Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මහලු නොවන කුරුල්ලෝ

$
0
0
ජුනි 20, 2019 01:00

ආචාර්ය සුනිල් රණසිංහ
(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

හිරු නැ‍ඟෙන්නට පෙර කුරුල්ලෝ අවදි ව තම වැඩ කටයුතු ආරම්භ කරති. ඔවුන්ට ඔරලෝසු නොමැත. එහෙත් නිසැකව ම හිරු නැ‍ඟෙන වේලාව ඔවුහු දනිති. ඒ සොබාදහම සමඟ ඇති සබඳතාව නිසා ය. උදෑසන අවදිවීම ඔවුන් සැමවිට ම ප්‍රබෝධමත් කරයි. නිරතුරුව පියෑඹීමට පියාපත්වලට ශක්තිය අවශ්‍යයි. ඒ නිසා කුරුල්ලෝ සැමදා තරුණයි.”

“කුරුල්ලො කොච්චර කාලයක් ජීවත් වෙනව ද?”

නවසීලන්තයේ වනාන්තරවල ජීවත්වන කකාපො (Kakapo) නමැති ගිරා වර්ගය වසර 90 කට ආසන්න කාලයක් ජීවත් වෙති. රාජාලියා වසර 70 ක් පමණ ජීවත් වෙයි. අහසේ පියාසර කරන කුරුල්ලන් කිසි දිනක මහලු නො වෙයි. ඔවුන්ගේ ශරීර ප්‍රමාණය වෙනස් නො වෙයි. ඔවුන්ගේ ආහාර රටාව ඉතා සරලයි. අමු ආහාර පමණක් පරිභෝජනය කරන හෙයින් ඒවායේ ප්‍රෝටීන විටමින් පෝෂ්‍ය පදාර්ථ බහුලයි.” “ළාබාල අවදියේ මෙන් ම වයසට යෑමේ දී ද අහසේ පියාසර කිරීමට ඔවුනට ශක්තිය වුවමනා හෙයින් තමන් ගත හෝ නොගත යුතු ආහාර ගැන මනා දැනුමක් තිබේ. එහෙයින් ඔවුන් සැමදාම නිරෝගියි. තරුණයි. සැතපුම් දහස් ගණනක් මහ මුහුද හරහා පියෑඹිය හැකිය.”

වැඩකට නැති ඔරලෝසුව

“ඒ අයගෙ ඉගෙනුම් ක්‍රමය හරි සරළයි. පෙළ පොත් නොමැත. ගතානුගතික සංකීර්ණ තරග විභාග නොමැත, ඖෂධ, කාලගුණය, සුළඟ හමන හැටි, ආරක්ෂාව, කූඩු තනන හැටි මේ හැම දෙයක් ම වැඩිහිටියෝ කියා දෙති. ඒක පරම්පරාවෙන් පරම්පරාවට විධිමත් ව පවත්වා ගෙන යයි. ඒ අයට සීමා මායිම් නොමැති හෙයින් නිදහසේ අහසේ පියාඹයි.”

කුරුලලන් සහ අපි අතර වෙනස කුමක් ද?

“මිනිසුන් සතුව කොපමණ ඔරලෝසු තිබුණ ද කම්මැළිකම නිසා ඔවුහු උදෑසන අවදි නො වෙති. රසකාරක හා වස විස යොදා නැවත සැකසූ ආහාර රටාව නිසා වයසට වඩා ඉක්මණින් රෝගි වී මහලු වෙති. ජීවිතය සංකීර්ණ නිසා ප්‍රබෝධයක් නොමැත. සීමා මායිම් බෙදා ගත් බැවින් ජීවිතාන්තය දක්වා ම සිරකරුවෙකි. නිදහස, සතුට, ජීවිතය බෙදා ගැනීම වැනි බොහෝ දෑ අප කුරුල්ලන්ගෙන් උගත යුතු ය.”

අපේ ගුරුවරයා සොබාදහමයි. අපි සොබාදහමේ දරුවන් වන්නෙමු. සොබාදහමේ වෙනස්කම් ජීවිතය හැඩ කරයි. පෘථිවිය මත සිටින හැම ජීවියෙක් ම එක ම කුටුම්භයකට අයත් ලේ ඥාතීන්ය. එසේ නම් මානවයා වාර්ගික ව සහ ආගමික ව බෙදිය හැකි ද?

