මාලතී රම්බොඩගෙදර පරීක්ෂණ නිලධාරිනී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය
කෘෂිකාර්මික අංශය ඹ්නෑම රටක ආර්ථිකයේ වැදගත් ස්ථානයක් ගනී. කෘෂිකර්මාන්තය තුළින් රටකට ලැබෙන ආර්ථික වටිනාකම මෙන්ම ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි කෘෂිකර්මාන්තයෙන් ලැබෙන දායකත්වය අතිමහත්ය. එනිසා ම නූතන ලෝකය තාක්ෂණය අතින් කොතරම් ඉදිරියට ගිය ද කෘෂිකර්මාන්ත යෙහි ඇති වැදගත්කම වෙනස් නොවේ.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ කෘෂිකාර්මික අංශයේ ශ්‍රම දායකත්වය සියයට 26 ක් වේ. මෙරට ජනගහනයෙන් වැඩි පිරිසක් ග්‍රාමීයව ජීවත් වන අතර ඹවුන්ගෙන් වැඩි දෙනා කෘෂිකර්මාන්තය මත යැපේ. තවමත් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට සම්බන්ධ බොහෝ ගොවියන් කුඩා පරිමාණ ගොවිපළ මත පදනම් වූ සුළු පරිමාණ කෘෂිකර්මාන්තයේ නිරතව සිටිති. ඒවා බොහෝ විට පවුල් ගොවිපළවල් ලෙස හදුනා ගැනීමට හැකි අතර රටේ ආහාර අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපයනු ලබන්නේ ග්‍රාමීය සුළු ගොවි ප්‍රජාව විසිනි. ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ මෙන්ම සංවර්ධනය වන බොහෝ රටවල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මෙම කුඩා පරිමාණයේ ගොව්බිම් ය. නිදහසට පසුව විශේෂයෙන් 1960 දශකයේ මැද කාල වකවානුව තුළ සුළු පරිමාණ කෘෂිකාර්මික අංශයේ විශේෂයෙන් වී ගොවිතැනෙහි විශාල වෙනසක් සිදු වන්නට මග පෑදුණි. වාරි ජලය යටතේ වැඩි වශයෙන් වී වගාව කිරීමට හැකි වීමත් අස්වැන්න වැඩි කර ගැනීමට හැකි ක්‍රමවලට ගොවිතැන නැඹුරු වීමත් මේ වෙනසට හේතු විය.
කෙසේ නමුත් වර්තමානය වන විට කෘෂිකර්මාන්තයට තරුණයන්ගේ ඇති නැඹුරුව කැපී පෙනෙන ලෙස අඩු වී ඇත. විශේෂයෙන් ගොවිතැන් කරන පුද්ගලයන්ගේ වයස් සීමාව ඉහළ මට්ටමක පැවතීමත් එසේත් නැත්නම් ගොවීන් වැඩි දෙනා වයස්ගත වීමත් ඒ සමඟ ම තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඈත් වීමත් දක්නට ලැබේ. මෙම තත්ත්වය කෘෂිකර්මාන්තය ඉදිරි පැවැත්ම පිළිබද අවිනිශ්චිතතාවක් ඇති කර ඇත.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අලෙවිය පිළිබඳ කරන ලද සමීක්ෂණයකට අනුව වී ගොවීන්ගෙන් සියයට 54.4 ක් අවුරුදු 50 ඉක්මවා සිටි අතර සියයට 5.1 ක් පමණක් අවුරුදු 20-30 වයස් කාණ්ඩය නියෝජනය කරන ලදී (දමයන්ති සහ බුලන්කුලම, 2005). එමෙන් ම ආයතනය විසින් 2007 දී සිදු කරන ලද වෙනත් අධ්‍යයනයකට අනුව වී ගොවීන්ගේ සාමාන්‍ය වයස් කාණ්ඩය අවුරුදු 52 ක් වූ අතර වී ගොවීන්ගෙන් සියයට 16 ක් වයස අවුරුදු 64 ඉක්ම වූවන් වූහ. (Gamage and Damayanthi,2012).
