Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

රාජ්‍යත්වය සමග බැඳුණු බෝසත් සංකල්පය

$
0
0
ජුනි 14, 2019 01:00
අසේල කුරුළුවංශ

සහෝදරත්වය සහ සහජීවනය පිළිබඳ සෑම ආගමික ශාස්තෘවරයකු විසින්ම උගන්වා තිබෙන අතර ආගමික හිංසනය ඔවුන් සෑම කෙනකු විසින්ම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත. සියලු සත්ත්වයෝ දණ්ඩනයට බිය නිසා තමන්ම උපමාවට රැගෙන පුළුල් දෘෂ්ඨි කෝණයකින් ලෝකය දෙස බැලිය යුතුය යන්න බුදුන්වහන්සේගේ දර්ශනය තුළ ගැබ්ව ඇත.එවන් පදනමක් මත ගොඩ නැගුණු බෞද්ධ දර්ශනය මෙරටට හිමිවූයේ පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනයෙහි දී ය.

ඉතිහාසය දෙස අවධානය යොමු කර බලන විට පෙනී යන්නේ ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අප එක්සිත්ව සහ එක්සත්ත්ව වාසය කළ බවයි. ඉතිහාසය තුළ බෞද්ධාගම සහ රාජ්‍යත්වය අතර මනා සබඳතාවක් පැවැති බවට සාක්ෂි ඕනෑ තරම් තිබේ.එළාර රජු පවා එම සිද්ධාන්තය මුල් කරගෙන තම දේශපාලන කටයුතු මෙහෙයවා ඇත. වංශ කථා සහ අභිලේඛන සාක්ෂිවලට අනුව අපගේ අවධානය යොමු කළහොත් රටේ ප්‍රාදේශීය පාලන ඒකක ගණනාවකට බෙදී එක් එක් ස්වාධීන පාලනයක් යටතේ ඒවා පවත්වාගෙන ගිය බවක් පෙනී යයි. ප්‍රධාන පරිපාලන ඒකකය වූයේ අනුරාධපුර මුල්කර ගත් ප්‍රාදේශීය පරිපාලන ඒකකය වන්නට ඇත. එහි පාලකයා වූයේ දේවානම්පිය තිස්ස රජතුමාය. ඊට පසුව උත්තිය රජතුමා රාජ්‍යත්වයට පත් විය.කෙසේ වෙතත් රෝහණ දේශයෙන් පැමිණි දුට්ඨ ගාමණී අභය හෙවත් දුටුගැමුණු රජතුමා විසින් මුල් වරට ශ්‍රී ලංකාවම එක්සේසත් කරනු ලැබීය.

ක්‍රිස්තු පූර්ව 161-137 දක්වා රාජ්‍යත්වය පවත්වා ගෙන ගිය ඔහු රටේ සංස්කෘතිය, ආර්ථිකය, දේශපාලනය වර්ධනය කිරීම පිණිස ශ්‍රේෂ්ඨ කර්තවයක් සිදු කරනු ලැබීය. මහා විහාරයෙහි ප්‍රධාන අනුග්‍රාහකයා වූ දුටු ගැමුණු රජු රුවන්වැලි සෑය, ලෝවාමහාපාය, මිරිසවැටි දාගැබ වැනි සුවිශාල දාගැබ් කර්මාන්ත කරමින් බෞද්ධාගම ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සඳහා කළ මෙහෙවර අපමණය.මෙහි දී ඔහුගේ සහෝදර සද්ධාතිස්ස කුමාරයාගෙන් ලැබුණු දායකත්වය අතිමහත්ය. ඔහු යුද සමයෙහි දී සටනට සූදානම් වන සහ සටනට සහභාගී වූ ජනතාවට ආහාර සපයා දීම සඳහා වෙසෙසින් උත්සුක විය. දිගාමඬුල්ල ප්‍රදේශයට ඔහු ගොස් එම ප්‍රදේශයෙහි ජනතාවගේ සහයෝගය ලබාගෙන කෘෂිකාර්මික වශයෙන් සහ වාරිමාර්ගික වශයෙන් ස්වයංපෝෂණය කර එළාර සමඟ කරගෙන යාමට නියමිත සටනට සූදානම් විය. ඔහුගේ එම මහඟු කර්තව්‍යය නොවන්නට රටේ ජනතාවගෙන් වැඩි කොටසක් නිරාහාරව සිටිනු ඇත යන්න ඇතැම් ඉතිහාසඥයන්ගේ අදහසය.කෙසේ වෙතත් සටනක් ඉදිරියට ගමන් කරන්නේ උදරය මතින්ය යන ප්‍රකාශනය සනාථ කරවමින් තම සහෝදරයාගේ කාර්යභාරයට සද්ධාතිස්ස රජු විසින් මනා සහයෝගයක් ලබා දීම ඉතිහාසය තුළ සිදුවූ විශිෂ්ට ක්‍රියාවකි.

