Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

පාසල යුද බිමක් වූ කල...

$
0
0
අප්‍රේ 10, 2018 01:00

මාජරී ස්ටෝන්මන් ඩග්ලස් යනු අවුරුදු 108ක් අයුෂ වැලැඳි ගැහැනියකි. ඈ ලේඛිකාවකි; ගැහැනුන්ගේ ඡන්ද බලය සහ පරිසරය වෙනුවෙන් සටන් කළ කෙනෙකි. ඈ නමින් නම් වූ විද්‍යාලයක් (Marjory Stoneman Douglas High School, Parkland, Florida) අමෙරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ යමක්-කමක් ඇති සාමකාමි වැසියන් ඉන්නා පෙදෙසක ඇත. එහි දරුවෝ තුන්දහසකට අධික පිරිසක් අධ්‍යාපන කටයුතු කරති.

මගේ පුතා ඉගෙනුම ලබන්නේත් එවැනි උසස් පාඨශාලාවකයි. වයස අනුව ඉන්නා ශ්‍රේණිය අනුව දරුවන් ප්‍රාථමික, මධ්‍යම සහ උසස් යන කොටස්වලට බෙදුණු ක්‍රමයක් අමෙරිකාවේ බොහෝ පාසල්වල ක්‍රියාත්මක වේ. සමහර දවසට මම මගේ පුතාගේ පාසලට යමි. ඇතැම් දිනෙක අමතකව දමා ගිය දිවා ආහාරය දීමට, ඇතැම් විටෙක ඔහුගේ ගුරුවරයෙක් මුණ ගැහීමට, ඇතැම් විටෙක අසනීප වූ ඔහු ගෙදර කැඳවාගෙන ඒමට ආදී නොයෙක් දේ නිසා පාසල වේලාව තුළ මට එහි යාමට සිදු වේ. ඒ වයසේ දරුවන් දැකීමත් සතුටකි. තවමත් තමන් කවුරුන්දැයි හරියටම හඳුනා ගෙන නැති නමුත් තරුණ වියේ උත්කෘෂ්ඨ අවස්ථාවක, ජීවය පිරි සුන්දරම අමාරුම කාලයක් ගෙවනා ඔවුන් මෙලොව පහළ වී ඇති වටිනාම දේවලට අයත් වේ. ඔවුන්ට ඔවුන්ගේ ප්‍රශ්න ඇත. ඔවුන්ගේ ලෝකයක් ඇත. තව වසර කිහිපයකින් වැඩිහිටියන් වීමට නියමිත ඔවුන් වැඩිහිටියන් නොවීමේ උපරිම නිදහස භුක්ති විදින්නෝය. ඔවුන්ට ඒ ඉඩ ලබා දීම අපගේ යුතුකමයි.

නමුත් පෙම්වතුන්ගේ දිනය වූ, ප්‍රේමයේ දිනය වූ පසුගිය පෙබරවාරි දාහතර වැනිදා විද්‍යාලයට ඇතුළු වූ සිසුවෙක් ඔහුගේම පාසලේ දරුවන්, ගුරුවරුන් ඇතුළුව දාහත් දෙනකුට මිනිත්තු කීපයක් තුළ වෙඩි තබා මරා දැමීය. ඔහු ඒ කෲර අපරාධය කිරීමෙන් අනතුරුව කිසිත් නොදන්නා කෙනකු සේ අනෙක් සිසුන් අතරේ සැඟවී පාසලෙන් නික්මී ගොස් කන්නට බොන්නට දෙයක් පවා මිලදී ගනී. ඉන් අනතුරුව පොලිසියේ අත්අඩංගුවට පත් වෙන ඔහුට මානසික අසමතුලිතතා තිබේ යැයි ප්‍රකාශයට පත් වී ඇත. මේ වෙඩි තැබීමට ඔහු භාවිත කර ඇත්තේ AR-15 (assault rifle) නමැති ප්‍රබල අවියකි. ඔහු ගැන පාසලටත්, පොලීසියටත් වගකිව යුතු සියලු තැන්වලටත් පණිවිඩ,අනතුරු හැඟවීම් ලැබී තිබියදීත් කිසි කෙනෙකු මේ අපරාධය වීම වැළැක්වීමට තරම් දෙයක් සිදු කර නැත. අඩුම තරමේ ඔහු වෙඩි තියා මේ දරුවන් ගුරුවරුන් මරා දමද්දී විදුහලේ ආරක්ෂක නිලධාරියා පවා සැඟවී ගෙන ඇත.