ශ්‍රී ලංකාව තුළ තරුණයන් ගොවිතැනින් ඉවත් වීමේ ප්‍රවණතාවයක් තිබුණ ද සමස්තයක් ලෙස තරුණ පරම්පරාව අතර විරැකියාව බහුල වශයෙන් දක්නට ලැබේ. ඇතැම් පර්යේෂකයන් පවසන අන්දමට ඉඩම් හිගය, කළමනාකරණ හා තාක්ෂණික නිපුණතාවයේ හිගය ගොවිතැන සම්බන්ධව ඇති ආකල්ප හා සුදු කරපටි රැකියාවක් සදහා වන කැමැත්ත කෘෂිකර්මාන්තයෙන් තරුණයන් ඇත්වීම කෙරෙහි බලපා ඇත.
කෘෂිකර්මාන්තයෙන් තරුණ පරපුර ඈත් වීමට හේතුවන ප්‍රධාන කාරණා ආදායම හා අලෙවිකරණය පිළිබඳ ගැටලු
ඕනෑම රැකියාවක ආර්ථික ලාභය යන්න රැකියාවේ තව දුරටත් නිරත වීම කෙරෙහි බලපායි. ගොවිතැනට ද එය එක සේ පොදු වේ. නමුත් අලෙවිකරණ ගැටලු සුළු ගොවියන්ගේ ජීවිකාව ඉදිරියට පවත්වාගෙන යාම කෙරෙහි විශාල බලපෑමක් කරයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය විසින් 2012 වසර තුළ සුළු ගොවි අංශයේ තරුණ පරපුර කෘෂිකර්මාන්තයෙන් ඈත් වීම පිළිබද සිදුකරන ලද අධ්‍යයනයෙන් හෙළි වූයේ ද අස්වැන්න සඳහා ලැබෙන අඩු මිල හා වගා කටයුතුවලින් ලැබෙන ආදායම අඩුවීම තරුණ පරම්පරාව ගොවිතැන් කටයුතුවල නිරතවීමේ දී මුහුණ දීමට සිදුවන වඩා ප්‍රබලම ගැටලුවක් බවයි. අතිශය දුෂ්කරතා මැද ලබාගත් අස්වැන්නට සතුටුදායක මිලක් නොමැතිවීම නිසා තරුණයන් ගොවිතැන අතහැර දැමීමටත් වෙනත් රැකියා සඳහා යොමු වීමටත් හේතු වේ. ඇතැම් විට අස්වැන්න වෙළෙඳපොළට ගෙන ගිය ද ඒ සඳහා වැය වූ ප්‍රවාහන වියදම පවා පියවා ගත නොහැකි වන අවස්ථා ඇත.
විශේෂයෙන් රැකියාවක් ලෙස ගොවිතැනෙහි ඇති අවිනිශ්චිතතාවය ද ආදායම කෙරෙහි බලපෑමක් කරයි. එමෙන්ම නිසි වගා රක්ෂණයක් නොමැති වීම, යෝග්‍ය විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ගොවියන්ට නොමැති වීම නිසා පවුලේ ආර්ථිකය සම්පූර්ණ අවධානම් තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත. ණයගැතිභාවයට පත්වීම ද ගොවියන් අතර සුලභ තත්ත්වයකි. මේ නිසා ද්විතියික ආදායම් මාර්ගයක් ලෙස ගොවිතැන් කිරීම පූර්ණකාලීන රැකියාවක් ලෙස ගොවිතැනෙහි නිරතවීම වඩා ප්‍රායෝගික බව ඇතැම් තරුණයන්ගේ අදහසයි.
මූලික පහසුකමක් වන ඉඩම් සම්බන්ධ ගැටලු
වෙනත් ඕනෑම වෘත්තියක් මෙන් ම කෘෂිකාර්මික කටයුතුවල යෙදීමට ද මූලික පහසුකම් සැපිරිය යුතුවේ. ඒ අතුරින් ගොවිතැන් කිරීමට අත්‍යවශ්‍යම සාධකයක් වන්නේ ඉඩම්ය. ගොවිතැන් කිරීමට ප්‍රමාණවත් ඉඩම් නොමැති වීම වර්තමානයේ තරුණ පරපුර කෘෂිකර්මාන්තයේ රදවා ගැනීමට විශාල ගැටලුවක් ව තිබේ. ගොවි ප්‍රජාවට අයත් තරුණයන්ට ගොවිතැන් කටයුතුවල නිරත වීමට කැමැත්තක් තිබුණ ද පූර්ණකාලීන වගා කටයුතුවල නිරතවීමට පවතින ඉඩම් ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් උඩරට එළවළු වගාව මෙන්ම කෙසෙල් ගස්ලබු ආදී වගාවන්වලින් සාපේක්ෂව වැඩි ලාභයක් ගත හැකි වුවත් තරුණ පරපුරට ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ ඉඩම් නොමැති වීමය.
