Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

බුදුදහම හා සමාජ සංකල්ප

$
0
0
අප්‍රේ 30, 2018 01:00

මනුෂ්‍යත්වයේ උත්තරීතර ඵලය වූ බුද්ධත්වයට පත් තථාගත ගෞතමයන් වහන්සේ සිහිකරන උතුම් තෙමඟුල උදාවන බු. ව. 2662 වෙසඟ පෝය සිත් සතන් නිවී සනසාලන උතුම් දිනයකි. බක් මහ සිරියේ කලබලකාරී ස්වභාවයෙන් පසු ගත සිත නිවා සනහාලන දැහැමි පරිසරයක් උදාකරන්නේ වෙසක් සමයයි. ජීවමාන බුදුන් දැකගැන්මට නොහැකි වූ අපට උන්වහන්සේ පෙන්වා දුන් දැහැමි මාවතේ ගමන් ගන්නා සත්ත්වයාගේ ඒකායන අරමුණ වන්නේ නිර්වාණයයි. එබැවින් බුද්ධ ධර්මය ධර්මයක් පමණක් නොව දර්ශනයක් ද වන්නේය. දර්ශනයක් තුළින් ජීවිතයට වටිනා අගයක් එක්කරනු ලබති. ඒ නිසාම බුද්ධ දර්ශනය වනාහි ගිහි ජීවිතය සැහැල්ලුවෙන් ගතකිරීමට මනෝ මූලික, සමාජ විද්‍යාත්මක, සන්නිවේදනාත්මක, දේශපාලනාත්මක ආර්ථික වශයෙන් පුද්ගලයා හා ජීවිතය විවරණය කරන්නා වූ ගැඹුරු දර්ශනයක් වන්නේය.

බුදුන් වදාළ දහම තුළ ගැබ්ව ඇති “පංච ශීලය” තුළින් පුද්ගල ජීවිතයට ලබා දෙන්නා වූ සමාජීය වටිනාකම් ඉමහත්ය. බුද්ධ දේශනාව තුළ පුද්ගලයකු විසින් රැකිය යුතු අවම ශීලය පංචශීලය‍ වේ. එයින් මනෝ විද්‍යාත්මකව පුද්ගලයකු පිළිවෙත් රකින්නෙකු බවට පත්කරන සිතුවිල්ල ප්‍රමුඛ වේ. ඒ තුළ පුද්ගලයාගේ සිත ක්‍රියාත්මක වෙමින් පුද්ගල ජීවිතයේ අඩු ලුහුඬුතා සංවර්ධනය කරනු ඇත.

මනෝ විශ්ලේෂණවාදයේ පියා වන සිග්මන් ප්‍රොයිඩ් මිනිස් සිතේ ස්වභාවය මැනවින් විග්‍රහ කර ඇත. මනෝ විශ්ලේෂණවාදයේදී මිනිස් සිත ක්‍රියාකරන ආකාරය විග්‍රහ කර ඒ අනුව පුද්ගල සන්තානයේ ජනිතවන හැඟුමන් තේරුම් ගැනීමට “අවිඥානය” නම් සංකල්පය ප්‍රොයිඩ් මතුකර දක්වයි. ඔහු පවසන අන්දමට පුද්ගල විඥානය නම් ස්ථරයට පහළින් උපවිඥානය හා ඉන්පසුව අවිඥානය නම් තත්ත්වය දක්වා ඇත. පුද්ගල විඥානයේදී සාමාන්‍ය ක්‍රියාකාරී ස්වභාවය වන අතර උපවිඥානය තුළින් පුද්ගලයාට මතකය හා අමතක වීම සිදු කරයි. ඊළඟ ස්ථරය අවිඥානය නම් වේ. ප්‍රොයිඩ් පවසන අන්දමට අවිඥානය තුළ පුද්ගලයාගේ අමිහිරි අත්දැකීම් කටුක තත්ත්වයන් තැන්පත්ව ඇත. විඥානය දුර්වල වන අවස්ථාවන්හිදී අවිඥානය ප්‍රබල වේ. පුද්ගල ඍණාත්මක හැඟීම් වන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය... ආදී හැඟීම් මෙම අවස්ථාවන්හිදී ප්‍රබලව ඉස්මතු වන බව ප්‍රොයිඩ්ගේ මතය විය. මෙම නිගමනය ප්‍රොයිඩ්ට පෙර බුදුන් වදාළ ධර්මය තුළ පැහැදිලි කර දී තිබේ. බුදුන් වහන්සේගේ උත්තරීතර ධර්මය මනෝ විද්‍යානුකූලව පුද්ගල සන්තානය පැහැදිලි කිරීමට මනෝ විද්‍යාවට දායක වී ඇති ආකාරය මින් පැහැදිලි වේ.

සමාජ විද්‍යානුකූලව පුද්ගල ජීවිත විග්‍රහයේදී සූත්‍ර පිටකය, සූත්‍ර ධර්මතා, ධම්ම පදය, ජාතක කතා, චරිත කතා තුළින් සමාජීය වශයෙන් ජීවත්විය යුතු ගුණාංග වැඩිය යුතු ආකාරය දක්වයි. සමාජීය වශයෙන් පුද්ගල සබඳතා සහ එය වර්ධනය කර ගැනීම අඩු ලුහුඬුතා මර්දනය කරගන්නේ කෙසේද යන්න සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ග පජ්ජ සූත්‍රය මෙන්ම ඛේමා තෙරණියගේ චරිතාපදානය, අංගුලිමාල චරිතාපදානය තුළින් මැනවින් පැහැදිලි කරනු ලබයි. සමාජ ධර්මතා පිළිගත් සමාජයක් බිහිකිරීමට බුදුදහම වැදගත්ව ඇති ආකාරය එයින් පැහැදිලි වේ.

ආර්ථික විද්‍යානුකූලව පුද්ගලයා විග්‍රහ කිරීමේදී විවිධ සූත්‍ර ධර්මතාවලින් පෙන්වා දී තිබේ. ඒවා හැර ව්‍යග්ග පජ්ජ සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය වැනි සූත්‍ර ධර්මතාවලින් උපයන ධනය පරිභෝජනය කරන ආකාරය පුද්ගලයාගේ ජීවිකාව කෙසේ සැකසිය යුතුද යන්න පිළිබඳව මැනවින් කරුණු දක්වා ඇත. එසේම බුදුදහම ඉතා ශ්‍රේෂ්ඨ ලෙස ආර්ථිකය විවරණය කරන්නා වූ දහමකි. ඒ හැරුණු කළ චුල්ල සෙට්ඨි වැනි ජාතක කතා ආශ්‍රයෙන් දිගහැරෙන චරිතාපදාන තුළින් රැකියාව තුළින් මිනිසා දියුණුව ලබන ආකාරය හුවාදක්වයි. දේශපාලන සංකල්පය බුදු දහමේදී දසරාජ ධර්ම හා සප්ත අපරිහානි ධර්ම ආදියෙන් දක්වා තිබේ.

මේ සියලු කරුණු ඔස්සේ සමාජීය, ආගමික, දේශපාලනික, ආර්ථික පැහැදිලි කිරීම් බලන කල්හි බුදු දහමේ ඉගැන්වෙන තරම් පුද්ගලයාත්, සමාජයත් වගකීමෙන්, බැඳීමෙන් එක්කළ වෙනත් කිසිඳු ආගමක් මිහිපිට නොමැති බව සාක්ෂාත් වේ. ජීවමාන බුදුන් නොමැති වුවද උන්වහන්සේගේ සදාතනික ධර්මය පුද්ගල ජීවිතයට මංපෙත් විවරණය කරයි. ජීවමානව වැඩ සිටි උත්තරීතර චරිතය සිහිගන්වන උතුම් දිනය වන තෙමඟුල අප සමරන්නේ කෙසේද යන්න විවරණාත්මකව බැලිය යුතු තවත් කාරණයකි.

සිල් සුවඳ පැතිරෙත්ම අතින් අත හුවමාරු වන්නා වූ වෙසක්පත පිළිබඳව අවධානය යොමුකිරීමේදී පැහැදිලි වන්නේ කුමක්ද? වෙසක් කාඩ්පතට මුද්‍රණය කරන්නාවූ බුදු රූපයට වෙසක් අවසන්වත්ම සිදුකරන අවමානය කෙබඳුදැයි සිතා බැලිය යුතුය. ඇතැම් නිවෙස්වල මෙය පයට පෑගෙන තත්ත්වයක් ද යම් දවසක උදා නොවූයේදැයි සිතන්න. ධර්මය බෙදාහැරීම සිදුවිය යුතුයි.

එහෙත් එය වියරුවෙන් නොවේ. බුද්ධියෙන් විය යුතුය. වෙසක්පතට බුදුපිළිම එක් නොකල යුතු බවත්, වෙසක් පතෙහි නිර්මාණාත්මක බව සමාජානුකූලව, කාලානුරූපව වෙනස්විය යුතුව ඇත. වෙසක්පතෙහි බුදුරුව මුද්‍රණය කරනවා වෙනුවට පුද්ගලයාට සමාජයට වැදගත්වන දහම් පණිවිඩයක් යොමුකිරීම උචිත වේ.

වෙසක් සමය ඇරඹෙත්ම විහාරස්ථානවල නොයෙක් පින් කටයුතු සිදුවේ. එකිනෙකා පරයමින් තමන්ගේ සමාජීය තත්ත්වය පෙන්නුම් කරන ධනය, බලය, ගරුත්වය ප්‍රදර්ශනය කරන පින්කම් රැසකි. තරඟකාරී රටාවෙන් මිදී සමාජයේ භේදයන්ගෙන් තොරව සියල්ලන් සහභාගි කරගන්නා වූ පින්කම් සිදුකිරීම වැදගත්ය. බුදුදහම අනුව සිදුවිය යුත්තෙ ද එයමය.

දන්සල් සංකල්පය පුද්ගල සාමූහිකත්වය මැනවින් පිළිබිඹු කරන්නකි. එය ඉතා වටිනා සමාජ සබඳතාවක් පැහැදිලි කරන්නකි. එහෙත් සමහර අවස්ථාවන්හිදී මත්පැන් පානය කරමින් ඇතිකරගන්නා ගැටුම් ද දැකගත හැකිය. එමෙන්ම දන්සැල් ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී බෞද්ධ කොඩිය යොදාගනිමින් යම් සංඥාවන් ප්‍රදර්ශනය කරන අතර බෞද්ධ ධජය බිම දමන අවස්ථා ද දැකගත හැකිය. එය බෞද්ධ කොඩියට දක්වන අගෞරවයකි.

ධර්මය පුද්ගල සාර්ථකත්වයට සාර්ථක මඟපෙන්වීමක් වන අතර එහිදී අප ක්‍රියාකළ යුතු වන්නේ හැඟීම්වලට මුල්තැන දීමෙන් නොව එහි හරය විමසා බලමින්ය. කාලානුරූපීව ‍යම් යම් තත්ත්වයන් වෙනස් වීමට ලක්වුවද ආගමික සංහිඳියාව මුලින් උපුටා දමමින් ක්‍රියාකළ යුතු නොවේ. මක්නිසාදයත් සම්බුදු දහම අකාලික වන බැවිනි.

 

යශී විදානආරච්චි


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>