Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

පැණසර සමිඳු සඳ

$
0
0
නොවැ 30, 2017 01:00

එක්තරා පුද්ගලයකු කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ දකුණු පසින් පිහිටා ඇති පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද විද්‍යායතන පිරිවෙන අසලදී බස් රියෙන් බැස ගත්තේ ය. ඉනික්බිතිව ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ ඔහු ඉදිරියට පියමං කළේ ය. මාර්ගය දෙපස ඇහැල, නා, ඇට්ටේරිය, තේක්ක වෘක්ෂයන්ගෙන් අලංකාර වී ඇති අයුරු ඔහුගේ නෙතට හසු විය. පියවර පහළොවක්, විස්සක් පමණ පෙරට යන විට මාවතේ දකුණු පසින් ඍජුව සිටගෙන සිටින වියපත් භික්ෂුන් වහන්සේ නමක් දැක ගන්නට ලැබුණි. මුළුමනින්ම හිස, රැවුල මුඩු කළ උන්වහන්සේ නොඋස්ය. මදක් දිගටි මුහුණින් යුතු උන්වහන්සේ ඒකාංශ කර පෙරෙවි කෂාය වස්ත්‍රය බෙහෙවින් පැරැණිය. තමන් ඉදිරියට එන ආගන්තුක මිනිසා දෙස උන්වහන්සේ විමසුම් ඇස යොමු කළහ.

“අවසරයි හාමුදුරුවනේ, මෙහෙ උපාධි අංශයේ වැඩ කරන ‘..............’ කියල සර් කෙනෙක් ඉන්නවද?”

එවිට ස්වාමීන් වහන්සේ දකුණු පසින් පෙනෙන දෙමහල් ගොඩනැගිල්ලක් වෙත සුරත යොමු කළහ.

“ඉන්නවා... මහත්තයෝ... ආං අර පැත්තෙ...”

ආගන්තුකයා ඒ ගොඩනැගිල්ල දෙසට නෙත් යොමු කළා පමණි. කළු පැහැ දිගු කලිසමක් හා සුදු පැහැ කමිසයක් හැඳි කුඩා තරුණයකු ඊ ගසක වේගයෙන්, ඉමහත් කලබලයෙන් ඔවුන් දෙදෙනා දෙසට එනු පෙනිණි. ඔහු ආගන්තුකයාට සමීප වී රහස් හඬින් මෙසේ කොඳුළේ ය.

“මේ තමයි අපේ පිරිවෙනේ නායක හාමුදුරුවෝ! වඳින්ට...! වඳින්ට...!”

එසේ කියූ ගුරුවරයා ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කළහ. මොහොතකට තුෂ්නීම්භූත වූ ආගන්තුකයාද ගුරුතුමා අනුගමනය කළේය.

ආගන්තුකයා පැමිණ සිටියේ ගුරු පත්වීමක් පිළිබඳ පුරප්පාඩුවක් ඇති බව දැන ගැනීමෙන් පසුවය. කරුණු කාරණා දැන ගැනීමෙන් පසු උන්වහන්සේ ආගන්තුකයා පිළිබඳ සියුම් නිරීක්ෂණයක් කළහ.

“මහත්තයාගෙ බොහොම හොඳ පෙනුමක් තියෙනවා. මහත්තයට මෙහෙ එන්ට පුළුවන් ද?”

ආගන්තුකයා පිළිතුරු දීමට පෙර ගුරුවරයා කට ඉස්සර කළේ ය.

“අපි මෙයාට හෙටම එන්නෙයි කියල කියමු නේද අපෙ හාමුදුරුවනේ.”

නායක ස්වාමින් වහන්සේ මද සිනා පා මෙසේ වදාළහ.

“නෑ...නෑ... හෙට නෙවෙයි. අද කවද්ද? හොඳයි ලබන සඳුදා ඔය මහත්තයා මෙහාට එන්ට.”

එසේ නිශ්චිත දිනයක් උන්වහන්සේ නම් කළේ සුබ හෝරාවක් පිළිබඳ ගණනය කර බව ආගන්තුකයා දැන ගත්තේ පත්වීම ලබා ගත් පසුවය.

අතිශයින් චාම් හා නිහතමානී ගති සිරිත්වලින් හෙබි මේ නායක භික්ෂූන් වහන්සේ රඹුක්වැල්ලේ පඤ්ඤාසාර නමින් ප්‍රසිද්ධියට පත් වූහ. පිංගල්පොත්ත රජමහා විහාරාධිපති ධුරයද, විද්‍යායතනයේ පරිවේනාධිපති තනතුරද හෙබ වූ උන්වහන්සේ ‍ඉහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝනායක ධුරයද ආලෝකමත් කළහ.

