Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

සුදු අලි ගොඩගැනීමට නොවරදින විසඳුම්

$
0
0
ජුනි 14, 2019 01:00

2015 ජනපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූයේ රාජ්‍ය බැංකු, වරාය, බලශක්ති, ජල සැපයුම්, ගුවන් තොටුපල හා ප්‍රවාහනය වැනි රජයේ මූලෝපායික ආයතන සහ අංශ පාලනය කිරීම සඳහා සිංගප්පූරු “තමසෙක් ආකෘතිය”ට (Thamasek model) අනුරූප සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ය.

රටක ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා එරට, සමාජ, සංස්කෘතික සේ ම ආර්ථික අංශයෙන් ලබන්නා වූ දියුණුව ද අතිශයින් වැදගත් වේ. ආර්ථික දියුණුව සම්බන්ධ කතිකාවේ දී රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසායන් ප්‍රමුඛ ස්ථානයක ලා සැලකෙන අතර මේ මොහොතේ අප අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව ය.

දැනට පවතින රාජ්‍ය ව්‍යවසායන් සංඛ්‍යාව පිළිබඳ පැහැදිලි වාර්තාවක අඩුව, බලවත් ගැටලුවක් ව පවතින අවස්ථාවක “Advocata” අයතනය මඟින් රජයේ ව්‍යවසාය පිළිබඳ උද්ගත වී ඇති ගැටලු සලකා බලා, ඒ සඳහා විසඳුම් කිහිපයක් හඳුන්වා දීම වෙනුවෙන් වාර්තාවක් ඉදිරිපත්කොට ඇත. ඉදිරියේ දී මෙම ආයතනය මඟින් රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ වාර්ෂික ව වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, මෙම වසරේ නිකුත් කළ වාර්තාවට අනුව ඔවුන් හඳුනාගෙන ඇති ප්‍රබල ම ගැටලුවක් වන්නේ, දැනට පවතින රාජ්‍ය ව්‍යවසායන් සංඛ්‍යාව පිළිබඳ මුදල් අමාත්‍යංශයට නිශ්චිත අවබෝධයක් නොමැති වීම ය. මුදල් අමාත්‍යංශයේ 2018 වාර්ෂික වාර්තාවට අනුව හඳුනාගෙන ඇත්තේ රාජ්‍ය ව්‍යවසායන් 422ක් පවතින බව ය. නමුත් Advocata අයතනය මඟින් 2019 වර්ෂය වෙනුවෙන් නිකුත්කොට ඇති වාර්තාවට අනුව ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 424ක්,පරිපාලිත රාජ්‍ය ව්‍යවසාය සමිති 84ක් සහ අනුබද්ධිත සමාගම් 19ක් හඳුනාගෙන ඇත. සියල්ල සලකා බැලූ විට රාජ්‍ය ව්‍යවසායන් 527 කි. දැනට පවතින රාජ්‍ය ව්‍යවසායන් සංඛ්‍යාව පිළිබඳ රජයට නිශ්චිත අවබෝධයක් නොමැති වීම ප්‍රබල ගැටලුවකි. එසේ ම මෙම රාජ්‍ය ව්‍යවසායන් තුළින් ලබාගත හැකි පල ප්‍රයෝජන සහ ලාබ පාඩු සිදුවන ආකාරය පිළිබඳ සලකා බැලීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

ගණන් නොබලන රාජ්‍ය ආයතන

මුදල් අමාත්‍යංශය විසින් ප්‍රධාන මූල්‍ය ආයතන 55ක මූල්‍යමය තොරතුරු සොයාබලන අතර (එය පවතින රාජ්‍ය ව්‍යවසායන් 527න් 10.4% ක පමණි.) ගණන් බැලීමේදී, 2006-2017 කාල පරිච්ඡේදය සඳහා වූ සමස්ත පාඩුව රු. බිලියන 795 කි. ඉතිරි රාජ්‍ය ව්‍යවසායන් 472 හි ම ලාබ පාඩු ගණන් බැලෙන්නේ නැති නමුත් ඒ සඳහා මුදල් යෙදවෙන්නේ රජයෙනි. රජයේ මුදල් යනු රටේ ජනතාවගේ බදු මුදල් ය. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති අතර විවිධ දේශපාලනඥයන් විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමට පොරොන්දු ද ලබා දී ඇත.

