Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අපට අමතක සදහම් මාර්ගය

$
0
0
ජුනි 14, 2019 01:00

අදත් මෙම දිවයිනේ පුද්ගලයන් ඔවුනොවුන්ට උදවු උපකාර කරන්නේත්, සාරධර්ම පවත්වාගෙන යන්නේත්, දැහැමිව ජීවත්වීමට ක්‍රියාකරන්නේත්, වැරැදි ක්‍රියාවලින් මිදීමට ප්‍රයත්න දරන්නේත්, අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ශ්‍රී ලංකාවට ලබාදුන් අවිහිංසාවාදයේ දායාද හේතුකරගෙන ය.

මිහිදු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් ශ්‍රී ලාංකිකයන්ට ලැබුණු දායාද බොහෝයි.එහෙත් පැවැති ශිෂ්ටාචාරය වෙනස් කරමින් ධර්මානුකූල ජීවන ර ටාවක් හඳුන්වා දුන්හ. අතීතයේ එම ගුණ ධර්ම පැවතියද වර්තමානයේ මව හා පියා අතරත්, දරුවන් හා මාපියන් අතරත් මෙම උතුම් ගුණ ධර්ම රඳාපවතින්නේ දැයි සැක සහිතය. එසේ රැඳී පවතින්නේ නම්, ඉතාමත් කලාතුරකින් ය. ගම හා පරම්පරාව අතරද, මෙම අගනා සාරධර්ම වස්තූන් ගිලිහී යමින් පවතී. එම ලක්ෂණයම දිවයිනේ ඒ ඒ ජාතීන් අතරද දක්නට ලැබේ. සුහද බව ප්‍රිය වචනය, සීග්‍රයෙන් ගිළිහෙමින් පවතී. සමානාත්මතා ධර්මය මිහිඳු මා හිමියන්ගෙන් ලත් විශිෂ්ට දායාදයකි. මව්පියන් දරුවන් අතර එම ලක්ෂණය අද වන විට ගිලිහී යමින් පවතී. ගම් දනව් අතරද. මමංකාරය මමායනය හා ආත්මාර්ථකාමීත්වය වර්ධනය වී හමාරය. ජාතීන් අතරද සුහදතාවය නැත්තටම නැතිවී යන තරම් ය. ආත්මාර්ථකාමීත්වය නිතරම රජ කරවන බව පෙනේ. මිහිඳු මා හිමියන් ධර්ම කරුණක් ලෙස අනෙකාට දැක්වීමට කී කරුණාව, මෛත්‍රිය වැනි ගුණාංග ස්වකීය වර්ග අතරත්, අන්‍යවර්ග අතරත් නැතිවී යන තත්ත්වයක පවතී. මිහිඳු මහරහතන් වහන්සේ ධාර්මිකව ජීවත් වීම සුපසන් කරුණක් ලෙසින් සියලුම වැසියාට පෙන්වා දුන්හ. එම ධර්ම දායාදය ද බෞද්ධයා අතරත් , අන්‍ය ආගමිකයා අතරත් ගිලිහී යාමේ දොරටු විවෘත වී තිබේ. “සුඛ කාමානි භූතානි යෝ දණ්ඩේන න සිංසති” වශයෙන් සත්ත්ව හිංසාව, සත්ත්ව ඝාතනය ධර්ම දූතයන් වහන්සේ පූර්ණ ලෙසින්ම බැහැර කළහ. එහෙත් අද එම ධර්ම දායාදයෙන් ආගමිකයෝ දුරස්ව ක්‍රියා කරති. සත්ත්ව ඝාතනය, පරහිංසාව අදැහැමිව ජීවත්වන්නා අගය කොට සලකයි” සුඛා සංඝස්ස සාමග්ගි” වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සමගියේ තරම මිහිඳු මා හිමියන් අතින් අප රටට ද ලැබුණි. එකල ජාතීන් අතරත්, ආගම් අතරත් ආගමික සංහිඳියාව පැතිරිණි. බැබළිණි. වර්තමානයේ ජාතීන් අතරත්, ආගම් අතරත්, සමගිය, සංහිඳියාව, එකමුතුකම උසස් කොට තබන්නේ කතා බහෙන් පමණි. ක්‍රියාකාරීත්වයෙන් ඔවුන් තුළ එය එසේ ක්‍රියාත්මක නොවේ. දිවයිනේ සමහර ප්‍රදේශවල තවත් ජාතිකයට අයත්, තවත් ආගමකට අයත්, පුද්ගලයන්ට පදිංචියට පමණක් නොව, සුහදව රාජකාරියකටවත් ගමන් කළ නොහැක.

මිහිඳු මා හිමි ජනතාවට හොරමැරකම්වලින් කපටිකම්වලින් වෛරී ගති ලක්ෂණවලින් එල්ලවන ආදීනව පැහැදිලි කළහ. එම ධර්ම දායාදය එවකට තමන්ගේ ආගම් අතරත්, ජාතීන් අතරත් බැබළිණි. තමාගේ වාසිය බලමින් තමන් පමණක් උසස් යැයි සලකන වර්තමාන පුද්ගලයා අතර එම අගනා ගුණ ධර්ම ගිලිහෙමින් පවතී. ස්වකීය දේශය ආරක්ෂා කරගනිමින්, මෙලොවත් , පරලොවත් ජය ලැබීමට අනුබුදු මා හිමියෝ උපදෙස් ලබාදුන්හ.

