Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

එක ම හීන­ය අධ්‍ය­ක්ෂ­ණය

$
0
0
ජුලි 1, 2019 01:00

 

ජාතික රූපවාහිනියෙන් විකාශනය වන ‘අමුතු රසිකයා‘හි සදරාගේ චරිතය රඟපාන ඔහු, රසිකයන්ට අමතක නොවන චරිත රැසකට හිමිකම් කියන්නෙකි. සංජය මුරමුදලි නම් වන ඔහු, මේ වන විට රූපවාහිනී නාලිකා කිහිපයකින් ම විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය හයක, ප්‍රධාන චරිත රඟපායි.

 

මේ ගෙවෙන්නෙ, ටෙලි නාට්‍ය රසිකයන් ඔබ ගැන වැඩි වැඩියෙන් විමසන කාලයක් නේද?

මේ දිනවල මම රඟපාන ටෙලි නාට්‍ය හයක් රූපවාහිනී නාලිකාවල විකාශනය වෙනවා. රවීන්ද්‍ර විජේරත්නගේ ‘ඔබ නිසා‘ සිරස නාලිකාවේත්, ඔහුගේ ම ‘හුස්මක් තරමට‘ ටෙලි නාට්‍ය හිරු නාලිකාවේත්, ජයප්‍රකාශ් සිවගුරුනාදන් ගේ ‘අමුතු රසිකයා‘ ජාතික රූපවාහිනියෙත්, චරිත් අබේසිංහ මහත්මයගෙ ‘කුමී‘ ස්වර්ණවාහිනී නාලිකාවෙත්, සඳුන් රාජකරුණාගෙ ‘තෝඩු‘ සහ රවීන්ද්‍ර කුලසිංහගෙ ‘සුසුමක ඉම‘ ස්වාධීන රූපවාහිනියෙනුත් විකාශනය වෙනවා . මේ ටෙලි නාට්‍යවල මම රඟපාන්නෙ ප්‍රධාන චරිත නිසා, රසිකයන්ගේ අවධානය මා වෙත යොමු වෙලා බව මටත් හැඟෙනවා .

මේ සියලූ ම ටෙලි නාට්‍යවල රූගත කිරීම් කටයුතු මේ කාලයේ සිදු වෙනවද?

ඔව්. මේ දවස්වල මේ හැම ටෙලි නාට්‍යයක්ම රූගත කරනවා. මේ වගේ අවස්ථා හැමදාම ලැබෙන්නෙත් නැහැනෙ. ඒ නිසා, මේ කාලෙ කොහොම හරි වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා.

ඔබ මෙතැනට එන්නෙ කොහොමද?

මගේ ගම හඟුරන්කෙත. හඟුරන්කෙත දියතගල මධ්‍ය මහා විද්‍යාලය තමයි මගේ පාසල. පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කරලා, උසස් අධ්‍යාපනයට අවස්ථාව ලැබෙන තෙක් බලාගෙන ඉන්න අතරෙ, මම කොළඹ ආවා. කොළඹ ඇවිත්, ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. මේ විධිහට මම කොළඹ එන්නෙ, 2013 අවුරුද්දෙ තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා පාඨමාලාවෙන් පස්සෙයි. ඒ කාලෙ වේදිකා නාට්‍යවල පුංචි පුංචි චරිත රඟපෑවා.

කලාකරුවෙක් වෙන්න, ඔබගේ පාසල හෝ පවුල් පරිසරයෙන් පෙලැඹවීමක් ලැබුණා?

මගේ අම්මයි, තාත්තයි ගොවිතැන් කටයුතු කරන්නෙ. මුලින් ම එයාලගෙන් මගේ මේ රංගන දිවියට ලොකු දායකත්වයක් තිබුණෙ නැහැ. අම්මයි, තාත්තයි කිව්වෙ ඉගෙනගෙන රස්සාවක් කරන්න කියලයි. ඒත්, මේ මගේ කැමැත්ත නිසා, ටිකක් ඉඩදීලා තිබුණා. පාසලේ නම් කලා කටයුතු කරන්න තරම් සන්සුන්කමක් තිබුණෙ නැහැ. මම පාසලේ ටිකක් දඟකාර, දඩබ්බර චරිතයක්. පාසල් යන කාලෙ මගේ අදහස වුණේ, ජපානය වගේ රටකට ගිහින්, ඉගෙනගෙන, රැකියාවක් කරන්නයි. ඒත්, පාසලේදි වගේ ම, ඉන් පිටතදිත් මට සමහරු කියලා තිබුණෙ, “නළුවෙක් වීම ඔයාට හරියයි. ඒ පැත්ත ටිකක් අධ්‍යයනය කරලා බලන්න“කියලයි. ඒ අදහස, මේ වගේ ක්ෂේත්‍රයකට යොමු වෙන්න උත්තේජනයක් ඇති කළා. නළුවෙක් වෙන්න උත්සාහ කරලා බලන්න ඕනැ කියලා මමත් හිතුවා. ඊට පස්සෙ, මගේ හීනය නළුවෙක් වීම කියලා හිතාගෙන, මම කොළඹ ඇවිත්, ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා පාඨමාලාව හදාරන්න පටන් ගත්තා.

