අපේ රට ආගමික ද? අප ආගමික ද? බැලූ බැල්මට නම් ආගමික ය. නැත. බැලූ බැල්මට පමණක් නොව ලෝකයා පිළිගන්නා විදිහට ද එය ආගමික ය. මේ ළඟක දී කියවුණේ අප ආගමික රටවල් අතර පස්වෙනි තැන ගන්නා බව ය.
ආගම අප රට තුළ සංවේදී විෂයයක් බව ඇත්ත ය. තමන්ගේ ආගමට එරෙහිව කරන ඕනෑම ක්‍රියාවක් මතු කරන වචනයක් සම්බන්ධයෙන් මිනිසුන් දක්වන ප්‍රතිචාර අතිශය භාවාත්මක ය. ඇතැම් විට කුණුහරුපවලින් ද පිරී ඇති තරමට ම භාවාත්මක ය.
ආගමික කටයුතුවලට ලැබෙන ප්‍රමුඛත්වය, අනුග්‍රහය හා දායකත්වය වෙන කිසිම කටයුත්තක දී දැක ගත නොහැකි ය.
ආගමික නායකයන්ට පූජකවරුන්ට ලැබෙන ගරු සැලකිලි වෙන කිසිම පුද්ගලයකුට නො ලැබෙන්නේ ය. නීතිය පවා ඔවුන් ඉදිරියේ ක්‍රියාත්මක වන්නේ හෙමින් ය. පසු බසිමින් ය.ලජ්ජාවෙන් ය.නොකර බැරිකමකින් ය. පාලකයන් පවා ගන්නා තීරණයන් නැවත හැරවීමේ බලයක් මේ ආගමික නායකයන් සතු ය.ආර්ථිකය, අධ්‍යාපනය සහ දේශපාලනය පමණක් නොව එදිනෙදා ජීවිතය මත ද සිය ආධිපත්‍ය පැතිරවීමට ඔවුන්ට හැකි ව තිබේ.
ඒ සියල්ල සැලකූ විට කරුණු කාරණා වශයෙන් ද අපේ රට ආගමික ය.
හැම ආගමක ම උගන්වන එක් පොදු මූලධර්මයක් තිබේ. ඒ නම් යහපත් වැඩ කිරීමෙන් යහපත් ප්‍රතිඵලත් අයහපත් වැඩ කිරීමෙන් අයහපත් ප්‍රතිඵලත් අත් වෙන බව ය. වෙනස්කම් ඇත්තේ කවර වැඩ යහපත් ද කවර වැඩ අයහපත් ද යන කාරණයේත්, ලැබෙන විපාක කවරේද ඒවා ලැබෙන්නේ කෙසේ ද යන කාරණයේත් ය. මේ අතරින් ඇතැම් වැඩ අයහපත් බව සෑම ආගමකම පාහේ සඳහන් ය.ඊට අමතරව ආගම් ගණනාවක එකම විදිහේ කටයුතු අයහපත් බව ද දක්වා ඇත.
පොදුවේ දෙව්ලොවත් අපායත් හැම ආගමක ම තිබේ. වෙනස් වන්නේ ඒවාට දී ඇති නම් හා ඒවායේ විවිධ ප්‍රභේදයන් ය.
අවවාද පිළිපැදීම
මේ මූලික විශ්වාසයන්ට අමතරව අතුරු කාරණා හා විශ්වාසයන් ගණනාවක් ඇතත් මේ මූලික දේ සම්බන්ධයෙන් ඇති එකඟත්වය මත පදනම්ව අප ආගමික ද යන්න විචාරාත්මකව බැලීම අපේ ඊළග පියවර ය.
