නිපුනිකා ප්‍රනාන්දු
මට ඕනෑ වුණේ ප්‍රකාශකයෙක් දෙන ඕනම පොතක් පරිවර්තනය නොකර, මම කැමැති පොතක් පරිවර්තනය කරන්නයි. කලිනුත් කිව්වා වගේ, පරිවර්තනය කරද්දි බොහෝ සෙයින් මහන්සි වෙන්න ඕනැ. තමන් කැමැති දෙයක් වෙනුවෙන් වෙහෙසීම ලේසියි. 'ෆලෝ යුවර් හාට්'තෝර ගත්තේ ඒ පොතේ මිණිබිරියක් සහ මිත්තනියක් අතර ඇති සම්බන්ධය ගැන කතා කිරීම නිසයි.
නිපුනිකා ප්‍රනාන්දු පරිවර්තිකාවකි; කිවිඳියකි; කෙටි චිත්‍රපට නිර්මාණකාරියකි. පසුගියදා ඇයගේ නවතම පරිවර්තන කෘති ද්විත්වයක් නිකුත් විය. ඒ, ඉතාලි ලේඛක සුසන්නා තමාරෝගේ 'ෆලෝ යුවර් හාර්ට්''හදවතට ඉඩ දෙන්න'නමින් සහ 'ටයිගර් ඇන්ඩ් ද ඇක්‍රොබැට්''කොටියා සහ පිනුම්'ගසන්නා නමින්ය. මේ හෘදය සංවාදය, එකී පරිවර්තන කෘති, පරිවර්තන සාහිත්‍යය සහ ඇයගේ ලිවීමේ ලාලාසාව පිළිබඳයි.
ඔබට පරිවර්තන විෂයයෙහි ලාලසාවක් ඇති වුණේ කොතැනින් ද? ඒ ගිනි පුපුර ඇවිළුණ මුල්ම මතකය අවදි කළ හැකි ද?
මුලින්ම ඒක ඇති වුණේ ආසාවක් විදියට නම් නෙවෙයි. මුලින්ම පරිවර්තනය කරන්න සිදු වුණේ රැකියාවේ අවශ්‍යතාව නිසා. මට හිතුණේම පරිවර්තනය කියන්නේ මට ගැළපෙන්නෙම නැති දෙයක් කියලයි. මම කාලයක් රැකියාව කළ ස්ථානයේ සේවය කරපු විදේශික මිතුරෙක් මට මෙහෙම කිව්වා. "You do not know untill you try". ඇත්ත තමයි, අප බෑ කියලා අත් හරින දේ ඇතුළේ, බොහෝ වෙලාවට තියෙන්නේ, අපේ ධාරිතාව වැඩි කරන දේ. අප උත්සාහ කරලා බලනකම්, අපට පුළුවන් ද? බැරි ද? කියලා අප දන්නෙ නෑ. අපේ තිබෙන කම්මැළිකම නිසා තමයි අපට බැරි ඇති කියලා හිතන්නෙ. මම බෑ කිව්වට, මට පරිවර්තනය කරන්න බැහැ කියලා කවුරුත් විශ්වාස කළේ නැහැ.
ඊට පස්සේ බෑ කියන්න බැරි සමහර වැඩ ලැබුණා. ඒවා සේරම පරිවර්තන වැඩ. ඒවා කරන්නම වෙන තත්ත්වයට පත් වුණාම, ඒ වැඩ කරන්න ගත්තා. ඒවා කරගෙන යද්දි තමයි තේරුණේ, පරිවර්තනය කිරීමෙහි තිබෙන අපූර්වත්වය. පරිවර්තනය කරන්න, දැඩි ශ්‍රමයක් වැය කරන්න වෙනවා. එහෙම මහන්සි වෙලා හොඳ පරිවර්තනයක් කළාම, ඒක කොච්චර තෘප්තිමත් ද? කියලා පරිවර්තකයෝ දන්නවා. අනෙක් වැදගත්ම කාරණය, පරිවර්තනය කියන්නේ එක්තරා විදියකට තමන් වේගවත් කිරීමක්. ඒවගේම, පරිවර්තනය කියන්නේ මැදිහත් වීමක්. මුලින්ම වාර්ෂික වාර්තා, බැංකු ප්‍රකාශන, වෙළෙඳ දැන්වීම් වගේ දේ පරිවර්තනය කරමින් සිටිද්දි, ශ්‍රී ලංකාවෙ ප්‍රසිද්ධ ආයතනයක බ්‍රෑන්ඩ් ස්ටෝරි එකක් පරිවර්තනය කරන්න මට ලැබුණා. ඒක ලියලා තිබුණේ, නවකතාවක් වගේ. ඒකට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. පොත් කියවන්න සහ පාසල් කාලයේ ඉඳලා ලියන්න තිබුණු උනන්දුව නිසා, විශ්ව සාහිත්‍යයෙන් මා තෝර ගත්ත පොත්, පරිවර්තනය කරන්න පුළුවන් කියලා හිතුණා. පරිවර්තනය කිරීම කියන තැනට එන්න මට පාර හදලා දුන්නේ ජීවිතය විසින්මයි.
