකය යුද්ධයෙන් තොර ව පැවතියේ දින හැත්තෑ දෙකක් පමණි.
ප්‍රධාන ආගම් පහළවූයේ ද මෙම යුගයේය, එහෙත් කිසිදු ගැලවුම්කරුවකුට මානවයාගේ කෲරත්වය මකා දැමීමට නො හැකිවීම ඉතිහාසයේ අරුමයයි. ඔහු සතු සියලු ඉතිහාස ලේඛන අමානුෂික යුද වාර්තාය. ආගමික ව වාර්ගික ව බෙ දී වෙන්වුණ සත්ත්ව විශේෂ අතර අනෙකා සමඟ ජීවිතය සමසේ බෙදා ගත නො හැකි පහත් ම සත්ත්වයා තමා බව ඔහුගේ ඉතිහාසය අවධාරණය කර ඇත.
විශ්ව සාහිත්‍යයයේ විවිධ ප්‍රවණතාවන්ට අනුව ග්‍රීක යුගය, බැරොක් යුගය, රොමැන්ට්ක් යුගය, ප්‍රංශ බුද්ධි ප්‍රබෝධන යුගය, පුණර්ජීවන යුගය යැයි බෙදා වෙන් කිරීම් දක්නට ලැබේ. බැරොක් යුගයේ මුඛ්‍ය පාඨය වූයේ ‘’පරිහානියට පෙර ආඩම්බරය හට ගනී’’ යන්නයි. මානවයාගේ බංකොළොත්භාවය හා පරිහානිය නම් විශ්වය මත සිටින බුද්ධිමත් ම ජීවියා තමා යැයි අනෙක් සත්ත්ව විශේෂ නො සලකා හැර ස්වයං තීරණයකට එළඹීමයි.