බුද්ධාගමේත් මුස්ලිම් ආගමේත් මත්පැන් බීම අයහපත් ලෙස දක්වා එයට තහංචි පනවා තිබේ. එසේ වුව ද ආගමිකය යැයි අප කියන මේ රටේ මත්පැන් භාවිතය ලෝකයේ බොහෝ රටවල් ඉක්මවා යයි. අප ආගමික තරමටම මතට ද ලොල් බව ලෝක දර්ශක කියා පාන්නේ ය. ආගමික රටවල් අතර පස්වෙනි තැනට ශ්‍රී ලංකාව පත්වන විට එය ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් තුන්වෙනි තැන ලබා සිටින්නේ ය.
කාමයේ වරදවා හැසිරීම හැම ආගමකම පාහේ තහනම් ය. එහෙත් මෑතක දී ප්‍රකාශයට පත් වුණු සංඛ්‍යාලේඛනවලට අනුව ලංකාවේ ගණිකාවන් 40, 000 ක් පමණ සිටිතැයි කියැවේ. ඒ අය හා ගනුදෙනු කරන අය කොතෙක් ද කියා අනුමාන කළොත් එයින් පෙනෙන්නේ තහනම් ගහේ ගෙඩි හොරෙන් කඩනා ආගමිකයන් ගණනාවක් ද අප රට තුළ සිටින බව ය. ගණිකාව සම්බන්ධ ගනුදෙනුව වෙන්නේ දෙපැත්තේ කැමැත්තට ය. බලහත්කාරයෙන් කරන්නා වූ ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර එකතු කරන්නේ නම් කාමයේ වරදවා හැසිරීම පිළිබඳ සංඛ්‍යා ලේඛන ඊටත් වඩා බරපතළ ය.
වංචාව හා දූෂණයෙන් ද ලංකාව කප් ගසා ඇති බව ලෝකයේ රටවල් අතර ඉහළට ම පැමිණ ඇති බව පසු ගිය දා වාර්තා විය. එයින් පෙනෙන්නේ සොරකමේ නො යෙදෙන ලෙස බොරු නොකරන ලෙස කරන ආගමික අවවාද ද මිනිසුන් විසින් නො සලකා ඇති බව ය. අලුත් හොරෙක් ඕනෑ කර තිබේ, හොරු සමඟ හෙළුවෙන්, වැනි අපේ නාට්‍යවලට දමා ඇති නම් බැලුවොත් පෙනෙන්නේ හොරකම ගැන කතා නොකොට නාට්‍යයක්වත් කළ නොහැකි බව ය.
මිනීමැරීම් සිය දිවිනසා ගැනීම් ගැන සංඛ්‍යා ලේඛන බැලුවත් දිනකට මස් පිණිස මරන සතුන් පිළිබඳ සංඛ්‍යා ලේඛන ගත්තත් කෘමිනාශක පිළිබඳ සංඛ්‍යා ලේඛන විමසුවත් පෙනෙන්නේ සතුන් නොමරන ලෙස බුද්ධාගමේ තිබෙන සිල්පදයට ද බෞද්ධයින් අතර පවා ඒ හැටි සැලකිල්ලක් නැති බව ය.
වසරකට සුළු පැමිණිලි ලක්ෂ 11 ක් පොලීසියට ලැබෙන බව කියවෙයි. එයින් අදහස් කරන්නේ අපට එකිනෙකා සමඟ සමගියෙන් සහජීවනයෙන් ඉන්නට පවා නොහැකි ව ඇති බව ය.
මේ සියල්ලෙන් බැස ගත හැකි නිගමනය නම් මිනිසුන් “ආගමික“ වුව ද ඔවුන් ආගම්වල කියන දේ නම් තඹ සතයකට නො සලකන බව ය. විශ්වාස නොකරන බව ය. නත්තල් සීයා තරමට ම දෙව්ලොව ද සුරංගනා කතාවක් ලෙස පමණක් සලකන බව ය. අපාය ත්‍රාසජනක කතාවක කොටසක් ලෙස ගන්නා බව ය.
