Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

බොදු බැති ගීයේ මුස්ලිම් ලකුණ බෙග් මාස්ටර්

$
0
0
අප්‍රේ 30, 2018 01:00
ෆවුස් මොහොමඩ්

බෙග් මාස්ටර් කියන්නේ අපේ කාලයේ හැටියට සර්වාගාමික ගායකයෙක්. එහෙමත් නැතිනම් මනුෂ්‍යත්වයේ ගායකයෙක්. එවැනි ගායන ශිල්පින්

ශ්‍රී ලංකාවේ තවත් ඉන්නවා. ඒත් බෙග් මාස්ටර් ඒ අතරින් කැපී පෙනෙන්නේ මුස්ලිම් ජාතිකයකු වුවත් බොදු බැති ගී ගැයීමට ඔහු තුළ තිබූ නොතිත් ආසාව නිසයි. ඒ ගීත මෙරට බෞද්ධ ජනතාව ආදරයෙන් වැලඳගත් නිසයි. බෙග් මාස්ටර් තවමත් ශ්‍රී ලාකේය ජනතාව අතර ජීවමානයි. ඒ හඬ තවමත් ජීවමානයි.

50 දශකය අගභාගයේ එක්තරා දිනෙක ඉන්දියාවේ මේ කියන ස්ටූඩියෝවේ එක පැත්තකින් ගැහැනු ළමයි 25ක්. අනිත් පැත්තේ පිරිමි ළමයි 25ක්. මේ අපූරු ගායකයා ඒ මැදින් එල්ලා වැටෙමින් තිබූ මයික්‍රෆෝනය ඉදිරියේ.

ගීතය ආරම්භ වී තත්පර කිහිපයකින් ඉන්දීය සංගීත අධ්‍යක්ෂ අනිල් බිස්වාස් ඇවිත් ගීතය නතරකළා.

‘මිස්ටර් මොහිදීන්, මේක විනාඩි දාහතරාහමාරක සිංදුවක්. ඔයාට එක දිගට කියන්න පුළුවන් ශක්තියක් තියෙනවද..?‘ ඔහු මේ ගායකයාගෙන් එසේ අසනවා.

‘මේ සිංදුව මං කියනවා...නැත්තම් මැරෙනවා...‘

අන්තිමේදී එසේ කී ඔහු එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකේය බොදු බැති ගී ඉතිහාසයේ චිරාත් කාලයක් නින්නාද දෙමින් බුද්ධාලම්බන ප්‍රීතිය උතුරා හැලෙන ගීතයක් සත්සර හා මුසු කළේ එලෙසටයි.

‘මෛත්‍රී කරුණා දූෂිත වී ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී...

හිංසා පීඩා දේවිදෝ... මිනිසා තිරිසන් වේවිදෝ...

ඝෝර විසැති නයි පොළොඟුන් වන්...

මිනිසුන් මිතුරු වෙසින් එයි නම්...

එමවිට පවසනු මුවින් ඔබේ...

බුද්ධං සරණං ගච්ඡාමි...!‘

පනහ දශකයේම මැද භාගයේ ඉන්දියාවේ තිරගතවූ අංගුලිමාල හින්දි චිත්‍රපටය සිංහලෙන් දෙබස් කවා මෙරට ප්‍රදර්ශනය කිරීමට එවකට සිනමාස් අධිපතිවරයා වූ කේ. ගුණරත්නම් මහතාට යෝජනා කරන්නේ ද ඔහුය.

මොහිදීන් බෙග්...!

බුදු තෙමඟුල සමරන වෙසක් සමයේදී ශ්‍රී ලාංකීය බෞද්ධ ප්‍රජාව අතර යළි යළිත් රාව ප්‍රතිරාව දෙන ‘බුද්ධං සරණං ගච්ඡාමි‘ ගීතය එසමයේදී පමණක් නොවෙයි ගමේ පන්සලේ පිංකමේදී, තොරණේ, දන්සලේ, බණ මඩුවේ, සල්පිලේ, පෙරහැරේ බොදු බැතියෙන් ඇළලුණු හැම අවස්ථාවකදීම කාගෙත් සිත සන්සුන් කරවන ගීතයක උපත සිදුවන්නේ ඒ අයුරිනි.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ බිහිවුණු බොදු බැති ගී අප්‍රමාණයි. අමරදේව මාස්ටර්ගේ සිට යොවුන් පරපුරේ ගායක ගායකයන් දක්වා ඕනෑම ගායන ශිල්පියකුගේ, ශිල්පිනියකගේ හීනයක් තමයි බොදු බැති ගීතයක් නිර්මාණය කිරීම. ඒත් ඉන්දියාවෙන් මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ නිත්‍ය වාසස්ථානය කරගත්තු, බොදු බැති ගීයටම සරිලන හඩක් උරුම වූ මේ අමරණීය මුස්ලිම් ජාතික ගායකයාගේ ගීතයේ සුවිශේෂි බවක් තියෙනවා.

