Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

අල්ලන අයටත් වෙන්න පුළුවන්!

$
0
0
ඔක්‌ 14, 2020 01:00

නූගත්තු මහාචාර්ය පදවි ලබති. වැන්දඹුවෝ පතිදම් උදෙසා සම්මාන ලබති. පාදඩයෝ ධනවත් ප්‍රභූවරුන් බවට පත් වෙති. ශාස්ත්‍රකාරයෝ ජාතියේ අනාගතය තීන්දු කරති. බෝල අහුලන්නෝ ටෙනිස් ශූරයෝ වෙති. ජාතික වීරයෝ බවට උසස් වෙති. මේ සමාජය නරක යැයි කිව හැක්කේ කාට ද?

සමන් අතාවුදහෙට්ටි අපේ සමාජ කතිකාව තුළ බුද්ධිමය සංවාදයකට මුල පුරන වෙඩිල්ලක් පත්තු කර තිබේ. එය අපූරු දඩයමකි. තුවක්කුව, උණ්ඩ හා තවත් අඩු වැඩිය සපයා ඇත්තේ ලේඛක වූ චොංග් ෆුංග්ය. ගැටයා සන්දියේ පටන් තැන - තැන කුරුමානම ඇල්ලූ සමන් හරි ඉලක්කයටම කොකා ගස්සා ඇත. දඩයම සාර්ථකය.

දඩයක්කාරයාගේ යුතුකම පව - පින නොසලකා ගම්මුන්ට ඇති පදම් මස් සැපයීමය. සාහිත්‍යකාරයාගේ යුතුකම ඇනුම් -බැනුම් නොසලකා වින්දනය හා බුද්ධිය අවුළුවාලන ප්‍රබන්ධවලින් ශෝත්‍රෲ ජනයා පිනවීමය.

කතාකාරයා මෙවර ගොඩ බැස ඇත්තේ වියට්නාමය නම් වූ දඩබිමටය. වියට්නාමය තරම් දේශපාලන බලපෑම්වලට ගොදුරුවූ තවත් ආසියාතික රාජ්‍යයක් නැති තරම්ය. අමෙරිකාව, ප්‍රංශය, ජපානය යන බලවතුන්ගේ යටත්විජිතයක් ලෙස වියට්නාමය පැවැතිණි. යුද්ධ, කැරලි, ගොවි සටන්, වැඩවර්ජන, ආක්‍රමණ හා පහරදීම්වලින් කිසිදු අඩුවක් ද මේ රාජ්‍යයට නැත. ඒ හැරෙන්නට මතවාද හා ජනතා ව්‍යාපාරවලින් ද රට පිරී පැවැතිණි. යථෝක්ත සන්දර්භය තුළ වියට්නාම සංස්කෘතිය නවීකරණයට ලක් විය. වියට්නාම සාහිත්‍යය මුවහත් විය.

වියට්නාම් සාහිත්‍ය පිළිබඳ සිංහල කතිකාවේදී ප්‍රධාන ලේඛකයෝ තිදෙනෙක් අපට මුණ ගැසෙති. ඒ, නාම් කාඕ, බියූ හෙන් හා වූ චොංග් ෆුංග් යන තිදෙනාය. මෙරට කොමියුනිස්ට්වාදීන් අතර නාම් කාඕට හා බියූ ෂෙන්ට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. නාම් කාඕගේ ‘චී පිග්යෝ’ නම් කෙටි කතාව ගොවි විප්ලවය පිළිබඳ පරමාදර්ශී නිර්මාණයක් ලෙස හැඳින්වේ. ලේඛකයන් තිදෙනාගේම පොදු ලක්ෂණය වන්නේ, රට හා ජනතාව වෙනුවෙන් පුවත්පත් කලාව යොදා ගැනීමය. ඔවුන්ගේ ප්‍රබන්ධ කථාවල උපත සිදු වන්නේ පුවත්පත තුළය. එකල වියට්නාම් ජනතාව ආමන්ත්‍රණය කළ ප්‍රධාන ජනමාධ්‍ය වූයේ ද පුවත්පත ය.

වූ චොංග් ෆුග්ගේ නව කතා දෙකක් ලෝක අවධානයට ලක්වී ඇත. එකක් ‘ඩම් ලක්’ නවකතාවය. අනෙක ‘ද ස්ට්‍රොම්’ නවකතාවය. මෙයින් ද වඩාත් කතාබහට ලක් වූ ‘ඩම් ලක්’ ප්‍රබන්ධය සමන් අතාවුදහෙට්ටි විසින් සිංහලට නඟා තිබේ. එම කෘතිය හඳුන්වා ඇත්තේ ‘වසා වාසි’ නමින්ය. විශිෂ්ට, සංකීර්ණ හා බලපෑම්කාරී නව කතාවක් හැටියට ‘ඩම් ලක්’ විචාරක අවධානයට ලක් වී ඇත. එය දේශපාලන ප්‍රහසනයක් ලෙස ද හැඳින්විය හැකිය.

දේශපාලන වශයෙන් ව්‍යාකූල වූ සමාජයක, පුද්ගලයන්ගේ විකාර රූපී හැසිරීම මේ කතාවෙන් නිරූපිතය. ඒවා දිවි පැවැත්ම සඳහා බලපාන ආකාරය කතාවේ යටි පෙළෙන් මතු වෙයි. මෙහි ප්‍රධාන චරිතය හැටියට ගත හැක්කේ රතු කෙස් සුඅන්ය. ඔහු විධිමත් අධ්‍යාපනයකට හිමිකම් නොකී අනාථ තරුණයෙකි. ටෙනිස් පිටියක බෝල ඇහිඳීමෙන් ජීවිකාව ගෙන යන ඔහු පාදඩ සමාජය නියෝජනය කරන්නෙකි. එහෙත්, සමාජ පෙරැළියත් සමඟ මහාචාර්යවරයකු, වෛද්‍යවරයකු හා ටෙනිස් ශූරයකු ලෙස පෙනී සිටින්නට ඔහුට අවස්ථාව ලැබෙයි. අවසන් ලෙස ජාතික වීරයකු හැටියට සමාජයෙන් බුහුමන් ලැබීමට රතු කෙස් සුඅන් සමත් වෙයි. සමාජ පිළිවෙත් බිඳී ගිය පසු ජීවිතවලට ඕනෑම දෙයක් සිදුවන්නට පුළුවන.

යටත්විජිතවාදයත් සමඟ නවීකරණය, යුරෝපාකරණය හා ලිබරල් ආර්ථිකය වියට්නාමයට කඩා වැදුණේය. පාරම්පරික සමාජය අනුදත් හර - පද්ධතිය යටකරගෙන අලුත් බලවේග පැතිර ගියේය. එයින් ගොඩනැඟුණේ ව්‍යාජ හා බොල් සමාජ වටිනාකම්ය. කතුවරයා එය හාස්‍යයට ලක් කරමින් පාඨකයාගේ හෘද සාක්ෂිය අවදි කරයි.

මෙහි එන නිරෙනී මැතිනිය ධනවත් වැන්දඹුවකි. ඇය පුරුෂයන් දෙදෙනෙකු හා වරින් - වර විවාහ වී ඇති අතර, ඔවුන් අකල් මරණවලට ලක් වී ඇත. පති - භක්තිය උතුරා ගිය ඈ රතු කෙස් සුඅන් සමඟ ලිංගික සබඳතා පවත්වයි. මැතිනිය ඔහු කෙරෙහි කෙතරම් ආශක්ත වී සිටියේ ද යත්; බෝල අහුලන්නකු ලෙස සිටි සුඅන්ගේ ජීවිතය පරිවර්තනයකට ලක් කොට ඔහු තම නිවසේම රඳවා ගනී. සුඅන් දුරස් වන විට මැතිනියට කේන්ති යයි. සුඅන් හොරෙන් තම සෙලුව බලන්නේ නම්; මැතිනිය ඊට කැමැති වෙයි.

යුරෝපාකරණයත් සමඟ වියට්නාමයට කඩා වැදුණු තවත් බලවේගයක් වූයේ කාන්තා විමුක්තියයි. නිරෙනී මැතිනිය කාන්තා විමුක්තිය හා වියට්නාමයේ ස්ත්‍රී පති භක්තිය යන බලවේග දෙකම නියෝජනය කරන දෙබිඩි චරිතයකි. ඇය

 

ද හිමින් සීරුවේ තම ඉලක්ක කරා ගමන් කරයි.

ලිබරල් ආර්ථික න්‍යායන් කෙතරම් බලාත්මක ද යත්; මෙහි එන භික්ෂූහු ආගම විකුණති. කොමිස් ගසති. ව්‍යාපාර කරති. පොලිස්කාරයෝ නීතිය පසෙකලා දඩ කොළ පස්සේ පන්නති. ඇඟේ හැප්පුණත් දඩ කොළයක් ලියා දෙන පොලිස්කාරයෝ එහි සිටිති.

“දෙයියන්ගෙ නාමෙන් මතක තියාගන්න! අපි පොලීසියෙ බව. අපි සැලකිළිමත් වෙන්නෙ දඩ කොළේ ගැන. එහෙම නැතිව නීතිය ගැන නෙමෙයි.”

(පිටුව - 232)

තවත් චරිතයක් උපාධිධාරී ටන් ලෙස හඳුන්වා ඇත. නම එසේ වුව ඔහුට ඇති උපාධියක් නැත. ඔහු තෙවරක්ම අවසන් විභාගයට මුහුණ දී තිබුණ ද එම වාර තුනේම ප්‍රතිඵලය අසමත් යන්නය. කතුවරයා චරිත නම් කර ඇත්තේ ද උත්ප්‍රාසය මතු වන අයුරින්ය. උපාධිධාරී ටන් අවමංගල උත්සවවල ඡායාරූප ගැනීම සඳහා දින - සති ගණන් බලා සිටී. එකල වියට්නාමයේ අවමංගල උත්සව යනු සමාජ තත්ත්වය විදහාපාන ප්‍රීති උත්සව විශේෂයකි. මේ සඳහා මහල්ලන් මියෙන තුරු සෙස්සෝ බලා සිටිති. කතාවේ පහළොස්වන පරිච්ඡේදය මුළුමනින්ම වෙන් වී ඇත්තේ අවමංගල උත්සවයක් පිළිබඳ ජවනිකා පෙළක් ගෙන හැර දැක්වීමටය. එය කෙතරම් ව්‍යාජ උත්සවයක් ද යත්; එහි උත්කර්ෂවත් භාවයට මළ මිනිසාත් සිනාසෙන බව කතුවරයා කියයි.

“මිනියට පවා සතුටු සිනා මතුවන තරමට අවමංගල්‍ය උත්සවය උත්කර්ෂවත් වුණා”

(පිටුව - 216)

සමාජ ප්‍රතිසංස්කරණවාදීන්ගේ අවධානයට ලක් විය යුතු තවත් වැදගත් සංවාද දෙකක් මේ කෘතියට ඇතුළත් ය. හතරවැනි පරිච්ඡේදය සමන්විත වන්නේ යුරෝපාකරණය, නවීනත්වය හා විලාසිතා පිළිබඳ සංවාදයකින්ය. දහනව වැනි පරිච්ඡේදයේ අග කොටස වෙන්වී ඇත්තේ, ස්ත්‍රී - පුරුෂයන්ගේ ලිංගිකත්වය පිළිබඳ විවෘත සංවාදයකටය. එය වෛද්‍ය විද්‍යාත්මක සංවාදයක් සේ ඉදිරියට යයි.

“ජීවිත කාලය තුළ ලිංගික අර්බුද පැන නඟින අවස්ථා දෙකක් තියෙනවා. ගැටවර වයසට එළැඹෙන කාලය හා පූර්ව මහලු වයස මැවුම්කරුවා එය සැලැසුම් කර ඇත්තේ අන්න ඒ විදියටයි.”

(පිටුව - 270)

කතුවරයා සදාචාරය පිළිබඳ විසංවාදයක් ඇති කිරීමට උත්සුක වෙයි. එය සමාජ අවශ්‍යතාවකි.

වූ චොංග් ෆුංග් ලේඛකයා සිය ප්‍රබන්ධය ඔස්සේ සංවාදයට ලක් කරන මාතෘකා කිහිපයක් තිබේ. ඒ හැම එකක්ම වියට්නාමයට සේම අපට ද වැදගත් ය. යුරෝපාකරණය, සදාචාර ප්‍රශ්නය, ලිබරල් ආර්ථිකය, ලිංගික නිදහස හා ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාර ඉහත මාතෘකාවලට ඇතුළත්ය. යුරෝපාකරණය යන්නෙන් නව්‍යත්වය හා නූතනවාදී වීම ද අදහස් කෙරේ. එහි සාධනීය ලක්ෂණ සේම නිෂේධනීය ලක්ෂණ ද පවතී. කිසියම් සමාජ ක්‍රමයකට අක් - මුල් නැතිව පැවැතිය නොහැකිය. නව්‍යත්වය ආරෝපණය කිරීමට යෑමෙන් මතුවන්නේ සමාජ විකෘතියකි. 1930 ගණන් වන විට වියට්නාමය තුළ එය දැක ගන්නට ලැබිණි.

සදාචාර ප්‍රශ්නය වියට්නාම් සමාජය තුළ කෙතරම් බලවත් ලෙස නැඟී සිටියේ ද යත්; කතාවේ එන පොලිස්කාරයෙක් කියා සිටින්නේ දැන් ඉන්න පොඩි එවුන් හරියට කුණුහරුපයක්වත් කියන්න දන්නෙ නෑ යන්නය. එය අවලාදයකි. යුරෝපීයකරණයෙන් මතු වූ බොරු සදාචාරය, ව්‍යාජ නීති ගරුක බව කතුවරයාගේ හාස්‍යයට ලක් වෙයි.

ශිෂ්ටාචාරය යනු දීර්ඝ කාලීන වැඩපිළිවෙළකි. ඊට ක්‍රම විකාශයක් තිබේ. ශිෂ්ටාචාරය පවතින්නේ සමාජයේ සාමූහික ප්‍රයත්නයක් හැටියටය. එය හදිසියේ ආරෝපණය කළ හැකි දෙයක් ද නොවේ. යුරෝපයට කුණුහරුපයක් වන දේ වියට්නාමයට කුණුහරුපයක් නොවන්නට ද පුළුවන. යුරෝපාකරණය නිසා වියට්නාමය තුළ මතු වූ සදාචාර අර්බුදය කතුවරයාගේ සියුම් නිරීක්ෂණයට ලක් වෙයි.

“අද හැම එකාම සදාචාර සම්පන්න වෙලා. සුචරිතේ! මොන අවාසනාවක් ද? ඒකට ඒ කාලෙ පාරවල් පිරිලා හිටියෙ කිසි චාරයක් නැති වලත්ත මිනිස්සුයි. ගෑනුයි. හිතුණු වෙලාවට, හිතුණු තැන කෙළගහනවා. හුජ්ජ කරනවා. කිසි ගානක් නැතිව ප්‍රසිද්ධියේ ගුටිකෙළ ගන්නවා”

(පිටුව - 33)

ලිබරල් ආර්ථිකය, නව ලිබරල්වාදය ධනපති ක්‍රමයේ උපරිමය ලෙස සලකනු ලැබේ. එය සමාජ ගැටලු විසඳනු වෙනුවට ධනවතුන් තවත් ධනවතුන් කරන බවත්, දුප්පතුන් තවත් දුප්පතුන් කරන බවත් කියනු ලැබේ. ඒ අතර පාදඩ පන්තිය ඔසොවා තැබීම ද, ඔවුනට නව වටිනාකමක් ලබාදීම ද ලිබරල් ආර්ථිකයේ කැපී පෙනෙන ලක්ෂණයකි. මේ කතාවේ එන ප්‍රධාන චරිතය වූ රතු කෙස් සුඅන් පාදඩයෙකි. එහෙත් ඔහුගේ ‍ ගමන කෙළවර වන්නේ ජාතික නායකත්වයකිනි. කුමන රාජ්‍යයක ධනපති ක්‍රමය තුළ වුව මෙවැනි අකරතැබ්බ සිදු වේ.