මානවයා ශීලාචාර කරන්නට සොබාදහම අවස්ථා කීපයක් උත්සාහ කළේය. මුලින් ම යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගාධාරයේ මෙසොපොතමියාවේ දී, පසුව බැබිලෝනියාවේ දී, නැවත නයිල් ගංගාධාර‍යේ දී, සින්දු ගංගා නිම්නයෙ මොහෙන්දොජාරොව හා හරප්පාවේ දී, ඇමසන් නදිය යාබද මායා - ඉන්කා දේශයේ දී, හොවැන්හෝ ගංගාධාරයෙදීය. ඒ හැම උත්සාහයක් ම බල දේශපාලනය, මුදලට, භූමියට ඇති කෑදරකම නිසා ව්‍යවර්ථව ගොසිනි. එහෙයින් මානවයා තවම ශිෂ්ට නැත. ඔහු ප්‍රචණ්ඩ සත්ත්වයෙකි. අලුත් මෙවලම් පරිහරණය කළ ද මොළය තවම උරග යුගයෙ නිර්මාණයකි. සෑම ක්‍රියාකාරකමකින් ම ඔළුවෙ අර්බුදය ප්‍රදර්ශනය වෙයි.

කොන්ක්‍රීට් ගොඩනැගිලි, අධිවේගි මාර්ග, තාක්ෂණය, විද්‍යුත් මාධ්‍ය මඟින් ශිෂ්ටාචාරය ඉසුරුමත්භාවය මැනිය නො හැකිය. මානවයා සංස්කෘතික වෙනස්කම් ඇති තම සහෝදර මානවයන් හා සොබාදහම සමඟ සහසබඳතා පැවැත්වීමට උගත්විට ශිෂ්ටාචාරය අර්ථවත් වෙයි. නූතන මානවයා, තරගකාරිත්වය, එකෙක් අභිභවා අනෙකා අසාධාරණ ලෙස නැඟී සිටින ප්‍රචණ්ඩත්වය, ඉසුරුමත්භාවය යැයි අර්ථකථනය කරයි. හැම කෙනෙක් ම අනෙකා මංකොල්ල කෑමට උත්සාහ කරයි. පාසල සොබාදහම මංකොල්ලකෑමට උගන්වයි. තමාගේ මූලධර්මවාදයට නොගැළපෙන අනෙකාව විනාශ කිරීමට උගන්වයි.

දැනුම සහ නොදැනුම

දවසක් ස්වදේශික රතු අමෙරිකානුවකු මුණගැසුණු නගරයේ සිට ආ ව්‍යාජ බුද්ධිමතෙක් එයාගෙ ඇස් වටය වගේ පුංචි රවුමක් ඇඳ මේ තමයි රතු ඉන්දියානුවාගේ ලෝක දැනුම යැයි දන්වා සිටියේය. ඒ වගේ දස ගුණයක් ලොකු රවුමක් ඇඳ මේ තමයි පුරවරයේ ඉන්න අපේ දැනුම යැයි ආඩම්බරයෙන් පැවසුවේය. ටිකක් කල්පනා කළ ස්වදේශිකයා ඒ රවුමට වඩා සිය ගුණයක් ලොකු රවුමක් ඇඳ මේ තමයි යාළුවා අපි දෙන්නම නොදන්න ලෝක දැනුම යැයි පැවසුවේය. අපේ දැනුම අස්වාභාවිකය. පටුය.

යම් කෙනෙක් ඇවිදීම නතර කළහොත් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙන වග අප්‍රිකානු ගෝත්‍රිකයෝ පවසති. ජීවිතයයි ගමන - සංසාරය කියන්නෙ උපතේ සිට මරණය දක්වා සැරිසැරීමටය. නූතන මානවයා අනවබෝධය නිසා මහපොළව බෙදා වෙන් කර එක තැනක නතර ව ආගම, භාෂාව, වර්ගය, දේශපාලන කට්ටිවාදය වැනි සිල්ලර සලකුණු යටතේ බෙදී වෙන්වීම සියලු අර්බුදයන්ගේ ආරම්භයයි. ඔහු කිසිවකුට අයත් නැති භූමියක ම යුද්ධ කරයි. ජීවත් වෙන අය පමණක් නොව හැම සුසාන භූමියක ම මළවුන් එක එක සන්නම් යටතේ බෙදා වෙන් කර ඇත. විවිධ හන සලකුණු යටතේ දරුවන් සිර කර වහා ගිනි ඇවිලෙන සුළු ගිනි කන්දක සිරකර ඇත. මානවයා පහත් පෙළේ වානරයකුගෙන් පැවත එයි. මහපොළොව ඔත්පළ වුණා ම වනාන්තර විනාශ ව ගංඟා මිහිදන් ව, ජලය අපවිත්‍ර ව, වන සතුන් අතුරුදහන් වෙයි.