එමෙන් ම පවතින ඉඩම් කැබලි වීම නිසා ඉඩමේ ආර්ථික වාසිය උපරිම ලෙස ලබා ගැනීමට නොහැකි වීම තරුණ පරපුර ගොවිතැනින් ඈත් වීමට තවත් හේතුවක් වී ඇත. නිදහසින් පසු ඇරඹුණු ජනපද ව්‍යාපාර හරහා එවකට සිටි තරුණ පරම්පරාවට ගොවිතැන් කිරීමට ගොඩ මඩ ඉඩම් ලැබුණි.
තරුණ පරපුර ගොවිතැන කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට එය ප්‍රබල හේතුවක් විය. දැනට වෙසෙන තරුණයන් එකී ඉඩම් ලද පරම්පරාවේ තුන්වන පරම්පරාව එසේත් නැත්නම් හතරවන පරම්පරාව නියෝජනය කරන අතර අවම බෙදුමි සීමාව යටතේ මේ වන විටත් බහුතර ඉඩම් කැබලි වී ඇත. මීට අමතරව ඉඩම් අයිතියට හිමිකමක් නොමැති තරුණයන් ගොවි ප්‍රජාව තුළ විරළ නොවේ. මේ තත්ත්වය තරුණ පරම්පරාව ගොවිතැනින් ඈත් කිරීමට සෘජු බලපෑමක් කර ඇත.
කෘෂි යෙදවුම් ලබා ගැනීමේ දුෂ්කරතා
පොහොර, බීජ සහ රෝපණ ද්‍රව්‍ය, කෘමිනාශක හා වල් නාශක ආදිය සාර්ථක වගාවකට අත්‍යවශ්‍ය සාධකයි. අවශ්‍ය කෘෂි යෙදවුම්වල හිඟය, මිල අධික වීම සහ ප්‍රමිතියෙන් යුතු කෘෂි යෙදවුම් ලබා ගැනීමේ දුෂ්කරතා යන කරුණු දැනට වගා කටයුතුවල නිරත ගොවියන් ට පවා මුහුණ දීමට ඇති ගැටලුය. කාලයක් පුරාවට ගොවිතැන් කටයුතුවල නිරත වූ ගොවි පරම්පරාවට මෙන් නොව තරුණයන්ට මෙම ගැටලු අතරේ ගොවිතැන් කරනවාට වඩා විකල්ප ජීවනෝපාය මාර්ගවලට යොමුවීමේ අවස්ථාව ඇත. එකී විකල්ප ජීවනෝපාය බොහෝ විට අවිධිමත් අංශයේ රැකියාවක් වුව ද ආර්ථික වශයෙන් ඇති අවධානම සාපේක්ෂව අඩුය.
එමෙන්ම වගාවට අවශ්‍ය යෙදවුම් මිල දී ගැනීමට යම් කිසි පිරිවැයක් අවශ්‍යය. අලුතින් ගොවිතැනට පිවිසෙන තරුණයන්ට එම පිරිවැය සපයා ගැනීම ද ගැටලුවකි.
ඔවුන්ට බොහෝ විට ඉඩම් අයිතිය නොමැති නිසා විධිමත් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබා ගැනීම පවා දුෂ්කරය. එමෙන්ම ම ගොවිතැනින් ලැබෙන ආදායම පිළිබද නිශ්චිතව කිව නොහැකිය. මෙම පසුබිම තුළ බොහෝ විට ගොවිතැනට පිවිසීමට නම් කෘෂි අමුද්‍රව්‍ය ඒවා මිලදී ගන්නා වෙළඳසැල්වලින් ණයට ගැනීමට සිදුවේ.