‘ඔබේ රාගී මන කැළඹේදෝ...

පිවිතුරු හදවත පෑරේදෝ...

එමවිට පවසනු මුවින් ඔබේ...

බුද්ධං සරණං ගච්ඡාමි...!‘බෙග් මාස්ටර්ගේ ගැඹුරු හඬින් ඒ ගීතය ඇසෙද්දී ජාති භේදයකින් තොරව ඕනෑම ශ්‍රී ලාංකිකයකුටම හිතට දැනෙනවා වචනයෙන් කියන්න බැරි හැඟුම් සමුදායක්.

අංගුලිමාල හින්දි චිත්‍රපටයේ ඒ ගීතය ගයන්නේ එරටින් බිහිවූ විශිෂ්ට ගායක මන්නාඩේ විසිනුයි. ඒ හින්දි තනුවටම සිංහල පදවැල් ඇමිණුවේ ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍ය තුළ අමරණීය නිර්මාණ ශිල්පියකු වූ කරු අයියා නමින් කාගෙත් ආදරයට ගෞරවයට ලක්වූ කරුණාරත්න අබේසේකර ශූරින්. ඔහු තමා බෙග් මාස්ටර්ගේ සිය ගණනක ගීත අතරින් වැඩිම ප්‍රමාණයක් රචනා කරන්නේ.

ලෝක ශිවංකර මා හිමිගේ... ධර්මේ දසදෙස පැතිරේවා...

සැම දන තුඩ තුඩ රැව්දේවා... බුද්ධං සරණං ගච්ඡාමි...!

මේ ගීතය බෙග් මාස්ටර්ගේ ගායන දිවිය එහෙම පිටින්ම වෙනස් කළ ගීතයක් වුණා.

එදා අංගුලිමාල සිංහල බසින් නිශ්පාදන කරද්දී ගුණරත්නම් මහතාට ඕන වුණේම මේ ගීතය බෙග් මාස්ටර්ගේ හඬින් කියැවෙන්නයි.

අදටත් ජීවමාන ගායකයා බවට බෙග් මාස්ටර් පත් කළ මේ ගීතය පසුපස කවුරුත් නොදන්න එක්තරා කතාවකුත් තිබෙනවා. ඒක එක්තරා රූපවාහිනි නාලිකවක බෙග් මාස්ටර්ගේ අනුස්මරණ සංගීත වැඩසටහනකදී අනාවරණය කරන්නේ ඒ ගී හඬ ජීවමාන කරන ඔහුගේම පුත්‍රයකු වන ඉෂාක් බෙග් විසිනුයි.

‘මේ ගීතය පටිගත කරන වෙලාවේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තාත්තව අයින් කරලා වෙන කට්ටියක් මේක කියන්න ඕනෙ කියලා මතයක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා තාත්තා ආපහු ඉන්දියාවේ ඉඳන් ශ්‍රී ලංකාවට ඇවිත්. ඒත් දවස් පහකට විතර පස්සේ ගුණරත්නම් මහත්තයා දුරකතනයෙන් කතා කරලා තාත්තාට ආපහු එන්න කියලා. ඔබතුමා තමයි මේ ගීය ගයන්න ඕනෙ කියලා.

එතකොට තාත්තා හිනාවෙලා මෙහෙම කිව්වලු. (අපේ අම්මත් නිතර නිතර මේක මතක් කරනවා) මිස්ටර් ගුණරත්නම්, ඔයා නෙවෙයි කවුරු කිව්වත් මේ සිංදුව මං ඇර වෙන කාටවත් හොඳට කියන්න බෑ. මං එන්නම්..‘

‘මේ සිංදුව ගැයුවාට පස්සේ ස්ටූඩියෝවේ හිටපු හැමෝම පුදුම වුණාලු. ඒ වෙලාවේ ඔරිජිනල් සිංදුව කියපු මන්නාඩේත් එතැන හිටියාලු. අන්තිමේදී තාත්තාට අවස්ථාව නොදී කපන්න හදපු කට්ටිය තාත්තා ළඟ වැඳ වැටිලා සමාවෙන්න මාස්ටර් කිව්වලු. කමක් නෑ මල්ලි, දෙයියෝ දෙන දේවල්නේ මේවා..‘ තාත්තා එහෙම කිව්වලු.

