එච්.එම්.ඒ.පී. රත්නායක අධ්‍යක්ෂ, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය
කොස්, දෙල් වැනි ආහාරවලට අගය එකතු කිරීම මඟින් වැඩි වටිනාකමක් ගත හැකි ආකාරය ගැන හා අස්වැන්න සංරක්ෂණ කිරීමේ වැදගත්කම, නාස්තිය අවම කිරීමට ගත යුතු පියවර ගැන ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ එච්.එම්.ඒ.පී. රත්නායක දැක්වූ අදහස් මෙසේය.
කුඩා ප්‍රමාණයේ සහල් නිෂ්පාදකයන් 78ක් අප වසරකට බිහි කරනවා
සැලසුම්ගත වගාව සුපිරි ආදායම් මාර්ගයක්
අනාගතයේදී පැමිණීමට ඉඩ තිබෙන අභියෝගවලට මුහුණ දීමේදී ආහාර සුරක්ෂිතතාව වැදගත් වන්නේ කෙසේද? ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට අදහස් කරන්නේ කොහොමද?
ආහාර සුරක්ෂිතතාව ගැන කතා කිරීමේදී නෙළා ගත් අස්වැන්න හානි නොවන ආකාරයකට භාවිත කිරීම පළමු කරුණයි. දෙවැන්න ආහාර කල් තබා ගැනීමට වැඩ පිළිවෙළක් යෙදීමයි.
ආහාර ආරක්ෂා කළ යුතුය කියන හැඟීම බොහෝ දෙනකුට නැහැ. ගෙදර තිබෙන කොස් ගහේ ඵලදාවෙන් නිසි ප්‍රයෝජනය ගන්න බොහෝ දෙනකු දන්නේ නැහැ. ඒ නිසා ඵලදාව ගබඩා කර ගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා අකාරය පිළිබඳ ජනතාව දැනුම්වත් කරන වැඩසටහන් මාලාවක් අප ආරම්භ කළා.
මෙම සම්මන්ත්‍රණ මාලාව සූම් ආධාරයෙන් පැවැත්වෙන නිසා ඕනෑම ප්‍රදේශයක පදිංචි අයකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ආහාර කල්තබා ගැනීම, අගය එකතු කිරීම, ආහාර ගබඩා කිරීමේදී නාස්තිය වළක්වා ගැනීම, නිවැරදි භාවිතය යනාදිය ගැන දේශන 20ක් පමණක් පවත්වන්න අප කල්පනා කළා.
වියළා ගත් කොස්, දෙල්, මඤ්ඤොක්කා මඟින් කෑම වර්ග සාදන ආකාරය ගැන අප ජනතාව දැනුම්වත් කළා. ඒ ගැන ජනතාව අතර විශාල උනන්දුවක් ඇති වෙලා. තනි කොස් ගසක් තිබෙන ගෘහනියන් පවා මේ ගැන උනන්දුවක් දැක්වීම ධනාත්මක ප්‍රවණතාවක්.
පෝෂණය, මතුපිට පෙනුම, රසය ආරක්ෂා වන පරිදි ආහාර පරිරක්ෂණය කරන්නේ කොහොමද?
රසය හා පෙනුම අඩු නොවන ආකාරයට ආහාර කල් තබා ගන්න පුළුවන්. විජලනය ආහාර කල් තබා ගත හැකි එවැනි එක් ක්‍රමයක්. ශිත ගබඩාකරණය තව ක්‍රමයක්. විජලනය කිරීමෙන් අඩු ශක්තියක් වැය කර ආහාර කල්තබා ගන්න පුළුවන්. ඒ වගේම විජලනය කිරීමෙදි උෂ්ණත්වය, භාවිත කරන යන්ත්‍ර සූත්‍ර, පූර්ව ප්‍රතිකාරක ක්‍රම ගැන සැලකිලිමත් විය යුතුයි. සමාජය පූර්ව ප්‍රතිකාර ගැන දැනුවත් වුණොත් රසය, ගුණය හෝ වර්ණය වෙනස් නොවන ආකාරයට ආහාර කල් තබා ගන්න පුළුවන්.