ණය ලබා ගන්නේ ඉහළ පොලී ප්‍රතිශතයකට වන අතර ඇතැම් විට අස්වැන්න එම වෙළෙන්දාට ම විකිණීම සඳහා අවිධිමත් ගිවිසුමක් ක්‍රියාත්මක වේ. නිසි මිලකට අස්වැන්න විකුණා ගැනීමට පවා නොහැකි වන්නේ යෙදවුම් වෙළෙන්දා අතර ඇති මෙම අවිධිමත් බලපෑම හේතුවෙනි. විශේෂයෙන් කලින් පරම්පරාවන් ගොවිතැන තුළින් අත්දකින ලද මෙවන් ගැටලු නිසා ග්‍රාමීය ගොවි ප්‍රජාවට අයත් තරුණ පරම්පරාවට මෙම තත්ත්වය පිළිබද අත්දැකීම් නොඅඩුව පවතී. මෙවැනි තත්ත්වයන් තරුණයන් ගොවිතැනට පිවිසීම කෙරෙහි නැඹුරුව අඩුවීමට බලපෑමක් කරයි.
තොරතුරු, නවීන තාක්ෂණය සහ ව්‍යාප්ති සේවාවන් හි හිගය
ලාබදායී හා නවීන තාක්ෂණය සමඟ ගොවිතැන් කිරීමට තරුණයන් කැමැත්තක් දැක්වුව ද ග්‍රාමීය තරුණයන්ට නවීන තාක්ෂණික වගා ක්‍රමවේද, ඒවා සපයන ආයතන, ව්‍යවසාය කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳ දැනුම සහ පුහුණුව නිසි පරිදි නොලැබීම ගැටලුවකි. එනිසා ගොවිතැන ලාභදායි රැකියාවක් ලෙස කරගෙන යාමට ඇති අවස්ථා තරුණයන් ට මගහැරේ. එමෙන් ම වගාව කරගෙන යාමේ දී අවශ්‍ය වන දැනුම උපදෙස්වල හිගය නිසා තරුණයන්ට ගොවිතැන් කටයුතු කරගෙන යාමේ දී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව හදුනාගත හැකිය. එනිසා වගාව තුළින් එළඹිය හැකි නව මාර්ග තිබුණ ද ව්‍යවසාය කාර්යයක් ලෙස ගොවිතැන කරගෙන යාම තරුණයන්ට අභියෝගයක් වී ඇත.
තරුණයන් නවීන තාක්ෂණය සමඟ කටයුතු කිරීමට හැම විටම පාහේ කැමති අතර නවෝත්පාදන මෙන්ම නව ආකල්පවලින් ද හෙබිය.නමුත් ශ්‍රී ලංකාවේ සුළු ගොවිතැන තවමත් නවීනත්වයට වඩා සාම්ප්‍රද්‍රායකත්වයට නැඹුරුකමක් දක්වයි. නව තාක්ෂණය භාවිතය තුළින් තවමත් අපේ රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගොස් නැත. මේ පසුබිම තුළ සාම්ප්‍රද්‍රායකත්වයට වැඩි නැඹුරුවක් ඇති ගොවිතැන් රටාව පමණක් නොව ගොවි ජීවන රටාව ද තරුණයන් කෘෂිකර්මාන්තය කෙරෙහි ආකර්ෂණය කිරීමට අසමත් වී ඇත.
ගොවිතැන පිළිබඳ ඇති සමාජ වටිනාකම්
ගොවිතැන තුළින් රටේ ආහාර සුරක්ෂිතතාවයට විශාල මෙහෙයක් කළ ද වර්තමාන සමාජ ආර්ථික වටපිටාව තුළ වෘත්තීයක් ලෙස ගොවිතැනට ඇති පිළිගැනීම යහපත් මට්ටමක නැති බව පිළිගත යුතු කරුණකි. අපේ ජන සමාජය තුළ මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු යැයි කියමනක් ඇත. ඒ තුළින් ශ්‍රී ලාංකීය සමාජ සන්දර්භය තුළ ගොවියාට ඇති පිළිගැනීම හා ගෞරවය හොදින් පැහැදිලි වේ. එහෙත් වෘත්තීමය වශයෙන් ගොවිතැන දෙවන ගණයේ ලා සැළකීම තුළ තරුණ ප්‍රජාව ගොවිතැනට පූර්ණකාලීන රැකියාවක් ලෙස යොමු වීම අධෛර්යමත් කර ඇත. එය ඹවුන්ගේ ජීවිතයේ සෙසු අවස්ථාවලට ද බලපෑම් කරන බව හදුනාගත හැකිය.