'ෆලෝ යුවර් හාට්'පරිවර්තනය කරන්න තරම් විශේෂ වුණ හේතුව මොකක් ද?
මට ඕනෑ වුණේ ප්‍රකාශකයෙක් දෙන ඕනම පොතක් පරිවර්තනය නොකර, මම කැමැති පොතක් පරිවර්තනය කරන්නයි. කලිනුත් කිව්වා වගේ, පරිවර්තනය කරද්දි බොහෝ සෙයින් මහන්සි වෙන්න ඕනැ. තමන් කැමැති දෙයක් වෙනුවෙන් වෙහෙසීම ලේසියි. 'ෆලෝ යුවර් හාට්'තෝර ගත්තේ ඒ පොතේ මිණිබිරියක් සහ මිත්තනියක් අතර ඇති සම්බන්ධය ගැන කතා කිරීම නිසයි. මගේ ආච්චි එක්ක මට තිබුණ බැඳීම, ජීවිතයට බලපාපු ලොකු සම්බන්ධකමක්. මට ඒක ගැන ලෝකයට කියන්න ඕන වුණා. මට කියන්න ඕනෑ වුණ කතාව, ඒ විදිහටම නැතත්, තරමක් දුරට හරි'ෆලෝ යුවර් හාට්'කෘතියේ තිබුණා. එහෙත් ඒක මගේ සහ මගේ මිත්තණියගේ කතාව නෙවෙයි. ඒ කතාවේ දෙන්නයි, අප දෙදෙනයි තැන් කිහිපයකදි සමපාත වුණ නිසා, මම ඒ කෘතිය තෝර ගත්තා. අනෙක් අතට, අම්මා කෙනෙක් සහ ළමයෙක් අතර සම්බන්ධය කොච්චර සංකීර්ණ වෙන්න පුළුවන් ද? කියන කාරණය, ඒ කෘතිය තුළ සරලව පෙන්නලා දෙනවා.
යම් කෘතියක් පරිවර්තනය කරනකොට, භාෂාව එක්ක කරන ගනුදෙනුවෙදි ඔබ ඉන්නෙ කාගෙ පැත්තෙ ද?
මම හැම වෙලාවෙම මා එක පැත්තකත්, මුල් කතුවරයා සහ පාඨකයා අනෙක් පැත්තේත් තියනවා. මම හැම වෙලාවෙම ගන්නේ මගේ පැත්ත නොවන පැත්ත. ඒ කියන්නේ කර්තෘ සහ පාඨකයා ඉන්න පැත්ත. මම කට්ට කාලා හරි කතුවරයාට, පාඨකයාට කියන්න අවශ්‍ය දේ නිවැරැදිව වගේම, තේරුම් ගන්න පුළුවන් විදියට කියන්න බැඳිලා ඉන්නවා. මේ දෙන්නවම බේරගෙන යෑමේදීයි මම අර කලින් කිව්වා වගේ පරිවර්තනය කියන කාර්යය ඉතාමත් මහන්සි විය යුතු ව්‍යායාමයක් වෙන්නේ.
අවසානයට කියවපු විදෙස් කෘතිය මොකක් ද? ඔබ ඒ කෘතිය එක්ක ගිය ගමන කොයි වගේ ද?
