Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අපේ නිපැයුම් 200කට අත දෙන IDF

$
0
0
ඔක්‌ 14, 2020 01:00

කොවිඩ් 19 ගෝලීය වසංගතයෙහි අනිටු ඵලවිපාක මේ වන විට අප රටට පමණක් නොව මුළු ලෝකයටම අඳුර කැඳවාගෙන එන තරමට ක්‍රියාකාරී වී ඇත. අප අඳුරු වලා තුළින් රිදී රේඛාවක් සොයා ගැනීමේ ප්‍රයත්නයක් දැරිය යුතුය. එලෙස අඳුරු වලා බිඳ රිදී රේඛාවක් පායන වැඩපිළිවෙළක් මේ වන විට ඇරඹෙමින් තිබේ.

මේ වසරේ මාර්තු මාසයේ ඇරඹි කොවිඩ් වසංගත තත්ත්වය නිසා අපේ රටේ කර්මාන්ත හා සේවා අංශ බිඳ වැටිණි. රටම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබූ නිසා මුළුමනින්ම සමාජ ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වි ය. ඒ අවස්ථාවේ රට ගැන සිතන තරුණ ව්‍යවසායක ප්‍රජාව ලෙස රජයෙන් කිසිදු සහනයක් බලාපොරොත්තු නොවී කොවිඩ් පරදා නැඟී සිටීමට ඔවුහු යම් කතිකාවතක් ආරම්භ කළහ.

එක් පුද්ගලයෙකුගේ සිතුවිල්ලක් තුළින් ඇරඹි මේ ව්‍යාපෘතිය අද වන විට මුළු රටේම සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ ව්‍යවසායකයන් 900ක් දෙනා අතර කතිකාවක් බවට පත්ව ඇති ගාමක බලවේගයකි. කර්මාන්ත සංවර්ධන සංසදය (IDF- Industrial Development Forum) බිහිවන්නේ ඒ සුවදායී ඒකරාශි වීම හරහා ය.

ව්‍යාපාරික ලෝකය ජයගත් භාණ්ඩ හා සේවා අපේ නිපැයුම් ලෙස (Made in Sri-Lanka) නාමයෙන් අන්තර් ජාතික වෙළෙඳ පොළට ගෙනයෑමට මෙරට ව්‍යවසායක ප්‍රජාව උපායමාර්ගික සැලසුම්වලින් සන්නද්ධ කිරීම මේ සංසදයේ අරමුණ විය.

එහිදී ඊට සහභාගි වූ ව්‍යවසායකයන්ගේ අනාගත දියුණුවට ඇතිවන බාධා හා අභි‍යෝග අනිවාර්යයෙන්ම දුරුකිරීමේ මාර්ගය කියා දිය යුතුව තිබිණි. ඒ සඳහා සංසදයේ නායකයන් විසින් තෝරාගනු ලැබුවේ ව්‍යාපාර ප්‍රවර්ධනය පිළිබඳව උපායමාර්ගික දැනුම ලබාදෙන ලෝක පූජිත විශේෂඥයකු වන ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතා යි.

කර්මාන්ත සංවර්ධන සංසදය (IDF- Industrial Development Forum) පළමුව මීට මාස 2 කට පමණ පෙර කොළඹ හිල්ටන් හෝටලයේදී කර්මාන්ත රැසක ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වැඩමුළුවක් පවත්වන ලදී. එහිදී ආචාර්ය උදය ඉන්ද්‍රරත්න මහතා දැක්වූ අදහස් පිළිබඳව අප මඳක් අවධානය යොමු කළ යුතු ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ වන විට රට වෙනස් කිරීමට, ආර්ථික සමෘද්ධිය ළඟා කරගැනීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් එහිදී ව්‍යාපාර ලෝකයේ යම් සාර්ථකත්වයක් හිමිකරගෙන සිටින සැමට විශාල වගකීමක් පැවරෙන බවත් ඒ මහතා අවධාරණය කළේය. ව්‍යාපාරයකදී පළමුව තමන් බය නැති කර ගත යුතු බව කී ඒ මහතා, එල්ල වන අභියෝග ජයගැනීමට ශක්තිමත්ව උපායමාර්ගිකව සැලසුම් සකස් කර ගත යුතු බව ප්‍රකාශ කළේ ය. විද්‍යාත්මකව සකස් කර ගත් ව්‍යාපාර දියුණු කිරීමේ සැලසුම් කුමන බාධා පැමිණියත් අතරමඟ නතර නොකළ යුතුයි. ඒ සඳහා ධෛර්යසම්පන්නව දැනුම සහ අවබෝධය ලබාගෙන පෙරට යෑමට සිතාගත යුතු බවත් ඔහු දිගින් දිගටම කියා සිටියේ ය. ව්‍යවසායකත්වය ගොඩනැගෙන මානසිකත්වයක් ගොඩනඟා ගනිමින් සෙසු තරගකරුවන් අභිභවා පෙරට යෑමට න්‍යායාත්මක කරුණුවලට අමතරව ප්‍රා‍යෝගිකත්වය මුල්කොටගත් ක්‍රමවේදයන් අත්හදා බැලිය යුතුය. තමන්ට ව්‍යාපාර දියුණු කර ගැනීමට දැක්මක් සහ ඉලක්කයක් තිබිය යුතුයි. ඒ සඳහා කාල වකවානුවක් පවත්වාගෙන යා යුතුය. එමෙන්ම තමන්ගේ හැකියාවන් සහ කුසලතා උපරිමයෙන් භාවිතයට ගත යුතුය. හැකි තරම් තම කුසලතා වැඩි දියුණු කරගත යුතුය. යාවත්කාලීන විය යුතු යැයි ඔහු සඳහන් කළේය.