මේ නිසා ම ආගමික නායකයන්ට සිදු ව ඇත්තේ බණ දේශනාවලින් කරගත නොහැකි දේ කර ගැනීම සඳහා පොලීසියේ නීතියේ හා රාජ්‍ය යන්ත්‍රයේ පිළිසරණ පැතීමට ය.යමපල්ලන්ගේ පිහිට වෙනුවට පොලීසියේ නිලධාරීන්ගේ උදව් පැතීමට ය.
ආදි කාලයේ රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමට රජුට හා රජයට උදව් වූයේ ආගමික නායකයන් ය. දැන් ආගම් පවත්වා ගැනීමට රාජ්‍ය අනුග්‍රහය පතන්නට සිදු ව ඇත්තේ ආගමික නායකයින්ට ය. ඉරිදා ටියුෂන් තහනම් කරන්නට ඉල්ලීම් එන්නේ ඒ අනුව ය.
වැරැද්ද හා සමාව
මේ තත්ත්වය හොඳින් ම පැහැදිලි කළේ මා මිත්‍ර උසස් පොලිස් නිලධාරියෙකි. ඔහු කීවේ මිනිසුන් තුළ දෙව්ලොව හා අපාය ගැන ඇති විශ්වාසය අඩු වී ඇති නිසා පොලීසියේ වැඩ දැන් වැඩි වී ඇති බව ය. ඒ නිසා එක් පැත්තකින් ආගම පොලීසියේ හා නීතියේ පිහිට පතන විට සිය බර අඩු කර ගැනීම උදෙසා රජයට, දේශපාලනඥයන්ට හා ආණ්ඩුවට නැවතත් ආගම උඩට ගැනීමට සිදු ව තිබෙන බවකි.
භික්ෂූන් වහන්සේලා මෑතක දී වඩ වඩා දේශපාලන ලෝකයට පිවිසීමත් දේශපාලන නායකයින් හා නිලධාරීන් වඩ වඩාත් ආගමට සෙනෙහෙ පෑමටත් හේතුව මෙය විය නොහැකි ද? පසු ගිය කාලයේ පත්තරවල ගිය මේ දෙපිරිසේ කතා පරීක්ෂා කරන කෙනකුට මේ නැඹුරුතා දෙකම දැකිය හැකි වනු ඇත.
දැන් අපට පැහැදිලි නිගමනයක් ගත හැකි ය. අප රට ආගමික යැයි කීවාට ආගම් විශ්වාස කරන අයගෙන් එය හීන ය.
ආගමක් දහමක් අදහන්නේ නැති එකා ගැන අප තුළ පොදුවේ ඇත්තේ භයානක ප්‍රතිරූපයකි. අණක් ගුණක් නැති මිනිසකු යැයි බොහෝ අය කියන්නට පෙළඹෙන්නේ ඔවුන්ට ය. පන්සලකට පල්ලියකට නොයන නිරාගමිකයාට ය. නිරාගමිකයන් දෙස කොහොමටත් සමාජය හෙළන්නේ අතිශය සැක සහිත බැල්මකි.
වඩා භයානක නිරාගමිකයන් ද? නැතිනම් ආගම් නොඅදහන “ආගමිකයන්“ ද? යන ප්‍රශ්නය සමාජය හමුවේ නැවත මතු කළ යුතු ය. ඒ සාමය සංහිඳියාව සම්බන්ධයෙන් ආගම දක්වා ඇති අසමත්භාවය නිසා ය.
ආගම නො අදහන ආගමිකයාට ආගමේ නාමයෙන් මිනී මැරිය හැකි ය. හොරකම් කළ හැකි ය. ස්ත්‍රී දූෂණයේ යෙදිය හැකි ය. බොරු කිව හැකි ය. එයට හේතුව ඒ සඳහා සමාවක් ඒ ආගමිකයන් අතින් ඔහුට ලැබෙන නිසා ය.
මේ සඳහා ඇති තරම් උදාහරණ අපට මැදපෙරදිග මුස්ලිම් ත්‍රස්තවාදීන්ගෙන් ලැබෙන ප්‍රවෘත්තිවලින් දැක බලා ගත හැකි ය. අපේ කියා වෙනසක් නැත. ඇත්තේ දරුණුකම එපමණට ම නැතිවීම පමණ ය.
