හර්ෂණ සොයිසා
තරුණ ගායකයකු ලෙස හිරු ස්ටාර් රියැලටි ප්‍රසංගයේ අවසාන විසිහතර දෙනා තේරීමේ වටය දක්වා ඔහු පැමිණියේය. ඔහු හර්ෂණ සොයිසාය. නවකයකු ලෙස සංගීත ක්ෂේත්‍රය තුළ ස්ථාවරව ප්‍රසංග වේදිකාවේ නව ඉසව්ව් සොයා යන හර්ෂණ නැවුම් ගීතයක් නිර්මාණය කරමින් තම සංගීත දිවිය ආරම්භ කළේය.
l තරුණයකු විදිහට ඔබ සංගීතය ගීත ගායනය ඔබ දකින්නේ කොහොමද?
සංගීතය ගීත ගායනය කියන්නේ කෙනෙකුට ආදායම ලබන මාර්ගයක් පමණක් වෙන්න පුළුවන්. ඒත් සංගීත කලාව තුළ හොඳ ඉගෙනුමක් නැතිනම් අධ්‍යනයක් නැතිනම් දිගු කලක් පවතින දෙයක් කරන්න බැහැ. ඒ නිසා මම ප්‍රසංග වේදිකාව තුළ සිටියත් ගායකයකු විදිහට දිගු ගමනක් යාමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා බටහිර සංගීත ක්‍රම ගැන ඉගෙනීම් කටයුතු කරනවා. නිසි විදිහට සංගීතය ඉගෙන ගත්තොත් තමයි තරගකාරී කලාව තුළ හැම දෙනාම කතා කරන ගායකයකු විදිහට පවතින්න පුළුවන් වෙන්නෙ. බලන්න පසුගිය කාලයේ කොච්චර ගායකයන් ගායිකාවන් බිහි වුණාද? ඒත් ඒ අය බොහොමයක් එක රැයකින් ජනප්‍රිය වෙලා දින කිහිපයකින් අමතක වී යනවා.
l ඔබ කියන්නේ රැල්ලට යන එක තාවකාලික දෙයක් කියලද?
ඔව්, රැල්ලට ගිහින් කෙටි ජනප්‍රියත්වයක් ලබන්න පුළුවන්. ඒත් මට ඕනැ ගායකයකු විදිහට ස්ථාවර වෙලා කලාව තුළ යමක් කරන්න. ඒ හින්ද තමයි මම කිව්වෙ ගායකයකු විදිහට ගායනය හදාරන්න අවශ්‍යයි කියලා. එහෙම නැතිනම් හැදෑරිමක් නැති ගායකයකු විදිහට අතරමං වෙන්නයි සිදු වන්නේ.
l අද ඇතැම් නවකයන් හිතන්නෙ විෂුවල් නැතිව ගීතයක් ජනප්‍රිය කරවන්න බැහැ කියලා?
මම නම් ඒක පිළිගන්නෙ නෑ. හොඳ ගීතයක් ජනප්‍රිය වෙන්නෙ මනසින් මැවෙන චිත්ත රූප නිසා. විෂුවල් එකක් කියන්නේ පොඩි රස ගැන්විමක් විතරයි. උදාහරණයකට බලන්න, ජෝතිපාල මහත්මයාගේ ගීත. මේ එක ගීතයකටවත් විෂුවල් තිබුණෙ නැහැ. ඒත් අවුරුදු පනහක් කිට්ටු වෙලා, අදත් මේ ගීත තමයි අපිට එක පාරටම මතක් වෙන්නෙ.
l ඔබ අලුත් ගීතයට සූදානම් වෙනවා. ඒ ගැන සඳහන් කළොත්?
මම අලුතින් නිර්මාණය කරන ගීතය "සරාගී නෙත් ඉමේ"ගීතය. එය අලුත් ආරක ගීතයක් විදිහටයි නිර්මාණය වෙන්නෙ. තව දින කිහිපයකින් මේ ගීතය "යූ ටියුබ්"වෙත මුදා හරින්නට සූදානම්ව සිටින්නෙ. ඇත්තෙන්ම අද "යූ ටියුබ්"එකේ ලයික් ප්‍රමාණය අනුව තමයි නාළිකා ගීත විකාශනයට තෝරා ගන්නේ.
l රියැලටි වැඩසටහනකින් පැමිණි ඔබ, ඒ කලාව ගැන ඔබ දරණ අදහස?
එක එක විවේචන තියෙන්න පුළුවන්. ඒත් අවස්ථාවක් නැතිව සිටින තරුණ පරපුරට රියැලටි මගින් යම් අවස්ථාවක් ලැබෙනවා. ඒ ගැන ස්තුතිවන්ත විය යුතුයි. අඩුපාඩු නැහැ කියන්නෙ නැහැ. ඒත් රියැලටි නිසා තැනක් ලැබුණ අය ගොඩක් ඉන්නවා. හැබැයි තැන ලැබුණ අය තමන්ගේ දක්ෂතාවන් දියුණු කර ගන්න ඕනෑ . හැදෑරීම් කරන්න ඕනැ එහෙම වුණොත් තමයි ශිල්පියකු විදිහට දියුණු වෙන්න පුළුවන් කම ලැබෙන්නේ. මට හිරු ස්ටාර් වැඩසටහනේ මුදුනටම එන්න බැරි වුණා ඒත් මට ගීත කලාව තුළ පාරක් හදා ගන්න මේ වැඩසටහනෙන් පුළුවන් වුණා.
මට අවශ්‍ය වෙලා තියෙන්නේ තවත් ගායකයකු වෙන්න නොවෙයි, අලුත් ගායන සම්ප්‍රදායක් ඇති කළ ගායකයකු බවට පත් වීමයි. උදාහරණයකට ගනිමු ආත්මා ලියනගේ මහතා ඔහු එදා තරුණයකු විදිහට නව සංගීත ක්‍රමයක් හැදුවා. ගායකයකුගෙන් සමාජයට වැදගත් වන්නේ එයයි.
l ඔබට ගායකයකු විදිහට මතුවෙන්න ඉඩ ලැබුණෙ කොහොමද.?
පල්ලියේ ගීතිකා කණ්ඩායමේ මම හිටියා. එතැනින් ලොකු පළපුරුද්දක් ආවා. පාසලෙන් පන්නරය ලැබුණ. ඒ ආපු ගමන තමයි අද වෙද්දි මම ටික ටික ඉස්රහට යන්නෙ.
සංවාදය - උදිත ගුණවර්ධන