Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

ෆෝග්මෝර් වත්තේ පාද සටහන් දෙක

$
0
0
ජන 26, 2018 01:00

දෙවියන් අෙප් මූණ බැලුවා
- ගම් වැසියන්
පරීක්ෂණයකින් තොරව කියන්න බැහැ
- පුරා විද්‍යාව

මස්කෙළිය ගාඩ්මෝර් ප්‍රදේශයේ ෆෝග්මෝර් තේ වතුයායේ නිව් ෆෝග්මෝර් කොටස පිහිටා තිබෙන්නේ ශ්‍රීපාද රක්ෂිතය ආසන්නයේය. අක්කරයක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙන ගල් තලාවේ ශ්‍රීපාද අධි රක්ෂිතයට මීටර 30 ක පමණ දුරින් පිහිටි ස්ථානක තිබූ මිනිස් පාද සටහන් ස්වරූපයේ සලකුණු දෙකක් එම වතුයායේ පදිංචි වතුකම්කරුවන් පිරිසක් විසින් සොය ගනු ලැබුවේ පසුගිය 19 වෙනි දිනය.වයෝවෘද්ධ පුද්ගලයකු සිහිනෙන් පැමිණ තමන්ට මෙම ස්ථානය පිළිබඳ දැනුම් දුන් බව වතුයායේ පදිංචි පරමනාදන් කේපී අප හා පැවසුවේය.අඩි 1 1/2 ක් පමණ දිගින් යුත් මෙම පාද සටහන් දෙක පළලින් අඩි 1/2 ක් පමණ විශාලය.ගල්තලාව මත අඟල් දෙකක් පමණ ගැඹුරට හැරී ඇති මෙම පාද සටහන් දෙකෙන් දකුණු පාද සටහන ඉතා පැහැදිලිය.වම් පාදය එතරම් පැහැදිලි නැතත් එහිද මිනිස් පාදයක ලක්ෂණ තරමක් හඳුනා ගත හැකිය.හනුමාන් දෙවියන්ගේ පාද සටහන් බව කියමින් ගම්වැසියන් මෙම ස්ථානයට පුද පූජා පැවැත් වීමට පටන් ගැනීමත් සමඟ මාධ්‍යයද මේ පිළිබඳ වාර්තා කරන්නට වූයෙන් අසල ජනතාව මේ පාද දැක ගැනීමට වැල නොකැඩී එන්නට පටන් ගත්හ.

අඹගමුව කෝරළයේ, මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ මෝකා ග්‍රාම නිලධාරී වසමේ අතිශය සුන්දර පරිසරයකයක නිව් ෆෝග්මෝර් කොටස පිහිටා තිබේ.මාවුස්සාකැලේ ජලාශය ඉස්මත්තේ ශ්‍රීපාද රක්ෂිතයට මායිම්ව පිහිටි මෙම ගල්තලාවට බටහිරින් ශ්‍රීපාදස්ථානය පිහිටා ඇත.තේ වතු යායේ සිට ශ්‍රීපාද කන්දට ගුවන් සැතපුම් 20 ක පමණ දුරක් ඇතැයි අනුමාන කළ හැකිය.මස්කෙළිය නගරයේ සිට මෙම ස්ථානයට කිලෝ මීටර් 25 ක පමණ දුරක් ඇත.මස්කෙළියේ සිට සාමිමලේ මාර්ගයේ ඩී.සයිඩ් මංසන්ධියේ සිට ගාඩ්මෝර් දක්වා කිලෝ මිටර් 09 ක් අබලන් මාර්ගයක ගමන් කිරීමෙන් අනතුරුව එතැන් සිට කිලෝ මීටර් 07 ක පමණ දුරක් අතිශය දුෂ්කර කඳු බෑවුම් සහිත වතු මාර්ගයක ගමන් කිරීමෙන් පසු නව ෆෝග්මෝර් තේ වතු යායේ මෙම ගල්තලාවට ළඟා විය හැක.

දමිළ ජාතික හින්දු බැතිමතුන් 100% ක් ජීවත්වන මෙම ප්‍රදේශයේ අති බහුතරය වතු කම්කරුවෝ වෙති.වතු ජනතාව මහත් ගෞරවයෙන් පුදා පූජා පවත්වන මෙම පාද යුගලය හා සිදුවීම් මාලාව පිළිබඳ අධ්‍යන්‍යය කිරීමට අප එහි යන විටත් අවට ගම්වාසීන් එහි පැමිණ සිටිනු දක්නට ලැබිණි.යාතිකා කටයුතු සඳහා කපු මහතෙකුද එහි සිටි අතර ඇතමුන් අවේශ වී සිහිසුන් ඇද වැටිණි.බෙහෙවින් හුදෙකලාව පැවැති ගම්මානයේ නිස්කලන්කත්වය බිඳ දමමින් එහි එන පිරිස දිනෙන් දින වැඩි වීමෙන් ඒ අවට කුඩා කඩ කිහිපයක්ද ඉඳිවී තිබුණේ වතු කම්කරුවන්ගේ ආදායම් තත්ත්වයද සරුකරමිනි.

නව ෆෝග්මෝර් තේ වතුයායේ පදිංචි පරමානන්දන් කේපී නමැති අයට මෙම මස (01) දා රාත්‍රී 12.00 ට පමණ වයෝවෘද්ධ පුද්ගලයෙක් සිහිනෙන් පැමිණ මෙම පාද යුගළය හා එහි ඇතැයි කියන හාස්කම් සම්බන්ධව මුලින්ම පවසා සිටි බව මේ සම්බන්ධව සොයාබැලිමට ගිය අප හට දැනගන්නට ලැබුණි.

තමන් දුටු සිහිනය සම්බන්ධව පරමානන්දන් කේපී අප සමග වැඩිදුරටත් මෙසේ පැවසිය.

තලප්පාවක් හිසේ බැඳගත්ත් කෝටුවක් ගත් වයසක අෙයක් පසුගිය 01 වෙනිදා සිහිනෙන් මට කතා කළා.එතුමා කීවේ මට කිසි කරදරයක් වෙන්නේ නෑ ,ගල්තලාවේ තැනක පාද සටහන් දෙකක් තිබෙනවා,ඒක බලලා පුද පුජා පවත්වා ආරක්ෂා කර ගන්න කියලායි .ඒ එක්කම මට ඇහැරුණා.වෙලාව රෑ 12.00 ට විතර ඇති.බය වෙලා මට දාඩිය දැම්මා.පහු වෙනිදා මම දැක්ක හීනේ ගැන අපේ ලොකු පූසාරි තුමාට කිව්වා.මේ දෙවි කෙනෙක් බවත්,මෙය පරීක්ෂා කලයුතු බවත් එතුමා කිව්වා.අපේ වත්තේ අය බොන්න වතුර ගන්න උල්පත තියෙන්නේ මේ ගල් පර්වතය ළඟයි.පහු වෙනිදා වතුර පාර හදන්න ආව වෙලාවේ වත්තේ කීප දෙනෙක් එක්ක ගල් තලාවට ඇවිත් පැය 03 ක් විතර ගලේ බැඳිල තිබූණු පාසී ඉවත් කළා.එතකොට මුලින්ම දකුණු කකුලේ සලකුණ හමුවුණා.ඒකට තාවකාලික ආවරණයක් හදලා ආයෙත් ගල සුද්ද කළාට පස්සේ වම් පාද සටහන් හම්බ වුණා.පස්සේ වත්තේ සියලු දෙනාම ඇවිත් කපුරු හඳුන්කූරු පහන් පත්තු කරලා පූජා පැවැත්වූවා. අපේ ගෙවල්වල ඉඳන් මේ ස්ථානයට කිලෝ මීටර් දෙකක් විතර දුර තියෙනවා.අපි මේක හනුමන් දෙවියන්ගේ පාද සටහන් බවට විශ්වාශ කරන නිසා මේ ස්ථානයේ කෝවිලක් බැඳලා පුද පූජා පවත්වන්න තමයි බලා පොරොත්තු වෙන්නේ..පරමානාදන් කමරාජ් පවසයි.

ෆෝග්මෝර් තේ වතුයායේ පදිංචි විශ්‍රාමික වතුකම්කරුවෙකු වන එම්.මුණුසාමි මහතාය....මේ ගල් තලාවේ දෙවි කෙනෙක් ඉන්නවාද කියලා අපි දන්නේ නෑ. මේක අපිට ලොකු ආශීර්වාදයක්. ශ්‍රීපාදස්ථානය තියෙන මේ පළාතේ හාස්කම් තියෙන් තැන් ගොඩක් තිබෙනවා.මේක හනුමන් දෙවියන්ගේ පාද සටහන බවට අපි විශ්වාශ කරනවා.ගමේ ජනතාව ලොකු භක්තියකින් මෙතන්ට පුද පූජා කරන්නේ.ගොඩක් ඈත ප්‍රදේශවලිනුත් කට්ටිය එනවා.

මෙම පාද සටහන් දැක බලා ගැනීමටත් පුද පූජා පැවැත්වීමටත් දෛනිකව පැමිණෙන ජනතාව වෙනුවෙන් මල්,සුවඳ කූරු,කපුරු මෙන්ම බිස්කට්,සිසිල් බීම අළෙවි කරන එස්. ආරුමුගන් මෙසේ කීවේය...මේක අපේ ගමට ආශිර්වාදයක්.අද කොච්චර නම් සෙනඟක් අපේ වත්තට එනවාද.වෙනදට මේ පැත්ත හරිම පාලුයි.ගමට එන්න තිබෙන්නේ ගොඩක් දුෂ්කර පාරකින්.මේකේ එන්න යන්න පැය හතරක් පහක් යනවා.එන අය පුදා පූජා කරන්න මල්,පහන්,සුවඳ කූරු,පොල් ගන්නවා.සිසිල් බීම අයිස් ක්‍රීම් හොඳට අළෙවි වෙනවා.දෙවියෝ අපේ ගම දිහා බැලුවා කියලා තමයි මම හිතන්නේ.වත්තේ කුලී වැඩ කරලා තමයි අපි ජීවත් වන්නේ.වෙන ආදායම් මාර්ග නැහැ.දැන් මෙතන්ට ලොකු සෙනඟක් එන නිසා හොඳ ආදායමක් හොයා ගන්න පුළුවන් වෙලා තිබෙනවා.....

පාද යුගළය නැරඹීම සඳහා අවට වතුවල හා දුර බැහැර සිට විශාල පිරිස් මේ වන විට පැමිණීම නිසා ප්‍රදේශය ජනාකීර්ණ වී තිබේ.එසේ පැමිණෙන පිරිස අතර සිංහල හා මුස්ලිම් සියලු ජනතාව සිටිති.ගාඩ්මෝර් කඩ මණ්ඩියේ සිට කිලෝ මීටර් 06 ක් පමණ දුර නව ෆෝග්මොර් තේ වත්තේ මෙම ගල් තලාව පිහිටි ස්ථානයට කුලී ත්‍රීවිල් රථයකින් යාමට සඳහා රුපියල් 1000/- ක් මුදලක් අයකරන බව එහි ගමන් කළ පිරිස් අප හා පැවසූහ.මස්කෙළිය නගරයේ සිට එන්නේ නම් එම මුදල තවත් දෙගුණයක් වන අතර ඒ වෙනුවෙන්ම ත්‍රිරෝද රථ ධාවනයේ යෙදවීමටද ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබේ.

මෙම සිදුවීම් මාලාවත් සමඟ මෙය ඇත්තක්ද බොරුවක්ද යන මතය පිහාටු ලැබ රට පුරා පැතිර යමින් තිබේ.පාෂණය එතරම් ශක්තිමත් එකක් නොවන බැවින් කාලයක් පුරා ඛාදනයට ලක් වීමෙන් ස්භාවික මෙම සලකුණු මතුව ඇති බවට ඇතමුන් මත ප්‍රකාශ කරති.ඒ පිළිබඳ ස්ථිර යමක් ප්‍රකාශ කළ හැක්කේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් පරීක්ෂණවක් සිදු කිරීමෙන් පසුය.මුස්ලිම් ජාතිකයකුට අයත් පෞද්ගලික ඉඩමක මෙම පාද සටහන් මතුව තිබෙන බැවින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් ආර්.පී.ජී සුමනසේකර මහතාද එහි ගියේය.මේ පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පුරා විද්‍යා දෙපර්තුමේන්තුවට දැනුම් දී තිබෙන බව හෙතෙම කීය...ඒ අනුව පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ පුරා විද්‍යා පර්යේෂණ නිලධාරී පාලිත අත්තනායක මහතා ඇතුළු කණ්ඩායමක් පසුගිය 23 දින අදාළ ස්ථානයට ගොස් එහි සලකුණු සම්බන්ධ පරීක්ෂණයක් සිදු කරනු ලැබූහ.

“අදාළ ස්ථානය අපි හොඳින් පරීක්ෂා කළා.ඒ අවට පරිසරය පිළිබඳවත් දත්ත එක්රැස් කර ගත්තා.මේවා මිනිස් පාදයක ප්‍රමාණයට වඩා විශාල වුවත් පාදයක ස්වරූපය දක්නට ලැබෙනවා.මේ සම්බන්ධව අවසන් නිගමනයකට එළඹිය හැකි වන්නේ පරීක්ෂණ සියල්ල අවසන්වූ පසුවයි.ඉතිහාසයේ මානව ක්‍රියාකාරකමක් සිදුවෙලා තිබෙනවාද ,ඒ නිසා ශේෂවූ සාධක තිබෙනවාද කියන කාරණය ඔස්සේ තමයි පුරා විද්‍යා වටිනාකමක් තිබෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ.මානව ක්‍රියාකාරකමක් සිදුවූ බව කියන කාරනය පමණක් පදනම් කර ගනිමින් සාධක නොමැතිව යම් දෙයක් පිළිබද අදහසක් ඉදිරිපත් කිරීම අසීරුයි.සාධක පමණක් ඉතිරි වූ පමණින්ද ස්ථිර නිගමනයටකට ඒමට බැහැ.අපි මෙතනදී සිදු කරන්නේ අතීතයේ මෙම ස්ථානයේ මානව ක්‍රියාකාරකම් සිදුව තිබෙන්නේද ඒ නිසා ශේෂවූ සාධක තිබෙන්නේද කියන කාරනය පිළිබඳ අවධානය යොමු කරමින් පරීක්ෂණ සිදු කිරීමයි.මේ ගැන ස්ථිර යමක් පැවසිය හැකි වන්නේ අදාළ පරීක්ෂණ වලින් පසුවයි......පුරා විද්‍යා පර්යේෂණ නිලධාරී පාලිත අත්තනායක මහතා පවසයි.

ගල්තලාව මත කුඩා දරුවෙකු පිහිතලයක් අතින් ගෙන යමක් හාරමින් සිටියේය.ඔහු ආසන්යේද පාෂණය මත තරමක් යටට ගිලී ගිය සලකුණු දක්නට ලැබිණි.ඒවා සහ මෙම පාද සලකුණු අතර කිසියම් සමාන කමක් ඇත්තේද යන්න පිළිබඳව නිශ්චිතව තහවුරු කළ හැකි වන්නේ පුරා විද්‍යා පර්යේෂණයෙන් පසුය.

සටහන-අසේල කුරුළුවංශ හා මස්කෙළිය සමූහ
ගාමීණී බණ්ඩාර ඉලංගන්තිලක

ඡායාරූප-මස්කෙළිය සමූහ 


දුම්රියක් බෝම්බ තුනක් වීරයෙක්

$
0
0
ජන 26, 2018 01:00
උදිත ගුණවර්ධන
විශ්‍රාමික කපිතාන් සිසිර බණ්ඩාර

උතුරේ සෙල්ලම්මලා කොළඹට ආවේත් දකුණේ සුමනසිරිලා යාල්පානමට ගියේත් යාල් දේවි දුම්රියෙනි.යාල් දේවිය යකඩ ගොඩක් වුවද එයට සංස්කෘතික ඒකාබද්ධතාවේ ජීවමාන ලකුණක්ව පැවැතුණි. උතුරු දකුණු සහෝදරත්වය තහවුරු කළ රන් දම්වැල ලෙස යාල් දේවී දුම්රිය හඳුන්වා දුන්නද වරදක් නැත. එහෙත් 1985 වසරේදී මෙම රන් මතක සුණු විසුණු වුයේ උතුරු දකුණු සහෝදරත්වයට සැකසංකා මෙන්ම කඳුළු මතකයක් ඉතිරි කරමිනි.

1985 අවුරුද්දේ ජනවාරි 20 වන දා කොළඹ අහස වෙත හිරු උදාවන්නටත් පෙර පාන්දර පහමාරට යාල් දේවිය කොළඹින් යාපනය සහ කන්කසන්තුරේ බලා පිටත් වූයේ සුපුරුදු රිද්මයෙන් වුවද එම රිද්මයේ අමුත්තක් ඇතැයි මෙහි ගමන් කළ සමහරුනට නිකමට මෙන් සිතුණි.ඒ වන විට රටපුරා ඇතිව තිබුණේ අස්ථාවර සහ අරගලකාරී තත්ත්වයකි. උතුරු පෙදෙසේ රජයේ අණසක කෙමෙන් ගිලිහී යමින් තිබු අතර දෙමළ සන්නද්ධ කණ්ඩායම් එහි අණසක තම ග්‍රහණයට නතු කර ගනිමින් සිටියහ.