මුස්ලිම් හෝටල්වල විකුණන කෑමවලට ද මුස්ලිම් රෙදි සාප්පුවල විකුණන ඇඳුම්වලට ද වඳ බෙහෙත් දානවා යැයි කියන කතා නිර්මාණය කර පතුරුවන ශ්‍රී ලාංකික මුස්ලිම් නොවන මිනිසුන් ද ඒ බොරුව ගොතන විට එසේ බොරු කීම අපාගත වීමට හේතුවක් බව හිතන්නේ නැත. ඒ මතය සමාජගත කරන අය ද එවැන්නක ඇත්ත නැත්ත සොයන්නේ නැත. තමන් මේ අත්තටු ලබා දෙන්නේ බොරුවකට බව සිතන්නේ නැත. දෙගොල්ලෝම තමන්ගේ ආගම්වල නාමයෙන් මුස්ලිම් ආක්‍රමණය නතර කිරීමට කැප වී සිටින අයවළුන් ය. ඒ නිසා තමන් පාපයක් කරන්නේ යැයි ඔවුන් දන්නේ නැත.ඒ බවක් ඔවුන්ට වැටහෙන්නේ නැත.
ස්වයං විනය
නිරාගමිකයෙකුට එහෙම පිළිසරණක් නැත.මිනී මැරීම හිංසනය හොරකම බොරුව කිරීම සඳහා වසන් විය හැකි ආගමක් ඔහු සතුව නැත. ඔහු කරන වැරැද්දකට සමාව ගනු සඳහා හෘද සාක්ෂිය සනසන්නට ඉදිරිපත් කළ හැකි යමක් ඔහු සතු ව නැත. අහවල් ආගමේ නාමයෙන් කළා යැයි කියන්නට පුළුවන්කමක් ඔහුට නැත. ඒ නිසා ම ඔහු ආගමිකයකුට වඩා ස්වයං පාලනයක් ඇති කර ගැනීමට පෙළඹෙයි. වැරදි නොකරන්නට පෙළඹෙයි.
වල්පොල රාහුල හිමියෝ 1981 වර්ෂයේ කැලණි සරසවියේ උපාධි ප්‍රදානෝත්සවයේ දී මෙසේ කියා සිටිය හ.
“කිසියම් කෙනකු සභාවක නැගිට "මා ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි උතුම්යයි"කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත. එභෙත් ඔහු තමාගේ ජාතිය, වර්ගය හෝ ආගම උසස් යයි ( එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි) කියා සිටින්නේ නම් එවැන්නකු ජාතිප්‍රේමියකු හෝ දේශප්‍රේමියකු හෝ වෙනත් පූජනීය කෙනකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට, ආගමට හෝ වර්ගයට අයත් ජනතාව ගෙන් බුහුමන් ලබනවා ඇත. මෙවැනි දේශකයන්ගේ පටු බව හා ලඝු බව දේශප්‍රේමයේ හෝ ජාතිප්‍රේමයේ සළු පිළියෙන් කදිමට වසා ගත හැක.“
රාහුල හිමියන් මේ කියන්නේ අන්තවාදීන්ගෙන් අප ප්‍රවේසම් විය යුත්තේ ඒ ඒ සළු පිළියට මුවා වී බොහෝ අකටයුතු කම්, බොරු හා අපරාධ ඔවුන්ට ජාතියේ ආගමේ නාමයෙන් කළ හැකි නිසා හා කරන නිසා යන්න ය.
