ආචාර්ය නාලක ලංකාසේන - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තොරතුරු හා සන්නිවේදන දෙපාර්තමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
සමාජ ජාල ඇතුළු ජනමාධ්‍ය මඟින් යම් සිදුවීමක් වාර්තාකරණයේදී පුද්ගලයන්ට හා සමාජයට සිදුවන බලපෑම පිළිබඳ අවධානය යොමු කළ යුතුය. අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක ක්‍රියාකාරීත්වයක් හේතුකොටගෙන රටේ නොසන්සුන් වාතාවරණයක් පසුගිය කාල වකවානුව පුරා මෙරට සමාජ ජාල මාධ්‍ය තොරතුරු වාර්තාකරණයේදී දක්නට ලැබුණේ පුද්ගලයාට මෙන්ම සමස්ත ප්‍රජාවටම යහපත් නොවන ආකාරයේ හැසිරීම්ය. මේ තත්ත්වය මත සමාජජාල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජයේ පවත්නා විශ්වාසනීයත්වය ශීඝ්‍ර ලෙස බිඳවැටී තිබෙන බවක් පෙනේ.
සමාජ මාධ්‍ය හරහා යම් යම් සිදුවීම් වාර්තාකරණයේදී අදාළ පාර්ශ්වයන් එමඟින් සමාජයට සිදුවන බලපෑම කවරේද යන්න අවබෝධ කරගනිමින් ක්‍රියා කළේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත වන්නේ නැත. රටේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමට සමාජජාල මාධ්‍ය නිතර නිතර අවහිර කරන්නට සිදුවීම එහි ප්‍රතිඵලයකි.
ශ්‍රී ලංකාවේ නව මාධ්‍ය ක්‍රියාකාරීත්වය විමසා බැලීමේදී සමාජය වගකීමක් සහිතව හැසිරෙනවාද යන්න ගැටලුවකි. රටේ ඇතිවන සිදුවීම් හමුවේ මාධ්‍ය කොතරම් දුරකට වගකීමෙන් කටයුතු කරනවාද යන්න විවාදයට තුඩුදී ඇත. නව මාධ්‍ය පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රථම මාධ්‍ය සදාචාරය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. කළ යුතු හෝ නොකළ යුතු දේ කුමක්ද යන්න තීරණය කිරීම සදාචාරයයි. මාධ්‍යකරුවන් අනෙකුත් පාර්ශ්වයන්ට හානියක් නොවන පරිදි මාධ්‍ය භාවිත කිරීම මාධ්‍ය සදාචාරයයි. ඔහු සතු විනය හා ශික්ෂණය මේ සඳහා බලපායි.
ආචාරධර්ම
සන්නිවේදන විග්‍රහ අනුව ජනමාධ්‍යවේදියා යනු රටක, සමාජයක ප්‍රගමනය උදෙසා අවශ්‍ය නිවැරදි තොරතුරු සපයන වැදගත් මූලාශ්‍රයකි. සමාජයට ලබා දෙන පණිවිඩ තුළින් සාධාරණය හා පරිපූර්ණ බව පෙන්වන සාක්ෂියකි. මාධ්‍යවේදියා නිවැරදි තොරතුරු සමාජගත කිරීමේ ප්‍රමුඛයකු විය යුතුය. ඕස්ට්‍රේලියානු ආචාර්ධර්මවේදී පෝල් කැඩ්වික් මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධ ප්‍රධාන කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර ඇත. සාරධර්ම ආරක්ෂා කිරීම, ප්‍රමිතීන් රැක ගැනීම හෝ වර්ධනය කර ගැනීම , වඩාත් නිවරැදි වාර්තාකරණයක යෙදීම සහ විනිවිද පෙනෙන සුලු බවකින් ක්‍රියා කිරීම ප්‍රධාන කරුණු ලෙස ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාවේ නව මාධ්‍ය ක්‍රියාකාරීත්වය තුළ සාමකාමී බව, යහපැවැත්ම, ආචාර ධර්ම හා අගය කිරීම් බිඳ දමන ආකාරයක් දැක ගත හැකිය. ප්‍රචණ්ඩ ක්‍රියා හා සාහසික දර්ශන, නිශ්චිත ලෙස නිගමනය නොකළ සිද්ධීන් සත්‍ය ලෙස ඉදිරිපත් කිරීම හා පළ කිරීම, සමාජ පුරුෂාර්ථ බිඳ දැමීම, සැකකරුවන් අපරාධකරුවන් ලෙස පෙන්වීම මෙන්ම සමාජ වගකීම් ආරක්ෂා නොකිරීමත් බහුලව දක්නට ලැබේ.
