Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

19න් කණපිට පෙරැළුෑ ජනපති බලතල

$
0
0
ඔක්‌ 16, 2020 01:00

අතීතයේ මෙරට ක්‍රියාත්මක වූ රාජාණ්ඩු ක්‍රමය තුළ විධායකය,  ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුනම නිරූපණය වූයේ රජතුමාගෙනි. එදා රාජාණ්ඩු සමයේ රට දියුණු තත්ත්වයක  පැවතිණි.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මේ වන විට විධායක ජනපතිවරුන් හත්දෙනකු රටේ පාලනයට පැමිණ තිබේ. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය පැමිණෙන තෙක්ම ජනපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වූයේ නම්, ඒ ජනපති බලතල වැඩි වීම සම්බන්ධයෙනි. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ එම මතය යම් ආකාරයකට කණපිට පෙරළීමක් සිදු විය. එතැන් සිට මේ දක්වාම වැඩි කතාබහට ලක්වන කාරණය වන්නේ ජනපති බලතල කප්පාදු වීම නිසා අවශ්‍ය මොහොතේ අවශ්‍ය තීරණ ගැනීමට ජනපතිවරයාට අවකාශ නොමැති වීමෙන් රට අර්බුදයකට පත්ව තිබෙන බවය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරළියට පැමිණ තිබෙන්නේ මෙවැනි පසුබිමකය. මේ වන විට ඒ හා සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය ජනපතිවරයාට හා කථානායකවරයාට දැනුම් දී ඇත.ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 ගෙනා නව ව්‍යවස්ථාවේ නිරූපිත ජනපති බලතල ඒ ආකාරයෙන්ම ජනපතිවරයාට ලබා දිය යුතු බව පිරිසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් පවසන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තුව සතු කළ ජනපති බලතල යළි ජනපති වෙත පවරා නොදී පාර්ලිමේන්තුව සතුවම පැවැතිය යුතු බවය. මෙම අදහස් දෙකෙන් වඩා හොඳ කුමක් ද සම්බන්ධව සාමාන්‍ය ජනතාවට ඇත්තේ ප්‍රශ්නයකි. විධායක ජනපතිවරයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ක්‍රියාත්මක වූ ආකාරයත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ආකාරයත් සම්බන්ධව කිසියම් විශ්ලේෂණයක් සිදු කර ඒ සම්බන්ධව යම් අවබෝධයක් ලබා ගැනීම කාලෝචිත අවශ්‍යතාවක් වී තිබෙන්නේ මෙම පසුබිම තුළය.

 

ත්‍රස්තවාදය පරාජය කිරීම

මෙරට ජනතාව තිස් වසරක් පුරා බැට කෑ ත්‍රස්තවාදය සහමුලින් පරාජය කර රටට සාමය ගෙන ඒමට මහින්ද රාජපක්ෂ මහතාට ශක්තියක් වූයේ විධායක ජනපති ධුරය බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ඒ අවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් නිර්මාණය වූ ආකාරයේ විධායක ජනපති ධුරයක් ක්‍රියාත්මක වී තිබුණේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීම පිණිස ඍජු තීරණ කිසිවක් මහින්ද රාජපක්ෂ මහතාට ගත නොහැකි වනු ඇත. රටේ වාසනාවට එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායක ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ද තමන් යටතේ තබාගෙන ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට නායකත්වය දුන්නේය. ඉන් දස වසරකට පසු පාස්කු ප්‍රහාරයට රට ගොදුරු විය. හිටපු විධායක ජනපතිවරයාගේත් අගමැතිවරයාගේත් කඹ ඇදිල්ල මෙම ප්‍රහාරයට හේතු වූ බව ඒ සම්බන්ධයෙන් ජනපති පත් කළ කොමිසමේදී අනාවරණය වන තොරතුරුවලින් පැහැදිලිය. රටේම ජනතාවගේ බහුතර කැමැත්ත තුළින් විධායක ජනපති ධුරයට පත් විය නොහැකි බව දැන සිටි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ උත්සාහ කළේ තමන්ට කිසිදා ජනතාව ලබා නොදෙන බලයක් ජනපති මුළා කර ඩැහැ ගැනීමටය. පොදු අපේක්ෂක ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාවත් ඒ සඳහා එජාපයේ පූර්ණ සහයත් ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා දැක් වූ සහයෝගයට කෘතගුණ දක්වමින් තම බලතල කප්පාදු කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ද දෙවරක් නොසිතා අවකාශ සලසා දුන්නේය. එහෙත් එවැනි වෙනසක් සඳහා ජනතාව යහපාලන ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා නොදුන්නේය.

රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යන විධායක ජනපති ධුරය කප්පාදු කර පාර්ලිමේන්තු බලය තවත් ශක්තිමත් කිරීම මඟින් ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් තහවුරු වන බවත්, ස්වාධීන කොමිෂන් සභා මඟින් එතෙක් රාජ්‍ය සේවයේ තිබූ දේශපාලන පක්ෂග්‍රාහි බවට තිත තැබෙනු ඇති බවත් මතවාදී ලෙස සමාජගත කරන්නට ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ අනුග්‍රහය මත ආණ්ඩු පක්ෂය කටයුතු කිරීම තුළින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව සමාජය මත බලහත්කාරයෙන් පටවනු ලැබුවේ යැයි පැවසීම එක්තරා අන්දමකින් නිවැරදිය. එලෙස සම්මත වූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කළ යුතු යැයි කියන පිරිස අතර, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිටින්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතියයි. එයට සංශෝධන ගෙන ඒම ආවාට ගියාට කරන්නට යෑමෙන් සිදු වන ව්‍යසනයට හොඳම උදාහරණය පාස්කු ප්‍රහාරයයි. අදටත් එම ප්‍රහාරයේ වගකීම බාර ගැනීමට කෙනකු නොමැත. කොමිසම හමුවේ සාක්කි දෙමින් එකල ප්‍රධාන තනතුරු දැරූ සැවොම කරන්නේ එකිනෙකාට චෝදනා කර ගැනීමය. සහරාන් පිළිබඳ තොරුතුරු කල් තියා දැන සිටියත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නොහැකි වූ කරුණු අතර ප්‍රමුඛ වූයේ යහපාලන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දීමට මුස්ලිම් පක්ෂවල සහය ලබා දී තිබීමය. නැඟෙනහිර මුස්ලිම් අන්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වුව හොත් මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත්වීම ඔස්සේ ආණ්ඩුව අස්ථාවර වේ යැයි අගමැති රනිල් සිතුවේය. ආණ්ඩු පක්ෂය තම තීරණවලට එරෙහිව කටයුතු කරද්දී අඩුම තරමේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හෝ හැකියාවක් ජනපතිවරයාට නොතිබිණි.

 

පාර්ලිමේන්තුවේ නියෝජනය

පාර්ලිමේන්තුවේ බලය රැක ගැනීමට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය ඕනෑම පවාදීමක් කරන්නට සූදානම් වන්නේ නම් එය වැළැක්වීමේ බලයක් ජනපතිවරයාට තිබිය යුතුය. ජනපතිවරයා පත්වන්නේ රටේම බහුතර කැමැත්තෙනි. පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකුට එවැනි ජනවරමක් හිමි වන්නේ නැත. අගමැතිවරයා ලෙස පත්වන්නේ එක් එක් දිස්ත්‍රික්කවලින් තමන්ගේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට ජනතාව පත් කර එවන මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්ත දිනා ගන්නා පුද්ගලයාය. අගමැතිවරයා ද පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ දිස්ත්‍රික්කයකට තරග කිරීමෙන් පසුවය. ආණ්ඩුව පිහිටුවන්නට අගමැතිවරයාට සහාය දෙන පක්ෂ හා කණ්ඩායම් එම සහාය ලබා දෙන්නේ නොයෙක් කේවල් කිරීම්වලට යටත්වය. රට ගැන නොසිතා තමන්ගේ බලය ගැන පමණක් සිතා අගමැතිවරයා තීන්දු තීරණ ගන්නේ නම් ඒවා නිවැරදි කිරීමේ බලයක් ජනපති සතු විය යුතුය. අතීතයේ මෙරට ක්‍රියාත්මක වූ රාජාණ්ඩු ක්‍රමය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුනම නිරූපණය වූයේ රජතුමාගෙනි. එදා රාජාණ්ඩු සමයේ රට දියුණු තත්ත්වයක පැවතිණි. තනි පුද්ගලයකු වෙත බලය කේන්ද්‍රගත වීමෙන් ඇති විය හැකි අවදානම දුරලීම පිණිස අදාළ බලතල අයුතු ලෙස පාවිච්චි කරන අවසථාවක එය මැඬපැවැත්වීමට ව්‍යවස්ථාව මඟින්ම ක්‍රියාමාර්ග යෙදීමට පුළුවන. එසේ නොමැතිව බලය අයුතු ලෙස පාවිච්චි කරනු ඇතැයි අනුමාන කර විධායක ජනපතිවරයාගේ දෑත් ගැට ගැසීම රටට හිතකර නොවන බව අප තේරුම් ගත යුතුව තිබේ.

