ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු හිමියන් ප්‍රමුඛ ධර්මදූත පිරිසේ ලංකාගමනය සිදු වූ අතර එයින් සමාජ විපර්යාසයක් අධ්‍යාත්මික විප්ලවයක් මෙන්ම චින්තන ප්‍රබෝධයක් ඇති විය. අනුරාධපුර මිහින්තලා පව්වෙන් පැන නැඟී, ශ්‍රී ලංකාවේ දස දෙස පැතිරගිය නිර්මල බදු දහම නිසා තිස්ස රජු ඇතුළු රට වැස්සෝ බෞද්ධයන් බවට පත්වූහ. සිංහල සංස්කෘතිය හා බෞද්ධ සංස්කෘතිය එකක් බවට වූයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන නිසාය.
අනුබුදු මිහිඳු හිමියන්ගේ ලංකා ගමන නිසා ශ්‍රී ලංකාද්වීපය නව බොදු සංස්කෘතියකට අනුව හැඩ ගැසුණි. මෙම සුවිශේෂී ඓතිහාසික සිදුවීම නිසා ලාංකිකයෝ අභිමානවත් සංස්කෘතියකට උරුමකම් කීමට සමත්ව සිටිති. අනුබුදු මිහිඳු හිමියන් සිරිලකට වැඩම කිරීමට පෙර මෙරට වැසියෝ විවිධ මිසදුටු ඇදහීම්වල නියැළුණහ. ගස්, ගල්, පර්වත, අව්, වැසි,සුළඟ, ආදී ස්වභාවික වස්තු මෙන්ම යක්ෂ හා නාග වන්දනාව, මළවුන් ඇදහීම, දෙවියන් ඇදහීම ආදී වත් පිළිවෙත්හි ලක්වැසියෝ නිරතව සිටි බව මහා වංශය හා දීප වංශයෙහි සඳහන් වේ.
භාරතයේ රජකළ ධර්මාශෝක රජු දිග්විජය ප්‍රතිපත්තිය අතහැර ධර්මවිජය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමත් සමඟ බුදුදහමට අනුව ක්‍රියා කරන දැහැමි රජකු බවට පත්විය. තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වූ රජු ශාසනික පාරිශුද්ධිය ඇති කළේය. අසූහාර දහසක් වෙහෙර විහාර ඉදිකළේය. තම දියණිය හා පුතණුවන් බුද්ධශාසනයට පරිත්‍යාග කළේය. රටවල් නවයකට ධර්ම ධූත පිරිස් පිටත්කළ ධර්මාශෝක රජතුමා තම පුතණුවන් වූ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල භද්දසාල, සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක යන දූත පිරිස ලක්දිවට එවන ලද්දේය.
පොසොන් පුර පොහෝ දිනක මිහිඳුහිමි ප්‍රධාන දූත පිරිස පැමිණෙන විට ලක්දිව රජ කළ දෙවනපෑතිස් රජු මුව දඩයමෙහි නිරතව සිටි බව සඳහන් වේ. එහිදී අනුබුදු මිහිඳු හිමියෝ රජු අමතා “සමණාමයං මහාරාජ - ධම්ම රාජස්ස සාවකා, තමේව අනුකම්පාය - ජම්බුදීපා ඉදාගත”
(මහරජ අපි ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි ආවෙමු.)
යන ප්‍රකාශය දේශනා කළහ. එහිදී තිස්ස රජු අනුබුදු හිමි කෙරෙහි පැහැදීමට පත්වූ අතර තම අත තිබූ දුනු, හී පසෙකලා උන්වහන්සේට වන්දනා කළේය. පසුව මිහිඳු මහ රහතන් වහන්සේ අසල තිබූ අඹ ගස පදනම් කරගනිමින් රජුගේ බුද්ධිය විමසීම සඳහා ප්‍රශ්නාවලියක් හා රජුගේ ඥාතීන් පිලිබඳ ප්‍රශ්නාවලියක් විමසූහ. එයට නිසි පිළිතුරු දුන් රජු තම බුද්ධිමහිමය ප්‍රකට කළේය. රජුගේ පුළුල් ඤාණය පිළිබඳ වටහාගත් මිහිඳු හිමි පසුදින රජු ඇතුළු පිරිසට ‘චුල්ල හත්ථිපදෝපම’ සූත්‍රයෙන් දහම් දෙසූහ. රජු ඇතුළු පිරිස ධර්ම ඤාණය ලබාගත් අතර පසුව “සමචිත්ත පරියාය, ආදිත්තපරියාය, දේව දූත, විමානවත්ථු, පේතවත්ථු. සච්චසංයුත්ත ආදී සූත්‍ර දේශනා රැසක් ලක්වැසියන්ට දේශනා කළ සේක.
