ඇන්ටන් බී. පෙරේරා
චිත්‍රකතා කලාව තුළ ඔහුගේ තෙලිතුඩ වෙනස්ම ආරක් ගත් එකකි. බටහිර ශෛලියේ වේගවත් බව චිත්‍රකතා කලාවෙන් මෙරට පාඨකයා වෙනත්ම ලොවකට රැගෙන ගිය මේ අපූරු චිත්‍ර ශිල්පියා ඇන්ටන් බී. පෙරේරායි.
l චිත්‍ර කතා ජනප්‍රියව පැවති යුගය තුළ ඔබ එහි විශේෂිතම චරිතයක් වුණා. ඒ ගැන සිහි කළොත්?
මෙරට පළමු චිත්‍රකතා පත්තරය 1972 දි සතුට වුණත්, 1975 දි ආපු ‘සිත්තර‘ පත්තරය චිත්‍ර කතා ලෝකයේ අලුත්ම රැල්ලක් ආරම්භ කළා. එයට විශාල ඉල්ලුමක් තිබුණා. සමහර ප්‍රදේශවල පත්තර නැතිව පාඨකයෝ රණ්ඩු දබර කරගත් අවස්ථා පවා තිබුණා. ඒ තත්ත්වය වසර 10 ක් පමණ බැබලුණා. මටත් අවස්ථාවක් ලැබුණා, ඒ යුගය තුළ ‘සිත්තර‘ පුවත්පත් තුළින් චිත්‍රකතා ශිල්පියකු ලෙස දොරට වඩින්න. ඇත්තටම ඒ යුගය බොහොම සුන්දරයි. අපි ගෙවල් දොරවල්, යාන වාහන මේ හැම දෙයක්ම කරගත්තේ ඒ සුන්දර කාලය තුළයි.
l එලෙස ජනප්‍රියව තිබුණු චිත්‍රකතා කළාවට පසු කළෙක අත්වූ ඉරණම ගැන ඔබ දකින්නේ කොහොමද?
රූපවාහිනියේ පුනරාගමනයත් එක්ක තමයි මේ බැස්ම පටන් ගත්තේ. රූපය, ශබ්දය සමඟ චලනය වෙමින් මිනිස්සු අතර ට එද්දි, ඒ අය රූපවාහිනියට වශී වුණා. අංක එකට තිබුණු චිත්‍රකතාව එයින් දෙවැනි වුණා. අනික චිත්‍ර ශිලිපීන් රූපවාහිනිය අභිබවා යමින් සාර්ථක කතා ඉදිරිපත් කළෙත් නැහැ. මේ හේතු තමයි එයට බලපෑවේ.
l නමුත් ලෝකයේ වෙනත් රටවල අදටත් චිත්‍ර කතා ඉතා ජනප්‍රියයි?
ඔව්. අමෙරිකාව වගේ තවත් බොහෝ රටවල අදටත් චිත්‍රකතා කියන්නේ ඉල්ලුමක් තිබෙන මාධ්‍යයක්. මා ලඟ තිබෙනවා ඒ රටවලින් ගෙන්වා ගත් චිත්‍ර කතා පොත් විශාල ප්‍රමාණයක්. ඒවා ඉතා ඉහළ ගුණාත්මක බවින් යුක්තයි. පොත් විකිණෙන්නේ ලංකාවේ මුදලින් රුපියල් දහතුන්දාහේ සිට හැට හැත්තෑ දාහ වගේ මිල ගණන්වලටයි. එක් පොතක් ලක්ෂ පහක් විතර මුද්‍රණය කරනවා . අමෙරිකාව වගේ රටවල චිත්‍රපටි හදනනෙත් චිත්‍රකතාවලින් එන කතාවලින්. නමුත් කණගාටුවකට අපේ රටේ එය මිය ගිය කලාවක් බවට පත්වෙලා .
l මේ නිසා ලංකාවේ චිත්‍රකතා ශිලිපීන් බොහොමයක් ඉතා අසරණ තත්ත්වයට පත්වන්නටත් ඇති?
