නොවැම්බර් මස පළමුවන දිනට යෙදෙන සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යය වෙනුවෙන් මේ ලිපිය පළ වේ.
"ඉන්පසු සියලු ජාතීන්ගෙන්ද, ගෝත්‍රවලින්ද, ජනසමූහයාගෙන්ද, භාෂාවන්ගෙන්ද කිසිවකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි." (එළිදරව්ව 7/9)
ප්‍රසාද ස්නාපනය කැඳවීම ලැබූ අපි සියල්ලෝම, සමිදුන් තුළ තෝරාගත් වංශයක්ද රාජකීය පූජක පෙළක්ද ශුද්ධ ජාතියක්ද දෙවියන් වහන්සේ සතු සෙනඟක්ද (1 පේදුරු 2/9) වන බව ශු. ලියවිල්ලේ සඳහන් කර ඇත. කතෝලික සභාවට අයත් වන අප සියල්ලන් වෙත දෙවිදාණෝ දානය කරන ලද සුවිශේෂී පිරිසක් ලෙස සුදුවරුන් හෙවත් සාන්තුවරුන් නම් කළ හැකිය.
සාන්තුවරුන් ලෙස අප හඳුන්වනු ලබන්නේ දුබල අප මෙන් මනුෂ්‍ය ස්වභාවය ගෙන, මෙලොව ජීවත් වූ කෙටි කාල පරාසය ඇතුළත යක්ෂයා, ලෝකයා සහ මාංශයා සමඟ සටන් කොට දෙවිඳුන් සමඟ අචල වූ විශ්වාසයෙන්ද, බලාපොරොත්තුවෙන් හා ප්‍රේමයෙන්ද දිවි ගෙවූ පුද්ගලයන්ය. ඔවුහු සම්පූර්ණයෙන්ම දෙවිඳුන් කෙරේ යැපුණෝය. ශුද්ධවූ සභාවේ සාන්තුවරුන් ප්‍රධාන වශයෙන් ප්‍රභේද කීපයකට අයත් වේ. එනම් විශ්වාසය වෙනුවෙන් දිවි පරදුවට තැබූ අය හෙවත් ප්‍රාණ පරිත්‍යාගවරුන්, විශ්වාසය උදෙසා සාක්ෂි දැරූ අය, සභා ලේඛකයන්, තාපස තාපසිකාවන්, ධර්ම දූතවරුන්, ගිහි විශ්වාසිකයන්, නූතන යෞවනයන් මේ පිරිසට යනාදී වශයෙනි.
මංගල්‍යයේ ආරම්භය
සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යයේ ආරම්භය 4 වැනි සියවස දක්වා දිව යයි. රෝමයේ තිබූ සියලු දෙවි දේවතාවුන් පිදීමේ මංගල්‍යය හා සැණකෙළිය කිතු දහම දැන ගැනීමෙන් පසුව සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යය ලෙස වෙනස් වූ බැව් මුඛ පරම්පරාගත සම්ප්රදායේ සඳහන් වේ. එය සඳහා රෝමයේ තිබූ සියලු දෙවි දේවතාවුන්ගේ දේවාලය නූතනයේ දී සියලු සාන්තුවරයන්ගේ බැසිලිකාව ලෙස පරිවර්තනය වී ඇත. මෙම මංගල්‍යය රෝමානු කතෝලික සහ පෙරදිග කතෝලික සභා ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.
ශුද්ධ ලියවිලි පසුබිම
කතෝලිකයන් සහ සෙසු ක්‍රිස්තියානි සභා අතර පවතින ප්‍රධානතම වෙනස්කමක් ලෙස සාන්තුවරයන්ට ගෞරවය කිරීම හඳුන්වා දිය හැකිය. ඔවුන්ගේ යැදුම් මධ්‍යස්ථය පැතීම අනාදිමත් යුගයක සිට සභාවට උරුම වී ඇති සම්ප්රදායකි.
