Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

කැමරාව වමෙන් පමණයි

$
0
0
අප්‍රේ 30, 2018 01:00

 

1971 අප්‍රේල් සන්නද්ධ අරගල කාලයේදී ධර්මසේන පතිරාජටත්, ඩබ්ලිව් ජයසිරිටත් රැකියා තාවකාලිකව අහිමි විය. මෙම ලිපි පෙළ ආරම්භයේදී ජයසිරි අයියා කියා සිටියේ රැකියා අහිමිවීමෙන් පසු දෙදෙනාම කෙලින්ම ගොස් නැවතුණේ පේරාදෙණිය- නුවර ප්‍රධාන මාර්ගය ආසන්නයේ පොල්ගහමුල හංදිය සමීපයේ නිහාල් වෙත්තසිංහගේ ගෙදර බවය. යළි රැකියා හිමිවනතුරු එම නිවසේ රැඳී සිටි බැව් ජයසිරි අයියා කීය. එම සිදුවීම එකී නිවසේ හිමිකරු වූ වෙත්තසිංහ අයියාට දැනුණේ මෙසේය.

"71 කැරැල්ල මෝඩයි. අපි දන්න, අපේ කිසිම කෙනෙක් ඒකට ගෑවුණේ නෑ. පතීලා ජයසිරිලා වුණත් කිසිම සම්බන්ධයක් නෑ. ඒත් දෙන්නගෙම කටවල් හොඳ නෑනේ.කට පරිස්සම් කරගෙන ඉන්න බැරි නිසා තාවකාලිකව රස්සා නැති වුණා. ඒ කාලෙ අපේ ගේ තිබු‍ණේ පාර අයිනෙමයි. ප්‍රධාන පාරේ කන්ද උඩ.රස්සා තිබිලා නැතිවෙච්චි අයයි, තිබ්බෙම නැති අයයි ඔක්කොම අපේ ගෙදර එනවා, යනවා. ඔක්කොම තරුණ කොල්ලො.කොල්ලො සෙට් එකක් එක තැනක එකතුවෙලා ඉන්න එකත් ඒ කලබල කාලෙ ලොකු ප්‍රශ්නයක්. අපෙ අම්මලටත් ඒක මාර ප්‍රශ්නයක්. මේවා ගම්නෙ. වටේ පිටේ අයත් සැකෙන් බලනවා.88-89 වගේ භීෂණයක් තිබ්බෙ නෑ. නමුත් සැකයක් හිතුණොත් අරන් ගියා. ඒ වෙද්දි කොස්තා, ජයසිරි, හත්තොට්ටුවේගම, තෙන්නෙ,පතී, සරච්චන්ද්‍ර සමරක්කොඩි, පියසේන අහංගම වගේ ඔක්කොම 10-15 ක්, හිතුණු ගමන් එනවා. වැඩක් නැත්නම් එනවා. පතීලා බැඳලා 'මහ ගෙදර යනවා වගේ එන්නෙ අපේ ගෙදර'දරුවො ලැබුණමත් එහෙමයි. දරුවො මෙහෙ දාලා ඒ අය එක එක වැඩවලට යනවා."

වෙත්තසිංහ අයියා කියන විදිහට තරුණ පිරිසක් එකතුවී සිටීම ප්‍රශ්නයක් නොවී බේරාගැනීමට ඉදිරිපත්ව සිටියේද, 'කැප්ටන් කුලතුංග'යනුවෙන් බොහෝ දෙනා හඳුනාගත් එවක යුද හමුදාවේ කපිතාන් ධූරයක් දැරූ මිතුරෙකි. ඔහු මහනුවර ප්‍රදේශයේ සිටි බැවින් පාරේ යමින් එමින් සිටින සෑම අවස්ථාවකම පාහේ නිවසට ගොඩවැදී තරුණයන් සමඟත්, වෙත්තසිංහ අයියාගෙ මව සමඟත් කතා බහ කොට 'බය වෙන්න දෙයක් නෑ'කියා හිතහදා යාම නිසා අස්වැසිල්ලක් ලැබිණි.

කොළඹ රස්තියාදු වූ සමයේ පතී සමඟ ප්‍රංශ තානාපති කාර්යාලයේ ‍සේවයේ නියුතුව සිටි වි‍ඥෝ සහ බාතෙරමි යන අය සමඟ පතීට පැවතියේ සමීප සබඳතාවකි. මේ නිසාම පතී ඉල්ලා සිටින අලුත් ප්‍රංශ චිත්‍රපට ඉතා කෙටි කලක් තුළ ගෙන්වාදීමට මෙකී මිතුරන් කටයුතු කළහ. ලංකාවේ කිසිදාක තිරගත ‍නොවූ චිත්‍රපට සිය ගණනක් නැරඹීමේ අවස්ථාව ඉන් තමාටත් හිමි වූ බව වෙත්තසිංහ අයියා පෙන්වාදෙයි.

"පතී වෙන රටක හිටියනම් මහා ප්‍රාඥයෙක්. අපි කාටවත් වඩා ගොඩක් දේවල් කලින්ම ග්‍රහණය කර ගැනීමේ අපූරු හැකියාවක් පතීට තියෙනවා. අපි මොනව හරි හොයාගෙන කීවත් එයා අපිටත් වඩා හොඳට ඒ ගැන හිතලා ඒක එයාගෙම දෙයක් බවට පත්කර ගන්නවා.

තිලක් ජයරත්නගෙ 'කඩුල්ල'ට ලීව ඔර්ජිනල් පිටපත මං කියෙව්වා. ඒත් පතී අතින් හැඩවෙලා ටෙලියක් විදිහට එළියට ආවෙ ඒකම නෙවෙයි. ඒක සෑහෙන්න පතීගෙ වෙලා හැඩවෙලා ඔප මට්ටම් වෙලා ආවා. සමහරවිට හාත්පසින්ම වෙනස්. පතීගේ ඇසුරෙන් මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. විද්‍යාලංකාරේ එයා දේශන කරනකොට සමහර වෙලාවට මමත් ගිහින් වාඩිවෙලා ඉන්නවා. පතී සම්ප්‍රදායික ගුරුවරු වගේ උගන්වන්නෙ නෑ. කලින් දවසෙ කොහේ හරි අහුලගත්තු කෑල්ලකින් වැඩේ පටන් ගන්නවා."

ඔහු නිදසුන් සහිතව පැහැදිලි කරයි.

පතීගේ සෑම සාර්ථක සිනමා කෘතියකම පාහේ සංගීතය ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේය. මාස්ටර්ටද, වඩා වැදගත් වන්නේ කෘතිය මිස පුද්ගලයා හෝ වෙනත් වරදාන නොවේ. මෙකී සුසංයෝගය බොහෝ නිර්මාණවල සාර්ථකත්වයට අමිල මෙහෙයක් වූ බැව් නොකියා බැරිය.

"බඹරු ඇවිත් එකේ තේමා ගීතයේ (හඳුනා ගත්තොත් ඔබ මා) 'මහ මුහුදම ගොඩට ගලා රත්වුණු හිරු පායන්නට'කියන කොටස ගායනා කරන්නේ මාස්ටර්. මාස්ටර්ගෙ සංගීතයට ඕන තැනට ගායකයාට හෝ ගායිකාවට තමන්ගෙ ගායනය ගෙනෙන්නට බැරි නම් වෙන කෙනෙක් ලවා ඒක කියවනවා.එහෙම නැත්නම් මාස්ටර්ම කියනවා. එක විශාරද කෙනෙකුටත් වෙනත් අවස්ථාවකදී එහෙම කියාගන්න බැරි වුණාම, නෝන්ඩියක් දාලා, පුංචි කොටසක් කියන්න නෙවිල් ප්‍රනාන්දුව ගෙන්නුවා මට මතකයි"