ලෝකයේ විකල්ප මාධ්‍ය අතර ප්‍රමුඛතාව හිමිකරගෙන සිටින්නේ ෆේස්බුක් සමාජ ජාලයයි. ලොව අතිශය ජනප්‍රිය සමාජ සම්බන්ධතා ජාලගත කිරීමේ සේවාව ද එයයි. එදිනෙදා ජීවිතයේ සිදුවීම්, තොරුතුරු, ජායාරූප හා වීඩියෝ ආදිය ෆේස්බුක් මාධ්‍ය හරහා අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගැනේ. මෑතකදී කරන ලද සමාලෝචනයකට අනුව ෆේස්බුක් භාවිතය ජනප්‍රිය වීමට කරුණු ගණනාවක් හේතු වී ඇත. තම මිතුරු මිතුරියන් දවසේ සෑම මෙහොතකම කරන කියන දේ පිළිබඳ දැන ගැනීමට හැකි වීම, ඡායාරූප, වීඩියෝ ආදිය අප්ලෝඩ් කර අන් අය හා බෙදා ගැනීමට හැකිවීම, තම මිතුරු මිතුරියන්ට ඉලෙක්ට්‍රොනික තෑගි යැවීමට හැකිවීම, වෙබ් පදනම් වූ ක්‍රීඩා කිරීමට හැකිවීම ආදිය ඒ අතර වේ.
සෑම තාක්ෂණික උපකරණයකම මෙන් ෆේස්බුක්වලද පෞද්ගලිකත්වය හා බැඳුණු ප්‍රශ්න ඇති වී තිබේ. පුද්ගලයන් හා ස්ථාන පිළිබඳ වැඩිදුර තොරතුරු, කරන කියන දේ, සිටින තැන හා ආශ්‍රය කරන අය පිළිබඳ වෙනත් පාර්ශ්වයන්ට දැන ගැනීමට උපකාරී වේ. පුද්ගල ජීවිතවලට තර්ජන පවා එල්ල කිරීමේ හැකියාව මේ නිසා ඇතිවේ .
නිවැරදි මූලාශ්‍ර භාවිත නොකිරීම නිසා වර්තමාන සමාජජාලා මාධ්‍ය හෑල්ලුවට ලක්වී තිබේ. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය විසින් වාරණය කරන ලද ඕනෑම දෙයක් නව මාධ්‍ය තුළ වාරණයට ලක් නොවී සංසරණය වීම දැක ගත හැකිය. නිදහසේ මත දැක්වීමට ඉඩ ඇති තැනක් ලෙස අන්තර්ජාල මාධ්‍ය හඳුන්වාදිය හැකිය.
එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් සිය මිතුරන්ගේ පෞද්ගලික තොරතුරු තම මිතුරන් අතර හුවමාරුකර ගැනීමේ විකල්ප සන්නිවේදකයෙකු ලෙස ෆේස්බුක් නිර්මාණය කර ඇත. වර්තමාන තොරතුරු සන්නිවේදනයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ප්‍රබල ජනමාධ්‍ය ජාලවලට අභියෝගයක් වෙමින් ක්ෂණිකව තොරතුරු ලබාදෙන මාධ්‍යයක් බවට පත්වී ඇත.
අන්තර්ජාල නිදහස
ප්‍රවෘත්ති, ඡායාරූප, ලිපි, විශේෂාංග, පෝස්ටර්, වීඩියෝ දර්ශන, බැනර්, දැන්වීම් ප්‍රචාරණ පට, අලෙවිකරණ උපක්‍රම, අලෙවි කටයුතු සියල්ල මෙහෙයවන දැවැන්තයකු ලෙස ෆේස්බුක් ඉදිරියෙන් සිටියි. මාසයක් තුළ ග්‍රාහකයෝ බිලියන 2.2ක් ෆේස්බුක් ජාලය භාවිත කරති. වැඩි වශයෙන් වයස අවුරුදු 18 – 30 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්ට සමාජ මාධ්‍ය මඟින් සිදු කරන බලපෑම ප්‍රබල වී ඇත. සමාජ යහපතට වඩා සමාජ විෂමාචාර ක්‍රියාවලට පෙළඹීමට ඇති සම්භාවිතාව වැඩිවීම මෙහි අහිතකර පැතිකඩයි. ෆේස්බුක් භාවිත කරන්නන්ගේ ආකල්ප සමාජ යහපතට වඩා සමාජ අයහපතට හේතුවන ආකාරය දැකගත හැකිය. අවිධිමත් සන්වේදනයේදී පුද්ගල කීර්තිනාමයට විරුද්ධව භාවිත කළ කැලෑ පත්තර කලාවට සමාන බවක් ෆේස්බුක් අන්තර්ගතය පිරික්සීමෙන් හඳුනාගත හැකිය.
යම්කිසි පාර්ශ්වයකට කම්පන හෝ හිත් වේදනා ඇති කරන ප්‍රශ්න එනම් ප්‍රචණ්ඩත්වය, කාමුකත්වය, මත්ද්‍රව්‍ය, ලිංගික පීඩනය, අශිෂ්ටත්වය යනාදිය පිළිබඳ යම් වාර්තාකරණයක් සිදු කරන්නේ නම් ඊට සම්බන්ධ ඡායාරූප, කාටුන්, චිත්‍ර ඉදිරිපත් කිරීමේදී මහා අවබෝධයකින් කටයුතු කළ යුතුය.
පසුගිය දිනක සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කරුණු වාර්තා කර තිබූ ආකාරය හේතුවෙන් සමාජ හර පද්ධතීන්ට සංස්කෘතියට හා ආගම් ආදියට විශාල ලෙස බලපෑම් සිදු විය. ව්‍යාජ පුවත් ජාලගත කිරීම නිසා අනවශ්‍ය කලබල වීම් හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් වැළැක්විය නොහැකි විය. ශෝකය කම්පනය ඇතිවන ආකාරයේ තොරතුරු නව මාධ්‍ය හරහා සමාජගත කිරීම රට තුළ අහිතකර වාතාවරණයක් ඇති වීමට හේතු විය. මේ සිදුවීම් වාර්තාකරණය තුළ ඇතැම් මතධාරීන් තම පටු අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ ගත් ආකාරය දැකගත හැකි විය. බටහිර ලෝකය දෙස බැලුවහොත් වර්තමානයේ ISIS ත්‍රස්තවාදී ප්‍රහාරවලදී මාධ්‍ය ක්‍රියාකාරිත්වය හාත්පසින්ම වෙනස්ය. මියුනිච්හිදී දෙසීයකට අධික පිරිසකට එල්ල වූ ප්‍රහාරය සහ බුසල් හි සිද්ධිය ආදියේදී බටහිර මාධ්‍ය මෘත ශරීර හෝ ලේ ගලන දර්ශන පෙන්වූයේ නැත. අප රටේ ISIS ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී මියගිය පිරිස් හා තුවාල ලැබූ අයගේ දර්ශන මාධ්‍ය තුළ නිරන්තරයෙන් පේනවූයේය. රටේ මාධ්‍ය නිසි සදාචාර ක්‍රමවේදයකට අනුගත වී නොමැති ආකාරය මෙහිදී දැකගත හැකි විය. බටහිර ලෝකයේ මාධ්‍ය සම්ප්‍රදායන් හි සැසඳීමේදී අප රටේ ඇතැම් වාර්තාකරණයන් ප්‍රාථමික මට්ටමක පවතින බව හැඟේ.