නිසි අවස්ථාවේ අස්වැන්න නෙළා නොගැනීම නිසා එළවළු හා පලතුරු ඵලදාව අපතේ යනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
අස්වැන්න නිසි අවස්ථාවේ නෙළා ගත යුතුයි. ගොයමේ පැහැයෙන් අස්වැන් නෙළා ගත යුතු අවස්ථාව තීරණය කරන්න පුළුවන්. බණ්ඩක්කා කරලක් වුණත් නෙළා ගන්න නියමිත දින ගණනක් තිබෙනවා. කෙසෙල් කැන සුදුසු අවස්ථාවේ කපා ගත්තොත් නියමිත බර, පැහැය රැක ගන්න පුළුවන්.
ව්‍යපාරික කෘෂි කර්මාන්තයේදි නිවැරැදි කාලේට අස්වැන්න නෙළා ගැනීම වැදගත්. නැත්නම් පාඩු විඳීමට සිදු වෙනවා. ඒ වගේම අස්වැන්න ඉක්මනින් නාස්ති වෙන්න පුළුවන්. දින තුනක් තියා ගන්න හැකි භෝගයක් දිනකින් විනාශ වෙන්න පුළුවන්. නිවැරැදි අවස්ථාවේ අස්වැන්න නෙළා ගැනීම ගැන මෙන්ම නිවැරැදි ආකාරයෙන් නෙළා ගැනීමත් මෙරට කෘෂි ක්ෂේත්‍රයේ දක්නට ලැබන ගැටලුවක්.
ව්‍යාපාරික වගාවක් විදියට අඹ අස්වැන්න පරිහරණය කිරීමෙදි මේ තත්ත්වය හොඳින් දැක ගන්න ලැබෙනවා. අඹ ගස් බදු ගන්නා උදවිය තෝරා ගැනීමක් කරන්නෙ නැහැ. වැඩුණු ගෙඩි සමඟ දලු ගෙඩිත් සමඟ එකවර කඩා ගන්නවා. පසුව ඒවා විවිධ ක්‍රමවලට ඉදවා වෙළෙඳපොළට නිකුත් කරනවා. එවිට අස්වැන්න කල් තබා ගැනීමට නොහැකි වෙනවා පමණක් නෙමෙයි, නියමිත රසයත් නැති වෙනවා.
මුල් බැස ගත් මෙවැනි වැරැදි භාවිත නිවැරැදි කරන්න අප අඹ ගම්මාන 9ක් තෝරා ගෙන වැඩසටහනක් ඇරඹුවා. එ් සඳහා අප මුලින්ම කළේ අඹ එක්රැස් කරන්නන්ගේ සමිති හැදීමයි. ඉන් පස්සේ ඒ සමිති මඟින් නිවැරැදිව අඹ කඩන, ඉදවන, ප්‍රවාහන කරන ආකාරය ගැන ගොවීන් දැනුම්වත් කළා. මේ ක්‍රියාවලිය දිරිමත් කරන්න දැනුම්වත් කිරීමෙන් පසු අපි ඔවුන්ට කෘෂි උපකරණත් දුන්නා. ටික කාලයකට පස්සේ අප ඒ ගැන පර්යේෂණයක් කළා. නිවැරැදි ආකාරයට අස්වැන්න නෙළා ගත්තොත් නාස්තියෙන් සියයට 41ක් රැකගත හැකි බව එහිදි ඔප්පු වුණා.
එළවළු ප්‍රවාහනයේ සැපයුම් දාමය සැකසි ඇති ආකාරය අනුව ප්ලාස්ටික් ඇසුරුම භාවිතයට ප්‍රායෝගිකව හුරු කළ හැකිද?
ප්ලාස්ටික් ඇසුරුම ප්‍රචලිත කරන්න පුළුවන් නම් එයින් රටට විශාල වාසියක් සැලසෙනවා. එක් ප්ලාස්ටික් ඇසුරුමක් 200 වාරයක් පමණ භාවිත කළ හැකි බව අප ගණන් බලා තිබෙනවා. එහෙත් දැල් කූඩයක් භාවිත කරන්න පුළුවන් එක් වරක් පමණයි. පසුව එය කුණු කන්දකට එකතුව පරිසර හානියකට දායක වෙනවා.
ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය ව්‍යාප්ත කරන්න අපිට මුල් කාලේ පුදුම අපහසුවක් තිබුණා. එහෙත් මේ වන විට පලතුරු ප්‍රවාහනය කරන අයගෙන් සියයට 80ක් පමණ ප්ලාස්ටික් ඇසුරුම් භාවිත කරනවා. පසුගිය අවුරුදු 5ක කාලය තුළ රජයෙන් ප්ලාස්ටික් කුඩ මිලදි ගන්නා ගොවීන්ට සියයට 30ක සහනයක් දුන්නා.
ඊට අමතරව ප්ලාස්ටික් කූඩ භාවිත කරන ආකාරය ගැන ගොවීන්, නාටාමිවරුන්, ප්‍රවාහනකරුවන් යනාදි සෑම ක්ෂේත්‍රයකම පිරිස් දැනුවත් කළා. බොහෝවිට පලතුරු ප්‍රවාහනකරුවන්ට සපයන්නේ නිෂ්පාදකයන් විසින්මයි. ඒ නිසා ඔවුන්ට ඒ කූඩ ආපසු ගන්න පුළුවන්. එහෙත් එළවළු රැස් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රවාහන දාමය වෙනස්. වගාකරුවාගෙන් දඹුල්ලට එළවළු ලැබෙනවා. එතැනින කොළඹට යනවා. ඉන්පසු එතැනින තවත් කොහේට හෝ යනවා. මේ ආකාරයට එළවළු ප්‍රවාහනයේ සැපයුම් දාමයේ අවස්ථා ගණන වැඩියි. මේ නිසා ගොවියා අතට අාපසු ඇසුරුම ලැබෙන ක්‍රමයක් සකස් කිරීම දුෂ්කරයි.
ආපසු ප්‍රවාහනයේදී තුනෙන් එකක් ඉඩ ඇහිරෙන නිසා ගොවීන් ප්ලාස්ටික් ඇසුරුම් භාවිත කරන්න යම් මැළිකමක් දක්වනවා. අප හඳුන්වාදී ඇති ප්ලාස්ටික් කූඩ එකමත එක්ක අසුරන්න පුළුවන්. ආපසු ප්‍රවාහනයේදී එකක් ඇතුළට තවත් කූඩයක් දාන්න පුළුවන්. මේ නිසා ඉඩක් වැය වෙන්නේ නැහැ. ගෝණියක කිලෝ 50ක් දාන්න පුළුවන් වුණාට ප්ලාස්ටික් කූඩයකට දාන්න පුළුවන් කිලෝ 25ක් පමණයි. කඳුකර ගොවීන්ය තිබෙන ප්‍රශ්නය තමයි ඉහළ සිට පහළට ගෙනෙන විට කම්කරුවන්ට ගෙවීම් කරන්නෙ කෑලි ගණනට. ඇසුරුම මොකක් වුවත් ඒ එක කෑල්ලකට රුපියල් 10ක් ගෙවන්න වෙනවා. ප්ලාස්ටික් කූඩය ජනප්‍රිය නොවෙන්නෙ මේ වගේ ගැටලු නිසයි. එහෙත් ප්ලාස්ටික් කූඩ භාවිත කළොත් කිසිම ගැටලුවක් නැතිව නාස්තිය සියයට 40 සිට 15 දක්වා අඩු කරන්න පුළුවන්. අපට මේ රටේදි භාවිත කරන්න පුළුවන් සුරක්ෂිතම ඇසුරුම ප්ලාස්ටික බහාලුමයි.
මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය යොදාගෙන ඉදවීම නිසා ජනතාව පලතුරු භාවිතයට ඇති ඉල්ලුම අඩුව තිබෙනවා නේද?
කෙසෙල්, පැපොල්, අඹ වැනි පලතුරු වැරැදි ඉදිවීමේ ක්‍රියාවලියක් රටේ ක්‍රියාත්මක වෙනවා. මෙය නැවැත් විමට අප පලතුරු ගම්මාන ආශ්‍රයෙන් ඉදවීමේ කුටීර වැඩසටහනක් හඳුන්වා දුන්නා. කුටීර භාවිතය නිසා වගාකරුවන් දෙයාකාරයකින් වාසි ලබනවා. හුඟක් වෙලාවට මිනිස්සු රසායන ද්‍රව්‍ය ස්ප්‍රේකර කෘත්‍රිමව ඉදවීම කරනවා. මේ ක්‍රමයෙදි බොහෝ විට ඉදෙන්නෙ අඹ ගෙඩියේ පිට සිට ඇතුළටයි. එවිට පිට පැත්ත වැඩියන් ඉදෙන නිසා පහසුවෙන් තැලෙනවා. වැඩි දවසක් තබා ගන්න බැහැ. ඉක්මනට නරක් වෙනවා.