මේ සියලු සැක සංකා මැද වුවද යාල් දේවිය ඉදිරියට ගමන් ගත් අතර පොල්ගලවෙල දුමිරිය මංසංධියෙන් උතුරු දුම්රිය පාරට ඇතුළු වී කුරුණෑගල, මහව , අනුරාධපුර නගර පසු කරමින් වවුනියාවෙන් උතුරුකරයට ඇතුළත් වු අතර ඒ වන විට දුම්රියේ සිටි සියලු සිවිල් මගීන් දුම්රියෙන් බැහැරව සිටි අතර මැදිරි 12 ක් තිබු දුම්රියේ සිටියේ උතුරේ රාජකාරී සඳහා යන හමුදා සහ පොලිස් නිලධාරින් සහ රාජ්‍ය සේවකයන් පමණි. ඒ අතර සිටි ඉහළම හමුදා නිලධාරියා වූයේ කපිතාන් සිසිර බණ්ඩාර මහතාය.ඔහු උතුරේ සිටි හමුදා නිලධාරින්ගේ වැටුප් රැගෙන දුම්රියේ ගමන් කළ අතර ඔහුගේ ආරක්ෂාවට තවත් සෙබළු පිරිසක් ගමන් කළහ. ඒ වනවිටත් දුම්රියට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවන බවට රහස් තොරතුරු ලැබී තිබුණි. එහෙත් වන්නි මහ කැලය මැදින් ගමන් කරන දුම්රියට නැවතීමට හෝ ආපසු හැරිමට ඉඩක් නැත. ආපසු හැරුනද , නැවතුනද ලැබෙන්නේ එකම ප්‍රතිඵලය මරණය පමණි. එනිසා දුම්රිය රියැදුරු නියාමකවරු සහ කපිතාන් සිසිර බණ්ඩාර මහතා ඇතුළු හමුදා සෙබළු තීරණය කළේ යාපනය දෙසට ගමන් කිරීමය.“ ඩ්‍රයිවර් මහත්තයා අපි ඉස්සරහට යමු“ කපිතාන්වරයා දුම්රිය රියැදුරුගෙන් ඉල්ලා සිටියේය. “ හරි අපි යමු“ දුම්රිය රියැදුරුගෙන්ද ලැබුණේ ධනාත්මක ප්‍රතිචාරයකි. මේසේ නිර්භයව ඉදිරියට යන යාල්දේවියේ පිරිස කිලිනොච්චිය දුම්රිය ස්ථානයට පිවිසුනද අනතුරක සේයාවක් හෝ එහි රැඳී තිබුණේ නැත.කිලිනොච්චිය පසු කර ඉදිරියට යද්දී හමුවන්නේ දකුණේ ප්‍රධාන ගොඩ බිමත් උතුරේ යාපනය අර්ධද්වීපයත් යා කරන දුම්රිය පාලමයි. ඒ වන විට දුම්රිය පාලම බිඳ දමා යාල්දේවියේ ගමන අඩාල කිරීමට ත්‍රස්තවාදීන් කටයුතු කර තිබු බවට දුම්රියේ හමුදා නිලධාරින්ට ආරංචියක් ලැබුණි. තීරණාත්මක හෝරාව පැමිණියේ ඉන් පසුවය.

“මොකද කරන්නේ දුම්රිය රියැදුරුත් කපිතාන් බණ්ඩාරත් තනි තනිව කල්පනා කළෝය.කපිතාන් බණ්ඩාරගේ හිතට මහත් බරක් වූයේ තමන් අත වු රුපියල් ලක්ෂ ගණනක් වූ අර්ධද්වීපයේ පඩි මල්ලය. අවසානයේ කෙසේ හෝ පඩි මල්ල අර්ධද්වීපයේ ඉහළ හමුදා නිලධාරීන් වෙත භාර දී එම වගකීමෙන් මිදුනු කපිතාන්වරයා ඉන් පසු ගත යුතු පියවර ගැන කොළඹින් විමසීමක් කළේය. “ ආපහු එන්න“ කොළඹින් පැමිණි නියෝගය වුයේ එයයි. දුම්රිය රියැදුරුද පාලක මැදිරිය සමග කතා කර පැමිණි තීරණය වුයේ යළිත් කොළඹ බලා පැමිණීමය. අලිමංකඩින් යාල් දේවිය හරවා ගත් පිරිසගේ ඉලක්කය වූයේ අඳුර වැටීමට පෙර වන්නි කැලය පසුකර අවම වශයෙන් මැදවච්චිය වෙත හෝ පැමිණීමය. “ අපි ඉක්මනින් යමු“ කපිතාන්වරයා දුම්රිය රියැදුරුගෙන් එම ඉල්ලීම කළේ ආරක්ෂාව ගැන සිතමිනි.“ ඒ වෙද්දි හමුදා සෙබළු රැසක් දුම්රියේ හිටියා..මේ හැම දෙනාගෙම ආරක්ෂාව ගැන වගකීම තිබුණෙ මගෙ අතේ..“ මම නායකයා විදිහට කෙළින්ම නැග්ගෙ එන්ජිමට රියැදුරු ඔහුගෙ සහායක සහ තවත් කාන්තාවක් එන්ජිමේ හිටියා... අපි වේගයෙන් ගියා..හවස පහ වෙද්දි කිලිනොච්චිය ස්ටේෂන් එක පාස් කළා“ ඒ වන විට දුම්රියේ සිටි අයට මෙන්ම කපිතාන් බණ්ඩාර මහතාටද ආරක්ෂාව ගැන යම් විශ්වාසයක් ගොඩ නැගී තිබුණි. එහෙත් එම විශ්වාසය ආරක්ෂා වුයේ ඉතාමත් කෙටි කාලයකි. කොකාවිල් දුම්රිය ස්ථානය පසුකර ඉදිරියට යද්දී මහා හඬක් නැඟිණි. පාලමක් අසල රඳවා තිබු කිලෝ සියයකට ආසන්න බැරල් බෝම්බ තුනකි. ත්‍රස්තවාදීන් ඉලක්ක කළේ දුම්රිය එන්ජිම වුවද පළමු බෝම්බය පිපිරී නොයාම නිසා එන්ජිම සහ ඉදිරි මැදිරි දෙක ඉදිරියට ගමන් කළද දෙවන සහ තෙවන පිපිරීම් නිසා පසුපස මැදිරී හතරට පහට කැඩී ගොස් තිබුණේ ගිනි පෙට්ට් හය හතක් නැවී පොඩි වී යන ආකාරයටය. සමහර මැදිරි අසල පාලමෙන් පහළට වැටී තිබුණේ එහි සිටි මගීන්ද සමගය. හාත්පස ඇති අඳුර අතරින් වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල වීම නිසා තත්ත්වය තවත් බරපතළ විය.සියල්ලටම වඩා භයානක වුයේ ඒ වන විටත් හාත්පස අඳුරින් ගිලී තිබීමය.

“ඒත් මට එවෙලෙ මම ගැන හිතලා තීන්දු ගන්න බැහැ..මගේ බලඇණියේ ළමයි හිටියා.. අනෙක හමුදා නිලධාරියකු විදිහට සැමගේ ආරක්ෂාව ගැන බලන්න ඕනැ..කපිතාන් බණ්ඩාර සැබෑ හමුදා වෘත්තිකයකුගේ මනා ගුණය ගැන අපට පැහැදිලි කර දුන්නේ එලෙසිනි.

“ වෙඩි සද්දෙ අඩු වෙද්දි මම අඳුරෙම එළියට ආව . හැම තැනම මස් කෑලි අත් කකුල්..සමහරු උදව් ඉල්ලා විලාප තියෙනවා..මට පුළුවන් විදිහට ජීවත් වෙලා ඉන්න අය බේරා ගත්තා..මම දැක්කා එක පෙට්ටියක හාමුදුරුනමක් හිර වෙලා ඉන්නවා. මම උන්වහන්සේව කර මතින්ම රැගෙන ගියා බෝම්බෙට අහු නොවුණු පෙට්ටියකට “ ඒ වෙලාවෙ විදිහට වටිනම දේ මට හාමුදුරුවො ලබා දුන්නා..“ “ ඒ මොකක්ද.? අපට කියැවුණේ ඉබේමය.“ මට හාමුදුරුවො උන්වහන්සේගේ ගමන් බෑගයේ තිබුණු ටෝච් එක දුන්නා..ඒත් ටෝච් එක පත්තු කරන්න බයයි සතුරාට පහසුවක් වෙන හින්දා..ඒත් මම ටෝච් එක ගහලා බැලුවා..ටෝච් එළියෙන් තව කිහිප දෙනෙක් බේරා ගත්තා ..ඒ හැමෝම කෝච්චි පෙට්ටියට දාලා මාත් නැග්ගා එන්ජිමට..

එහෙත් කපිතාන් බණ්ඩාරට හෝ දුම්රිය රියැදුරුට ඉදිරියට යාමට නිල අවසරයක් නැත. කපිතාන්වරයා කොළඹ මුලස්ථානය සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීමට උත්සාහ කළ අතර රියැදුරු දුම්රිය පාලක මැදිරිය සමග සම්බන්ධ වීමට විශාල ප්‍රයත්නයක් දැරුවේය. අවසානයේ උත්සාහයන් සාර්ථක වු අතර හමුදා මුලස්ථානයෙන් මෙන්ම දුම්රිය පාලක මැදිරියෙන්ද දුම්රිය මැදිරිය සහ ඉතිරිව තිබු මැදිරි දෙක අනුරාධපුරට රැගෙන ඒමට අවසරය ලැබුණි.

“ කැප්ටන් මම කොහෙවත් නවත්වන්නේ නැහැ..සිග්නල් බලන්නෙත් නැහැ..හැකි ඉක්මනට අනුරාධපුරට යනවා ..රියැදුරු තමන්ගේ තීරණය කපිතාන් බණ්ඩාරට දැනුම් දුන්නේය. හ්ම් ..කමක් නැහැ කපිතාන්වරයා හිස සැලුවේය.

පැය දෙකකටත් අඩු කාලයකින් යාල් දේවිය අනුරාධපුරට පැමිණි අතර එහි සිටි තුවාල ලැබු පිරිස් අනුරාධපුර රෝහල් ගත කළ අතර අනුරාධපුර රෝහලේ පසු කාලීනව ප්‍රසිද්ධියට පත් “ හමුදා වාට්ටුව“ බිහි වෙන්නේද මේ සිදුවීමත් සමගය.

“මට ලොකු සතුටක් තියෙනවා ජීවිත විසි හතරක් ගලවා ගන්න පුළුවන් විම ගැන සමහරු මට පසු කාලීනව මුණ ගැසුනා ස්තුතිය පළ කළා..ඒකත් මට ලොකු ආත්ම ශක්තියක් වුණා..“1992 දි මම අවුරුදු තිස් හතක් සේවය කර විශ්‍රාම ගත්තා.. අද වෙද්දි මට ඉතිරි වෙලා තියෙන්නේ රටට යමක් කළා කියන ආත්ම තෘප්තිය විතරයි..“

කපිතාන් සිසිර බණ්ඩාර මහතා කතාව අවසන් කළේය. ඔහු සැබෑ ලෙසම වගකීම වගකීමක් ලෙස ඉටු කළ අයෙකි.“ එදා මගෙ හිතේ තිබුණ ලොකුම බර තමා පඩි සල්ලි ටික දෙන එක ..සල්ලි ටික දුන්නට පස්සෙ මගෙ වගකීම ඉවරයි. අද මම සතුටු වෙනවා අවංකව වැඩ කිරීම ගැන. එහෙත් කපිතාන්වරයා ඉටු කළ අභිත මෙහෙවරට නිසි අගැයුමක් ලැබී නැත. ඉබේ හිමිවන තනතුරු දීමනා හැර ඉටු කළ ගරු සේවයට අවම අගය කිරීමක් හෝ මෙතෙක් නොලැබීම ගැන ඔහුට දුක් ගැනවිල්ලක් තිබේ. රට වෙනුවෙන් කපිතාන් සිසිර බණ්ඩාර මහතා ඉටු කළ මහා මෙහෙවරට දැන් හෝ අගය කිරීමක් කාගේත් යුුතුකමකි.

විනාශයකට පෙර පාලමක් දෙන්න

$
0
0
ජන 26, 2018 01:00
දුමින්ද සම්පත්

“වාසනාවට ඔරුව ගල් ඇන්දක හිරවුණා” ගමේ කට්ටිය ගිහින් ළමයි බේරගත්තා. දෙයි හාමුදුරුවන්ගෙ පිහිටෙන් දරුවො ටික බේරුණා. එදා මොනව හරි වුණා නම් අද ගමක් නැහැ’ “දැන් අපිට ඕන ඔරු නොවෙයි මහත්තයො, පාලමක්.” කරලයින් ‍නෝනා නොනවත්වාම කියයි.

ඇය මේ කියනුයේ ජනවාරි 03 දා කිතුල්ගල පාරවලතැන්න පහළ තොටුපොළේ සිදුවූ අනතුර ගැනයි.

ආපදා කළමනාකරණ අමාත්‍යාං‍ශයෙන් පාරවලතැන්න එකමුතු සුබසාධක සංගමයට වසර 04 කට පෙර අඟුලක් ලැබුණේ ‍එතෙක් තිබූ තනි ඔරුව වෙනුවටය.

ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ පටන් පැවත එන තොටුපළේ ඔරුව බදු පදනම මත ක්‍රියාත්මක වන්නකි. යටියන්තොට ප්‍රාදේශීය සභාව මඟින් 2018 වසරේ තොටුපළේ අඟුල වැඩි ඉල්ලුමකට පුද්ගලයකුට ලබාදීමත් සමඟ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් සුබසාධක සමිතියට ලබාදුන් අඟුල තොටුපළේ මගීන් ගෙනයාමෙන් ඉවත්ව ඇත.

නව අඟුල භාවිතයට ගෙන දින 03 කින් අනතුර සිදුවූ අවස්ථාවේ පාසල් 03 ක දරුවන් අඟුලේ ගමන් කරමින් සිටියහ. ප්‍රදේශවාසීන් පවසන්නේ අඟුල ප්‍රමිතියෙන් තොර නිසා අනතුර සිදුවූ බවයි. මෙහිදී පැනනඟින ගැටලුව වන්නේ මෙවැනි අවදානම්කාරී ගමනක් සඳහා අඟුලක් තෝරාගැනීමේදී යටියන්තොට ප්‍රාදේශීය සභාව මුදල් මත පමණක් සිතා තීරණ ගෙන ඇද්ද යන්නය. ඊට හේතුව අනතුරෙන් පසු එක්වරම අඟුල නැවත “එකමුතු” සුබසාධක සංගමයට ලැබීමය. සුබසාධක සංගමයේ අඟුල ඉවත් කිරීම පිළිබඳව ගම්මුන්ගේ විරෝධතා තිබුණද ප්‍රාදේශීය සභාව ඒ පිළිබඳව තැකීමක් කර නැත.

වසර ගණනාවක් තිස්සේ ගම්මුන්ගේ ඉල්ලීමක්ව පවතින පාරවලතැන්න පහළ තොටුපළට පාලමක් ලබාදීම බලධාරින් මගහැර සිටීම නිසා මහා ඛේදවාචකයක් සිදුවිය හැකි බව ගම්මුන්ගේ අදහසය.

පාරවලතැන්න ඉහළ තෙල් අරඹේදී කැලණි ගඟ හරහා පාලමක් ඉදිකොට ගම නගරයට එක් කිරීමට උත්සාහ ගත්තද එය පලරහිත වී ඇත්තේ එකී පාලමෙන් එගොඩවීමට ගම්මුන් කිලෝමීටර් 3 ක් 4 ක් පමණ පයින් යායුතු බැවිනි. ගම හරහා වැටී ඇති මාර්ග පද්ධතියද ඉතා අබලන්ය. ත්‍රිවීල් රථයකින් ගමට යාමට රුපියල් 300 ක පමණ මුදලක් ගෙවිය යුතුය. මාර්ග පද්ධතිය අබලන් නිසා ත්‍රිවීලර් පැමිණීමද අඩුවී ඇත.

එක්පසකින් කැලණි ග‍ඟෙන්ද, අනෙක්පසින් අහස් ලෙන කඳුවැටියෙන්ද වටවී ඇති “පරවලතැන්න” මාකන්දාව රක්ෂිතය ආසන්නයේ පිහිටි ගමකි. පවුල් 750 ක් පමණ ජීවත්වන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය තේ වගාවයි. තේ දලු ගෙනයාමට වට පාරෙන් ගමට එන ට්‍රැක්ටර් රථය හෝ කැන්ටර් රථය හැරෙන්නට ගමට ඉඳහිට හෝ පැමිණෙන්නේ ත්‍රිවීලරයක් පමණී.

ගම්මුන් කිතුල්ගල නගරයට යාමට බහුලව භාවිත කරනුයේ අඟුලය. අධික වර්ෂා කාලයේදීත්, මස්කෙළිය හා මාවුස්සා ජලාශවල සොරොව් විවෘත කළ විටත් කැලණි ග‍ඟේ ජල මට්ටම ඉහළ යාමෙන් අඟුල පෑදීම අසීරු වේ. මේ නිසා වසරේ වැඩි කාලයක් අඟුලෙන් ගමන් බිමන් යාමද අසීරුකාරියකි. එවැනි කාලවලදී දරුවන්ගේ පාසල් ගමන නතරවීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ.

පරවලතැන්න ගමේ මාර්ග පද්ධතිය දැඩි සේ අබලන්ව පවතී. මෙකී මාර්ග පද්ධතිය අලුත්වැඩියාව සඳහා 2017 වසරේදී රුපියල් ලක්ෂ 80ක මුදලක් වෙන් කෙරුණද අලුත්වැඩියා කටයුතු සිදුව ඇත්තේ මීටර 500 ක දුරක් පමණි. කොන්ත්‍රාත්කරුගේ දැනුම අඩුකම නිසා නිසියාකාරව මාර්ග අලුත්වැඩියාව සිදුව නැති බව ගම්මුන්ගේ අදහසය.

අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ මාර්ග පද්ධතිය සැකසීමට යෝජනා වී තිබුණද එම අවස්ථාව නොලැබීයාම අදටද ගම්වැසියනට ප්‍රශ්නයකි.

පරවලතැන්න පහළ තොටුපොළ සංචාරකයන්ද එගොඩ මෙගොඩ කරන ස්ථානයක් බවට පත්ව ඇත්තේ මාකන්දාව කුරුලු කැලය නිසාය. විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, කුරුලු කැලයේ නිරීක්ෂණ සඳහා නිරන්තරව පැමිණෙති. කුරුලු කැලයට පහසුවෙන් පිවිසිය හැකි මාර්ගයක් ලෙස තොටුපළ භාවිතයට ගත හැකිය.

නගරයේ පාසල් කරා යාමටත්, විහාරස්ථාන 4 කට පිවිසුම් මාර්ගය ලෙසත්, තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි බෙදීමේ කටයුතු සඳහාත් අනෙකුත් අවශ්‍යතා සඳහා කිතුල්ගල නගරයට යාමටත් කෙටිම මාර්ගය ලෙස තොටුපළ හරහා පාලමක් ඉදිවන්නේ නම් භාවිතා කළ හැකි බව ගම්මු පවසති.