අප රටට අවශ්‍යව ඇත්තේ එක්කෝ ආගම හරියට අදහන ආගමිකයන් ය. නැතිනම් කිසිදු ආගමක් නො අදහන නිරාගමිකයන් ය. අප පිටු දැකිය යුත්තේ ආගම නො අදහන “ආගමිකයන්“ ව ය. ඒ ඔවුන් වෙන කවරකුටත් වඩා භයානක නිසා ය. ආගමේ නාමයෙන් ඔවුන්ට කළ නොහැකි කිසිවක් නැති නිසා ය. ඔවුන්ගේ සැබෑ ස්වරූපය ආගමික සළු පිළියෙන් වැසී ඇති නිසා සෙස්සන්ට, විශේෂයෙන් ඔවුන්ගේ කඳවුරේ සෙසු මිනිසුන්ට, එකවර නොපෙනෙන නිසා ය. එයින් දෑස් ආවරණය නොකර ගත් සෙසු මිනිසුන් ඇත්ත දැක මැදිහත් වී දිගුකාලීන ගැටුමකට එයින් ම මුල පිරිය හැකි නිසා ය.
වල්පොල රාහුල හිමියන් සිය දේශනය තුළ ආගමික ලේබල් තුළ කොටු නොවී සත්‍යය දැකීමේ වැදගත්කම දිගින් දිගටම කියයි. හරි හැටි ආගම ඇදහීමෙන් මේ සීමාව ජය ගත හැකි බව යෝජනා කරයි. ඒ නිසා එ හිමියන්ගේ හඬට අපි දැන් ඉඩ දෙමු. “ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් විසින් තවමත් මහත් උනන්දුවෙන් හදාරනු ලබන රෝමානු නීතියේ මෙවැනි කියමනක් වෙයි.
"සිය දේශය වෙනුවෙන් මිය යාම ප්‍රසන්න හා වැදගත් දෙයකි"රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත් බව පෙන්වන්නට. සාධක කොතෙකුත් තිබියදීත් මෙවැනි ආකර්ෂණීය හා උද්වේගජනක සටන් පාඨ මිනිසුන් අරගලයට යුද්ධයට මෙභෙයවා ඇත.
කිසියම් පුද්ගලයකු තම රට ජාතිය හෝ ආගම නොසලකා අමතක කොට ජීවත්විය යුතු යයි කිසිවකු යෝජනා නොකරනු ඇත. දේශප්‍රේමය ජාතිප්‍රේමය හා ඒ සමාන වෙනත් දේ තුළ ඇති නො වැටභෙන දේ නම් ඒවායින් ඇතිවන යහපත හෝ අයහපත වෙන්කර ගන්නට නොහැකි වීමය.
දේශප්‍රේමය
දේශප්‍රේමය යනු රට වෙනුවෙන් පෙනී සිටීමය. ජාතිප්‍රේමය යනු ජාතිය වෙනුවෙන් පෙනී සිටීමය. එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත. ඒ දෙකම යහපත්ය. එභෙත් තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ඉක්මනින්ම අනෙක් ජාතියට එරෙහි වීමට පෙරලෙයි. තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම අනෙකාගේ රට ජාතියට එරෙහි වීම ලෙස තේරුම් නොගත යුතුය. ඇත්තටම නම් තමන්ගේ රට ජාතියට හිතවත් වන ප්‍රමාණයට අප අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය. අනෙකාගේ රට ජාතියට ගෞරව නොකරන, ආදරය නොකරන, කෙනකු තමන්ගේ රට ජාතියට සැබෑ ලෙස ගෞරව කරන්නේද ආදරය කරන්නේද නැත.“
වල්පොල රාහුල හිමියන්ගේ මේ අදහස අප කතා කරන ආගම සම්බන්ධයෙන් ද ඒ ලෙසම සත්‍යය ය. මෙසේ අප වැටෙන බොරු වළවල් ගැන අනතුරු අඟවන රාහුල හිමියන් අවශ්‍ය අයට එයින් ගොඩ ඒමට ආගමේ ම විශේෂයෙන් බුදු දහමේ පිහිට පැතිය හැකි බවට ඉඟියක් ද දෙයි.