ලිංගික නිදහස උදෙසා සටන් වැදීම හා කාන්තා විමුක්තිය උදෙසා සටන් වැදීම යුරෝපයෙන් ආසියාවට හා අප්‍රිකාවට කාන්දු වූ එක්තරා මෝස්තරයකි. එය සාධකයක් කොට දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමට කොමියුනිස්ට්වාදීහු පවා ඉදිරිපත් වූහ. එහෙත් සංස්කෘතික මූලයන් සමඟ ගැටෙන කල ලිංගික නිදහස මෙන්ම කාන්තා විමුක්තිය ද ව්‍යාජයකි. කතුවරයා මේ තත්ත්වය හාස්‍යයයෙන් යුතුව නිරූපණය කරයි.

වූ චොංග් ෆුංග් ලේඛකයාගේ කතා කලාව නිරික්ෂණය කරන කල පෙනී යන්නේ ඔහුටම ආවේණික නිදහස් ආරක් මත එය ගොඩනැඟී ඇති බවය. ප්‍රබන්ධ කථාවේ සම්භාව්‍ය රීති ‘වූ චොංග්ගේ’ සැලකිල්ලට ලක් වී නැත. විශේෂයෙන් ඔහුගේ භාෂාව නිදහස්ය. වාග් ව්‍යවහාරයට මුල්තැනක් දී ඇති බව පෙනෙයි. සාම්ප්‍රදායික යෙදුම් නිසි තැනට යෙදීමට ද කතුවරයා උත්සුක වෙයි. චොංග් ෆුංග්ගේ කතා කලාවේ ශිල්පීය විශේෂතා හතරක් හඳුනාගත හැකිය.

(i) රිද්මය

(ii) භාෂාව

(iii) උත්ප්‍රාසය

(iv) නාටකීය ගුණය

චොංග් ෆුංග් මුළු කතාව පුරාම වේගවත් රිද්මයක් පවත්වාගෙන යයි. සිදුවීම් වේගවත්ව ගලා යයි. නවකතාව ආරම්භ වන්නේ ටෙනිස් පිටියක නාටකීය අවස්ථාවකිනි. කතාව අවසන් වන්නේ ප්‍රධාන චරිතය ජාතික වීරයකු ලෙස ඔසවා තබන අවස්ථාවකිනි. නූතන ප්‍රබන්ධ කථාව විග්‍රහ කරන විචාරකයෝ එහි කැපී පෙනෙන ශිල්පීය අංග හතරක් ගැන මත පළ කරති. ඒ චරිත නිරූපණය, කතා වස්තු ගොඩනැගීම, භාෂාව හා රිද්මයයි. මේ ශිල්පීය අංග හතර මනාව ගළපා ගනිමින් කතාව රඟ දැක්වීමට චොංග් ෆුංග් සමත් වෙයි.

‍සුඅන් හා ඔහුගේ මිත්‍ර ශාස්ත්‍රකාරයා පොලීසියට කොටු වෙති. නිලධාරීහු ඔවුන් කුදලාගෙන ගොස් කූඩුවට දමති.

“පොලීසිය රෙද්ද තමයි” සුඅන් තොල් ඇඹුල් කරමින් සද්දෙට කිවුවා. මේ කූඩුව කුණු ගොඩක් ලැජ්ජයි!”

“මොකක්ද ලැජ්ජාව?” සාස්තරයා උත්තර බැන්දා. තමුසෙත් එක්ක කවුරුත් කතා කළේ නෑනෙ, ලොක්කා සුඅන් කිවුවා. මම මේ කිවුවේ අපේ ආණ්ඩුව ගැන”

(පිටුව - 30)

පොදු ජන වාග් ව්‍යවහාරයට මුල් තැන දෙමින්, නාටකීය අවස්ථා මතු කරන චොංග් ෆුංග් පාඨකයාගේ බුද්ධියට තට්ටු කරන යටි පෙළක් ද ඉතිරි කරයි.

සමන් අතාවුදහෙට්ටි චොංග් ෆුංග් කතුවරයාගේ සමස්ත අර්ථ හොඳින් වටහාගෙන සිය පරිවර්තනයේ වචන පෙළ ගස්වා තිබේ. මේ වියට්නාම කතාව ශ්‍රී ලංකාවට ද හොඳින් ගළපා ගත හැකිය. ‘වසා වාසි‘ අපේම කතාවකි. එහි යටි පෙළ බුද්ධිමය සංවාදයකට මුල පුරයි.

 

 

 


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>