අමෙරිකාවේ පාසලක දරුවන් මරා දැමුණු පළමු අවස්ථාව මේ නොවේ. ප්‍රාථමික පාසලක ( Sandy Hook Elementary School, Newtown, Connecticut) අකුරු කියන්නට ලියන්නට ඉගෙන ගැනුම පටන් ගත් දරුවන් පිරිසක් වෙඩි තබා මරා දැමු හැටි ඔබට මතක ඇති. එපමණක් නොවේ. අමෙරිකාවේ දරුවන්ගේ ජීවිත අකලට අහිමි වෙන ප්‍රධාන කාරණා අතර තුවක්කු නිසා වන අපරාධ, අනතුරු මුල් තැනක් ගනී. දරුවන්ට නිදහස, සතුට, ආරක්ෂාව සහ ආදරය යන දේවල් කිසිම සැකයක් නැතිව ලැබිය යුතු පාසල මරණීය යුද බිමක් වී ඇත. දැන් මට උදෑසන කිරීමට සිදු වී ඇති අමිහිරිමි දේ වන්නේ දරුවන් අවදිකරවා පාසලට යන්නැයි කීමයි. පාසලට යෑමට බය නිසා වෙනත් කාරණා කියා ඒ මඟහැරීමට දරුවන් උත්සහ කරනා බව සමහර මවුපියෝ කියති. ලෝකයේ අනාගතය භාර ගැනීමට ඉන්න දරුවන්ට ගුණ නුවණ වගා කර ගැනීමට උගැන්වීම කළ යුතු ගුරුවරුන්ට පවා පාසලට යන්නට වී ඇත්තේ ජීවිතය ගැන බලාපොරොත්තු අතහැර දමා දරුවන්ගේ වර්තමානය ගැනත් විශ්වාසයකින් තොරවය.

හෙටක් ගැන, ඊළඟ තත්පරය ගැන නොදැන යුද්ධයක් සමඟ දිවි ගෙවු ශ්‍රී ලාංකිකයාටත්, මේ මොහොතේදීත් කන්නට බොන්නටවත් යමක් නොමැතිව යුද්ධයට අසුවී ඇති මිනිසුන් සහ පාසලට යන අමෙරිකානු දරුවාගේත් අතර වැඩි වෙනසක් නැත.ලෝකයේ සියලුම දෙනාගේ ම ප්‍රශ්න විසඳීමට මැදිහත් වෙන, අනෙක් හැම කෙනාගේම මානව අයිතිවාසිකම් සුරැකීමට ඇඟිල්ල ඔබනා අමෙරිකාවේ දේශපාලන නායකයන්ට තමන්ගේ රටේ දරුවන්ට නිදහසේ ආරක්ෂිතව පාසලට යෑමට අයිතියක් ලබා දීමට හැකියාවක් නැත. ඔවුහු තුන්වෙනි ලෝකයේ දූෂිත දේෂපාළුවන්ගේ තත්ත්වයට වැටී ඇත. අවි ආයුධ වෙළෙන්දන්ගෙන්, අවි ආයුධ වෙළඳාම හා බැඳි සංගම්වලින් මුදල් ලබා ගැනීම නිසා ඔවුන්ට ප්‍රබල දරුණු අවි ආයුධ සාමාන්‍ය වැසියාගේ අතට ලැබීම තහනම් කිරීමට නීති පැනවීමට නොහැකි වී ඇත.

පාසල පමණක් නොවේ; මඟ තොට, සිනමාශාලවකට, සාප්පු සංකීරණයකට, සංගීත සංදර්ශනයකට, පන්සලකට, පල්ලියකට, කෝවිලකට , අවන්හලකට පමණක් නොව තමන්ගේ නිවස පවා අමෙරිකානු වැසියන්ට දරුවන්ට අනාරක්ෂිත තැන් වී ඇත. නමුත් දේශපාලන නායක‍ෙන් අමන, බහුභූත දොඩවන, රූකඩ බවට පත් වී ඇත. දරුවන්ට අකුරු උගැන්වීමට, කතා කියා දීමට, ලෝකයේ හොඳම දේ පෙන්වා දීමට තීරණයක් ගත් ගුරුවරුනට තුවක්කු ලබා දිය යුතු යැයි අමන දේශපාලනඥයෝ කියති. ආත්මය භංග වූ ඔවුහු තුවක්කුකාරයන්ගේ වචනයට රූකඩ සේ දොඩවයි. නමුත් අමෙරිකාවේ දරුවන් නරුමයන්ගේ බලය උදුරා ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් දැයි පෙන්වීමට එකතු වී ඇත.

ඔවුන්ට සාමාන්‍ය බුද්ධිය කළඳක් හෝ ලබා දීමේ අරමුණින් තමන්ගේ ජීවිත අයිතියත්, තමන්ගෙන් පසුව එන පරපුරේ ජීවිත අයිතියත් තහවුරු කරගැනීමට අමෙරිකාවේ දුවා දරුවන් විදී බැස ඇත. වැඩිහිටියන් පවා රැකීමට සටන් කිරීමට ඔවුන්ට සිදු වී ඇත.

හිමාලි එන්. ලියනගේ


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles