උතුරේ මේ දිනවල පැවැත්වෙන සැමරුම් පිළිබඳ දකුණේ විවිධ මත පළවෙමින් තිබේ. මිය ගිය අය සැමරීමට දකුණට ඇති අයිතිය උතුරට නැතිද? උතුරේ හදවත් දිනා ගැනීම සඳහා දකුණ කටයුතු කළ යුතු ආකාරය කුමක්ද? අද කොලෝසියම වෙන් වන්නේ ඒ පිළිබඳ දකුණේ වියතුන් දක්වන අදහස්වලටය.
****************
උතුරට විසඳුම් දෙන්න; සැමරුම් අහෝසි වෙයි
* ප්‍රවීණ ලේඛක ගාමීණී වියන්ගොඩ
උතුරේ මිය ගිය අය සැමරීම සමඟ යළි ත්‍රස්තවාදය නැගී සිටීමේ අවදානමක් ඇති බවට දකුණේ ජනමතයක් ගොඩ නැගෙමින් තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස?
උතුරේ වගේම දකුණේත් සන්නද්ධ අරගල තිබුණා. උතුරේ සන්නද්ධ අරගලයට එල්.ටී.ටී.ඊ. සංවිධානය නායකත්වය දෙද්දී දකුණේ අරගලය මෙහෙයවූයේ ජනතා විමුක්ති පෙරමුණයි. උතුරේ මහ විරු දිනය සමරන විට කලබල වන දකුණේ පිරිස් ජවිපෙ මූලිකත්වයෙන් ඉල් මහ සමරුව කරද්දී කිසිදු කලබලයක් පෙන්වන්නේ නැහැ. මෙතන තමයි වරද තිබෙන්නේ.
ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතනය කෙරුණේ ඔහු ත්‍රස්තාවාදී නායකයකු ලෙස සැලකූ නිසයි. ඒ කෝණයෙන් බලද්දී ප්‍රභාකරන් හා විජේවීර අතර වෙනසක් නැහැ. එල්.ටී.ටී.ඊ. සංවිධානය වගේම ජවිපෙත් මනුෂ්‍ය ඝාතනය සිදු කළා. පොදු දේපොළ විනාශ කළා. දකුණේ විජේවීර ඇතුළු ජවිපෙ සාමාජිකයන් සමරන්න ජවිපෙට තිබෙන හැකියාව උතුරේ දෙමළ ජනතාවටත් තිබීම වරදක් නොවෙයි.
එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කර මේ වන විට වසර 08ක්. තාමත් මේ දිනය සමරන්න දෙමළ ජනතාව තුළ උනන්දුවක් පවතින්නේ ඇයි?
මෙතන තමයි ප්‍රශ්නය තිබෙන්නේ. උතුරේ ජනතාව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමරන්න ක්‍රියා කරන්නේ ඇයි කියන ප්‍රශ්නය අපි හඳුනා ගන්න ඕන. ප්‍රභාකරන් ත්‍රස්තවාදී නායකයකු ලෙස අපි සැලකුවත් උතුරේ ජනතාව එලෙස සලකන්නේ නැහැ. තමන්ට ඇති වුණු ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න උත්සාහ කරපු නායකයෙක් කියන හැඟීම දෙමළ ජනතාව තුළ පවතින තාක් මේ සැමරුම් තව දුරටත් සිදුවේවි.
එල්.ටී.ටී.ඊය යුදමය වශයෙන් පරාජය කර වසර 08ක් ගත වෙලත් අපිට දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දීමට හැකියාවක් ලැබී නැති බවයි මේ මහවිරු දිනය සැමරීමෙන් දෙමළ ජනතාව අපිට කියන්නේ. මහවිරු දිනය ඇයි සමරන්නේ කියන හේතුව හොයාගෙන ඒකට විසඳුමක් දෙනවා මිස ඒක බලහත්කාරයෙන් නතර කිරීමෙන් පවතින ප්‍රශ්න තවත් උඩු දුවන්න පුළුවන්.
