ස්වීඩනයේ උපන් ඉගග්මාර් බර්ග්මාන්ට අවුරුද්දක් පිරී තිබිණ. ජපානයේ උපන් අකිරා කුරොසාවා නව හැවිරිදි වූ අතර ඔහු යසජිරෝ අවරුදු දහයක ගැටවරයෙක් ව සිටියේ ය. එංගලන්තයෙහි උපන් ඩේවිඩ් ලින්, එකොළොස් හැවිරිදි වියෙහි පසුවිය. එඩ්වින් එස්.පෝටර්, ලොව ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය ද ග්‍රේට් ට්‍රේන් රොබරි නිර්මාණය කොට දහසය වසරක් ගෙවී ගොස් තිබිණි.
සත්‍යජිත් රායි නම් භාරතීයයා මවු කුස පිළිසිඳ ගන්ට තවත් දෑවුරුද්දක් කල් තිබුණේය. භාරතයෙහි ගෙවී යමින් තිබුණේ නිහඬ චිත්‍රපට යුගයයි. භාරතීයයන්ගේ හැඳින්වීම අනුව නම් ‘බයිස්කෝප් යුගය’ යි. සී.ඩී.ජේ. පාල්කේ භාරතයේ ප්‍රථම නිහඬ වෘත්තාන්ත චිත්‍රපටය රාජා හරිස්චන්ද්‍ර නිෂ්පාදනය කොට අවුරුද්දක් ගතවී තිබිණි. ලංකාවේ නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නට පටන්ගෙන එකොළොස් වසක් ගෙවී ගොස් තිබුණේය. එම්පයර් බයිස්කෝප් ඇන්ඩ් වෝඩෙවිල් කම්පැණිය කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නට පටන් ගෙන තිබුණේ 1908 සිටයි. අනතුරුව ලන්ඩන් පැරිස් සිනමා ටොග්‍රාෆ් කොම්පැනිය. ලන්ඩන් බයිස්කෝප් කොම්පැනිය, යුනිවර්සල් බයිස්කෝප් කොම්පැනිය වැග්නර්ගේ ඔලිම්පියානු බයිස්කෝප් සමාගම ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනයට අවතීර්ණ වී සිටියහ.
චිත්‍රපට ගෙන්වූයේ යුරෝපයෙන් සහ බොම්බායෙනි. බොම්බායේ හින්දුස්ථාන් ෆිල්ම් කම්පැනිය පමණක් ඓතිහාසික කතා සහ මිථ්‍යා කතා සහිත නිහඬ චිත්‍රපට 100කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනයකොට තිබුණි. චිත්‍රපට හැඳින්වීමට සිංහල වචනයක් තිබුණේ නැත. නිහඬ චිත්‍රපට ප්‍රචාරය සඳහා දිනමිණ පත්‍රයේ පළකළ දැන්වීමේ තිබුණේ සිතියම් යන වචනයයි. චිත්‍රපට ප්‍රදර්ශනය යනු බයිස්කෝප් යන්ත්‍ර වලින් සිතියම් පෙන්වීමය. නාට්‍ය නැරඹීමද මේ රට පොදුජනයාගේ විනෝදාංශ මාර්ගයක් විය. ඒවා නූර්ති යන නමින් හඳුන්වන ලදී. 1883 සිට බොම්බායෙන් පැමිණි පාර්සි ජාතික නාට්‍ය කණ්ඩායම් මෙහි රඟ දැක්වූ සංගීත නාටක පූර්වාදර්ශයට ගනිමින් මෙකී නූර්ති නාටක නිර්මාණය කර තිබිණි. ජනප්‍රියතම නූර්ති නාට්‍යකරුවා වී සිටියේ නීතිඥ ජෝන් ද සිල්වා යි. නූර්ති නාට්‍යවල හා ගීත ග්‍රැම ෆෝන් තැටිවලට නගා අලෙවි කෙරිණි. ගුවන් විදුලි යන්ත්‍ර භාවිතයට පැමිණ නොතිබුණු අතර ගෙදරදොරට ආභරණයක් වූයේ මල සහිත ග්‍රැමෆෝන් යන්ත්‍රයයි. පියදාස සිරිසේන සහ ඩබ්ලිව්.ඒ. සිල්වා ජනප්‍රිය නවකතා කාරයන්ව සිටි අතර මාර්ටින් වික්‍රමසිංහද සාහිත්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වී සිටියේ ය. 1919 අප්‍රේල් 5 දා කොළඹට නුදුරු දෙහිවල නම් ග්‍රාමයේ සුවිසල් නිවසක බිලිඳෙක් උපන්නේ ය. 1883 දී වෙළඳ ව්‍යාපාරික ෆිල්ප් ප්‍රැන්සිස් පීරිස් විසින් තනන ලද ඒ නිවස ඔහු විසින් සිහගිරයයි නම්කර තිබුණි. සිහගිර පිහිටා තිබුණේ එක්පැත්තකින් මුහුදට මායිම් වූ අක්කර පහක පමණ භූමි භාගයකැයි. ෆිලිප් ප්‍රැන්සිස්ගේ මේ නිවස උරුමව තිබුණේ ඔහුගේ පුත්‍ර ජේම්ස් ෆ්‍රැන්සිස්ටය. මේ උපන්නේ ජේම්ස් ෆ්‍රැන්සිස්ගේ දෙවැනි දරුවායි. වෛද්‍යවරුන් නියම කළ දිනයට දෙසතියකට කලින් ඔහු උපන්නේ ය. සිංහල කතෝලිකයන් වූ මව්පියෝ දසදින ඇවෑමෙන් දරුවා බෞතිස්ම කළහ. දරුවාට ලෙස්ටර් ජේම්ස් යන නම තබන ලදී. එනයින් හේ ලෙස්ටර් ජේම්ස් පීරිස් වූයේ ය. ලෙස්ටර් පීරිස්ගේ පියා ජේම්ස් ප්‍රැන්සිස් (1882 – 1961) මහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයෙ හි උගත් වෛද්‍යවරයෙක් විය. මව ඈන් ගර්ට්රූඩ් විනිෆ්‍රෙඩ් ජයසූරියයි. 1887 - 1971 ගෘහනියක වූවාය. පියා මීගමුවේ කුරුකුලසූරිය පරම්පරාවේ ය. මව මොරටුවේ ය. ගම් ප්‍රදේශ දෙකම කතෝලික බහුතරය වෙසෙන ප්‍රදේශය. මේ කතෝලිකත්වය ඉතා උග්‍ර ලෙස ඔවුන්ගේ පවුල් සංස්ථාව තුළ විය. එහෙත් ජේම්ස් ෆ්‍රැන්සිස් තුළ කතෝලික සිරිත් විරිත් වලට පටහැනි ක්‍රියාකාරකම් ද නොතිබුණේ නොවේ. උපන් වෙලාව අනුව දරුවන්ට කේන්දර හැදවීම වැන්නකි. එහෙත් ඔහුට ඒ පුරුද්ද ආවේ බෞද්ධ සම්ප්‍රදායෙන් නොව අශ්ව රේස්වලට ඔට්ටු ඇල්ලීම නිසා ය. සූදු අන්තුවෙකු වූ ජේම්ස් අශ්වයන්ගේ තත්කාල හඳහන් හැදුවේ ය. අශ්වයන් දුවන වේලාව ගණනය කර ඔට්ටු ඇල්ලුවේ ය. එහෙත් කවදාවත් දිනුවේ නම් නැත. මෙයට හේතු වශයෙන් ජේම්ස් පැවසුවේ එකම රේස් එකක්වත් නියමිත වෙලාවට පටන් නොගැනීමය. ක්‍රිකට් ක්‍රීඩාවද ජේම්ස්ගේ විනෝදාංශයක් විය. ස්කොට්ලන්තයෙහි දී ද වෛද්‍ය විද්‍යාවට වඩා ඔහු ප්‍රිය කළේ ක්‍රිකට් ක්‍රීඩාවටය. ඔහු එහිදීද කෙතරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීද යත් 1911 දී ස්කොට්ලන්තයෙහි බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායමෙහි සාමාජිකයෙක් විය. ලංකාවේදී ඔහු ක්‍රීඩා කළේ එස් එස් සී ක්‍රීඩා සමාජයටය. ඔහු එහි යන විට කුඩා ලෙස්ටද කැඳවාගෙන ගියේ ය. ඔහුගේ අභිලාෂය වූයේ පුත්‍රයා මතු දිනක සමස්ත ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු කරන්නටය. දෙහිවල නිවස අසල හොඳ තණතිල්ලක් සකස් කර තිබුණේ ය. ලෙස්ටර් ට පා ආවරණ , පන්දු පිති , ඉනි ආදියද ගෙනවිත් දී තිබිණ. ලෙස්ටර්ගේ පියා ඉතා නිහඬ මිනිසෙක් විය. පියාගේ මවගේ ත් අදහස් බොහෝ විට සැසදුනේ නැත. දරුවන්ට තරවටු කිරීම, දැනමුතුකම් දීම, දේශන පැවැත්වීම මවගේ සිරිත විය. දරුවන්ගේ වැරදිවලට පියාලවා දඬුවම් කිරීමට ද ඈ හැමවිටම උත්සහ ගත්තාය. හැම උත්සාහයක්ම ව්‍යාර්ථ විය. ලෙස්ටර් ගේ පියා ලෙස්ටර්ට දඬුවම් කළේ එකම එක දවසකි. ඒ ගුවන්විදුලි යන්ත්‍රයේ වයර් කෑලි දෙකක් අමුණන්න ගොස් විදුලි සැර වද්දාගැනීම නිසාය. එයද කන මිරිකා කළ බැනීමක් පමණි. ලෙස්ටර් පීරිස්ගේ පවුලේ ඔහුද ඇතුළු දරු දැරියෝ හතර දෙනෙක් වූහ. වැඩිමලා එරිකා මාරි ය. තෙවැන්නා අයිවන් සෙන් එල්මෝ ඉග්නේෂස් ය. බාලයා එමෑනුවෙල් ජෝෂප් නොයෙල් ය. ඔවුන් සිවුදෙනා , මව හෝ පියා හෝ ගෙදරදීවත් ගෙයින් පිටතදීවත් සිංහල වචනයක්වත් කතා කළේ නැත. සිංහල පොතක් පත්‍රයක් කියවූයේ නැත. සිංහල නාට්‍යයක් නැරඹුවේ හෝ සිංහල ගීතයක් ඇසුවේ නැත. සිංහල කතා කරන එකම තැනැත්තියක් ගෙදර සිටියා ය. ඒ ලෙස්ටර්ගේ ආච්චි අම්මාය. දෙහිවල නිවස ගොඩනැගූ ෆිලිප් ප්‍රැන්සිස්ගේ බිරිඳයි. යුරෝපීය ඇඳුම් පැළඳ සිටින ගෙදර උදවිය අතර ඈ පමණක් රෙදි හැට්ට ඇන්දාය. සූදු කෙළින පුත්‍රයාට සිංහලෙන් බැන වැදුනාය. එවිට සිය පියා ආච්චි අම්මා ඉදිරියේ බෑගෑපත්වන අයුරු දැක දූදරුවෝ මහත් ආශ්වාදයක් ලැබූහ. කුඩා ලෙස්ටර්ගේ හඳහන බැලූ බොරැල්ලේ ක්ලිෆර්ඩ් පෙරේරා නම් දෛවඥයා කියා තිබුණේ මේ හඳහනේ හිමිකරු කවදාක හෝ සිනමාකරුවකු වන බවය. (අදත් ලෙස්ටර් අනාහැකිය සිහිපත් කරන්නේ අනාගත වක්තෘවරයකුගේ විශ්මිත ප්‍රකාශයක් හැටියටය. සිනමාවක් නොවූ රටක සිනමාකරුවකු වීමේ සිහිනයක් හෝ මෙවැනි අනාවැකියක් පළ කරන්නා දිවැසිවරයෙක් නොවේ ද ?) මේ දිනවල කොළඹ එච්.ඩබ්ලිව්.කේව් සමාගමේ ප්‍රදර්ශනාගාරවල කොඩැක්ස් කෝප් කුඩා යන්ත්‍ර විශේෂයක් විකුණන්නට තබා තිබුණේ ය. ඒ වනාහි කොඩැක් සමාගම නිෂ්පාදනය කළ මිලිමීටර් අට චිත්‍රපට නැරඹිය හැකි අතින් කරකවන ප්‍රක්ෂේපණ යන්ත්‍රයකි. සිය පියාගෙන් එවැන්නක් ඉල්ලා සිටියේදැයි ලෙස්ටර්ට දැන් මතක නැත. එහෙත් පියා කොඩැක්ස් කෝප් යන්ත්‍රයක් ගෙදරට ගෙනාවේය. ලෙස්ටර් මුල්වරට චාලි චැප්ලින්ගේ චිත්‍රපට දුටුවේ එම ප්‍රක්ෂේපණ යන්ත්‍රය තුළිනි. ශිල්ප ශාස්ත්‍රය හැදෑරීම සඳහා ලෙස්ටර් දෙහිවල ශාන්ත මේරි ප්‍රාථමික පාසලට ඇතුළත් කරන ලදි. (දැන් දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය බවට පත්ව ඇත්තේ එයයි. ) අනතුරුව ලෙස්ටර් සහ අයිවන් යන සොහොයුරන් දෙදෙනාම බම්බලපිටියේ ශාන්ත පීතර විදුහලට ඇතුළත් කරන ලදහ. දෙහිවල සැතපුම් 3ක් පමණ දුරක් ඔවුන් බොහෝ විට ගියේ රික්ෂෝවකිනි. පවුලේ සාමාජිකයන් අතරින් ලෙස්ටර්ට වඩාත් සමීප වූයේ උපන්දා පටන් මද මානසික රෝගී තත්ත්වයකින් පසු වූ අයිවන්ය. ශාන්ත පීතර විදුහලේ අධිපති පීටර් පිල්ලෙයි පිය තුමා ලෙස්ටර් කෙරෙන් දුටුවේ අනාගත පූජකවරයෙකි. රෝමානු කතෝලික පූජකවරයෙකු වන්නට එකඟ වන්නේ නම් ලෙස්ටර් වැඩිදුර අධ්‍යාපනය සඳහා බෙල්ජියමට යවන්නට තමා කැමති බව පීටර් පිල්ලෙයි පියතුමා ඍජුවම කියා සිටියේ ය. ලෙස්ටර් තුළ මීට අල්පමාත්‍ර වූ හෝ කැමැත්තක් නොතිබුණි. ලෙස්ටර්ගෙත් අයිවන්ගෙත් ජීවිත කලාව දෙසට නැඹුරුවෙමින් තිබුණේ ය. ලෙස්ටර්ගේ හිත ඇදී තිබුණේ සාහිත්‍යයට, ගීතයට සහ සිනමාවටය. අයිවන්ගේ සිත ඇදී තිබුණේ චිත්‍ර කලාවටය. ලෙස්ටර් දෙමාපියන් සමග වැල්ලවත්තේ ප්ලාසා සහ පංචිකාවත්තේ කැපිටොල් යන සිනමාහල්වලට චිත්‍රපට බලන්ට ගියේ ය. ගෙදරදී මවගේ පියානෝ වාදන ඇසුවේ ය. ඇයට එංගලන්තයෙන් ඇණවුම්කොට පියානෝවක් (Pianola යනු ඇතැම් සංගීත භාණ්ඩ ඉබේ වාදනය වන යම් යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයක් ද ඇති තූර්ය භාණ්ඩයකි. ගෙනැවිත් දී තිබුණි. එහෙත් ලෙස්ටර්ට පියානෝලාව වාදනය තහනම් විය. එයට හේතු ව එය ස්ත්‍රී තූර්යවාදක භාණ්ඩයක් ලෙස මව විසින් වර්ග කරනු ලැබීමයි. ඇය විසින් පුරුෂ තූර්යභාණ්ඩයක් වූ වයලීනයට ලෙස්ටර්ගේ අත හුරු කිරීම සඳහා රිචඩ් වාගන් නැමැති ඩෙන්මාක්ජාතික ගුරුවරයා වෙත යවන ලදී. එහෙත් වයලීන වාදනයට ලෙස්ටර් ප්‍රිය කළේ නැත. ඔහු වයලීන පන්තියට ගොස් ගුරුවරයාට නොපෙනෙන්නට එහි තත් බිඳ දැමීය. ගුරුවරයා කළේ යළි යළිත් තත් යොදමින් විභාග දෙකක් සමත් වනතුරුම ලෙස්ටර්ට වයලීන වාදනය ඉගැන්වීමය. වයලින් පන්තියේ රූමත් ශිෂ්‍යාව විවාහ කරගෙන ගුරුවරයා ගම හැරයාම නිසා ලෙස්ටර්ගේ පළමුවන සංගීත පාඩම නිම විය. ලෙස්ටර්ගේ ඊළඟ සංගීත ගුරු වූයේ ගොරෝසු ගති පැවතුම් ඇති සිල්වා මහත්මියයි. ඇය වැරදි ස්වරයක් වාදනය වූ සැනින් ඇඟිලි පුරුක් වලට අඩිකෝදුවෙන් පහර දුන්නාය. ලෙස්ටර් සංගීත ඉගෙනුම නවතා දැමුවේ ය. ලෙස්ටර් වයලින් වාදනය ඉගෙන ගන්නා විට පියානෝ වාදනය ඉගෙන ගන්ට පටන් ගත් එරිකා, ලෙස්ටර්ගේ සොයුරිය වසර ගණනාවක් තිස්සේත් ඉගෙනගෙන තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික ගීය වයන්නට පමණි. ලෙස්ටර් පවසන්නේ සිය පියාට මෙන්ම සොයුරියට ද සංගීත ඥානය සපුරාම පිහිටා නොතිබුණු බවයි. සංගීත පන්තියට යද්දී ලෙස්ටර් තුළ අලුත් ආශාවක් මෝදුවෙමින් තිබුණේ ය. එනම් කවදා හෝ දැවැන්ත වාද්‍ය වෘන්දයක් මෙහෙයවන සංගීත නියමුවෙකු (Conductor) වීමේ ආශාවයි. ලෙස්ටර් අද සිතනුයේ ඒ බිඳී ගිය සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා තමා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන්නට ඇත කියාය. චිත්‍රපට අධ්‍යක්ෂවරයා ද දැවැන්ත ශිල්පීන් සමූහයක් මෙහෙයවන නියමුවෙක් නොවන්නේ ද?
(මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියන ලද ‘ලෙස්ටර්’ නමැති කෘතියෙන් උපුටා ගන්නා ලදී.)
මහාචාර්ය සුනිල් ආරියරත්න