2015 ජනපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූයේ රාජ්‍ය බැංකු, වරාය, බලශක්ති, ජල සැපයුම්, ගුවන් තොටුපල හා ප්‍රවාහනය වැනි රජයේ මූලෝපායික ආයතන සහ අංශ පාලනය කිරීම සඳහා සිංගප්පූරු “තමසෙක් ආකෘතිය”ට (Thamasek model) අනුරූප සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ය. සිංගප්පූරුවේ සිදුවන්නේ, එක් සමාගමක් ස්ථාපිතකොට රජය සතු ව්‍යවසායන් සියල්ල ඒ යටතේ ක්‍රියාත්මක වීම ය. එම ආකෘතිය යටතේ දේශපාලනය සහ ව්‍යාපාර අතර යම් වෙන්වීමක් දැකිය හැකි ය. සැබවින් ම දේශපාලනඥයන්ගේ යුතුකම වනුයේ ව්‍යාපාර කිරීම නොවේ, රට පාලනය කිරීම ය. දේශපාලනඥයන් ව්‍යාපාරිකයින් බවට පත්වන විට දූෂණයට ඇති ඉඩකඩ වැඩි ය. Advocata ආයතනයට අනුව සිංගප්පූරුවේ Thamasek ආකෘතිය අනුගමනය කිරීම, අපගේ රාජ්‍ය ව්‍යවසායන් නඟාසිටුවීම වෙනුවෙන් ගත හැකි හොඳ ම පියවර නොවනමුත් යම් තාක් දුරට යහපත් ප්‍රතිඵල අත්කරගත හැකි පියවරකි.

රාජ්‍ය ව්‍යවසායන් වෙනුවෙන් සිංගප්පූරු“Thamasek” ආකෘතියට අනුරූප සැලැස්මක් ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දී වසර 04ක් ගෙවී ගිය ද තවමත් එය ක්‍රියාවට නැඟුණේ නැත. සිංගප්පූරු Thamasek ආකෘතිය රාජ්‍ය ව්‍යවසායන් වෙනුවෙන් යොදා ගැනීම අනිවාර්යයෙන් ම නිවැරදි සහ යහපත් ඇරඹුමක් වනුයේ, එහිදී රාජ්‍ය ව්‍යාපාර සඳහා වගකිව යුතු එක් ප්‍රබල සමාගමක් ස්ථාපිත වන බැවිනි. එසේ ම ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යක් වන බැවින් පවතින සියලු රාජ්‍ය ව්‍යවසායන් එක් සමාගමක් යටතේ ක්‍රියාත්මක කිරීමේ සහ කළමනාකරණය කිරීමේ හැකියාව ද පවතී.

මෙම ආකෘතිය යොදා ගැනීමෙන් අත්කරගත හැකි ප්‍රධානතම යහපත වනුයේ එය නිර්මාණය කරන වගවීමයි. එසේ ම පරිපාලන සමාගමක් ඇති කිරීම, ආණ්ඩුව, රාජ්‍ය ව්‍යවසායන්ගෙන් දුරස්ථ වීම සහ දේශපාලන මැදිහත් වීම් අවම කිරීම ද මෙම ආකෘතිය අනුගමනය කිරීමෙන් අත්කරගත හැකි වාසි ලෙස හඳුනාගත හැක. වත්මන් ජනාධිපතිවරයා සේ ම අග්‍රාමාත්‍යවරයා ද මෙම ආකෘතියට අනුරූප සැලැස්මක් ක්‍රියාත්මක කිරීමෙහි ලා එකඟත්වය පළ කිරීම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණකි. නමුත් ගැටලුව නම්, ජනපතිගේ සහ අගමැතිගේ එකඟත්වය තිබිය දී ද රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් මෙම ආකෘතිය තවමත් ක්‍රියාත්මක නොවීම ය. කෙසේ වෙතත් පැහැදිලිව ම කිව යුත්තේ සිංගප්පූරු Thamasek ආකෘතිය නිවැරදි දිශාවකින් යුක්ත වූව ද මෙරට රාජ්‍ය ව්‍යවසායන් කාර්යක්ෂම කිරීම සඳහා ගත යුතු හොඳ ම සහ අවසන් විසඳුම වනුයේ පුද්ගලීකරණය බවයි.

රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම 2016 අයවැය කතාවේදී සඳහන් විය. එහිදී රාජ්‍ය ව්‍යවසායන්වල ඇති පාඩු සිදුකිරීමේ ස්වභාවයත් එමඟින් අයවැය මත ඇති කරන ඍණාත්මක බලපෑමත් අවධාරණය කරන ලදී. එහිදී විසඳුම් ලෙස ඉදිරිපත් වූයේ රාජ්‍ය ව්‍යවසායන්, වාණිජමය සාධනීය ව්‍යාපාර බවට පරිවර්තනය කිරීම සඳහා නිවැරදි කිරීමේ පියවර භාවිත කිරීම ය. නිර්දේශිත ක්‍රම තෝරාගැනීම, වෙළඳපොළ පදනම් කරගත් මිල යාන්ත්‍රණ, බඳවා ගැනීමේ ක්‍රමවේදය සහ පොදු-පෞද්ගලික හවුල්කාරිත්ව, අවස්ථාවන් ගවේෂණය කිරීම යන කරුණු පිළිබඳව ද එහිදී අවධානය යොමු විය.

2017 අයවැය කථාවේ දී ද ප්‍රකාශ වූයේ, පිරිවැය පරාවර්ථක මිල නියම කිරීමේ ව්‍යූහයන් සහ මෙහෙයුම් ස්වාධීනත්වය මඟින් රාජ්‍ය ව්‍යවසායන් දේශපාලනීකරණයෙන් වෙන්කොට, නිසි මඟට ගැනීමට සහ කාර්යක්ෂම ව්‍යාපාරික ආයතන බවට පත් කිරීමට කටයුතු යොදන බව ය. එහිදී ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, වෝටර්ස් එජ්, වෙස්ට් කෝස්ට්, හම්බන්තොට ලුණු හා හිල්ටන් වැනි ලැයිස්තුගත නොකළ ව්‍යාපාර සඳහා ලැයිස්තුගත කිරීම ද යෝජනා විය. රජය කළ යුත්තේ රට පාලනයයි. හෝටල් පවත්වාගෙන යෑම සහ ඒ සම්බන්ධ ව්‍යාපාරික කටයුතු සංචාරක කර්මාන්තයට භාර දිය යුතු ය. එසේ ම මෙම ලැයිස්තුගත නොකළ ව්‍යාපාර ලැයිස්තු ගත කිරීමෙන් අනතුරුව ඉන් ලැබෙන මුදල් රටේ ණය ආපසු ගෙවීම් සඳහා භාවිත කළ හැකි බවට ද අදහසක් ඉදිරිපත් විය.