දෙවනපෑතිස් රජුගේ අමාත්‍ය මණ්ඩලයේ සිටි අරිට්ඨ ඇමැති පැවැදි වීමත් සමඟ ලක්දිව භික්ෂු සසුන ද, සංඝමිත්තා රහත් තෙරණියගේ පැමිණීමත් සමඟ දෙවනපෑතිස් රජුගේ දේවිය වූ අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පිරිසක් පැවිදිබව ලබා ගැනීමෙන් ලාංකීය භික්ෂුණී සසුන ද ආරම්භ විය. ඉනික්බිතිව ලක්දිව දස දෙස වෙහෙර විහාර ආරාම ගොඩනැගුණ අතර ඒ තුළින් පන්සල් සුරකින ජන සමාජයක් බිහි විය. ගස්, ගල්, පර්වත, මළවුන් ආදී මිථ්‍යා වැඳුම් - පිදුම් වෙනුවට, තෙරුවන් වන්දනා, චෛත්‍ය හා බෝධි වන්දනා, දෙවියන්ට , මළවුන්ට පින්දීම වැනි සවිදිටු වැදුම් - පිදුම් ක්‍රම බිහි විය. ‘ගමයි - පන්සලයි, වැවයි - දාගැබයි” යන තේමාවට අනුව බෞද්ධ ජන සමාජයක් බිහි විය. පංච දුෂ්චරිත ක්‍රියා අතහැර දමා තම දිවි පැවැත්ම සඳහා බුදුරදුන් අනුදත් පංචසීලය සුරකින ආර්ථික පිළිෙවත් අනුගමනය කරමින් කෘෂිකාර්මික දිවි පෙවෙතකට ලක්වැසියෝ හුරු පුරුදු වූහ.
ගමේ පන්සල මුල්කරගත් අධ්‍යාපන ක්‍රමයක් මෙරට බිහිවූ අතර බුත්සරණ, අමාවතුර, ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය ආදී වටිනා කෘති රැසක්ම රචනා වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. අනුරපුර මහා විහාරය ඉදිකිරීමෙන් පසු නව ගෘහ නිර්මාණ ශිල්පය බිහිවන්නට විය. තවද මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ සංඝමිත්තාගමනයත් සමඟ දහ අට කුලයක කලා ශිල්පීහු ලක්දිවට පැමිණියහ. ඔවුහු ලක්දිව දස දෙස ගෘහ නිර්මාණ කැටයම් චිත්‍ර මූර්ති ආදී කලා කෘති බිහි කළහ. ලෝවාමහාපාය, සඳකඩපහන, සමාධි බුදු පිළිමය, ගල් විහාරය ආදී ශිල්ප දෙස බලන විට ලොව මවිතයට පත් කළ නිර්මාණ සිරි ලක බිහි විය. මිනිස් සමාජයේ අධ්‍යාත්මික ගුණ වගාවෙහි පුළුල් ප්‍රගතික් ඇති වූ අතර රටවැසියෝ මෙන්ම රාජ්‍ය නායකයන් ද නිති පන්සිල්, අටසිල් රැකීමට පුරුදු වූහ.
තම රාජ්‍යත්වය ශ්‍රී මහා බෝධිය, දළදා වහන්සේ වැනි පූජනීය වස්තූන්ට පූජා කරන්නට තරම් ධාර්මික විය. රාජ්‍ය පාලකයා යනු දසරාජ ධර්මයෙන් රට පාලනය කරන බෝධිසත්වයකු ලෙස හැඳින් වූ අතර ලක්වැසියන්ට ආදර්ශයක් වනසේ ඔවුහු කටයුතු කළහ. ඔවුන් තම නම ද බෞද්ධ නම් බවට පරිවර්තනය කරගත් අතර සද්ධාතිස්ස, කාශ්‍යප, මුගලන්, ධාතුසේන, මිහිඳු, සිරිසඟබෝ, බුද්ධදාස ආදී නම් ඒ බව මනාව තහවුරු කරයි. අධ්‍යාත්මික ප්‍රගතිය අනුව මුළු සමාජයම ගිහි - පැවිදි වශයෙන් කෙටස් දෙකකට වෙන් කෙරුණ අතර එය භික්ෂු - භික්ෂුණී, උපාසක - උපාසිකා යනුවෙන් සිව්වනක් පිරිසක් බවට පත්විය.
අනුරාධපුර යුගයේ රජකම්කළ බොහෝ රජවරු අවිහිංසාවාදී බෝසත් ප්‍රතිපත්ති අනුගමනය කළහ. පොළොන්නරුව , දඹදෙණිය, කෝට්ටේ ආදී යුගවලදී ද එවැනි බෝසත් රජවරු බිහිවිය. ඇතැම් අවස්ථාවල පරසතුරු උවදුරු මෙරටට පැමිණි අතර එහිදී බුදු රදුන්ගේ පාත්‍ර ධාතූන් වහන්සේ හා දළදා වහන්සේ රැක ගැනීමට අතීත රජවරු දිවි හිමියෙන් ක්‍රියා කළහ. මෙරට රාජ්‍යත්වය ලැබීමේ ප්‍රධාන සංකේත බවට පාත්‍ර ධාතුව හා දළදා වහන්සේ පත්විය.
පොසොන් පුර පොහෝදා සිදුවූ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ බෞද්ධ කේන්ද්‍රස්ථානය බවට ලංකාදීපය ප්‍රචලිත විය. පසුකලෙක විදේශීය ආක්‍රමණ හේතුවෙන් ඇතැම් වෙනස්කම් ඇති වුවද තවමත් අප රට ආගම, දහමට ලැදි ජනසමාජයක් සිටින බෞද්ධ රටක් ලෙස පවතී. අනුබුදු මිහිඳු හිමියන්ගේ ලංකාගමනය හා ඉන් ඇති වූ ප්‍රබෝධය ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ සදාකල් පවතිනු ඇත.
නිශාන් මෙන්ඩිස්