ධර්මාශෝක රජුගේ පුත් මහින්ද මහ රහතන් වහන්සේ සහ උන්වහන්සේ සමඟ පැමිණි පිරිස පොසොන් පුර පසළොස්වකදා මිහින්තලයට වැඩියහ. එහි දී දේවානම් පියතිස්ස රජුගේ නුවණැති බව විමසා බැලීම පිණිස මිහිඳු හිමියන් විසින් අඹ ප්‍රශ්නය සහ ඥාති ප්‍රශ්නය පිළිවිසූහ.එහි දී දේවානම් පියතිස්ස රජු විසින් එම ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු අනුව රජතුමා ධර්මය අවබෝධ කර ගැනීමට හැකි පුද්ගලයකු බව තේරුම් ගත් මිහිඳු හිමි රත්නත්‍රය සරණ යවා රජු බෞද්ධාගමිකයෙක් බවට පත් කළ බව ඉතිහාසයේ සඳහන්ය.ඉන් පසුව මහමෙවුනාවේ දී දේවානම්පියතිස්ස රජු ඇතුළු විශාල පිරිසකට චුල්ලහත්‍ථිපදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කොට සෝවාන් ඵලයට පැමිණ වූහ. ඉන් පසුව අවශ්‍යය වූයේ ලංකාදීපය තුළ සංඝ ශාසනය ආරම්භ කිරීමය. එහි දී දේවානම් පියතිස්ස රජතුමා විසින් මිහිඳු මහ රහතන් වහන්සේගෙන් “ස්වාමීනි ශ්‍රී ලංකාව තුළ බෞද්ධ ශාසනය ස්ථාපිත වූයේ දැයි විමසූ විට තවම එසේ වී නොමැති බව දැනුම් දුන්හ. එසේ වීමට නම් කුමක් කිරීමට අවශ්‍යදැයි” විමසූවිට සමන්තපාසාදිකාවේ සඳහන් වන අන්දමට පිළිතුරු දුන්හ. එහි සරලම අදහස වන්නේ “තම්බණ්ණි දීපයේ ඉපිද තම්බණ්ණි දිවයිනෙහිම මව්පියන්ගෙන් උපන් පුතකු පැවිදි වී ත්‍රිපිටකය දේශනා කරන්නේද එවිට සම්බුද්ධ ශාසනය ස්ථාපිත වන්නේය” යනුවෙනි. ඉන් පසුව සමන්තපාසාදිකාවෙහි සඳහන් වන අන්දමට මහා අරිට්ඨ ඇමතිවරයා ප්‍රවෘජ්ජා භූමියට ඇතුළත් වූහ. එතැන් සිට ශ්‍රී ලංකාව තුළ සංඝ ශාසනයෙහි ආරම්භය සහ ව්‍යාප්තිය සිදු වන්නට විය.අනුරාධපුරය ආශ්‍රිත ප්‍රාදේශීය පාලන ඒකකය තුළ පමණක් නොව අනෙකුත් ප්‍රාදේශීය පාලන ඒකක දක්වාද බුදු දහම ව්‍යාප්ත වූයේය.