විදෙස් ආධාර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයට පාලම් 20 ක් අනුමත වී ඇති අතර ඉන් එක් පාලමක් පරවලතැන්න තොටුපළෙන් කැලණි ගඟ හරහා ඉදිකිරීමට යෝජනා වී ඇත. ඊට අදාළ මැනුම් කටයුතු මීට වසරකට පෙර සබරගමුව පළාත් සභා විසින් සිදුකර ඇත. ඇස්‍තමේන්තු කර මෙන්ම පාලමේ සැලසුම් ද ඇඳ ඇත. ගම්මු ඉල්ලන්නේ එම පාලම කඩිනමින් ඉදිකර දෙන ලෙසය.

ඛේදවාචකයකින් පසු විසඳුම් දීම අපේ රටේ සිරිතකි. ඒ සඳහා අඩුම තරමින් දේපළ හෝ ජීවිත කීපයකින් හෝ වන්දි ගෙවිය යුතුව ඇති බව ඉතිහාසය පුරා සාක්ෂි තිබේ.

ජනවාරි 03 දා පරවලතැන්න පහළ තොටුපළේ සිදුවීමට ගිය මහා ඛේදවාචකයද එවැන්නක පෙර නිමිත්තකි. දැන් බලධාරින් කළ යුත්තේ ඛේදවාචකයක් වන්නට මත්තෙන් තොටුපළට පාලමක් ලබාදීමය. එතෙක් අප බලා සිටින්නෙමු.

පැලැස්තර දානවා පාලම ලැබෙන්නේ නැහැ

- පිටකන්දේ ඥානරතන හිමි, විහාරාධිපති
පරවලතැන්න ශ්‍රී පූර්වාරාමය,

අවුරුදු ගාණක ඉඳලා අපි පාලමක් ඉල්ලනවා. ඒවට කෙටිකාලීන විසඳුම් තමයි දෙන්නෙ. එක වතාවක් කම්බි පාලමක් දුන්නා. ඒ ව්‍යාපෘතිය පටන් ගත්තෙත් නැහැ. සල්ලි මදියි කියලා වැඩේ නැවැත්තුවා. 2018 ටෙන්ඩර් කැඳවීම ගැන ගමේ මිනිස්සු සතුටු වුණේ නැහැ. අඟුලෙ ටෙන්ඩරය වෙනස් වුණා. අඟුල පෙරළිලා මහා විනාශයක් වෙන්න ගියා. අපි ආයිත් කෑගහලා සුබසාධක සංගමයටම අඟුල ගත්තා. මේකට තියෙන්නේ එක විසඳුමයි. සාමාන්‍ය වාහනයක් ගන්න පුළුවන් තරමේ පාලමක් දෙන එක. අවුරුද්දකට ඉස්සෙල්ලා මැනගෙන ගියා. තාම පාලමනම් නැහැ.

ප්‍රා.ලේ. කාර්යාලයට කි.මී.60 ක්පරවලතැන්න ග්‍රාම නිලධාරි මහේෂ් නිරංජලා මහත්මිය,ගමේ මිනිස්සු ගොඩක් දුෂ්කරතා එක්ක ජීවත්වෙන්නේ. පාලමක් නැතිකම හින්දම අපහසුතා ගොඩක් ඇතිවෙලා. ගමනක් බිමනක් යන්න හදිසි ලෙඩෙක් ගෙනියන්නවත් බැහැ. පාලම නැති හින්දා කිතුල්ගල නගරෙට කිලෝ මීටර් 3ක් 4 ක් දුරයන්න වෙලා. ඒ යන්න වෙන්නෙත් කැඩිච්ච පාරවල්වල කම්බි පාලමෙන් හරි ගමේ එහා කෙළ‍වරේ තියෙන කොන්ක්‍රීට් පාලමෙන්. මේ ගම සංචාරක වශයෙනුත් වැදගත්. කුරුලු පාරාදීසය තියෙන්නෙත් මේ ගමේ. කුරුලු කැලේ ලංකාවට ආවේනික සත්තු ගොඩක් ඉන්නවා. කොස්කන්දහේන ගමේ අය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්නෙ කිලෝමීටර් 60 ක් ගෙවාගෙන. හෙල්අරඹ හරහා දැරණියගලට යන්න පාරක් හදන්න පුළුවන්.

පාරවල් අබලන්

ඩබ්. ඩී. විජේවර්ධන මහතා - විදුහල්පති,
පරවලතැන්න ප්‍රාථමික විදුහල,

ගමේ පාරවල් අබලන්. ගමනා ගමන පහසුකම් නැහැ. නගරයට යන්න කෙටිම මාර්ගය තියෙන්නෙ තොටුපළ ළඟින්. එතෙන්ට පාලමක් එනවනම් ගොඩක් හොඳයි. ගමේ එක කෙළවරක තියෙන පාලමෙන් නගරයට යන්න රුපියල් 13ක් යනවා. ඒ පාලම ළඟට යන්න වුණත් ගම අතැරලා හොඳ පාරවල් නැහැ. පාලම හදනව වගේම මේ පාරවලුත් ඉක්මනින් හදන්න ඕන.

ඉල්ලන්නේ පාලමක්

ඩබ්ලිව්. ජී. දයාවතී මහත්මිය,

ගමේ මිනිස්සු බඩු ගෙනාවේ ඔළුව උඩ තියාගෙන. අවුරුදු පහක් මමත් කැලණි ග‍ඟේ ඔරුපැද්දා. මිනිස්සු එහා මෙහා ගෙනිච්චා. ඒ කාලයේ අපි පාලමක් ඉල්ලුවා. අපිට වැල් පාලමක් දුන්නා. හොරතැන්න තොටුපළ වැහුනෙ ඒ පාලමත් එක්ක. ඒ කාලයේ වැල් පාලමත් අපිට මහ ලොකුයි. ඒත් අපි දැන් ඉල්ලන්නෙ පරවලතැන්න පහළ තොටුපොළට ඉතා ඉක්මනින් පාලමක්.

පාරක් නැති නිසා ගමේ දියුණුවක් නෑ

ඇම්. ඇල්. ගුණපාල මහතා

කම්බි පාලම වෙනුවට මිනිස්සු පාලමක් ඉල්ලුවා. ඒත් අපිට ඒක ලැබුණේ නැහැ. ගමේ සංවර්ධනයට පාරවල් නැති එක ලොකුවට බලපානවා. අපිට තියෙන ප්‍රධානම අඩුපාඩුව තමයි පාලම. ඉස්සර මේ ගමේ මිනිස්සුන්ට ස්ථිර ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. දැන් ප්‍රධාන ආදායම් මාර්ගය තේ. ඒවට හරි ප්‍රවාහන පහසුකම් නැහැ. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ගන්න ටවුමට යන්න ඕන. ‍ගමේ පාසල වහල තිබුණෙ. දැන් නම් පටන් අරගෙන.

ඉක්මන් ක‍ෙළාත් ගමට හොඳයි

චන්ද්‍රදාස මහතා -

මහින්ද මහත්තයගෙ කා‍ලයේ රුපියල් කෝටි ගාණක් දීලා පාලමක් දැම්මා. ඒකත් දැම්මෙ ගමේ එහා කෙළවරේ. එතනින් බස් එකක් යන්නෙ නැහැ. ඒ පාලමෙන් ගමට එන්න ත්‍රිවීල් එකට රුපියල් 300 ක් දෙන්න ඕන. පාර අබලන් නිසා ත්‍රිවීල් එන්නෙත් නැහැ. මේ පාරවල් ටික හදලා තොටුපළ ළඟින් පාලමක් හදලා බස් යන්න පුළුවන් විදියේ වැඩක් කරනවා නම් ගමට හොඳයි.

පාලමට මූලික වැඩ කරලා අවසන්

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
සුජිත් සංජය පෙරේරා,

අපි කරන සංවර්ධන වැඩ ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ. පරවලතැන්නට යන්න කොන්ක්‍රීට් පාලමක් දුන්නෙ මම. රුපියල් කෝටි 3ක් වියදම් කරලා ලබුකොහිල ඇළ හරහා පාලමක් දුන්නා. පාරට ලක්ෂ 80 ක් වෙන් කළා. ඒත් ප්‍රතිපාදන ලැබීමේ ප්‍රමාදයක් නිසා කොන්ත්‍රාත් වැඩ අතරමග නැවතිලා. මේ අවුරුද්දෙ විශේෂ ප්‍රතිපාදන යටතේ මුදල් වෙන් කරලා තියෙන්නෙ. ඉදිරියේදී ඒ කටයුතු පටන් ගන්නවා. පරවලතැන්න පහළ තොටුපොළේ පාලමෙත් සක්‍යතා අධ්‍යයන කරලා තියෙන්නේ. ඉදිවෙන දින වකවානු ගැන නම් කියන්න බැහැ.

මග නැඟුමට මුදල් ප්‍රමාදයි

මනෝජ් කස්තුරිආරච්චි,
ව්‍යාපෘති ඉංජිනේරු, මග නැඟුම

ග්‍රාමීය මාර්ග කොන්ත්‍රාත් ගන්නෙ සාමාන්‍ය කොන්ත්‍රාත්කරුවන්. පළමු අදියර නිමවෙද්දි ඔවුන් මුදල් බලාපොරොත්තු වෙනවා. දැන් මග නැඟුම ව්‍යාපෘතිවලට මුදල් ප්‍රමාදයි. මේ මාර්ගය හැදීම ප්‍රමාදයට හේතුව මුදල් ප්‍රමාදවීම. මුදල් ලැබුණු ගමන් පාර හැදීම පටන්ගන්නවා.

පළමු ටෙන්ඩර්කරුට අඟුල දුන්නා

ආර්. ඒ. එම්. රත්නායක මහත්මිය -ලේකම්
යටියන්තොට ප්‍රාදේශීය සභාව

තොටුපළ බදු දෙනකොට ටෙන්ඩර් පටිපාටිය අපි අනුගමනය කරන්න ඕන. මගීන්ට ජීවිත ආරක්ෂක කබා ලබාදිය යුතු බව ටෙන්ඩර් පටිපාටියෙම තියෙනවා. ඒත් අඟුල බදුගත් පළමු ටෙන්ඩර්කරු ජීවිත ආරක්ෂක කබා දීල තිබුණෙ නැහැ. ඒ නිසා ඔහුගෙ ටෙන්ඩරය අවලංගු කළා.

ජීවිත, දේපළ කියන දෙකම අපි බලන්න ඕන. තනි පුද්ගලයකුට ටෙන්ඩර් එක දෙනවට ගමේ විරෝධතා තිබුණා. ඒත් පළවෙනි ටෙන්ඩර්කරු නිසා ඔහුට දුන්නා.

ගිවිසුම කඩකළ නිසා අපි අඟුල ගමේ සුබසාධක සංගමයට දුන්නා. ඔවුන්ට ඒ ගැන හොඳ දැනුමක් තියෙනවා. මම කියන්නෙ මේ ගමට පාලමක් හැකි ඉක්මනින් දෙන්න කියලා. ඒ වගේම ගමේ පාරවල් ටිකත් හැදෙන්න ඕන.

ඡායාරූප නි‍රෝෂ් බටේපොල

මත් උවදුර රටට එපා

$
0
0
ජන 26, 2018 01:00

මේ රට තුන් වරක්ම සම්බුදු සිරිපා පහසලත් උතුම් පුණ්‍ය භූමියකි. උදේ සවස බුදු බණ පිරිත් දේශනා සවන් පුරා ඇසෙන ධර්මද්වීපය මෙයයි. එබඳු පින්බර බිමක දළදා වහන්සේත් ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේත් වැඩවෙසෙන තුරාවට බුද්ධ ධර්මයේ සුවඳත් සිල් සුවඳත් විසිරී පැතිරී දසතම සුගන්ධවත් වෙනු දැනේ. මේ පින්බර හෙළ දෙරණේ යළි උපදින්නට ‍හේතු වාසනා වේවායි පණ්ඩිත් අමරදේව ශූරීන් ගීතයෙන් ප්‍රාර්ථනා කළේ ඒ නිසාය. එහෙත් මේ උතුම් රට මේ වනවිට බිහිසුණු මත්කුඩු රකුසාගේ ගොදුරක් බවට පත් වී තිබීම දැඩි කනස්සල්ලට හේතුවකි.

මාධ්‍ය ඔස්සේ පළවන වාර්තාවලට අනුව සෑම දිනකම මත්කුඩු සමඟ සැකකරුවන් ‍පොලිස් අත්අඩංගුවට පත්වෙන අයුරු දක්නට ලැබේ. මත්කුඩු මේ රටට ගෙන්වීම පසුගිය කාලයට වඩා වැඩිවීමක් වූයේ මේ කාලයේ බවට කෙනෙකුට සිතෙන්නට පිළිවන. එය නිවැරදි නෙවේ. එදා මත්කුඩු ‍සොයා මෙහෙයුම් දියත් වුයේ අවිධිමත් ලෙස මන්දගාමීවය. ඒ නිසා මත්කුඩු අල්ලා ගැනීම් මාධ්‍යවලට නිරාවරණය නොවන්නට ඇත. මේ වනවිට විශේෂ පොලිස් අංශයක් මඟින් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව වැටලීම් කෙරෙන බැවින් මත් ද්‍රව්‍ය සොයා යෑම වේගවත්ව සිදුවේ. මෙම ‍හේතුව නිසා මත්කුඩු සමඟ සැකකරුවන් අල්ලා ගැනීම් ඉහළ ගොස් තිබේ .

එසේ වුවද රටේ අස්සක් මුල්ලක් නෑර මත්කුඩු ජාවාරම ව්‍යාප්ත වී තිබේ . පොලිසිය දිවා රෑ නොබලා ම ත් ද්‍රව්‍ය පසුපස ලුහුබඳී. එහෙත් මේ කාලකණ්ණි ජාවාරම දමනය නොවේ. අතිදැවැන්ත බූවල්ලකු මෙන් මෙරට ජනසමාජය වෙළාගත් මත්ද්‍රව්‍ය උවදුරට තිත තැබීමේ භාරදූර කාර්යයට නීතියට හා රජයට තනිවම කරගැසිය නො හැක. මත් ද්‍රව්‍ය භාවිත‍යේ බහුතරය ගොදුරු වන්නේ රටේ පහළ සමාජයෙනි. එයිනුත් මෙම උවදුර ඉලක්ක කරගන්නේ තරුණ පිරිස් ය . එය අපේ ආර්ථිකය ආගමික පරිසරය හා සහජීවනය යනාදී සියල්ල අවුල් කෙරේ. මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට ඇත්තේ සිහිය විකල් ආත්මයක් පමණි. මත්කුඩු රකුසා ඇඟට නොදැනීම නගර ගම්දනව් පසුකරමින් ඈත දුර ගම්මාන කරා එන්නේ හෙමින් හෙමින්ය. ගමේ තරුණ ජීවිත වසඟයට ගන්නා මත්කුඩු නිසා සිදුවන ඛේදවාචකය සුළුපටු නොවේ. ඉතා සූක්ෂම ලෙස රහසේ සංසරණය වන මත් ද්‍රව්‍ය රටට අහිමි කරන ජීවිතවල අගය ගිළිහී ගොස් දුක් විඳින ආත්මයන් අපේ නෙතට හසුවේ. ඔවුන්ගේ උන්මත්තක හැසිරීම සමාජයට හිරිහැර බව හැ‍ඟේ.

විශේෂයෙන් රැකියා විරහිතව කාලය ගෙවන තරුණයන් මේ ව්‍යසනයට ගොදුරු වන බව පිළිගන ඇත. මේ ආකාරයෙන් තරුණ පිරිස මත්කුඩු රකුසාට බිළිවෙන්නට ඉඩහැරීමට කිසිවකුත් කැමැති නැත. තවදුරටත් බලා සිටියහොත් වර්තමාන තරුණ සංහතියේම අවාසනාවන්ත ඉරණම ඉක්මණින් ළඟා වෙනු ඇත.

නුදුරු දශකය මැදි වියේ පුද්ගලයින්ගේ පිරිසක් ඉතිරි නොවීමට බැරි නැත. මේ හිඩැස උදාවන පෙරලකුණු පෙනි පෙනී නිදිකිරා නොඉඳ කොයි කවුරුත් පෙළගැසෙමු. මීට පුළුල් ජාතික වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යය . එය මනාව සැලසුම් කළ යුතුය. ඒ සැලසුම ක්‍රියාවට නැංවීමට සෑම පුරවැසියකුම දායක විය යුතුය. රජය මෙන්ම නීතිය හා ගමේ මරණාධාර සමිතියේ සිට රාජ්‍ය නොවන සංවිධාන මේ ජාතික වෑයමට සියලු ජනතාවද ‍රොද බැඳගත යුතුය.

එල්. බී. කුඹුක්කඳන්වල
දඹුල්ල 

 

අත දිය යුතු අමිල වැඩක්

$
0
0
ජන 26, 2018 01:00

ලන්ච් ෂීට් සහ ෂොපින් කවර ගැන අප දශක දෙකක් පමණ සිතා සිටියේ ඉතා අඩු තක්සේරුවෙනි. එහෙත් විනාශය අප වෙත ආවේ අපද අපේක්ෂා නොකළ අයුරිනි. අදවන විට අප මුහුණ දෙන විශාලම පරිසර ගැටලුව වන්නේ ලන්ච් ෂීට් සහ ෂොපින් කවර ගැටලුවයි. නොදිරන පරිසරය වනසන මෙම දේ නිසා ඩෙංගු වැනි වසංගත රෝග පතුරන රෝග වාහක මදුරුවන්ට නවාතැන් මෙන්ම පොලිතීන්වල විෂ පරිසරයට එක් වීම නිසා මහා පරිසර විනාශයක්ද සිදුවේ. මෑතකදී ලන්ච් ෂිට් සහ පොලිතීන් තහනම් කිරිමට රජය කටයුතු කළේය. එය හොඳ දෙයකි එහෙත් මෙයට ආදේශක හෝ විකල්ප ගැන යොමුව තිබුණේ නැත. තිබු විකල්පද එතරම් සාර්ථක විකල්ප නොවේ.

