යාල වන මැද පුදබිම ලෙස සිව්දිග ප්‍රසිද්ධියට පත් සිතුල්පව්ව පින්බිම, වර්ෂයේ වැඩි කාලයක් කටුක දේශගුණයක් පවතින පෙදෙසකි. වර්ෂයේ අග භාගයේ යාල මහ වනයට ඇදහැලෙන වර්ෂාව, හුදෙක් සිතුල්පව්වේ සුන්දර පරිසරයට පමණක් නොව, සමස්ත යාල මහ වනයටම සශ්‍රීකත්වය රැගෙන පැමිණේ. මහ වැසි ලද විට මේ මහ වනය, ගස්වැල් හරිත වර්ණයෙන් සරසා, අතු අග නේක වර්ණයෙන් සුවඳ පුෂ්ප හටගන්වා, හාත්පස මනරම් දර්ශනයක් මවන්නේ, එම අපූර්වත්වය විදහා පාමිනි.
දකුණු පළාතේ හම්බන්තොට හා ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කවලට අයත්ව ව්‍යාප්ත වී ඇති යාල වනෝද්‍යානය මධ්‍යයේ සිතුල්පව්ව රාජමහා විහාරය පිහිටා ඇත. මේ පෞරාණික භූමියට පිවිසීමට ප්‍රධාන මාර්ග දෙකකි. ඉන් එකක් තිස්සමහාරාමයේ සිට යෝධ කණ්ඩිය පාර හරහා යාල වනාන්තරය මැදින් වැටී ඇත. මේ මාර්ගයේ කිලෝමීටර 34ක් පමණ දුර ගෙවා, මේ සුන්දර භූමියට පැමිණිය හැකිය. අනෙක් මාර්ගය නම්, කතරගම සිට කිලෝමීටර 18ක් පමණ දුර යාල වන මැදින් පැමිණීමයි. මේ කුමන මාර්ගයේ පැමිණිය ද, මෙහි යෑම සඳහා ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක් ලෙස සැලකිය හැකි යාල මහා වනාන්තරය පසු කළ යුතුය.
දේශගුණික බෙදීම් අනුව යාල අර්ධ ශුෂ්ක දේශගුණයකට උරුමකම් කියයි. මතුපිට බෙහෙවින්ම තැනිතලා ස්වරූපයක් දැරුවද, ඉඳහිට භූමිය පුරා උස් වූ පාෂාණ උද්ගත නොඅඩුව පවතී. කටුක දේශගුණයට කර්කෂ වූ ශාක පද්ධතිය, ප්‍රදේශයට ආවේණික ශාකවලින් ද යුක්තය. වැසි සමයේ දී මලින් බර වන මල් ගොමුවලට අමතරව, භූමියේ විසිරී පවතන පෞරාණික වාරි පද්ධතිය ද, වැසි ලද පසු ජලයෙන් පිරී ඉතිරී යන්නේ, සකලවිධ ජීවීන්ට සෙත සලසමිනි.
යාල මහ වනය අත්විඳින කටුක අත්දැකිම් නොඅඩුව ලබමින්, සිතුල්පව්ව පුද බිම ද නොසැලී දරා හිදී. ඒ සඳහා බුදු දහමින් මනා ලෙස හික්මවන ලද බෞද්ධ පරිසරයක් මෙහි දැකිය හැකිය. බුදු දහමේ ඉගැන්වෙන අටලෝදහම, මේ පරිසරයේ සියලු ගහ කොළ හා සතා සිව්පාවා මැනවින් ප්‍රගුණ කර ඇති සේය. ඒ නිසාම, මේ පින්බිම සියලූ සතුන්ට අභය ස්ථානයකි.
පැරැණි මාගම්පුර රාජධානියට අයත් අතිශය වැදගත් මහාවිහාර අතර, සිතුල්පව්ව විහාරය ප්‍රමුඛ ස්ථානයක පසු වේ. සිතුල්පව්ව අයත් යාල වනෝද්‍යානය ප්‍රදේශයේ අතීතයේ ඉතා සශ්‍රීක ජනාවාසයක් පැවැති බව, වනයෙන් වැසී ඇති නටබුන් සාක්‍ෂ්‍ය දරයි. මේ භූමියේ ඉතිහාසය, මාගම්පුර රාජධානි සමයටත් වඩා ඈතට ගෙන යාමට ජ.අ. නිකොලොස් උත්සාහ දරා ඇත. (නිකුලස් 1979: 72, 73). ඊට අනුව පැරැණි කතරගම නිදහස් ප්‍රාදේශීය රාජ පෙළපතක් වූ කතරගම ක්‍ෂත්‍රීයයන්ගේ පාලන ප්‍රදේශයක් ලෙස අතීතයේ මේ ප්‍රදේශය අයත්ව තිබී ඇත. (නිකුලස් 1979: 58).
මහානාග උපරාජයා ක්‍රි. පූ. 3වැනි සියවසේ දී පමණ මාගම් ප්‍රදේශයේ රාජධානිය ආරම්භ කිරීමත් සමඟ, සිතුල්පව්ව ආශ්‍රිත ප්‍රදේශය ද රුහුණු මාගම්පුර රාජධානියට අයත් විය.
ඓතිහාසික කාලපරිච්ඡේදය ඉක්මවා ගිය සාධක වන ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාධක ද, සිතුල්පව්ව අයත් යාල වනෝද්‍යාන ප්‍රදේශයෙන් ලැබී තිබීම, ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මේ ප්‍රදේශ ජනාවාස වී තිබූ බවට වැදගත් සාක්‍ෂ්‍යයකි. සිතුල්පව්ව පුදබිම පිහිටි ප්‍රදේශය අවටින් ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් තිබූ බවට සාක්‍ෂ්‍ය 06ක් පමණ, 2004 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව කරන ලද ගවේෂණවලින් තහවුරු කරගෙන ඇත. මීට අමතරව, යාල වන බිම් සීමාවට අයත් මිනිහා ගල්කන්ද නම් ස්ථානයෙන් ලංකාවෙන් ලැබෙන පැරැණිතම ප්‍රාග් ඓතිහාසික මානව සාධක ලැබෙන බව ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ අදහසයි. ඒවා ඉහළ පුරා ශිලා යුගයට අයත් කළ හැකි බව එතුමා වැඩිදුරටත් පවසයි. (දැරණියගල 1992).
ඓතිහාසික හා ප්‍රාග් ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ සිතුල්පව්ව, ක්‍රි. පූ. යුගයේ සිට බෞද්ධ ආරාමික භූමියක් ලෙස ප්‍රසිද්ධියට පත්වූ ස්ථානයකි. මේ ස්ථානය සාහිත්‍ය මූලාශ්‍රයවල මෙන්ම, අභිලේඛන මූලාශ්‍රයවල ද සදහන් වී ඇත. සාහිත්‍ය මූලාශ්‍රයවල ‘චිත්තල පබ්බත‘ ලෙසත්, අභිලේඛන මූලාශ්‍රයවල ‘චිතල පවත‘, ‘චිතල පවම‘ ලෙසත් සඳහන්ව ඇත්තේ සිතුල්පව්වයි. ‘චිත්තල පබ්බත‘, ‘චිත්තල කූට‘ යන පාලි නාම්වලින් ද එහි සිංහල නාමය ලෙස සැලකිය හැකි ‘චිතල පවත‘ ලෙසත් හඳුන්වන මේ නාමයට අනුව, චිත්ත + ආල + පබ්බත යන චිත්තල පබ්බත වී යැයි විද්වත් මතයයි. (දිසානායක 2006:2). එනම්, ‘ සිත් අලවන පර්වතය‘ යන්නයි. මේ නාමය මේ ස්ථානයට පට බැඳීම සඳහා ද මෙහි පවතින ස්වභාව සෞන්දර්ය හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. මහා සිතුල්පව්ව හා කුඩා සිතුල්පව්ව පර්වත මස්තකවලට ප්‍රවේශ වී, හාත්පස පරිසරය නරඹන අයෙකුට මේ නාමය මේ ස්ථානයට කොතරම් අගනේදැයි හැඟේ.
පෙනෙන නොපෙනෙන මානයක් දක්වා ඈතට දර්ශනය වන මේ මනරම් භූමි භාගය, තැන තැන උස් වූ පර්වත උද්ගත සහ සිත් අලවන වන වැස්ම මෙන්ම, තැන තැන දැකිය හැකි නීල වර්ණ ජල තටාක, සැබැවින්ම දෙනෙත හමුවේ සුන්දර පරිසරයක් දිගහරවයි. එසේම, දොළොස් දහසක් මහ රහත් වීතරාගී උතුමන්ට විදසුන් වැඩීමට උදවු උපකාර වුණ මනරම් ගල් ලෙන්, නිහඬව හිඳිමින්, එම ඓතිහාසික යුගය අද පවා සිහිපත් කරනවා වැනිය. හාත්පස පරිසරය පුරා නිහඬව විසිරී පවතින ගල් ලෙන් සමූහය, මෙහි පැමිණෙන කවර පුද්ගලයකුගේ වුව මනස සන්සුන් කරවන උපශාන්ත පරිසරයක් මවා පායි.
සිතුල්පව්වේ ඓතිහාසික යුගයේ ඉතිහාසය ආරම්භ වනුයේ මහින්දාගමනයත් සමඟ යැයි කීම නිවැරැදිය. සිංහල බෝධිවංශයට අනුව සිතුල්පව්වෙහි ශ්‍රී මහා බෝධියේ දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇත. (සිංහල බෝධි වංශය 2018: 245). ක්‍රි. පූ. යුගයේදීම ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීමට තරම් මේ පින්බිම සුවිශේෂ ස්ථානයක් වී තිබූ බව පැහැදිලිය. මහාවංසයට අනුව සිතුල්පව්ව විහාරය ආරම්භ කරන ලද්දේ, අදින් වසර 2200කට පෙර රුහුණේ කාවන්තිස්ස රජු විසිනි. (ක්‍රි. පූ 161 ට පෙර) (මහාවංසය1994: 22. 24) එසේම, කාවන්තිස්ස රජ කරවූ ”මහානුග්ගල” නම් ස්තූපයේ වැඩ නිම වීමේ උත්සවයට සිතුල්පව්වෙන් 12000ක් මහරහතන් වහන්සේලා සහභාගී වූ බව ද මහාවංසයේ සඳහන් වේ. (මහාවංසය1994: 24. 8, 9)
සිතුල්පව්ව විහාරයේ විවිධ කාලපරිච්ඡේදවල දී වාසය කළ මහ රහතුන් හා භික්ෂූන් පිළිබඳ සීහළවත්ථුප්පකරණය, සහස්සවත්ථුප්පකරණය හා අට්ඨ කථාවල තොරතුරු සඳහන්වේ. මැඳුම් සඟි අටුවාවේ ඡුඡුක්ක සූත්‍ර වර්ණණාවෙහි මලියදේව මහ රහතන් වහන්සේ ඡුඡුක්ක සූත්‍රය දේශනා කළ විට, එය අසා සිටි භික්ෂූන් රහත් වූ බව සඳහන් වේ. එසේ රහත්වූ භික්ෂූන් වැඩසිටි ස්ථාන අතරින් සිතුල්පව්වද එක් ස්ථානයකි. සිතුල්පව්ව විහාරයේ සිටි සැට වයස ඉක්මවූ මහ තෙරවරු හැට නමක් ද, මලියදේව මහ රහතන් වහන්සේගෙන් ඡුඡුක්ක සූත්‍රය අසා රහත් වී ඇත. එසේම, මේ විස්තරයේ සිතුල්පව්ව විහාරයේ තිබූ මහා පොකුණක් හා එහි කුරවක තිත්ථ නම් ස්ථානයක් ගැන ද සඳහන් වේ.
මෙය වර්තමාන කොරවක්ගල නම් ස්ථානය විය හැකිය (මජ්ඣිමනිකායට්ඨ කථා 2008: 209). විභංගට්ඨකථාවෙහි ඛුද්දක වත්ථු විභංගයේ, සිතුල්පව්වේ විසූ රහත් යැයි සිතා සිටි භික්ෂුවක ගැන සඳහන්වේ. මේ භික්ෂූන් වහන්සේ, සිතුල්පව්වේ ‘නිංකපොණ්ණක’ නම් පියන්ගලෙහි වාසය කළ චුල්ල සුම්ම ලෙස හඳුන්වා ඇති අතර, උන්වහන්සේ තමා රහත් යැයි සිතා සිටි සේක. මේ තෙරුන් කරා වැඩම කළ ධම්මදින්න නම් රහත් තෙර නමක්, උන්වහන්සේ නොරහත් බව අවබෝධ කර දී ඇත. (විභංගට්ඨ කථා 2007: 408). එසේම, සිතුල්පව්වේ විසූ මේ නොරහත් තෙර නම පිළිබඳ වැඩිදුර විස්තරයක්, මැදුම් සඟි අටුවාවෙහි සල්ලේඛ සූත්‍ර වණ්ණනාවෙහි ද සඳහන් වේ.
මෙහි සඳහන් කථා ප්‍රවෘත්තියට අනුව, පෙර කී ධම්මදින්න රහතන් වහන්සේ එම තෙරුන් කරා පැමිණ, පොකුණක් මවන්න යැයි ඉල්ලීය. ස්ථවිර තෙම එය මැවීය. ස්වාමීනි මෙහි පියුම් ගොනුවක් මවන්න, එයද මැවීය. පියුම් ගොනුවෙහි මහත්වූ පියුමක් මවන්න, එය ද මැවීය. ඒ පියුම් ගැබෙහි සිට මිහිරි නදින් ගයන්නාවූ ද, නටන්නාවූ ද එක් ස්ත්‍රී රුවක් මවන්න, එය ද මැවීය.
පසුව ධම්මදින්න මහ රහතුන් වහන්සේ එම ස්ථවිරයන් වහන්සේට එම ස්ත්‍රී රූපය ගැන නැවත නැවත සිතන්න යැයි පවසමින් එතැනින් ඉවත් වූහ. ඒ රූපය ගැන සිතන්නා වූ තෙරුන්ගේ සැටවස් යටපත්ව තිබූ ක්ලේශයෝ චලිත වී, තමා නොරහත් බව අවබෝධ කරගෙන, ධම්මදින්න තෙරුණ් වෙත එළැඹ කමටහන් ගෙන රහත් වූහ (මජ්ඣිමනිකායට්ඨ කථා 2008: 239). මෙහි සඳහන් නිංකපොන්නක පධානඝරය යන නාමය විසුද්ධිමාර්ගයේ මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි නිද්දේශයේ සඳහන් වන්නේ, ‘නිංකපෙනෙක පධානඝරවාසී‘ යනුවෙනි (විසුද්ධි මාර්ගය, වර්ෂය රහිත : 294). එමෙන්ම, මැදුම්සඟි අටුවාවෙහි සඳහන් වන ‘චුල්ල සුම්ම’ යන නාමය විශුද්ධිමාර්ගයේ සඳහන් වන්නේ, ‘චුල්ල සුමන’ යනුවෙනි (එම : 294).
සිතුල්පව්ව විහාරයේ දී රහත්වූ තවත් භික්ෂුන් වහන්සේ නමක් ගැන තොරතුරු, අංගුත්තර නිකායට්ඨ කථාවෙහි ඒකක නිපාත වර්ණනාවෙහි දෙවැනි වර්ගයේ සඳහන් වේ. මෙහි මිලක්ක තිස්ස තෙරුන්ගේ කථාවක් නිදසුන් කොට දක්වයි. මෙහි එක් තැනක සිතුල්පව්ව විහාරය ගැන සඳහනක් ඇත. එම කථාව සැකෙවින් මෙසේය. ”රුහුණු රට ගාමෙණ්ඩවාල විහාරයට නුදුරු තැනක උපන් එක්තරා පුද්ගලයෙක්, සතුන් මරා ජීවිකාව කළේය. දිනක් ඔහු මහත් දිය පිපාසාවක් දැනී, ගාමෙණ්ඩවාල විහාරයට ගියේය. එහි දී කළ දහයක තිබූ ජලය පානය කළ ද, එම තැනැත්තාගේ අකුශල කර්ම හේතුවෙන් පිපාසය නොසන්සිඳිනි.
එහි විසූ චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙර මේ පුද්ගලයා පිළිබඳ සිත් යොමු කර, මොහුගේ අකුශල කර්මවල බලවත් බව දැන ඔහුට ධර්මය දේශනා කළ සේක. මෙයින් පැහැදුණු එම පුද්ගලයා, පාපකාරී ජීවිතය අතහැර තෙරණුවන් වෙත එළැඹ මහණ විය. අප්‍රමාදීව පිළිවෙත් කරන හෙතෙම ධර්මය ද උගෙන, තෙරුන් වහන්සේගෙන් කමටහන් ද ලබා, නොපසුබට භාවනාවෙහි යෙදුණි. හෙතෙම වත් පිළිවෙත් පිරීමද අත නොහැර, වරින්වර සිතුල්පව් මහා විහාරයෙහි ද, ගාමෙණ්ඩවාල මහා විහාරයේ ද, කතරගම මහා විහාරයේ ද, වතාවත් කළේය. දිනක් සිතුල්පව්ව විහාරයෙහි වතාවත් කර, පශ්චිමයාමාවසානයෙහි නිදිමත ආ විට තෙත් පිදුරු ගුළියක් හිස මත තබාගෙන හිඳින අතරතුර, එම විහාරයේ නැඟෙනහිර පර්වතය අසල සාමණේර නමක් අරුණාවතිය සූත්‍රයේ ගාථාවක් කියනු ඇසී, ඒකාන්තයෙන්ම මා වැනි වීර්යවත් භික්ෂූන් උදෙසා බුදු රදුන් විසින් මේ ගාථාව දෙසන ලදැයි ප්‍රීති උපදවා ධ්‍යාන ලබා, එය පාදක කොට රහත් ඵලය ලැබීය” (අංගුත්තර නිකායට්ඨ කථා 2009: 29).
සිතුල්පව්වේ විසූ එක්තරා තෙර නමක් බලවත් වාත රෝගයකින් පෙළීම නිසා, අවසන එම වේදනාව අරමුණු කොට විදසුන් වඩා රහත් වූ බව, විභංග අට්ඨ කථාවේ සතිපට්ඨාන විභංගයේ කථාවකින් පෙනේ. එම කථාව මෙසේ ය.
“සිතුල්පව්වෙහි එක්තරා ථෙර නමක් බලවත් වේදනාවෙන් එහෙ මෙහෙ පෙරළයි. එහි වැසි එක් තරුණ භික්ෂුවක් රිදෙන්නේ කොතැන දැයි ඇසීය. ඇවැත්නි, වෙන වෙනම රිදෙන තැනක් නම් නැත. වස්තුව අරමුණු කොට වේදනාව පවතීයි කීය. ස්වාමීනි එසේ දන්නා විට ඉවසිය යුතු නොවේ ද? යි භික්ෂුව කී විට ඉවසමියි කියා වේදනාව ඉවසුවේය. පසුව වේදනාව බලවත් වී වාතය හෘදය දක්වා ගොස් එය පැළීය. බඩවැල් ඇඳෙයි ගොඩ ගැසුණි. පසුව මේ වේදනාව අරමුණු කොට ගෙනම විදසුන් වඩා රහත් ඵලය ලබාගෙන පිරිනිවියේ ය.” (විභංගට්ඨ කථා 2007: 218).
පැළලුප් නුවර වැසි විසාඛ නම් කෙළෙඹියෙකුට සිංහලද්වීපය කසාවතින් බබළන්නේ යැයි අසා ලක්දිවට පැමිණ මහාවිහාරයේ පැවිදි විය. පැවිදි වීමෙන් අනතුරුව ලක්දිව සංචාරය කළේය. එම භික්ෂුව එක් විහාරයක සාර මසක් බැගින් වසමින් යන අතරතුර, සිතුල්පව්වට ද පැමිණ, සාර මසක් ගත කොට අන් තැනකට යන්නට සැරසුණහ. පසුව සිතුල්පව්වෙන් බැහැරවන්නට සැරසෙත්ම එක් මයිල ගසකට අධිගෘහිත දේවතාවෙක් හඬමින් සිතුල්පව්වෙන් බැහැරට නොවඩින ලෙස තෙරුන්ට ආයාචනය කළේය. විසාඛ නම් වූ එම මහථෙර බැහැර වන්නට කළ හැම උත්සාහයකදීම, පෙරකී දේවතාවා විසින් ආයාචනය කොට ගමන නැවැත්වූ හෙයින්, එහිම සිට පිරිනිවියේය. (බුද්ධ දත්ත හිමි 2009 : 167).
සිතුල්පව්වේ විසූ දෙබෑ ථෙරවරුන් පිළිබඳ කථාවක් ද අටුවාවල සඳහන් වේ. මේ තෙරවරු දෙදෙනා අතරින් වැඩිමහලු තෙර නම භික්ෂූන් අමතා ‘ තොප විසින් කොයි ආකාරයෙන් පිරිනිවෙන තැනැත්තන් දක්නා ලද්දහු ද?’ යි විමසීය. ඇතැම් කෙනෙක් ‘ හිඳගෙන පිරිනිවන් පාන්නන් දුටුවෙමු ’ යි කීය. තවත් කෙනෙක් ‘පළහ බැඳගෙන පිරිනිවෙන්නන් දුටිමි’ යි කීය. ඉක්බිති තෙර නම ‘මම දැන් සක්මන් කරමින් පිරිනිවෙන්නකු පෙන්නන්නෙමි’ කියා සක්මන් ඉරියව්වෙන් හිඳිමින් පිරිනිවියේය (බුද්ධදත්ත හිමි 2009: 171). වළගම්බා සමයේ පැවැති බ්‍රාහ්මණ තිස්ස නියං සමය වන විට සිතුල්පව්වේ දොළොස් දහසක් භික්ෂූන් සිටියහ (බුද්ධදත්ත හිමි 2009 : 171). තිස්ස විහාරයේ ද එපමණ පිරිසක් සිටියහ.
එක් එක් විහාරයේ භික්ෂූන්ට අවුරුදු තුනකට ප්‍රමාණවත්ව රැස්කොට තිබූ ධාන්‍ය එක් රැයකින් මීයන් විසින් කා දැමූහ. සිතුල්පව්වේ ආහාර විනාශ වීම හේතුවෙන් එහි වැසි භික්ෂු පිරිස තිස්සමහාරාමයට ගොස් ජීවත් වන්නට කතිකා කොට පිටත් වූහ. තිස්සමහාරාමයේ භික්ෂු පිරිස ද එලෙසින්ම කල්පනා කොට සිතුල්පව්වට ගොස් ජීවත් වෙමුයි කතිකා කර පිටත් වූහ. දෙපිරිසම ගම්භීර කන්දර නම් තැන දී මුණගැසී කථාබස් කොට, දෙතැන්හිම ආහාර නොමැති බව අවබෝධ කරගෙන එම ස්ථානයේදීම පිරිනිවියහ. (බුද්ධදත්ත, 2009: 171, 172).
සිතුල්පව්වේ එකගෙයි විසූ තෙර දෙනමක් ගැන අටුවා කථාවල සඳහන්වේ. මාසෙ පෝය ද, වැසි වලාකුළින් අහස අඳුරු වීම ද පැවැති එක් රාත්‍රියක, එක් තෙර නමක් අනෙක් තෙරුන්ට කථාකොට, තමාට කළුවරේ පෙනෙන දෑ ගැන විස්තර කර ඇත. අනෙක් තෙරුන් ද තමාට අඳුරේ බොහෝ දෑ පෙනෙන බව ප්‍රකාශ කළහ (බුද්ධදත්ත හිමි 2009 : 180).
දොරටුපාල රූපයක් දැකීමෙන් රාගය ඉපිද, ඉන්ම දැවී සිටිවනම කළුරිය කළ භික්ෂුණියක් ගැන තොරතුරු, සිතුල්පව්ව විහාරයෙන් ලැබේ (එම : 184). මේ කථා ප්‍රවෘත්තිය සුමංගල විලාසිනිය නම්වූ දීඝනිකායට්ඨ කථාවෙහි සංගීති සූත්‍ර වණ්ණනාවෙහි ද සඳහන් වේ. ඊට අනුව එක් දහර භික්ෂුණියක් සිතුල්පව්ව විහාරයෙහි පොහොයගෙට ගොස්, දොරටුපාල රූපය බලමින් සිටියාය. ඉක්බිති ඇයගේ ඇතුළත රාගය ඇති වී, ඕ එයින්ම දැවී කළුරිය කළාය. අසල සිටි එක් භික්ෂුණියක් ඇය වෙත ගොස් මොකද සිටින්නේ කියා අත ඇල්ලීය. එකෙණෙහිම ඇය පෙරළී වැටුණාය (දීඝනිකායට්ඨ කථා 2011: 309).
සිතුල්පව්වේ වැසි භික්ෂූන් ගැන කියැවෙන තවත් කථාවක් විනය අටුවාවෙහි නිස්සග්ගියවණ්ණනාවෙහි සඳහන් වේ. එම කථාවට අනුව සිතුල්පව්වේ විසූ එක් භික්ෂුවක් ශාලා හතරක් ඒකාබද්ධව තිබෙන තැනක දොරටුව අසල සිටගෙන ආරාමිකයන්ට පෙනෙන ලෙස පොළොවෙහි රවුම් වටයක් ඇන්දේය. එයින් මහත් වූ කැවුම් සෑදීම අදහස් කරන ලදැයි සිතාගත් එක් ආරාමිකයෙක්, එතරම් විශාල කැවුම් හදා, පසුදා බෙර ගසා, සංඝයා රැස් වූ විට මෙසේ කීය. ”ස්වාමීනි මාගේ පියමුතුන්ගේ කාලයේ දී වත් මෙවැනි දෙයක් සිදු වී යැයි නො අසන ලදී. එක් ස්වාමීන් වහන්සේ නමක් විසින් චතුෂ්ශාලාව ඉදිරියෙහි කැවුම් සඳහා වට්ටුවක් අඳින ලදී. මෙතැන් පටන් ස්වාමිවරු තම තමන්ට කැමැති සැටියක් කියතොත් අපටත් පහසු වන්නේය. ” යි කීය. මේ කීම අසා මහ තෙරවරුන්ගේ පටන් කිසිදු භික්ෂුවක් කැවුම් නොපිළිගත්තේ යැයි සඳහන් වේ. (බුද්ධදත්ත හිමි 2009: 180).
අට්ඨසාලිනී අටුවාවෙහි නික්ඛේපකණ්ඩව වණ්ණනාවෙහි තික නිද්දේසයෙහි ”අරියානං අදස්සාවී” යන පදය විස්තර කිරීමේ දී, සිතුල්පව් වැසි රහත් තෙර නමක් ගැන කියැවේ. එම කථාව මෙසේය. ”සිතුල්පව්වේ වෙහෙර වැසි රහත් තෙර නමකගේ අතවැසිවූ මහලු වී පැවිදි වූ එක් භික්ෂු නමක්, ඒ තෙරුන් සමඟ පිඬු පිණිස හැසිර, තෙරුන්ගේ පාත්‍ර සිවුරු රැගෙන පිටුපසින් යන්නේ, ‘ස්වාමීනි ආර්යයෝ කෙබඳු වෙත් ද?’ යි ඇසීය. තෙර නම ‘ ඇවැත්නි ඇතැම් කෙනෙක් ආර්යයන්ට වත් පිළිවෙත් කරමින් ඔවුන්ගේ පාත්‍ර සිවුරු රැගෙන යමිනුත් ආර්යයන් නොහඳුනත් ආර්යයෝ නම් මෙසේ ඇඳිනීමට අපහසු පුද්ගලයෝ වෙතියි ” කීය. ඒ කී කල්හිත් මේ තෙර නම රහත් නමකැයි අවබෝධ කර ගැනීම ඔහුට නොහැකි විය (එම: 190).
සිතුල්පව්වේ වැසි මහ රහතුන් මෙන්ම, විවිධ භික්ෂූන් සම්බන්ධ මෙවැනි කථා රාශියක් විවිධ මූලාශ්‍රයවල සඳහන් වේ. විශේෂයෙන් අට්ඨ කථාවල දැක්වෙන තොරතුරු අතර වලගම්බා සමයේ බැමිණිටියා සාගතය ගැන දැක්වෙන තොරතුරුවලට අනුව මේ කථා ප්‍රවෘත්ති ක්‍රිස්තු පූර්ව පළමු වැනි සියවසෙන් පසුව ලියැවෙන්නට ඇතැයි සිතිය හැකිය. ආරාමික ප්‍රදේශයේ දක්නට ලැබෙන සෙල් ලිපි හා නටබුන්වල ස්වභාවය අනුව, ක්‍රිස්තු පූර්ව පළමු වැනි සියවසෙන් පසුව ක්‍රිස්තු වර්ෂ හය, හත සියවස් දක්වා සංවර්ධනය වී ඇති ආකාරය පැහැදිලිය.
බුද්ධි නාගොඩවිතාන
පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
කොටුව, ගාල්ල.