“කිසිවකට නොබැඳි තපස්වරයකු ලෙස ඔහු මෙලොවින් නික්ම ගියේ ය. ජීවිතයේ සැන්දෑව එන්නට පෙර ඔහු රාත්‍රියට එකතු වී නින්දට ගියේ ය.”
‘පමා වී ලියූ ශෝක ප්‍රකාශය’ යන හිසින් වූ සටහනක ඉහත කොටස මා උපුටා ගත්තේ චන්ද්‍රසිරි දොඩන්ගොඩගේ ‘ඇසිදිසිමානය’ නම් තීරු ලිපි එකතුවෙනි. දොඩන්ගොඩ මෙවන් සටහනක් තබන්නේ මියගිය මාධ්‍යවේදී අජිත් සමරනායක වෙනුවෙනි. මෙම සටහන ලියූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ ද සැන්දෑවේ මඳ දුරක් පමණක් ගෙවා පසුගියදා රාත්‍රියට එකතු වී නින්දට ගියේ ය.
දොඩන්ගොඩගේ විශේෂාංග, නවකතා, තීරු ලිපි කියවන පාඨකයාට වෙහෙසක් නොදැනෙයි. ඔහු විසින් උපයුක්ත කොට ගන්නා සරල ව්‍යංග්‍යාර්ථවත් භාෂාව එක හුස්මට කියවිය හැකි ගුණයෙන් ආඪ්‍යය ය. බහුලව භාවිත වන ඉංගිරිසි වචනයෙන් කිවහොත් Readable ය. තවත් අතෙකින් දොඩන් ගැන කතා කළහොත් දොඩන් කවියකුට අමතරව බොහෝ කලක් තිස්සේ ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ ‘කව්මුතු’ කවි පිටුව සංස්කරණය කිරීම මගින් කවි ලියූ පරම්පරා කීපයක් ම ඇසුරු කිරීමේ හා කවීන්ගේ කවි ප්‍රකාශයට පත් වන්නට පෙර කියවීමේ භාග්‍ය ලද්දේ ය. එසේම කුළුඳුලේ කවි ලියනවුන්ගේ කවි ප්‍රකාශයට පත්කිරීමෙන් අලුත් කවීන්ට කව්කෙතේ දෙපා තබන්නට ඉඩහසර පාදා දුන්නේ ය.
පුවත්පත් පිටු අතරින් හඳුනාගෙන සිටි දොඩන්ගොඩ මට මුලින් ම හමුවූයේ 1987 අවුරුද්දේ ය. එවකට මම දිවයිනේ කව්මුතු තීරයට කවි කුරුටු ගාමින් සිටියෙමි. ලියූ කෙටිකතාවක්, සිනමා ලිපියක් හා කවි දෙකතුනක් අතින් ගෙන දිවයිනට ගිය මා හඳුනන කිසිවෙකු එහි සිටියේ නැත. මට දොඩන්ගොඩ මතක් විය. මා කවි ලියන කවි පිටුව සංස්කරණය කරන ඔහුට මගේ නම මතක තිබෙන්නට ඉඩ ඇත. මම හමුවීම් පතේ ඔහුගේ නම සටහන් කළෙමි. මඳ වෙලාවකින් මට කැඳවීමක් ලැබිණි. ඔහු සිටින මේසය පිළිබඳ විමසා ඇතුළු වුව ද, දොඩන්ගොඩ ඔහුගේ මේසයේ සිට සුහද සිනාවක් මුවට නගාගෙන අත දිගුකොට මා කැඳවමින් සිටියේ ය. එදා සාද කතාලතාදියෙන් ඇති වූ හිතවත්කම් ඔහුගේ මරණය තෙක් අප අතර පැවතිණි.