මේ පිළිබඳ ශුද්ධ ලියවිලි ඉගැන්වීම් දෙස බැලීමේදී ගීතාවලියේ 1, 15, 24, 32, 33, 112 , 147 ... යන තෙහිලි ගීත කදිම නිදර්ශකයන් ලෙස නම් කළ හැකිය. තවද පුරාණ ගිවිසුමේ ද්විතීය නීති සංග්‍රහයේ 33/3 , 1 සාමුවෙල් 2/9 , 2 වංශාවලිය 6/41 , දානියෙල් 7/18 , සෙකරියා 14/5 යනාදී ශුද්ධ ලියවිලි පාඨ මීට කදිම නිදසුන් වේ.
පුරාණ ගිවිසුමේ පූර්ණත්වය වූ නව ගිවිසුමේ දේවත්වයේ උත්තරීතර බව පසෙකලා මනුෂ්‍ය ස්වභාවය ගත් දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ ඉගැන්වීම් සහ අනුශාසනා මත පිහිටා බලන කල සාන්තුවර ස්වභාවයේ ගුණාංග සහ ගති ලක්ෂණ මනාව නිරූපිත වේ. ශු. මතෙව්තුමාගේ සුභාරංචියේ 5/ 1-12 සඳහන් වන භාග්‍ය අට තුළ එන්නාවූ "නිහතමානි ", බැගෑ සිත...", "සාමය ඇති කිරිම " .... වැනි ගුණාංග සහ ලක්ෂණ සාන්තුවර ලක්ෂණයන්හි පදනම වේ.
නව ගිවිසුමේ හසුන්පත් අතර ශු. පාවුළුතුමන්ගේ හසුන්පත්වල සහ උන්වහන්සේගේ ඉගැන්වීම් මත ගැඹුරු දේවධාර්මික ඉගැන්වීමක් අපට පැහැදිලි කර ඉස්මතු කර දක්වයි. විශේෂ කොට ශුද්ධවන්තයන් පිළිබඳ ගැඹුරු දේව ධාර්මික ඉගැන්වීම් සහ සංකල්ප ඉදිරිපත් කර දක්වා ඇත්තේ ශුද්ධ වූ පාවුළු තුමා ය. මේ ආකාරයෙන් බයිබලයේ බොහෝ තැන්වල මේ සඳහා සාක්ෂි දැරීම් ඇත.
ශු. සභා සම්ප්රදායේ ශුද්ධවන්තයෝ
සභා සම්ප්රදාය තුළ සාන්තුවරයන්ට ගරු කිරීම, ඔවුන්ගේ යැදුම් හා මධ්‍යස්ථය පැතීම අනාදිමත් යුගයක සිට සභාවට උරුම වී ඇති සම්ප්රදායකි. නූතන සමාජ සන්දර්භය තුළ සෙසු ක්‍රිස්තියානි සභා හා සසදන කල කතෝලික අපට උරුම වී ඇති ප්‍රබල උරුමයක් සහ දේව තිළිණයක් ලෙස සාන්තුවරු නම් කළ හැකිය. මෙහිදී අප සැලකිල්ලට ගත යුතු කරුණු කීපයක් පවතී.
- කතෝලිකයන් ලෙස අපි සාන්තුවරුන්ට ගරු කරමු, ඔවුන්ට වන්දනා නොකරමු. මන්ද අප අදහන්නේ එකම සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වහන්සේ පමණකි.
- සාන්තුවරු වනාහි අපට මඟ පෙන්වන්නේ ස්වාමින් වහන්සේ වෙතට අප ගෙනයන්නට පමණි. ඔවුන් මහා පෙළහැර පාන්නේ සිය බලයෙන් නොවේ. ඒ ක්‍රියාවලින් ලොවට ප්‍රකාශිත වන්නේ දේව මහිමයයි. තවද අප සාන්තුවරුන්ට අයදින්නේ අප නිසා යාච්ඤා කළ මැනව කියාය. ඔවුන් අප ස්වාමින් වහන්සේ කරා ගෙන යන මාර්ගයක් වැනිය. ඔවුන්ගේ ශුද්ධවත් දිවිය තුළින් ඔවුහු ඊයෙත්, අදත්, හෙටත් අප වෙනුවෙන් දෙවිදුන් ඉදිරියේ යදින්නාහ.