වයඹ පෙදෙස පමණක් නොව ලක්දිවම ප්‍රකට ශාස්ත්‍රාරවින්ද විද්‍යායතන පිරිවෙන ශීඝ්‍ර දියුණුවට පත් වූයේ උන්වහන්සේගේ නොපසුබස්නා උත්සාහය නිසාය. නාහිමියන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවේ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වීමෙනි. පඤ්ඤාසාර හිමියෝ දිවයිනේ පළමු වැනියාට හිමි ස්වර්ණ මුද්‍රිකාවද, වසරේ ඉහළම ලකුණු හිමි කරගත් ශිෂ්‍යයාට අයත් ‘ස්‍යාම රාජ ත්‍යාගය’ දිනා ගැනීමට සමත් වූහ.

පසුව රාජකීය පණ්ඩිත උපාධිය ලබා ගත් උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය දිනා ගත්හ. ඉන් පසුව කැලණිය සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියද ලබා ගන්නට උන්වහන්සේ සමත් වූහ. කෙසේ වෙතත් ඉතා වටිනාම කාරණය නම්, උන්වහන්සේ තුළ තිබූ දියුණු දැක්මයි. අගනුවර රැඳී සිටිමින් ශාස්ත්‍රීය සේවය සිදු කිරීමට කොතෙක් හැකියාව තිබුණ ද, උන්වහන්සේ දුර ඈත හිරියාල හත් පත්තුවේ දූ දරුවන්ගේ අධ්‍යාපනික සිහිනය සැබෑ කරලීමට පෙරටුගාමී මෙහෙවරක් ඉටු කළහ.

ඉඩ ලත් විට පත-පොත ලියමින්ද, කව් ගී පබඳිමින්ද පඤ්ඤාසාර හිමියෝ සාහිත්‍යය පෝෂණය කළහ. පහත දැක්වෙන්නේ, උන්වහන්සේ ‘උසස් පෙළ සාහිත්‍ය විචාරය’ නම් ග්‍රන්ථය සම්පාදනය කරමින් ලියූ රසාස්වාදයක කොටසකි. මෙය මහැදුරු එදිරිවීර සරත්චන්ද්‍රගේ ‘පබාවතී’ නාට්‍ය පිළිබඳ සියුම් විවරණයක් ලෙසින් සැලකිය හැකිය.

“... දුරාතීතයේ පැවත එන සිංහල නාට්‍ය කලාවක් නැති බව ප්‍රකට කරුණකි. නාට්‍ය පිළිබඳ සිංහලයන්ගේ අවධානය මද වූයේ ඔවුන් ථෙරවාදී බෞද්ධ සංස්කෘතියෙන් හික්මුණු හෙයිනි.

“කුමන නැටුම් කෙළි කවට සිනා දා” යනාදී ධර්මෝපදේශයන්ගෙන් තරයේ හික්මවනු ලැබූ ඔවුන්ට, අධ්‍යාපනයේ ආධිපත්‍යය දැරූ භික්ෂුන්ගෙන් නාට්‍ය සඳහා කෙසේ නම් අවසරයක් ලැබේද? කාව්‍ය නාට්‍ය වැනි කලාවන් ගර්හිත විද්‍යාවන් ලෙස සලකා ඉගෙනීමටත්, ඉගැන්වීමටත් භික්ෂුන්ට තහනම් වූයේ ය. මේ නිසා නාට්‍යයේ දියුණුවක් ඇති නොවීය. එබඳු තහනම් නීතියෙන් බැඳුණු අවධියකදී වුවත් පාලි, සිංහල දෙබසින්ම ලියවුණු කාව්‍යානුශාසක ග්‍රන්ථ කීපයක් ඇති බව අමතක කළ නොහේ. සුබෝධාලංකාරය, එළු සඳැස් ලකුණ, සිදත් සඟරාව ඒ ග්‍රන්ථයෝ ය.”

පිටුව 83, පළමු මුද්‍රණය 1968,

මෙම ලිපියෙන් ප්‍රකට වන්නේ පඤ්ඤාසාර නාහිමියන් තුළ තිබූ අදීන දෘෂ්ටියයි. වඩාත් විචක්ෂණ ලෙස ශාස්ත්‍රීය කරුණු ගවේශනය කිරීමට උන්වහන්සේ සමත් වූ බව මෙයින් මනාව පැහැදිලි වේ. විසි එක්වැනි සියවස තුළ ජීවත් වෙද්දීත්, ඇතැම් උගතුන් දක්වන අශාස්ත්‍රීය අදහස් දකින අපට පඤ්ඤාසාර හිමිගේ පැණවත් ගුණය වඩාත් ඉස්මතු වී පෙනේ. මෙබඳු දියුණු දැක්මක් හිමි කර ගැනීමට උන්වහන්සේ සමත් වූයේ, කිසි විටකත් ආදහනග්‍රාහී නොවී විවෘත මනසකින් යුතුව ක්‍රියා කිරීමට තිබූ දක්ෂකම හේතුවෙනි.