සුන්දරත්වය විඳින්න පුළුවන් අප සොබාදහම් කොටසක් වුණොත් පමණි. මහ පොළොව අපේ පරවේණී උරුමයක් හෝ පෞද්ගලික දේපළවල කොටසක් නොවෙයි. අප මහපොළොවේ ම කොටසකි. නූතන මානවයා තමන් ම ගොඩනඟාගත් සිරමැදිරියක හුදකලා ප්‍රාණඇපකරුවෙකි. සමාගම් වහලෙකි. මඳ පවනට, සමනලයකුට, කුඩා ප්‍රාණියෙකුට එහා මෙහා යන්න බැරි අයුරින් වැට කඩොළු බැඳගෙන පැවැත්ම සඳහා අනෙකා සමඟ මාරාන්තික තරගයක පැටළුණ මුග්ධයෙකි. මානව සමාජය ම බංකොළොත් ව දවසින් දවස ශිෂ්ටාචාරය බිඳ වැටෙයි. පෘථිවිය අභ්‍යන්තරයේ තිබෙන පිරිසුදුම දේ ජලය යි.

පො‍ෙළාව මතුපිට තිබෙන හැම දෙයක් ම කිළිටි වුණා ම පිරිසුදු කරන්නෙ ජලයයි. ඒත් ජලය පො‍ෙළාව මතුපිටට විත් මානවයා මුණගැසුණ වහා ම ජලය අපිරිසුදු වෙයි.

සිරුරේ සටන

ශරීරය අභ්‍යන්තරයේ ඉතා භයානක සටනක් සිදුවෙමින් පවතින වග මහලු මිනිසෙක් තම මුනුපුරාට කියා සිටියේය. එය වෘකයන් දෙදෙනෙක් අතර සටනකි. එකෙක් රාක්ෂ‍ෙයකි. ඔහු වෛරය, ක්‍රෝධය, නො ඉවසීම, මමත්වය, කෑදරකම, අනවබෝධය, මුග්ධභාවය. බල දේශපාලනය, ආගමික අන්තවාදය හා ප්‍රචණ්ඩත්වය නියෝජනය කරයි. අනෙකා ඉතා යහපත්ය. හෙතෙම විමුක්තිය, සතුට, සාමය, ආදරය, ඉවසීම, අවබෝධය, මනුෂ්‍යත්වය, අනුවේදනය, සංවේදිබව නියෝජනය කරයි. දරුව මේ වෘකයන් දෙදෙනා ඔබේ ශරීරය තුළ ද සටන් කරති. අන් හැමෝගේ ම සිරුර තුළ ද සටන් වදින්නේ යැයි මහල්ලා තම මුනුපුරාට පැහැදිලි කළේය.

“මේ දෙදෙනාගෙන් කවරෙක් ජයග්‍රහණය කරන්නේ දැ?”යි මුනුපුරා මහලු මිනිසාගෙන් විමසු‍ෙව්ය. ”ඔබ කවා පොවා ඇතිදැඩි කරන වෘකයා අවසානයේ ජයග්‍රහණය කරන්නේ යැයි” මහලු මිනිසා ඉතා සරළ ව පැවසුවේය. පරම්පරා ගණනාවක් තුළ අප විසින් කවා පොවා නඩත්තු කළ නපුරු වෘකයා ප්‍රචණ්ඩකාරී ව හා උමතු ලෙස ආපසු හැරී සමාජය විකා දැමීමට සැරසෙයි. දැන් ඔබ කුමක් කළ යුතු ද? මේ සටන මා තුළ මෙන් ම ඔබ තුළ ද අඛණ්ඩ ව පවතී.

මඩ වගුරු පෙන දමන විට මහපොළොව හුස්ම ගන්නා වග අපේ මුතුන් මිත්තෝ කියා දුන්හ. ඒ නිසා තැන් තැන්වල කුණු කසළ දමන්න එපා. සියල්ලොම සමසේ බෙදාගන්නා නිසා වායුව මාහැඟි වස්තුවකි. ජලය මහපොළොවේ ජීවය රඳාපවතින නහරවැල් බඳුය. ජලය අපිරිසුදු නොකළ යුතුයි. නූතන මානවයාගේ සියොළඟ වස විසෙන් පිරී ඇත. සමස්ත පෘථිවිය ම ඔහුට අමුද්‍රව්‍යයකි. ඔහු හරිම අවිවේකය. හැම දෙයකට ම මිලක් නියම කර විචාර බුද්ධියෙන් තොර ව හැසිරෙයි. සමාගම් සහ බල දේශපාලනය ඔහු වෙනුවෙන් තීරණ ගනියි. දරු මුනුපුරන් හා තවමත් ඉපිද නැති අය වෙනුවෙන් අප මහපොළව රැක ගත යුතුයි. අපිට ඔවුන්ගේ බස නොතේරෙන අනෙක් සියලු ශාක හා සත්ත්ව ජීවීන් වෙනුවෙන් පෘථිවිය රැක ගත යුතුයි.