අපගේ දිවියේ එකම ස්වාමියාණන් සහ මධ්‍යස්ථකයාණන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පමණි. උන්වහන්සේට හිමි ස්ථානය වෙන කිසිදු අයකුට දිය නොහැකිය. සාන්තුවරුන්ද අපට මග පෙන්වන්නේ උන්වහන්සේගේ පාස්කු අභිරහසට පංගුකාර වී අප දිවියේ ස්වාමිත්වය ජේසු සමිඳුන් වෙත ලබා දීමට පියවර ගන්නා ලෙසයි.
- සභාවක් ලෙස අපට සාන්තුවරයන්ගෙ යැදුම් හා ඔවුන්ගේ මධ්‍යස්ථ පිහිට අවැසි වේ. මක්නිසාද ශු. සභාව මෙලොවට පමණක් සීමා සීමාවූවක් නොවේ. සාන්තුවරයින්ගේ සමෝස ධර්මලාභය තුළ සටන් වදින සභාවත්, ජයලත් සභාවත් සහ ශුද්ධත්වය ලබමින් සිටින සභාවත් එකිනෙකට සම්බන්ධය. සාන්තුවරයන්ගේ යැදුම්වලින් මේ ක්‍රියාවලිය සාක්ෂාත් වේ.
- සාන්තුවර භූමිකාව තුළ නිහතමානිත්වය, දැහැමිකම, චාම් බව යනාදියෙන් ඔවුන් සැම විටම තම මහිමය නොව දේව මහිමය කෙරෙහි සියල්ල පවරා දී විශ්වාසය, බලාපොරොත්තුව සහ ප්‍රේමය වර්ධනය කර ගෙන ජීවත් වන්නට අපට ආරාධනා කරයි.
- ශු. සභාවේ නම් කර ඇති සියලුම සාන්තුවර චරිතවලින් අපට පිළිබිඹු කරන්නේ කිතු සමිඳුන් වෙත යන්නට අපට මඟ පෙන්වන කදිම ජීවිත ආදර්ශයක් ලෙසය.
- සභා මාතාව නිල වශයෙන් සාන්තුවරුන් පිරිසක් නම් කර, ඔවුන්ගේ මහඟු ජීවිතාදර්ශය අපට ප්‍රකාශ කරන්නේ, පෙන්වා දෙන්නේ මෙකී ක්‍රිස්තුස් වහන්සේ වෙත යන මාර්ගයේ මග පෙන්වන පහන් රුකක් සහ මුරටැඹක් ලෙසය. එසේ නමුදු ඔවුහු වන්දනාවට පාත්‍ර වූ පිරිසක් නොවෙති. සැමවිටම සාන්තුවර ජීවිතය තුළින් අප වටහා ගත යුතු සත්‍යතාවක් වන්නේ ඔවුන් සිටින්නේ අපගේ ඇදහිල්ලේ වීරෝදාර චරිත ලෙස දෙවි සමිදුන් ඉදිරියේ අපි වෙනුවෙන් යැදුම් මධ්‍යස්ථිය පුදන පුද්ගලයන් ලෙසය.
- ශුද්ධ සභා මාතාව තුළ සාන්තුවරුන් මෙලෙස කාණ්ඩ කිහිපයකට නම් කළ හැකිය.
අපෝස්තුළුවරුන් - ශුද්ධවූ පේදුරු තුමා, ශුද්ධ වූ පාවුළු තුමා , ශුද්ධවූ ජුවාම් තුමා වැනි ශුද්ධවන්තයන්.
වේද සාක්ෂිවරුන් හෙවත් ප්‍රාණපරිත්‍යාගවරුන් - ශුද්ධවු ස්තේපන් තුමා, ශුද්ධ වූ ලෝරන්ස් මුනිතුමා, ශුද්ධවු සෙබස්තියන් මුනිතුමා, ශුද්ධවු ලුසියා මුනිවරිය, ශුද්ධවු ඇග්නස් මුනිවරිය, ශුද්ධවු සිසිලියා මුනිවරිය වැනි අය.