මේ ගැන අවධානයෙන් සිටි ගම්පහ හෙනරත්ගොඩ ප්‍රදේශයේ තරුණ වරලත් ඉංජිනේරුවරයකු වන අමිල් ප්‍රියන්ත මහතා විසින් මෙම පරිසර විනාශය වැළැක්වීමට විකල්ප වැඩපිළිවෙළක් නිර්මණය කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන මොහු දිගු කළක සිට සිදු කළ ලන්ච් ෂිට් සහ ෂොපින් කවර සඳහා විකල්පයක් ගැන පර්යේෂණ කළේය. ඔහු එයට ඉතාමත් විශිෂ්ට විකල්පයක් සොයා ගත්තේය. එනම් මඤ්ඤොක්කා කැඳ සහ බඩ ඉරිඟු යොදා ගෙන පරිසර හිතකාමි ලන්ච් ෂීට් සහ ෂොපින් කවර නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබේ. මෙය සැබෑ ලෙසම අගනා කාර්යයකි. දැන් සිදු කළ යුත්තේ පරිසර හිතකාමී මෙම නිෂ්පාදනය වඩාත් ප්‍රචලිත කිරීම සඳහා රාජ්‍ය මට්ටමින් අවශ්‍ය සහාය ලබා දීමයි.

වරලත් ඉංජිනේරු අමිල් ප්‍රියන්ත මහතා වැනි තරුණ නිමැවුම් කරුවන්ට සහාය ලබා දී ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දිය යුතුය. මෙවැනි පරිසර හිතකාමී දේ නිසා අපතේ යන සහ නිකරුණේ නාස්තිවන බඩ ඉරිඟු මඤ්ඤොක්කා වැනි දේ සඳහා හොඳ ඉල්ලුමක් මෙන්ම නව සොයා ගැනීම නිසා පරිසරයට ද සුරක්ෂිතභාවයක් ලැබෙනු නියතය.

ප්‍රසන්න ගුණවර්ධන
ගම්ප

ඇමැතිතුමා වැඩේ හොඳයි

$
0
0
ජන 26, 2018 01:00

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.11.13 වැනි දින අධ්‍යාපන අමාත්‍යාංශයේ සිව්වන මහලේ ශ්‍රවණාගාරයේ පැවැති ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේ රැස්වීම මෙතෙක් පැවති ජාතික පාසල් විදුහල්පති රැස්වීම්වලට වඩා සුවිශේෂී විය . මෙතෙක් සිදු වූයේ සිංහල මාධ්‍යයෙන් සිදුවන රැස්වීමේ කටයුතු දෙමළ මාධ්‍ය විදුහල්පතිවරුන්ට අමාත්‍යාංශ දමිළ නිලධාරියෙක් විසින් සංක්ෂිප්තව දෙමළ මාධ්‍යයට පරිවර්තනය කිරීමයි . එසේ කිරීමේදී ද බොහෝ ස්ථානවල සිදුවන ආකාරයටම ජාතික පාසල් විදුහල්පතිවරුන් වුවද, දෙමළ මාධ්‍ය විදුහල්පතිවරුන් සඳහා පරිවර්තනය සිදුවන අවස්ථාවේදී ඔවුන්ට සහයෝගයක් වන පරිදි නිශ්ශබ්දව හැසිරීම සියයට සියයක් ඉටු වූ බවක් කිව නොහැකිය. එනිසා උතුරු, නැගෙනහිර, උතුරු මැද ආදී දුර බැහැර ජාතික පාසල්වල විදුහල්පතිවරු අමාත්‍යාංශයේ රැස්වීම්වල වෙහෙසකර ගමනක යෙදී සැබෑ ප්‍රතිඵල ගත්තා දැයි ඇත්තේ සැකයකි.

2017.11.13 දින පැවැති ජාතික විදුහල්පති රැස්වීමේදී දෙමළ මාධ්‍ය විදුහල්පතිවරුනට දෙමළ පරිවර්තනයක් ලබා ගත හැකි පරිදි උපකරණ ලබාදී තිබුණි. ඔවුන් ඉතා උනන්දුවෙන් හා ඕනෑකමින් රැස්වීම අවසන් වනතුරුව සක්‍රීයව දායක වුහ . දෙමළ මාධ්‍ය විදුහල්පතිවරුන් මෙතුවක් කල් විඳ දරා ගෙන සිටි පීඩාව අවසන් කොට ඔවුන්ට සමානාත්මතාවයෙන් සැලකීමට අදාළ පියවර ගත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඒ සඳහා දායක වූ සියලුම නිලධාරීන්ටත් සිංහල මාධ්‍ය විදුහල්පතිනියක ලෙස මම ස්තූතිය පළ කරමි. සමානාත්මතාවය ගැන වචන සිය දහසක් කතා කරනවාට වඩා මෙවැනි ක්ෂණික ප්‍රායෝගික විසඳුම් ලබා දිය හැකි අධ්‍යාපන ඇමතිවරයෙකු දේශයට වාසනාවකි.

චිත්‍රා ‍රොඩ්‍රි‍ගෝ
විදුහල්පති
ගම්/ ගලහිටියාව මධ්‍ය විද්‍යාලය

 

තෙවැනි ලෝක යුද්ධයක හැඩය වෙනස් කරන තාක්ෂණය

$
0
0
ජන 27, 2018 01:00

දෙවන මහා ලෝක යුද්ධය සමස්ථ ලෝකයේම තාක්ෂණය අත්හදා බැලුණු මහා සටන් බිමක් විය. ගුවන් යානා, නාවුක යාත්‍රා, සබ්මැරීන, පණිවුඩ හුවමාරු ක්‍රම පමණක් නොව වෛද්‍ය විද්‍යාවේද ශීඝ්‍ර දියුණුවක් ඇති කරන්නට දෙවන මහා ලෝක යුද්ධය හේතු විය. එවකට සමස්ථ ලෝකයේ සිටි බිලියන 2.3ක ජනගහනයෙන් මිලියන 60ක්, එනම් සමස්ථ ලෝක ජනගහනයෙන් සියයට 3ක් මෙලොවින් සදහටම අතුගා දමන්නට තරම් දෙවන ලෝක මහා යුද්ධය කෲරතර විය. ඉදිරියේදී තවත් ලෝක යුද්ධයක් ඇති විය හැකි ඉඩකඩ අඩුය. එහෙත් යම් ආකාරයකින් එවැන්නක් ඇති වුවහොත් ජනගහනයෙන් සංතෘප්ත පෘථිවි මනුෂ්‍යවාසීන් රැසකට අවාසනාව උදා වනු ඇත.

පරමාණු බෝම්බ බිය

දෙවන මහා ලෝක යුද්ධයේදී මිත්‍ර පාර්ශව වෙතින් ජර්මනිය සම්පූර්ණයෙන් පරාජය කලද ජපානය යටත් කර ගන්නේ ජපානයේ සුවිශාල නගර දෙකක් සමතලා වන්නට පරමාණු බෝම්බ හෙලීමෙනි. පරමාණුක තාක්ෂණය අද වන විට දියුණු රටවලට මෙන්ම උතුරු කොරියාව, ඉන්දියාව, පාකිස්ථානය වැනි නොදියුණු රටවලටද ලැබී තිබේ. සංග්‍රාමික අවියක් ලෙස පරමාණු බෝම්බවල වටිනාකම තරමක් අඩු වුවත් පළාතක්ම විනාශ කිරීමේ ඇති බලය නිසා පරමාණුක අවි ඉදිරි ලෝක යුද්ධයකදී ජනයාට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

හැකර් ප්‍රහාර

බ්‍රිතාන්‍ය ජාතික ඇලන් ටියුරින් විසින් පරිගණකයේ මූලික ආකෘතියක් වූ යන්ත්‍රයක් සොයාගෙන ඒ ඔස්සේ ජර්මානු එනිග්මා යන්ත්‍රවල පණිවුඩ සොරාගන්නට හැකි වීමෙන් දෙවන ලෝක මහා යුද්ධය වසර දෙකකින් පමණ කෙටි විය. එයින් මිත්‍රපාර්ශ්වයනට ඇති වන්නට තිබූ ජීවිත හානි රැසක් අඩු විය. අද ලොවම වෙලී ඇත්තේ සන්නිවේදනයෙනි. පසුගිය වසරේ ජර්මනියේ දුම්රිය සේවාව, එංගලන්තයේ මහජන සෞඛ්‍ය සේවාව ආදී ප්‍රබලතම සේවාවන් රැසක් හැකර් ප්‍රහාරවලට ලක් විය. හැකර්වරු විසින් තොරතුරු සොරා ගැනීම මෙන්ම තොරතුරු වෙනස් කිරීමෙන් සාමාන්‍ය ජන ජීවිතය විය හැකි බලපෑම විශාලය. දියුණු රටවල බොහෝ තොරතුරු ඇතුළත්ව ඇත්තේ පරිගණකගත ක්‍රමවේදවලටය. එම රටවල බලශක්ති, රාජ්‍ය පද්ධති ආදියට සයිබර් හැකර් ප්‍රහාර එල්ල වීම එදිනෙදා ජීවිත අඩපණ කරන සිද්ධියකි. ලෝක යුද්ධයක් නොමැති වුවද දියුණු රටවල් අතර සයිබර් ගැටුම් පසුගිය වර්ෂයේදී ද සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා විය.

අලුත් ආයුධ

මිහයීල් කලෂ්නිකොව් නමැති රුසියානු ජාතිකයා හදුන්වා දුන් AK47 රයිෆලය 20වන සියවසේ යුදබිමේ වැඩිපුරම භාවිතා වූ ආයුධයක් විය. තාක්ෂණය සමඟ අලුතින් අවි ආයුධ ලොවට පහළ වෙමින් තිබේ. ඇතැම් තාක්ෂණික ආයුධ තැනී තිබුනත් නියම යුද පසුබිමක ඒවා අත්හදා බලන්නට තවමත් අවකාශ ලැබී නැත. අප භාවිත කරන කුඩා මොබයිල් ෆෝනයක ඇති පරිගණක බලය 1969 මිනිසා සඳට යෑමේදී භාවිතා කළ සුවිශාල පරිගණකවල බලයට වඩා වැඩිය. එනම් කුඩා ඉඩකදී වැඩ රාජකාරි රැසක් කළ හැකි ලෙස අද වන විට තාක්ෂණය දියුණු වී තිබේ. ඉදිරියේදී නිපදවෙන ඇතැම් අවි ආයුධ මෙතෙක් ලෝකයේ මිනිසුන් නොඇසූ විරූ ඒවාද විය හැකිය.

ඩ්‍රෝන තාක්ෂණය

ජර්මානු යූ බෝට්ටු හෙවත් සබ්මැරීන මඟින් සිදු කරන ලද මෙහෙයුම් හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන සැපයුම් නැව් සිය දහස් ගනනක් දෙවන ලෝක යුද්ධයේදී සාගර පතුල සිප ගන්නට යෙදුණි. එහි බලපෑම කෙතෙක්ද යත් දූපතක් වූ මහා බ්‍රිතාන්‍යයට ආහාර සැපයුම් අඩුවීම හේතුවෙන් දෙවන ලෝ යුධ සමයේ සිය ජනයා නැවත වගාබිම්වලට දක්කන්නට හිරු නොබසින අධීරාජයේ හිමිකරු වූ මහා බ්‍රිතාන්‍යයට සිදු විය. ඩ්‍රෝන තාක්ෂණය යනු ඔත්තු බැලීම, ආයුධයක් ලෙස භාවිතය, මුහුද යටදී භාවිතය ආදී විශාල පරාසයක මෙහෙයුම් කටයුතු සදහා යොදාගත හැකි සාපේක්ෂව මිල අඩු තාක්ෂණයකි. එහිදී හෙලිකොෆ්ටරයක් හෝ සබ්මැරීනයක් යොදනවනවාට වඩා අඩු මිලකින් ඒ හා සමාන යෙදවුම්වලට ඩ්‍රෝන යානා භාවිත කළ හැකිය. පසුගිය දිනවල ඕස්ට්‍රේලියාවේ මුහුදු වෙරළක හදිසියේ ගිලී යන්නට තැනූ සංචාරකයින් දෙදෙනකුට සේවා සපයන්නටද ඩ්‍රෝන යානා සමත් විය. එසේ වූ පුළුල් පරාසයක යොදාගත හැකි ඩ්‍රෝන යානා ඉදිරි සටන් බිම්වල හැඩය බොහෝ දුරට වෙනස් කරනු ඇත.

සැටලයිට් සහ මැපින්

සිතියම්කරණය යුද්ධයක ඉටු කරන්නේ මනා කර්තව්‍යයකි. අප රටේ තිබූ යුද්ධයේදී ද අවසානයේ චන්ද්‍රිකා සිතියම් දත්ත ලාංකික හමුදාවන්ට මනා ලෙස උපකාරී වූ බැව් සඳහන් වී තිබේ. අද ගූගල් මැප් යන සාමාන්‍ය යෙදවුම ඔසසේ අවශ්‍ය නම් අපිට අප වසන නිවෙස සහ එහි ගහකොල වුවද ඡායා මාත්‍රයක් වශයෙන් දැක ගැනීමට හැකිය. ඒ කාර්යයන් සදහාම තැනූ චන්ද්‍රිකා තාක්ෂණයන් ඔස්සේ එවෙලේම වඩාත් නිවැරදි පැහැදිලි දත්ත ලබාගැනීමේ හැකියාව චන්ද්‍රිකා සහ නූතන සිතියම්වලට තිබේ. විසිවන සියවසට වඩා බොහෝ සෙයින් ඉදිරියට පැමිණ ඇති සිතියම් කරන ක්‍රමවේදඔස්සේ පෙර මෙන් හුදෙක් ඇසින් දැකගැනීම පමණක් නොව විවිධ ක්‍රම ඔස්සේ ඒ ඒ ස්ථානවල ඇති අවිආයුධ සහ මිනිසුන්ද හසු කර ගැනීමේ හැකියාව අද වන විට උදා වී තිබේ.

අධිතාක්ෂණය යුදබිමට පැමිණීම කිසිසේත්ම මනුෂ්‍ය සංහතියට හොඳ ලකුණක් නොවේ. එබැවින් යුද්ධ ආයුධ පරීක්ෂා කරන්නට ලැබෙන සටන් බිමකට වඩා ඒවා කිසි දිනක භාවිතයට නොලැබෙන සාමකාමී හෙටක් උදා කර ගැනීම මානව සංහතියේ පැවැත්ම වෙනුවෙන් වැදගත් වනු ඇත.

අමිල චතුරංග

කැස්බෑ ගහණයේ ගැහැනු ප්‍රශ්නය

$
0
0
ජන 27, 2018 01:00
මංජුලා විජයරත්න

ගෝලීය කාලගුණ විපර්යාස මිනිසාට උහුලාගන්නට බැරි තරමේ කරදරයක් බවට පත්වෙමින් ඇත. එහි නවතම පැතිකඩක් අනාවරණය කරමින් විද්‍යාඥයන් පිරිසක් පසුගිය දා කියා සිටියේ කැස්බෑ ගහනයක් මුළුමනින්ම වාගේ ගැහැනු කැස්බෑවුන්ට පමණක් සීමා වෙමින් තිබෙන බවකි. ගැහැනු ජීවීන් අසාමාන්‍ය ලෙස වැඩි වී තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ආශ්‍රිතව ජීවත් වන කැස්බෑ ගහනයකය. එම විශේෂය කොළ කැස්බෑ විශේෂයයි. විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ගහනයේ මේ වන විට සිටින ජීවින්ගෙන් 99%ක්ම ගැහැනු ජීවීන්ය. එවැනි අසමතුලිතතාවයක් ගහනය තුළ මතුව තිබෙන්නේ උෂ්ණත්ව වැඩි වීම හේතුවෙන් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

උෂ්ණත්වය කැස්බෑවුන්ගේ ලිංගිකත්වය තීරණය කිරීම කෙරෙහි බලපාන්නා වූ ප්‍රබල සාධකයකි. වැඩි උෂ්ණත්ව තත්ත්ව සහිත පරිසර පද්ධතිවල ලන කැස්බෑ බිත්තරවලින් ලැබෙන්නේ ගැහැනු කැස්බෑ ජීවීන් බව සනාථව තිබේ. මේ තත්ත්වය ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ආශ්‍රයෙන් ජීවත් වන කොළ කැස්බෑ විශේෂයටත් පොදු වූවකි. ගෝලීය උෂ්ණත්වය වැඩිවන විට එහි ජීවත් වන කොළ කැස්බෑවුන්ගේ බිත්තරවලින් ගැහැනු කැස්බෑ පැටවුන් ලැබීම වැඩි වී ඇත. එය කිසිවකුගේ අවධානයට ලක් නොවෙමින් 99%ක් දක්වා අසමතුලිත මට්ටමකට වර්ධනය වී තිබේ. මහා බාධක කොරල් පර ආශ්‍රිතව ජීවත් වන කොළ කැස්බෑ ගහනය තවත් වැඩි දවසක් ඉක්ම යන්නට පළමුව මුළුමනින්ම ගැහැනු ජීවීන් සිටින ගහනයක් වනු ඇති බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.

එහි සිටින කොළ කැස්බෑවුන්ගේ මෑත පරම්පරාවන් අතර පිරිමි ජීවීන් හිඟ බව සොබා දහම සඳහා වූ ලෝක අරමුදලේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විධායක නිලධාරී ඩර්මොට් ඔ’ගොර්මන් පවසයි. ඔහු පෙන්වා දෙන අන්දමට මේ තත්ත්වය දැඩි ලෙසම දැකිය හැකි වන්නේ අලුතින් උපදින කැස්බෑ පරම්පරාවලය. මහා බාධක කොරල් පරය ආශ්‍රිතව ඇති උෂ්ණත්වය අඩු මුහුදු තීරවල ජීවත් වන කොළ කැස්බෑ ගහන තුළත් මේ ප්‍රවණතාවය දැන් වර්ධනය වෙමින් පවතින බව අනාවරණය වී තිබේ. එම ගහනවල ගැහැනු ජීවීන්ගේ ප්‍රතිශතය 70%ක් තරම් බව විද්‍යාඥයෝ පවසති. කොළ කැස්බෑවුන් පිළිබඳ පර්යේෂණය සිදු කළේ ජාතික සාගරික සහ වායු ගෝලීය පරිපාලනයේ විද්‍යාඥ අචාර්ය මයිකල් ජෙන්සෙන් සහ පිරිසකි. කොළ කැස්බෑ ගහනයේ මේ අසමතුලිතතාවය ඇතිවීම ඇරඹී තිබෙන්නේ මෙයට වසර විස්සකට පමණ පළමුව සිට බව ආචාර්ය මයිකල්ගේ අනුමානයයි. මේ ප්‍රවණතාවය ඉදිරියටත් පැවතියහොත් වැඩි කාලයක් ගතවන්නට පළමුව කොළ කැස්බෑවුන් මිහිතලයෙන් වඳ වී යනු ඇති බවට හෙතෙම අනතුරු අඟවයි.