ඒ නිසා මේ අකාරයට ඉදවන පලතුරු වැඩි දවසක් වෙළෙඳපොළේ තබා ගන්න බැහැ. වෙළෙඳුන් එවිට අස්වැන්නේ කොටසක් විසි කර ඉතිරිය අලෙවි කිරීමට පුරුදුව සිටිනවා. කුටීර මගින් ඉදවීමේ දි ස්වභාවික වායුව යොදා ගන්න නිසා පලතුරු එවිට ඉදෙන්නේ ඇතුළේ සිට පිටතටයි. වැඩි කාලයක් තබා ගන්න පුළුවන්. වැඩි කාලක් වෙළෙඳපොළේ තබා ගන්න පුළුවන් නිසා වෙළෙන්දාටත් වාසියි.
සෞඛ්‍යාරක්ෂිතව ඉදවූ පලතුරුවලට වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසා නිවැරදිව ඉදවන වගාකරුවන් සුපිරි වෙළෙඳසැල් ජාලාවලට අප සම්බන්ධ කරනවා. කලින් කුඩා පරිමාණයේ වෙළෙඳුන්ව සිටි සමහරු අලුත් ක්‍රමයට ඉදවීම නිසා මහා පරිමාණයේ වෙළෙඳුන් බවට පත්ව සිටිනවා.
ආයතන පවත්වන පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද?
කාලය සහ සම්පත් භාවිතය සලකා අප වැඩි වශයෙන් අවධානය දක්වන්නේ කණ්ඩායම් හැටියට පුහුණු පවත්වන්නයි. එහෙත් යම් අයකු මුදලක් දරා පුහුණුව ලැබීමට අපේක්ෂා කරන්නේ නම් එවැනි තැනැත්තන්ට පුහුණුව දෙනවා. බොහෝ විට එවැනි කේවල පුහුණු වැඩටහන් පවත්වන්නේ විදේශගතවීමට අපේක්ෂා කරන අය වෙනුවෙන්. අන්තර්ජාතික වශයෙන් පිළිගත් පුහුණු සහතිකයක් අප නිකුත් කරන නිසා මේ පුහුණු වැඩසටහන්වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.
ගොවි සංවිධාන, කාන්තා සංවිධාන, විදාතා මධ්‍යස්ථාන, රාජ්‍ය නොවන, සුභසාධන යනාදි කුමන කණ්ඩායමකට වුවත් අපේ පුහුණුවට ඉල්ලුම් කරන්න පුළුවන්. මේ පුහුණු වැඩසටහන් සඳහා ලොකු ගණන් අය කරන්නේ නැහැ.
නුවර, නුවරඑළිය, වාරියපොළ, අම්බලන්තොට, යාපනය, අනුරාධපුරය යන ප්‍රදේශවල අපේ පුහුණු මධ්‍යස්ථාන තිබෙනවා. අපට ඇත්තේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 7ක් පමණක් නිසා තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ ගැටලුවක් තිබෙනවා. එක් මධ්‍යස්ථානයකින් කිලෝමීටර 200ක පමණ වපසරියක් ආවරණය කිරීමට සිදුව තිබෙනවා. ඒ වුණත් අපි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වසරකට 5,000කට පමණ පුහුණුව සපයනවා. ඉංජිනේරුවන් ඇතුළු නිපුණත්වයක් සහිත නිලධාරීන් මේ මධ්‍යස්ථානවල සේවයේ යොදවා තිබෙනවා.
පුහුණු වැඩසටහන් අයත් වන ක්ෂේත්‍ර පැහැදිලි කළ හැකිද?