වර්තමානයේ ප්‍රාණපරිත්‍යාගවරුන් ලෙස සැලකෙන ශුද්ධවූ ඔස්කා රොමෙරෝ අගරදගුරුතුමා වැනි අය මීට උදාහරණ වේ.
තාපස ශුද්ධවන්තයන් - ශුද්ධවූ මහා බැසිල් මුනිතුමා, වනවාසී ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා, ශුද්ධවු බෙනඩික් මුනිතුමා වැනි අය.
විශ්වාසය උදෙසා සාක්ෂි දැරූ පුද්ගලයන් - ශුද්ධවු මාටින් ද ෆෝරස් මුනිතුමා, පාදුවාවේ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා, ශුද්ධවු දොමිනික් ගුස්මාන් මුනිතුමා, ශුද්ධවු අසීසියේ ප්‍රැන්සිස් මුනිතුමා, ශුද්ධවූ ජෝන් මේරි වියානි මුනිතුමා වැනි අය
සභා පියවරුන් සහ ලේඛකයන් - ශුද්ධවු අගොස්තීනු මුනිතුමා, ශුද්ධවු ජෝන් ක්‍රිසොස්තම් මුනිතුමා, ශුද්ධවු බොන්වැන්චර් මුනිතුමා, කුරුසියේ ශුද්ධවු ජුවාම් මුනිතුමා , අවිලාහි ශුද්ධවූ තෙරේසා මුනිවරිය වැනි අය.
ධර්මදූතික සේවාවේ නියුතු වූ ශුද්ධවන්තයන් - ශුද්ධවු ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමා , ශුද්ධවූ ජුසේ වාස් මුනිතුමා
ශුද්ධවූ කන්‍යාවන් - ශු. පර්පේතුවා සහ පෙලිසිටාස් මුනිවරියෝ , ශුද්ධවූ මරිය මග්දලේනා මුනිවරිය
තාපසිකාවන් - ශුද්ධවු ස්කොලොස්ටිකා මුනිවරිය , ශුද්ධවු ක්ලෙයාර් මුනිවරිය
අඹුසැමියන් - ශුද්ධවූ ආනා සහ ජුවකීනූ මුනිවරු, ශුද්ධවූ ලුවිස් මාටින් සහ සෙලී ග්‍රෑන් මුනිවරු
කුඩා දරුවන් - පාතිමාවේ දර්ශන ලාභී ශුද්ධවූ ප්‍රැන්සිස් සහ ජසින්තා මුනිවරු, වන්දනීය ඉමෙල්ඩා මුනිවරිය
යෞවන ශුද්ධවන්තයන් - ශුද්ධවු දොමිනික් සාවියෝ මුනිතුමා, භාග්‍යවත් කාර්ලො අකුතිස් මුනිතුමා, ශුද්ධවූ ජර්මන් කසීන් මුනිවරිය
යම් දැහැමි සිල්වත් පුද්ගලයකු මිය ගිය පසු දෙවසරකට පසු ඔහු හෝ ඇයගේ සාන්තුවර ක්‍රියාදාමය ඔහු හෝ ඇය විසු ප්‍රදේශයේ හෝ මිය ගිය/ මිහිදන් කළ රදගුරු පදවියේ රදගුරුතුමන් හරහා ශුද්ධාසනයට ආයාචනා කෙරෙන අතර, ඔහු හෝ ඇය පැවදි පන්තියකට අයත් වන්නේ නම් ඒ පැවදි පන්ති ශ්‍රේෂ්ඨයන් විසින්ද ආයාචනා කළ හැකිය. ඉන්පසුව පියවරෙන් පියවර ක්‍රියාත්මක වේ. වර්තමාන සභා සම්ප්රදාය තුළ සාන්තුවරයකු ලෙස පත් කරන්නට පියවර හතරක් භාවිතා කරනු ලබයි.
