ශ්වසන පද්ධතිය ආශ්‍රිතව කොරෝනා රෝගය හටගනියි. වෙනත් කෙනකුගේ ප්‍රශ්වාස වාතය මඟින් තවත් කෙනකුට බෝ වන රෝගයක් ලෙස කොවිඩ් 19 වයිරසය හැඳින්විය හැකිය. වයිරසයක් ශරීරගත වූ සැණින් රෝග ලක්ෂණ නොපෙන්වයි. පුද්ගලයකු සතුව ස්වයං ප්‍රතිශක්තිකරණයක් පවතින්නේ නම් එක්වරම රෝග ලක්ෂණ පෙන්වීමක් සිදු නොකරයි. කෙනකුගේ පවතින ප්‍රතිශක්තිකරණය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් මේ ඖෂධමය පානය හඳුන්වාදීම සිදු කරයි.
‘කොවිඩ් - 19 රෝගය ලෝකයම වෙළා ගනිද්දී හෙළයන් බිය නොවී ඉදිරියටම යවු‘ වදන් පෙළ මේ කාලයේදී කන වැකෙන්නේ නම් අපි කොයි කවුරුත් කැමතිය. කොරෝනා රෝගය නිසා මෙරට තැන් තැන්වල සංචරණ සීමාවන් පනවා තිබෙන මේ මොහොතේ කොරෝනා වළක්වා ගැනීමේ සෞඛ්‍ය නීතීන්ට අනුගතව ගමන් කිරීමේ හැකියාව පවතිනුයේ කොටසකට පමණි. ඒ කොටස නිදහසේ ගමන් කළ ද, ගමන් කරනුයේ දෙගිඩියාවෙනි. කොයි වේලාවේ වයිරසය මාව ගොදුරකට ගනී ද යන අනියත බියක් සැම සිත් සතන් තුළ කොණක හෝ පවතියි. ‘සුව ධරණි‘ ප්‍රතිශක්තිජනක ඖෂධීය පානය මේ බියට විසඳුමක් වී ඇත. පාරම්පරික වෛද්‍යවරුන්ගේ හපන්කමක් ලෙස එළිදැක්වෙන මෙම ඖෂධය කොවිඩ් - 19 වයිරසයට එරෙහිව ක්‍රියා කරන ඖෂධීය පානයකි.
තාක්ෂණයෙන් දියුණු ලෝකයේම ආධිපත්‍යය පතුරුවා සිටින රටවලට කොරෝනා වයිරසයට එරෙහිව තවමත් ඖෂධයක් සොයා ගැනීමට නොහැකි විය. මේ පුංචි රටේ පුංචි යැයි හිතන, නමුත් කියා නිම කළ නොහැකි ආධිපත්‍යයක් අතීතයේ පතුරුවා සිටි පාරම්පරික වෙදැදුරන් විසින් කොරෝනාවලට එරෙහිව නවතම නිෂ්පාදනයක් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය මාර්තු 11 වැනිදා මෙරටින් පළමු කොවිඩ් රෝගියා හමු වූ දා සිට හෙළ වෙදකම යටතේ ඖෂධ සොයන්නට ආරම්භ කෙරිණ. කොවිඩ් රෝග ලක්ෂණ අනුව එම රෝගය කිනම් රෝග කාණ්ඩයකට අයත් වන්නේ ද යන්න පළමුව සොයා ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඖෂධීය පානය ජනතාව අතරට පැමිණෙයි.
වකුගඩු රෝගයක් හට ගත් විට වකුගඩු ඉවත් කරන ප්‍රතිකර්මකයට යන්නේ නම් එවැනි ප්‍රතිකාරයක් කුමකට ද? එසේම පාදයේ ඇඟිල්ලක තුවාලයක් ඇති වූ විට ප්‍රතිකර්ම කිරීමේදී පාදය ඉවත් කරන්නේ නම් එවැනි ප්‍රතිකර්මයක් කුමට ද? ශරීරයේ අවයව කොටස් අඩු කර නොගෙන නිට්ටාවටම රෝගයන් සුවපත් කරන ක්‍රමවේදයන් අපේ හෙළ වෙදකම තුළ පැවැතිණ. මේ ගැටලු හමුවේ අපට ඇති හොඳම විසඳුම වනුයේ හෙළ වෙදකමයි. ඒ අනුව පාරම්පරික වෛද්‍ය වට්ටෝරුවකට අනුව මෙම ඔසු පානය නිෂ්පාදනය කර තිබේ.
කොරෝනා රෝගීන් පොකුරු ගණන් වාර්තා වීමත් සමඟ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් නිෂ්පාදනය කළ මෙම ප්‍රතිශක්ති වර්ධක ඖෂධීය පානය ත්‍රිවිධ හමුදාවට මෙන්ම රෝගී ජනතාවට ලබාදීමට පියවර ගෙන තිබේ. රෝගීන් බවට පත් වූ සහ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්ට මෙම පානය ලබාදීම සිදු කෙරිණ. නිල වශයෙන් ප්‍රකාශ නොවුණ ද, මෙම පානය ලබාදීමත් සමඟ සියලු දෙනාගේ ප්‍රතිශක්තිය ඉහළ ගොස් රෝගීන් සුවපත්භාවයට පත් වීම අත්දැකීමෙන්ම පසක් කර ගන්නට හැකි විය. ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, සෞඛ්‍ය ඇමැතිවරියගේ, වෛද්‍යවරුන්ගේ ඇතුළු සියලු බලධාරීන්ගේ සහාය ඇතිව මෙම ඖෂධය රෝගී ජනතාවට ලබා දීම දැනටත් සිදු කරයි. ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන සියලු කොරෝනා රෝගීන්ට ද මෙම පානය ලබාදීමෙන් සුවපත්භාවයක් ඇති වී තිබේ.
මහජනතාවගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා මේ පානය නිෂ්පාදනය කර තිබේ. මහජනතාව සමාජය තුළ ගැවසෙන විට බෝ වන රෝග ව්‍යාප්තිය සිදු වේ. කෙනකුගෙන් කෙනකුට රෝගයක් ඉක්මනින්ම ආසාදනය වීම බෝ වන රෝග මඟින් සිදු වේ. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව කොරෝනා රෝගය හටගනියි. වෙනත් කෙනකුගේ ප්‍රාශ්වාස වාතය මඟින් තවත් කෙනකුට බෝ වන රෝගයක් ලෙස කොවිඩ් - 19 වයිරසය හැඳින්විය හැකි ය. වයිරසයක් ශරීරගත වූ සැණින් රෝග ලක්ෂණ නොපෙන්වයි. පුද්ගලයකු සතුව ස්වයං ප්‍රතිශක්තිකරණයක් පවතින්නේ නම් එක්වරම රෝග ලක්ෂණ පෙන්වීමක් සිදු නොකරයි. කෙනකුගේ පවතින ප්‍රතිශක්තිකරණය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් මේ ඖෂධමය පානය හඳුන්වාදීම සිදු කරයි.
අනාදිමත් කාලයක සිට මෙරට පාරම්පරික දේශීය වෛද්‍යවරුන් භාවිතා කළ ඖෂධ වට්ටෝරුවක් භාවිත කරමින් මෙම ප්‍රතිශක්තිජනක පානය නිෂ්පාදනය කර තිබේ. කොත්තමල්ලි, වෙනිවැල්ගැට, හීං අරත්ත, වියළි ඉඟුරු ඖෂධ වර්ග හතර භාවිතා කර මෙම නිෂ්පාදනය ඉදිරිපත් කර තිබේ. මෙම ඖෂධ ද්‍රව්‍ය හොඳින් සෝදා වියළා කොත්තමල්ලි කබලේ බැදගෙන චූර්ණ කළ යුතුය. චූර්ණ කරනවා යනු කුඩු බවට පත් කිරීමය. එම චූර්ණය වරකට තේ හැඳි බාගයක් බැගින් නටන උණු වතුර කෝප්පයකට දමා තැම්බුණු පසු පෙරා සීනි හෝ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානයට ගැනීම සුදුසු වේ. දවසට දෙවරක් මෙම පානය ගත යුතුය. මෙම පානය ඉදිරියේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට ද නියමිතය.