ජර්මන් ජනතාව ලෝකයේ බලවතා කරන්න සටන් කළ, හිට්ලර්ව ජර්මන් ජාතිකයන් අද සමරන්නේ නැහැ. ඒකට හේතුව හිට්ලර්ගේ මරණයෙන් පසු මුළු ලෝකයම ජර්මනිය සමඟ අත්වැල් බැඳගෙන ඔවුන්ට උදව් කිරීමට ඉදිරිපත් වීමයි. ඇමෙරිකාව හා යුරෝපීය රටවල් ආයෝජන රැගෙන විත් ජර්මනියට ඉදිරියට එන්න උදව් කළා. මේක අපේ රටටත් වැදගත් උදාහරණයක්.
මෙවැනි සිදුවීම් සංහිඳියාවට බාධාවක් නොවේද?
පැහැදිලිවම මේවා ඉදිරියට යාම සංහිඳියාවට බාධාවක්. ඒ සඳහා කළ යුත්තේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමයි.
පසුගිය ආණ්ඩුව සමයේ මේ අකාරයට මහවිරු දින සැමරුම් කරන්න ඉඩක් නොතිබුණ බවටත් යහ පාලන ආණ්ඩුව බලයට පැමිණි පසු එම නිදහස දෙමළ ජනතාවට ලැබී තිබෙන බවත් ඇතමුන් කියනවා?
දැන් බලන්න සයිටම් ප්‍රශ්නය. සයිටම් ඇති කළේ රාජපක්ෂ පාලන සමයේ. එදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හෝ වෛද්‍යවරු මේකට විරුද්ධ වුණාද? මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ සයිටම් විරෝධී විශාල වැඩපිළිවෙළක් දියත් වුණා. මිනිස්සු තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න නිදහස පාවිච්චි කරනවා. මේ අකාර සිදුවීම් වෙනකොට ප්‍රශ්නය ගැන රජයේ අවධානය යොමු වෙනවා. දකුණේ මේ තත්ත්වයම තමයි උතුරේත් තිබෙන්නේ. පවතින නිදහස් වාතාවරණය තුළ ඔවුන් තමන්ගේ ප්‍රශ්නවලට අවධානය දිනා ගන්න යම් යම් කටයුතු සිදු කරනවා.
අසේල කුරුළුවංශ
*******************
කලබල වෙන්න එපා සබඳතා තහවුරු කරගන්න
*මහාචාර්ය මයුර සමරකෝන්
උතුරේ මේ දිනවල සිදුවන සැමරුම රටේ ප්‍රශ්නයක් කර ගත යුතු දෙයක්ද?
එල්. ටී. ටී. ඊ. සංවිධානය සම්බන්ධයෙන් අපි දැක්කේ යුද්ධයක්. යුද්ධයක් කිරීමේ දී පාර්ශ්ව දෙකක් තිබෙනවා. ඒ පාර්ශ්ව දෙකම යුද වදින්නේ ඒ අයගේ අරමුණු වෙනුවෙන්. මෙතනදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනම රාජ්‍යයක් යන අරමුණ යටතේ යුද වැදුණා. රජයේ හමුදා ඒකීය රාජ්‍යයක් කියන අරමුණ යටතේ ඒකට එරෙහිව කටයුතු කළා. අවසානයේ වෙනම රාජ්‍යයක් ඉල්ලීම සඳහා වූ ඔවුන්ගේ සටන් ක්‍රියාදාමයන් නතර වුණේ ද්‍රවිඩ සමාජයට සහ සමස්ත සමාජයටම විශාල විනාශයක් කරමින්.