තාත්තා නිතරම කිව්වේ මේ ගීතය කැපිලි කෙටිලි මැද...සෑහෙන දුෂ්කරතා මැද බිහිවුණු ගීතයක් කියලයි...

ඉෂාක් බෙග් මෙහෙම කියනවා.

කරුණාරත්න අබේසේකර මහත්තයා තමයි තාත්තාගේ ගී හඬේ උපත වුණේ. එතුමා සංගීත ප්‍රසංගවල නිවේදනය කරද්දී තාත්තාව හඳුන්වා දෙන්නත් අපූරු ක්‍රම යොදා ගත්තා.

‘මගේ පෑන..මෙතුමාගේ හඬ...මෙන්න ආවා යෝදයා..සිංහයා...නාකි නොවන මනමාලයා... මොහිදීන් බෙග්...

කරු අයියා එහෙමයි කියලා තියෙන්නේ.බෙග් මාස්ටර්ගේ ඉතිහාසය කවුරුත් වගේ දන්නවා. මාස්ටර් ඉන්දියාවේ ඉඳන් අවුරුදු 18දී ශ්‍රී ලංකාවට ගොඩ බැස්ස වගත්, මුල් කාලයේදී ශ්‍රී ලංකා පොලීසියේ සේවය කළ බවත් හැමෝම වගේ දන්න කාරණාවක්. සංගීතයට හිත ඇදී ගිහින් තියෙන්නේ මොහොමඩ් ගවුස් (ගවුස් මාස්ටර්) නිසයි. ගවුස් මාස්ටරුත් මරදානෙයි පදිංචිවෙලා හිටියේ. දෙන්නගේ ඇසුර නිසා අන්තිමේදී මේ ඉන්දීය තරුණයා ශ්‍රී ලංකාවේ ගායකයෙක් බවට පත්වෙනවා.

සිංහල බස හරිහැටි නොදන්න නිසා බෙග් මාස්ටර් සිංහල ගීත උර්දු බසින් ලියාගෙනයි ගායනා කළේ. කරුණා මුදේ නාමු ගිලීලා‘ බෙග් මාස්ටර්ගේ මුල්ම ගීතයයි. ඊට පස්සේ 1945දී ‘අශෝකමාලා‘ චිත්‍රපටයෙන් ඔහු සිනමා පසුබිම් ගායකයකු බවට පත්වෙනවා.

එතෙක් කාලයක් ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවූ බෙග් මාස්ටර් 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් ‘දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය බැබලේවා‘ ගීතය ගයමින් මෙරට බොදු බැති ගීත ඉතිහාසයේ තවත් කඩඉමක් පසුකළා. ඒ ගීතය තමයි බෙග් මාස්ටර්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගන්න අඩිතාලම දැමුවේ. බෙග් මාස්ටර් එවකට අගමැතිවරයා ලෙස කටයුතු කළ එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඉදිරියේ මේ ගීතය ගැයු මොහොතේ ඔහුගේ ගායනයට ආශක්තවූ අගමැතිවරයා ගායකයා පිළිබඳ විමසුවේ අන් කිසිවකුගෙන් හෝ නොව බෙග් මාස්ටර්ගේ සංගීත දිවියේ සෙවැණල්ල බවට පත්වී සිටි කරුණාරත්න අබේසේකර ශූරින්ගෙන්. මේ ඉන්දීය ජාතිකයාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන්නැයි ඉල්ලා සිටියෙත් කරු අයියා බවයි කියන්නේ.

එහෙත් ඒ වෙද්දී මෙරට පුරවැසි පනතක් ක්‍රියාත්කම වීම නිසා බෙග් මාස්ටර්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වුණා. කොහොමවුණත් එවකට විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ ඩඩ්ලි සේනානායක මහතා සහ අගමැති බණ්ඩාරනායක මහතා අතර මේ පිළිබඳ සම්බන්ධිකරණ කටයුතු කළේ කරු අයියා. අන්තිමේදී බෙග් මාස්ටර්ට පුරවැසි පනත උල්ලංඝනය වීම වැළැක්වීමට සම්මානනීය පුරවැසිභාවය ලබාදුන්නා.

‘මම සම්මානනීය පුරවැසියෙක්.‘ බෙග් මාස්ටර් නිතර නිතර එසේ කීවේ මහා ආඩම්බරයකින් යුතුවයි.