“..මේ පර්යේෂණය හුඟක් වැදගත් වෙනවා. මොකද මේ ජීවි ගහනයට අනාගතයේදී කුමක්ද සිද්ධ වෙන්නේ කියලා අපි හෙළිදරව් කර ගත යුතුයි. වැඩිහිටි කැස්බෑ පරම්පරාවල පුමිතිරි අනුපාතය (ගැහැනු ජීවීන් සහ පිරිමි ජීවීන් අතර අනුපාතය) මොන වගේද කියලා අපි දැන් අනාවරණය කරගෙන තියෙන්නේ. තව අවුරුදු 5කින්, 10කින්, 20කින් එම අනුපාතය කොපමණ වෙයිද කියන එකත් අපට අනුමාන කරන්න පුළුවන්. ඒ සමඟම මේ විශේෂයේ නව පරම්පරාවල් ඇති වෙන්නත් ඕන. ඔවුන් වර්ධනය වී සිටීම ඉතාම වැදගත් ....”යැයි ආචාර්ය මයිකල් පවසයි.

කොළ කැස්බෑවුන් සම්බන්ධයෙන් මේ පර්යේෂණය සිදු කර තිබෙන්නේ කැස්බෑවුන් ගැහැනු ද, පිරිමි ද යන්න වාර්තා කරගෙන එම ජීවීන් ඩී.එන්.ඒ. පරීක්ෂණයකට ද යොමු කිරීමෙන් අනතුරුවයි. එවිට එම ජීවීන් ඇතිවන්නට මුල් වුණු බිත්තරවල ප්‍රවේණික තොරතුරු අනාවරණය කරගන්නට විද්‍යාඥයන්ට හැකි විණ. එම තොරතුරුත්, ප්‍රදේශයේ උෂ්ණත්ව දත්තත් අතර සම්බන්ධතාවය සෙවීමේදී යට කී සහසම්බන්ධතාවය හෙළිව ඇත. ඒ හැරුණු විට කොළ කැස්බෑවුන්ගේ ආහාර පුරුදු ගැනත් තොරතුරු ඒකරාශී කරගන්නට විද්‍යාඥයන් සමත්ව තිබේ. මුහුදු ජලයට එකතු වන ප්ලාස්ටික් සහ පොලිතින් මේ ජීවීන් ආහාරයට ගන්නා බව විද්‍යාඥයෝ පවසති. එම ආහාර චර්යාව ඔවුන්ට මරණිය තර්ජන අත්කර දෙන්නක් බව සඳහන් වේ. පොලිතින් සහ ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් කොළ කැස්බෑවුන් මුදා ගැනීම සෑහෙන අසීරු කාර්යයකි. එසේ වුවත් කොළ කැස්බෑවුන් වෙරළෙහි ලන බිත්තරවලට බලපාන උෂ්ණත්වය අඩු කිරීම ප්‍රායෝගිකව කළ හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එය සිදු කළ හැකි වන්නේ කොළ කැස්බෑවුන් වැඩි වශයෙන් බිජු ලන වෙරළ තීර ආවරණය කිරීම මඟිනි. එවිට බිත්තරවලට බලපාන වැඩි උෂ්ණත්ව තත්ත්ව පාලනය කරන්න කරන්නට පුළුවන.

මිනිසාගේ ක්‍රියාකාරීත්වයෙන් වායු ගෝලයට විමෝචනය කෙරෙන කාබන් ඩයොක්සයිඩ් නිසා ගෝලීය උෂ්ණවත්ය ඉහළ යන බව විද්‍යාඥයෝ පුන පුනා පෙන්වා දෙති. එයට විසඳුමක් අත්පත් කර නොගන්නා තුරු කැස්බෑ විශේෂ පමණක් නොව තවත් ජීවී විශේෂ දහස් ගණනක් මේ අන්දමින් අනතුරට ලක්වීම නොවැළක්විය හැකිය.

Independent ඇසුරෙනි


සද්දෙන් රෙදි හෝදන කුඩාම වොෂින් මැෂිම

$
0
0
ජන 27, 2018 01:00
තඹරු විජේසේකර

උදේට අතට අහුවෙන ඇඳුමක් අරගෙන අඳිනවා තරම් හවස ඇවිත් ඒ ටික හෝදගන්න එක ලේසි නැහැ. ගෙදරදි වොෂින් මැෂින් එක තිබුණත් බෝඩිමක වගේ ඉන්නවා නම් කොහෙත්ම රෙදි සෝදන කර්තව්‍යය සුවදායී එකක් නොවෙයි. දවසෙම මහන්සි වෙලා ඇවිත් රෙදි කන්දත් අරගෙන එකින් එක අතුල්ලමින් සෝදා සබන් ගා, ආයෙ සෝදා වැනුවාට පස්සේ තමයි නිදහසක් ලැබෙන්නේ. ඇතැම් විට රෙදි ගලේ ගහන්නේ නැතිව හිස ගලේ ගහගන්න එක පහසුවක් යැයි සිතෙන්නට පුළුවන්. ගම්බදව නම් රෙදි හෝදන එක ටිකක් විනෝදජනක කාර්යයක්. ගමේ ගෑනු උදවිය ‘ගං තෙරට වී ගොම්මනේ’තමන්ගෙ කුණු රෙදි ටික හෝදන අතරේ අනිත් අයගේ රෙදිත් අපුල්ලන්නේ, මඩ ගහන්නේ සහ සෝද සෝදා මඩේ දාන්නේ දවසේ නිවුස් ටික විකාශය කරන අතරතුරේයි. මේකේ අතුරු ඵලයක් විධියට තාරා හඬ සිනහවක් වගේම දෙමලිච්චි රණ්ඩුවල ශබ්දත් ඇති වෙනවා. හැබැයි මේ කියන්න යන්නේ ඒ විධියට සද්දෙට රෙදි හෝදන උපාංගයක් ගැන නෙවෙයි. ශබ්දය භාවිත කරගෙන සද්ද නැතුවම ඕන රෙද්දක කුණු හැරලන අපූරු නිෂ්පාදනයක් ගැනයි.

‘සොනික් සෝක්’ ලෙස නම් කර ඇති මේ උපාංගය වයරයකින් සම්බන්ධ කළ කොටස් දෙකකින් යුක්තයි. විශාල කොටස, එහෙමත් නැත්නම් පාලක කොටස ඩිජිටල් තිරයකින් සමන්විත පොඩි පෙට්ටියක්. මෙය හරහා විවිධ සැකසුම් සකස් කරමින් උපකරණය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අනිත් කුඩා කොටස හරියට හෙඩ්සෙට් එකේ එක් කැබැල්ලක් වගේයි. රෙදි සේදීමේ ක්‍රියාවලිය කරන්නේ එයයි. ඉතා අඩු විදුලි බලයක් වැය කරමින් මෙය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය රෙදි සෝදන යන්ත්‍රයකින් සියයට දහයක විදුලියක් සහ සියයට දෙකක ජලය භාවිත කරමින්. මේ නිසා ජල විදුලිය සහ ජලය ඉතිරි කරගෙන, කොන්ද කැඩෙනකම් නැවීගෙන රෙදි සෝදන්නට යන මහන්සියත් ඉතිරි කරගෙන පැල්ලම් ද ඉවත් කරන්නට මෙයින් ලැබෙන්නේ පුදුම හැකියාවක්.

මෙහි ඇති ගෙන යාමේ පහසුව නිසා නිතර ගමන් බිමන් යන කෙනෙක්ට වුණත් තමන්ගේ ගමන් මල්ලේ ඉතාම අඩු ඉඩකඩකින් මෙය අසුරා ගෙන ඕනෑම ස්ථානයකදී පාවිච්චි කරන්න පුළුවන්. ‘සොනිස් සෝක්’හි පාලක කොටස විදුලියට සම්බන්ධ කර ජලය සමඟ ඔබේ ඇඳුම බඳුනකට දමා සේදුම් කොටස ද ඊට යෙදිය යුතුයි. ඉන්පසු පාලක කොටස හරහා කාල සීමාවක් යොදා සේදීම ඇරඹිය හැකියි. විනාඩි කිහිපයක් ඇතුළත ඇඳුමේ ඇති පැල්ලම් ද ඉවත් කරමින් හොඳ සේදුමක් ලබා දෙනවා. අතින් හෝ රෙදි සෝදන යන්ත්‍රයකින් සෝදනවාට වඩා ඇඳුමට කිසිදු හානියක් නැතිව මෙයින් සේදීම සිදුවන්නේ කිසිදු භෞතික උපකරණ හා ගැටීමකින් තොරවයි. මෙහි සේදීම සිදුවන්නේ ශබ්ද තරංග භාවිතයෙන්. අධි සංඛ්‍යාත ශබ්ද ජලය තුළදී ඇති කරද්දී ඇතිවන ජල තරංග (ජල බිඳිති) ඉතා වේගයෙන් ගොස් ඇඳුමේ ගැටීමෙන් ඇඳුම සෝදන්නට ඊට හැකි වෙනවා. මෙම ශබ්ද අපේ කණට ඇසෙන්නේ නැති නිසා රෙදි සේදීම සිදුවද්දී කිසිදු කරදරකාරී ශබ්දයක් නැගෙන්නේ නැහැ. සබන් කුඩු දිය කිරීමෙන් උපකරණයට හානියක් සිදු නොවන අතර ඉන් තවත් සේදීම කාර්යක්ෂම කරගත හැකියි.‍

2016 ඔක්තෝබර් මාසය වන විටත් පැවති මෙහි මූලික නිෂ්පාදන අවධිය හරහා රැස් කරගත් දත්ත අනුව මෙය එතැන් පටන් ශීඝ්‍ර දියුණුවක් ලැබුවා. 2017 වසරේ ඇමරිකාවේ පැවති පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරුණු මෙම නිෂ්පාදනයට දානපතීන් බොහොමයක් තම ධන පරිත්‍යාගයන් ලබා දුන්නේ ඔවුන් ඉදිරිපත් කළ ආකෘතිය පිළිබඳ ඇති වූ පැහැදීමෙන්මයි. ඒ අනුව තව දුරටත් වැඩි වර්ධනය කරමින් දැනට ඇති පෙනුම ලබා ගන්නට එය වසර මැද භාගයේදී සමත් වුණා. ඉන් අනතුරුව පෙර ඇණවුම් සඳහා මෙය විවෘත කරන ලද අතර ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රාග්ධන මට්ටම ඉක්මවා සියයට 9554ක් තරම් ඉහළ අගයක් එනම්, ඇ.ඩො. 1,147,668කට හිමිකම් කියන්නට මෙය සමත්වූවා.

තත්පරයට අධි සංඛ්‍යාත තරග පනස් දහසක් තරම් උපරිමයක් දක්වා මෙය ක්‍රියාත්මක වීම නිසා තද පැල්ලම්වලට පවා වැඩි බලපෑමක් ලබා දෙමින් ඇතිල්ලීමකින් තොරවම ඉවත් කරවාගත හැකියි. පාලක උපකරණය හරහා ඔබට අවශ්‍ය බලපෑම් මට්ටම සකසන්නට පුළුවන්. ස්වයංක්‍රීයව දෙන ලද කාලයකට අනතුරුව ක්‍රියා විරහිත වන නිසා ඒ ගැන සොයා බැලීම අවශ්‍ය වන්නේ නැහැ. ස්ටේන්ලස් ස්ටීල්වලින් වැඩි ආයු කාලයක් ලබා දෙන ආකාරයට සකසා ඇති නිසා කල් පැවැත්ම ද ඉතා හොඳ තත්ත්වයේ තිබෙන අතර එහි භාවිත වන අඩු විදුලි බලය නිසා ජලය හරහා විදුලි කාන්දුවකින් අනතුරු සිදු වන්නේ නැහැ. මයික්‍රොස්කොපික මට්ටමේ ක්‍රියාකාරීත්වයක් ඇති නිසා බැක්ටීරියා නාශන හැකියාවෙන් ද යුතුයි. සේදීම ද ඇඳුම් සඳහා සීමා වන්නේ නැහැ. ඇස් කන්ණාඩි, රේසරය, දත් බුරුසුව ආදී ජලයේ යෙදිය හැකි ඕනෑම උපකරණයක් මෙන්ම එළවළු පළතුරු, ඉඳුල් පිඟන් පවා මෙය හරහා ඉතා හොඳින් පිරිසිදු කරවා ගත හැකියි.

ඩොලර් එකසිය පනහක් හෙවත් රුපියල් විසි තුන් දහසක පමණ පෙර ඇණවුම් මුදලකට නම් කර ඇති මේ උපාංගය මේ වන විටත් ඇණවුම් කළ අයට ලබා දෙමිනුයි පවතින්නේ. ගෙදර පොඩි පොඩි දේවල් කරදරයක් නැතිව සෝදා ගන්නට මෙන්ම ගමනක් යද්දීත් හදිසියේ ඇතිවන පැල්ලමක් පහසුවෙන්ම ඉවත් කරලන්නට පහසුකම් සලසන මේ උපාංගය රෙදි සේදීමේ කලාව සඳහා නවමු පැතිකඩක් ගෙන එන අනාගතයේ නිමැවුමක්.

 

 

සුදුසු මිනිසා

$
0
0
ජන 27, 2018 01:00

අමෙරිකානු ලේඛක රේ රසල්

ඇය ප‍්‍රසන්න ඉතා රූමත් කාන්තාවකි. එහෙත් මේ කිසිවක් වැදගත් නොවේ. වැදගත් වන එකම දෙය ඇය ගැහැනියක් වීමයි. එය වඩාත් වැදගත් වන්නේ ඇය අන්තිමට ඉතිරි වූ ගැහැනිය වීමයි.

එබැවින් පෘථිවියේ බලාපොරොත්තුව වුයේ ඇයයි. ඇය සටන් කර ලබා ගත යුතු ත්‍යාගයකි. ඇය වෙනුවෙන් සටන් වදින දෙදෙනා අන්ධකාර ලෝකයේ තවමත් ඉතිරිව සිටින පුරුෂයන් දෙදෙනා ය. ඔවුහු මරණය දක්වාම වන ද්වන්ද සටනකට සුදානම් වෙති. ගල් කැබලි සහ අළුවලින් වැසී ගිය ඊවාගේ උයනේ නව ආදම් වනුයේ මෙම සටනේ ජයග‍්‍රාහකයා ය.

'ඔබගේ ආයුධ ඉවත දමන්න.”ඇය කීවාය. 'දැන් ඇති තරම් මැරිලා. ඔබ දෙදෙනා අතරින් සුදුසු කෙනා තීරණය කිරීමට හේතු ඉදිරිපත් කරන්න”

'මගෙ නම ජෝන්”නොන්ඩි ගසන තට්ට තැනැත්තා පැවසුවේය. 'මම තමයි සුදුසුම කෙනා. මම ළමයෙක් නොවන බව ඇත්තයි. මගෙ ඇස් පෙනීමත් එය තිබිය යුතු තත්ත්වයෙන් නැහැ කියලයි කියන්නෙ. මගෙ එක කනක් ඇහෙන්නෙ නැහැ. මට නිතරම කැස්සක් හැදෙනවා. මට තියෙන්නෙ බොරු දත්. මගෙ ජාන කොයි තරම් දුරට විකිරණවලට ගොදුරු වෙලාද කියන්න ඇත්තටම මට කියන්න බැහැ. ඒත් මම උගතෙක්. මම විවිධ ක්ෂේත්‍රවල නිපුණත්වයක් ලබලා තියෙනවා. වසර ගණනාවක අත්දැකීම්වලින් මම පොහොසත්’

'ඔබට ස්තුතියි ජෝන්”ඇය මිහිරි ලෙස කීවාය. 'දැන් ඔබ තරුණයා....?”

'මගෙ නම නවය”උස කඩවසම් අනෙක් තැනැත්තා පැවසුවේය. 'මම කොහොත්ම මිනිහෙක් නෙවෙයි. මගෙ සම්පුර්ණ නම නවයයි හතරයි තුනයි හතයි දශම බින්දුවයි බින්දුවයි පහයි දෙකයි අටයි. මම ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතියක්) ඒත් මම තමයි වඩා සුදුසු කෙනා”

ජෝන් සිනාසුනේය. 'වඩා සුදුසු කෙනා ප්ලාස්ටික් ඇට, රසායනික රුධිරය, කෘත‍්‍රිම මාංශ පේශී. අපුරුයි”

'ඇයි ඔබ වඩා සුදුසු කෙනායි කියල කියන්නෙ නවය?”ඇය විමසුවාය.

නවය උගුර පෑදුවේය. 'රෝබෝවරු සහ ඇන්ඩ්‍රොයිඩ්ලගෙ ඉතිහාසය ගැන කියල මම ඔබව වෙහෙසට පත් කරන්නෙ නැහැ’ඔහු ආරම්භ කළේය.

'කරුණාකර එපා”ජෝන් මැදිහත්ව බාධා කළේය.

'ඒත් ඔබ දෙදෙනාම දන්නා බව මට සහතිකයි”නවය දිගටම කියාගෙන ගියේය. 'ගෙවී ගිය ශත වර්ෂ කීපය තුළ ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධති) නිෂ්පාදනය නවීකරණය වීම ගැන?

ජෝන් උරහිස ගැස්සුවේය. 'රූපවාහිනී කැමරා වගේ වෙනුවට ඇත්ත ඇස් වගෙ වැඩ කරනවා”

'කෙස් සහ නියපොතු වැවෙනවා”ඇය කීවාය.

'ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක‍්‍රමය අපේ වගෙමයි”ජෝන් ගොරෝසු හඬින් පවසා නිර්භීත ලෙස තව දුරටත් කතා කළේය. 'සමාවෙන්න නෝනා”

'සිනාව”ඇය කීවාය. 'කඳුළු”ඇය සිනාසුනාය.

නවය ඇය දෙස බලා සිනාසුනේය. 'ඒක හරි”ඔහු කීවේය. 'අපව වඩා කාර්යක්‍ෂම ලෙස ක‍්‍රියා කරන්න හදල තියෙන නිසා ස්වභාවයෙන්ම මිනිසුන් වගෙයි. මිනිස් ශරීරය සහ මොළය තවමත් වඩාත්ම කාර්යක්‍ෂම යන්ත‍්‍රය කියල ඔබ නිතරම කියනවා. එහෙත් ඔබලාගෙ මිනිසුන් වැඩි වැඩියෙන් බොරු දත් දමනවා. නහය ඇතුළට එබිලා. උඩුකය ප්ලාස්ටික්වලින් ආවරණය කරලා. විකිරණ නිසා වඩා වඩා වෙනස් වෙලා. ඇකිලිලා. වඩ වඩා මිනිසුන් නොවන තත්ත්වයට පත් වෙලා. ඒත් අපි ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධති) වඩ වඩා මිනිසුන් බවට පත්වෙනවා”

'ගොඩක්”ජෝන් ඈනුමක් ඇරීම වළකා ගන්නට උත්සාහ කළේය.

'කාරණය මේකයි ජෝන්. ඔබ වයසට යනවා. බෙලහීන වෙනවා. එහෙත් මගෙ ශරීරය ආදේශකයක් වුණත් තවත් අවුරුදු සියයක් හොඳට තියෙනවා. මම ඔබට වඩා ශක්තිමත්. ඔබට වඩා හොඳින් පෙනෙනවා. ඇහෙනවා. වහාම ප‍්‍රතිචාර දක්වන්න පුළුවන්. මේ සියල්ල නව ලෝකයක් ගොඩනඟන්න තියෙන ජීවන ශක්තියයි. ඉතින් ඔබ දන්නවා.”ඔහු අත් දිග අරිමින් කතාව අවසන් කළේ 'මෙතන තරගයක් නැහැ”කියමිනි.

ආත්මාභිමානයෙන් උද්දාමයට පත් ජෝන් මෙලෙස කීවේය. 'ඔබට එක කාරණයක් අමතක වෙලා”

'නැහැ මට අමතක වෙලා නැහැ”නයින් පැවසුවේය. 'අපි ඇන්රොයිඩ්ස්ලා රසායනාගරවලදියි එකලස් කරන්නෙ. මම ඔබට ඒත්තු ගන්වන්න හදන්නෙ එයයි. අපේ මිල අධිකයි. දැනට වඩා ලාභයටත් සරල ලෙසත් ඇන්ඩ්‍රොයිඩ්ලා (මෙහෙයුම් පද්ධති) නිපදවන බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. ඇත්තටම දැන් අපට අපව ප‍්‍රති නිෂ්පාදනය කරන්නත් පුළුවන්. ඉතා රහස්‍ය රසායනාගාර අත්හදා බැලීම්වලින් ඒ බව සනාථ වෙලා තියෙනවා. යටත් පිරිසෙයින් න්‍යායික වශයෙන්වත්. අපට දැන් මිනිසුන් සමඟ විවාහ වෙන්නත් පුළුවන්”

ජෝන් නොපැහැදිලි ලෙස කතා කරමින් ගොත ගසන්නට විය. 'ඒත් ඒක අශෝභනයි. මීට කලින් අහල නැහැ. ඔබ කියන්නෙ සහකාරයෙක් ගැනද? දරුවන් නිෂ්පාදනය කරන්න? මිනිසෙක් සහ ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතියක්) කෙනෙක්? ඒක හාස්‍යජනකයි”

'එහෙමයි. එහෙම නේද?”ඔහු ප‍්‍රතිරාවය කළේය. 'ඒත් ඒක ඇත්තයි”

ඔවුන්ගේ රූමත් ත්‍යාගය (කාන්තාව) කඩවසම් නවය දෙස දිගු වෙලාවක් බලා සිට අනතුරුව කුදු ගැහුණු, කහින ජෝන් දෙසට හැරුණි. 'ඔහු නිවැරදියි. මට බයයි ජෝන්”ඇය ශෝකයෙන් කීවාය. 'ඔහු තමා වඩා හොඳ මිනිසා”

ජෝන් සුසුමක් හෙළුවා මිස කිසිවක් නොකීවේය. ඔහු හෙමිහිට එතනින් ලිස්සා ගියේය. මිනිත්තු කිහිපයකට පසු ඔවුනට එක් වෙඩි හඬක් ඇසුණ අතර දුර්වල සිරුරක් පොළොවට ඇද වැටෙන හඬ ඇසිණ.

'අසරණ ජෝන්”ඇය කීවාය. 'මට ඔහු ගැන කනගාටුයි”

'මටත් කනගාටුයි”නයින් පැවසුවේය. 'ඒත් එක තමයි ජීවිතය”ඔහු ඇයව තම නිවස දෙස සැලකු ස්ථානය වෙත යොමු කළේය. 'ඔබ දන්නවද, මම ඇත්තටම බය වුණා ජෝන්ගෙ අධ්‍යාපනය, නිපුණතාව, බුද්ධිය ඒ සියල්ල ඔහුගෙ වාසියට හිටියි කියලා”

'ඒක එහෙම තමයි”

'ඔව් මට කියන්න පුළුවන්. ඒක තමයි මම අර පුංචි බොරුව කළේ. ඇන්ඩ්‍රොයිඩ් විදියට පෙනී හිටියෙ මම. මගෙ නම නවය නෙවෙයි, බිල්. මම සියයට සියයක්ම මිනිහෙක්”

'මම හිතුව විදියටම”සැගවී සිටි තැනින් ඉවතට එමින් ජෝන් ජයග‍්‍රාහී ලෙස පැවසුවේය. 'බොරුකාරයෙක් විතරක් නෙවෙයි මෝඩයෙක්. මොහොතකට පෙර මම කළ ශබ්දයට රැවටෙන්න තරම් මෝඩයෙක්”තම ප‍්‍රතිවාදියාගේ ආදරයට ලක්ව සිටි තැනැත්තිය දෙස බලමින් ජෝන් කීවේය. 'ඔබ අපේක්‍ෂා කරන්නෙ මේ වගෙ සහකාරයෙක්වද? ප‍්‍රතිපත්තියක් නැති මිනිහෙක්. මාංශපේශීවලින් පිරුණු මොට්ටයෙක්. සදාචාර වශයෙන් දුෂිතල මානසික වශයෙන් දුර්වල, එහෙම කෙනාද වඩා සුදුසුම මිනිහා?

ඇය දෙගිඩියාවට පත් වුවාය. එහෙත් ඒ මොහොතකට පමණි. 'නැහැ ජෝන්. නව මිනිස් වර්ගයේ පියා ගරු කටයුතු බුද්ධිමත් කෙනෙක් විය යුතුයි. ඔබ තමයි වඩා සුදුසු කෙනා”

ජෝන්, බිල් දෙසට හැරණි. 'විනිශ්චයකාරවරු හෝ ජුරි සභාවක් නැතිව මම ඔබට විරුද්ධව තීන්දුව ප‍්‍රකාශ කරනවා. ඔබගේ මුසාවාද, අදූරදර්ශී බව, අනාගත මිනිස් වර්ගයාට එරෙහිව කරන ලද අපරාධය සම්බන්ධයෙන් මම ඔබට මරණ දඬුවම නියම කරනවා”ජෝන්, බිල්ගේ හිසට වෙඩි තැබුවේය. එම තරුණයා අජීවීව බිම පතිත විය.

‘දැන් ඔබ බිරිඳත්‍” දීප්තිමත් ඇස්වලින් බලමින් කතා කළේය. 'අපි නව මිනිස් වර්ගයා බිහි කිරීම ආරම්භ කිරීමට වටිනා කාලය අපතේ නොයවා කටයුතු කරමු. මම පිළිගන්නවා මම බිල් තරම් කඩවසම් නැහැ. ඒ වගේම තරුණත් නැහැ. ඒත් ඔබට මේ මහලු පිරිමි ළමයාගෙන් ජීවිතය අපේක්‍ෂා කරන්න පුළුවන්”

'ඔබත් ඇන්ඩ්‍රොයිඩ් කෙනෙක්ද?”ඇය විමසුවාය.

'ඒක එහෙම සිද්ධ වුණා. මිනිසුන් සහ ඇන්ඩ්‍රොයිඩ්ලා අතර අනුකුලතාවක් තියෙනවා. මම ඒ ගැන කියල කලබල කළේ මට ඔබව නැති කරගන්න බැරි නිසා. ඉතින් ඇත්තටම මම ඇන්ඩ්‍රොයිඩ් කෙනෙක් වුණාට කිසිම වෙනසක් නැහැ. කොහොම වුණත් මම ඔබට සහතික වෙන්නම් මම ඇත්තටම මිනිහෙකුට සමානයි”

ඇය සුන්දර ලෙස සිනාසෙමින් ඔහුගේ අත ගත්තේය. 'කොයි තරම් අපුරුද?”ඇය පැවසුවාය. 'ඒක එහෙම වුණාවේ. මම මිනිහෙක් නොවුණට...”ඔහු නිහඬවම තම මවිතය පළ කරමින් ඇයව ආදරයෙන් වැළඳ ගත්තේය.

අනුවාදය
බොබී ජී බොතේජු

වයිරල් වීමේ කලාව

$
0
0
ජන 27, 2018 01:00

ආදරණීය හිරුණි, අපට සමාවෙයන් නංගි. නුඹ ගැන මූණුපොත පෙරලාගෙන හූ කිය කියා ඇඩුවේ නැති වුණාට, හොටු පෙර පෙර නුඹ ගැන කවි නොලිව්වට, පත්තරේක නිකම්ම නිකම් ප්‍රවෘතියක් විතරක් වුණාට නුඹෙන් සමාව ඉල්ලනවා ඇරෙන්න අපට කරන්න දෙයක් නෑ. එහෙම තමයි, හැමෝටම සමාජ ජාලා වෙබ් අඩෙවිවල වයිරල් යන්න බෑ. වයිරල් වෙන්න නම් මිනිස්සුන්න කපුටන්ට වගේ දෙන්න ඕනෙ කුණු ජරාව. නුඹේ ඔය අහිංසක මූණු පොඩ්ඩ නොදැම්මම මේං මෙයා තමයි දූෂණය කරලා තියෙන්නෙ කියලා, උන්ට කිසිම ෆීල් එකක් නෑ, හැගීමක් නෑ. විද්‍යාට සේයාට වගේ නුඹට වයිරල් යන්න බැරි වුණේ ඒකද, අපට ලොකු ප්‍රශ්නයක්.

නුඹට කවුරුත් කවි ලිව්වෙ නෑ හිරුණි, බුකියේ කවි ලියන්නත් ලොකු උද්‍යෝගයක් නැතිව බෑ. සමාවෙයන් අපට නංගියෙ, අපි විකිණෙන අපි විකුණන මේ ලෝකෙ අපට ලියුමක් ලියලා තියලා ගිය නුඹට එක කවි පෙළක් නොලිව්වට. අපට ප්‍රශ්නයක් මේක, ඇයි නුඹ ගැන කතා නොකරන්නෙ මිනිස්සු, මේ රටේ බහුතරයක් මාධ්‍ය, සමාජ මාධ්‍ය. ඔව්, නංගි වයිරල් යනවා කියන්නෙ කලාවක්, සැලැස්මක්. හැමෝටම වයිරල් යන්න බෑ. උන් ඉල්ලනෙ කුණු. යළි යළිත් නුඹව දූෂණය කරන්න ලැබෙන්නෙ නැත්නම් උන්ට ගාණක් නෑ, උන්ට දැනෙන්නෙ නෑ, උන්ට ඕනෙ බිලි පිදේනි යක්කුන්ට වගේ. ඒ දැරිවිට අරවා කරලා මේවා කරලා මෙහෙම කරලා කියලා ග්‍රැෆික් චිත්‍ර මවලා උපසිරැසි දාලා චිත්‍රපටියක් කරන්න ලැබෙන්නෙ නැත්නම් උන්ට දැනෙන්නෙ නෑ, දුක නෑ,ගාණක් නෑ. ආ, ඔව් නේද පොඩි දැරිවියක් මරලා දාලා නේද,එතනින් සංවාදෙ ඉවරයි. ඒ උන්ට කතා කරන්න කුණු රසයක් එතන නැති හින්දා. අපට මතකයි විද්‍යා ගැන කට්ටිය පොටෝ පෙන්න පෙන්න අරහෙමයි මෙහෙමයි කියලා ගත්තු ජුගුප්සා සහගත මන්ද මානසික සතුට. ඒ අයවත් දන්නවද දන්නෙ නෑ උන් ඒ ලබන්නෙ මන්ද මානසික සතුටක් කියලා. ඒ අය දන්නවද දන්නෙ නෑ දූෂණය වෙනවා කියන එකේ තේරුමවත්. නෑ, ඒ තරමටවත් බහුතරයක් සංවේදී නෑ.

අත ළඟ ඡන්දයක් නොතිබුනානම් නංගියෙ නුඹත් සමහර විට වයිරල් යන්න තිබුණා. නුඹේ මරණය ගැනත් මීට වඩා ගුවන් කාලයක් පත්තර පිටක් පෝස්ටුවක් වෙන් වෙන්න තිබුණා. ඒත් අපිට ඊට වඩා ගොඩාක් දේවල් වැදගත්. ඔව් අපට වැදගත් වෙන්නෙ වැදගත් කියලා උන් අපට පෙන්නලා දෙන දේ මිසක් ඇත්තටම වැදගත් දේ නෙමෙයි. නුඹ තාම ඉස්කෝලෙ යන පොඩි කෙල්ලෙක්. ඡන්දෙත් බෑ දෙන්න. ඉතිං කාටවත් වැඩක් නෑ...මේ දවස්වල කවුරුත් මහන්සි වෙන්නෙ ඡන්දවලට.

ආදරණීය නංගියෙ, සමහරක් උන් අහනවා ඒ ගෑනු ළමයට කොල්ලෙක් ඉදලා නේද කියලා. එහෙම අහනකොට අපිට අපි ගැන මහා ලොකු දුක්ඛිත හැගීමක් පහළ වෙනවා.ඒක ප්‍රශ්නයක් ද? ඒක අදාළයි ද? මේ රටේ දූෂණය කෙරුවෙ කොල්ලො ඉන්න කෙල්ලො විතරද? විල්වත්තෙ නිශාදිව දූෂණය කළේ එයාගෙ කොල්ලද? කොල්ලෙක් ඉන්න හැම කෙල්ලෙක්ම දූෂණය වෙනවද? කොල්ලෙක් හිටිය නිසා නුඹ දූෂණය කළාට කමක් නෑ, ඔව්වා විහින් කරගත්තුවා කියලා හිතන ලිංගික කුහකයින් ඉන්න රටක වෙලාවකට හිතනවා නුඹ අපිව දාලා කලින් ගිහින් සුරංගනා ලෝකෙ පුංචි සුරංගනාවක් වෙලා ඉපදුණු එක හොදයි කියලා.

තවමත් වරදට සමාව කියලා අවමංගල කතා දාන මංගල ‍යෝජනා තීරුවක් තියන රටක සමහරක් උන් ඇයි ඒ ළමයා දිවි නසා ගත්තෙ කියලා අහනකොට පපුවෙ පත්තු වෙන ගින්දර කියලා නිම කරන්න බෑ නංගියෙ. ඒ මහා කාලකන්නි මොහොත මතක් කර කර ජීවිත කාලෙම මැරි මැරී හිටියත්, පිරිමි පුළුටක් දකින වාරයක් වාරයක් පාහෙ නුඹේ ඔය පුංචි හිතේ බුර බුරා නැගෙන ගින්දර පත්තු වෙවී, ඇහැ පියවෙන පියවෙන වාරයක් වාරයක් ගානෙ භීත වෙලා නුඹ නිදි නැතිව ඇහැරි ඇහැරි ජීවිත කාලෙම අවදියෙන් හිටියත්, මේ කාලකණ්නි රට්ටු කියන දේවල් අහගෙන නුඹට එක මොහොතක්වත් ජීවත් වෙලා ඉන්න බැරිවෙයි නංගියෙ. නුඹේ තීරණේ වැරදි වෙන්න ඇති. ඒත් නුඹේ වැරදි තීරණේට වගකියන්න ඕනෙ අපි. උන් නුඹව දූෂණය කළා. ඒත් නුඹව මරාගත්තෙ අපි.

අමාලි මල්ලවආරච්චි
@mllwrachch 

 

මෙන්න නිවුන් බලේ

$
0
0
ජන 27, 2018 01:00
චම්පිකා දීපානි රණසිංහ
කිට් සොයුරියන් දෙපළ

ඔබත් නිවුන් සාමාජිකයෙක් නම් කණ්ණාඩියක් අනවශ්‍ය ය. ඒ හැඩරුවෙන්, කටහඬින් පමණක් නොව දෙදෙනා දෙදෙනකු නොව එක් අයකුය සිතෙන නිසාය. එකම ඩිම්බයක් දෙකට බෙදී සෑදුණු කලල දෙකකින් එක හා සමාන රුවකින් යුතු නිවුන් දරුවන් බිහි වීම සොබාදමේ අසිරියකි. මේ අසිරියේ බලපරාක්‍රමය හෙවත් නිවුන් බලය ලොවට පෙන්නූ අවස්ථා ඇත්තේ එකක් දෙකක් නොවේ.

ඔස්ට්‍රේලියාවේ බ්‍රෙන්ටන් ගර්නි හා ක්‍රේග් ගර්නි ඔස්ට්‍රේලියාවේ පදිංචි නිවුන්නු දෙපළකි.

2012 වසරේදී සෑම මාධ්‍යයකින්ම මොවුන් ගැන කතාබහ විය. දෙදෙනාම පාපන්දු ලෝලීන්ය. කෑම පිඟානේ ලූනු කැබලි තෝරමින් ආහාර ගැනීමට මේ නිවුන් සොයුරන් සැබෑ රුසියන්ය. ඔබට අවශ්‍ය ඇපල් ද චොකලට් ද කියා විමසුවොත් ලැබෙන්නේ එකම පිළිතුරකි. පිළිතුර චොකලට් ය.

බ්‍රෙන්ටන්, ක්‍රේග් කැමැතිම කාන්තා නාමය නිකොලිය. පුදුමයකට මෙන් සොයුරන් විවාහ වී සිටින්නේ ද නිකොලි නමැති තරුණියන් සමඟය. ක්‍රේග් බ්‍රෙන්ටන්ට වඩා මිනිත්තු 10ක් වැඩිමල්ය. හාදු දීමේදී, මධුවිත තොල ගෑමේදී, විවාහ වීමේදී මිනිත්තු 10 වැඩිමල්කමට වැඩි ගරුසරුකමක් ලැබේ.