මෙතනදී එක පැත්තකට එය ත්‍රස්තවාදයක් විය හැකියි. තවත් පැත්තකට ත්‍රස්තවාදයක් නොවන්නට පුළුවන්. උදාහරණයක් විදිහට කියුබාවේ පිදෙල් ක්‍රස්තෝ කියන්නෙ ඒ රටට සම්පතක්. නමුත් ඔහු ඇමෙරිකාවට ද්‍රෝහියෙක්. චේ ගුවේරා කියන්නෙ කියුබාවේ වීරයෙක්. ධනවාදී සමාජයකදී ඔහුත් ත්‍රස්තවාදීයෙක්. හැත්තෑව හැත්තෑ එකේ කාලයේදී ජවිපෙ මෙහෙයවූවන් හැඳින්වූවේ චේ ගුවේරාකාරයෝ නමින්.
ඔවුන්ගේ සැමරීමෙන් අප අවබෝධ කරගත යුතු යම් කරුණක් තිබෙනවාද?
ඔවුන් මේ සැමරුම් කරන්නෙ ඇයි කියන එක ගැන අපි අවධානය යොමු කළ යුතුයි. ඔවුන් බලාපොරොත්තු වන සංහිඳියාව තවමත් ඒ සමාජය තුළ ඇතිවෙලා නෑ කියන එක තමයි මේ දේවල්වලින් වැටහෙන්නෙ. අනෙක් පැත්තෙන් ගත්තොත් යම් ආකාරයකින් මෙවැනි ක්‍රියාවන් පිළිබඳ අනවශ්‍ය ලෙස දකුණේ සමාජය කලබල කිරීම හොඳ දෙයක් නොවේ.
මේ දවස්වල ප්‍රභාකරන්ගේ සැමරුම වෙනුවෙන් යාපනයේ ප්‍රදර්ශනය කර තිබෙන පුවරුවක් විදිහට ෆේස්බුක් මාධ්‍ය ජාලයේ ලොකු ප්‍රචාරයක් ගෙන යනවා. නමුත් එහි තිබෙන්නෙ තමිල්නාඩුවේ පුවරුවක්. තමිල්නාඩුවේ ප්‍රචාරය කරල තිබෙන පුවරුවක් යාපනයේ ප්‍රදර්ශනය කරන විදිහට ලොකු ප්‍රචාරයක් ගෙන යනවා.
මේවා සිදු කරන්නෙ විවිධ සංවිධානගත කණ්ඩායම් විසින්. මෙවැනි තත්ත්වයන්ගෙන් අපි මීට වැඩිය වඩාත්ම ධනාත්මකව බැලීමෙන් සහ මෙවැනි බොරු ප්‍රචාර හරහා මේ සමාජ කණ්ඩායම් දෙක තව තවත් දුරස් කිරීම සිදු කළ යුතු නැහැ.
දෙමළ-සිංහල සංහිඳියාව ඇති කිරීමට කුමක්ද කළ යුත්තේ?
යුද්ධයට පෙර ද්‍රවිඩ හා සිංහල සමාජය අතර ඉතාමත්ම හොඳ සම්බන්ධතා පැවැතුණා. අපේ සිංහල සමාජය යාපනයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වුණා. යාපනයේ අය දකුණේ ව්‍යාපාර කටයුතු කළා. විවාහ ගනුදෙනු පවා සිද්ධ වුණා. පසු කාලීනව මේ තත්ත්වය විනාශ කළේ විවිධ දේශපාලනඥයන්. මොකද දේශපාලනඥයන් හරිම කැමැතියි මේ ජනසමාජය වෙන්වෙලා ඉන්නවා නම්. ජනසමාජය වෙන් වූ තරමට තමයි ඔවුන්ගේ පැවැත්ම තියෙන්නෙ.
ඔබ කියන්නේ මේ සැමරුම් පිටුපස දේශපාලනය තියෙන බවද?
එල්ටීටීඊ සමාජිකයන් සැමරීම නීති විරෝධි ක්‍රියාවක් වෙන්නෙ එල්ටීටීඊය ශ්‍රී ලංකාවේ තහනම් කළ සංවිධානයක් නිසයි. තහනම් කළ සංවිධානයක සමාජිකයන් සමරන්න බැහැ. ඒක තමයි නීතිමය පැත්ත. ඒ නිසයි එය නීති විරෝධි ක්‍රියාවක් බවට පත්වන්නෙ.
ඇත්තටම මේ සැමරුම කරන්නෙ යාපනයේ සාමාන්‍ය මිනිසුන් නොවන බව අපි තේරුම් ගත යුතුයි. මේ සියලු දේ සිදු කරන්නෙ ද්‍රවිඩ ජනතාවගේ ඡන්දවලින් බලය ලබා ගැනීමට සිටින ද්‍රවිඩ දේශපාලනඥයින්. සාමාන්‍ය මිනිස්සු ඉතාමත්ම අහිංසකයි. දහයක් පහළොවක් එකතු වෙලා කරන වැඩකට දකුණේ අපි ගොඩක් කලබල වෙනවා. දකුණේ ජනතාවට කියන්නට තියෙන්නෙ උතුරේ දේශපාලනඥයන් කීප දෙනෙක් එකතු වී කරන මේ කටයුත්තට කලබල නොවී උතුරේ ද්‍රවිඩ ජන සමාජය සමඟ සම්බන්ධකම් තව තව අපි තහවුරු කරගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.
ක්‍රිසන්ති විතාරණ
********************
දකුණේ ජනතාව කලබල විය යුතු නෑ
* ආචාර්ය නිර්මාල් රංජිත්
යාපනයේ සැමරුමට දකුණේ ජනතාවගේ විරුද්ධත්වයක් තිබෙනවා. මේ ගැන ඔබ දරන ආකල්පය මොන වගේද?
මේක මම දකින්නේ දකුණේ ජනතාවගේ උද්දච්චකම විදියටයි.
එහෙම කියන්න හේතුව මොකක් ද?
දකුණේ සිංහල ජනතාවගේ මතය වෙලා තිබෙන්නෙ උතුරේ ජනතාව ජීවත් වෙන්න ඕන දකුණේ ජනතාවට අවශ්‍ය ආකාරයට කියලයි. ඒ නිසා ඔවුන්ගෙ ආකල්පය වී තිබෙන්නේ උතුරේ ජනයා කරන කියන දේ තමන්ගෙ හොඳ හිත රැකෙන ආකාරයට සිදුවිය යුතුයි කියලා. දකුණේ ජනතාවට කරන්න හොඳ දේ උතුරේ ජනතාවට කරන්න දෙන්නෙ නැහැ.
මේ කාරණාව දෙස දකුණේ ජනතාව කෙසේ බැලිය යුතු ද?
උතුරේ ජනයා ගරු කරන කෙනෙක් සැමරුවාට දකුණේ ජනයා කලබලවිය යුතු නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තම දකුණේ විජේවීරට ගරු කරන පිරිස විජේවීර සමරන කොට විජේවීරට අකමැති අය ඒකට විරුද්ධ වෙන්නෙ නැහැනේ. මම පසුගිය දවස්වල ප්‍රවෘත්තියක් දැක්කා යාපනයේ විශ්වවිද්‍යාලයට අනුබද්ධ වව්නියාවෙ විශ්වවිද්‍යාලයේ පවත්වපු ප්‍රභාකරන්ගෙ උපන්දින උළෙලට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් බලහත්කාරයෙන් සම්බන්ධකරගෙන ඒ අයට අකමැත්තෙන් කේක් කැව්වා කියලා. අන්න ඒවා නොවිය යුතු දේවල්. බලහත්කාරයෙන් සම්බන්ධ කරගැනීම්වලට විරුද්ධවෙන්න ඕන.