2016 සහ 2017 වර්ෂවලදී රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් එලෙස විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් වුව ද 2018 සහ 2019 අයවැය කතාවල දී රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් කිසිඳු කතාබහක් ඇති නොවී ය. කෙසේ වෙතත් රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් ඇති ගැටලු හඳුනාගනිමින් අයවැය කතාවලදී සහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයන් තුළ දී යම් යම් විසඳුම් ඉදිරිපත්කොට ඇත. ඒ කිසිවක් තවමත් ක්‍රියාත්මක නොවීම කනගාටුදායක තත්ත්වයකි. ලාභ නොලබන රාජ්‍ය ව්‍යවසාය සඳහා රජයේ මුදල්, එනම් රටේ ජනතාවගේ බදු මුදල් යෙදවීම නාස්තිකාර ක්‍රියාවකි. එසේ හෙයින් රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ ප්‍රතිසංස්කරණයන් කඩිනමින් සිදු කිරීම අතිශය වැදගත් වන්නා සේ ම සිදු කරන ප්‍රතිසංස්කරණ යථාර්ථවාදී ද විය යුතු ය.

මෑතකදී නිකුත් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කාර්ය මණ්ඩල වාර්තාවට (International Monetary Fund staff report) අනුව කැපී පෙනෙන ප්‍රධාන කරුණක් වන්නේ රාජය සතු ව්‍යවසායන් අත්කරගෙන ඇති පාඩුවයි. ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් තුනක් වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් යන ආයතන එක් ව 2018 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.3%ක පාඩුවක් වාර්තාකොට ඇත. එය 2017 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%කි. වසරින් වසර සිදු වනුයේ රාජ්‍ය ව්‍යවසායන් ලබන පාඩුවේ වැඩි වීමකි. එසේ හෙයින් වැඩි වැඩියෙන් පාඩු ලැබීම වළකාලීම වෙනුවෙන් නිවැරදි පියවරක් ගැනීමේ හදිසි අවශ්‍යතාවක් පැන නැඟී ඇති අතර, එහිදී ප්‍රායෝගික සහ කඩිනම් ප්‍රතිසංකරණ කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු ය.

රාජ්‍ය ව්‍යවසායන් නිසි මඟට ගැනීමෙහිලා “Advocata” ආයතනය මඟින් ඉදිරිපත් කරන අවසාන සහ සාර්ථක ම විසඳුම වන්නේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරිමයි. පෞද්ගලීකරණය කරන්නේ නම් පාඩු ලබන ආයතන වසා දැමෙන අතර ලාබ ලබන ආයතන දිගින් දිගට ම කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යෑම සිදු කෙරේ. එසේ ම පෞද්ගලීකරණය තුළ ඇතිවන්නා වූ තරගකාරිත්වය හේතුවෙන් එම ව්‍යවසායන් නිසි මඟට යොමු වනු ඇත. කාර්යක්ෂම සහ ලාභ උපදවන ව්‍යවසායන් බවට පත්වනු ඇත. නමුත් රජය එවැනි පියවරක් නොගන්නා බව මේ වන විට මොනවට පැහැදිලි ය. එසේ හෙයින් රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණයට රජය කටයුතු නොකරන්නේ නම්, සලකා බැලිය යුත්තේ වෙනත් කළ හැකි යමක් තිබේද යන්න ය. එහිදී Advocata ආයතනය මඟින් 2019 වර්ෂය සඳහා නිකුත් කළ රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ වාර්තාවට අනුව හඳුනාගෙන ඇති ප්‍රධාන ප්‍රතිසංස්කරණ කිහිපයකි. මෙම ප්‍රතිසංස්කරණ තෝරාගැනීමට හේතුව නම්, දේශපාලනික වශයෙන් ඇති සක්‍යතාවයයි. මෙම ප්‍රතිසංස්කරණ මඟින් රාජ්‍ය ව්‍යවසායන් ලබන්නා වූ පාඩුව පිටුපස ඇති මූලික හේතූන් මත ඉලක්කගත බලපෑමක් සිදු කරයි.

