Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

දිවි අඹරින් නික්මී ගිය රුසිරු තරුව එඩ්නා

$
0
0
මාර් 20, 2018 01:00

 ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන පුහු ප්‍රලාපයක් කළ ඇය, කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් දැන හැඳින සිටි අයුරින් වේදිකා, සිනමා, ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියක් පමණක් නොව, සංගීත ආචාර්යවරියක්, ගත් කතුවරියක්, ජ්‍යෝතීශ් ශාස්ත්‍රවේදිනියක්, ගායිකාවක්, යෝගා භාග්‍යය ප්‍රගුණ කළ ශිල්පිිණියක් හා පියානාව, විදුලි ඕගනය, හවායින් ගිටාරය, පියානා එකෝඩීනය වැනි සංගීත භාණ්ඩ වාදනය සඳහා ලන්ඩන් ඩිප්ලෝමා ලාභිනියක ද ලෙස පුළුල්ව විසිරී පැතිරී ගිය වපසරියක ඇයගේ සහජ හැකියාවන් පිහිටුවා ලීමට හැකි දිරිය කාන්තාවක් ද වූවා ය.

කළුතර දිස්ත්‍රික්කයට අයත් පානදුර වෑකඩ සොඳුරු ගම් පියසේ අක්කර 48 කින් සමන්විත සුවිශාල භූමිභාගයක පිහිටි වලව්වක පදිංචිව සිටි තොටගේ ධර්මවංශ සුගතපාලයන්ගේ පීතෘත්වයෙන් සහ මේරි බර්ණදෙත් සුගතපාල මැතිණියගේ මාතෘත්වයෙන්, 1946 ජනවාරි මස 03 වන දින උපන් සිඟිත්තියට එඩ්නා කමලා යෙරෝමනී සුගතපාල යන නාමය ඔවුන් විසින් තබන්නට වූවාය. පස්දරු පවුලක ඇය මද්දුමිය විය. ඇයට වැඩිමහල් සහ බාල සොහොයුරන් දෙදෙනකු සහ සොහොයුරියන් දෙදෙනකු විය. ඔවුන් උපතින්ම උග්‍ර කිතුණු භක්තිකයන් වූවාය. ඒ කිතුණු පසුබිම නිසාම පුංචි එඩ්නාගේ අධ්‍යාපනයේ මුල් අවධිය බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේත්, අවසන් අදියර පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේදීත් නිමකිරීමට කටයුතු සැලසින. ඇයගේ පවුලේ සියල්ලන්ටම කලා ආභාෂය උපතින්ම පිහිටා තිබුණ බවක් පෙනේ. 1962 වසරේ තිරගත වූ උපාලි වනසිංහ අධ්‍යක්‍ෂණය කළ ‘‘ දස්කොන් ’’ චිත්‍රපටය නිෂ්පාදනය කළ ප්‍රගති නිෂ්පාදන කණ්ඩායමට ඇයගේ මව සම්බන්ධව සිටියාය. කිවිඳියක වූ ඇයගේ වැඩිමහල් සොහොයුරිය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරින් යටතේ සංගීතය හදාරා ඇති අතර, වැඩිමහල් සොහොයුරා බටනලා වාදනයට සමත්කම් පා ඇත. බාල සොහොයුරා චිත්‍ර ශිල්පයට සම්බන්ධව සිට ඇත. බාල සොයුරිය මිරැුන්ඩා හේමලතා විසින් නිෂ්පාදනය කරන ලද වේදිකා නාට්‍යයන් හි රංගන ශිල්පිණියක ලෙස කටයුතු කරමින් සිට ඇත. මෙවන් කලාකාමී සොඳුරු පරිසරයක හැ දී වැඩුණු එඩ්නා වයස අවුරුදු හයේ සිටම පියානාව වාදනය කිරීමට රුචිකත්වයක් හා දක්ෂතාවයක් දක්වා ඇත. සංගීතයට මෙන්ම පත පොතටද මහත් ඇල්මක් උනන්දුවක් දැක්වූ ඇය දහසය හැවිරිදි වියේ දී සමාජ විග්‍රහයක් ලෙසින් ‘‘ සුගත චින්තා ’’ නමින් කෙටිකතා සංග්‍රහයක් ඉදිරිපත් කරමින් ලේඛිකාවක් ලෙස ද පියවරක් තැබුවාය.