විශේෂයෙන් විවාහය සදහා සහකරුවකු හෝ සහකාරියක් සෙවීමේ දී ගොවිතැනෙහි නිරත වීම සුදුසුකමකට වඩා නුසුදුසුකමක් වන බවට අත්දැකීම් තරුණ පරපුරට තිබේ. එනිසා ම සමහර අවස්ථාවල දී ගොවිතැන සදහා අවශ්‍ය ඉඩම් ඇතුළු මූලික පහසුකම් තිබුණ ද ගොවිතැනෙ හි නිරත වීම පිළිබද දැනුම අත්දැකීම් තිබුණ ද වඩා යහපත් යැයි සමාජය පිළිගන්නා රැකියාවක් කිරීමට තරුණ පරපුර රුචිකත්වයක් දක්වයි.
ගොවිතැන කෙරෙහි ඇති මෙකී සමාජ ආකල්ප තුළ ගොවි ප්‍රජාව නියෝජනය කරන තරුණ පරපුර කෘෂිකර්මාන්තය ඔවුන්ගේ ජීවිතවලට කොතරම් බද්ධ ව තිබුණ ද ගොවිතැනින් ඉවතට තල්ලු වීමට බලපා ඇත. එමෙන්ම ගොවිතැනට වඩා ආකර්ෂණීය වැටුපක් සහ යහපත් සමාජ තත්ත්වයක් ඇති වෙනත් රැකියා කෙරෙහි තරුණ පරම්පරාවේ ඉහළ කැමැත්තක් ඇත. බොහෝ වට සුදු කරපටි රැකියා මෙන් ම අවිධිමත් අංශයේ වුව ද සැළකිය යුතු රැකියාවලට වත්මන් ග්‍රාමීය තරුණ ප්‍රජාව ගොවිතැනට වඩා යොමු වේ.
ලෝකයේ සමාජ ආර්ථික ව්‍යූහය විවිධ වෙනස්කම්වලට නිරතුරුව යොමු වුණත් මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන ආහාර නිෂ්පාදනය කෙරෙහි කෘෂිකර්මාන්තයට ඇති වැදගත්කම වෙනස් නොවේ. මේ නිසා කෘෂිකර්මාන්තයේ ඉදිරි පැවැත්ම සඳහා තරුණ සහභාගිත්වය අත්‍යාවශ්‍ය වේ. සංවර්ධිත රටවල මහා පරිමාණ ගොවිපොළ මෙන් නොව ශ්‍රී ලංකාව වැනි රටවල සුළු ගොවි අංශය තවමත් රටේ ආහාර නිෂ්පාදනයට පුමුඛ දායකත්වයක් සපයයි. මේ නිසා තරුණයන් කෘෂිකර්මාන්තයේ රදවා තැබීමට අවශ්‍ය පියවර ගත යුතු අතර එය සුළුගොවි අංශයේ තිරසාර බව රැක ගැනීමට උපකාරී වනු ඇත.
තරුණයන් දිනා ගැනීමට ගත යුතු පියවර
කෘෂිකාර්මික අංශයේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දුන්න ද වර්තමාන රැකියා වෙළෙඳපොළ තුළ ගොවිතැන යනු අවසාන විකල්පයන් අතර ඇති ජීවනෝපාය මාර්ගයක් ලෙස ආකල්පයන් සමාජය තුළ පවතී. මෙම සමාජ ආකල්පය වෙනස් කිරීමට වගකිව යුතු අංශයන් හි මැදිහත්වීම අවශ්‍ය වේ. විශේෂයෙන් කෘෂිකාර්මික අංශයට තරුණයන්ගේ අභිප්‍රේරණය වැඩි දියුණු කිරීමට පාසල තුළින් සිදු කරන මැදිහත් වීම වැදගත්ය. ඒ අනුව සෑම දරුවකුටම ප්‍රාථමික අධ්‍යාපනයේ සිට කෘෂිකාර්මික අංශය කෙරෙහි ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම දීම සිදුකළ හැකි අතර අතර එහි වැදගත්කම අවධාරණය කළ යුතුය.
තරුණයන්ට කෘෂිකර්මාන්තය සඳහා යොමු වීමට අවශ්‍ය ඉඩම්, මූල්‍ය පහසුකම්, කෘෂි යෙදවුම් හා වාරි ජල පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවශ්‍ය කටයුතු වගකිව යුතු අංශ මැදිහත් වී සිදු කිරීම.
මූලික පහසුකම් අතරින් වගා කිරීමට අවශ්‍ය ඉඩම් ගැටලුවට විසදුමක් ලෙස වගා කිරීමට සුදුසු එහෙත් වගා කල නොමැති හා ඌණ උපයෝජනයක් සහිත රජයට අයත් ඉඩම් තාවකාලිකව තෝරාගත් තරුණ ගොවි සමාජවලට හෝ තරුණ කණ්ඩායම්වලට බදු පදනම හෝ තරුණ ගොවීන් කෘෂිකර්මාන්තයට නැඹුරු කරගැනීමට සැකසූ වෙනත් විශේෂිත වැඩසටහනක් හරහා ලබා දිය හැකිය.
එමෙන්ම නව තාක්ෂණික ක්‍රම භාවිතයෙන් පවතින කෘෂිකාර්මික ඉඩම් පූර්ණ උපයෝජනයකින් භාවිත කිරීමට සැලැස්වීමෙන් සම්පත් ඌනතාවය මඟින් මතුවන ගැටලුවලට යම් පිළියමක් යෙදිය හැකිය. විශේෂයෙන් හරිත ගෘහ තුළ වගා කිරීම ප්‍රචලිත කිරීම සිදුකළ හැකිය.
කෘෂිකර්මාන්තය පදනම් කරගත් ව්‍යවසාය මාර්ග හා නව තාක්ෂණය භාවිතයෙන් කෘෂිකර්මාන්තය සිදු කිරීමට ඇති විභවතාවයන් කෙරෙහි තරුණයන් දැනුවත් කිරීම හා පහසුකම් සැළසීම මෙන්ම අවශ්‍ය පුහුණුව හා මග පෙන්වීම ලබාදිය හැකිය.
නිෂ්පාදන සඳහා වෙෙළඳපොළ සහතික කිරීමටත් අලෙවි ගැටලුව විසදීම සඳහාත් පූර්ව වෙළෙද ගිවිසුම් මඟින් තරුණ ගොවීන්ට නිෂ්පාදන විකුණා ගැනීමට අවස්ථාව සැලසිය හැකිය.
ගොවිතැන රැකියාවක් ලෙස කිරීමේ දී ඇති ආදායම පිළිබඳ අවිනිශ්චිතතාවය අවම කිරීම වස් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කෘෂි රක්ෂණය හා ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීම, කෘෂි ව්‍යාප්ත සේවාවන් පුළුල් කිරීම සහ ගුණාත්මක බව වර්ධනය කිරීම තුළින් කෘෂිකර්මාන්තයේ නියැලෙන තරුණ ප්‍රජාවට එලදායී ලෙස තම වගාවන් කිරීමට පහසුකම් සළසා දීම වැනි පියවර ගත හැකිය.
එමෙන්ම කෘෂිකාර්මික අංශයට තරුණ සහභාගිත්වය වර්ධනය කිරීමට සිදුකරන සියලුම ක්‍රියාමාර්ග සහ දිරිගැන්වීම් යහපාලන මූලධර්මවලට අනුකූලව සාධාරණව විනිවිධභාවයකින් යුතුව ප්‍රතිලාභ ලබන තරුණයන්ගේ හා ක්‍රියාත්මක කිරීමට සහය දෙන සියලුම පාර්ශවකරුවන්ගේ විශ්වාසය රැකෙන පරිදි සිදු කිරීම ද මෙහි දී වැදගත් වනු ඇත.
මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ කෘෂිකර්මාන්තය තුළ තරුණ සහභාගිත්වය අඩුවීමට බලපාන කරුණු පිළිබඳ සිදුකරන ලද අධ්‍යයනයක් ඇසුරින් සකසා ඇත.