මම ඒ කෘතිය පරිවර්තනය කිරීම පටන් අරගෙන තිබෙන නිසා, මේ වෙලාවේ ඒ කෘතියේ නම කියන්න බැහැ. ඒ කෘතියට ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශන අයිතිය ලබා ගැනීමේ ගිවිසුමක් සඳහා, මේ දිනවල අප කටයුතු කරන නිසා, ඒ කාර්යය සම්පූර්ණ වන තෙක් කෘතියේ නම කියන්න මම ඉක්මන් වෙන්නේ නැහැ. ඒ කෘතිය, මගේ මීළඟ පරිවර්තන කෘතිය විදිහට පාඨකයන්ට පිරිනමන්නේ. එහි කතා වෙන්නේ ගැහැනු ළමයකු සතු ධාරිතාව කොපමණ ද? කියන එක ගැන වගේම, සීමා මායිම් කඩාගෙන ඉදිරියටම යන්න තරම් ස්ත්‍රී චරිතයකට තිබෙන හැකියාව ගැනයි. මම කලින් කිව්වා වගේ, මම පරිවර්තනයට තෝර ගන්නේ, මට මේ සමාජයට කියන්න අවශ්‍ය දේ අන්තර්ගත කෘතියි. ගැහැනු විසින්ම ගැහැනුන්ට සීමා දා ගන්න, අවතක්සේරු කරන, ළමයෙක් ලැබෙනවා නම් ඒ දුවෙක් නෙවෙයි, පුතෙක්ම වෙන්න ඕනෑ කියලා විශ්වාස කරන සාමාජයකට, නෑ එහෙම නෙවෙයි, මෙහෙමයි කියලා හිතන්න උත්තේජනය කරන කෘතියක්.
අපට සමාජයට කියන්න ඕන දේ, අප වෙනුවෙන් ලෝකේ වෙනත් තැනක ඉන්න කෙනෙක් දැනටමත් කියලා ඉවරයි. ඒක සහනයක්. ඒ කෘතිය කියවලා ඉවර වුණාට පස්සේ මට හිතුණේ, ඒ කතුවරයා අනෙක් අය වෙනුවෙන් කළ මැදිහත්වීම, මා විසින් තව තවත් සමාජගත කීරීමට දායක විය යුතුයි කියලයි.
අපේ රටේ පරිවර්තන සාහිත්‍ය ගැන ඔබේ තක්සේරුව මොකක් ද?
මේ වගේ කාලෙක තවමත් ගුණත්මක යුතුව පරිවර්තන කාර්යයේ නිරත වන පිරිසක් සිටීම සතුටුදායකයි. ඒ වගේම, ලොකේ කොහෙ හරි තිබෙන මොකක් හරි ආයේ ලියලා, ඒවා පරිවර්තන කියලා කියන අය තමයි වැඩි. ඇතැම් ප්‍රකාශන ආයතන එක දිගට එවැනි
ගුණාත්මකත්වයෙන් තොර කෘති පළ කිරීම මම දකින්නේ, ලංකාවෙ පරිවර්තන සාහිත්‍යයට කරන හානියක් විදියටයි. මොකක් හරි ලියලා ලේඛකයකු වීම සහ මොනවා හරි මුද්‍රණය කරලා ප්‍රකාශකයකු වීම නෙවෙයි විය යුත්තේ. ශ්‍රී ලංකාවේ අනෙක් සෑම කාර්මාන්තයකම වගේ, පරිවර්තන සාහිත්‍යය තුළත්, ගුණාත්මක බවින් තොර දේ කරන අය බහුලයි. ඒක දීර්ඝකාලීනව ක්ෂේත්‍රයට කරන බලපෑමක්.
මුල් කෘතිය සමඟ සසඳන විට,
පරිවර්තනය ගැන ඔබ අවංකවම
තෘප්තිමත් ද?
මම හිතන විදියට පරිවර්තනය කියන්නේ බර වචන ලියන එකට නෙවෙයි. මේ කෘතිය එදිනෙදා ජීවිතය සමඟ බැදුණු, සරලබවින් ගැඹුර ස්පර්ශ කරන කෘතියක්. මුල් කෘතිය කියවද්දී සහ පරිවර්තනය කරද්දි, මේ කෘතිය ඉල්ලා සිටි භාෂා ශෛලියෙන් තමයි මම පරිවර්තනය කළේ. ඒත් ඒ කෘතියේ රිද්මය තරමක් සංකීර්ණයි. ඔබට අනුව භාෂාව මෘදු වුණත්, කියවාගෙන යද්දි, යම් සංකීර්ණ සහ ව්‍යාකූල ස්වභාවයක් දැනේවි. ඒ ස්වභාවය, ජීවිතයෙන් අංශු මාත්‍රයක්.
කාංචනා අමිලානි