පාස්කු ප්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිව ඇති අවිනිශ්චිතතාව, මුස්ලිම් ඇමැතිවරුන් තනතුරු අත්හැරීම සම්බන්ධයෙන් පවතින විවිධ අදහස් උදහස්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ආදී කරුණු සම්බන්ධව කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය කටයුතු හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි මෙසේ අදහස් දක්වයි.
* ගෝඨා මුස්ලිම් හමුදාවකට උත්සාහ ගනිද්දි අපි විරුද්ධ වුණා
* ඕනම තැනක කටඋත්තර දෙන්න අපි සූදානම්
* අපි වෙනුවෙන් කවුරුත් පෙනී සිටියේ නැහැ
* රිෂාඩ්ට විරුද්ධවෙලා වීරයෝ වෙන්න හදනවා
* අපි අස් වුණේ රට ගැන හිතලා
* සිංහල බෞද්ධ ආගමික නායකයෝ මුස්ලිම් විරෝධී කියලා අපි හිතුවෙ නැහැ
පාස්කු ප්‍රහාරය මුල්කරගෙන මුස්ලිම් ජනතාවට එල්ලවෙන චෝදනා ගැන ඔබ මොකද කියන්නෙ?
පාස්කු ප්‍රහාරය කොන්ත්‍රාත් එකක්. මේ ප්‍රහාරය ගැන කලින් දැනුවත් වෙලා හිටියා. හිටපු පොලිස්පතිතුමයි. ආරක්ෂක ලේකම්තුමයි ඒ බව කිව්වා. මේ ප්‍රහාරය වළක්වගන්න හරියට ක්‍රියාමාර්ග ගත්තෙ නැහැ. මේක කොන්ත්‍රාත් මිනීමැරුමක් කියල මම කියන්නෙ ඒකයි. අපේ ආගමේ හැටියට සියදිවි නසා ගැනීම බරපතළ වරදක්. ඉස්ලාම් ආගම නියමාකාරව පිළිපදින කෙනෙකුට තමන්ගේ ජීවිතය නැතිකරගන්න හිතන්නවත් බැහැ. අපේ සමාජයේ මෙහෙම දෙයක් වෙයි කියල අපි කවදාවත් හිතුවෙ නැහැ. අපිට චෝදනා කරන්නෙ - දේශපාලන වාසි ගන්නයි. මුස්ලිම් විරෝධී, සුළු ජාතිකයන්ට විරුද්ධ වීම හරහා තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න හදන පිරිසක් චෝදනා කරනවා. මේ කොන්ත්‍රාත් මිනී මැරීම ගැන ඉක්මන් පරීක්ෂණයක් අවශ්‍යයි.
ප්‍රහාරය ගැන විවිධ අංශ පරීක්ෂණ කරනවා. මේ පරීක්ෂණ ගැන ඔබ සෑහීමකට පත් වෙනවද?
පරීක්ෂණ කඩිනම් වෙන්න ඕන. වැරදිකරුවන්ට දඬුවම් අවශ්‍යයි. පරීක්ෂණ යටගැහුවොත් ඒක රටට කරන ලොකුම හානියක්. ත්‍රස්ත ක්‍රියා පිටුපස ඉන්නෙ කවුද? තොරතුරු ඇවිල්ලත් ක්‍රියාත්මක වුණේ නැත්තෙ ඇයි? කියන එක ගැනත් රටට හෙළිකරන්න ඕන. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිත්, ක්‍රිස්තියානි ජනතාවත්, ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත්, බෞද්ධ නායකයොත් මේ පරීක්ෂණ කඩිනම් කරන්න කියන බලපෑම් කළ යුතුයි.
මේ සිද්ධිය මුල්කරගෙන ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම් ඇමතිවරු තමන් දරන තනතුරු වලින් ඉවත් වුණා?
