Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

වසර 4කට පෙර මියගිය එකම පුතු සිහි කරමින් මල් හත්දහසක තොරණක් ඉදි කරන වාද්දුවේ පියා

$
0
0
අගෝ 18, 2022 01:00

වාද්දුව දළදා පූජෝත්සවයෙන් ඇහෙන කතාවක්

 

 

වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ මහා විහාර 89 වැනි ශ්‍රී දළදා පූජෝත්සවයට වාද්දුව තල්පිටිය දෙගම් වැසියෝ ලහි ලහියේ සුදානම් වෙති. ඒ සඳහා පෙළගැසෙති.තැන තැන තොරණ ඉදි කරති. ගමේ තරුණයන් තම දස්කම් විවිධ රටා යොදමින් ඒවා ඉදි කරති. එම තොරණ අතර වාර්ෂිකව ඉදි කරන විශේෂ තොරණක් ද වෙයි.

එනම් මීට වසර හතරකට ඉහතදී උසස් පෙළ අධ්‍යාපනය හදාරමින් සිටියදී හදිසි අනතුරකින් අභවප්‍රාප්ත වූ සචින් මධුවන්ත කුමාර පෙරේරා තම එකම පුතු සිහි කරමින් ඔහුගේ පියා වන මනෝජ් කුමාර පෙරේරා මහතා ඉදි කරන තොරණයි. එය කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ වාද්දුව පල්ලියමංකඩ මංසන්ධියේ ඉදි වේ. මෙවර එම දැවැන්ත තොරණ ඉටි රෙදි මල් හත්දහසක් පමණ යොදා බෞද්ධ ධජයක අනුරුවින් විස්මිත නිර්මාණයක් ලෙස ඉදි වෙමින් පවතී. වාද්දුව ශ්‍රී දළදා පෙරහරට උපහාර පිණිස වසර දහනවයක් තිස්සේ වාද්දුව පල්ලියමංකඩ මනෝජ් කුමාර පෙරේරා මහතා ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව මේ තොරණ ඉදි කර ඇත. මීට වසර හතරකට ඉහතදී හදිසි අනතුරකින් මියගිය ඔහුගේ පුතු සචින් මධුවන්ත ඊට විශාල දායකත්වයක් සපයා ඇත.

පුතුගේ අකල් වියෝව නිසා තවමත් දැඩි ශෝකයෙන් පසුවන මනෝජ් කුමාර පෙරේරා මහතා හඬ අවදි කළේ මෙසේයි.

“දළදා පෙරහරට උපහාර පිණිස අපි මේ තොරණ හදන්නේ වසර විස්සකට පමණ ආසන්න කාලයක සිටයි.එහි ප්‍රධාන සහායක් දැක්වුයේ මගේ පුතයි. අපි හැම අවුරුද්දෙම මොකක් හරි වෙනස් නිර්මාණයක් තමයි කරන්නේ. කුඩා සිමෙන්ති ගල්, ටීක් බෝල, පොල් කටු වගේ දේවල්වලිනුත් මීට පෙර තොරණ හැදුවා. ඒ හැම එකකටම අදහස් දුන්නේ මගේ පුතා. ගොඩක් මහන්සි වුණේ එයා.එයා ලොකු වෙලා තනියම කටයුතු කරන්න හදන කාලේ තමයි අපට එයා අහිමි වුණේ. ඒ දුක අපට තාමත් දරා ගන්න බැහැ. එයා වෙනුවෙන් කොතරම් අමාරුවෙන් හරි වාර්ෂිකව මේ දේ කරනවා. මේ පාරත් තොරණට ඉටි රෙදි කිලෝ හැත්තෑ දෙකක් විතර ගියා. විශාල මුදලක්. මට ගොඩක් අය සහාය වෙනවා. දළදාවත්ත විහාරයේ නායක හාමුදුරුවන් ඇතුළු මහා සංඝරත්නය සිහිපත් කරන්න අවශ්‍යයි. මගේ බිරිය, දියණියන් දෙදෙනා, සොහොයුරිය විශාල ශක්තියක්. අසල්වැසියන්, ප්‍රදේශවාසීන් මේ සඳහා සහාය වෙනවා. ඒ සියලු දෙනාම සිහිපත් කරනවා. ඒ වගේම මෙවර තොරණ ඉදි කරන්න පාණදුර යුද හමුදා කඳවුරේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් සියලු දෙනා දක්වන සහයෝගයට විශේෂයෙන්ම ස්තුතිය පුද කරනවා.මේ හැම දෙයක්ම කරන්නේ මගේ පුතා වෙනුවෙන්”

ඒ අකල් මරණයකට ගොදුරු වූ සචින් මධුවන්ත කුමාර පෙරේරා පුතු වෙනුවෙන් පියාණන් කරන උත්කෘෂ්ට කර්තව්‍යයයි.මෙවර බෞද්ධ ධජයක් විදහා දැක්වෙන දැවැන්ත තොරණ ඉදි කිරීම සඳහා දර්ශනීය මල් හත්දහසක් පමණ නිර්මාණය කර ඇති අතර ඒ සඳහා මාසයකට ආසන්න කාලයක් ගත වී ඇත.මේ වන විට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැය වී තිබේ. ඊට ඔහුගේ බිරිය සහ දියණියන් දෙදෙනා මෙන්ම නෑදෑ හිතමිතුරන්, අසල්වැසියන් දක්වන සහාය වෙසෙසින්ම විශාල ශක්තියක්. එමෙන්ම මෙවර තොරණ සවි කිරීම සඳහා සියලු ආධාරක කණු සහ සැකිල්ල පාණදුර යුද හමුදා කඳවුර මගින් සැපයීම අගය කළ යුතුය.

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරාධිපති, පාණදුර තොටමුණු බද රයිගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නාහිමි-

“මෙවර 89 වැනි වරට ශ්‍රී දළදා පුජෝත්සවය පැවැත්වෙන්නේ. ඒ සඳහා තල්පිටිය වගේම වාද්දුව ගම්වැසියන් මහත් ශ්‍රද්ධාවෙන්, උද්යෝගයෙන් කටයුතු කරනවා. පෙරහර මාර්ගයේ තොරන් කීපයක් ඉදි කෙරෙනවා. ඒ හැම එකක්ම ස්වේච්ඡාවෙන් ඉදි කරන තොරණ.ඒ අතර මේ තොරණත් විශේෂයි.බොහෝ කලක් කුමාර මහතා තොරණ ඉදි කරනවා. එදා ඉඳන් ඊට සහාය දැක්වූ තම ආදරණිය පුතා සිහි කරමින් ඔහු මේ කටයුත්ත අඛණ්ඩව සිදු කරගෙන යනවා.පිය පුතු සම්බන්ධතා ගිලිහී යන සමාජයක මෙය වටිනා ආදර්ශයක් ද වනු ඇති බව මගේ විශ්වාසයයි.”

 

ඡායාරූප - ජනක ජීවන්ත හෙට්ටිආරච්චි

ජනක ජීවන්ත හෙට්ටිආරච්චි - වාද්දුව


Viewing all articles
Browse latest Browse all 10762

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>