“බෞද්ධ ආචාර ධර්ම තුළින් මේ සම්බන්ධව වැඩිදුර ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන. ලෝක සත්ත්වයාට මෛත්‍රීය කිරීම අරඹන්නේ පහසුවෙන් හා මුලින්ම කළ හැකි තමාට මෛත්‍රිය පැතිරවීමෙනි. තමාට මෛත්‍රිය කිරීම සඳහා අනුන්ට වෛර කිරීම අවශ්‍ය නොවේ. තමාට නිවැරදිව හා බුද්ධිමත්ව මෛත්‍රිය කරන කෙනකු සියලු ආකාරයේ නරක ක්‍රියාවලින් වැළකෙන අතර නිවැරදි මාවතේ ගමන් කරයි. එවිට අපට අප සමඟ හෝ සමාජය සමඟ ගැටුමක් ඇති නොවේ.
අප අවට ලෝකය සමඟ සාමයෙන් හා සංහිඳියාවෙන් ජීවත්වීමට එයින් අපි වරම් ලබමු. ඊළඟ පියවර වන්නේ තමන්ට ඉතාම ළඟින් නුදුරින් සිටින අයට මෙත් සිත් පැතිරවීමය. තෙවැනි පියවර වන්නේ තමා සමඟ සබඳකම් පවත්වන අයට මෛත්‍රිය කිරීමයි. සිව්වෙනි හා අවසාන පියවර වන්නේ තමන්ගේ සතුරන්ටද මෛත්‍රිය පැතිරවීමය. මෙය දුෂ්කර වුවද මෛත්‍රිය වැඩීම තුළ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනය හා අත්දැකීම් ලබන නිසා එය කළ හැකි දෙයක් වෙයි. මෙසේ මෛත්‍රිය හුරු කළ විට තමන් හා තමන්ගේ කිට්ටුවන්තයන් අතරද තමන් හා තමන් සබඳකම් පවත්වන්නන් අතරද තමන් හා හතුරන් අතරද වෙනස තුනීව යයි. නැතිව යයි. මෙය ඉන්ද්‍රජාලික සුරංගනා ලෝකයේ සිදුවන අභව්‍ය සිදුවීමක් නොවේ. මෙය මිනිසුන් තුළ ගොඩ නඟා ගත හැකි අපූර්ව තත්ත්වයකි.“
උපතින් උරුම වන ආගම්
රාහුල හිමියන් අපට මේ උගුලෙන් ගැලවීමේ මගක් ද යෝජනා කරයි. ආගමික අන්තවාදයෙන් ගැලවීමට නිරාගමිකයකු වීම ම අවශ්‍ය නොවේ. අවශ්‍ය විමසීම ය.
“මේ හැම විටකම කල්පනාකාරී වීමත් මිනිසුන් වර්ග කර ලේබල් ඇලවීමට ඉක්මන් නොවීමත් අවශ්‍යය. වර්ගීකරණය යනු බෙදා නිෂ්චිත කණ්ඩායම්වලට වෙන් කිරීමය. එසේ කළ විට අනවරතව ගලා යන සමස්ත ජීවිතය අපගේ සිත තුළ චිත්‍රණය නොවෙයි. වර්ගීකරණය යනු කෑලිවලට වෙන් කර තනි තනිවම ඒවා විමසීමය. ඒ තුළ සමස්තය දැකිය නොහැකිවේ. වර්ගීකරණය තුළ කැබලි වීම නිසා සිදුවන මේ අභාග්‍යය මිනිසා ගැන පමණක් නොව ස්වභාවධර්මය සම්බන්ධයෙන්ද රමණීයත්වය සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දෑ සම්බන්ධයෙන්ද එකසේ අදාළය.
සියළුම ආගම් පිළිබඳ ප්‍රවේසමෙන් කරන ලද අධ්‍යයනයකින් පසු කිසියම් ආගමක් අනෙක් ඒවාට වඩා ශ්‍රේෂ්ඨ යයි තේරුම් ගෙන ඒ ආගම වැළඳගත් අය ලෝකය තුළ සිටී නම් ඒ අල්ප වශයෙනි. එභෙත් බහුතරයක් අපි උපතින් උරුම වූ ආගම තුළම රැ දී සිටිමු.
මා කිසියම් ආගමක් උපතින් උරුම කර ගත් නිසාම ඒ ආගම පමණක්ම සත්‍ය බවත් අනෙක් ආගම් සියල්ල අල්පේච්ඡ බවත් කීම කොතෙක් දුරට සාධාරණ වන්නේද? මීටත් වඩා පටු වූද බාලවූද සිතිවිල්ලක් තවත් තිබිය හැකිද? මම බෞද්ධයෙක්ව උත්පත්තිය ලැබූ නිසාම බෞද්ධාගම සත්‍ය දෙසන එකම ආගම බවත් අනෙක් ආගම් තුළ ඇත්තේ බොරුව බවත් මට කිව හැකිද? මා ක්‍රිස්තියානිකාරයෙක්ව උත්පත්තිය ලැබුවේ නම් ක්‍රිස්තියානි එකම සත්‍ය ආගම බවත් සෙසු සියලු ආගම් වැරදි බවත් මා කීම සාධාරණ වන්නේද? තමන්ගේ ආගම පිළිබඳ භක්තියක් ඇතිකර ගැනීම එකකි.එය යහපත් එකක් වන්නටද පුළුවන. එභෙත් මගේ ආගමට ඇති භක්තියෙන් අන්ධවී මා විසින් සෙසු ආගම් ගර්හාවට ලක් නොකළ යුතුය.“
එකිනෙකාට එරෙහිව වදින සටනේ දී අපරාධයන් බහුල ව සිදු වීම ආගම් සම්බන්ධයෙන් පමණක් නොව අනෙකුත් මතවාදයන් සම්බන්ධයෙන් ද අදාළ බව රාහුල හිමියෝ අවධාරණය කරති.
“අවිචාර බුද්ධියෙන් යුතුව ඡාතික හා ආගමික මතයක එල්බගෙන සිටීම තරමටම දේශපාලනික ආර්ථික හෝ සමාජයීය මතයක් විචාරයෙන් තොරව දැරීමද (එකම ආකාරයේ) වැරදිය. මේ සියලු මතවාදයන් (දිට්ඨි) කෙරෙහි අන්ධව බැ ඳී ඇලී සිටින තැනැත්තේ මෙසේ කියයි. මෙය පමණක් සත්‍යයකි. මෙයින් බාහිර හැම දෙයක්ම බොරුවකි.
එවැනි අන්ධ මතවාදයන් දැරීම පිළිබඳ බුදුන්ගේ වචනය ඉතා පැහැදිලිය. කිසියම් මතවාදයකට ඇලි ගැලී සිටිමත් අනෙකුත් මතවාදයන් පහත් යැයි ගර්හා කිරීමත් පහත් ක්‍රියාවන්ය. බුද්ධිමත් මිනිස්සු එවැනි දැ සලකන්නේ විලංගු ලෙසය. (සූත්ත නිපාත - 798 පැදිය) ඒ අර්ථයෙන් ගත් කළ මිනිස් වර්ගයා විලංගු දා බැඳ දමා තිබේ.“
එක්කෝ අප ආගම හරිහැටි උගෙන ඒ අනුව ජීවත් විය යුතු ය. නැතිනම් නිරාගමික විය යුතු ය. එසේ නොකරන හැම කෙනෙකුම කරන්නේ දැන දැන පාපයේ ඇලීම ය. රාහුල හිමියන් කියා ඇත්තේ එයින් ගැලවීමේ මග ය. එය බෞද්ධයන්ට පමණක් නොව සෙසු ආගමිකයන්ට වුව ගත හැකි බුද්ධියේ මග ය. සත්‍යයේ මග ය.
නිශාන්ත කමලදාස