උදාර රත්නායක
l නෙලා චිත්‍රපටයේ ඔබ රංගනයෙන් දායක වෙන චරිතය කෙබඳු එකක්ද?
ඒක අන්ධ ආදරවන්තයෙක්ගේ චරිතයක්. මම රංගන ශිල්පියෙක් හැටියට විශාල චිත්‍රපට ගණනාවකට සම්බන්ධ වෙලා නෑ. ඉතාමත් සීමිත චිත්‍රපට ප්‍රමාණයක තමයි මට රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ. ඉතිං ඒ ලැබිච්ච අවස්ථාවලින් අනිවාර්යෙන් ම සුවිශේෂ අවස්ථාවක් තමයි මේක. මොකද වෙනස් ම චරිතයක්. හරි ම හැඟුම්බර චරිතයක්. මට මේක මුලින් ම කරන්න ආරාධනා කරනකොට පොඩි චකිතයකුත් තිබුණා. ඒ වුණත් මම හිතනවා මම ඒ චරිතයට සාධාරණත්වය ඉෂ්ට කළා කියලා.
l "නෙලා"බලපු අයගේ ප්‍රතිචාර එහෙම කොහොමද?
ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. එක්කෙනෙක් දෙන්නෙක් විචාරයට ලක්කරලා තියෙනවා. සියට අනූනවයක් ම ඉතාමත් හොඳ ප්‍රතිචාර තමයි ලැබුණේ. ලැබුණ හැම ප්‍රතිචාරයක් ම ඉතාම සුබවාදීව සහ ඉගෙනගන්න දෙයක් තියෙන ප්‍රතිචාර විදිහට බාරගන්නවා. මිනිස්සු ඇත්තට ම චිත්‍රපටියටත් නෙලාටත් මගේ චරිතයටත් විශාල වශයෙන් ආදරය කරනවා. ඒ එක්ක බැඳිලා තියෙනවා. මොකද අපිට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ බව දැනෙනවා. ප්‍රේක්ෂකයො කවි, සිංදු ලියලා එවනවා. ඉතිං හරි ම සතුටින් ඒවා බාරගන්නවා.
l මේ චිත්‍රපටයෙ තිරරචනය බෙනට් රත්නායකයන්ගේ. ඔහු ඔබේ පියා වුණු නිසාද ඔබට නෙලා ප්‍රධාන චරිතයට පණ පොවන්න අවස්ථාව උදා වුණේ?
තාත්තා මේ චිත්‍රපටය තිරරචනය කරනකොට ඉතිං මේ චරිතයට මම ගැලපෙනවා කියලා හිතෙන්නැති. ඒ හේතුව නිසා තමයි ඔහු මට ආරාධනා කළේ. කිහිප දෙනෙක් කියනවා මේක මං වෙනුවෙන් හදපු චිත්‍රපටයක්ද දන්නෙ නෑ කියලා. එහෙම පොඩි චෝදනාවක් තියෙනවා. ඒත් ඇත්තට ම එහෙම දෙයක් නෑ. මං වෙනුවෙන් චිත්‍රපටියක් හදනවා නම්, මීට අවුරුදු ගණනාවකට කලින් මාව සිනමාවට ගේන්නත් නළුවෙක් කරන්නත් ඔහුට අවශ්‍යතාවක් තිබුණා නම් ඒ දේ කරන්න පුළුවන් පසුබිම තිබුණා. ඒ වුණාට ගැලපෙන චරිතයක් එනකම් මට ඒ ආරාධනාව ලැබුණෙ නෑ. නෙලා බලපු බොහෝ දෙනෙක් ඉතාමත් ස්වාධීනව කියලා තියෙනවා ඒ චරිතයට මම ගැලපෙනවා කියලා. මං හිතනවා ඉතිං තාත්තාගෙ විතරක් නෙවෙයි ඒක සාමූහික තීන්දුවක්. නිෂ්පාදකවරුන්, කැමරාකරුවන්, සහය අධ්‍යක්ෂකවරුන් සියලු දෙනාම එකතු වෙලා කණ්ඩායමක් හැටියට ගත්ත තීරණයකට අනුව තමයි මම හිතන්නෙ මට මේ චරිතයට අවස්ථාව ලැබුණෙ.
l උදාර රත්නායක කියන චරිතය සිනමාට ප්‍රවිශ්ට වුණේ කොතනින්ද?
මම කුඩා කල සිට ම අපිට තිබුණු පවුල් පසුබිමත් එක්ක සම්බන්ධතා රැසක් තිබුණා මේ ක්ෂේත්‍රයත් එක්ක. ඒ හරහා ඉතිං අපිට පොඩි පොඩි අවස්ථා ලැබුණා, පොඩි කාලෙ ඉඳලම ටෙලිනාට්‍යවලත් චිත්‍රපටිවලත් රඟපාන්න. ඒවා ඉතාමත් කුඩා චරිත. ටෙලි නාට්‍ය ගණනාවක ඉතිං සීන් එකක් දෙකක් රඟපාලා තියෙනවා. චිත්‍රපටිවලත් එහෙමයි. ගොඩක් දෙනෙක් දන්නෙ නෑ මම "හිරිපොද වැස්ස"කියන චිත්‍රපටියෙත් එක සීන් එකක රඟපෑවා. ඒක තමයි මම රඟපෑව පළවෙනි චිත්‍රපටිය. ඇත්තට ම කවුරුත් දන්නෙත් නෑ. මං හිතන්නෑ කාටවත් හරියට දකින්නවත් ලැබුණා කියලා. ඒ චිත්‍රපටියට ම එක සීන් එකක විතරයි මම රඟපෑවේ. ඒකත් තත්පර පහලොවක විස්සක විතර සීන් එකක්. එතනින් පස්සෙ තමයි මට "ඉරහඳ යට" ,"දළදා ගමනය" , "නෙලා", "පෝරිසාදයා"වගේ චිත්‍රපටවල රඟපාන්න අවස්ථාව ලැබුණෙ.
l ඔබව දකින්න පුළුවන් සීමිත නිර්මාණ සංඛ්‍යාවක විතරයි. ඒකට හේතුව ඔබ නිර්මාණ තෝරාබේරගෙන රංගන දායකත්වය ලබාදීමද?
එහෙම නෙවෙයි. ඇත්තටම මම පූර්ණ කාලීන රංගන ශිල්පියෙකු පමණක් නෙවෙයි. දේශපාලන කටයුතුත් ව්‍යාපාර කටයුතුත් කරගෙන යනවා. ඉතිං ලැබෙන විවේකයත් එක්ක තමයි කලාවට ආදරේ කරන නිසා මේ ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ වෙන්න හැම තිස්සෙම උත්සාහ කරන්නෙ. ඒ උත්සාහ කළත් අද තියෙන්නෙ ඉතාමත් සීමිත අවස්ථානෙ හැමෝටම. කනගාටුයි කියන්න, රංගන ශිල්පිනියන්ට, ශිල්පීන්ට එහෙම තෝරාබේරාගෙන චරිත කරන්න පුළුවන් තරම් ක්ෂේත්‍රයක් අද ලංකාවෙ නෑ. ඒක ඉතිං ලැබෙන චරිතවලට ඒ අයගෙ තියෙන කැමැත්ත අකමැත්ත අනුව තීරණය වෙනවා. ඒත් ඇත්තට ම මට නම් මුලදි මුලදි ආරාධනා ලැබුණා නිර්මාණ කිහිපයකට ම. ඒ වුණාට පස්සෙ පස්සෙ මගේ තියෙන කාර්යබහුලත්වය නිසා සමහර වෙලාවට ගොඩක් අය කතා කළෙත් නෑ. ඒ අය හිතුවා මම රඟපාන්නෙ නෑ. තාත්තගෙ නිර්මාණ, අපේ නිෂ්පාදනවල රඟපානවා විතරයි කියලා. එහෙම එකකුත් නෑ. ආරාධනා ඇත්තටම ලොකුවට ලැබුණා කියනවා නම් මම කියන්නෙ බොරුවක් වෙනවා. ඒ වුණත් ලැබුණ ඒවායෙන් යම්කිසි තෝරාබේරාගැනීමක් කරගෙන, තමයි නිර්මාණවලට දායක වෙලා තියෙන්නෙ.
l ඉදිරියේදී ඔබ ප්‍රේකෂකයා ඉදිරියට එන්නෙ මොන වගේ නිර්මාණ හරහාද?
මීට වසරකට විතර කලින් කරපු ටෙලිනාට්‍යක් දැනට විකාශය වෙන්න තියෙනවා. මේ තියෙන ගැටලුත් එක්ක විශාල කාල පරාසයක් ගත වෙනවානෙ රූගත කිරීම් අවසන් කළ ටෙලිනාට්‍යයක් පවා විකාශය වෙන්න. අවුරුද්දකට හමාරකට කලින් කරපු ටෙලිනාට්‍යක් විකාශය වීමට නියමිත ව තියෙනවා. ඊට අමතරව විශේෂ දෙයක් නෑ. "පෝරිසාදයා", "නෙලා"තිරගත වුණා. ඉදිරියෙ දි තව චිත්‍රපටයක රඟපාන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ ගැන තාම දීර්ඝව කතා කරන්න පුළුවන් පසුබිමක් නෑ. මේ අවුරුද්දෙ ඒ චිත්‍රපටයෙ වැඩකටයුතුවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
රංගන ශිල්පියෙකු ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් වෙන්න නම් මොන වගේ චරිත ලක්ෂණ දරන්න ඕනෙද?
ඇත්තට ම ජනප්‍රිය වෙන්න නම් එහෙම ලොකු දෙයක් අවශ්‍ය වෙන්නෙ නෑ. දක්ෂතාවය අතින් ඉහළට යන්න තමයි අවශ්‍ය වෙන්නෙ. අද මෙගා ටෙලි නාට්‍යයක හිටියත් විශාල වශයෙන් ජනප්‍රිය වෙන්න හැකියාවක් තියෙනවා ඕනෙ ම කෙනෙකුට. ඒ වුණාට ඒ දේ පවත්වාගෙන යෑමෙ සහ ඒ ඔහුගේ දක්ෂතාව අගය කරනවා කියන තැනක ඉඳලා ජනප්‍රිය වුණාද කියන එකේ ගැටලුවක් තියෙනවා. තමන් කරන නිර්මාණයට ඒ අවශ්‍ය දායකත්වය පූර්ණ වශයෙන් ලබා දෙනවා නම් සහ තමන් නිහතමානී චරිතයක් නම් ජනතාව මං හිතන්නෙ ඔහුව බාරගනියි. ඒ වුණාට අද තියෙන ජනප්‍රියත්වය ගැන කතාකරනවා නම් අද ඉතිං කොටස් සීයක දෙසීයක හැමදාම රඟපෑවොත් ඔහු ජනප්‍රියයි කියන තැනක තමයි අද කර්මාන්තය තියෙන්නෙ.
l චිත්‍රපට ක්ෂේත්‍රය ඇතුළෙ ඔබ දකින අභියෝග මොනවද කියලා ඇහුවොත්?
චිත්‍රපට ක්ෂේත්‍රය ම අද අභියෝගයක් වෙලා තියෙන්නෙ. ගැටලු රැසක්. හරිම ව්‍යාකූල තත්ත්වයක් තියෙන්නෙ කොතනින්ද විසඳගත යුත්තෙ කියලා. මොකද රටේ චිත්‍රපට ක්ෂේත්‍රයේ යටිතල පහසුකම්වල විශාල ගැටලුවක් තියෙනවා. අද සිනමා ශාලා 10කටත් අඩු ප්‍රමාණයක තමයි ලංකාවේ හොඳට චිත්‍රපටියක් බලන්න පුළුවන් පසුබිමක් තියෙන්නෙ. ඉතිං චිත්‍රපටයක් කරලා, ඒක ප්‍රෙක්ෂකයෝ අතරට ගෙන යෑමේ විශාල ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව හරහා නිෂ්පාදකවරුත් අධ්‍යක්ෂකවරුත් වෙළඳපොළත් එක්ක කොටු වෙලා ඉන්න තැනකට ඇවිත් තියෙනවා. ඉතිං ඒ හරහා නිර්මාණයේ වියදම් පැත්ත සහ හැමදේම ගැන හිතලා නිර්මාණයේ ගුණාත්මක භාවය සමහර වෙලාවට අඩු කරන්න වෙනවා මේ වෙළඳපොළේ තියෙන ගැටලු නිසා. මේ ගැටලුව විසඳන්න රජයේ විශාල මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි. අද බෙදාහැරීමේ පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ. ඒක තවත් විශාල ගැටලුවක්. යටිතල පහසුකම් එක ගැටලුවක්. පැහැදිලි ප්‍රතිපත්තියක් නැති