අන්‍යයාට හිරිහැර සිදුවන අන්‍යයාගේ ජීවිත විනාශවන රැකී රක්ෂා අගය නොකළහ. පාලකයෝත්, වැසියාත් ඒ අනුව ගමන් කළහ. ඔවුනොවුන්ට උපකාර කිරීම, අයහපත් පුද්ගලයන් පවින් වැළැක්වීම, රට වැසියාගේ යුතුකම විය. වර්තමානයේ පුද්ගලයකුට උපකාර කිරීමේදී ඔවුන්ගේ වර්ගය, ජාතිය, ආගම වැනි කරුණු සොයති. “කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ” වශයෙන් එදා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ පුද්ගලයා සිදුකරන හොඳ නරක ක්‍රියාවෙන් පමණක් ඔහු උසස් අයෙකුද, පහත් අයෙකුද වශයෙන් සැලකෙන බවයි. මෙම උත්තරීතර ලක්ෂණ බුදු දහම පැතිරීගිය මුල් වකවානුවේ ලංකාව තුළ ද දක්නට ලැබුණි. අද මෙම දහම් දිවයින තුළ, එම ලක්ෂණවලින් බිඳකුදු හෝ පවත්නේ දැයි ගැටලුවකි.

වර්තමාන විද්‍යා හා තාක්ෂණඳ දියුණුව නිසාදෝ ලෝකය තමා ළඟට පැමිණ ඇත. පවුල් සබඳකම්, සමාජ සබඳකම්, ජාතික බැඳීම්, මිනිස්කම් සමාජයෙන් තුරන්වී යමින් පවතී. මව්පිය, දූ දරු, ගුරු, ශිෂ්‍ය සබැඳියාව දුරස් වෙමින් පවතී. පුද්ගලයා පරිගණකය වැනි මෙවලම්වලට පමණක් සීමා වීම නිසා මිහිඳු ධර්ම දායාද වල්මත් වී ඇත. දහම් දිවයින යැයි පූර්වයේ හඳුන්වාගනු ලැබූ මෙරටට මිහිඳු මහරහතන් වහන්සේ වර්තමාන කාලයේ වැඩමවා වදාළ හොත්, ජනයාට එදා ලබාදුන් ධර්ම දයාදයවලට අද කුමක් සිදුවී ඇත්දැයි සිතනු නොඅනුමානය. මිහිඳු මහා රහතන් වහන්සේ දෙවනපෑතිස් රජතුමාගේ රාජ්‍ය සමයෙහි දී, මිනිසාගේ දියුණුවට එදා ලබාදුන් දහම් පණිවුඩය, සාරධර්ම අන්තර්කොටගත් ධර්ම වස්තුව අදත් දායාද කොටගත් ඉතාමත් අඩු පිරිසක් ද, යහ මාර්ගයේ ගමන් කිරීමට සිතති. එය සැබවින්ම ආදර්ශයකි ප්‍රශංසනීය කරුණකි. අද්‍යතනයේ වුවද, ජාතිබේදයෙන් හා ආගම් බේදයෙන් තොරව පුද්ගලයකුගේ විපතකදී ද උපකාර කරන්නෝ සිටිති. ඔවුන් එසේ කරන්නේ මිල මුදල්, උදව් උපකාර ප්‍රත්‍යඋපකාර අපේක්ෂාවෙන් නොවේ. ඒ බව ඔප්පු කිරීමට නූතනයේ බොහෝ සාධක ද පවතී. කවුරුන් කෙසේ ප්‍රකාශ කළත්, අදත් මෙම දිවයිනේ පුද්ගලයන් ඔවුනොවුන්ට උදවු උපකාර කරන්නේත්, සාරධර්ම පවත්වාගෙන යන්නේත්, දැහැමිව ජීවත්වීමට ක්‍රියාකරන්නේත්, වැරැදි ක්‍රියාවලින් මිදීමට ප්‍රයත්න දරන්නේත්, අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ශ්‍රී ලංකාවට ලබාදුන් අවිහිංසාවාදයේ දායාද හේතුකරගෙන ය. මෙම පොසොන් සමයේ මිහිඳු මහරහතන් වහන්සේ ලබාදුන් ධර්ම දායාදයන්ගෙන් අංශු ප්‍රමාණයක් හෝ අනුගමනය කොට යහපත් දේ ඉගෙනීමටත් ධර්මිෂ්ට රැකියාවක් කිරීමටත්, පවුල් සමගිය පවත්වාගෙන යාමටත්, සමාජ එකමුතුකම ඉදිරියට රැගෙන යාමටත්, රට තුළ ජීවත්වන ජාතීන් අතර හා ආගම් අතර හොඳ හිත වර්ධනය කරගෙන අපරාධවලින් මිදී චාරිත්‍ර හා සද්ධර්මයෙන් පිරිපුන් පුද්ගලයෙක් වීමටත් ඔබට ධෛර්යයක් ලැබේවා!

හේමමාලා රන්දුනු


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>