ඇත්තටම එහෙම වෙන්නත් ඇති . නමුත් මම එදා ඉඳලාම චිත්‍ර අඳින එක නතර කළේ නැහැ. අදටත් මා චිත්‍රකතා පොත් වශයෙන් සෑම වසරක් පාසාම‘නිමංසා‘ ප්‍රකාශන යටතේ නිකුත් කරනවා . පහුගිය කාලෙදි ‘ආත්මයට වන්දියක්‘ නමින් ඝණ වැස්මකින් යුක්තව ඉහළ ගුණාත්මක බවින් යුතු පොතක් වෙළෙඳ පොළට නිකුත් කළා. තවත් ඇමෙරිකාවේ ආයතනයක් හා එක්ව මා චිත්‍ර ඇඳීමේ කටයුතු කරනවා. එයට ඉහළ ගෙවීම් පවා ලැබෙනවා.
l ඒ ගැන තව දුරටත් විස්තර කළොත්?
ඒ රටවල චිත්‍රකතා වැනි දෙයක් නිර්මාණය වෙන්නේ ‘ටීම් වර්ක්‘ එකක් ලෙසයි. පැන්සල් සටහන් එක් අයෙක්. තීන්තෙන් අඳින්නේ තවත් අයෙක්.වර්ණ යොදන්නේ වෙනත් අයෙක් ආදී වශයෙන්. නමුත් අපි මේ හැම දෙයක්ම කරන හැටියට ඒ අයටත් පුදුමයි. අපෙන් වැඩ කරවා ගන්න එක ඒ අයටත් ලාබයි. මමත් ඒ ආයතනයෙන් ඉල්ලුම් කරලා, මගේ චිත්‍ර යවලා ඒ අය කැමතිවෙලා තමයි අවස්ථාව ලබා ගත්තේ . අනික මගේ චිත්‍ර බටහිර ආරක් ගත් එකත් එයට බලපෑවා. ලංකාවේ චිත්‍ර ශෛලිය ඒ අයට වැඩක් නෑ. මම ඒ අයට චිත්‍ර කතා කොටස් 3 ක් ඇන්ඳා. ඒවායේ ‘ඔර්ජිනල්‘ පිටපත් ඒ අය වෙන්දේසි කරනවා ඉහළ මිළ ගණන්වලට. තව හොලිවුඩ් ආයතනයකටත් මම චිත්‍ර ඇන්දා.
l එදා පටන්ම ඔබේ වෘත්තීය බවට පත් වුණේ චිත්‍ර ඇඳීම විතරද ?
නැහැ මා වතු පාලකවරයකු ලෙසයි මුලින්ම රැකියාව පටන් ගත්තේ. ඒ කාලේ ඉඳන් මම බන්ධුල හරිශ්චන්ද්‍ර, සුසිල් ප්‍රේමරත්න වගේ ශිල්පීන්ගේ චිත්‍රවලට ඇලුම් කළා. චිත්‍ර ඇඳීමේ උපන් හැකියාවත් මට තිබුණා. මට මේ නිසා වතු රස්සාව එපා වුණා.පත්තර දැන්වීමක් දැකලා තමයි මට ‘සිත්තර‘ පත්තරේට චිත්‍රකතාවක් අඳින්න අවස්ථාව ලැබුණෙත්.ගෙදරින් විරුද්ධ වුණා වතු රස්සාව අතහැරලා චිත්‍රකතා අඳින එකට. ඒ විතරක් නෙමෙයි, අද මගේ බිරිය, පෙම්වතියව ඉන්න කාලේ එයාගේ ගෙදරට යන එක පවා තහනම් වුණා මට, චිත්‍රකතා ඇඳීම නිසා. ඒ අය චිත්‍රකතා අඳින එක දැක්කේ වෙනත් ආකල්පයකින්. නමුත් අපි ලොකු පෙරළියක් කළා. උපාලි වජේවර්ධන මහත්තයා ඒ කාලේ ගෙවන ගාණට වඩා තුන් ගුණයක් පමණ ගෙවලා චිත්‍ර ශිල්පියෝ අරන් පත්තර කළා. අනිත් ආයතන වල පවා චිත්‍ර ශිල්පියන්ට ගෙවන ගෙවීම් වැඩි කළා. චිත්‍ර කතා පත්තර එදා හැඳින්වූයේ සල්ලි අච්චු ගහනවා කියලායි. ඒ කාලේ පටන් අද වෙනතුරැ වසර 44ක් මා නිහඬ වීමකින් තොරව චිත්‍ර අඳිනවා.
l ඔබ අනිත් ශිල්පීන්ට වඩා චිත්‍රයක සියුම් බව වඩාත් විස්තරාත්මකව ඉස්මතු කරන්න මහන්සි වෙනවා. මෙයට විශේෂත්වයක් තියෙනවාද?