එවකට ඉංජිනේරුවරයකු වූ ඩික්මන් හැරල්ඩ් ඩයස් (ඩික් ඩයස්) පානදුර ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින්, කලා සංගමයක් පිහිටුවා ගෙන සිටි අතර, ඒ තුළින් වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයක් රඟදක්වා තිබිණ. එඩ්නාගේ අසල්වාසී යෙහෙළියක වූ පසුකලෙක ජනප්‍රිය නිළියකු වූ ජීවරාණි කුරුකුලසූරිය ද ඩික් ඩයස් ගේ නාට්‍ය කණ්ඩායමට සම්බන්ධව සිිටි නිසා, වැඩිහිටියන්ගේ ආශිර්වාදය මත එඩ්නා ද මෙයට සම්බන්ධ විය. මොවුන් දෙදෙනා නිවුන් සොයුරියන් ලෙස එක සමාන රුවැත්තියන් වූවාය.

1957 වසරේ දී ‘‘ මහහේනේ ඊරී යකා ’’ නාට්‍යයේ රඟපෑ ජීවරාණි පසුව සිනමා රංගනයට එක්වීමත් සමඟම, එම කණ්ඩායමේ ඉහලට ඒමට එඩ්නාට අවස්ථාව සැලසිනි. ඒ අනුව 1966 වසරේ දී ඩික් ඩයස් නිපදවූ ‘‘ ගැහැණු හටන ’’ වේදිකා නාට්‍ය හරහා ඇය ප්‍රථම රංගන අභිෂේකය ලැබීය.

ගමේ යෙහෙළියක වූ ජීවරාණිගේ ඇරයුම මත කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්‍ෂණය කර 1966 වසරේ දී තිරගත වූ ‘‘ සැනසුම කොතැනද ’’ චිත්‍රපටයේ ඇතුලත් ගායන ශිල්පී හරූන් කුමාර් ලන්ත්‍රා සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ ‘‘ සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලේ ’’ යන ගීතය සඳහා ගාමිණි ෆොන්සේකා සහ ජීවරාණි සමඟ පෙනී සිටිමින් සිනමා රංගනයට පිවිසි ඇය, දස්කොන් චිත්‍රපටයට මව සම්බන්ධ වීම නිසා පසුකලෙක පවුලේ සමීපතම හිතවතෙකු බවට පත්වූ හර්බට් එම්. සෙනෙවිරත්නගේ ඇරයුමෙන් ඔහු විසින් අධ්‍යක්‍ෂණය කළ 1969 වසරේ දී තිරගත වූ ‘‘ සෙනෙහස ’’ චිත්‍රපටයේ හෙදියක ලෙස රංගනයේ යෙදුනාය. ඉන් අනතුරුව ලෙනින් මොරායස්ගේ ‘‘ සූරයන්ගෙත් සූරයා ’’ (1969), අමරසේන කුමාරසිංහගේ ‘‘ මිරිඟුව ’’ (1972), දයා විමලවීරගේ ‘‘ වීදුරු ගෙවල් ’’ (1972), යසපාලිත නානායක්කාරගේ ‘‘ නැවත හමුවෙමු ’’ (1982), ‘‘ රෝසි ’’ (1985), සුනිල් සෝම පිරීස්ගේ ‘‘ ඔබට දිව්රා කියන්නම් ’’ (1985), රෝයි ද සිල්වාගේ ‘‘ හිතහොඳ කොල්ලෙක් ’’ (1984), ලෙනින් මොරායස්ගේ ‘‘ තුන්වන ලෝකය ’’ (මෙය තිරගත වූයේ නැත.), සුදත් දේවප්‍රියගේ ‘‘ තරණය ’’ (1979), කේ.ඒ.ඩබ්ලිව් පෙරේරාගේ ‘‘ උණ්ඩය ’’ (2000) ඈ රඟපෑ චිත්‍රපට අතර විය. ඇය අවසන් වරට රංගනයේ යෙදුන ප්‍රසාද් සමරතුංග අධ්‍යක්‍ෂණය කළ ‘‘ ඉස්කෝලෙට මං ආවා ’’ චිත්‍රපටය ඉදිරියේ දී තිරගත වීමට නියමිතව ඇත. ඒවාට අමතරව තිලක් ගුණවර්ධනගේ ‘‘ කුමාරිහාමි ’’, සුදත් රෝහණගේ ‘‘ දත් කැකුළු පාළා ’’, බෙනට් රත්නායකයන්ගේ ‘‘ ග්‍රහණය ’’, ‘‘ කළු හංසයෝ ’’, ‘‘ මකර විජිතය ’’, ගාමිණි ජයමාන්නගේ ‘‘ මල් යහනාව ’’, ඇන්ඩෘ ජයමාන්නගේ ‘‘ අළුත් කමිසේ ’’, ‘‘ චල අචල ’’, ‘‘ රන් කිරි සොයා ’’, සුදත් සේනාරත්නගේ ‘‘ රන්මසු දැල් ’’ සුසිරන් ද සිල්වාගේ ‘‘ එකට ගැටුම ’’, චන්න පෙරේරාගේ ‘‘ පුංචි වීරයෝ ’’, රෝයි ද සිල්වාගේ ‘‘ මතු අත් භවයක දී ’’, තුසිත ද සිල්වාගේ් ‘‘ පුංචි රාළ ’’, ‘‘ මධූනම් ඇය ’’, ගිහාන් ඒකනායකගේ ‘‘ බල බිඳුම ’’, කුමාරසිරි අබේකෝන්ගේ ‘‘ හිරුණි ’’ අමිත් ගුප්තාගේ (ඉන්දීය ජාතික) ‘‘ කිඳුරංගනා ’’ යන ටෙලිනාට්‍ය සඳහා ද ඇය සිය රංගන දායකත්වය පිදීය.