ප්‍රභාකරන් අනුස්මරණය කරන්න ඕන අය ඉන්නවා නම් ඒ දේ කරනවා. මගේ මේ අදහසට විරුද්ධ දේකුත් තිබෙනවා. ඒ තමයි ජර්මනියේ හිට්ලර් සමරන්න ඉඩදෙනවද කියන කාරණයයි. ඒකට හේතුව ජර්මනියෙ හිට්ලර් සමාජයට කළ දේවල් ගැන කාලයක් තිස්සේ සාකච්ඡා කරලා යම් මතයක් ගොඩනගා ගෙන තිබෙනවා. ඒ නිසා හිට්ලර්ගෙ ප්‍රතිරූපය ප්‍රවර්ධනය වන කිසිවක් තම රට තුළ නොකරන්න ජර්මනියෙ ජනතාව තීන්දුවකට ඇවිත් තිබෙනවා .
ඒ තත්ත්වය යටතෙත් හිට්ලර්ට ගරු කරන සුළු පිරිසක් ඉන්නවා. ඒකට හොඳම උදාහරණය තමයි පසුගිය දිනවල ජර්මනියෙ පැවැත්වූ මැතිවරණයේදී හිට්ලර් අගය කරන පිරිසට 13%ක ඡන්දයක් ලැබුණා. බැරිවෙලාවත් ඒ ප්‍රතිශතය වැඩි වුණා නම් ජර්මනියෙ හිට්ලර් පිළිබඳ ගොඩනැඟුණ ආකල්පය වෙනස් වෙන්නත් තිබුණා.
ජර්මනියෙ තත්ත්වය එහෙම වුණාට ලංකාවෙ තත්ත්වය ඊට වෙනස් නේද?
ඔව්! අපේ රටේ දකුණේ ජනතාව ප්‍රභාකරන් ද්‍රෝහියෙක් වශයෙන් පිළිගත්තට උතුරේ ඇතැම් ජන කොටස් එහෙම හිතන්නෙ නැහැ. ජර්මනියේ ජනතාව හිට්ලර් ගැන හිතන ආකාරයට ලංකාවෙ දකුණේ ජනතාව ප්‍රභාකරන් ගැන හිතනවා. ඒත් උතුරේ ජනතාව ප්‍රභාකරන් ගැන එහෙම හිතන්නෙ නැහැ.
ඒ වුණාට උතුරේ ඇතැම් ජන කොටස් ප්‍රභාකරන්ගේ ක්‍රියාවන්ට විරුද්ධව සිටියා නේද?
ඔව්! මෙහෙම හිතමු! දකුණේ ඇතැම් ජන කොටස් විජේවීරට විරුද්ධ වුණාට ඔහුගේ මරණය සිදුවූ ආකාරය ගැන පැහැදීමක් වුණේ නැහැ.
අන්න ඒ වගේ දෙයක් උතුරෙත් සිදුවුණා. ඒ වගේම උතුරේ සමහර ජනකොටස් තුළත්, ප්‍රභාකරන් තමන්ගේ දේශපාලන අභිලාශයන් වෙනුවෙන් වැඩ කළ කෙනෙක් කියලා ඔහු ගැන මතයක් තිබෙනවා. ඒ නිසා ඒ අය ප්‍රභාකරන් සමරනවා. ඒක ඒ අයගෙ කැමැත්ත. ඉතිං මම හිතනවා ඒ ගැන දකුණේ ජනතාව කලබල විය යුතු නැහැ කියලා.
නිශාන් මෙන්ඩිස්
*******************
වැරදි හදාගෙන සාමය දිනාගන්න ඕනෑ
*ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
උතුරේ මිය ගිය අය සැමරීම පිළිබඳ විවිධ මත, දකුණේ ඇති වෙමින් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
මිය ගිය අයෙක් වෙනුවෙන් කවුරු හරි සැමරුවක් කරනවා නම්, ඒ අය කියන්න පුළුවන් ඒක ගුණ සමරුවක් කියලා. අපිට අවශ්‍ය නෑ ඒක ගුණ සමරුවක් හැටියට බාර ගන්න. නමුත් සමරුවක් තැබීම සෑම කෙනෙකුටම මානුෂිකව තියෙන අයිතියක්. සාමාන්‍යයෙන් නිවෙස්වල මිය ගිය අය සිහිපත් කරලා ආගමික කටයුතු කරනවා. එතැන දී මිය ගිය පුද්ගලයා අපරාධකරුවෙක්ද, දූෂිතයෙක් ද කියලා බලන්නේ නෑ. ඒ නිසා මේ වගේ කාරණයකදී කිසිසේත්ම ඊට එරෙහි වීම හෝ චෝදනා කිරීම සුදුසු නෑ කියලා මට හිතෙනවා.
ඒක අපේ රටේ සංහිඳියාවට බාධාවක් නොවේ ද?
මිය ගිය අය සිහිපත් කරන එක අපේ රටේ සංහිඳියාවට හා ගමන් කරන මාවතට බාධාවක්, හිරිහැරයක් නෙවෙයි. නමුත් ඒ සිහිපත් කරන අය තමන්ගේ ජනතාව වෙනුවෙන් අරගල කරපු අය වගේම සටන් කරපු අය.
හැබැයි එල්. ටී. ටී.ඊ.ය යුද්ධ කරපු එක වැරැදියි. තමන්ගේ ජනතාව වෙනුවෙන් මිය ගිය පුද්ගලයන්ට මීට වඩා වෙනස් ක්‍රියාමාර්ග ගන්න තිබුණා. සටන් කරන්නෙ නැතිව මේ ප්‍රශ්න විසඳගන්න තිබුණා. ඔවුන් ඔවුන්ගේ ජනතාව වෙනුවෙන් නිවැරැදි ක්‍රම භාවිතා කළා නම් අද මේ මතු වෙන ප්‍රශ්න මතු වෙන්නෙත් නෑ.
දකුණේ ජනතාවට මේ සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් එල්ල කරන්න හැකියාවක් තියෙනවා. හේතුව තමයි එල්. ටී. ටී.ඊ.ය අවි අතට අරන් සටන් කරපු එක. දැන් කරන්න තියෙන්නේ, අතීතයේ වගේ සටන් ඇති නොවන්න අවශ්‍ය ප්‍රතිකාරයක් කිරීමයි.
මේ සම්බන්ධයෙන් රජයත් දේශපාලන පක්ෂත් කටයුතු කළ යුත්තේ කවර ආකාරයෙන් ද?
මේ වෙලාවේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට කියන්න පුළුවන්, ඒ අය ඒ අයගේ ආදරණීයන් සිහිපත් කරන එකට අපි ඒ තරම් විරුද්ධ විය යුතු නෑ කියලා. නමුත් ඒ මිය ගිය අය අනුගමනය කළ සටන් ක්‍රමය වැරැදියි කියලා කියන්නත් ඕනේ. ඒ සිදු කළ දේවල්වලට වඩා නිවැරැදි ක්‍රම ඕනෑ තරම් භාවිතා කරන්න තිබුණා කියන එකත් අපේ නායකයන්ට කියන්න පුළුවන්.
ඒ වගේම ඒ වැරැදි හදාගෙන මේ රට තුළ සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න ඔය සැමරුම් කළ අය හිතට ගන්න ඕන කියලා කියන්න පුළුවන්. එහෙම කළ අයට අවවාදයක් විදිහට අපේ නායකයන් මේ දේ මතක් කරලා දෙන්න ඕන. එහෙම නැතිව නැවත වරක් ජාතීන් විදිහට බෙදිලා යුද්ධයකට තල්ලු වෙනකල් බලා ඉන්න හොඳ නෑ.
දුමින්ද අලුත්ගෙදර