මගේ විනෝදාංශය චිත්‍රපටි බැලීමයි. ඒ වගේම ඉංග්‍රීසි පත පොත නිතර කියවනවා. ඒවායේ එන වාහන, පරිසරය, සමාජයන්හි හැසිරීම් පවා මා හදාරනවා. ඒවා තමයි නිර්මාණ හරහා එළියට එන්නේ. අනික තමන් කරන දේ එක්ක අවංක විය යුතුයි. ගෙවන මිලට සාධාරණයක් කරන්න මා වෙහෙස වෙනවා. මොකක් හරි කරලා සල්ලි කඩාගන්න එක මගේ කලාව නෙමෙයි. නිර්මාණයක් කරන්න මා දින කිහිපයක් මහන්සි වෙනවා අදටත්. මගේ පාඨකයන් ඒ ගැන දන්නවා.
l ඒ කාලේ චිත්‍රකතා ශිල්පීන් අතර තරගයක් තිබුණේ නැද්ද ?
අපි කාටවත් එහෙම තරගයක් තිබුණේ නැහැ. හැමෝම තමන්ගේ ශෛලියක් හදාගෙන තමන්ගේම ගමනක් ගියා. අපි එකිනෙකාව කොපි කළේ නැහැ. සරත් මධූව කොපි කරලා බොහෝ ශිල්පීන් බිහි වූණා. නමුත් කොපි කළ අයට ගමනක් තිබුණෙත් නැහැ. අනික කිසි කෙනෙක් මගේ චිත්‍ර කොපි කරලා ඇන්ඳෙත් නැහැ.
l මෙරට චිත්‍ර ශිල්පියාට තිබෙන ස්ථානය ගැන ඔබ තෘප්තිමත්ද ?
ඒ ගැන නම් තිබෙන්නේ කණගාටුවක්.අද අපේ රටේ කලාකරුවෝ කියන්නේ ගායකයෝ, නලු නිළියෝ පමණයි. වෙනත් රටවල එහෙම නැහැ. වර්තමාන පරපුර අපේ නම කිව්වත් දන්නෙ නැහැ. කිසිම රාජ්‍ය මැදිහත්වීමක් නැහැ. පසුගියදා අපි පුවීණ චිත්‍ර ශිල්පී බන්ධුල හරිශ්චන්ද්‍රයන්ට උපහාර උළෙලක් පවා පැවැත්වුයේ පුද්ගලිකව මුදල් එකතු කරලා. ඒවා රජය මැදිහත්ව කළ යුතු වැඩ. ලංකාවේ කලාකරුවෙකු වීම එතරම් හොඳ දෙයක් නෙමෙයි.
l අද බොහෝ විට චිත්‍ර අඳින්න තාක්ෂණය යොදාගන්නවා. එය හොඳ දෙයක් හැටියට ඔබ දකිනවද ?
තාක්ෂණය කියන්නනේ හොඳ දෙයක්. අපි එය හදාරා ඉන් ප්‍රයෝජන ගත යුතුයි. ඉස්සර අපි අතින් වර්ණ ගැන්වූ එක අද තාක්ෂණික මෘදුකාංගයන් හරහා පහසුවෙන් කළ හැකියි.මුද්‍රණයට ගලපාගන්න පහසුයි.නමුත් සමහර නවකයින් ඒ මතම යැපෙන එක හොඳ දෙයක් නෙමෙයි. සමහරුන් චිත්‍ර ඇඳීමේ පන්ති පවා පවත්වනවා. නමුත් චිත්‍රයක් අඳින්න බැහැ. ඒ නිසා නවකයින්ට සහ මේ ක්ෂේත්‍රයට එන්න කැමති අයට මම දෙන උපදෙස නම් ශිල්පය හොඳින් හදාරා, නිතර අභ්‍යාස කරමින්, කරන වැඩේට අවංක වෙන ලෙසයි.කීයක් හරි හොයාගැනීමේ අරමුණින් මේ ක්ෂේත්‍රයේ නියැළෙන්න එපා. අපි අදටත් පවතින්නේ එහෙම නොකළ නිසායි.
සංවාදය - දර්ශ කපුගේ