වෙත්තසිංහ අයියා කියයි. ඇතැම් අවස්ථාවන්හි මේ අයුරින් සිදුකෙරුණු මැදිහත්වීම් මෙන්ම තවත් අවස්ථාවන්හි රූගත කිරීැම්වලදී සිදුවුණු අමතක නොවන අත්දැකීම්ද බොහෝය. එවන් එක් සංසිද්ධියක් පිළිබඳ ඔහු සිහිපත් කරනු ලැබුවේ සිනාමුසු මුහුණෙනි. ඒ පතී විසින් අධ්‍යක්ෂණය කළ 'දුර්ගාන්තය'ටෙලි වෘත්තාන්තයේදීය.

"රූගත කිරීම්වලට පෝනියෙක් ඕනවුණා. පතී, විකීට (ලයනල් වික්‍රම) කීවා කොහෙන් හරි හෙට උදේ වෙද්දි පෝනියෙක් ඕන කියලා. රූගත කිරීම් තිබ්බෙ හපුතලේ. එහේ පෝනියෝ නෑ. දැන් විකී, තෙන්නෙවත් ඇදගෙන පෝනියෙක් හොයන්න නුවරඑළියට ගියා.යද්දි රෑ වෙනවනෙ.රෑ නුවරඑළියේ ඉඳලා බීලා බීලා, පහුවදා උදේම පෝනියෙක් ලොරියක පටවගෙන හපුතලේට ආවා. පෝනියා දැක්ක ගමන් පතී ඔළුවෙ අත ගහගත්තා"වෙත්තසිංහ අයියා හිනාවෙයි.

"ඇයි මොකද වෙලා තියෙන්නේ? ප්‍රශ්නය මගෙන්.

"ඇයි යකෝ මේකා ගෙනාවෙ. මේ අර පොට්ට පෝනියනෙ. මූට එක ඇහැක් නෑනේ."පතී කීවා. ඇත්ත තමා. පෝනියාගෙ එක ඇහැක් පේන්නෙ නෑ. ඒ බව විකීවත්, තෙන්නෙවත් දැකලා නෑ. ඊට පස්සෙ ආයෙ පෝනියෝ හොයන්න යන්නත් බෑ. එදා ෂූටිං කැන්සල් කරන්නත් බෑ. අන්තිමට පෝනියගෙ 'හොඳ ඇහැ'තියෙන පැත්තෙන් විතරක් ෂූට් කරන්න තීරණය කෙරුවා"

ධර්මසේන පතිරාජගේ අසනීප තත්ත්වය පිළිබඳ මුලින්ම දැන සිටියේ දෙතුන් දෙනෙක් පමණි. පවුලේ සමීප හිතවතෙක් නිසාම නිහාල් වෙත්තසිංහයටද ඒ බව දැනගැනීමට ලැබුණේ පතීගේ බිරිඳගෙනි. ඒ පිළිබඳ කිසිවකුටත් නොකියන ලෙස ඇය කළ ඉල්ලීම නිසාම තමන් ඒ ගැන යමක් කියන්නට නොගිය නමුත්, ඒ මොහොතේ සිට ඔහු මිතුරා වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කළේය. පතී, මහනුවර පුද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා යොමු වූ අවස්ථාවේ සිට ඔහුගේ අවසාන මොහොත දක්වාත්, ඉනික්බිතිව අවසන් කටයුතු අවසන් කරන මොහොත දක්වාත් ඔහු ළඟින්ම සිටියේය. 2018 ජනවාරි මස 01 වෙනි දින උදෑසනින් කිරිබත් පිසගෙන වෙත්තසිංහ අයියා, පතී දකිනු පිණිස රෝහලට ගියේය.

"උඹ කියෙව්වද මගේ 'ආවතේව කාරයා? පතී, විමසුවේය.

