Quantcast
Channel: විශේෂාංග
Viewing all articles
Browse latest Browse all 10762

මැයි 08 වැනිදා මොකද වෙන්නේ?

$
0
0
මැයි 2, 2018 01:00

‘‘බොරුව දුවන කොට ඇත්ත සපත්තු දා ගන්නවා’’ යැයි කියන ප්‍රකට කතාව අනුව යමින් මේ මොහොත දක්වා සමාජය තුළ අඛණ්ඩව, නිර්මාණශීලීව හා ප්‍රබලව පැතිර යමින් පවතින්නේ ඒකාබද්ධ විපක්ෂය හා රාජපක්ෂවාදී මාධ්‍ය ජුන්ටාව විසින් නිර්මාණය කර ව්‍යාප්ත කරන ප්‍රවාදය. එමගින් අපට මනාව පැහැදිලි කරන්නේ දකුණේ සිංහල බෞද්ධ සමාජයේ සැලකිය යුතු පිරිසක් රාජපක්ෂ කල්ලියේ වහලුන් බවට පත්ව යථාර්ථයෙන් ඈත්ව ජීවත් වන බවය.

‘‘නිවැරදි තොරතුරු නොලබන ජාතිය පමා වී හෝ කාගේ හෝ වහලුන් බවට පත්වනු ඇතැ’යි ප්‍රංශ දාර්ශනික බර්ටන්ඩ් රසල් සඳහන් කර තිබේ.

ඉහත සඳහන් ශ්‍රී ලංකාවේ දේශපාලනය හා ජනමාධ්‍ය තුළ අවධාරණය වූ බවක් දැකිය නොහැකිය. ඒ ලංකාවේ දේශපාලනය හා ජනමාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම පාහේ ‘‘පක්ෂපාතීත්වය’’ මත පදනම් වන නිසා විය හැකිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වත්මන් පොදුජන විඥානය, ආකල්ප හා දැක්ම සකස් කිරීමේ දී දේශපාලනය හා ජනමාධ්‍ය ප්‍රබල බලපෑමක් කරන තත්ත්වය හමුවේ ඉහත සඳහන් කළ රසල්ගේ කියමන සමාජ යථාර්ථයක් බවට පත්ව තිබෙන ආකාරයක් අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන් සිංහල භාෂීය ජනතාව තුළ මේ තත්ත්වයේ හැඩතල පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.

‘‘ජනවාරි 08 වැනිදාට කුමක් සිදුවෙයිද ? කියා කුතුහලයට පත් නොවූ දකුණේ සමාජය මැයි 08 වැනිදාට කුමක් වෙයිද? කියා දැඩි කුතුහලයකට පත්ව සිටින්නේ කුමන පදනමක් මත ද යන්න අපට ඒ අනුව පහසුවෙන් වටහා ගත හැකිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය අපේ‍්‍රල් මස 12 වැනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව කල් තබන බව නිවේදනය කළ අතර පාර්ලිමේන්තුව යළි කැඳවීම මැයි මස 08 වැනිදාට නියම ව තිබුණේය. ජනාධිපතිවරයා මේ පියවර ගත්තේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) වගන්තිය මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවය. එනිසා ඒ ගැන විවිධාකාර උපකල්පන ඇතිකර ගැනීමට විවිධ පාර්ශ්වලට අවස්ථාව උදා වුවත් පාර්ලිමේන්තුව වාර අවසනා කිරීම, කල්තැබීම සම්පූර්ණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලයක් හෙයින් ඒ ගැන නෛතික විරෝධයක් පළ කිරීමට කිසිදු අවස්ථාවක් නොවීය.