ගායකාවක් ලෙසින් ද පෙරට එමින් කරුණාරත්න අබේසේකර ශූරින් පද පබැඳු ‘‘ අම බඳු රසබස් තෙපලන ’’, ‘‘ වීණා වීණා පෙම්බර දියණියනි ’’, ‘‘ සුබ උපන්දිනයක් වේවා ’’, ‘‘ නවම් මහේ අන්තිම දිනයේ ’’ යන ගීත හතර මොහොමඩ් සාලි මාස්ටර්ගේ සංගීතයට කෙනත් පෙරේරා නිෂ්පාදනය කළ සිල්වර්ලයින් ගී තැටියකට ඈ ගැයුවාය. පසුව ප්‍රැට්ටි‍්‍රක් දෙනිපිටියගේ සංගීතයට ‘‘ ආවේ ගම්මානේ නෑනා සොයා ’’ යන යුග ගීතය එච්.ආර්. ජෝතිපාලයන් සමඟින් ගායනා කලාය. ඉන් අනතුරුව ද සංගීත තැටියක් නිකුත් කිරීමේ අරමුණින් විවිධ ගීත රැුසක් ගයා පටිගත කළ ද, එය යථාර්තයක් කර ගැනීමට ඇයට හැකියාවක් ලැබුනේ නැත. කෙසේ වෙතත් ‘‘ වීණා ’’ නමින් පියානෝ ගී අනුවාදන සංගීත තැටියක් :ක්‍ෘ) හා රූ සර තැටියක් :ෘඪෘ) පසුකාලයේ දී ඇයගේ රසිකයන් වෙත තිළිණ කිරීමට ඇය සමත් වූවාය. 1973 වසරේ දී ලෙනී ලියනගේ සමඟින් විවාහ වූ ඇයට වීණා නමින් එක් දියණියක් වූවාය. එකළ ඇය එඩ්නා මියුසික් ස්කූල්, එඩ්නා වාහන මන්දිරය වැනි ව්‍යාපාර මීගමුව පුරවරය කේන්ද්‍රගත කරමින් පවත්වාගෙන ගිය අතර, ජ්‍යෝතීශ් ශාස්ත්‍රය පිළිබඳව ඉගැන්වීමේ ද නිරත විය. පසුකලෙක ඉතාමත් දරුණු ලෙස රෝගීවූ සිය සැමියා බේරාගැනීම සඳහා බොහෝ සේ ණය වීමට ඇයට සිදු විය. 2008 වසරේ දී සිය සැමියා මියයාමත් සමඟම, සිය ව්‍යාපාරයන් සියතින් ගිලිහි ගොස් ඉතාමත් අසරණ තත්ත්වයකට පත්විය. පසුව 2010 වසරේ දී එච්.එල්. ධර්මපාල යන අය සමඟ නැවත විවාහ වී ඇද වැටුන ජීවිතය යළි ගොඩනඟා ගන්නට ඇය සමත් වූවාය. පසුව නැවතත් ස්කූල් ඔෆ් මියුසික්, එඩ්නා ජ්‍යෝතීශ්‍ය සේවය, එඩ්නා ටේ‍්‍රඩර්ස් යන ව්‍යාපාර අරඹමින් යහපත් සාමකාමී ජීවිතයක් ගත කළාය. දෙවන සැමියා ඇය හැඳින්වූයේ සැමියකු ලෙස නොව ඇයගේ ආරක්‍ෂකයෙක් ලෙසිනි. ඒ තරම්වූ අන්‍යෝන්‍යෝපකාරය පිළිබඳව ඔවුන් බැඳි සිටියාය.