"ඔව්"

"හොඳ මිනිහා"?පතී, යළිත් අසා සිටියේය.

"ඒක බැරි වුණා. මට පත්තරේ හොයාගන්න බැරි වුණා."වෙත්තසිංහ අයියා කීවේය. පතී රෝගාතුරුව රෝහලේ සිටි කාලය තුළ පවා තමාට කළ හැකි දේ කරන්නට අමතක නොකළේය. 'ආවතේවකාරයා'සහ 'හොඳ මිනිහා'යනු ඔහු රෝහල් ඇඳේ සිටියදී ලියන ලද කෙටි කතා දෙකකි. මෙම කෙටි කතා දෙක ඒ දිනවල 'රාවය'පුවත්පතේ පළවිය. වඩාත් වැදගත් වන්නේ රෝහල තුළදී ඉක්බිතිව මුහුණදෙන්නට සිදුවූ දේය.

"ඒ වෙද්දි පතීට කතා කරන්නත් අමාරුයි. ඒත් මනුස්සයා අමාරුවෙන් අමාරුවෙන් 'හොඳ මිනිහා'කතාව මතකයෙන් මට කියවාගෙන යනවා. මං කතාව නවත්වන්න හැදුවත් එයා කැමති වුණේ නෑ. පැයක් විතර තිස්සෙ මට කතාව කියලා ඉවර කළා.

"ඉතිං මොන එහෙකටද තටම තටම මට ඕක කියවන්නෙ. මං පත්තරේ හොයාගෙන කියවන්නම් කියලා මං කීවා."නෑ ඉතිං උඹ හොඳ මිනිහනෙ'ඒකයි"කියලා එයා හිනාවෙවී කීවා"

සාමාන්‍යයෙන් නිර්මාණයකට සුදුසු වස්තු බීජයක් තමාට දැනුණු වහාම එය කතා බහ කොට බෙදාගැනීමේ පුරුද්දක් පතීට තිබුණි. බොහෝවිට එය දෙතුන් වරක් වෙත්තසිංහ අයියාටද කියයි. ඔහුගේ අවසන් කෙටිකතාවද, ඒ අයුරින් කියා සිටියේ, එකී පෙර පුරුද්ද නිසා වෙන්නට ඇතැයි වෙත්තසිංහ අයියා සිතයි.

"ෂෙල්ටන් සහ කාන්ති'කතාව මට දහ පාරක් විතර කියලා ඇති. අජිත් තිලකසේනගෙ පිටපත නොකියවා 'පාරදිගේ'මං මුලින්ම පතීගෙන් ඇහුවම ඒක 'බොක්ස් ඔෆිස්'වාර්තා තියයි කියලා මට හිතුණා. ඒත්, එහෙම වුණේ නෑ. පතී ඒවායින් හම්බකරන්න හිතුවෙ නැති හින්දාද කොහෙද, නිර්මාණ මාර්කට් කරන්නට හැකි සංවිධානාත්මක නිෂ්පාදකයෝ, සහායකයෝ එයාට හිටියේ නෑ. එහෙම දේවල්වලට හිත යෙදෙව්වෙත් නෑ. කෘතිය කෙරෙනවනම් ඔහේ කරගෙන යනවා. ඒ නිසාම සිද්ධවෙච්චි පාඩු අනන්තයි අප්‍රමාණයි"

ඔහු පෙන්වාදෙයි. පතී ස්වකීය ජීවිතයේ අවසාන අදියර ගත කළ අයුරු පිළිබඳ තමාට යම් කනගාටුවක් පවතින බව ප්‍රකාශ කිරීමට වෙත්තසිංහ අයියා මැලි නොවීය.