සමහර විට අප කියන දේ ඔබට වටහාගත නො හැකියි. අපේ ජීවන මාර්ගයට වඩා ඔබේ ජීවන මාර්ගය වෙනස්ය. මානවයා අනෙකකුගේ අනුකාරකයෙක් වූ වහාම නිදහස් දැක්ම අවසන් වෙයි. ඔවුන් වෙනුවෙන් වෙළෙඳ සමාගම් තීරණ ගනියි. කැරපොත්තාට හිස නැතිව දින දාහතරක් පමණ ජීවත් විය හැකිය. කැරපොත්තා මිය යන්නේ හිස නැති නිසා නොවේ, ආහාර නොමැතිවය. මානවයාට නිවැරදි දැක්මක් නැතිනම් ඔළුව නැතිව ජීවිත කාලය ම වහලෙක් මෙන් ජීවත්වීමට සිදුවේ. ඉන්දියන් සාගරයේ කෙළවරක ඔළුව නැති මිනිසුන්ගේ රාජ්‍යයක් තිබේ. එහි කය මිස සිත නොමැති මානවයා අනෙකා ගැන සැකයෙන් හා බියෙන් ජීවත් වෙයි. තමාගේ ජීවිතය පවා ඔහුට අයත් නොවෙයි. සැමවිට ම කාගේ හෝ පිහිට පතයි. ආත්ම ශක්තියක් නොමැත. ස්වයං දැක්මක් නොමැත.

සතුන්ගෙන් පාඩම්

වසන්තයේ ශාක පත්‍ර දිග හැරෙන හඬට, කෘමි පියාපත්වල සර සර නාදයට සවන් දෙන්නට හැකියාවක් නැති නම් දෙසවනට ඇසෙන්නෙ නින්දා අපහාස හා කලබලයයි. වස්සානයේ මැඩියන්ගේ තර්ක විතර්ක හා රැහැයි ගී ඇසෙන්නේ නැතිනම් ජීවිතයෙන් ඇති පලය කුමක් ද? අප බකමූණාගෙන් නිහඬතාව, නරියාගෙන් උපායශීලිත්ව, කවුඩාගෙන් ධෛර්ය, කූඹියාගෙන් එකමුතුකම, උකුස්සාගෙන් විචාරශීලීත්වය, ගේ කුරුල්ලාගෙන් ආදරය, ඉදිබුවාගෙන් අනෙකා සමඟ තරග නොකිරීම, ඩොල්ෆින් මත්සයාගෙන් දිගු කාලීන මතකය ඉගෙනගත යුතුය.

ජීවිතය තුළ වන ජීවීන් විශාල කණ්ඩායම් සමනලුන් හා කුරුල්ලන් පිරුණ වනාන්තර දැකීමට අපි සිහින දුටුවෙමු. අපේ දරුවන්ට දැක බලා ගැනීමට වන සතුන්, සමනලයන්, ගේ කුරුල්ලන්, සැළලිහිණියන් ඉතිරිවන්නේ නම් පුදුමයකි. අප වෙනස් විය යුතුය. වෙනස් විය හැක්කේ ඔබ ස්වයංපෝෂිතයෙක් වුණොත් පමණි. වංචනිකයන්ගේ වුවමනා සඳහා පාවිච්චි වන අනුකාරකයා ස්වයංපෝෂිතයෙක් නො වෙයි. පරපෝෂිතයා යනු බව භෝගවල සාරය උරා බොන පළි‍බෝධකයෙකි. මානව සමාජයෙ පරපුටුවෝ සම්භාවනාවට පාත්‍ර වෙති. සම්ප්‍රදායය යනු සොබාදහමේ වෙනස්කම් මනාව වටහා ගෙන එම ප්‍රවාහයට අනුව ගමන් කිරීමයි. පාරම්පරික ව එක තැන පල්වීම අඥානකම මිස සම්ප්‍රදායය නොවේ. හැම දෙයක් ම වෙනස් වෙමින් ගලා බසී. සම්ප්‍රදාය එයයි. නිදහස් මානවයා එක ම ආලෝකයක් දිගු කලක් භාවිත නො කරයි. එක ම ආහාරයක් දිගු කාලීන ව පරිභෝජනය නො කරයි. එක ම අදහසක දිගු කලක් රැඳී නො සිටියි. ගැලවුම්කරුවෙක් පැමිණෙන තෙක් බලා නො සිටියි. නිදහස් මිනිසාට ජීවිතය දුකක් නො වෙයි. නිදහස් මානවයා ජීවිතය ප්‍රේ‍්‍මයෙන් වැලඳගෙන අනෙකා සමඟ බෙදා ගනියි. ජීවිතය කියන්නෙ සාමූහික පැවැත්මටයි.


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>