එක තව ගැටලුවක්. අද සිනමා ශාලාවකට ගියාම චිත්‍රපටි තුනක් පෙන්නනවා. උදේ එකයි, දවල් එකයි හවස එකයි. සමහර දාට "නෙලා"බලන්න ගියාම වෙන එකක් පෙන්නන්නෙ. වෙන එකක් බලන්න ගියාම "නෙලා"පෙන්නන්නෙ. ඒ වගේ බෙදාහැරීමේ විශාල ගැටලු රාශියක් තියෙනවා. යටිතල පහසුකම් ගැටලු තියෙනවා. ලංකාවේ ඇත්තටම ඉතාමත් දක්ෂ නිර්මාණකරුවන්, රංගන ශිල්පීන් ශිල්පිනියන්, කාර්මික ශිල්පීන් වගේ ම කැමරාකරුවන් පිරිසක් ඉන්නවා. ඒත් ඔවුන්ගේ දක්ෂතා එළියට ගෙනියන්න තියෙන පාර කැඩිලයි තියෙන්නෙ. පාරෙ වළවල් හැමතැනම. ඉතිං පාරෙ වළවල් ටික වහන එක රජයෙ වගකීම විය යුතුයි, මේ කලාව ආරක්ෂා කරගන්න. අපිත් තරුණ දේශපාලනඥයො හැටියට ඒ සඳහා අවශ්‍ය අවකාශය සහ හඬ ලබාදෙනවා. නමුත් කනගාටුයි කියන්න, කලාව ගැන ඉතාමත් අඩු උනන්දුවක් දක්වන දේශපාලඥයන් පිරිසක් තමයි අද ලංකාවෙ ඉන්නෙ. ඉතිං ඔවුන් ඒ කලාවට අවශ්‍ය වැදගත්කම ලබාදිය යුතුයි. මොකද රටක අනන්‍යතාව රටේ සිනමා කර්මාන්තය හා කලාව හරහායි ගොඩනැගෙන්නෙ. ඒ අවශ්‍ය මැදිහත් වීම රජය ලබා දීලා, මේ කර්මාන්තය ගොඩගෙන... මේක විතරක් නෙවෙයි වේදිකාව, ටෙලිනාට්‍ය, සංගීතය ආරක්ෂා කරගැනීමට මැදිහත් වෙන්න ඕනෙ. ආණ්ඩුව මැදිහත් වෙලා මේ කර්මාන්තය ගොඩගත යුතුයි. මේ පාලකයන්ට සහ ජනතාවට රටේ කලාව ගැන කැක්කුමක් නැති වීම ගැන ඇත්තෙන් ම දුක් වෙනවා.
l ඔබ ජීවිතේ ගැන මොන විදිහටද දකින්නෙ?
ඉතාමත් සරලව තමයි දකින්නෙ. ලොකුවට ව්‍යාකූල කරගෙන, ගැටලු සහගතව නැතුව, තියෙන දෙයින් සතුටු වෙලා, තමන්ට ආදරේ කරන පිරිස සමඟ කාලය ගතකරමින් සතුටින් ජීවිතේ ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. තමන්ට කරන්න පුළුවන් උදව්වක් අනිත් වෙනුවෙන් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නෙ. ලොකුවට නෙවෙයි ඉතාමත් සරලව ජීවිතය ගෙනියන්න තමයි බලාපොරොත්තු පෞද්ගලික වශයෙන්. බුද්ධිමය වශයෙන් ඒක වෙන ම කතන්දරයක්.
l සිනමාවෙන් එපිට ඔබේ ඉලක්කයන් ගැන කතා කළොත්?
දේශපාලන වශයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. රටට, මිනිස්සුන්ට කලාව හරහාත් හොඳ දෙයක්, සතුට ගෙනෙන දෙයක් ලබාදෙන ගමන් ම දේශපාලනය හරහාත් මිනිස්සුන්ගේ ජීවිතවලට සහනයක්, සතුටක් ලබාදෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.
l පවුලෙ විස්තර ටිකක් කියමුද?
මට අවුරුදු එකහාමාරක පොඩි පුතෙක් ඉන්නවා. ඔහු සමඟ ඉතාමත් විනෝදකාමීව දවස් ගෙවෙනවා. අනිත් වැඩ කටයුතු කරගෙන යන ගමන් පවුල වෙනුවෙන් විශේෂ අවධානයක් දෙමින් වගේ ම කාලය වෙන්කර ගනිමින් බිරිඳයි මමයි පුතයි ගොඩක් ආදරෙන්, සතුටින් ඉන්නවා.
සටහන
කාංචනා සිරිවර්ධන
ඡායාරූපය-දයාන් විතාරන