වෙනත් රටවල ආකෘති මේ රටට ගැළපීමට යෑම නුවණ ඇති ක්‍රියාවක් නොවන්නේය. අවාසනාවකට අපේ නායකයන් බොහොමයක් දෙනා ගනු ලබන්නේ එවැනි තීරණය. ඉන්දියාවේ විවිධ ජාතීන්, විවිධ ආගමිකයන් ජීවත් වේ. අපේ රටේත් එසේමය. එසේ වුවත් ඉන්දියාවේ ජීවත් වන සියලු ජාතීන් තමන් ඉන්දීයයකු යැයි සිතයි. එහෙත් එවැනි තත්ත්වයක් අපේ රටේ නැත. අපේ ඇතැම් මුස්ලිම් ජාතිකයන් මේ රටේ ජීවත් වුවත් මනස ඇත්තේ පාකිස්තානයේය. එලෙසින්ම ඇතැම් දෙමළ ජාතිකයින්ගේ ශරීරය මෙහි වුවත් මනස පවතින්නේ ඉන්දියාවේය. එක රටක් එක ජාතියක් ලෙස සිතන රටකට විධායක ජනපති ධුරයක් බලයක් සහිතව ක්‍රියාත්මක වීම අවශ්‍ය නොවනු ඇත. එසේ වුවත් රටින් කොටසක් වෙන් කර වෙනත් රාජ්‍යයක් හැදීමට සිහින දකින පිරිස් ක්‍රියාකාරී දේශපාලනයේ සිටින රටකට බලතල සහිත විධායක ජනපතිවරයෙක් අවශ්‍යය ය. මෙවැනි අදහස් ඇති අය පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රධාන පක්ෂයකට සහාය දී තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට අගමැතිවරයා ප්‍රමුඛ අණ්ඩුවට බලපෑම් කරන අවස්ථාවක එය වැළැක්වීම සඳහා ක්‍රියා කළ හැකි බලයක් සහිත ජනපතිවරයෙක් සිටිය යුතුය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර 4 1/2 ක් යන තුරු ජනපතිවරයාට අහිමි කිරීමෙන් මතුවන අර්බුදකාරී වාතාවරණය යහපාලන ආණ්ඩු සමයේ මෙරට ජනතාව හොඳින් අත්වින්දේය.

 

ස්ථාවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

පවතින ව්‍යවස්ථාව අණ්ඩ දැමූ කලිසමකට සමානය. එක් අණ්ඩයක් දමන විට තවත් තැනකින් කලිසම ඉරෙයි. නැතහොත් දැමූ අණ්ඩයක් ලිහී යයි. ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 දී මෙරටට හඳුන්වා දුන්නේ ස්ථාවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. එහි පැහැදිලි ලෙස විධායක ජනපති සතු බලතලත් පාර්ලිමේන්තුව සතු බලතලත් දක්වා තිබිණි. විටින් විට පාලනයට පැමිණි පුද්ගලයන්ගේ හා ආණ්ඩුවල අවශ්‍යතා සඳහා එයට සංශෝධන ගෙනාවේය. ඒවා බොහොමයක් රටේ යහපත පිණිස නොව පුද්ගල හෝ පක්ෂවල යහපත පිණිස ගත් තීන්දුය. රටේ යහපත ගැන නොසිතා ඒ ආකාරයෙන් ගන්නා තීන්දු තීරණවලින් සිදු වන්නේ අර්බුද නිර්මාණය වීමය. ඒ අර්බුද රාශියක් මතුවන්නේ ඒ මොහොතේ නොව පසු කාලීනවය. දැන් 19 ඔස්සේ මතුව තිබෙන්නේ ද එවැන්නකි. නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම හිතන තරම් පහසු කාර්යයක් නොවන්නේය. ඒ සඳහා කාලයක් ගතවනු ඇත. එතෙක් රට සිර කර තැබීම සුදුසු නැත. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාව බලය දුන්නේ බොහෝ බලාපොරොත්තු සමඟය. ඒවා ඉටු කිරීමට ඔහුට ශක්තියක් තිබිය යුතුය. නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඒ මහතාට ව්‍යවස්ථාවෙන් ඇති වන බාධා ඉවත් කර දීම ඉක්මනින් කළ යුතුය.