දෙදෙනා දෙදෙනාගෙන් වෙන්කළ නොහැකි බැඳීම මාපියන්ට පෙන්වූයේ තොටිල්ලේදී ය. බ්‍රෙන්ටන් සිඟිති වියේදී උස් පුටුවකින් වැටිණි. තොටිල්ලේ සිටි ක්‍රේග් කුඩා හිස ඔසවන්නට තැත් කරමින් උස් හඬින් හැඬීමට පටන් ගත්තේය. දෙදෙනා එක් අයකු බව පාසලේ ගුරුවරුන්ට ද සනාථ කළහ. සොකර් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී බ්‍රෙන්ටන් ක්‍රීඩකයකු සමඟ ගැටී සිහිසුන්ව බිම ඇද වැටුණි. ක්‍රේග් ද එසැණින්ම අත් පා සෙලවීමට නොහැකිව ගල්ගැසිණි.

මේ අපූරු නිවුන්නු එකිනෙකාට සිදුවන දේ ඉවෙන් මෙන් දැන සිටියේය. දිනක් නිවෙසේ දුරකථන අංකය නාද විය. පියා දුරකථනය ගැනීමට පෙර ක්‍රේග් අපූරු අනාවැකියක් පැවසීය. “ඔය කෝල් කරන්නේ බ්‍රෙන්ටන්. එයා මෝටර් රථ අනතුරකට ලක්වෙලා. දෙවි පිහිටෙන් මොකුත් වෙලා නෑ.” පියා පුදුම වූයේ ඇමතුමෙන් කියවුණේ ද එයම බැවිනි.

විද්‍යාත්මකව ඔප්පු කළ නොහැකි රුධිර බන්ධනයට ඇති සාක්ෂි ඕනෑතරම්ය. වරක් බ්‍රෙන්ටන්ගේ අත්පාවල, කොන්දේ ඇතුළතට වන්නට දරුණු ලෙස පලු දැමීය. පසු දින පලු අතුරුදන් වූ නිසා බ්‍රෙන්ටන්, ක්‍රේග්ගේ නිවෙසට ගියේය. පුදුමයකි. තම සිරුරේ පලු ඇතිවූ තැන්වලම ඔහුගේ සිරුරේද පලු හටගෙන තිබිණි. දෙතැනක පදිංචි දෙදෙනා එකම ලකුණු පෙන්වූයේ කෙසේ ද?

මොවුන් දෙදෙනා නිවුන්නු පිළිබඳ පර්යේෂණ පවත්වන්නන්ගේ ජනප්‍රිය සාමාජිකයන්ය. ඔවුන් ලෝ ප්‍රකට වූයේ ද ඇසූවන් මවිත කරන රෝග හඳුනා ගැනීමක් නිසාය. රෝගය තිබුණේ එක් සොයුරකුටය. රෝග ලක්ෂණ හටගත්තේ අනෙක් සොයුරාටය.

බ්‍රෙන්ටන් දැඩි හිසරදයකින් පීඩාවින්දේය. එම්. ආර්. අයි. පරීක්ෂණයෙන් කිසිඳු වරදක් හෙළි නොවිණි. බ්‍රෙන්ටන්, ක්‍රේග්ට ද එම්. ආර්. අයි. පරීක්ෂාවක් කරන ලෙස පෙරැත්ත කළේය.

“මගේ මොළය ඔබේ මොළයට වඩා හොඳ ඇති” කියා ඔච්චම් කරමින් ක්‍රේග් පරීක්ෂණයට පෙනී සිටියේය. පුදුමයකි. ඔහුගේ මොළයේ ඉතා දුලබ විශාල ගැටිත්තක් සොයා ගැනිණි. ක්‍රේග්ට මෙතරම් විශාල ගැටිත්තක් තිබීත් හිසරදය වැලඳුණේ නැත. බ්‍රෙන්ටන් නිසා නිහඬ මාරයකු හඳුනාගත් ක්‍රේග්ගේ දිවි සුරැකිණි. නිවුන් බලය එපමණටම සවිමත්ය.

මේරි - කේට් ඔස්ලන් හා ඇෂ්ලේ ඔස්ලන් දැන් තිස් එක්හැවිරිදිය. මේ ඔස්ලන් නිවුන් සොයුරියෝ ලොව ධනවත්ම නිවුන් ලේඛනයේ පළමු තැන ගෙන සිටිති. ළමා නිළියන්වී සිටි ඔවුන් ‘ෆුල් හවුස්’ ටෙලිවිෂන් මාලා නාටකයෙන් ලෝ පුරා ජනප්‍රිය විය. දැන් ඔවුහු අමෙරිකානු මෝස්තර නිර්මාණ ශිල්පිනියන්සේ ප්‍රකටවී සිටිති. විනෝදාත්ම ‍ක්ෂේත්‍රයේ ළාබාල වියේදීම ධනවත් කමින් ඉහළටම ගිය කාන්තාවන් ලැයිස්තුවේ ද ඔවුන් වැජඹෙන්නේ ඉහළ තැනකය. ඔස්ලන් නිවුන්නු ෆෝබ්ස් නාම ලේඛනයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහළම තැනක වැජඹේ. පුදුමයක් වන්නේ වයස අවුරුදු දහය තරම් ළාබාලවියේදී මිලියනපතිනියන් වූ ඔවුන් එම නාම ලේඛනයට ඇතුළත් නොවූවොත්ය. හොලිවුඩයේ ‘වෝක් ඔෆ් ෆේම්’ ගෞරවය ලැබූ ප්‍රථම නිවුන්නු වන්නේ ද මොවුන් දෙදෙනාය.

ඔස්ලන් සොයුරියන් අතර ද පරචිත්ත ඥානය අපූරුවට ක්‍රියාත්මක වේ. වරක් එක් සොයුරියකට සර්පයෙක් දෂ්ට කළවිට දෙදෙනාටම එකසේ වේදනාව දැනිණි. අවසානයේදී සැබැවින් දෂ්ට කළේ කාටදැයි සොයාගත නොහැකි විය.

ලොව අධිබර නිවුන්නු ලෙස ගිනස් වාර්තා පොතට එක්වී ඇත්තේ ‘මැක්ගියර්’ නිවුන්නුය. බිලි සහ බෙනිලොයිඩ් මැක්ක්‍රෙරි නිවුන්නු දෙදෙනාගේ බරේ එකතුව රාත්තල් 1468ක් විය. 1979 දී බිලී මෝටර් රථ අනතුරකින් මියගිය අතර බෙනී හෘද අකර්මණ්‍යතාවෙන් 2001දී මිය ගියේය.

හාප් නිවුන්නු යූ ටියුබ් රසිකයන්ට අමුත්තියන් නොවේ. සුරූපී කැමිලේ සහ කෙනර්ලි කිට් යූ ටියුබ් ගායන තාරකාවන්ය. ඔවුන් දෙදෙනාම සංගීත උපාධිධානිය වන අතර පියානෝ වාදනයෙහි යෙදෙන්නේ ළමාවියේ සිටය.

තයිකොන්දෝ ක්‍රීඩාවේ තුන්වැනි මට්ටමේ කළුපටිධාරීන් වූ කිට් සොයුරියෝ සටන් කලාව තවදුරටත් හැදෑරීම නතර කළේ කෙනර්ලිගේ ඇඟිලි දෙකක් කැඩීම නිසා හා කැමිලේගේ මුහුණ තුවාලවීම නිසයි. මේ අනතුරු දෙකම සිදුවූයේ කෙනර්ලි විසින් සටන් කලාවේ නියැළීමේදී සොයුරියන්ගේ මුහුණේ මැහුම් දැමීමට තරම් තුවාලයක් සිදුවීම නිසාය. සටන අත්හැර ඔවුන් දැන් වීණාව රැගෙන ඇත. මොවුන් ‘හාප්’ නැත්නම් වීණා සොයුරියන් ලෙස ද හඳුන්වනු ලැබේ. දැනට දෙදෙනා යූ ටියුබ් සඳහා සංගීත වීඩියෝ 69ක් එක්කර ඇති අතර ලොව පුරා මිලියන 25ක ජනකායක් එය නරඹා තිබේ. ඔවුන් දැන් රංගනයට ද එක්වෙමින් සිටිති.

වයස්ගතම නිවුන්නු ලෙස වාර්තා පොතේ නම රැන්දුවේ කින් නරිතා, ජින් කැනී ජපන් සොයුරියන්ය. විසිඑක්වැනි සියවසේ ආරම්භයේදී ඔවුන් ජීවිතවලින් සමුගත්ත ද වසර 107ක් හා 108ක් ජීවත්වූ නිවුන්නු ලෙස ඔවුන් තැබූ වාර්තාව නොනැසී පවතී. ඔවුන් ද ජනප්‍රිය ගායිකාවන්ය. වර්ෂ 1992දී වයස අවුරුදු සීයේදී ඔවුන් නිකුත් කළ රැප් ඇල්බමය ජින්-චෑන් හා කින්-චෑන් ලෙස හැඳින්නූ අතර එය ජපන් ගීත දර්ශකවල ඉහළම ස්ථානයක වැජඹිණි.

කින් හා ජින් උපන්නේ 1892 අගෝස්තු 1 වැනිදාය. කින් 2000 ජනවාරි 23 දින මියගියේ වයස අවුරුදු 107දීය. මරණයට හේතුවුණේ හෘද අකර්මණ්‍යතාවකි. ජින් 2001 පෙබරවාරි 28 මියගියාය. ඒ වයස්ගත වීම හේතුවෙනි. මරණ සහතිකයේ එසේ දක්වා තිබුණ ද වෛද්‍යවරුන් කියා සිටියේ කින් සමඟ ආත්මීයව තිබූ බැම්ම ඇය කායිකවත්, මානසිකවත් පහත හෙළන්නට ඇති බවය.

ජින් හා කින් යන ජපන් නම්වල අරුත රිදී හා ‍රත්තරන් ය. වයස අවුරුදු 102දී ඔවුන් හා හා පුරා කියා විදේශගත වූ අතර නිවුන්නු ජෝඩු දහසකට වැඩි පිරිසක් ඊට සහභාගී වූහ.

සියවැනි උපන් දිනය සමරමින් ඔවුන් කියා සිටියේ මෙතරම් කලක් ජීවත්වීමේ රහස නිවුන්නු ලෙස ඉපදීම බවය. “ලොවේ අන් කාටත් වඩා අප දෙදෙනාට අප දෙදෙනා අවශ්‍ය වෙනවා” ඒ කියන්නේ සැමරුම් ප්‍රකාශය ය.

නිවුන් සොයුරන් හෝ සොයු‍රියන් නොවන අපට කිව හැක්කේ ‘නිවුන්නුන් අතිවිශේෂය’ කියා පමණි.

අන්තර්ජාලයෙනි

යකඩ යකා තෙවැනි ඇසින්

$
0
0
ජන 27, 2018 01:00
මංජුලා විජයරත්න

අඟුරු කකා වතුර බිබී පීලී දෙකක් උඩ ඇදෙන යකඩ යකකුගේ ඇති ලස්සන කුමක්ද?. එක පොදියට නොනවත්වා දුම් පිටකරමින් දඩබ්බරව එහාට මෙහාට පැද්දෙමින් ඉදිරියට ඇදෙනු විනා එහි ඇති අන් ලස්සනක් ඔබටත් මටත් නොපෙනෙනු නිසැකය. වාෂ්ප බලයෙන් ධාවනය වන දුම්රිය - එහෙමත් නැත්නම් දුම් කෝච්චි රේල් පීල්ල මත ඇදෙන විට අමුතුම චමත්කාරයක් නැඟේ. අප නුදුටුව ඒ ලස්සන දුටු කෙනෙක් වන්නේ බ්‍රිතාන්‍ය ජාතික හැට දෙහැවිරිදි ඩේවිඩ් කිට්චින්ග් ය. ඩේවිඩ් වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. ඔහු සිය වෘත්තිය ජීවිතය අරඹන්නටත් පළමුව එනම් ළමා කාලයේ සිටම හෙතෙම දුම් කෝච්චි පීලී මත ඇදෙන විට නැඟෙන අපූරුව ඉතා සියුම් නිරීක්ෂණය කරමින් රස වින්ඳේය. ඉතා ලස්සන ඡායාරූප සමූහයක් අප අබිමුව තබන්නට ඔහු සමත් වූයේ ඒ සියුම් නිරීක්ෂණ ශක්තිය පසු කලෙක ඔහුගේ වෘත්තීය ජීවිතය සමඟ බැඳුණු බැවිනි. ඒ අතර සුවිශේෂී වන්නේ විසි පස් වසරකට ආසන්න කාලයක් පුරා ඔහු චීන දුම් කෝච්චිවල ලස්සන ඡායාරූපයට නැඟීමය. ඩේවිඩ්ගේ තෙවැනි ඇසට හසුවුණු ඒ ඡායාරූප එකතුව පසුගිය දෙසැම්බරයේදී කෘතියක් ලෙස එළි දැක්විණ. එය නම් කර තිබෙන්නේ “චියිනීස් ස්ටීම් : ද ලාස්ට් ඉයර්ස්” යනුවෙනි. කෘතියෙන් දැක්වෙන ඡායාරූප සමූහයට අයත් වන්නේ 1992 වසරේ සිට 2017 දක්වා චීනයේ භාවිතයට ගැණුන දුම් කෝච්චිවල දර්ශනයි.

ඩේවිඩ් කිට්චින්ග් පළමුවෙන්ම චීනයට පය තැබුවේ එක්දහස් නවසිය අනූ ගණන් මුල භාගයේදී ය. ඊශානදිග චීනයේ ගල් අඟුරු ආකාර ආශ්‍රිතව ඉඳි කර ඇති පටු දුම්රිය මාවත් මත ඇදෙන දුම් කෝච්චි එකල දැකිය හැකි විය. ඔහු මේ දුම් කෝච්චි කැමරාවට හසුකර ගත්තේ හුදෙක් යකඩ ගොඩ පමණක් දිස්වන ආකාරයට නොවේ. ඒ දුම්රියවලින් ඉහළට නැඟෙන දුම් වළා මෙන්ම දුම්රිය පසු කර එන පරිසරයේ සුන්දරත්වය ද ඔහු දුම්රිය සමඟම යස අපූරුවට කැමරාවට හසු කරගත්තේය.

මුල්ම දුම් කෝච්චිය චීනයේ ධාවනය වුණේ 1879 දී පමණ බව සඳහන් වේ. එතැන් පටන් විසිවන සියවසේ අග දක්වාම දුම් කෝච්චි ධාවනය එහි සුලභ දසුනක් විය. ඩීසල් බලවේග කට්ටල හඳුන්වා දෙනු ලැබීමත් සමඟම වාෂ්ප බලයෙන් ධාවනය වන දුම්රිය විශ්‍රාම ගැන්වීම ආරම්භ වූයේය. දුම් කෝච්චි විවේක ගැන්වීම තවදුරටත් ඉක්මන් වුණේ නව තාක්ෂණය මුසු කළ විද්‍යුත් දුම්රිය සේවාව පැමිණීමත් සමඟයි. එසේ වුවත් චීනයේ ඇති දුම් කෝච්චි සියල්ලටම එකවර විවේක ගන්නට ඉඩක් ලැබුණේ නැත. නිරිත දිග චීනයේ සිචුවාන්හි කඳුකර පළාත්වල දුම් කෝච්චි ධාවනය තවමත් දැකිය හැකිය. චීනයේ දුම් කෝච්චි සේවාව විසි පස් වසරකට ආසන්න කාලය පුරා ක්‍රමයෙන් වියැකී යන හැටි වසරින් වසර දැක බලා ගන්නට ඩේවිඩ් කිට්චින්ග්ට අවස්ථාව ලැබිණ. ඒ, ඔහු ගෙවුණු විසි පස් වසරකට ආසන්න කාලයේදී සෑම වසරක් පාසාම පාහේ චීනයට පැමිණි බැවිනි. එසේ පැමිණි අවස්ථාවලදී ඔහු පළමුවෙන්ම කළේ දුම් කොච්චි ඇති ඉසව් සොයාගෙන ගොස් ඒවා ඡායාරූපයට නැඟීමය.

“මේ වගේ ගමන්වලදී ශේෂ වූණු පුදුම සහගත මතක සටහන් මගේ මතකයේ තවමත් තිබෙනවා. ඒ දුම්රියවල ගමන් ගත් කාර්යය මණ්ඩල ඉතා උණුසුම්ව මාව පිළිගත්තා. ඒ නිසාම සෑම සංචාරයකදීම මට නවමු අත්දැකීම් පෙළක් අත් විඳින්න ඉඩ ලැබුණා” යැයි හෙතෙම පවසයි.

විටෙක ඔහු චීනයේ ජියාමුසි සහ මුඩන්ජියෑන්ග් කඳුකර අතර ධාවනය වන දුම් කෝච්චියක ගමන් ගනිමින් ඒ ජීවිතයේ රසය වින්ඳේය. තවත් අවස්ථාවක ඔහු දුම් කෝච්චි කාර්යය මණ්ඩල සමඟ මොන්ගෝලියානු ස්වාධීන කලාපයට ඇතුළු වී එහි සිරි නැරඹුවේය. ඒ කවර තැනකදීවත් ඔහු තමන් ගමන් ගත් දුම් කෝච්චියේ ලස්සන, තෙවැනි ඇස හරහා අනෙක් අයට දැක බලාගන්නට අවස්ථාවක් පාදාදීම මඟ හැරියේ නැත.

ඩේවිඩ් දුම් කෝච්චි අල්ලා ගන්නට බලාගෙන චීනයට පය තැබුවේ චීනයට ශිත ඍතුව උදාවුණු කාලවලදීය. ඒ කාලවලට කළු පැහැ යකඩ යකුන් ඉදිරියට ඇදෙන්නේ සුදෝ සුදු හිම තලා මැදින් සීතල කිටි කිටිය දෙබෑ කරගෙනය. ඒ අපූරු දසුන් ඔහු ඒ අන්දමින්ම ඡායාරූපයට නැඟීමට අමතක කළේ නැත. ඒවා සත්‍ය වශයෙන්ම හදවත මොහොතකට නවතාලන තරම් ය. එහෙත් ඒවා කැමරාවට හසු කර ගැනීමට ඔහු වින්ඳ දුකක තරම!.