වර්තමානයේ බිහිවන ගායක ගායිකාවන් ගුවන් විදුලියේ සරළ ගී වැඩ සටහන් එතරම් සැළකිල්ලට නොගත්තත් අතීතයේ සිටි බොහෝ ගායන ශිල්පීන්ට සරළ ගීත යනු ඔවුන්ගේ දස්කම් මුවහත් කරගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙසයි සැළකුවේ. බෙග් මාස්ටර් මියෙනතුරුම ගුවන් විදුලියේ සරළ ගී වැඩසටහන්වලට සම්බන්ධ වුණා.

බෙග් මාස්ටර්ට වැඩිපුරම ගීත ලිව්වේ කරු අයියා. ඔහුගේ බාල සොයුරු ගුණරත්න අබේසේකර මහතා බෙග් මාස්ටර්ට ගී නිර්මාණයෙන් දායක වෙන්නේ අහඹු ලෙසයි. බොදු බැති ගීතවලට දැඩි ලෙස ඇළුම් කළ බෙග් මාස්ටර්ට වරක් බුද්ධගයාව ගැන ගීතයක් ගැයීමේ ආසාවක් උපන්නා. ඔහු කරු අයියාගේ නිවසට ගියේ එවැනි ගීතයක් නිර්මාණය කරගන්නයි. එහෙත් ඒ මොහොතේ කරු අයියා නිවසේ සිටියේ නෑ. අන්තිමේදී ඒ ගීතය නිර්මාණය වෙන්නේ ඊට යාබද නිවසේ පදිංචිව සිටි ඔහුගේ සොයුරු ගුණරත්න අබේසේකර මහතා අතිනුයි.

‘සුවදේ...

මට සිතල සුළඟ පවා...

හිමි බුදු වුණ බුද්ධගයාවේ...

මෙරට බොදු බැති ගී ක්ෂේත්‍රය තුළ අතිශය කතාබහට ලක්වූ ගීතය බිහිවන්නේ ඒ අයුරිනුයි.

මේ ගීතය ගැන ඉෂාක් බෙග් මෙසේ කියනවා.

‘මේ ගීතට නිසා මට වරක් ඇරියුම් ලැබුණා බුද්ධගයා යන්න. මාව පිලිගත්තා මහබෝධි පන්සලේ ලොකු හාමුදුරුවෝ. කීදෙනෙක් බුද්ධගායාවට ගියාද මං දන්නෙ නෑ. නමුත් මම වාසනාවන්තයි අන්‍යාගාමික වෙලත් බුද්ධගයාවේ සංචාරය කරන්න. එදා මහා සෙනඟක් මැද මං බුද්ධගයාව ඉදිරියේ මං මේ ගීතය ගායනා කළා.‘

ඉෂාක්, ඔහුගේ සොයුරු ඉල්ලියාස් සිය ආදරණීය පියාණන්ගේ ගී නිර්මාණ තවමත් රසික ජනතාව අතර ජීවමාන කරමින් සිටිනවා. ඒ අමරණීය හඬෙහි වටිනාකම තවත් ඔප් නංවමින් සිටිනවා.

බෙග් මාස්ටර් කියන්නේ අපේ කාලයේ හැටියට සර්වාගාමික ගායකයෙක්. එහෙමත් නැතිනම් මනුෂ්‍යත්වයේ ගායකයෙක්. එවැනි ගායන ශිල්පින් ශ්‍රී ලංකාවේ තවත් ඉන්නවා. ඒත් බෙග් මාස්ටර් ඒ අතරින් කැපී පෙනෙන්නේ මුස්ලිම් ජාතිකයකු වුවත් බොදු බැති ගී ගැයීමට ඔහු තුළ තිබූ නොතිත් ආසාව නිසයි. ඒ ගීත මෙරට බෞද්ධ ජනතාව ආදරයෙන් වැළඳගත් නිසයි. බෙග් මාස්ටර් තවමත් ශ්‍රී ලාකේය ජනතාව අතර ජීවමානයි. ඒ හඬ තවමත් ජීවමානයි.

එදා 1991 නොවැම්බරයේ ඔහු අප අතරින් වෙන් වූණු මොහොතේ මහා ජනගඟක් මරදානට එක්කාසු වුණා. ඒ අතර වැඩිපුරම සිටියේ සිංහල ජනතාව. ඔවුන් තමයි බෙග් මාස්ටර්ගේ දේහය කුප්පියාවත්ත මුස්ලිම් සුසාන භූමියට ඔසවාගෙන ගියේ. ඉෂාක් කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ට තබා ඔහුටත් කිට්ටුවෙන්න අසීරු වුණාලු පියාගේ දේහය අසළට. බෙග් මාස්ටර්ට එතරම්ම ආදරයක්. සිංහල ප්‍රජාවගෙන්.

 


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>