ඇයගේ පිරිපුන් සංගීත හැකියාව දැන හඳුනගත් එම්.කේ. රොක්සාමි මාස්ටර්, ‘‘ මේ දෑස කුමටද ’’ හා ‘‘ සූරයන්ගෙත් සූරයා ’’ යන චිත්‍රපට සඳහා පසුබිම් සංගීතය සැපයූ වාදක මණ්ඩලයට එකෝඩියනය වාදනය කිරීම සඳහා ඇය එක්කර ගන්නට කටයුතු කළාය. එසේ එක්වූ ප්‍රථම සහ අවසාන නිළිය ද ඇයම වූවාය.

ලිව් විජේමාන්න මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ධූරය දරන අවධියේ දී සතියකට විනාඩි පහක කාලයක් යෝගා පිළිබඳව දේශනයක් පැවැත්වීමට ඇයට ගුවන් කාලය වෙන්කර දී තිබිණ. මෙලෙසින් කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් තරණය කරමින් හා ජය ලබමින් වසර හැත්තෑදෙකක් පුරාවට තම දිවි සැරිය පවත්වාගෙන ආ ඇය හදිසියේම ඇතිවූ රෝගි තත්ත්වයක් මත කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කිරීමෙන් අනතුරුව දින කිහිපයක්ම සිහි නොලබාම සිට පසුගිය මාර්තු 14 වන දින සදහටම දෙනෙත් පියා ගත්තාය. ඇයගේ අවසාන ඉල්ලීම පරිදි දේහය රජයේ වෛද්‍ය විද්‍යාලයට භාර දීමට කටයුතු යොදා තිබිණ.

ඇය සඳහා සංස්කෘතික අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබු උපහාර උළෙල පෙනෙන මානයේ දී සමුගෙන ගියත්, ඒ සැලසුම් කළ ආකාරයෙන්ම තව නොබෝ දිනකින් එය සිදුවනු ඇත. එසේම ඇයගේ ජීවිත කතාව ඇතුලත් ග්‍රන්ථයක් ද, මේ වසර තුළදීම එළි දැක්වීමට කටයුතු කරන බැව් ඇයගේ ස්වාමිපුරුෂයා වූ ධර්මපාල මහතා සංවේගයෙන් යුව පැවසුවේය. ඇයගේ ආත්මයට මොක්සුව ලැබේවා.

සටහන
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු 
පැරණි ඡායාරූප අනුග්‍රහය ලකී ලියනගේ
නව ඡායාරූප අනුග්‍රහය දයාන් විතාරණ 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>