Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

රටට අලුත් බලවේගයක් ඕන

$
0
0
ජුලි 1, 2019 01:00

සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සභාපතිනී අයිතීන් උදෙසා කාන්තාවෝ

මානව හිමිකම් පිළිබඳ සංවාදය අලුත් වටයකින් කරළියට පැමිණ තිබේ. පාස්කු ප්‍රහාරය, මරණ දඬුවම, රාජ්‍ය සේවක ඇඳුම පිළිබඳ ප්‍රශ්න ආදිය ඊට බලපා තිබේ. එවැනි තත්ත්වයක් තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් ජනතාවගේත් ආණ්ඩුවලත් අවබෝධය සහ අවධානය කෙසේද? මෙරට පවතින දේශපාලනික හා ආකල්පමය ස්වරූපය කෙසේ ද? යන කරූණු පිළිබඳ සාකච්ඡා කිරීමට මෙවර එහා ඉවුර වෙන්වේ.

* ඔබ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නිතර හඬ නඟන කෙනෙක්. පසුගියදා රජය රාජ්‍ය සේවකයන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ ගැන මොනවද කියන්නේ?

එතැනදී කාන්තාවන්ට සාරිය, ඔසරිය කියන දෙකම නිර්දේශ වුණා කියලා සඳහන් වුණා. සාරිය කියන එක සිංහල, දෙමළ, මුස්ලිම් සියලු කාන්තාවෝ අදිනවා. ඔසරිය කියන්නේ ලංකාවේ සංස්කෘතික ඇඳුමක්. බුර්කාව, හිජාබ්, අජාබාය කියන ඇඳුම් බැහැර කරලා හඳුන්වලා දෙන ඇඳුමත් සංස්කෘතික ඇඳුමක්. සමාජය තුළ මේ මොහොතේ ඇති ගැටලුව හා බැලීමේදී සංවේදී තැන් ස්පර්ශ කර වේදනාවක් ගෙන දුන් අවස්ථාවක් විදිහට අපි දකිනවා. එක සංස්කෘතික ඇඳුමක් ගලවලා තව සංස්කෘතික ඇඳුමක් ඇන්දවීම කියන කාරණය සිදු නොවී පොදු ආකෘතියකට එන්න පුළුවන් වුණා නම් ඒක හොඳයි කියන තැන සංවිධානයක් විදිහට අපි ඉන්නවා.

* ඇතැම් රාජ්‍ය ආයතනවල සම්මත නිල ඇඳුමක් තිබෙනවා. ඒ ආකාරයට ම අනෙකුත් ආයතන සකස් විය යුතුය යන්න ද මෙහි අරමුණ?

යුද හමුදාවට ආරම්භයේ සිටම නිල ඇඳුමක් තිබුණා. හෙද සේවයටත් එහෙම ම තමයි. ඒ හැම දෙයක් ම ආවේ බටහිර අධ්‍යාපනයට සහ එහි සම්මතයන්ට අනුව. එහෙම වුණත් රාජ්‍ය සේවයේ ඉන්න සේවකයින්ට නිල ඇඳුමක් ලබාදීම කොයිතරම් ප්‍රායෝගිකද යන්න ගැන දෙතුන් වතාවක් සිතන්න වෙනවා.

* මේ රට දීර්ඝ කාලයක් පුරා ජාතීන් කිහිපයක් එකට වෙසෙන රටක්, එවැනි රටකට ආදේශ කරන නීති රීති ගැන ඔබේ මතය කුමක් ද?

අපි බහුවාර්ගික, බහු ආගමික රටක්. ආගමික සහ ජාතික වශයෙන් විචිත්‍රත්වය ඉතා සුන්දරව තිබෙන රටක්. එහෙම පිරිසක් එකිනෙකා ගනුදෙනු කරද්දී පොදු ආකෘතියක් හදා ගන්න ඕනෑ. එහෙම ඉන්න අතරම නෛතික රාමුවක් තුළ ඒකීයත්වය රැකීමේ වගකීමක් තියෙනවා. පරිපාලන ක්ෂේත්‍රයට එන සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම අයෙක් මේ රටේ නෛතික රාමුව තුළ ඒකීයත්වය, ස්වෛරියත්වය ආරක්ෂා කරන්න ආගම පසෙකලා ශ්‍රී ලාංකිකයෝ විය යුතුයි. එසේ ම ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඉදිරියට ගෙනයන පිරිස බවට අප පත් වෙන්න ඕනෑ. ඒ කාරණය සෑම රාජ්‍ය සේවකයකුගේම අනිවාර්යය සේවය වෙනවා. මේ රටේ සමස්ත පුරවැසියන්ට රාජ්‍ය සේවකයා දෙස බලා ජීවත් වෙන්න සිදු වෙනවා.