කවි පිටුව ඉතා ජනප්‍රියව පැවති එදවස ඔහුගේ මේසය පිරී තිබුණේ දිවයිනේ නොයෙක් පළාත්වල ජීවත්වන කවි කිවිඳියන් එවන කවි අඩංගු හාෆ් ෂීට්වලිනි. කවි පිටුවට වෙන්වන්නේ පිටුවකින් භාගයකි. ඒ පිටු භාගය පුරවන්නට හොඳ කවි තේරීම ඔහුගේ වගකීමයි. “හොඳ කවි නිතරම ලැබෙනව. ප්‍රශ්නෙ අපට ලැබෙන ඉඩකඩ මදිකම. මම තිස්සෙ ම වාද කරනව කවි පිටුවට වැඩි ඉඩක් ඉල්ලල. ඒත් පත්තරේට මීට වඩා ඉඩක් දෙන්න බෑ.” දොඩන්ගොඩ කියයි.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ අපූරු විශේෂාංග රචකයෙකි. පුවත්පතේ සංවත්සරයක් සමරන විට පුවත්පතේ වැඩ කටයුතු නිම වෙන අවසන් දවස අලලා ඔහු අතින් ලියවෙන්නේ රසබර විශේෂාංගයකි. පුවත්පතේ වැඩ නිමවෙන අවසන් රාත්‍රිය හා එහි විශේෂත්වය ඔහු රසබරව ලියයි. එවන් එක් ලිපියක් ලියා තිබුණේ ‘මහ සිකුරාදා’ නමිනි. එදවස ඔහු අතින් ලියැවුණු රසබර විශේෂාංග රැසකි. එවන් විශේෂාංග එකතුවක් පොතක් සේ මුද්‍රණය වන්නේ නම් නවක විශේෂාංග රචකයන්ට ඉන් ගත හැකි වැඩ එමට ය.
දොඩන්ගොඩ ලියූ නවකතා ප්‍රමාණය ද ගණනින් විශාල ය. ඉන් බොහොමයක් පුවත්පතේ සතිපතා කොටස් වශයෙන් ලියවුණු නවකතා ය. ඔහුගේ නවකතා වටා සුවිශේෂ පාඨක ප්‍රජාවක් ගොඩනැගී තිබිණි. පිටුවහල් කළ මිනිසෙක්, පූජාසනය, කඳුළු දොරකඩ, මගේ සඳ ඔබ, දැල බිඳුම, සඳ කළුවරයි, විසුරුණු මල්පෙති, සීතාවක සිංහයා, සසල රාත්‍රිය, ලෝචනා ඔහු ලියූ නවකතා අතුරින් කීපයකි.
මෑත කාලයේ දී ඔහු නිතර නිතර රෝගාබාධයන්ගෙන් පීඩා වින්දේ ය. අවසානයේ දී ඔහු වකුගඩු අක්‍රිය වීමෙන් ඉමහත් පීඩාවකට බඳුන් විය. සතියකට තුන් වතාවක් රුධිරය පාරවිලයනය කරන්නට සිදු විය. සතියකට වතාවක් රජයේ වෛද්‍ය පහසුකම් යටතේ රුධිර පාරවිලයනයට අවස්ථාව ලැබිණි. ඉතිරි දෙවතාව ම පෞද්ගලික රෝහල්වලින් රුධිර පාරවිලයනය සිදුවිය. සතියකට දෙවතාව බැගින් මසකට අට වතාවක් ම රුධිර පාරවිලයනය වෙනුවෙන් පෞද්ගලික රෝහල් කරා යනවිට, රෝගියා රැගෙන යන විට මසකට විශාල මුදලක් වියහියදම් කරන්නට සිදුවේ. ඒ සියල්ලට බිරිඳ සුනිලා ඇතුළු පවුලේ අය උර දුන්හ.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ දැඩිව ගිලන් වූ වකවානුවේ පවා ලිවීමේ නොතිත් ආශාවෙන් පෙළුණේ ය. ලංකාවේ කෝපි යුගය ගැන නවකතාවක් ලියන්නට ඔහු සැලසුම් කරමින් සිටියේ ය. තොරතුරු සොයන්නට මිතුරන්ට කතා කළේ ය. පොතපත සොයා ගියේ ය. ගමනට බිමනට මෙන් ම මිතුරන් ඇසුරට යන්නට ද ඔහුට අවශ්‍ය විය. දේ. වි. ගාල්ලගේ සංවිධානය කළ ලේඛක ලේඛිකා හමුවකට ද රෝහල් ගතව සිට එන අතරේ සහභාගී වූ බව මා හා කීවේ ලේඛක ගාමිණී අබේවික්‍රම ය. අවසානයේ දී චන්ද්‍රසිරි දොඩන්ගොඩ ද එකට සේවය කළ සමහර සගයන් සේ ම රාත්‍රියට එක්වී නින්දට ගියේ ය. අපි සංහිඳ පාමුල වෙනුවෙන් ඔහුට සුභ රාත්‍රියක් පතමු.
මහානාම දුනුමාල