සිංහල දේශපාලන නායකයො, බෞද්ධ ආගමික නායකයො මේ තරමට මුස්ලිම් විරෝධයකට යයි කියල අපි කවදාවත් හිතුවෙ නැහැ. අපි ඊළම ඉල්ලුවෙ නැහැ. වෙනම රාජ්‍යයක් ඉල්ලුවෙ නැහැ. අපි ත්‍රස්තවාදීන්ට උදව් කරපු මිනිස්සු නෙවෙයි. අපේ මිනිස්සු එක්ලක්ෂ විසිදහසක් එදා උතුරෙන් එලෙව්වා. මුස්ලිම් ගම්මාන පිටින් ඝාතනය කළා. එහෙම වෙච්ච අපිට මෙහෙම විරෝධයක් එයි කියල හිතුවෙ නැහැ. මුස්ලිම් ජනතාව ගැන කතා කරන්න, පෙනීහිටින්න කවුරුවත් හිටියෙ නැහැ. අපි ඉතාම වේදනාවෙන් හිටියෙ. සමහර ආගමික නායකයො උපවාස කළා. මීට වඩා දරුණු කාලවලත් මෙහෙම උපවාස කළේ නැහැ. මේ අයගෙ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්නයි ඒ අය හැදුවේ. අපි රට ගැන හිතුවා. සිංහල මුස්ලිම් ආරවුලක් ආවොත් ඒක රටට හොඳ නැහැ. වෙන විකල්පයක් නැති නිසා අපි ඔක්කොම එකතුවෙලා මේ තීන්දුවට ආවා.
මුස්ලිම් ඇමැතිවරු ගත්තු මේ තීන්දුවත් එක්ක සිංහල මුස්ලිම් පැහැදිලි බෙදීමක් ඇතිකළා කියන චෝදනාව ගැන මොකද කියන්නෙ?
ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ වුණේ මුස්ලිම් පවුල් තුනක් විතරයි. සමස්ත මුස්ලිම් ජනතාවම අන්තවාදීන් කියන ගොඩට දැම්මේ කවුද? සිංහල දේශපාලනඥයො, ආගමික නායකයො එහෙම කළා. ඒ ගැන කවුරුවත් කතාකරන්නෙ නැහැ. මේ බෙදීම කළේ මුස්ලිම් අය නෙවෙයි. බෞද්ධ දේශපාලකයන් ආගමික නායකයන් අපිව බෙදුවා. අපි ඒ වෙලාවෙ එකතු වුණේ බෙදෙන්න නෙවෙයි. රට එකතු කරන්නයි. අපිට මේ රටේ සාමකාමීව ඉන්න අවශ්‍යයි.
මුස්ලිම් දේශපාලන නායකයන් එකතුවෙලා වෙනම දේශපාලන සන්ධානයක් හදන බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. ?
එහෙම සන්ධානයක් හැදීම ගැන මේ වෙනකොට කතාවෙලා නැහැ. මෙතන ඉන්නෙ විවිධ දේශපාලන පක්ෂවල අය. පක්ෂයෙන් ගන්න තීන්දුවලට එකඟව, වැඩකරන්න කියල අපි තීන්දු ගත්තා. අපේ පක්ෂවල අරමුණු වෙනස්. ඒ නිසා අපේ සන්ධානගතවීමක් වෙයි කියල හිතන්න අමාරුයි.
ප්‍රබලම චෝදනා එල්ල වෙන්නෙ ඔබේ නායක රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයට. ඔහුට හැර අනෙක් අයට ඇමැති ධුර භාරගන්න කියල සමාජයෙන් යම් බලපෑමක් එල්ල වෙමින් තිබෙනවා?
ත්‍රස්තවාදියෙක්ද? නැද්ද කියල තීරණය කරන්නෙ කවුද? ආගමික නායකයොද? නැත්නම් විරුද්ධ පක්ෂ දේශපාලනඥයොද? එහෙම වෙන්න බැහැ. ඒකට රටේ නීතියක් තියෙනවා. වැරදිකාරයො කියල චෝදනා කරල වැඩක් නැහැ. පරීක්ෂණ පවත්වල තීරණයක් ගන්න ඕන. අපි ඇමැතිකම්වලින් අයින් වුණේ පරීක්ෂණ කරන්න කියලයි. අද රිෂාඩ් බදියුදීන්ට ලේබල් අලවනවා. හෙට රවුෆ් හකීම්ට ලේබල් අලවාවි. ඊළඟට කබීර් හෂීම් කියයි. මේක නතර වෙන්න ඕන. අපි පරීක්ෂණවලට මාසයක් කල්දුන්නෙ ඒකයි. මේ පාර්ලිමේන්තුවෙ ඉන්න මුස්ලිම් දේශපාලන නායකයො කවදාවත් අන්තවාදීන්ට හෝ ත්‍රස්තවාදීන්ට අනුබල දීපු අය නෙවෙයි. ඒක මට සියයට සීයක් විශ්වාසයි.
