වෘද්ධෝත්තම හක්මන විපුලවංශ මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ, පින, ධෛර්ය, සුවය සහ ස්මරණ ශක්තිය අතැතිව, අනුවසක් සපුරා, කොළොන්නාව ශ්‍රී අභය සිංහාරාමයේ සක්‍රීයව වැඩ වෙසෙති.
දකුණු පළාතේ, මාතර, කන්දගොඩ පත්තුවේ වර්ෂ 1929 ජූලි 17 වන දින මුන්වහන්සේ උපත ලබා ඇත. වර්ෂ 1947 ඔක්. මස 21 දින හක්මන සිරි සංඝතිස්ස මහා ස්වාමින්ද්‍රයන්ගේ සහ රදෙනිආරේ ධම්මාවාස නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි දිවියට ඇතුළත් වන අතර, වසර 1951 දී මාතර පැවැති විශේෂ උපසම්පදා පුණ්‍යොත්සවයකදී උපසපන් බවට පත්ව ඇත.
තම ආචාර්යන් වහන්සේලාගෙන් මූලික සාමණේර බණ දහම් වත් පිළිවෙත් උද්ග්‍රහණය කරන හක්මන විපුලවංශ සාමණේරයන් වහන්සේ, මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා, සශ්‍රික පිරිවෙන් පින් බිමක් වූ රන්දොඹේ ශිෂ්‍යාලංකාර මහ පිරිවෙණට පැමිණෙයි. එවක එහි ආචාර්ය, පසුව පරිවෙණාධිපති හක්මන සංඝතිස්ස මහතෙරුන්ගෙන් හා ආචාර්ය මණ්ඩලයෙන් ශබ්ද ශාස්ත්‍ර භාෂා ඥාන, ධර්ම ග්‍රන්ථ උගන්නා මෙම සාමණේරයන් වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා චිර ප්‍රකට කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණට ඇතුළු වෙති. එහිදී සිංහල පාලි සංස්කෘත ශබ්ද ශාස්ත්‍ර ඡංදෝලංකාරාදියෙන් ශාස්ත්‍ර උද්ග්‍රහණය කරන්නේ, විශේෂ දක්ෂතා දක්වමිනි. ඒ බවට එවක පරිවෙණාධිපති ස්වාමින්ද්‍ර පාදයන් වූ කළුකොඳයාවේ පඤ්ඤාසේකර වියත් මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ විශේෂ ඇගයීමකට ලක්ව සටහනක් ලබා ඇත. පිරිවෙන් අවසන පණ්ඩිත උපාධිය ලත් මුන් වහන්සේ මේ වනවිට විද්‍යෝදය පිරිවෙණ, විද්‍යෝදය විශ්වවිද්‍යාලය බවට පත්වී තිබිණ. එහි ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායම්වලින් එකකට ඇතුළුවීමට ලැබෙන්නේ අවසන් විභාගයේදී දක්වන ලද සුවිශේෂ සාමාර්ථයන් නිසාය. 1967 දී උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මුල් අවධියේ උපාධිධාරීන් සමූහයකට ඇතුළත්ව, තවමත් ජීවතුන් අතර සිටින කිහිප දෙනාගෙන් එක් පිනැත්තෙකි.
ඉන් අනතුරුව මුන්වහන්සේ සමාජ, අධ්‍යාපන, ආගමික සද්කාර්යන්හි කටයුතු අරඹයි. කොළොන්නාව ශ්‍රී අභයසිංහාරාමය මුන්වහන්සේ තම ආගමික කටයුතු ආරම්භ කරන පින්බිමයි. එදා සිට අද දක්වා අඛණ්ඩව තවමත් නිති පතා දවසේ පැය සොළොසකට වැඩි ප්‍රමාණයත් ඒ වෙනුවෙන් නිශ්ශරණාධ්‍යාශයෙන් නියැලෙමින් සිටිති.
දෙමටගොඩ වේළුවනාරාම මහා විහාරයේ ආරම්භ කළ “වේළුවන මහ පිරිවෙණෙහි” පරිවෙණාධිපතීන් වහන්සේ ලෙස පත්වීම ලැබීම මුන්වහන්සේගේ අධ්‍යාපන සේවයේ මූලාරම්භයයි. එහි බොහෝ කාලයක් කැපවීමෙන් වැඩ කිරීමෙන් පසුව බොරැල්ලේ තිලකරත්නාරාම පුරාණ විහාරයේ ‘සිරිසුමන මහ පිරිවෙණෙහි’ පරිවෙණාධිපතීන් වහන්සේ ලෙස පත්ව 1994 දී විශ්‍රාම යනතෙක් එහි කටයුතු කර ඇත.
එමෙන්ම සමාජ සේවා බොහොමයකට අනුශාසනා - මාර්ගෝපදේශ ලබා දී ඇති මුන්වහන්සේ බොරැල්ල “තරුණ බෞද්ධ සංගමය” මගින් 1975 දී අරඹන ලද දහම් පාසලේ, ප්‍රධානාචාර්යන් වහන්සේ ලෙසට පත්වූයේ තලල්ලේ ධම්මානන්ද මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ නිර්දේශය පරිදි ලද ආරාධනයෙනි. එදා සිට 2017 වසර අවසාන කාලය දක්වා වූ කාල සීමාව තුළ උන්වහන්සේ සෑම ඉරිදා දිනයන්හී නොවරදවා සිත් පහදවාගෙන උනන්දුවෙන් ආශාවෙන් එහි වැඩම කරමින් කැපවීමෙන් කළ සේවය එහි ආචාර්ය සිසු දරු පිරිස සහ මව්පියන් අදටත් සැමදාටත් නොමඳ අගැයුමට ලක් කරති.
මනුසත් බව ලැබීම මහත් පිනෙකි. මහණකම ලබා වසර “අසූ හතක්” ජීවත් වීම සහ උපසම්පදාවෙන් පසු වස් “හැට අටකුත්” සපුරා සුවෙන් සැහැල්ලු සිතින් දන් පින් කිරිය වත් සපුරමින් වැඩ සිටීම, වඩාත්ම සුවිශේෂී මහා භාග්‍යයකි. උන්වහන්සේට චිරජීවනය ලැබේවා!
හිටපු දිස්ත්‍රික් විනිශ්චයකාර
සී.වී.රාජපක්ෂ