ඉන් පළමු වැන්න සියලු රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ සමීක්ෂණයක් පැවැත්වීම ය. මන්ද යම් හෙයකින් රජයේ වගකීම පිළිබඳ විෂය පථය සම්බන්ධයෙන් නිශ්චිත අවබෝධයක් නොමැති නම් රජයට මෙම ආයතන නියාමනය කිරීම හෝ අධීක්ෂණය කිරීම කළ නොහැකි ය. එසේ හෙයින් පෙර පැවසූ අන්දමේ සමීක්ෂණයක් සිදු කළ යුතු ය. සමීක්ෂණය අවසානයේ රජයේ මූලික වාර්තාකරණ ක්‍රියා පටිපාටිය ස්ථාපිත කළ හැකි ය. මේ වන විට රාජ්‍ය ව්‍යවසායන් කොතරම් ප්‍රමාණයක් තිබෙනවා ද? යන්න පිළිබඳව රජයට නිශ්චිත අවබෝධයක් නැති අතර රජය විසින් ලාබ පාඩු සලකා බලන්නේ රාජ්‍ය ව්‍යවසායන් 55ක පමණි. නමුත් Advocata ආයතනය විසින් හඳුනාගෙන ඇති අන්දමට මේ වන විට පවතින රාජ්‍ය ව්‍යවසායන් සංඛ්‍යාව 527කි. රාජ්‍ය ව්‍යවසායන් 472කට සිදුවන දෙයක් ගැන වාර්තා වන්නේ නැත. අවම වශයෙන් එම ව්‍යවසායන් පාඩු ලබනවා ද? නොඑසේ නම් ලාබ ලබනවා ද? යන අවබෝධයවත් අපට නැත. එසේ හෙයින් රජය සතු ව්‍යවසායන් සියල්ල, ලාබ පාඩු ඇතුළත් වාර්ෂික වාර්තාවක් මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කළ යුතු ය.

දූෂණය මඬින ආයතන බල ගැන්වීම

දෙවැනි පියවර වශයෙන් සිදු කළ යුත්තේ කෝප්(Committee on Public Enterprise),කෝපා (Committee on Public Accounts) සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමයි. මෙම ආයතන, වඩාත් පැහැදිලිව රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් තොරතුරු එක්රැස්කොට වාර්තා නිකුත් කරයි. මෙම වාර්තා නිකුත් කිරීමේ දී ලාබ පාඩු මෙන් ම දූෂණ වංචා පැහැදිලිව පෙනෙන බැවින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රමාණවත් අන්දමින් ගැනීමට එම ආයතනවලට බලතල ලබාදිය යුතු ය.

Advocata ආයතනය ප්‍රකාශ කරන අන්දමට මෙම පියවර දෙක ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව රජය ගත යුතු තවත් ක්‍රියාමාර්ග ඇත. එනම් රජය විසින් තම ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආයතනික යහපාලනය පිළිබඳ OECD (Economic Co-operation and Development) මාර්ගෝපදේශයන් අනුගමනය කළ යුතු ය. OECD මූලධර්ම අනුගමනය කිරීම මඟින්, රාජ්‍ය ව්‍යවසාය සඳහා ඵලදායී නීති සහ නියාමන රාමුවක් ස්ථාපනය කිරීම, විනිවිදභාවය සහතික කිරීම සහ කාර්යක්ෂමතාව ඇති කරවීම කරා යොමුවනු ඇත. කෙසේ වෙතත් රාජ්‍ය ව්‍යවසායන් නිසි මඟට ගැනීමෙහිලා අනුගමනය කළ හැකි කෙටි කාලීන විසඳුම් ලෙස ඉහත පියවර ඉදිරිපත් කළ හැකි වුව ද දීර්ඝ කාලීන විසඳුම වනුයේ පෞද්ගලීකරණයයි. රජයක යුතුකම වනුයේ නිවැරදි ලෙස රාජ්‍ය පරිපාලනය මිස ව්‍යාපාර පවත්වාගෙන යෑම නොවේ. ව්‍යාපාර කටයුතු පෞද්ගලික අංශයට භාර දීම තුළින් රට වෙනුවෙන් දැනට වැඩි දියුණුවක් ඉදිරියේ දී අත්කරගත හැකි වේ.

කාංචනා සිරිවර්ධන


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>