සිදුවෙන පරීක්ෂණ ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?
පරික්ෂණ සාර්ථකද නැද්ද කියන එක කියන්න ඕන නිලධාරින්. ඒක මගේ වැඩක් නෙවෙයි.
මාසයක් ඇතුළත පරීක්ෂණ කරන්න කියල කිව්වෙ මුස්ලිම් මන්ත්‍රීවරු. මම අහන්නෙ ආණ්ඩුව ඒගැන දක්වන ප්‍රතිචාර ගැන ඔබ සෑහීමකට පත්වෙනවද කියලයි?
මාසයක් සම්පූර්ණ වෙන්නෙ ජූලි මාසෙ තුන්වෙනිදාට.
ආණ්ඩුවට ලබාදීපු කාලයෙන් හරි අඩක් පමණ ගෙවිල ගිහින්?
පැමිණිලි දාල තියෙනවා. පරීක්ෂණ වලට වෙනම පොලිස් කණ්ඩායමක් දාල තියෙනවා. මේ පරීක්ෂණවලට අපිවත් කැඳවන්න කියල මමත් රිෂාඩ් බදියුදීන් මහත්තයත් පොලීසියට පැමිණිලි කළා. විරුද්ධ දේශපාලනඥයො අපට විරුද්ධව කරන පැමිණිලි ගැන පරීක්ෂණ කරන්න කියලත් අපි ඉල්ලුවා. මේ පරීක්ෂණවලදී ඕනම තැනක කටඋත්තර දෙන්න අපි සූදානම්. අපි නිර්දෝෂයි. අපි බලාගෙන ඉමු.
ඔබේ පක්ෂයෙ නායක රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව තමයි වැඩිම චෝදනා එල්ල වෙන්නෙ. මේ සිද්ධියට ඔහු මෙතරම් ඉලක්ක වෙන්නෙ ඇයි?
ඊළඟ ජනාධිපතිවරණය වෙනකන් ඔය චෝදනා එල්ල වෙයි. මේ ප්‍රශ්නයට එකම විසඳුම ජනාධිපතිවරණය විතරයි. උතුරෙන් මුස්ලිම් ජනතාව එළවනකොට රිෂාඩ් බදියුදීන් මහත්තයත්, සරණාගතයෙක් හැටියට ආවෙ. ඒ ආපු අයව නැවත පදිංචි කිරීමක් වුණේ නැහැ. ඒ ආපු ජනතාවට සහනයක් දෙන්න එතුමාට යුතුකමක් තියෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ නැවත පදිංචිකිරීම් ඇමැති රිෂාඩ් බදියුදීන් මහත්තය. ඒ වෙලාවෙ ප්‍රමුඛතාව දුන්නෙ දෙමළ ජනතාවට. විල්පත්තුවල ජනතාව පදිංචි කළේ ඒ ආණ්ඩුව කාලෙ. සමහර මාධ්‍ය විල්පත්තුව හරහා ජාතිභේදය අවුස්සන්න වැඩ කළා. එතන වරදක් වෙලා නැහැ කියන එක දැන් හැමෝම දන්නවා. මේව දේශපාලන ගේම්. ඉබ්‍රාහිම්ගෙ පුතාට පිත්තල දුන්න කියල චෝදනා කළා. පිත්තල දුන්නෙ කවුද? ඒකට ලියුම් දුන්නෙ කවුද? ඒ ගැන දැන් කතා නැහැ. අපි ඉල්ලන්නෙ හැම එකක් ගැනම සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලයි. රිෂාඩ්ට විරුද්ධව කතා කරල ෙබාරු ජාතික වීරයො වෙන්න හදනවා. හිතාමතා ජාතිවාදය අවුස්සන පිරිසක් ඉන්නවා. දින 51 ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුවේදී රිෂාඩ්ව ඒ අයගෙ පැත්තට ගන්න හැමෝම කතා කළා. අපි ප්‍රජාතන්ත්‍රවාදය ට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව හදපු ආණ්ඩුවක් එහෙම කඩන්න හොඳ නැහැ.
ජාතික සමගිය ඇතිකරන්න, සහජීවනය ඇතිකරන්න, රටට එක නීතියක් අවශ්‍ය බව කියනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?
දැනුත් එක නීතියයි තියෙන්නෙ. නීති දෙකක් නැහැ. තේසවලාමේ නීතිය තිබුණ කියල බෞද්ධ ජනතාවට ප්‍රශ්නයක් තිබුණද? උඩරට නීතිය තිබුණා කියල ප්‍රශ්න ආවද? මුස්ලිම් නීතිය කියන්නෙ ඒ ජනතාව හැසිරෙන්න ඕන විදිය. ඒකෙන් සිංහල සමාජයට බලපෑමක් නැහැ. ලංකාවෙ පොදු නීතිය කාටත් සමානයි. සහරාන් බෝම්බෙ පිපිරුවෙ නැත්නම් ඔය නීති ගැන කතා කරන්නෙ නැහැ. සහරාන් ඔය නීති ගැන කතා කළාද?
ශ්‍රී ලංකාව තුළ අරාබි සංස්කෘතියක් ගොඩනගන්න හදනව කියල මුස්ලිම් සමාජයට චෝදනා එල්ල වෙනවා?
මුස්ලිම් සමාජයට නෙවෙයි ඔය චෝදනා එල්ල වෙන්නෙ. හිස්බුල්ලා මහත්තයට.
මේ චෝදනාව ගැන ඔබ මොකද කියන්නෙ?
මම ඒකට තදින්ම විරුද්දයි. අරාබි භාෂාවෙන් පාරවල් නම් කරන එක වැරදියි. මම මුස්ලිම් කෙනෙක් මම අරාබි දන්නෙ නැහැ. ලංකාවෙ ඉන්න මුස්ලිම් අය සියයට අනූපහක්ම අරාබි දන්නෙ නැහැ. අරාබි භාෂාවෙන් පාරවල් නම් කරන්නෙ කා වෙනුවෙන්ද? ඒව බොරු වැඩ.
එහෙම නම්, මුස්ලිම් සමාජය ඊට විරුද්ධ වුණේ නැත්තෙ ඇයි මේව දැක දැක ඔබත් නිහඬව සිටියෙ ඇයි?
ඔබේ චෝදනාව හරි. ඒ වැරැද්ද මම බාරගන්නවා. මේ හැම එකක් පිටුපසම දේශපාලනය තියෙන්නෙ. මේ වැඩ සිද්ධවුණේ ගොඩක් කාලෙක ඉඳල. අද ඊයෙ වෙච්ච දේවල් නෙවෙයි.
මුස්ලිම් තරුණයින් මේවගේ ආයුධ අතට ගැනීමකට පෙළඹුණේ ඇයි?
මුස්ලිම් පවුල් තුනක් විතරයි මේ ත්‍රස්තවාදී වැඩේට සම්බන්ධ. මුස්ලිම් තරුණයො ආයුධ ගන්නවට මුලින්ම විරුද්ධ වුණේ අපි. ගෝඨාභය රාජපක්ෂ මහත්තය මුස්ලිම් හමුදා බලඇණියක් හදන්න උත්සාහ කළා. අපි විරුද්ධ වුණා. එහෙම හැදුවනම් ඒක මුස්ලිම් සමාජයට හානියක්. මුස්ලිම් තරුණයො හමුදාවට බැඳුණට අපි විරුද්ධ නැහැ. යුද්ධ කාලෙ ග්‍රාමආරක්ෂකයො හැටියට මුස්ලිම් තරුණයො ලොකු සේවයක් කළා. තාමත් ඒ අය හමුදා සේවයෙ ඉන්නවා. වෙනම මුස්ලිම් බලඇණියක් අවශ්‍ය නැහැ.
ඉදිරියෙදි මැතිවරණ කිහිපයක්ම එන්න නියමිතයි. මේ මැතිවරණවලදී මුස්ලිම් ජනතාව ගතයුතු මඟ මොකක්ද?
ජාතිභේදය අවුස්සන්නෙ නැති සාමකාමීව රට ගෙනියන්න පුළුවන් නායකයන් පත්කරගන්න අවශ්‍යයි. ජාතීන් අතර කලබල ඇතිකරන අයට මුස්ලිම් ජනතාවගෙ සහාය නැහැ. බෞද්ධ ජනතාවගෙන් වැඩි පිරිසක් කලබලවලට කැමැති නැහැ. දෙමළ ජනතාවත් එහෙමයි. අපිට තියෙන චෝදනා, ප්‍රශ්න, මේ ඔක්කොම ජනාධිපතිවරණයත් එක්ක ඉවරයි. අපේ ජනතාව ඒක දන්නවා.
ඡායා-සමන් ශ්‍රී වෙදගේ