එහෙත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තැබූ වහාම ඒකාබද්ධ විපක්ෂයේ ජනමාධ්‍ය මෙහෙයුම ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් ජනතාව තුළ ක්ෂණික කම්පනයක් ඇති කිරීමට පියවර ගත්තේය. එය විවිධ අංශයන් වෙතින් සැලසුම් සහගතව දියත් වූ ආකාරයක් පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව ඇතැම් මාධ්‍ය පුන පුනා ප්‍රකාශ කළේ 70 (3) වගන්තිය අනුව පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල ඇති හෙයින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගනු ඇති බවය. මේ අදහස මොහොතකින් රටපුරා පැතිර ගියේ ඒ වන විට අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමත් සමඟ ආණ්ඩුව තුළ, විශේෂයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර අර්බුදයක් ඇති බවට රාජපක්ෂවාදී මාධ්‍ය විසින් මතයක් ඇති කර තිබූ නිසාය.

මිථ්‍යාව පැතිරීම

මැයි 08 වැනිදාට පාර්ලිමේන්තුව යළි කැඳවන බවට ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රාජපක්ෂ කල්ලිය විසින් නිර්මාණය කළ මේ මිථ්‍යා කතාව තවත් දින කිහිපයකින් කුණු බක්කියට වැටුණේ ය. මේ බොරුව බිඳ වැටුණු විගස රාජපක්ෂවාදී මාධ්‍ය තවත් බොරුවක් සමාජගත කළේය. ඒ ජනාධිපතිවරයා විසින් මැයි 08 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරමින් ඉදිරිපත් කරන ‘‘රාජාසන කතාව’’ පරාජයට පත් කිරීම සඳහා මෙහෙයුමක් ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කොට ඇති බවත් රාජාසන කතාව පරාජයට පත්වූ පසු ආණ්ඩුවට ඉල්ලා අස්වීමට හෝ විසුරුවා හැරීමට සිදුවන බවත්ය.

‘‘රාජාසන කතාව පරාජයට පත් කිරීම’’ පිළිබඳ කතාව ජනතාව තුළ යළි අලුත් උනන්දුවක් ඇති කිරීමට හේතු වුණේ 1964 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ රාජාසන කතාව පරාජයට පත්වීමත් සමඟ ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවීම නිසාය. ලංකා දේශපාලනයේ තවමත් සාකච්ඡාවට ලක්වන මේ සිදුවීම පිටුපස තිබූ දේශපාලන න්‍යාය පත්‍ර, උපායශීලීත්වය හා පාවාදීම් නිසා 2018 දී ද එවැනි සිදුවීමක් යළි සිදු වීමට ඇති හැකියාව ගැන රාජපක්ෂවාදී ජනමාධ්‍ය අලුත් අදහසක් හා තාර්කික මතයක් ඇති කිරීමට රාජපක්ෂවාදී මාධ්‍ය පියවර ගත්තේය.

‘‘1960 ජූලි මාසයේ දී බලයට පත් වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවට ආසන 75ක් තිබුණා. සම සමාජ පක්ෂයට ආසන 12කුත් කොමියුනිස්ට් පක්ෂය ආසන 4කුත් තිබුණා. ඒත් ආසන 30ක් විතරක් තිබුණ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ රාජාසන කතාව පරාජයට පත් කළා. එදාට වඩා අද විපක්ෂය ශක්තිමත් නිසා ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පරාජයට පත් කරන්න අපිට පුළුවන්. වෙසක් පෝයට කලින් මේ ආණ්ඩුව ගෙදර යවන බවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දුන්න පොරොන්දුව අපි ඉටු කරනවා’’ යැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් මේ ලියුම්කරු සමඟ පසුගිය දා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය

එහි දී පසුගිය විශ්වාසභංග යෝජනාව හමුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් අත්කර ගත් නින්දා සහගත පරාජය ගැන මේ ලියුම්කරු මේ පොහොට්ටු ප්‍රබලයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, එජාපයේ ප්‍රතිසංස්කරණ සමඟ තත්ත්වය යළි ආපසු කැරකී ඇති නිසා මෙවර තත්ත්වය වඩාත් වාසිදායක බවය. මෙවැනි හුදු සාටෝපකාරී ප්‍රවාද ඒකාබද්ධ විපක්ෂය විසින් තම මාධ්‍ය ජුන්ටාවේ සහායෙන් නිර්ලජ්ජිත ආකාරයෙන් අඛණ්ඩව සමාජගත කිරීමේ ප්‍රතිඵල අපට අපගේ ඇස් පනාපිට දැකිය හැකිය.

‘‘ජනවාරි 08 වැනිදාට කුමක් සිදුවේදැයි ප්‍රශ්න නොකළ ජනතාව මැයි 08 වැනිදාට කුමක් සිදුවේදැයි ප්‍රශ්න කරන්නේ රාජපක්ෂවාදී මාධ්‍ය ජුන්ටාව විසින් අතිසූක්ෂම හා නිර්මාණශීලී ආකාරයෙන් සමාජගත කළ ‘‘රාජාසන කතා’’ ප්‍රවාදය සමාජය තුළ ක්ෂණිකව මුල්බැස ගත් නිසාය.

රාජාසන කතා බොරුව

අලුත් පාර්ලිමේන්තුව හමුවේ ‘‘රාජාසන කතාව’’ ඉදිරිපත් කිරීමත් එය ඡන්දයකට ලක් කිරීමත් බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායේ සුවිශේෂ ලක්ෂණයක් වශයෙන් දීර්ඝ කාලයක් පුරා භාවිතයේ පවතින්නකි. ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ලබාගත්තේ මහා බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජිණ රාජ්‍ය නායිකාව වශයෙන් පිළිගන්නා ‘‘ඩොමීනියන්’’ තත්ත්වයේ නිදහසක් හෙයින් ද මහා බ්‍රිතාන්‍යයේ මෙන් වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් 1948 - 1972 කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ හෙයින් ද එම යුගයේ දී මහා බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදාය අනුව යමින් අලුත් පාර්ලිමේන්තුව හමුවේ රාජාසන කතාව පැවැත්වීම ලංකාවේ ද පාර්ලිමේන්තු සම්ප්‍රදාය බවට පත්ව තිබුණේය.

රාජාසන කතාව

1964 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කළ රාජාසන කතාව ඡන්ද විමසුමකට ලක්කර එය පරාජයට පත් කිරීමට හා ඊට පසුව ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවන්නේ ලංකාව තව දුරටත් මහා බ්‍රිතාන්‍යයේ රැජිණ ලංකාවේ ද රාජ්‍ය නායිකාව වශයෙන් පිළිගත් නිසාය. (මහ රැජිණ වෙනුවෙන් ලංකාවේ රාජ්‍ය නායකත්වය ඇය විසින් පත් කළ අග්‍රාණ්ඩුකාරයා විසින් උසුලන ලදී.)

එහෙත් ලංකාව 1972 දී ජනරජයක් බවට පත්වීමත් සමඟ මහා බ්‍රිතාන්‍යයේ මහ රැජිණ රාජ්‍ය නායිකාව වශයෙන් පිළිගන්නා තත්ත්වය සම්පූර්ණයෙන් අවසන් වූ අතර ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් පිළිගන්නා ලද්දේ ‘ජනාධිපතිවරයා’ය. අගමැති විසින් ජනාධිපතිවරයා පත් කළ අතර එය නාමික විධායක බලතල සහිත තනතුරක් විය. ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ තව දුරටත් රාජාසන කතා ඉදිරිපත් කිරීමක් ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සිදු නොවූ අතර අලුත් පාර්ලිමේන්තුව හමුවේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ‘‘ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය’’ය.

1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වූ දා සිට මේ දක්වා රටේ රාජ්‍ය බලය ඉසිලූ සියලුම නායකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව පාර්ලිමේන්තුව කල් තැබීම හෝ වාර අවසාන කිරීම කර ඇති අතර එවැනි කිසිදු අවස්ථාවක මේ අවස්ථාවේ මෙන් ‘‘රාජාසන කතාව පරාජය කර ආණ්ඩු පෙරළීම’’ වැනි අඳබාල කතා සමාජගත කරමින් ජනතාව මුලාවට පත් කිරීමක් සිදු නොවීය. අද රාජපක්ෂවාදී මාධ්‍ය ජුන්ටාව විසින් ලංකාවේ ජනතාව මුළාවට පත් කරමින් යළි ඔවුන් කැඳවාගෙන යාමට තැත් කරන තැන මේ අනුව අපට පහසුවෙන් වටහා ගත හැකිය.

මේ උපාය වටහා ගත යුතුය.

‘‘බොරුව දුවන කොට ඇත්ත සපත්තු දා ගන්නවා’’ යැයි කියන ප්‍රකට කතාව අනුව යමින් මේ මොහොත දක්වා සමාජය තුළ අඛණ්ඩව, නිර්මාණශීලීව හා ප්‍රබලව පැතිර යමින් පවතින්නේ ඒකාබද්ධ විපක්ෂය හා රාජපක්ෂවාදී මාධ්‍ය ජුන්ටාව විසින් නිර්මාණය කර ව්‍යාප්ත කරන ප්‍රවාද වීම මගින් අපට මනාව පැහැදිලි කරන්නේ දකුණේ සිංහල බෞද්ධ සමාජයේ සැලකිය යුතු පිරිසක් රාජපක්ෂ කල්ලියේ වහලුන් බවට පත්ව යථාර්ථයෙන් ඈත්ව ජීවත් වන බවය. රාජපක්ෂ කල්ලිය මේ ආකාරයෙන් අඛණ්ඩව බිල්ලන් හා ප්‍රවාද නිර්මාණය කරමින් ඒවා සමාජගත කිරීමේ අරමුණ කුමක්දැයි අප මීළඟට හඳුනා ගත යුතුය.

දෛනිකව දේශපාලන අවකාශය තුළ තිගැස්මක් හා කැළඹීමක් නිර්මාණය කිරීම මගින් සමාජ අවධානය ඉවතට යොමු කිරීම හා තම බලමුළු අවධියෙන් තබා ගැනීම සඳහා බිල්ලන් හා බොරු නිර්මාණය කරන මේ තත්ත්වය මහින්ද රාජපක්ෂ පාලන ක්‍රමයේම කොටසක් වශයෙන් අප හඳුනාගත හැකිය. මහින්ද රාජපක්ෂ බලයේ සිටි යුගයෙත් මේ තත්ත්වය අඛණ්ඩව සිදු වූ ආකාරයක් අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. එජාප - කොටි ගිවිසුම, ඩයස්පෝරා මෙහෙයුම්, විදුලි පුටුව වැනි කතා අඛණ්ඩව සමාජගත වන්නේ මේ තත්ත්වය තුළය.

ව්‍යාජ පුවත්

2015 ජනවාරි 08 පරාජයෙන් පසුව මේ තත්ත්වය වඩාත් නිර්මාණාත්මකව හා ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක වූ බවක් අපට හඳුනා ගත හැකිය. ‘‘රණවිරුවන් පවාදීම’’, ‘‘රාජ්‍ය සම්පත් විකිණීම’’, ‘‘ජාත්‍යන්තර අධිකරණය’’, ‘‘එජාප - දමිළ සන්ධාන ගිවිසුම’’, ‘‘ආර්ථික අර්බුදය’’ ආදි මාතෘතා සමාජගත වන්නේ මේ තත්ත්වය තුළය. මේ ආකාරයට ආණ්ඩුවට, සමාජයට හා ජනමාධ්‍යවලට ඇස් කන් ඉවතට ගැනීමට නොහැකි ආකාරයෙන් ව්‍යාජ පුවත් හා ක්ෂණික කැළඹීම් නිර්මාණය කිරීම අපට දැකිය හැකිය.

මෙම ව්‍යාජ පුවත් නිර්මාණය මගින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම බලාපොරොත්තු වන්නේ තම පාක්ෂිකයන් හා හිතවත් බලවේග අවධියෙන් (සීරුවෙන්) තබා ගැනීම හා ඔවුන් තුළ රාජපක්ෂ ආණ්ඩුවක් ගැන සිහිනය අඛණ්ඩව පවත්වා ගැනීමය.

‘වෙසක් පෝසයට කලින් ආණ්ඩුව පෙරලනවා’’ කියමින් මහින්ද රාජපක්ෂ විවිධ ප්‍රදේශවල ඉඳන් පා ගමන් ගියේ ද, අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කළේ ද පාක්ෂිකයන් සීරුවෙන් තබා ගැනීමේ මේ මූලෝපායික ක්‍රමයේ අංගයන් හැටියටයි. මේ වන විට ‘‘මැයි 08 වැනිදාට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන රාජාසන කතාව පරාජය කරලා අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා’’ යනුවෙන් තවත් අලුත් කතාවක් නිර්මාණය වන්නේ මේ ප්‍රකාශනයේම ඉදිරි පියවරක් ලෙසය.

මේ සියල්ල මගින් සිදුවන්නේ රාජපක්ෂවාදී බලවේග සීරුවෙන් තබා ගැනීම පමණක් බව අපට පසුගිය කාලය නිරීක්ෂණය කිරීම මගින් පහසුවෙන් වටහා ගත හැකිය. එයින් එහාට සිදුවන කිසිවක් නැත. හරියට පුස්ස බින්දා වාගේය. එනිසා මැයි 08 වැනිදාට සිදුවන්නේ කුමක්දැයි කියා බියවීමට යහපාලන බලවේගවලට කිසිදු හේතුවක් නැත. ඒ රාජපක්ෂ කල්ලිය හා මාධ්‍ය ජුන්ටාව පසුගිය තෙවසර පුරාම කළ කී දෑ කිසිවක් ලංකාවේ දේශපාලන භූමිය තුළ යථාර්ථයක් නොවූ නිසාය.

මැයි 08 වැනිදාට සිදුවීමට නියමිත දේශපාලන පෙරළිය සඳහා අවශ්‍ය පසුබිම මේ වන විටත් ඉතාම පැහැදිලිව සිදුවෙමින් පවතී. මේ ලිපිය ලියන මොහොත වන විට ජනාධිපති කාර්යාලය තුළ කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාළ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින්නේය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති වූ එකඟත්වය මත සිදුවන මේ කැබිනට් මණ්ඩල සංශෝධනය සම්මුතිවාදී ආණ්ඩුව යළිත් තිරිහන් කිරීමට හේතුවනු ඇති අතර එය මැයි 08 වැනිදා අලුත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ ශක්තිමත්භාවය තව දුරටත් වර්ධනය කිරීමටත් ආණ්ඩුවේ ස්ථාවරභාවය තහවුරු කිරීමටත් හේතු වනු ඇතැයි අපට විශ්වාස කළ හැකියි.

ප්‍රතිසන්ධානය

මෙම ලේඛකයාගේ පමණක් නොව පොදුවේ මේ රටේ බහුතරයක් ජනතාවගේ ද අදහස වන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ වූ දේශපාලන කැළඹීම් හා දේශපාලන අස්ථාවරත්වය මැයි 08 වැනිදා අලුත් පාර්ලිමේන්තුව සහ අලුත් කැබිනට් මණ්ඩලය සමඟ අවසන් වනු ඇති බවය.

ජනවාරි 08 දේශපාලන න්‍යාය පත්‍රය අනුව අලුත් ගමනක්, නව ජවයකින් හා දැක්මකින් යුතුව ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත. ඒ සඳහා අවශ්‍ය පුළුල් හා ශක්තිමත් පදනමක් ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩල පත් කිරීම මගින් ද අගමැතිවරයා විසින් පක්ෂ ප්‍රතිසන්ධානය මගින් ද ශක්තිමත් ලෙස නිර්මාණය කර තිබෙන තත්ත්වය තුළ මැයි 08 වැනිදා ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අලුත් පිටුවක් ලියන දිනයක් බවට පත්වනු ඇතැයි අපට අවධාරණාත්මකව ප්‍රකාශ කළ හැකිය. ජනවාරි 08 සිදුවන්නේ කුමක්දැයි උනන්දු නොවූ ජනතාව මැයි 08 සිදුවන්නේ කුමක්දැයි වඩාත් උනන්දු වන්නේ මේ නිසා විය හැකිය.

තුෂාල් විතානගේ


Viewing all articles
Browse latest Browse all 10762


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>