මාධ්‍ය කාර්යභාරය
මාධ්‍යයේ බලපෑම සෘජුව හෝ වක්‍රව නැවත පොදු ජන සමාජය වෙතම විසරණය වේ. මාධ්‍ය මෙන්ම මාධ්‍යවේදීන් ද තම මාධ්‍ය භාවිතාවේ ස්වරූපය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ලද සැනින් සිදුවීම් වාර්තා කිරීම මාධ්‍යවල කාර්යභාරයක් නොවේ. මළමිනී, තුවාලකරුවන්, සැකකරුවන්ගේ සමීප දර්ශන පෙන්වීමෙන් ජනතාවට පහත් පෙළේ වින්දනයක් ලබා දෙයි. ජන විඥානය විකෘතියකට, වෙනසකට ලක්කරමින් සදාචාරාත්මක නොවන අයුරින් හැසිරෙන ආකාරය දැකගත හැකි විය. මෙහි වගකීම පැවරෙන්නේ සමාජජාල මාධ්‍ය භාවිත කරන සියලුම පාර්ශ්වයන්ටය.
ආරක්ෂාව
සමාජජාල මාධ්‍ය අවහිර කළ අවස්ථාවලදී බොහෝ දෙනෙක් Free VPN භාවිත කරති. එහෙත් එහි අවදානමක් පවතින බව පැහැදිලිවම දැන සිටිය යුතුය. සාමාන්‍ය අන්තර්ජාල භාවිතයකදී අපගේ සේවා සැපයුම්කරු හරහා සෘජුවම සම්බන්ධ විය හැකිය. VPN භාවිතයේදී අපගේ දත්ත පළමුව අප තෝරාගත් VPN Server එකක් වෙත යොමු වෙයි. ඒ තුළින් අන්තර්ජාලයට පිවිසෙන විට අපගේ රට ලෙස අදාළ VPN සේවාව ලබාදෙන රට පෙන්වයි. මෙම සේවාව විශ්වාසදායී ලෙස ලබා ගැනීමට හැකි වන්නේ ව නම් ගැටලු මතුවන්නේ නැත. එවැනි සේවාවක් ලබා ගැනීමට මාසික පදනම මත යම් මුදලක් වැය කිරීමටද සිදුවේ. එම සේවාව පවත්වාගෙන යාමට ඔවුන්ට යම් පිරිවැයක් දැරීමට සිදු වේ. නොමිලයේ ලබා ගන්නා VPN සේවාව කෙතරම් දුරකට ආරක්ෂාකාරී දැයි මෙහිදී ගැටලුවක් පැන නඟී. මෙම සේවා නොමිලේ ලබාදීමේ පරමාර්ථය කුමක්ද යන්න පළමුව විමසා බැලිය යුතුය. අපගේ Location Data, User name and passwords, Conversation logs, Credit Card Numbers, Video and audio data, browsing logs ආදී බොහෝ දේ ඔවුන් එකතු කරගනු ලබන බැවින් Free VPN භාවිත කරන්නන් යම් යම් අවදානම්වලට ලක්වීමට හේතු වෙයි. පුද්ගලයකුගේ අන්‍යතාව භාවිතයෙන් බරපතල නීති විරෝධී කාර්යයක් සිදුකිරීමට ඇති ඉඩ ප්‍රස්තාව මේ නිසා වැඩිය. VPN භාවිත කළ යුතු අවස්ථාවක Premium VPN එකක් භාවිත කිරීම වඩාත් ආරක්ෂාකාරී වේ.
ඉතිරි කොටස ලබන සතියේ...
පමුදිනි සමරනායක