අපඅපගේ මනසට නැඟෙන ප්‍රශ්න පිළිබඳව සවිඥානක විය යුතුය. මනසට නැඟෙන ප්‍රශ්න මැඬ පැවැත්වීම නොව වඩා වැදගත් වන්නේ ඒවා විසඳා ගැනීමය. තමා විසින් ම හෝ තමාට විසඳා ගැනීමට නොහැකි දේ අන් අයගෙන් හෝ අසා ඊට පිළිතුරු දැන ගැනීම වටින්නේය. නොදන්නා දෙයක් පිළිබඳ විමසීම හෝ යම් දෙයක් පිළිබඳ ව ප්‍රශ්න කිරීම අද සමාජයේ දකින්නට ලැබේ නම් ඒ ඉතා සුළු වශයෙනි. බොහෝ දෙනා ප්‍රශ්න අසන්නට මැළි වෙති. සැබැවින් ම ඊට හේතු වන්නේ ප්‍රශ්න මතු වන්නට තරම් අදාළ විෂය පථ හෝ තොරතුරු ගැඹුරින් සොයා බලන්නට සමාජය නොපෙලඹීමයි. තව ද, අනෙකා තම නොදැනුවත්කම්, දුර්වලතා හඳුනා ගනීවි යැ’යි බිය වෙති. එහෙත් ප්‍රශ්න කිරීම නම් බුද්ධමත් බවේ හා සවිඥානක බවේ සලකුණකි. නොදන්නා දේ දැන ගැනීමට ප්‍රශ්න ඇසීම නිවට කමක් නොවේ. වඩා භයානක, ඇතිවන ප්‍රශ්න නොඅසා සිටීමයි.
ගසෙන් බිමට වැටුණු ඇපල් ගෙඩිය පිළිබඳ ව අයිසෙක් නිව්ටන්ට ඇති වූ ප්‍රශ්නය පිළිබඳ ව ඔහු උනන්දු නොවුණේ නම් ලෝකය ගුරුත්වාකර්ෂණය පිළිබඳ සංකල්පය හඳුනා නොගනු ඇත. ඇල්බට් අයින්ස්ටයින් (Albert Einstein), “the important is to never stop questioning.” (වඩා වැදගත් වන්නේ ප්‍රශ්න කිරීම කිසිදාක නොනැවැත්වීම) බවට ප්‍රකාශ කර තිබේ. Google සමාගමේ හිටපු ප්‍රධාන විධායක Eric Schmidt තම සමාගමේ ගමන්මඟ පිළිබඳ ව පවසා ඇත්තේ, “We run this company on questions, not answers.” (අප මේ සමාගම මෙහෙය වන්නේ ප්‍රශ්න මත මිස පිළිතුරු මත නොවේ) ලෙසටයි. එබැවින් ප්‍රශ්න ඇසීම සමාජයෙන් කොතෙක් දුරකට ඉවත් ව පැවතියත් ප්‍රශ්න ඇසීම විශිෂ්ටයින්ගේ ජයග්‍රහණ කෙරෙහි කොතරම් නම් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇත් ද යන්න වටහා ගැනීමට පුළුවන. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන් ජීවිත කාලය පුරාම ජීවිතයේ අරුත, සදාචාරය හා යථාර්ථය පිළිබඳ ව ගැඹුරින් ප්‍රශ්න කර ඇත. අපට එවැන්නක් වුවමනා නොවුණත් එදිනෙදා අප මුහුණ දෙන තත්ත්වයන්, අපට ප්‍රශ්න කිරීමට පුළුවන. ඒ පිළිබඳ ව සවිඥානක අදහස් දැක්වීමට හැකි ය. එමඟින් අදාළ කරුණු හෝ තොරතුරු පිළිබඳ වඩා දැනුම්වත් බවකින් අවශ්‍ය තීරණවලට එළඹෙන්නට හැකියාව ලැබෙයි.
සියල්ල පිළිබඳ ව දන්නා බව සිතන පිරිස් ප්‍රශ්න අසන්නේ නැත. එහෙත් එයින් අනර්ථය කර ගන්නේ ඔවුන් ම ය. යමක් පිළිබඳ ව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හා නව්‍යතා සංවර්ධනයට වඩාත් හොඳ ම ක්‍රමය ප්‍රශ්න ඇසීමයි. එහෙත් සමාජය ප්‍රශ්න ඇසීමට එතරම් උනන්දුවක් නොදැක්වීම කණගාටුවකි. උසස් චින්තනයක් ඇති තැනැත්තා කිසිවිටෙක ප්‍රශ්න ඇසීම නවත්වන්නේ නැත. මන් ද, යත් යමෙක ඇති සැක තැන් නැති කරන්නටත්, යමක් පිළිබඳ ව පුළුල් අවබෝධයක් ලබා ගැනීමටත් වඩාත් ඵලදායී ක්‍රමවේදය ප්‍රශ්න කිරීම බව ඔවුන් දන්නා බැවිනි. බුද්ධිය හා දැනුම සොයා යන්නට අපට ‘ප්‍රශ්න’ අවස්ථාව සලසා දෙයි. තවකෙකු තුළ නිදන්ගත ව ඇති දැනුම් සම්භාර බොහෝ දෙනා අතර බෙදා ගැනීමට ඉන් හැකියාව ලැබෙයි. එබැවින් ප්‍රශ්න ඇසීම හුදෙක් නව දැනුම රැස් කිරීමක් වන අතර ඊට කිසිවිටෙක බිය වීම අවශ්‍ය නොවන්නේ ය.
අන් සත්ත්වයන්ට වඩා මොළයේ කපාල ධාරිතාව ඉතා ඉහළ අගයක පවතින මිනිසාට පමණක් යමක් පිළිබඳව ප්‍රශ්න කිරීමටත්, යමක් පිළිබඳ තර්ක විතර්ක කිරීමටත් හැකියාව ලැබී ඇත. කුඩා දරුවන් නිතර නිතර තම මව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ප්‍රශ්න ඇසීම සාමාන්‍ය තත්ත්වයකි. “ඇයි රෑ වෙන්නේ?” , “ඇයි කුරුල්ලෝ කෑ ගසන්නේ?” , “ඇයි මල් පිපෙන්නේ?” යනාදි ලෙස බොහෝ ප්‍රශ්න ඔවුන්ගේ මනසේ නිමැවෙන්නේ ය. මිනිසා එවැන්නෙකි. ඔහු ප්‍රශ්න පිළිබඳ ව සවිඥානකයි. එය මැඬ පවත්වන්නේ සමාජයයි. දරුවෙකු අසන ප්‍රශ්න මැඬ පැවැත්වීම හෝ මුළාවට පත් කරවන පිළිතුරු ලබා දී කුතූහලයෙන් පිරුණු මනස මොට කරවන්නේ සමාජයයි. දරුවාගේ ප්‍රශ්නයට ඇතැම් විට දීමට සිදු වන පිළිතුර ගැඹුරු වුවත් එය ඔහුට හෝ ඇයට වටහා ගත හැකි ලෙස සත්‍යයෙන් පැහැදිලි කිරීම වැදගත් වන්නේ ය. දරුවා එය අද වටහා නොගත්තේ නමුදු ඒ පැහැදිලි කිරීම ඔස්සේ නුදුරු දිනෙක ම සාර්ථක අවබෝධයක් ඒ වෙනුවෙන් ලබා ගනු නියත ය. එබැවින් දරුවන් අසන ප්‍රශ්න ඇඟයීම වැදගත් ය. “ඇත්තෙන් ම හොඳ ප්‍රශ්නයක්, ඔබ එය ඇසීම ගැන සතුටුයි” යනුවෙන් පවසන්න. තවත් ඔහු හෝ ඇය දැනුම සොයා යනු නියත ය. දරුවාගේ ප්‍රශ්න ඇසීම පළමුව මොට කර පසුව ඉගෙනීමේ දරුවා යොමු නොවන බවට කනගාටු වීම නිෂ්ඵල කටයුත්තකි. ලොව කිසිඳු මෝඩ ප්‍රශ්නයක් නැත. දරුවන් ප්‍රශ්න ඇසීමෙන් දැනුම ලබා ගන්නා මෙන් සාර්ථක නායකයෙකු, කළමනාකරුවකු, ව්‍යවසායකයකු වන්නටත් ප්‍රශ්න ඇසීම වඩාත් සාධනීය අවස්ථා අත්පත් කර දෙන්නේ ය. සේවාදායකයන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීමට ප්‍රශ්න ඇසීම වඩාත් ප්‍රයෝජනවත් වන්නේ ය. එමෙන් ම විවෘත බවින් යුතු ප්‍රශ්නයකින් උපකල්පන මත ගොඩ නඟා ගන්නා අවිනිශ්චිතතා මඟහරවා ගන්නට ද, හැකි වන්නේ ය.
බුදු දහමේ වුවත් ප්‍රශ්න කිරීම කිසිවිටෙක ඉවතලා නොමැත. බුදුන් වහන්සේ දේශනා කරන ලද කරුණක් වුවත් තම බුද්ධියෙන් සලකා බලා වටහා ගැනීමට නිදහස ලබා දී ඇත. බුද්ධ පරිනිර්වාණයට ආසන්න අවස්ථාවේදී තමන් වහන්සේගෙන් ප්‍රශ්න අසා නිරාකරණය කර ගන්නට පැමිණි සුභද්‍රට ඊට අවසර ලබා දුන් සේක. බුදුන් වහන්සේ තම පරිනිර්වාණයේදී පවා වඩා වැදගත් කොට සැලකූ ප්‍රශ්න ඇසීම අපි කිසිදා මඟ නොහැර ගනිමු.
බිනූ දිලාරා ගමගේ
පළමු වන වසර - ශ්‍රීපාලි මණ්ඩපය
කොළඹ විශ්වවිද්‍යාලය