රංග කලාව පිළිබඳ පාඨමාලාවෙන් පසුව, ඔබට රංගන අවස්ථා උදාවෙන්න පටන් ගත්තද?

නැහැ. ඒ කාරණය එතරම් පහසු වුණේ නැහැ. අවුරුදු හයක් පමණ කාලයක්, පුංචිම පුංචි තැනකින් පටන් අර ගත්ත ගමනක ප්‍රතිඑලයක් විදිහටයි අද මෙතැන ඉන්නෙ. වීදි නාට්‍ය, වේදිකා නාට්‍යවල සුළු චරිත රඟපාමින් හිටිය මට, ටෙලි නාට්‍යවලත් සුළු චරිත ලැබෙන්න ගත්තා. ඔය අතරෙ මට රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂවරයාගේ දෙවැනි සහය අධ්‍යක්ෂවරයෙක් විදිහටත් වැඩ කරන්න අවස්ථාව ලැබුණා. පසුව, රවින්ද්‍ර විජේරත්න ගේ ටෙලි නාට්‍යවල සාමාන්‍ය චරිත රඟපාමින් හිටියා. පසු කලෙක ඔහුගේ ම ‘සූරිය වච්චසා‘ ටෙලි නාට්‍යයේ මට ප්‍රධාන චරිතයක් ලැබුණා. සුරිය වච්චසා නාට්‍යයෙදි මට කාවින්ද පෙරේරා, හර්ෂණ බෙත්මගේ වැනි ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළුවන් දෙදෙනා සමඟ රඟපාන්න ලැබුණා. ඒ නාට්‍යයේ රඟපාන අතරෙම මම, 2018 වර්ෂයේ සිරස ෆිල්ම්ස්ටාර් තරගකරුවෙක් වූණා විතරක් නෙමෙයි, එම තරගයේ ජයග්‍රාහකයා බවටත් පත් වුණා.

ඊට පස්සෙ තමයි සද්ධා මංගල සුරියබණ්ඩාර ගෙ තිර රචනයෙන් යුතු, ජයප්‍රකාශ් සිවගුරුනාදන් ගේ අධ්‍යක්ෂණයක් වන ‘අමුතු රසිකයා‘ ටෙලි නාට්‍යයේ සදරාගේ චරිතය මට ලැබුණෙ. සදරා කියන්නෙ මානසික රෝගයකින් පෙළෙන තරුණයෙක්. ඒත්, ඒක සමාජයට පේන්නෙ නැතිව ජීවත් වෙනවා. මේ චරිතය මට හමු වුණ සුවිශේෂී අවස්ථාවක් වුණා. අමුතු රසිකයාගෙ ‘සදරා‘ කියන්නෙ, මගේ මේ ගමනෙ හැරවුම් ලක්ෂයක්.

සදරාගෙන් වගේම, මේ දිනවල විකාශනය වෙන ඔබගේ සියලූ ම චරිතවලින්, ඔබට ම ආවේණික රටාවක් අප දකිනවා.

හැම වෙලාවෙම මම, චරිතයක් ලැබුණහම පිටපත අරගෙන සම්පූර්ණ කතාවම කියවා ගන්නවා. මේ කාලෙ පවතින විධිහට සම්පූර්ණ පිටපත නොලැබුණත්, කොටස් දහයක හරි පිටපත ලැබෙනවා. පිටපත අධ්‍යයනයෙන් පස්සෙ, අධ්‍යක්ෂවරයා හා පිටපත් රචකයා සමඟ කතා කරලා, චරිතය මේ විදිහට විය හැකියි කියලා ඒ ගැන අවබෝධයක් එනවා . ඊට පස්සෙ, මේ සමාජයේ මට හමුවන, හමුවෙලා තියෙන, ඇසුරු කරමින් සිටින මිනිස් චරිත එක්ක, මට ලැබිලා තියෙන චරිතය සසඳමින්, මොන විධිහට ද මේ චරිතය රසිකයන්ට දැනෙන්න දෙන්නෙ කියන තැනට ඇවිත් තමයි, චරිතය රඟපාන්නෙ.

ඔබ රංගන දිවිය පටන් ගත් අලුත ම නිසා, ලැබෙන හැම චරිතයකටම වාගේ කැමැත්තක් ඇතිකර ගන්නවද?

එහෙමත් නැහැ. සාමාන්‍යයෙන් පුද්ගලිකව මම කැමැති, මොකක් හරි ක්‍රියාකාරකමක් කළ හැකි චරිතවලටයි. තිරයෙ ආදරණීය පෙම්වතාගේ චරිතයට මම පුද්ගලිකව කැමැති නැහැ. එහෙමයි කියලා ඒ වගේ චරිත ලැබුණහම ප්‍රතික්ෂේප කරන්න හිතුවත්, චරිතය බාර ගන්නෙ නැතිව ඉන්නෙ නැහැ. ඒ චරිතයෙන් මොකක් හරි හොද දෙයක් කරන්න පුළුවන් ද කියලා, උත්සාහ කරනවා. දැනට මම කරගෙන යන්නෙ, ඒ වගේ චරිත.

අද වනවිට ඔබ, වෘත්තීය නළුවා කියන භූමිකාවට ඇවිත්ද?

මම දැනට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. රංගනයයි, අධ්‍යාපන කටයුතුයි කරගෙන යන නිසා, වෙන වෘත්තියක් ගැන හිතන්නෙ නැහැ. ඒත්, මගේ උපාධිය සම්පූර්ණ කළාට පස්සෙ, සුදුසු රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනවා.

ගමෙන් කොළඹ ආව ඔබට, දැන් ගම බොහෝ දුරයිද?

මම කොහොමත් මගේ ගමයි, ගෙදරයි එක්ක සම්බන්ධය තියාගෙන ඉන්නෙ . මට හැකි වෙලාවට ගමට යනවා. මගේ යහළුවො ආශ්‍රය කරනවා. ගමේ යාළුවො මාත් එක්ක සුහදතාව තියාගෙන ඉන්නවා. මේ හේතුව නිසා කොළඹ හිටියත් ගෙදරින් දුරස් කියන දෙය දැනෙන්නෙ නැහැ . ඒත්, ගමේ සුන්දර පරිසරය දාලා මෙහෙ ආව එක මානසිකව දුකක් කියලා යම් යම් අවස්ථාවල හිතෙනවා. ඒත්, ගමේ ගෙදරට වෙලා හිටියා නම්, මම ගමේ රැකියාවක නිරතවෙලා ඉන්න සාමාන්‍ය පුද්ලගයෙක් විධිහට ජීවත් වෙන්න තිබුණා. කොළඹ ආව නිසා මේ රටේ යමක් කළහැකි මාර්ගයකට මට අවතීර්ණ වෙන්න පුළුවන් වුණා.

ඔබගේ අනාගත හීන මොනද?

මට හීන තියෙනවා. ඒත් මම කවද හරි ජනප්‍රියම නළුවා වෙනවා කියන තැන නැහැ. ශ්‍රී ලංකාවේ දක්ෂතම නළුවන් අතරට යනවා කියන හීනය නම් තියෙනවා. මම මේ කියන්නේ, හොඳ ම නළුවාගේ සම්මානය ගන්නවා කියන එක නෙමෙයි. සම්මාන ගැන හීනයක් මට නැහැ. සම්මානයක් ගත්තහම, අපි එක සීමාවකට හිර වෙනවා කියලා මම හිතනවා. අනාගතයේ අධ්‍යක්ෂවරයෙක් කියන තැනට යනවා කියන හීනය එක්ක තමයි මේ පෙරළිය කරන්නෙ.

එකම කාල වකවානුවක, චරිත එකක් දෙකක් නෙමෙයි, හයක් රඟපෑම දුෂ්කර කාර්යයක් නෙමෙයිද?

දුෂ්කරයි. ඒකට හේතුව, වෙන රටවල වගේ නෙමෙයි, අපේ රටේ රංගනය සම්බන්ධ වෙනම අධ්‍යයනයකින් යුතුව චරිතයක් කරන්න අවස්ථාව නැති වීමයි. ඒත්, පුද්ගලිකව ගත්තහම, අපට අපේ හැකියා පුරුදු පුහුණු කරගෙන, ඒ චරිතය ඇතුළෙ ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම්, ඒක ලොකු අපහසුතාවක් වෙන්නෙත් නැහැ. මුලින්ම කැමරාවක් ඉස්සරහට ගිය අවස්ථාවෙ, මොකක්ද කරන්නෙ කියලා ලොකු චකිතයක් තිබුණා. නිතර වැඩ කිරීමත් එක්ක ඒක ක්‍රම ක්‍රමයෙන් නැතිවෙලා ගියා. අද වෙද්දී කැමරාව ඉදිරියේ හුරු පුරුදු කෙනෙක් බවට පත්වෙලා. සැහැල්ලූවෙන් මම කරන චරිතය නිරූපණය කරන්න හැකියාව තියෙනවා. අපි අපේ ජානවලින් අරගෙන එන හැකියා මෙතැනදි වැදගත්. ඊටත් වඩා, අධ්‍යාපනය මඟින් ලබා ගන්නා න්‍යායාත්මකව වගේ ම, ප්‍රායෝගික දැනුම, වැඩ කරලා ලබන පුහුණුව, අපට වැඩ කරන්න ඉවහල් වෙනවා. සමහර චරිතවලට අදාළ සියුම් දේ අහු වෙන්නෙ, මේ හැම දෙයක්ම හරියට සිද්ධ වුණහමයි.

ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඔබට වැදගත් වෙන්නෙ නැද්ද?

ඒ ගැන, මෙන්න මෙහෙමයි කියලා හරියටම කියන්න තේරෙන්නෙ නැහැ . සමහර අවස්ථාවල මිනිසුන්ගෙන් බැණුම් අහන්න වෙනවා. සමහරු ඇගැයීමට ලක් කරනවා. ඒත්, එහෙම බණින්නේ අපට නෙමෙයි, චරිතයට කියලා අපි දන්නවා. වැඩක් කරන්න ගියහම, මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ලොකු ශක්තියක්.

තිරයෙන් මෙහා ජීවත් වන ඔබ, මොන වගේ චරිතයක්ද?

මම, තමන්ගෙ පාඩුවෙ ඉන්න අහිංසක පුද්ගලයෙක්. මම මගේ හිතුමතේට වැඩ කරන කෙනෙක්. සාමාන්‍යයෙන් වෙන අය ගැන තවත් අය කියන දේ අහන්න කැමැති නැහැ . මට වෙලාවක් ලැබුණහම, මම නියැළිලා ඉන්න ක්ෂේත්‍රය පිළිබඳ විවිධ දේ හොයන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙමෙයි, මම වැඩිය කතා කරන්නෙත් නැහැ.

ඔබ, සාමාන්‍ය මිනිසුන්ගෙන් ඈත්වෙලා ඉන්න හදන ළුවෙක්ද?

සමහර වෙලාවට කරදරයක් වෙනවා කියලා දැනෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදි නම්, මම ඈත් වෙන්න බලනවා. ඒත්, වෘත්තීය නළුවෙක් විධිහට අපි චරිත නිරූපණය කළාට, හැබෑ දිවියෙත් චරිත රඟ දක්වන්න ඕනැ කියලා මම හිතන්නෙ නැහැ. සාමාන්‍ය විධිහට කඩේකට ගිහින් තේ එකක් බොන්න, අපි ප්‍රිය කරන අය ආශ්‍රය කරන්න, නිදහසේ පාරෙ බැහැලා යන්න එන්න තියෙන අවස්ථා නැතිකර ගන්න වෙනවා. අපි, අපි නොවී, වෙනත් චරිතයක් ආරෝපණය කර ගත්තොත්, කැමරාවෙන් පිටතදි චරිතය නිරූපණය කරන්න ගියහම, අපට සමාජයත් එක්ක තියෙන සුහදශිලී සබඳතාව අඩු වෙනවා. මම, ඒ සුහදතාව නැති කර ගන්න කැමැති නැහැ. සමාජයත් එක්ක හොඳ සබදතාවක් පවත්වා ගත්තහමයි අපට චරිතයක් හොඳින් කරන්න මුලාශ්‍ර ලැබෙන්නෙ. සාමාන්‍යයෙන් පාරතොටේ යද්දි මනුෂ්‍යයෙක් හමු වුණහම බොරුවට කාර්ය බහුල බව හඟවමින් ඉන්න හොඳ නැහැ කියන තැනයි මම ඉන්නෙ. අපි එහෙම චරිත වුණොත්, රූපවාහිනියෙදි අපි දිහා ආදරයෙන් බලපු අයම, අනාගතයෙන් ඒ විධිහටම බලයිද? ඇයි අපි එහෙම තත්ත්වයකට පත් වෙන්නෙ?

ධම­මිකා සුරංජි පති­රණ

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>