“එක අවස්ථාවකදී උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 40ට තිබුණේ. ඒ වගේ වෙලාවට ඡායාරූපයක් ගන්නවා තියා හිතන්නවත් බැහැ. ඒ වගේ වෙලාවක ඡායාරූප ගන්න නැමුණොත් අධික ශීතල නිසා ඇතිවන තුවාලවීම්වලට මුහුණ දෙන්න වෙනවා. ... අනෙක් කාරණය, සෙන්ටිග්‍රේ අංශක ඍණ 35ට අඩු උෂ්ණත්ව තත්ත්වවලදී කැමරාව වැඩ කරන්නේ නැහැ. කැමරාවේ බැටරි දුර්වල වෙනවා. කැමරාව ශීත කබාය අතරේ රඳවා ගෙන උණුසුම්ව තබාගන්න ඕන. ඡායාරූපය ගන්න අන්තිම මොහොතේදී මිසක් කැමරාව එළියට ගන්න බැහැ”

“චියිනීස් ස්ටීම්: ද ලාස්ට් ඉයර්ස්” කෘතියට ඇතුළත් වන්නේ ඩේවිඩ් කිට්චින්ග් එලෙස ලබාගත් ඡායාරූප පෙළකි.

චීනය තුළ දුම් කෝච්චි ධාවනය අද මේ වනවිට දැකිය හැකි වන්නේ බෙහෙවින්ම කලාතුරකිනි. එසේ පීල්ලට නැඟෙන දුම් කෝච්චි ධාවනය වන්නේ ද සංචාරකයන්ගේ වුවමනාවලටම පමණි. ඉහළ වේගයකින් ගමන් ගන්න විදුලි දුම්රිය තිබුණත් හුමාල බලයෙන් දිව්ව යකඩ යකුන්ගෙන්, මතුවුණු චමත්කාරය අනාගත පරම්පරා භුක්ති විඳිය යුතුයි ඩේවිඩ් පවසයි.

සී.එන්.එන්. ඇසුරෙනි

මැරෙනව නම් පෙට්ටි මෙන්න

$
0
0
ජන 27, 2018 01:00
මංජුලා විජයරත්න

මරණය, මියයන පුද්ගලයාට මෙන්ම ජීවත්ව සිටින අයටත් ඉතාමත් වැදගත් ද්වාර කර්ම අවස්ථාවකැයි මානව විද්‍යාඥයෝ පවසති. මරණය කේන්ද්‍ර කරගත් සම්ප්‍රදායන් මානව සමාජය තුළ බිහි වී තිබෙන්නේ ද එනිසාමය. කලින් කලට වෙනස් වන මේ සම්ප්‍රදායන් අද වනවිට වාණිජකරණයට ලක්ව ඇත. එහි පුළුල් බව සමාජයට අවධාරණය කෙරෙන පුවතක් සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය පසුගිය දා පළ කර තිබිණ. මේ ප්‍රවෘත්තියෙන් කියැවුණේ අවසන් ගමන යන්නන් වෙනුවෙන් තැනෙන එක එක රටාවේ මිනී පෙට්ටි ෆැන්ටසියක් ගැනය.

අවසන් ගමන යන්නට දෙන මිනී පෙට්ටිය, ෆැන්ටසියක් බවට පත් කර ගෙන තිබෙන්නේ ඝානා රාජ්‍යයේ මිනී පෙට්ටි සකසන්නන් පිරිසකි. ඔවුන්, තමන් ලෝකයට හඳුන්වා දෙන්නේ ද “ෆැන්ටසි මිනී පෙට්ටි හදන්නන්” වශයෙනි. ඔවුන් තනන මිනී පෙට්ටිවල හැඩය, පැහැය සහ අනෙක් අංගෝපාංග නෙත සිත නවතාලන තරමට සිතෙන්නේ අවසන් ගමන එතරම් සෞන්දර්යාත්මක වියහැකි ද කියාය. ගොඩනැඟිල්ලක, මෝටර් රථයක, අහස් යානයක, සපත්තුවක එහෙමත් නැත්නම් අප නිතර දෙවේලෙහි දකින සතෙකුගේ හැඩයට නිමැවුණු මිනීපෙට්ටි මේ ෆැන්ටසිකාරයන් ළඟ හිඟ නැත.

මරණය ලෝක නියතයකැයි නොසිතා කටයුතු කරන මිනිසුන් මිහිමත වාසය කරන තෙක් එවැනි නිර්මාණශීලි මිනී පෙට්ටිවලට ඇති ඉල්ලුම කඩා නොවැටේ. මියගිය පුද්ගලයා තමන් කළ වෘත්තීය සමඟ මරණින් පසුවත් බැඳී සිටිය යුතුව ඇතැයි ඝානාවේ ඇතැම් ප්‍රජාවන්හි සාමාජිකයෝ කල්පනා කරති. මහ පොළොවේ කොතැනක හෝ ඔහු මිහිදන් කෙරෙන විට ඒ වෘත්තීය ජීවිතයට සම්බන්ධ කිසිවක් ඔහු සමඟ පැවැතිය යුතුවය යන්නත් එබඳු අයගේ සිතුවිල්ලයි. පුද්ගලයා තම වෘත්තීය, මරණින් මතු නැවත මතකයට නඟා ගන්නේ එවිටයැයි ඔවුහු පවසති. ආත්මයෙන් ආත්මයට පුද්ගල බද්ධව ගලා යා යුතු මේ මතකය මියගිය පුද්ගලයා තුළ අවධි කළ හැකි වන්නේ ඔහුගේ වෘත්තියට සම්බන්ධ කිසිවක් නිරූපණය වන විධියට මිනී පෙට්ටිය තැනුවහොත් පමණි. අරුමෝස්ම් හැඩවලට නිමැවුණු මිනී පෙට්ටිවලට ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ මිනිසුන්ගේ ඒ අවශ්‍යතාව හරහාය.

මරණය පිළිබඳ එබඳු ආකල්ප ඝානා සමාජය තුළ ඇති වුණේ මේ හදිසියේ නොවේ. මියගිය මිනිසුන්ගේ දේහ තැන්පත් කරන්නට පනස් වසරක් පුරා ෆැන්ටසි මිනී පෙට්ටි හදන ජෝසොප් ඇෂෝන්ග් කියන්නේ මෙසේ ය.

“1962දී මට අවුරුදු 15 යි. අම්ම තමයි මාව මිනී පෙට්ටි හදන හැටි ඉගෙන ගන්න මගේ මාමා ළඟට යැව්වේ.ඉන් පස්සේ මම අධ්‍යාපනය හමාර කරලා 1974දී මිනී පෙට්ටි හදන රස්සාවට බැස්සා. එතැන ඉඳන් මම මිනී පෙට්ටි හදනවා” ජෝසොප් ඇෂෝන්ග්ගේ මිනී පෙට්ටි හැදීමේ කලාව කාලයත් සමඟ ලෝක ප්‍රකට විය. ඒ නිසාම ඝානාවට පැමිණි විදේශ නායකයෝ ඔහුගේ මිනී පෙට්ටි හැදිල්ලත් බලන්නටත් ආහ. ජගත් සංවිධානයේ හිටපු මහා ලේකම් කොෆී අනන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් ද ඒ අතර වෙති. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු වන ජිමී කාටර්, ජෝසොප් ඇෂෝන්ග්ගෙන් මිනී පෙට්ටි එකක් නොව දෙකක්ම මිලදී ගත් බව වාර්තා වේ.

විදේශයන්ගෙන් ලැබෙන මිනී පෙට්ටි ඇණවුම් සපුරාලීම තරමක් දුෂ්කර බව ජෝසොප් ඇෂෝන්ග් පවසයි. එයට හේතුව ඒවා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතුව නිමවන්නට සිදුවීම ය. එවැනි මිනී පෙට්ටි සකසන්නට ඔහු බොහෝවිට යොදා ගන්නේ මැහෝගනී හෝ එයට ඉහළ ශ්‍රේණියේ හෝ තද ලී වර්ගයකි. කෘමින්ගෙන් මෙන්ම බිඳීයාම් නිසා සිදුවන හානි වළකාගන්නට හැකි අන්දමට ඒ මිනී පෙට්ටි නිමා කළ යුතුව ඇති බව හෙතෙම සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවයට කියා තිබිණ. මේ කාරණා නිසා විදේශියකට අලෙවි කෙරෙන මිනී පෙට්ටියකට ඇමෙරිකා ඩොලර් 5,000ත් 10,000ත් අතර මිල නියම කෙරෙන බව ඔහු පවසයි. දේශීය වශයෙන් ඔහුගේ මිනී පෙට්ටියක් අලෙවි වන්නේ ඇමෙරිකා ඩොලර් 1,000ක් වැනි මුදලකටය. මිල ගණන් මිනී පෙට්ටියේ ස්වභාවය මත වෙනස් වන බව හෙතෙම පෙන්වා දෙයි.

ජෝසොප් ඇෂෝන්ග්ගේ මිනී පෙට්ටි සාප්පුව සහ වැඩපොළ තිබෙන්නේ ඝානාවේ අක්‍රා අගනුවරින් බැහැර ප්‍රදේශයකය. මසකට මිනී පෙට්ටි හතක් අටක් තනා නිම කරන්නට ඔහුට සිදුවේ. එපමණ මිනීපෙට්ටි සංඛ්‍යාවක් මසක් තුළ තනා විකුණා ගන්නට හැකි වීම ඔහුට විශාල ධනයක් අද්දවන බව මොනවාට කියන්නද?. කෙසේ වුවත් ඝානාවේ මරණ අනුපාතය නම් මේ වනවිට පහළ බැස තිබේ. 2015 වසරේදී එරට මරණ අනුපාතය පුද්ගලයන් 1000ට 9ක් වූ නමුත් පසුගිය වසර වනවිට එය පුද්ගලයන් 1000ට 7ක් දක්වා අඩු විය. මරණ අනුපාතිකය පහළ බැස්ස ද ජෝසොප් ඇෂෝන්ග්ගේ එකම ආදායම් මාර්ගය අදටත් මිනී පෙට්ටි හැදීමය.

ජෝසොප් ඇෂෝන්ග්, ඝානාවේ සිටින එකම මිනීපෙට්ටි ෆැන්ටසිකාරයා ද නොවේ. එබඳු නිමැවුම්කරුවන් දහ දෙනෙක් පමණ ඝානාවේ සිටිති. ඔවුන්ගෙන් වැඩි පිරිසක් සිටින්නේ අක්‍රා අගනුවරට සමීප ප්‍රදේශවලය. කලාව ඉගෙන ගත්, වැඩ කරන්නට හැකි පිරිස්වලට මේ ක්ෂේත්‍රයට ඇතුළුවන්නට තවමත් ඉඩ තිබෙන බව ජෝසොප් ඇෂෝන්ග් පවසයි. ඒ නිසා නවකයන් පුහුණු කිරීමේ කටයුත්තත් ඔහු අතින් සිදු වේ.

“කෙනෙක් මළාම අපි සතුටු වෙන්නේ නැහැ. අපටත් දුකයි. අපි ඒ මියගිය පුද්ගලයාට ගැලපෙනම සමුගැනීම සූදානම් කරලා දෙනවා. ඒක කෙරෙන්නේ එයා කළ කී දේ අනුව. මොකද අපි විශ්වාස කරන්නේ මරණින් මතුවටත් ඒ සියල්ල අදාල වෙනවා කියලානේ” ඔහු සී.එන්.එන්. මාධ්‍යවේදියාට සමුදෙමින් තම රටේ සංස්කෘතිය යළිත් වරක් මතක් කර දී තිබිණ.

මියයන අනෙක් හැම කෙනකුගේම වෘත්තීන්ට අදාළව මිනී පෙට්ටි හදන ජෝසොප් ඇෂෝන්ග් මියගිය දාට ඒ මිනී පෙට්ටියේ වැඩ නිමැවෙන්නේ කා අතින්ද යන්න ගැටලුවකි. ඔහුගේ දේහය තැන්පත් කරන මිනී පෙට්ටිය කවර හැඩයකින් යුක්ත එකක් වනු ඇත්ද යන්න ඊටත් වඩා ලොකු ගැටලුවකි. සී.එන්.එන්. මාධ්‍යවේදියා නම් කියන්නේ එය මිටියක සහ තවත් මිනී පෙට්ටියක හැඩය ගනු ඇතැයි කියාය.

සී.එන්.එන්. ඇසුරෙනි

අධිපතියකුගේ ඉස්කෝල දවස්

$
0
0
ජන 27, 2018 01:00

ඔහු සිය න්‍යෂ්ටික හා මිසයිල බල පරාක්‍රමයෙන් ලෝකය හොල්ලාගෙන සිටිනනෙකි. ලෝක බලවතා වන ඇමරිකාවටත්, එහි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් අභියෝග කිරීමට තරම් එඩියෙන් යුතු, අණක් ගුණක් නැති තැනැත්තෙකි. ඔහු, එම දරදඩු පාලනය නිසාම ලෝකයෙන් හුදකලා වූ රටක් ඇති උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් ය. මේ හිතුවක්කාර නායකයා තවමත් වයස අවුරුදු තිස්හරක ‘සාපේක්ෂව බාලවයස්කාර නායකයෙකි‘. සෙසු රටවල නායකයන් සමඟ කිසිඳු කුලුපගකමක්, හෝ ඇඟෑලුම්කමක් නොදක්වන, හොර රහසේ තනිවම කටයුතු කිරීමට ප්‍රිය කරන කිම් ජොන් අන්, ඒ නිසාම ලෝකයට ගුප්ත චරිතයකි. ඔහු පෞද්ගලික ජීවිතය ලෝකයටම අභිරහසකි.

උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජොන් ඉල්ගේ දරුවන් පස්දෙනා අතරින් තෙවැන්නා වන්නේ කිම් ජොන් අන්ය. දරුවන් අතරින් ජොන් ඉල්ගේ වැඩිම අවධානයට ලක් වූයේ ද ජොන් අන් ය. තමාගේන් පසු උතුරු කොරියාවේ නයකත්වය භාරගැනීමට සිටින සිය ප්‍රියතම පුතුට යුරෝපීය අධ්‍යාපනයක් ලබාදීමට රිසිවූ ජොන් ඉල්, ඒ සඳහා තෝරා ගත්තේ ස්විට්සර්ලන්තයයි. 1990 වකවානුවේදී කිම් ජොන් අන් සිය යුරෝපීය පාසැල් අධ්‍යාපනයට අත්පොත් තැබුවේ ස්විට්සර්ලන්තයේ බර්න් නුවර මිල අධික පෞද්ගලික පාසලක් වන ‘ඉන්ටර්නැෂනල් ස්කූල් ඔෆ් බර්න්‘ හි ය. අද වන විට සිසුවකුගෙන් වසරකට පවුම් දහසය දහසක මුදලක් අයකරන මෙම පාසලේ ලැබූ මිල අධික අධ්‍යාපනය කිම් ජොන් අන් සම්බන්ධයෙන් ප්‍රතිඵලදායක වූයේ නැත. කිසිඳු විෂයකට සාමාන්‍ය පෙළ සාමාර්ථයක් ලබාගැනීමට අසමත් වූ තම පුතු කිම් ජොන් ඉල් පෞද්ගලික පාසලෙන් ඉවත්කර ගත්තේ තවදුරටත් ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ සා විශාල මුදලක් වැය කිරීම අපරාධයක් බව ඔහුට හැඟුණු නිසාය. ‘කෝඒනිස්‘ නුවර වූ රජයේ පාසලක් වන ‘ලිබෙෆිල්ඩ් ස්ටෙයින්හොල්සි‘ වෙත කිම් ජොන් අන් ඇතුළත් වූයේ 1998 වසරේදී ය. දෙවසරක කාලයක් එහි ඉගෙනුම ලැබූ ජොන් අන්ගේ හොඳම මිතුරා පෘතුගාල රාජ්‍ය තාන්ත්‍රිකයකුගේ පුතු වූ ‘ජෙරාඩ් මිකේලෝ ය‘. ඔහුගේ පාසල් මිතුරන්ට අනුව කිම් ජොන් අන් වූ කලී නිතර විහිළු තහළුවෙන් සිටීමට ප්‍රියකළ විනෝදශීලී දරුවෙකි. පන්තියේදී කිම් අසලම වූ අසුනේ හිමිකරු වූ මිකේලෝද මේ බව තහවුරු කරයි. අද වන විට බර්න් නුවර අවන්හලක ප්‍රධාන සූපවේදියා ලෙස සේවය කරන මිකේලෝ අදට ද කිම් ජොන් අන් හා කතබහා කිරීමට කැමැත්තෙන් සිටින්නේ පැරණි මිතුදම් අලුත් කර ගැනීමටය.

“ඒ කාලේ අපි හොඳට විනෝද වුණා. එයා ඇත්තෙන්ම හොඳ පුද්ගලයෙක්. ගොඩක් ළමයි එයාට ප්‍රියකළා. අපි පන්තියේ හිටපු දුර්වලම ළමයි නොවුණාට, දක්ෂම ළමයි වුණේත් නැහැ. අතරමැද දෙවන පෙළේ තමයි හිටියේ.

“කිම් ජොන් අන්ගේ තවත් පාසල් මිතුරකු වන බර්න් නුවර‘මාර්කෝ ඉම්හොෆ්ද‘ මේ බව සනාථ කරයි. කවුරුන් සමඟත් සුහදව විසීමට ප්‍රිය කළ කිම්, උතුරු කොරියාවේ සතුරු රටවල් නියෝජනය කළ ළමුන් සමඟ පවා සහයෝගයෙන් කටයුතු කර තිබේ. කොහොමටත්, දේශපාලනය ‘ලිබෙෆෙල්ඩ්‘ පාසලේ තහනම් විෂයක් වූ අතර, තර්ක කිරීමට බොහෝ දේවල් කිරීමට කිම් හා ඔහුගේ යුරෝපීය යහළුවන්ට තිබී ඇත.පැසිපන්දු ඒ අතරින් ප්‍රධානය.

පාසල් වියේදී කිම්ගේ විනෝදාංශය වී ඇත්තේ පැසිපන්දු ය. ඔහුගේ මිතුරන්ට අනුව එය ඔහුට විනෝදාංශයකටත් වඩා ඇබ්බැහියක්ව තිබේ. සුපිරි පැසි පන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩ්න්ගේ ප්‍රබල රසිකයකු වූ කිම්ගේ ප්‍රියතම පැසිපන්දු කණ්ඩායම වී තිබෙන්නේ ‘චිකාගෝ බුල්ස් ය‘. එපමණක්ද නොව අඩි පහයි අඟල් හයක් උසැති , මදක් තරබාරු කිම්ගේ ශරීර ආකