Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දේශපාලන ඉතිහාසයේ හරිශ්චන්ද්‍ර භූමිකාව

$
0
0
ඔක්‌ 16, 2020 01:00

හරිශ්චන්ද්‍ර විජේතුංගයෝ මෙම මස 25 වනදා තම 90 වැනි දිවි කඩඉම පසුකරති. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

වර්ෂ 1931 ඔක්තෝ්බර් 25 වනදා මිනුවන්ගොඩ මැඩෑමුල්ල නම් සුන්දර ග්‍රාමයෙහි දේශීය අක්ෂි වෛද්‍යවරයකු වූ ඩබ්ලිව්. එම්. ඩී. බී. විජේතුංග සහ අමරාවතී ජයසිංහ යන දෙපළ දාව අටදෙනකුගෙන් යුතු පවුලේ හතරවැනියා ලෙස ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංගයන් මෙලොව එළිය දුටුවේය. මිනුවන්ගොඩ ද්වීභාෂා පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලබාගත් ඔහු දෙවන ලෝක සංග්‍රාමයෙහි ආරක්ෂක හේතූන් මත මිනුවන්ගොඩට රැගෙන ආ කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ශාඛාවකට ඇතුළත් වී ද්වීතීයික අධ්‍යාපනය ලැබීය. දෙවන ලෝක සංග්‍රාමයෙන් අනතුරුව කොළඹ නාලන්දාව, මිනුවන්ගොඩින් නැවත කොළඹට රැගෙන ආ අතර ඒ හේතුවෙන් විජේතුංගයන් කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් විය. කරුණාරත්න අබේසේකර, ධර්මසේන ආටිගල, රූපා ජයතිලක, හෙන්රි ජයසේන, ගුණදාස අමරසේකර ආදීහු විජේතුංගයන්ගේ සමකාලීන පන්ති සගයෝය.

ජීව විද්‍යා අංශයෙන් ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිට ඉන් උසස් ලෙස සමත් වූ විජේතුංග ඉන් අනතුරුව ලංකා විශ්වවිද්‍යාලයෙහි (වර්තමාන කොළඹ විශ්වවිද්‍යාලය) විද්‍යා පීඨයට ඇතුළත් වීමට වරම් හිමිකර ගත්තේය.

එකල ලංකා විශ්වවිද්‍යාලයෙහි කොටසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට රැගෙන ගිය අතර ලංකා විශ්වවිද්‍යාලයෙහි හිස් වූ ගොඩනැගිල්ලක සිංහල ශබ්දකෝෂ කාර්යාලයක් ආරම්භ කිරීමට එකල රජය විසින් කටයුතු කරන්නට විය. සිංහල පඬිවරුනක් වූ ජුලියස් ද ලැනරෝල් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ශබ්දකෝෂය ලියැවී ඒ වන විට වසර 25 කල්ගත ව තිබිණි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කළ විජේතුගයන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවයට බැඳුණේය. පසුව මහනුවර මහමායා බාලිකාවෙහි රසායන විද්‍යා ගුරුවරයා ලෙස ද කටයුතු කරමින් සිටියදී මිරිදිය ජීවීන් නැමැති ඔහුගේ ප්‍රථම කෘතිය එළිදක්වන්නට විය.

1956 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි සිංහල ශබ්දකෝෂ කාර්යාල‍යක් පිහිටුවන්නේ සිංහල ශබ්දකෝෂයක වටිනාකම එවකට සිටි සෑම විශ්වවිද්‍යාල පඬිවරයකු පාහේම අවබෝධ කර ගනිමින් සිටි නිසාමය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි පිහිට වූ මෙම නව ශබ්දකෝෂ කාර්යාලයෙහි විද්‍යා අංශයෙහි ප්‍රධාන සම්පාදක ධූරය හරිශ්චන්ද්‍ර විජේතුංගයන්ට හිමි වූ අතර එය ලාංකේය සිංහල ශබ්දකෝෂයෙහි නව පරිච්ඡේදයක ඇරඹුම සනිටහන් කරන්නට විය.

ඒ අනුව එතෙක් නොලියූ විද්‍යා මෙන්ම තව තවත් නවමු ක්ෂේත්‍රයන්හි ඇතුළත් වූ පාරිභාෂිත පද එකතු කර ගනිමින් සිංහල පාරිභාෂික ශබ්දකෝෂය නමින් ශබ්දකෝෂයක් ප්‍රකාශයට පත් කිරීමට විජේතුංගයන් සමත් විය. එය මෙරට පළමු පාරිභාෂිත සිංහල ශබ්දකෝෂය වූ අතර පාරිභාසිත යන නමද හරිශ්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද්දක් වීම විශේෂත්වයකි.

තම ශබ්දකෝෂ ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, ජර්මනිය ආදි රටවල පුස්තකාලයන්හි දක්නට ඇති අතර එම පුස්තකයන් අන්තර්ජාතිකව පරිශීලනය කරන ග්‍රන්ථ බවට පත් වී ඇති බව විජේතුංගයන් පවසන්නේ නිහතමානී ආඩම්බරයක්ද පෙරදැරි කර ගනිමිනි. එමෙන්ම 1990 දී Legal Philosophy in Medeval Sinhala යන නිබන්ධනය සඳහා ඔහුට කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද හිමි විය.

විද්‍යා ග්‍රන්ථ ලෙස මිරිදිය ජීවීහු, ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාව, පොළොවේ කාන්තාරය ආදී ග්‍රන්ථයන් ද පරිවර්තන කෘති, සාහිත්‍ය කෘති, ආගමික ඉතිහාස කෘති, දේශපාලන කෘති සහ නීතිය පිළිබඳ කෘති ද විශාල සංඛ්‍යාවක් ඔහු අතින් රචනා වී තිබීම විශේෂත්වයකි.

එමෙන්ම ශ්‍රී ලාංකේය දේශපාලන වංශකතාවේ අද්විතීය භූමිකාවක් නිරූපණය කරමින් සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයේ නිර්මාතෘවරයා වූ ඔහු දෙවතාවක්ම ජනාධිපතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත් වූ විද්වත් දේශපාලනඥයෙකි. ඔහුගේ දේශපාලන දිවිය විශ්වවිද්‍යාල සිසුවකු සිටි කාලයේ ආරම්භ වන අතර එකල පැවති සිංහලය රාජ්‍ය භාෂාව කරලීමේ ජාතික ව්‍යාපාරයට ඔහු සම්බන්ධ වනුයේ විශ්විද්‍යාලය තුළ සිංහල සංගමයක් ද පිහිටුවා ගනිමිනි. සිංහල භාෂාව නගාසිටුවී‍ම සහ සිහංල බෞද්ධයනගේ අයිතිවාසිකම් නගාසිටුවීම නිමිත්ත කොට ගනිමින් සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂය පිහිටුවා ගැනීමට ඔහු කටයුතු කළේය.

තම සඳෑ සමය ගෙවමින් අනූවැනි වියට පා තබන මෙතුමාට තවත් බො‍හෝ කාලයක් සාහිත්‍ය අඹරෙහි සුවහසක් ලක්වැසි සහෘදයන් උදෙසා යෙහෙන් වැජඹීමට හේතු වාසනා වේවා.!

 

සටහන සහ ඡායාරූප

 අනුදි නිසල්යා වීරසිංහ

 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>