1. දේව සේවක
2. වන්දනීය
3. භාග්‍යවන්ත
4. ශුද්ධවන්ත
1969 වර්ෂයේදී නිකුත් වූ සාන්තුවර නාමාවලිය තුළ ඇතැම් ශුද්ධවන්තයන්ගේ නාමයන් සාන්තුවර නාමාවලියෙන් ඉවත් කර ඇත. එසේ ඉවත් කරනු ලැබූ ශුද්ධවන්තයන්ගේ නාමයන් එක් වී ඇත්තේ ඇතැම් විට ජනප්‍රවාද මුල්කර ගනිමිනි. මේවා සැදැහැවතුන්ගේ විශ්වාසය සම්බන්ධව බල පවත්වන හෙයින් ඉදිරියේ දී ඔවුන්ගේ නමින් දේවස්ථාන ඉදි කරන්නට, හෝ මංගල්‍ය පවත්වන්නට නිල අවසරයක් නැත. එහෙත් කැප කර ඇති දේවස්ථාන සහ මංගල්‍ය පවත්වන ස්ථානවල නියමිත ලෙස පවත්වන්නට ඒ ඒ පදවියේ රදගුරුතුමන්ගේ අනුමැති අවැසි බව පෙන්වා දී ඇත.
1969 වර්ෂයේ සාන්තුවර නාමාවලිය තුළ එසේ ඉවත් කරනු ලැබූ සාන්තුවර නාම වන්නේ ශුද්ධවු ක්‍රිස්ටෝෆර් මුනිතුමා, ශුද්ධවු වැලන්ටයින් මුනිතුමා, ශුද්ධවු ටෙක්ලා මුනිවරිය, ශුද්ධවු උර්සුලා මුනිවරිය, ශුද්ධවු බාර්බරා මුනිවරිය, ශුද්ධවු ඩොමිටිල්ලා මුනිවරිය, ශුද්ධවු පිලමිනා මුනිවරිය ....
මෙසේ සාන්තුවර නාමාවලිය තුළ 1969 වර්ෂයේදී මෙම නාම ඉවත් කරනු ලැබූවද අද පවා සැදැහැවතුන්ගේ ගෞරවාදරයට මෙම සාන්තුවරුන් පත්ව ඇත. උදාහරණ ලෙස ශු. බාර්බරා මුනිශ්වරිය නමින් කැප කරන ලද දේවස්ථානය සහ ශුද්ධවු ක්‍රිස්ටෝෆර් මුනිතුමා නමින් මංගල්‍ය පවත්වන ප්‍රදේශ තවමත් ලංකාවේ ඇත.
අප ශුද්ධවරයන්ට ගරු කරන්නේ ඇයි ?
අප ඔවුන්ට ගරු කරන්නේ කිතුනු වීරයන් සහ දේව මිත්‍රයන් සැටියටත් ය. දෙව් මැඳුරෙක අප දකින ප්‍රතිමා එම ශුද්ධවරයෝ නොවෙති. ඒවා ඔවුන්ගේ ලාංඡන පමණකි.
මේ අනුව බලන කල ශුද්ධවන්තභාවය ප්‍රසාද ස්නාපනය කැඳවීම තුළ දෙවිඳාණෝ අප වෙත වගුරුවනු ලබන සුවිශේෂී තිළිණයකි. එම තිළිණය අප හට හිමි වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පාස්කු අභිරහසට අපිදු පංගුකාර වුවහොත් පමණකි.
එම නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ දිවියේ ස්වාමියාණන් ලෙස පිළිගෙන නිහතමානි, චාම්, දැහැමි දිවියක් ගත කරන්නට මෙහිදී අපට ආරාධනාවක් කෙරේ. සාන්තුවරුන් තම දිවිය තුළ අරුම පුදුම දේ සිදු කළේ තම මහිමයෙන් හෝ තම හැකියාවෙන් නොව දෙවි සමිඳුන් කෙරෙහි තිබූ විශ්වාසය , බලාපොරොත්තුව සහ ප්‍රේමය යන ගුණාංග ඉස්මතු කරලමිනි. මෙලෙස දෙවි සමිඳුන්ට ප්‍රසන්න ක්‍රිස්තු වීරවරුන් වෙමින් අචල විශ්වාසයෙන් දිවි ගෙවමින් දේව රාජ්‍යය උදෙසා ඇපකැප වී ක්‍රියා කළ යුතු බව මේ මංගල්‍යයෙන් අපට බෙහෙවින්ම පසක් කර දක්වාලයි.
අසේල දසනායක