"පතී කවදාවත් මුදල්වලට ගන්න බැරි වුණා. එයා සමාජවාදය, සමානාත්මතාවය ගැන හිතුවා. ඒවා කරන්න ගිහින් සමහර මඩගොහොරුවලත් වැටුණා. දැන් මිනිස්සු නොදැනත් පාවිච්චි වෙනවා. පතී මතවාදී වශයෙන් තමාව නැති කරගත්තෙ නැතිවුණත් එයාටත් නොදැනී තමා අයිති නැති තැනකට එයා තල්ලුවෙලා හිටියා කියලා මට හිතෙනවා. ජීවිත කාලෙම ගොඩනඟා ගත්තු දේ අවසන් අවුරුදු දෙක තුන තුළ නැති කරගත්තා කියලා මට හිතෙනවා."

ඔහු තම අදහස විවෘතව කියා සිටියේය. එහෙත් තමා අවසාන මොහොතේත් පතීගේ ගෞරවය රැකෙන ලෙස හැකි උපරිමයෙන් කටයුතු කළ බව ඔහු අවධාරණය කළේය. ඒ පතීගේ මරණයෙන් පසු අවසන් කටයුතු වලදීය.

"පතී නැතිවුණේ එදා පාන්දර 5.30 ට විතර. මං 5.45 වෙද්දි එතැන. අවමඟුල සංවිධානය කෙරුවෙ මමයි, තෙන්නෙයි. පතී කලින්ම කියලා තිබුණේ 'නිහාල්, මගේ මළ කුණ කාටවත් දෙන්න එපා. හැකි ඉක්මනින් අවසානයක් කරලා දාපන්'කියලයි. මං ඒ දේ අකුරටම ඉටුකරන්න හිතාගත්තා. මාලිනියි පුතයි ඒ අදහස් එක්කම හිටිය නිසා වැඩේ වඩාත් පහසු වුණා. ලොකුම අභියෝගය ආවෙ පළාතෙ දේශපාලනඥයින්ගෙන්."වෙත්තසිංහ අයියා අවධාරණය කළේය.

ඇතැම් දේශපාලනඥයින් පතීගේ මළ සිරුර මහනුවර ඩී.එස් පුස්තකාලයේ දින දෙක තුනක් තැබීමට යෝජනා කළහ. 'පුස්තකාලවල තියන්නෙ පොත් පත්නෙ? මිනී තියන්නෙ නෑනේ'වෙත්තසිංහගේ අදහසින් හිත් අමනාපකම් ඇති කරගත් ඔවුහු පතීගේ බිරිඳ මාලිනී පතිරාජ හා පුතු මිලින්ද පතිරාජ සොයා ගියහ. 'නිහාල්ගෙන් අහන්න, නිහාල් මාමාගෙන් අහල බලන්න'බිරිඳගේ සහ පුතුගේ ප්‍රකාශවලින් ඔවුහු දුර්මුඛව ගියහ. 'අවමංගල්‍ය සභාවක් නොගන්න එක වැරදියිනේ?'ඇතැමෙක් කියන්නට වූහ.

"ඇයි?

"පතීගේ ගුණ ගැන කියන්න"ඒ ඔවුන්ගේ අවශ්‍යතාවයි.

"මේ ඇවිල්ල ඉන්න අයට පතී ගැන කියන්න ඕනද? දන්න අයනෙ ඇවිත් ඉන්නෙ? ගුණ දන්න නිසානෙ ඇවිත් ඉන්නේ"වෙත්තසිංහ, තෙන්නෙ, මාලිනී, මිලින්ද ඇතුළු සියලුදෙනා හිටියේ එකම මතයකය. අවසානයේ විනාඩි දෙකක පමණ කාලයක් ගෙන ස්තූති කතාවක් කරන වගකීම ඩබ්ලිව්. ජයසිරිට පැවැරුණි.එයද, ඒ අයුරින්ම සිදුවිය.සැබවින්ම පතීගේ ගෞරවය රැකෙන පරිදි අවසන් කටයුතු සිදුකිරීම අවසාන මොහොතේ වුවද, ඔහු ලැබූ භාග්‍යයක් ලෙසම සැලකිය යුතුය.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>