එම වැඩමුළුවේදී අදහස් දැක්වූ කර්මාන්ත සංවර්ධන සංසදයේ සභාපති සම්පත් මායාකඩුව මහතාගේ අදහස් ද ඉතා වැදගත්ය.

අද වන විට අපේ රටේ ව්‍යාපාර යම් බිඳවැටීමකට ලක්වී තිබෙන බව කී ඒ මහතා මේ තත්ත්වය සැමදාමත් තිබිය යුතු නැතැයි කීවේ ය. 'කර්මාන්තකරුවන් ලෙස රටේ ව්‍යාපාර ඉලක්ක ගත අයුරින් නඟාසිටුවීමට පෙරට ඒමට අපට වගකීමක් පැවරෙනවා. එම වගකීම ඉටුකිරීමේදී ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීම, විශේෂඥ පිරිසගේ උපදෙස් ලබාගැනීම, ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම කළ යුතුයි. ඒ අරමුණින් අප වැඩසටහන කළ බව සඳහන් කළ හැකිය.

මෙලෙස ඇරඹි කර්මාන්ත නවෝදයක් උදාකිරීමේ වැඩපිළිවෙළේ කූටප්‍රාප්තිය ලබන මස සිදුවීමට නියමිතය.

ඒ යටතේ පාරිභෝගික ජනතාවට අඩු මිල ගණන් යටතේ ඉහළ ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලාංකික නිෂ්පාදන 200ක් (Made In Sri Lanka) එකවර වෙළෙඳපොළට හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කර්මාන්ත සංවර්ධන සංසදය (IDF) බලාපොරොත්තු වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිෂ්පාදන 200 ජාතියට ඉදිරිපත් කිරීමේ අවස්ථාව සිදු කිරීමට බලාපොරොත්තු වේ.

රජයට බරක් නොවී නව නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයන් 200 දෙනකු බලගන්වන මෙම වැඩපිළි‍වෙළ හරහා ස්වදේශිකත්වය මුල්කරගත් භාණ්ඩ ලබාගැනීමට පාරිභෝගික ජනතාව පො‍ලඹවාලීමක් සිදුකෙරෙන ඇත.

නව ශ්‍රී ලාංකික නිෂ්පාදන ජාලයක් එකවර ජාතියට හඳුන්වාදීම සඳහා කටයුතු කරන කර්මාන්ත සංවර්ධන සංසදය එතුළින් රටේ ජාතික ආර්ථිකය බලගැන්වීම අපේක්ෂා කරයි. දුප්පත්කම, විරැකියාව දුරුකර සෑම ජනකොටසකගේම ජීවනෝපාය ඉහළ නැංවීම නව වැඩපිළිවෙළේ තවත් බලාපොරොත්තුවකි. නව නිෂ්පාදන ජාතියට හඳුන්වාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව මඟින් බලාපොරොත්තු වන ර‍ටේ ආර්ථික දියුණුවේ වේගය වැඩි කරන්නක් වනු ඇතැයි ද සඳහන් කළ හැකිය.

ජයසිරි මුණසිංහ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>