නිවසේ කොතනින් කොහොම මොන ආකාරයේ ගඳක් එක වරම ඇති වේවිද කියන්නට බැහැ. හැබැයි මේ කියන්නේ ඔෆිස්වල, බස් එකේ, කෝච්චියේ ඉඳහිට එකවරම ඇතිවන දුර්ගන්ධය ගැන නොවෙයි. ගෙදර කුණු බඳුන, සින්ක් එක, නාන කාමරයේ, සෝදන්නට තිබෙන ඇඳුම් දමන ලද බඳුන්, ව්‍යායාම කරද්දි තාවකාලිකව ඇඳුම් බහා තබන අසුරන සහ සපත්තු කබඩ් එකෙන් ඇති වන්නට පුළුවන් දුගඳ නැති කරන්න පුළුවන් අලුත්ම තාක්ෂණික උපාංගයක් ගැනයි. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ කුණු බඳුනින් ගඳක් එනකොට ඉක්මණට කුණු ටික දාලා වහලා දාන්නයි. ෆ්‍රිජ් එකෙන් අවශ්‍ය දේ අරගෙන ඉක්මණටම වහලා දාන්නයි. හැබැයි ඉතින් එක්වරක් මේවා අරින්නට පෙර මුළු පෘථිවි තලයේම තිබෙන වාතයෙන් පෙනහලු පුරවාගෙන ලැහැස්ති වන්නට සිදු වෙනවා. මොකද එවැන්නක් විවෘත කළාට පස්සේ දුගඳ වාතලයට මුසු වෙලා විනාඩි ගණනාවක් ම තිබෙනවා. දුගඳ නැති කරන්නට අපි පාවිච්චි කරන ප්‍රධාන ප්‍රතිකර්මයක් තමයි තවත් සුවඳකාරකයකින් එය වසා දමන එක. ඒත් එයාර් ෆ්‍රෙෂ්නර් එකක් ගැහුවාම එයින් සිදු වන්නේ එහි තිබෙන අධික සුවඳ නිසා තාවකාලිකව අපේ නාස්පුඩු සුවඳින් රවට්ටන එක විතරයි. සපත්තුවලට එහෙම බේකින් සෝඩාවලින් දුගඳ නැති කරගන්නට හැකියාව තිබුණත් එයින් සියයට සියයක් ම දුර්ගන්ධය නැතිවීම සිදුවන්නේ නැහැ.
එතරම් වූ පැනයක් සමාජගතව තිබෙන අවස්ථාවක මතුපිටින් දක්වන තාවකාලික විසඳුමක් වෙනුවට රසායනික මට්ටමෙන්ම දුගඳ අණු නසා දමන ආකාරයේ තාක්ෂණයක් ලෝකයට අවශ්‍ය වුණා. නිවසට පමණක් නොවෙයි, නාසා ආයතනය පවා මේ ගැටලුවට මුහුණ දුන්නේ අජටාකාශගාමීන් ආශ්‍රිතව ඇතිවන දුගඳ, ඔවුන් මළපහ කරන; මළ බැහැර කිරීමේ විශේෂ ස්ථානවලින් ඇති වන දුගඳ ආදී දේවල් හරහා වායුව සම්පූර්ණයෙන් සීල් කරන ලද අභ්‍යවකාශ යානා, අජටාකාශගාමී ඇඳුම් ආදියේදී එය නිවසටත් වඩා වැඩි විනාශයක් සිදු කරන්නට පටන් ගත් නිසායි. මේ අනුව ඔවුන් දුගඳ අණු වෙන් කොට ඒවා වෙනත් අණු වර්ගයක් බවට පත් කරමින් අණුක මට්ටමෙන් ම ඊට විසඳුමක් සොයා ගත්තා. නාසා ආයතනය ලොවට හඳුන්වා දෙන බොහෝ දේවල් අභ්‍යවකාශයට සීමා වුණේ නැහැ. අපි එදිනෙදා භාවිත කරන මෙට්ටවල තිබෙන මෙමරි ෆෝම්, ගිනි නිවන ඇඳුම් කට්ටල, සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීම, කුඩා ප්‍රමාණයේ කැමරා ආදී හැම එකක්ම පාහේ මෙලෙස දායාද වූ ඒවායි. දුගඳ නැති කිරීමේ තාක්ෂණයත් දැන් වෙන්ටිෆ්‍රෙෂ් (VentiFresh)නමින් ඉතා කුඩා උපකරණයක් වශයෙන් හඳුන්වාදී තිබෙනවා.
වාහනවල සවිකරන කුඩා ප්‍රමාණයේ එයාර් ෆ්‍රෙෂ්නර් එකක් තරම් වන මේ උපකරණය අඟල් 2ක් උස, 2.5ක් පමණ පළලින් යුතු වෙනවා. මෙය සතුව දුහුවිලිවලට ප්‍රතිරෝධී කුඩා ෆෑන් එකක් තිබෙන අතර එය හරහා බාහිර සහ උපකරණ අභ්‍යන්තරය අතර වායු හුවමාරු කිරීම සිදු කරනවා. ඇතුළට පැමිණෙන වාතය තාවකාලිකව රඳවා ගැනීමට කුඩා කුටීරයක් ද තිබෙනවා. ශාකවලින් ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේදී කාබන්ඩයොක්සයිඩ් සහ ජල අණු ඔක්සිජන් සහ ග්ලූකෝස් බවට පෙරැළීමේ සංසිද්ධිය සිදු වන ආකාරයට ම පාරජම්බුල කිරණ සහිත LED බල්බයක් ආධාරයෙන් වායු අණුවල ක්‍රියාකාරී වේගය උත්ප්‍රේරණය කරගනිමින් මෙම උපාංගය තුළ අණු පරිවර්තනය සිදු කෙරෙනවා. නමුත් ඒ, දුගඳ වායූන් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට යි. නමුත් මෙහි ජලය වෑස්සීමක් සිදු නොවන අතර එය අණුක මට්ටමෙන් ජලය බවට, එනම් ජල බිඳිති බවට පත් කිරීමක් පමණයි සිදු වන්නේ. වෙන්ටිෆ්‍රෙෂ් සතු ආලෝක සංවේදකය නිසා කුණු බඳුන වැසූ විට, සපත්තු කබඩ් එක හෝ ෆ්‍රිජ් එක වැසූ විට ක්‍රියාකාරීත්වය ස්වයංක්‍රීයව අරඹන්නට හැකියාව තිබෙන අතර කළු පැහැති ටේප් එකකින් එය වසා දැමීම හරහා ඔබට ආලෝකය සහිත ස්ථානයක පවා එය ක්‍රියාකාරී කරවිය හැකි බව නිෂ්පාදකයන්ම පවසනවා. මෙහි ක්‍රියාකාරීත්වය සඳහා ඉතා කුඩා විදුලි භාවිතයක් සිදුවන අතර වෙනත් සාම්ප්‍රදායික වායු සමීකරණවල මෙන් ෆිල්ටර් මාරු කිරීමක්, නඩත්තු කිරීමක් කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ.
උපාංගයේ පතුලෙහි ඇති කාන්දම නිසා යකඩ ස්ථරවල ඇලවීමටත්, සක්ෂන් කප් එක නිසා ප්ලාස්ටික් හෝ ලී වැනි සුමට මතුපිටක වුව ඇලවීමටත් හැකි නිසා ඉතා පහසුවෙන් එය ඕනෑම තැනක රඳවාලීමේ හැකියාව තිබෙනවා. ඔබ ගමනක් යන අතරතුරේදී හෝ ව්‍යායාම් කරන අතරතුරේදී දහඩිය හෝ තෙත සහිත ඇඳුම් බෑගයේ දමාගෙන යනවා නම් ඉන් මඳ වේලාවකින් ඇතිවන දුර්ගන්ධය නසන්නට ද මෙය භාවිත කරන්නට පුළුවන්. වෙන්ටිෆ්‍රෙෂ් උපාංගය සමඟ ලැබෙන පවර් බෑන්ක් එක නිසා ඔබට නිවසේදී පමණක් නොව ඒ ආකාරයෙන් නිවසින් බැහැර ස්ථානවලදී හෝ නිවසේ විදුලි සැපයුමක් ලබා ගැනීමට අපහසු ස්ථානවල පවා මෙය භාවිත කරන්නට අවස්ථාව උදාවෙනවා. බේකින් සෝඩාවලට වඩා දහ ගුණයක වේගයකින් සහ සාර්ථක බවකින් යුත් බවට පර්යේෂණ හරහා සනාථ කර ඇති මෙයට විනාඩි දහයකටත් අඩු කාලයකින් පමණ වතුර බොන ප්‍රමාණයේ වීදුරුවක සම්පූර්ණයෙන් පුරවන ලද දුගඳ වායූන් ඉවත් කරලන්නට හැකියාව තිබෙනවා.
අඩු බරක්, පසුවෙන් ස්ථාපනය කරගැනීමේ හැකියාව, පරිසර හිතකාමී බව, නඩත්තුව අනවශ්‍ය බව, විදුලි බලය ඉතා අඩුවෙන් භාවිතය, කෘත්‍රීම රසායනික ද්‍රව්‍ය වලින් තොර බව ආදිය සමඟ දිගුකල් පැවැත්මක් ද සහිත මෙම උපාංගය පෙර-ඇණවුම් සහ මුදල් පරිත්‍යාග හරහා ඔවුන් බලාපොරොත්තුවූ මට්ටමටත් වඩා සියයට දෙසිය විසි හයක් හෙවත් රුපියල් ලක්ෂ 107ක් පමණවූ ආදායමක් එය වෙළෙඳපොළට නිකුත් කරන්නටත් පෙර ම උපයනු ලැබුවා. රුපියල් නව දහස් පන්සියයකට පමණ මිල කර ඇති මෙම උපකරණය ලබන වසරේ අප්‍රේල් මාසයේදී පෙර ඇණවුම් කළ අය සඳහා තැපැල් කිරීමට නියමිතයි.