සම්මුතිවාදි ආණ්ඩුවේ අරමුණු ඉටුවීද? ආණ්ඩුවක් හැදීමට ජනපති ශ්‍රීලනිපයට ආරාධනා කළේ ඇයි? බැඳුම්කරය ගැන කතා කරන නමුත් ශ්‍රීලනිපය, වංචා දූෂණ පරීක්ෂණ වාර්තා 34 අමතක කරන්නේ ඇයි? පුංචි ඡන්දයෙන් පසුව ආණ්ඩුවට කුමක්වේද? ආදි ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්දඋඩරට උරුමයන් පිළිබඳ ඇමති එස්. බී. දිසානායක මැති හමුවට එක්වේ.
* දූෂිතයන්ට දඬුවම් දීම ප්‍රමාද කරන පිරිසක් ඉන්නවා
* 2020 වනතුරු ආණ්ඩුව යනවා
* දේශපාලනය කරන්න මහින්දට එපා කියන්නේ නැහැ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල මැතිවරණ වේදිකාවල බොහෝම සැර කතා පවත්වනවා. එහෙම කතා කිරීමට ඇති පසුබිම මොකක් ද?
එහෙම විශේෂ පසුබිමක් නම් නෑ. ඒත් ජනාධිපතිවරයාට ඕනෑකම තියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඊට එකතුවෙලා හිටපු මිත්‍ර පක්ෂත් සම්පූර්ණයෙන්ම නැවත එකතු කරන්න. හැබයි විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් පරාජිත දූෂිත පිරිසක් මේ උත්සාහය වළක්වන්න හදනවා. ඒ පරාජිත දූෂිත පිරිසට තමයි ජනාධිපතිවරයා ඔහුගේ හඬෙන් පිළිතුරු දෙන්නේ.
නමුත් ඒකාබද්ධ විපක්ෂය නම් කියන්නේ ජනාධිපතිවරයාගේ මේ සැර කතා ඡන්ද දායකයන් ඉලක්ක කරගනිමින් කරන රංගනයක් කියලයි. ඒකෙ ඇත්තක් තියනව ද?
ජනාධිපතිවරයා අපේ පක්ෂයෙන් එළියට ගිහින් පොදු අපේක්ෂකයා බවට පත්වුණේ දූෂණය, වංචාව, නාස්තිය, ඒකාධිපති වියරුවට එරෙහිවයි. ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දූෂණයෙන් තොර යහපාලනයක් ඇති කරනවා කියන පොරොන්දුව ජනතාවට දුන්නා. ඒ විතරක් නෙවෙයි මැතිවරණයේදී ජනාධිපතිවරයා කිව්වා ජයග්‍රහණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරගන්නවා කියලා. හිටපු ජනාධිපතිවරයාමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාරගන්න කියලා කිව්වේ. ඉතිං ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර ගත්තා. ඒ විතරක් නෙවෙයි මහා ජාතික සම්මේලනයක් පොළොන්නරුවේදී පවත්වලා හිටපු ජනාධිපතිවරයා ළඟ තබාගෙන පක්ෂයටත් ජනතාවටත් ස්වර්ණමය යුගයක් ඇතිකරනවා කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොරොන්දු වුණා. එදා පටන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැම සම්මේලනයකදීම හැම මැයි දිනයකදීම මෛත්‍රීපාල ජනාධිපතිවරයා පක්ෂය ශක්තිමත් කළා. පක්ෂයෙන් වෙන්ව ගිය අය යළිත් එකතු කර ගත්තා. ග්‍රාමීය ජනතාව පක්ෂයෙන් ඈත්වෙලා හිටපු එක පුළුවන් තරම් අඩුකර ගත්තා. ඒ ක්‍රියාදාමයේම පියවරක් ලෙස තමයි ජනාධිපතිවරයා පක්ෂයෙන් පිටට ගිය අයට ආරාධනා කෙළේ. හුඟක් අය ඒ ආරාධනය පිළිගත්තා.
තොණ්ඩමන් මහතා, අතාවුල්ලා මහතා, හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා කොමියුනිට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය නායක හා හිටපු එකම මන්ත්‍රීවරිය ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය ආදී විශාල පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතු වුණා. ඒ විතරක් නෙවෙයි ජාතික නිදහස් පෙරමුණේ ලේකම්, ජාතික සංවිධායක ඇතුළු සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එකතුවුණා. දැන් ඉතිරිවෙලා ඉන්න පිරිස් නගන බොරු සටන්පාඨවලට උත්තරදීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිගටම ගෙනියනවා. මේ ඡන්ද ප්‍රචාරය පක්ෂය ශක්තිමත් කර ගැනීමේ එක වැඩපිළිවෙළක්.
ජනතාව මේ යහපාලන ආණ්ඩුව පත්කරගත්තේ ජනතා මුදල් ගසාකෑ, වංචා කළ දූෂිතයන්ට දඬුවම් දෙන්න කියලයි. ඒ ජනතා පැතුම ඉටුවෙලා තියෙනවාද?
ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග, ජනපති පරීක්ෂණ ක්‍රියාමාර්ග කෙරීගෙන යනවා. ජනපති කොමිෂන් සභා වාර්තා එළියට ඇවිත් තියනවා. නඩු කටයුතු දඬුවම් දීමේ කටයුතු ආණ්ඩුවේම කිසියම් පිරිසක් ප්‍රමාද කරන බව පේනවා. මේ අරගලය මත තමයි ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්නේ. අපි කවුරුවත් බේරන්න උත්සාහ කරන්නේ නෑ. ඒ නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ මහා හොරකම වගේම 2008 සිට සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචා දූෂණ පිළිබඳවත් ඒවා කරපු අයට දඬුවම්දීම පිළිබඳවත් කටයුතු කරන්නේ. ඒ නිසා මේ නඩු කටයුතු ප්‍රමාද කරන්නේ රජයේම යම් කිසි පිරිසක් බවත් ජනපතිවරයා දන්නවා. මේක තමයි අරගලය. ඒක තමයි අපි ජනතාවට කියන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ වෙලාවේ අපිට ශක්තිය දෙන්න කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය බැඳුම්කර වාර්තාව ඉස්මතු කරනවා විනා බරපතළ වංචා දූෂණ ජනපති කොමිෂන් වාර්තාවලින් එළිවූ සිද්ධීන් 34 ගැන බලන්නේ නෑ කියන චෝදනාවක් තියනවා. මේ ගැන මොකද කියන්නේ?
ඒ ලිපිගොනු තවම හරියට එළියට ආවේ නෑ. දැන් තමයි ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට පත්වෙන්නේ. මේවා යටගහන්න හොරු බේරගන්න අපි කිසි දිනෙක කටයුතු කරන්නේ නෑ. ඒ නිසා තමයි ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතු වෙන්නේ.
ජනපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 දෙනාම තමා සමඟ සිටිනවානම් හෙට ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා. එතකොට ඒ ආණ්ඩුව හදන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයත් සම්බන්ධ කරගෙන ද?
හැබැයි ඒකාබද්ධ විපක්ෂයේ බොරුව හෙළිදරව් කරන්න ඊට පහුවදාම ජනාධිපතිවරයා කිව්වා “ඔය ජී. ඇල්. පීරිස්ගේ කුණු කානුවේ ඉන්න ඇතැම් අයට මාත් එක්ක එකතුවෙන්න බෑ. ඒ අය හොරු දූෂිතයෝ කියලා ඒ එක්කම කීවා.
ඒත් මේ මන්ත්‍රීවරුන් 96ට මහින්ද රාජපක්ෂ මහත්තයත් අයිතියි නේද?
ජනාධිපතිවරයා පැහැදිලිවම කිව්වා හොරු වංචාකාරයෝ දූෂිතයන්ට ඔහුත් සමඟ එකතුවීමට බෑ කියලා.
එහෙමනම් ඉතිං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් දූෂණ වංචා තියන අය අඩු කරලනේ අඬගහන්න ඕනෑ.
මේක ඒකාබද්ධ විපක්ෂයේ සමහර අයගේ බොරුව, වංචාව හෙළිදරව් කරන්න කරපු අභියෝගයක්. ජනපතිවරයා 96 ගැන කියනවත් එක්කම කිව්වා හැබැයි ඕකේ ඉන්න සමහර හොරුන්ට මාත් එක්ක එකතුවෙන්න බෑ කියලා.
මාධ්‍ය ප්‍රධානින් කැඳවා කළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියලා තියනවා මට දේශපාලනය නොකර ඉන්න බෑ කියලා. ඉතිං එහෙමනම් ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාටත් වලංගු වෙන්න ඕනෑ නේද?
පැහැදිලිවම. අපි කවුරුවත් මහින්ද රාජපක්ෂ මහත්තයාට දේශපාලනය නොකර ඉන්න කියලා කියන්නේ නෑ. හැබැයි මහින්ද මහත්තයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සන්ධානය බාරදීලා දැන් කකුලෙන් අදින්න එපා කියලයි අපි කියන්නේ.
ජනපතිවරයාගේ කඩුවෙන් කැපුණු කෙනෙක් එහෙම ඉන්නවා ද?
ඒක ජනපතිවරයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. අධිකරණ ක්‍රියාදාමෙය් ප්‍රශ්නයක් නේද? ජනපතිවරයාට කඩුව අරන් කපාගෙන, කපාගෙන යන්න බෑනේ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නීතියක් අධිකරණ පද්ධයක් තියනවානේ. මේවා ඒකෙන් වෙන්න ඕනෑ දේවල්.
මැති සබයේ බහුතර බලය අරන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහි කරනවා කියලා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියනවා. 2020 දක්වාම ජනපතිවරයා සමඟ වැඩ කරන බවත් ඒ සමඟම කියනවා මේ ප්‍රකාශ ගැන මොකද කියන්නේ.
දැන් අපේ ආණ්ඩුව කියනවානේ ඒ ගැන වෙන්න ඇති අගමැතිවරයා කියන්න ඇත්තේ.
ඔබත් හිතන්නේ මේ ආණ්ඩුව 2020 දක්වා පවතීවි කියලද?
ඔව්. මේ ආණ්ඩුව 2020 දක්වාම පවතීවි. අතරමග ගැටුම් ඇතිවෙන්න පුළුවන්. ඒත් ඒක 2020 දක්වා ආණ්ඩුව පවතින්න බාධා වෙන්නේ නෑ.
නමුත් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා නම් කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියා තීරණය කළයුත්තේ ඡන්දයෙන් පසුව බවයි.
ඔව්. සුසිල්ටවත්, මටවත්, ජනාධිපතිවරයාටවත් පක්ෂය ආණ්ඩුවේ ඉන්නවද යනවද කියන එක තීරණය කරන්න බෑ. එහෙම තීන්දුවක් අපිට තනියම ගන්න බෑ. ඒ පිළිබඳව අපි පක්ෂයත් සමඟ සාකච්ඡා කරන්න ඕනෑ. අනික අපි සන්ධානයක් විදියටනේ කටයුතු කරන්නේ.
සිවිල් සංවිධාන නම් කියන්නේ 2015දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලයට ගෙනාවේ. ව්‍යවස්ථාව වෙනස් කරන්න, ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ස්වාධීන කොමිෂන් ඇතිකරන්න විධායක ජනාධිපති ධුරය අහෝසිකරන්න කියලයි. මේ සිවිල් සංවිධානවලට ඔබ දෙන පිළිතුර කුමක් ද?
නෑ... නෑ... ජනාධිපතිවරයා පැහැදිලිවම මැතිවරණ ප්‍රකාශනයේ කියලා තිබ්බා මැතිවරණ ක්‍රමය සංශෝධනය කරලා ආඥාදායක අත්තනෝමතික බලතල ඉවත් කරනවා කියලා. හැබැයි එතුමා ඒ ගමන්ම කිව්වා ජනමත විචාරණයකට යා යුතු වෙනසකට යන්නේ නෑ කියලා. ඒ අනුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා විශාල බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට කොමිසන් සභාවලට දුන්නා. සමහර බලතල අධිකරණයටත් දුන්නා. හැබැයි ජනාධිපතිවරයා ඊටත් වඩා බලතල මේ ආයතනවලට පවරන්න ගියා. ඒත් උසාවිය කිව්වා ඒ සඳහා ජනමත විචාරණයකට යන්න ඕනෑ කියලා. එහෙම බලතල දෙන්න බෑ කියලා. ජනපතිවරයාට යා හැකි උපරිම දුර ගිහින් ආඥාදායක අත්තනෝමතික ලෙස ජනපතිවරයාට තිබූ බලතල තම කැමැත්තෙන්ම ඉවත්කරගත්තා. එහෙම කරපු ලෝකයේ එකම නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන්න ඇති. ජනපතිවරයා ජනතාවට දුන් පොරොන්දුව සියයට සියයක්ම ඉටුකළා. ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානය බාර ගත්තට පස්සේ ඔහු තවදුරටත් දේශපාලනයේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ පක්ෂය විසිනුයි. ඒක ජනපතිවරයාට තනිවම ගන්න පුළුවන් තීන්දුවක් නෙවෙයි. හැබැයි ජනපතිවරයා ඉදිරි ජනපතිවරණවලට තරග කළත් නැතත් ඉදිරියටත් දේශපාලනය කරනවා කියලා කියනවා. ඒක ඇත්ත. ජනපතිවරයාගේ මුළු ජීවිතයම දේශපාලන ජීවිතයක්. පක්ෂයේ අපේ මතය නම් ජනපතිවරයා ඉදිරි ජනපතිවරණවලටත් තරග කළ යුතු බවයි.
ඔබ ශ්‍රීලනිපයේ චතුර කථිකයෙක්. ඔබේ මතවාද සමාජයේ කතාබහට ලක්වෙනවා. එනමුත් ඒකාබද්ධ විපක්ෂය නිරතුරුවම ඔබව හඳුන්වන්නේ ‘පිං’ ඇමැති කියලයි.
අපේ පක්ෂය තුළ එදා අර්බුදයක් නොතිබුණානම් මම මහනුවරින් පළවෙනියා. ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා මාතරින් පළවෙනියා. මහින්ද සමරසිංහ මහතා කළුතරින් පළවෙනියා. විජිත් විජිතමුණි සොයිසා මොනරාගලින් පළවෙනියා. ඒක තමයි දිගටම තිබුණු දේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු පිරිසක් අපිට එරෙහිව වැඩ කළා. මේ නිසා සමහර ශ්‍රීලනිප සාමාජිකයන් අපි ද්‍රෝහීන් විදියට සැලකුවා. පක්ෂයට විරුද්ධවූ කණ්ඩායමක් ලෙසයි එදා අපි දිහා ඇතැම් පාක්ෂිකයන් බැලුවේ. සමහරු අපි යූ. එන්. පියට ගිය පිරිසක් ලෙස සැලකුවා. ඒක තේරුම් ගන්න එදා අපේ පාක්ෂිකයන්ට ශක්තියක් තිබුණේ නෑ. ඒ නිසයි සමහර පාක්ෂිකයන් අපිට ඡන්දය නොදුන්නේ. හැබැයි මේක ඉතාම තාවකාලිකයි. එදා අපිට විරුද්ධ වූ පාක්ෂිකයෝ අද දුක්වෙනවා. ඒ අය අපිට සමාවෙන්න කියනවා. පක්ෂය රැකගන්න තමයි අපි කටයුතු කළේ කියලා එයාලා දැන් දන්නවා. එදා අපිට විරුද්ධව හිටපු අය තමයි අද පොහොට්ටුවක් බදාගෙන ඉන්නේ කියලා පාක්ෂිකයන්ට අද හොඳින් තේරෙනවා.
මේ පළාත්පාලන මැතිවරණයෙන් ශ්‍රීලනිපයට හිමිවන්නේ කවර තැනක් ද කියා තක්සේරුවක් තිබෙනවා ද?
අපි බහුතරය ජයග්‍රහණය කරයි. ඒ විතරක් නෙවෙයි වැඩිම ඡන්ද ප්‍රතිශතයක් අපි ලබාගනීවි. තුන්කොන් සටනක් තියෙයි. හැබැයි මැතිවරණ සටනේදී දිනෙන් දින අපි සමඟ එකතුවන පිරිස වැඩියි. අපිට එජාපයෙන් එකතුවෙනවා. අපෙන් ඉවත්වෙලා පොහොට්ටුවට ගිය අයත් දැන් අපිට එකතුවෙනවා. ඒ නිසා අපි ශීඝ්‍රයෙන් වැඩෙන පක්ෂයක්. ඒ නිසා මැතිවරණයෙන් පසුව අපි ඉතාම ශක්තිමත් තැනක ඉඳියි.
ගාමිණී බණ්ඩාරනායක