එළවළු හා පලතුරු ආශ්‍රිත විවිධ නිෂ්පාදන ගැන පුහුණු වැඩසටහන් රැසක් පවත්වනවා. එතැනදි ජෑම් වර්ග සෑදීම, ධ්‍යාන වියළීම, සහල් නිෂ්පාදනය, සහල් පිටි කිරීම, සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන, ධ්‍යාන පියලි කිරීම, පූර්ව ප්‍රතිකාරක, ගබඩා කිරීම, බඩ ඉරිඟු නිෂ්පාදන, කුඩා කර්මාන්ත නිෂ්පාදන බිහි කිරීම යනාදිය අප පුහුණු කරනවා.
පසුගිය කාලේ වට්ටක්කා වෙළෙඳපොළ පහළ ගියා. ඒ අවස්ථාවේ අපි වට්ටක්කා සුප්, කේක්, පිටි හදන ආකාරය කියලා දුන්නා. පසුගිය කාලේ ඒ විදියට අපේ පුහුණු වැඩසටහන්වලට සහභාගී වූ අයකු දැන් මාලදිවයිනට වට්ටක්කා නිෂ්පාදන අපනයනය කරනවා.
අපයනයන වෙළෙඳපළට පිවිසෙන ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පිරිවිතර සකස් කර ගැනීමට ඔබ ආයතනය උදව් කරනවද?
අපේ විද්‍යාගාරවලින් ඔවුන්ට අවශ්‍ය සියලු රසායනාගාර පරීක්ෂණ සහන මිලකට කර ගන්න පුළුවන්. ඔවුන්ගේ නිෂ්පාදනවල සංඝටක පිළිබඳ වාර්තා නිකුත් කිරීම, තත්ත්ව පරීක්ෂණ යනාදිය කර දෙනවා. අනෙකුත් ආයතන සමඟ සලකා බලන විට මේ පරීක්ෂණ කරන අප අය කරන්නේ රසායන ද්‍රව්‍යවල වියදම පමණයි.
ප්‍රාදේශීය මධ්‍යස්ථා හරහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින කෙනකුට මේ පහසුකම ගන්න පුළුවන්. ඊටත් අමතරව අපෙන් පුහුණුව ලැබූ අයට ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියේ අඩු පාඩු සකස්කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර දීම මගින් තත්ත්වය උසස් කිරීමට උදවු කරනවා.
කුඩා ප්‍රමාණයේ සහල් නිෂ්පාදකයන් දිරිමත් කිරීම සඳහා ආයතන උදවු කරනවා නේද?
ගිය අවුරුද්දේ කුඩා පරිමාණයේ සහල් නිෂ්පාදකයන් 78ක් අලුතින් බිහි කරන්න අපට පුළුවන් වුණා. නිවැරැදි තාක්ෂණය යොදා ගෙන වී තැම්බීම කළ හැකි බැරලයක් අපි හඳුන්වා දුන්නා. මේ බැරයලයක් රුපියල් 8,000කට පමණ ගන්න පුළුවන්. එයින් පැයක් ඇතුළත වී කිලෝ 100ක් තම්බා, වියළා ගත හැකියි. ඊට අමතර අඩි 2ක දිග පළල, උස තිබෙන ටැංකි දෙකක් හදා ගත්තොත් කුඩා කර්මාන්ත ශාලාවක් ඇතිකර ගන්න පුළුවන්.
මේ විදියට දින 5කදි කිලෝ 500ක වී තම්බා, වේලා ගන්න පුළුවන්. ඒ වී ටික ගමේ තියෙන කුඩා වී මෝලකට දී සහල් සකස් කර ඉලක්ක වෙළෙඳපොලකට සහල් සැපයිය හැකියි.
මෙය අමතරව අපි කුඩා පරිමාණයේ සහල් ගබඩා දියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මේ වැඩසටහන මඟින් නිවෙස්වල වී ගබඩා කිරීමෙන් සිදු වන නාස්තිය සියයට 7කින් පමණ අඩු කර ගන්න පුළුවන්. මෙතැනදි අපි ගබඩාවක් වෙනම හදන්නේ නැහැ. ගෙදර තිබෙන කාමරයක් ගබඩාවක් විදියට දියුණු කරනවා. ඒ සඳහා යන වියදමින් සියයට 50ක් ආණ්ඩුවෙන් දෙනවා.
චන්දන ජයවීර