අශෝක රජුගේ දියණිය වන සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී ලංකාවෙහි භික්ෂුණී ශාසනය පිහිටු වනු ලැබිණි.උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය දා සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩම කරන විට ඉන්දියාවේ ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රැගෙන විත් අනුරාධපුරය මහාවිහාර භූමියේ රෝපණය කළාය.අනුරාධපුර පාලන ඒකකයේ සිට ඉතා දුරින් පිහිටි රෝහණයේ කාචරගාමයේ සහ චන්දනගාමයේ සිට පිරිස් අනුරාධපුරයට පැමිණ එම උත්සවයට සහභාගි වූ අතර එම සිද්ධිය බෞද්ධ ශාසනික ඉතිහාසයෙහි ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් බවට පත් විය. ශ්‍රී ලංකාව තුළ භික්ෂුණී ශාසනය ප්‍රථම වතාවට ස්ථාපනය වන්නේ සංඝමිත්තා තෙරණියගේ වැඩම කිරීමත් සමඟය. අනුලා බිසව ඇතුළු කුල කාන්තාවන් පිරිසක් භික්ෂුණී ශාසනයෙහි පැවිදි වී ශ්‍රී ලංකාව තුළ භික්ෂුණී ශාසනය ව්‍යාප්ත කිරීමට මහත් වෙහෙසක් දැරූහ. ඒ පිළිබඳ ඓතිහාසික තොරතුරු ලබා දෙන ප්‍රධාන වංශ කථාව වන්නේ මහාසේන රාජ්‍ය සමයෙහි හෙවත් ක්‍රිස්තු වර්ෂ හතරවැනි ශත වර්ෂයෙහි රචනා වූයේ යැයි සැලකෙන දීප වංසයයි. මෙම ග්‍රන්ථයෙහි 18 වැනි පරිච්ඡේදය කාන්තාවගේ ඉතිහාසය සහ භික්ෂුණියගේ ඉතිහාසය සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු හෙළිදරව් කිරීමක් සිදු කරයි.දීප වංශයෙහි සම්පූර්ණ පරිච්ඡේද 22 ක් අන්තර්ගත වන අතර ඒවායින් 18 වැනි පරිච්ඡේදය සුවිශේෂි වන්නේ භික්‍ෂුණී ශාසනයෙහි ව්‍යාප්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම නිසාය. එහි දී දේශීය වශයෙන් මෙන්ම අන්තර් ජාතික වශයෙන් භික්‍ෂුණියගෙන් සිදුවූ සේවය මනා ලෙස විස්තරාත්මකව දක්වා තිබේ.

විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, තිබ්බතය, ජපානය වැනි දේශයන් සඳහා ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේලා වැඩම කර එම රටවල බෞද්ධාගම ව්‍යාප්තිය සඳහා කරන ලද උත්කෘෂ්ට සේවය වංශකථා සාහිත්‍ය මෙන්ම එම රටවල ඇතැම් ශාස්ත්‍රීය මූලාශ්‍ර මගින්ද හෙළි දරව් කරගත හැකිය.දීපවංසයෙහි සඳහන් වන ඓතිහාසික කරුණු අනුව එහි කතුවරයා පිළිබඳ අදහසක් ලබාගත හැකිය. එම ග්‍රන්ථයෙහි කතුවරයා කවරෙක්ද යන්න නිශ්චිතව සඳහන් වී නොමැති නමුත් ග්‍රන්ථයෙහි අන්තර්ගතය අනුව මෙහි කතෘත්වය කාන්තාවකට හෝ කාන්තාවන් සමූහයකටද එසේත් නැත්නම් භික්‍ෂුණියකට හෝ භික්‍ෂූණීන් පිරිසකට හිමි විය යුතුය.එසේ නම් ප්‍රථමයෙන් මෙරට ඉතිහාසකරණයෙහි යෙදුණේ කාන්තාවන්ද යන ගැටලුව අප ඉදිරියේ පැනනගී. මේ පිළිබඳ විග්‍රහයක යෙදුණු හ්‍යු නෙවිල්, දීපවංසයෙහි කර්තෘත්වය භික්‍ෂුණීන් කණ්ඩායමකට හිමි විය යුතු බව ප්‍රකාශ කළේය. මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන මහතා හ්‍යු නෙවිල්ගේ එම මතවාදය පිළිගත හැකි බව අනුමත කළේය.එම නිසා මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලංකාවට සපැමිණි භික්‍ෂු ශාසනය මෙන් භික්‍ෂුණි ශාසනයද ඉතාම වැදගත් දායාදයන් ලෙස සඳහන් කළ හැකිය. ලක් වැසියාගේ ජීවන රටාව මහින්දාගමනයෙන් පසුව සම්පූර්ණ විපර්යාසයකට ලක් විය. එතෙක් මිථ්‍යා ආගම් සමඟ පටලැවි සිටි ලක්වැසි ජනතාව නිසි මඟකට යොමු වී තම ආගමත් සමඟ සම්බන්ධවී කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගත්හ. භික්‍ෂූන්ගේ පැවැත්ම පිණිස මෙන්ම භික්‍ෂූණීන් වහන්සේලාගේ වාසය පිණිසද ලෙන් ආරාම බවට පරිවර්තනය කරනු ලැබීය.'අගත අනගත චතුදිස සගස දිනෙ, අගත අනගත දසදිසස සගස දිනෙ'යනුවෙන් පැරණි කටාරම් කෙටූ ලෙන් ලිපිවල බ්‍රාහ්මී භාෂාවෙන් මෙන්ම බ්‍රාහ්මී අක්ෂරවලින් සටහන් යොදා තිබෙනු අදද දක්නට ලැබෙයි. ඉතාමත් සැහැල්ලු දිවි පෙවෙතක් ගත කළ යුතු බව මුල් බුදු සමයේ සඳහන් වන දෘෂ්ටිවාදයන්ට අනූව ලාංකික භික්ෂුව හා භික්ෂුණිය හැඩගැසී සිටියහ.අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා යනුවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වී ඇති පරිදි මුල් කාලීන ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව ඉතා සරල හා සැහැල්ලු ජීවිතයක් ගත කරන ලැබීය.පොදුවේ බෞද්ධ දායක දායිකාවන්ගේ හුදී ජන පහන් සංවේගය සඳහාම කටයුතු කරන ලදී.

චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය දේවමනුස්සානං යනුවෙන් සඳහන් වන බුදු වදන ඒ ආකාරයෙන්ම ලාංකික බොද්ධ භික්‍ෂුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහ. එම නිසා එකල සමස්ත ශ්‍රී ලංකාව පුරාම මෙන් බුදුදහම ව්‍යාප්ත විය. බුදුදහමට ඇතුළත් වූවන් අතර රජ පවුල්වල සාමාජිකයන්ද ප්‍රභූන් සහ එම පවුල්වල සාමාජික සාමාජිකාවන්ද සාමාන්‍ය ජනතාව සහ විවිධ පවුල්වල අයද වූහ. මොවුන්ගේ ඒකායන පරමාර්ථය වූයේ බෞද්ධාගම වැලඳගෙන ඒ අනුව තම දිවි පෙවෙත සාර්ථක කර ගැනීමය. ඒ සඳහා එකල ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාලකයාව සිටි දේවානම්පියතිස්ස රජුගෙන් ලැබුණේ මහඟු දායකත්වයකි. භික්‍ෂූන් වහන්සේලාට සේම භික්‍ෂූණීන් වහන්සේලාටද අවශ්‍ය කරන චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය හා සිවුපසය නිති සපුරාලමින් ගිහි දායක දායිකාවන්ගේ පූර්ණ සහයෝගය ලබා ගනිමින් බෞද්ධාගමේ වර්ධනය සහ දීප ව්‍යාප්තිය සඳහා යුහුසුළුව කටයුතු කරන ලදී. ඒ නිසාම බුදු දහම පිළිබඳ වඩාත් පැහැදුණු ශ්‍රී ලාංකික ජනතාව බුදු දහම වැළඳ ගත්හ. බුදු දහම ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ නොමැකෙන සේ කිදා බැස්සේ මේ ඔස්සේය.

ශ්‍රීලංකාව බෞද්ධ සංඝයා හා රජය අතර දීර්ඝ කාලයක් නොනැසුණා වූ සමීපත්වයක් ගොඩ නැගුණු පළමු රටවලින් එකකි.බුදු සමයෙහි ආභාශය ලැබුණු නිසාම ඇතැම් රජවරු තමන් බෝධිසත්ත්වයන් බවත් බෝධිසත්ත්වයන් රාජ්‍යත්වයට පත්විය යුතු බවත් ශ්‍රී ලාංකිකයිනට දැනුම් දුන් බව වංශකථා සහ ශිලා ලේඛන මගින් පෙන්නුම් කෙරෙයි.ඔවුහූ රජතුමා සහ බෝධිසත්ත්වයින් අතර සම්බන්ධයක් ඇතැයි කීහ.තෙවැනි සියවසේ දී ලංකාව පාලනය කළ සිරිසඟබෝ මහාවංසයෙහි මහාසත්ත නමින් හැඳින්වා තිබේ. මහා සත්ත යනු බෝධිසත්ත්වයන් සඳහා යෙදෙන තවත් පදයකි. ක්‍රිස්තු වර්ෂ 337 සිට 365 යන වකවානුව තුළ රජ කළ බුද්ධදාස රජුද බෝධිසත්ත්ව ජීවිතයක් ගත කළේයැයි චූලවංසයෙහි සඳහන්ය.පළමු වැනි උපතිස්ස දශ පාරමිතා පිරූ බව ද එහි සඳහන්ව තිබේ.දස පාරමිතා පිරීම බෝධිසත්ත්ව ගුණයකි.හතර වැනි මහින්ද රජුගේ රාජ්‍ය කාලය මේ සඳහා නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. මේ රජතුමා නිවන් මඟ සාදාගත් බව සඳහන් කරනු පමණක් නොව “නොබොසත්හු නොරජවන්හය සැහැ කුල කොත් සවනිය මුනිරජ්හු වියරන් ලදි” ආදි වශයෙන් සිය වංශයෙහි නරවරයන් ගැනඳ සඳහන් කරයි.මෙයින් පැහැදිලි වන්නේ ලංකාවේ රජ පැමිණි කවුරුන් නමුත් බෝධිසත්ත්ව කෙනෙකැයි යන විශ්වාසයක් මේ වනවිට තහවුරු වී තිබුණ බවය.බෞද්ධ සමාජ ක්‍රමය තුළ ගිහියකු වශයෙන් පැතුම් ලද හැකි උතුම්ම තත්ත්වය වූ බෝධිසත්ත්ව තරමින් රාජ්‍යත්වය සැලකීම රාජ්‍යත්වය පිළිබඳ අදහස්වල වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම ප්‍රකාශනය සනිටුහන් සෙල්ලිපිය ආරාම භූමියක පිහිටුවා තිබීමද වැදගත්ය. මෙයින් හැඟී යනුයේ රජු දේශපාලන වශයෙන් මෙන්ම ආගමික වශයෙන් ද රටේ නායකත්වය දැරූ බව භික්ෂූන් වහන්සේලා විසින් ද පිළිගත් බවයි.

මේ අනුව පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයෙහි දී ශ්‍රී ලංකාවට ලැබුණු බුදුදහම නිසා එතෙක් මිථ්‍යා අදහස්වල එල්බ ගෙන සිටි ජනතාව යහ මාර්ගයට පැමිණ අන්‍යෝන්‍ය ආගමික සහජීවනයකින් යුක්ත පිරිසක් බවට පත්වූහ.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>