ආයුර්වේද මූලධර්මවලට අනුව සූක්ෂ්ම කෘමි රෝග යටතේ ගැනෙන වයිරස් රෝගවලට ප්‍රතිශක්තිය ගෙන දෙන ලෙස මෙම පානය නිෂ්පාදනය කර ඇත. විවිධ රෝගවලට මෙරටදී බහුලව භාවිතා වන අත්බෙහෙත් ලෙස මෙම ඖෂධ බහුලව යොදා ගැනීමක් සිදු කරයි. ආපදා කාලය තුළදී පහසුවෙන් සපයා ගත හැකි ඖෂධයන් මෙම පානයට භාවිතා කිරීම ද විශේෂත්වයකි. සමස්ත ලංකාවටම සංචරණ සීමාවන් පනවා තිබූ කාලයේ අත්‍යවශ්‍ය කාර්යක් සේ සලකා මෙම නිෂ්පාදනය මූලිකව සිදු කර තිබේ. මේ වන විට සමස්ත රට පුරා ඖෂධ පැකැට් 10,000 ක් පමණ නොමිලේ බෙදා හැර තිබේ. මෙම පානයෙන් කිසිදු කෙනකුට අසාත්මිකතාවක් ඇති නොවේ. කලක් තිස්සේ පැවැති සෙම්, පීනස් රෝග පවා සුවපත් වීමට මෙම ඖෂධීය පානය ඉවහල් වී ඇත.
Coriandrum sativum නම් විද්‍යාත්මක නාමයෙන් කොත්තමල්ලි හැඳින්වීම සිදු කරයි. මධුර, කටු, තික්ත කෂාය රසයෙන් යුක්ත මෙම ඖෂධය ලඝු, ස්නිග්ධ ගුණයෙන් යුක්ත වේ. උෂ්ණ වීර්යයයෙන් යුක්ත අතර මධුර විපාකයෙන් යුක්ත ය. පිත, කඵ, වාත ත්‍රිදෝෂයම බලපවත්වයි. ස්නිග්ධ ගුණ හේතුවෙන් වාතය ද, කෂාය, තික්ත, මධුර හේතුවෙන් පිත ද, තික්ත, කටු උෂ්ණ හේතුවෙන් කඵ (සෙම) ද සංසිඳුවන හෙයින් ත්‍රිදෝෂයන්ට ගුණ දෙන ඖෂධයක් ලෙස කොත්තමල්ලි හැඳින්විය හැකි ය. Coscinium fenestratum නම් විද්‍යාත්මක නාමයෙන් වෙනිවැල්ගැට හඳුන්වාදී තිබේ. තික්ත, කෂාය රසයෙන් යුක්ත, ලඝු, රූක්ෂ ගුණයෙන් යුක්ත වෙනිවැල්ගැට උෂ්ණ වීර්යෙන් යුතු කටු විපාකයෙන් යුතු ඖෂධයකි. ප්‍රභාව වශයෙන් පිත හා කඵ සමනය කරන ඖෂධයකි. ඉහළ ප්‍රති ඔක්සිකාරක, දියවැඩියා නැති කරන, පිළිකා නාශක ඖෂධයකි. බර්බරීන් නම් වූ ප්‍රධාන ජෛව සක්‍රීය සංයෝගවලින් මෙම ඖෂධය යුක්ත වේ. පිළිකා නාශක, ප්‍රතිඔක්සිකාරක, හයිපොග්ලයිසමික් සහ ප්‍රතිබැක්ටීරියා කාරක ලෙස බහුලව භාවිත කරයි. සම්ප්‍රදායික ‘පස් පංගුව‘ සඳහා මෙම ශාකයේ වියළි කඳ ප්‍රධාන අමුද්‍රව්‍ය පහෙන් එකක් ලෙස භාවිතා කරයි. Zingiber officinale නම් වූ විද්‍යාත්මක නාමයෙන් වියළි ඉඟුරු හඳුන්වා දීම සිදු කරයි. කටුක රසයක් ඇති, ගුරු, රූක්ෂ, තීක්ෂණ ගුණයක් ඇති, උෂ්ණ වීර්යය ඇති, මධුර විපාක ඇති ඖෂධයක් ලෙස මෙම ඖෂධය හඳුන්වයි. කඵ වාත සුවපත් කරයි. රුචිකාරක, පාචන, බලකාරක, ස්වර වර්ධක, ආමවාත, වමන, ශ්වාස ශූල, කාස, හෘදය රෝග, ශ්ලීපද, ශෝථ, අර්ශස්, ආනාහ, උදර රෝග, වාත රෝග සඳහා යෝග්‍ය ඖෂධයක් ලෙස ඉඟුරු හැඳින්විය හැකි ය. අග්නි ගුණ බහුල වේ. උණ රෝගවලදී විවිධ ඖෂධ සමඟ මෙම ඖෂධය ද ලබාදීම සිදු කරයි. Alpinia calcarata නම් විද්‍යාත්මක නාමයෙන් හීං අරත්ත අල හඳුන්වයි. කටුක රසයක් ඇති, ගුරු රූක්ෂ තීක්ෂණ ගුණයක් ඇති, උෂ්ණ වීර්යෙන් යුක්ත, මධුර විපාකයෙන් යුක්ත ඖෂධයක් ලෙස හීං අරත්ත අල හැඳින්විය හැකිය. කඵ වාත සුවපත් වීමක් සිදු වේ. අරත්ත විෂ නසනා ඔසුවක් මෙන්ම වාතය නසන්නකි. පක්ෂගාත රෝගයට, රක්තවාතයට, බඩවැල් හා ආමාශය තුළ ආහාර නොදිරවීම නිසා හට ගන්නා ආමවාතයට ප්‍රබල ඔසුවකි. කුසගිනි වැඩීම, කට හඬ යහපත් කිරීම මෙමඟින් සිදු කරයි. අරත්ත අල යොදා සාදා ගත් කෂාය උණ, වාත රෝග, පීනස් රෝග හා උදර රෝග සුවපත් කරයි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව කොරෝනා නමින් රෝගයක් නොමැත. මෙම රෝගයේ පවතින රෝග ලක්ෂණ අනුව ආයුර්වේදයේ කිනම් රෝගයකට අයත් වන්නේද කියා විමර්ශනයක් කර තිබේ. එම විමර්ශනයට අනුව කොරෝනා රෝගය ජ්වර නම් කාණ්ඩයට අයත් වේ. ජ්වර යනු උණ රෝගයන් ය. මෙම රෝග ලක්ෂණවලට ආයුර්වේදයේ භාවිත කරන ඖෂධ මොනවාද යන්න සොයා බැලීමක් සිදු කර තිබේ. කොරෝනා රෝගයේ පවතින ලක්ෂණ අනුව භාවිතා කළ යුතු ඖෂධ වර්ග මොනවාද යන්න නිගමනය කර තිබේ. රෝගය වළක්වා ගැනීම, රෝගයේ මුල් අවස්ථාවේදී ලබාදෙන ප්‍රතිකාර, රෝගය උග්‍ර අවස්ථාවේදි ලබාදෙන ඖෂධ ලෙස ඖෂධ එකතුවක් සකස් කර තිබේ. ආරම්භක අවස්ථාවේදී රෝගය වළක්වා ගැනීමට ප්‍රතිශක්තිය වර්ධනය කර ගත යුත්තේ කෙසේද යන්න ගැන අවධානය යොමු කර තිබේ. රෝගය වළක්වා ගැනීමේදී රෝගීන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ ප්‍රතිශක්තිය වර්ධනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇත. ඊට අනුව ඖෂධ සකස් කිරීමට පියවර ගෙන තිබේ. ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් 1000ක් පමණ මෙරට සේවය කරයි. ඔවුන් මඟින් මෙම ඖෂධ ජනගත කිරීම සිදු කර තිබේ. ප්‍රතිශක්තිය ගැන කතා කරන විට ආයුර්වේදය තුළ මෙම වචනය සාකච්ඡාවට බඳුන් කිරීම ජනතාවට ගැටලුවක් විය හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවේ ද ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරයි. එහෙත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තරම් ප්‍රතිශක්තිය ගැන කතා කරන වෙනත් විද්‍යාවක් නොමැති තරම්ය. ආයුර්වේදයේදී ප්‍රතිශක්තිය හඳුන්වනුයේ ව්‍යාධි ක්ෂමත්වය නමිනි. රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ව්‍යාධි ක්ෂමත්වය යන්නෙහි අර්ථය වේ. ශක්තිය වර්ධනය කර ගැනීමේ ක්‍රම තුනක් ආයුර්වේදයේ සඳහන් කරයි. සහජයෙන් ලැබෙන ප්‍රතිශක්තිය, කාලය හා පුද්ගලයාගේ වයස අනුව ප්‍රතිශක්තිය වර්ධනය යන ප්‍රතිශක්ති වර්ග දෙක වෙනස් කළ නොහැක. තෙවැනි ක්‍රමය යුක්ති යුක්ත බලය නම් වේ. මේ තෙවැනි ක්‍රමයට අනුව සිරුර තුළින් නිර්මාණව ප්‍රතිශක්තියට අමතරව බාහිරින් ප්‍රතිශක්තියක් ලබාදීමට හැකි ය. තෙවැනි ක්‍රමයට අනුව පුද්ගලයන්ට ප්‍රතිශක්තිය ලබාදීම සඳහා මෙම ඖෂධය නිෂ්පාදනය කර තිබේ.
තොරතුරු සම්පාදනය - ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්‍ය අජිත් කුමාර මහතා