සෑම වෙලාවෙම රාජ්‍ය සේවකයා සමඟ ගනු දෙනු කරන ජනතාවට අනන්‍යතාවයෙන් වෙනස් කොට නොසලකා ශ්‍රී ලාංකික මනෝභාවය ගොඩනඟන්නට රාජ්‍ය සේවයේ ඉන්න සෑම අයකුම ශ්‍රී ලාංකිකයෝ කියන වගකීම තියෙන්න ඕනෑ. අපේ රටේ දකින්න තියෙන ලොකුම ඛේදවාචකය තමයි රාජ්‍ය සේවකයෝ තම තමන්ගේ දේශපාලන පක්ෂවල සහ රාජ්‍ය සේවකයන්ගේ වෘත්තිය සමිතිවල හා පෞද්ගලික දේශපාලන නායකයන්ගේ අතකොලු බවට පත්වෙලා කටයුතු කිරීම. එහෙම නොවී රාජ්‍ය වගකීම තුළ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ගොඩනැඟීමේ කාර්යය රාජ්‍ය සේවකයා ඉටු කළ යුතු අතරම රට ගොඩනැඟීමේ කාර්යයත් පැවරෙන්නේ ඔවුන්ට කියලා අපි හිතනවා.

* ඔබ කියනවා රාජ්‍ය සේවකයෝ මේ රට ගොඩනඟන්න ඉන්න පිරිස කියලා. එහෙම කිව්වත් වත්මන් සමාජ ආර්ථික බිඳ වැටීමට හේතුව මේ රාජ්‍ය සේවකයෝ කියලා බොහෝ දෙනෙක් පෙන්නලා දෙනවා ?

රාජ්‍ය සේවයේ ඉහළ විධායක ශ්‍රේණියේ සිට පහළ කම්කරු පන්ති දක්වා ම බඳවා ගැනීම් පටිපාටිය කියන එක රාජ්‍ය සේවා කොමිසම් සභාවට අයිති කරුණක් වුණත්, වඩා උස බලලා, පෞද්ගලිකව දේශපාලකයින්ට කොයිතරම් සහය දක්වලා තියෙනවාද කියන කාරණා මත රාජ්‍ය සේවයට බඳවා ගන්නා තැනක තමයි රට තියෙන්නේ. එතැන ඉදලම රාජකාරිය දේවකාරිය කොට සලකනවා කියන එකට වඩා රැකියාව ලබාදුන් දේශපාලකයාගේ වගකීම ඉටු කරන පිරිසක් තමයි රාජ්‍ය කාර්යාලවල ඉන්නෙ. ඒ නිසා රාජ්‍ය සේවකයා ඔහු සැබෑ නිර්මල වගකීම මොකක්ද කියලා හඳුනන්නේ නැහැ.

අද රාජ්‍ය සේවකයාට තමන් වගකීම් සහිත සිවිල් නිලධාරියෙක් ය කියන එක සෑම රාජ්‍ය නිලධාරියකුට ම අමතක වෙලා තිබෙනවා. අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තු සහ අනෙකුත් සෑම රාජ්‍ය ආයතන තුළ වැඩ කරන්නේ දේශපාලනඥයාගේ රූකඩ කියන ආකෘතිය තුළ යි. එහෙම නැතිව පෞරුෂය සහ අනන්‍යතාවය රැකගෙන කටයුතු කරන නිලධාරින්ට ඉහළට යාමට ඇති අවස්ථා අහිමි වෙලා තිබෙනවා.

අධ්‍යාපනයට හා සුදුසුකමට අදාළ නිලය නොලැබී දුක් විඳින රාජ්‍ය සේවකයෝ ඉන්නවා. ඒ සෑම අකටයුත්තක් සමඟ ම රාජ්‍ය සේවකයෝ තෘප්තිමත් නොවනවා සේම කණ්ඩායම් හැඟීම අහිමි වෙලා. රාජ්‍ය ආයතනවලින් සේවය ලබන මහජනතාවට ඒ ආයතන ගැන විශ්වාසයක් නැහැ. රාජ්‍ය සේවකයා මහජනතාවගේ අප්‍රසාදයට ලක් වෙලා තියෙන්නේ දේශපාලන අතපෙවීම් නිසා. ඒ නිසා අපි විශ්වාස කරනවා දේශපාලන අතපෙවීමෙන් තොර රාජ්‍ය සේවයක් මේ රටේ ස්ථාපිත විය යුතු කියලා.

* පැවැති රජය පෙරළලා වත්මන් රජය බිහි කරගත්තෙ යහපත් රාජ්‍ය සේවයක්, මහජන සේවා සපයන රාජ්‍යයක් බිහි කරනවා කියලා. එහෙම කතා කරපු රජයේ ප්‍රගතිය ඔබ දකින්නේ කොහොම ද?

2009 යුද්ධය අවසන් කළාට පස්සේ, මහජනතාව ඉල්ලූ ආරක්ෂාව ගැන සුරක්ෂිත භාවයක් ඇතිවුණා. ඒත්, ක්‍රම ක්‍රමයෙන් යනකොට යුද්ධය අවසන් වුණාට පස්සේ ලැබිය යුතු ආර්ථික වාසිය මහජනතාවට නොදී මංකොල්ල කාගෙන යනවිට ජනතාව ඊට එරෙහිවෙන තැනට පත්වුණා. යුද්ධය නිසා වැය වූ මුදල් ඉතිරි වුණා කියන මතය සමාජයට දැනුණේ නැහැ. ජන ජීවිතය ඉහළ නංවන්න නොහැකි වුණ නිසා ජනතාවට විශාල ලෙස ආර්ථික ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණා. එතැනින් එහාටත් රටේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් ප්‍රශ්න කරන තැනට පත් වුණා.

මාධ්‍යවේදීන්ගේ අයිතීන් පැහැර ගත්තා. යුද්ධය වෙලාවෙ පිහිට පතා ආරක්ෂාව පැතූ රජයෙන් ප්‍රජාතන්ත්‍රවාදය කොල්ල කනකොට ජනතාවට විකල්පයක් ඕනෑ වුණා. ඒ වෙලාවේ දකින්න තිබුණ තුත්තිරි ගහේ ජනතාව එල්ලුණා. නමුත්, ජනතාව දන්නවා එල්ලුණේ තුත්තිරි ගහක, ඒ ගහට අපේ ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය ආරක්ෂා කරන්න බැරි බව දැනන් සිටියා. එදා පැවැති පාලනයට විකල්පයක් ලෙස වත්මන් රජය තෝරා ගත්තා මිසක්, පවතින යාන්ත්‍රණයේ ගැටලුවලට පිළියම් සොයන්න මේ ආණ්ඩුව සමත් නැහැ.

2015දී ජනතාව බලාපොරොත්තු වුණේ වැළලෙමින් යන ප්‍රජාතන්ත්‍රවාදය යම්තාක් දුරට හෝ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගන්නයි. මේ ආණ්ඩුවට බලය ලැබුණේ ඒ කාරණාවලට. නමුත් ඒ විශ්වාසයත් මේ පාලකයෝ ජනතාවගෙන් උදුර ගත්තා. ආර්ථිකය ගොඩනැඟුණේ නැහැ, ආරක්ෂාව තහවුරු වුණේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වුණේ නැහැ. අද වෙනකොට මහජනතාව පෙර පැවැති රජයටවත්, පවතින රජයටවත් විශ්වාසයක් නොමැතිව අපේක්ෂාභංගත්වයට ඇවිත් තියෙනවා.

* මහින්ද රාජපක්ෂ පාලනයේ සංශෝධනය වූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය 19 වැනි සංශෝධනයන් අහෝසි කළත් මේ වන විට 19 මර උගුලක් කියන තැනට ඇවිත්?

ඇත්තට ම ගත්තොත් ජනපතිවරයා කියන පුද්ගලයා පිළිබඳ අපට ගැටලුවක් නැහැ පුද්ගලයකුට වඩා විධායක ජනපති බලතල පුස්සක් කියලා තමයි අපි දකින්නේ. විධායක බලතල ලබා ගන්නා ඕනෑ ම පුද්ගලයෙක් අත්තනෝමතික ක්‍රියා කරන්න පුළුවන්, හිතෙන හිතෙන දේ කියන්න කරන්න පුළුවන්. අසීමිත බලයක් සහිත පුද්ගලයෙක් ජනපතිවරයා වීම ව්‍යසනකාරී කියලා රටට නැවත නැවතත් ඔප්පු වෙලා තියෙනවා. 19 සංශෝධනය මර උගුලක් කියන තැනට පත් වන්නේ ම තමන් ගත් තීන්දු තීරණ පිළිබඳ විශ්වාසයක් නොමැති වීම නිසාම යි. එහෙම ගන්න වැරැදි තීන්දුවල ඵල විපාක විඳින්නේ මේ රටේ මහජනතාව. ඒ නිසා ජනතාවට වගකියන පාලකයන් තෝරා ගන්න රටේ මහජනතාව සවිඥානික වෙන්න ඕනෑ.

* මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ එදා හඬ නැඟුවේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න කියල. ජවිපෙ 20 වැනි සංශෝධනය ගේන්න හදන්නෙත් ඒකට. නමුත්, පාලකයන් ඒ ගැන තැකීමක් නැති බවත් පෙනෙන්න නැහැ.

20 වැනි සංශෝධනය ගේන්න හදන්නේ, විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න. ඒ වගේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභා ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අපි විශ්වාස කරනවා රාජ්‍ය යාන්ත්‍රණය කියන එක පුද්ගල බද්ධව වෙනස් නොවිය යුතුයි කියලා. ඒ නිසා ජාතික ප්‍රතිපත්ති මාලාවක් අපේ රටට අවශ්‍යයි. අපි ඒ ජාතික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවේ නැංවීමට පාලකයන් පත් කරගත යුතුයි.

අද වෙනකොට රටේ තිබෙන්නේ අපේ පෞද්ගලික අභිමතාර්ථ පරිදි පුද්ගලයන් තෝරා ගැනීම සහ ඒ පුද්ගලයන්ගේ අභිමාර්ථ පරිදි රටකරවන එක. එහෙම ගිහින් රට සංවර්ධනයකට ගෙනියන්න බැහැ. රට තුළ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා පාලකයන්ට වඩා ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය හැකි රාමුවක් බිහි කර ගැනීමයි අපට තිබෙන වගකීම. අද වෙනකොට රටට වෙලා තියෙන දේ අපට පේනවා. අනන්‍යතාවයක් නැති අභිමානයක් නැති ජාත්‍යන්තර රූකඩයක් වුණ රටක් වෙලා ඉවරයි. ඒ නිසා මේ රට වෙනස් කරන්න අලුත් බලවේගයක් ඕනෑ.

*අද රට තුළ තිබෙන සමාජ, ආර්ථික බිඳ වැටීම සහ දේශපාලන ව්‍යාකූලත්වය අනුව රාජ්‍ය බලය ලබා ගැනීමට ජනතාව සවිඥානික කරන්න ජ.වි.පෙ.ට පුළුවන් කියලා ඔබ හිතනවාද?

අපි කවරදාකවත් ජනප්‍රිය තලයේ දේශපාලනය කරන්නෙ නැහැ. මේ මොහොතේ තියෙන්නේ ජාතිවාදය අවුළුවාලන ආගම්වාදය අවුළුවාලන දේශපාලනයක් තියෙන රටේ කිසිම වෙලාවක අපේ පක්ෂයේ න්‍යාය පත්‍රයට එවැනි ක්‍රියා ඇතුළත් කරගෙන නැහැ. අපි ඉහළ සිට පහළ දක්වා එකම මතයක ඉන්නවා. මේ සියලු බෙදුම්වාදයන්, අන්තවාදයන් පරාජය කරන බලවේගයක් අපි ගොඩනඟන්න ඕනෑ. ජාතික ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කර ගැනීමට සිංහල, මුස්ලිම්, දෙමළ බෙදුම්වාදයට හසු නොවන පිරිසක් එක්ක අපි ඉස්සරහට යනවා.

ජාති, ආගම්, කුල අනුව පක්ෂ හදාගෙන ඉස්සරහට යන්න හරි ලෙහෙසියි. එහෙත් සියලු දෙනාම ඒකරාශී වූ දේශපාලන ව්‍යාපාරයක පැවතීම කියන එක ඉතාමත් අසීරුයි. අපි බෙදුම්වාදය කියන කාරණයේ අතකොලුවක් නොවුණ දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා ජනතාව අපි ගැන විශ්වාසයෙන් ඉන්නවා. අප්‍රේල් 21 ප්‍රහාරය අපි දකින්නේ මේ රටේ ජාතීන් අතර තිබූ සුහදත්වය වසර ගණනාවක් ආපස්සට ඇද දාපු ප්‍රහාරයක් විදිහටයි.

* අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ, වෙළඳ ව්‍යාපාර වර්ජනය කිරීමක් සහ සතිපොළ තුළ වෙළඳාම් කිරීම් තහනම් කර දකින්න ලැබුණා. මේ ගැන මොනව ද කියන්නේ?

අපි වර්ජනය කරන්නේ මොන ව්‍යාපාර ද? හංදිය කඩේ නානගෙ කඩෙන් අපි බඩු ගන්නෙ නැහැ. සිල්ලර බඩු විකුණන කඩේට යන්න එපා කියනවා. එහෙම බේද කරලා ජන ජීවිතය අඩාළ කරලා ඡන්දය ඕනෑ වුණාම අපේ පාලකයෝ ප්‍රතිවාදී මුස්ලිම් සහෝදරයාගේ කරට අත දාගෙන යන අවස්ථා අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. අපි ප්‍රතික්ෂේප කරන ඕනෑ කෙනෙක් ඊළඟ ඡන්දයේදී වාසියක් තියෙනවා නම් ඔවුන්ගේ අතින් අල්ලන් යන්න මේ දේශපාලකයෝ සූදානම් වෙලා ඉන්නවා. එතැනදී ඔවුන්ට එකතු වෙන්න පුළුවන් නම් ඇයි ගමේදී අපි ඔවුන් ගැන සැකෙන් බලන්න පුරුදු කළේ. හේතුව තමයි ඒ ඒ ජනවර්ගවල ඡන්දය කොල්ල කන්න උඩ ඉන්න අය ගමේ අපි බේද කළා, වෙන් කළා.

ඒක පැහැදිලිව සුද්දාගේ බෙදාවෙන්කොට පාලනය කිරීමේ න්‍යාය අදටත් ක්‍රියාත්මක වීමක්. මේ වෙන් කිරීම දේශපාලකයාගේ අවශ්‍යතාවයක් මිස ජනතාවගේ අවශ්‍යතාවයක් නෙවෙයි.

* කාන්තා අයිතීන් ගැන හඬ නඟන ඔබලා ඉන්න රටේ ගුරුවරියන් දණ ගැස්සුවා. ළමයෙක් පාසලකට දාන්න ලිංගික අල්ලස් දෙන්න ඕන. ඇයි එහෙම වෙන්නෙ?

අපි සාක්ෂරතාවයෙන් 96%ක් ඉක්ම වූ රටක්. ඒත්, ඒ පොතේ පතේ දැනුම විතරයි. අපේ කාන්තාවන්ගේ සමාජ විඥානය තියෙන්නේ ඉතාමත් පහළ මට්ටමක. ඇස් පෙනුණට මොළේ විවෘත නැති ජාතියක්. ශ්‍රී ලාංකිකයන් බොහෝ වසර ගණනාවක් බොහෝ ජාතීන්ට යටත් වෙලා දීන මානසිකත්වයෙනුයි ඉන්නෙ. මේ වන විට වෙනස් කළ නොහැකි ජාන ලක්ෂණ ලෙස දීන මානසිකත්වය පිහිටලා තියෙනවා. අධ්‍යාපනය තුළ නිර්මාණය වන්නෙත් දීන ජන ප්‍රජාවක්. ඉතිහාස සහ පුරාවෘත්තවලින් උද්ධාමයට පත්වුණාට වත්මන වන විට අපි කාට හෝ යටත් වෙලා ජීවත්වෙන්න කැමැතියි.

ඒ පෑගීම ආඩම්බරයක් කරගත්තු ජාතියක් බවට පත් වෙලා. අපේ බෙල්ලෙ දාලා තොණ්ඩුව රත්තරං දංවැලක් කියලා හිතන ජනතාවක් එක්ක තමයි අද අපිට මේ දේශපාලන ගනුදෙනුව කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට නිවහල් අධ්‍යාපනයක් ඕනෑ. සම්ප්‍රදායික ගතානුගතික බවෙන් අපේ කාන්තාවන්ට මිදෙන්න අවශ්‍ය මඟ පෙන්වන්න විශේෂ කාර්යය භාරයක් තිබෙන්නේ මාධ්‍යයට සහ අධ්‍යාපනයට.

දුමින්ද අලුත්ගෙදර


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>