 

ආත්මාර්ථය

දේශපාලනඥයන් සිටිය යුත්තේ තම මතය නොව ජනතාවගේ මතය නියෝජනය කිරීමටය. නමුත් අපේ රටේ වැඩිපුර සිදු වන්නේ තම ආත්මාර්ථය උදෙසා ඔවුන් ක්‍රියාත්මක වීමේ ස්වභාවයකි. පාර්ලිමේන්තුව සෑම විටම නිවැරදි තීන්දු ගන්නේ යැයි යන මතයේ සිට අප ක්‍රියා නොකළ යුතුය. රට අර්බුදයකට ගෙන ගිය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමට සහය දැක් වූ මන්ත්‍රීවරුන් අතරින් බහුතරය අද එය වෙනස් කළ යුතු යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරති. විසි වන ව්‍යවස්ථා සංශෝධනය 19 සමඟින්ම ගෙන එනු ඇතැයි විශ්වාසයෙන් තමන් ඊට පක්ෂව ඡන්දය දුන් බව මන්ත්‍රීවරු පවසන්නේ 19 මඟින් රටේ ඇතිව තිබෙන අර්බුදයට තමන්ගේ දායකත්වයේ තරම හීන කිරීමේ අදහසින් වන්නට පුළුවන. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකිනි. එය අහෝසි කිරීමේ අරමුණින් ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමට හැකියාව තිබිය යුතුය. 19 සම්මත කිරීමට ජනමත විචාරණයකට නොගිය බැවින්ය. 20ට ඇයි ජනමතවිචාරණයක්, යන්න දැන් සාකච්ඡා වෙමින් තිබෙන ප්‍රශ්නයකි. මේ සියලු කාරණා මැද අදාළ ව්‍යවස්ථා සංශෝධනය පසුපස්සට තල්ලු වීම රටට යහපත් නොවන්නේය. කොවිඩ් දෙවන රැල්ල දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. එය මර්දනය කිරීම එක් පැත්තකින් සිදු වෙද්දි අනෙක් පසින් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට යා යුතුය.

ස්වාධීන කොමිෂන් සභා සුදු පිරුවටයක දවටා වන්දනාමාන කළ යුතු ඒවා බවට විපක්ෂය මතයක් ගොඩනඟමින් තිබේ. 19 ආරක්ෂා කිරීමට විපක්ෂය සතුව ඇති එකම තුරුම්පුව එය බව පෙනෙන්නට ඇත. පොලිස් කොමිසම මඟින් උදේ ලබා දෙන මාරුව හවස් වන විට අවලංගු කර ගැනීමට සමත් පොලිස් නිලධාරීන් අපි දැක ඇත්තෙමු. පොලිස් කොමිසමේ ස්වාධීන බව ප්‍රශ්න කරන්නට එයම සෑහෙන්නේය. පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ බවට චෝදනා ලද පොලිස්පතිවරයා ඉවත් කිරීමේ හැකියාවක් විධායක ජනපතිවරයාට නැත. මැතිවරණ කොමිසමේ සාමාජිකයකු දේශපාලන පක්ෂයකට එරෙහිව මත ප්‍රකාශ කිරීමෙන් එහි ස්වාධීන බව සම්බන්ධව ද ප්‍රශ්න ඇති විය. මෙතරම් අර්බුද තිබියදී 19 අහෝසි නොකර සිටීම රටට වැදගත් වන්නේ කෙසේද යන්න සම්බන්ධව විපක්ෂය අවංකව රටට ප්‍රකාශ කළ යුතුව තිබේ.

 

අසේල කුරුළුවංශ


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>