එසේම කිවියකු ලෙස උන්වහන්සේ පෑ දස්කම් පිළිබඳවද මේ මොහොතේ ස්මරණය කළ යුතුය. මුල් යුගයේ පොල්ගොල්ල පිරිවෙනට ගීතයක් තිබුණේ නැත. ඒ කාලයේ විද්‍යායතනයේ සේවය කළ එක්තරා ගුරු භවතකු ගීත රචකයකු ලෙස නමක් දිනාගෙන සිටියේ ය. ඔහු විසින් පබදින ලද එක්තරා ගීතයක් ඒ කාලයේ බෙහෙවින්ම ජනප්‍රිය වී තිබිණි. පඤ්ඤාසාර හිමියෝ මෙම ගුරු භවතාට පිරිවෙන් ගීයක් ලියන ලෙස වදාළහ. දින ගණනක් ගත විණි. කීප වරක් මතක් කළද අදාළ කටයුත්ත සිදු වන බවක් නම් දැකගන්නට නොලැබිණි.

එක් දිනක් සිය කුටියට වී පැයක් පමණ ගත කළ ස්වාමීන් වහන්සේ, පිටතට වැඩම කළේ කඩදාසි කොළයක්ද අතැතිවය. එය ප්‍රකට ගීත රචකයාට දෙමින් උන්වහන්සේ මෙසේ දෙසූහ.

“මහත්තයා... ඕං මං ගීතයක් ලිව්වා හොඳද බලන්ටකෝ...”

සැබවින්ම එය අපූරු නිර්මාණයක් බව ගුරුතුමාට වැටහිණි. නමුත් එහි එක් වචනයක් පිළිබඳ ඔහු තුළ කුකුසක් මතු විය.

“සේරම හොඳයි අපෙ හාමුදුරුවනේ. ඒත් මේ ‘ස්වානනියේ’ කියල කියන වචනය ඒ තරම් තේරෙන්නෙ නෑ නේද? ඒ වෙනුවට වෙනත් වචනයක් යෙදුවොත් හොඳ වෙයි.”

පඤ්ඤාසාර හිමියෝ සන්සුන්ව සිනාසුනහ. “ඉතිං මහත්තයෝ ‘අම්මා’යන තේරුම දෙන්න ඊට වඩා තවත් හොඳ වචනයක් තියෙනවද?”

පසු කලෙක විශාරද ඩෙනිස්ටර් පෙරේරා මියැසි විසිතුරින් හැඩගැන් වූ ඒ ගීතයේ කොටසක් මෙසේ ය.

“විද්‍යාරාජ විරාජිත පූජිත

ශ්‍රී ලංකා දෙරණේ

ශාස්ත්‍රාරවින්ද සුලලිත නාමය

ලොව අපරාජිත වේ

සුචරිත තෝතැන්නේ තුරු සෙවණේ

විද්‍යාලෝක සරෝජේ

බිහි කළ සුවහස් විරු දරුවන් ඇති

වීර ස්වානනියේ.”

පඤ්ඤාසාර නාහිමියෝ විද්‍යායතනයට නවාංග රැසක් එක් කළහ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය, බාහිර උපාධි අංශය, ඉංග්‍රීසි මාධ්‍ය පාසල, දේවපාල විද්‍යාලය, පරිගණක අංශය, ඉංග්‍රීසි මාධ්‍ය පෙර පාසල, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, අත්යන්ත්‍ර පේෂකර්ම පුහුණු ආයතනය ඒ අතරින් කීපයකි.

මේ සියල්ල සිදු කළ උන්වහන්සේ සිය පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් අංශුමාත්‍රයක් හෝ නොසිතූහ. උන්වහන්සේ වැඩ වාසය කළ පුටුව කොටයකට පැතලි ලීයක් සවිකර තැනූවකි. සැතපුණු සයනයට මෙට්ටයක් තිබුණේ නැත. එයින් අඩක්ම පිරී තිබුණේ පොත්වලිනි. දානය වැළඳීම පිළිබඳ පවා උන්වහන්සේගේ වැඩි තැකීමක් තිබුණේ නැත. උන්වහන්සේගේ එකම සිහිනය වූයේ විද්‍යායතනය දියුණු කර සිසු දරුවන්ගේ දෑස් පෑදීමයි.

මෙවන් ගුණෙන් හෙබි නාහිමියන් හදිසියේ අපවත් වූයේ 2008 උඳුවප් මස පළමුවැනි දිනකය; එනම් මීට නව වසරකට පෙරය.

tiniwick2705@gmail.com


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>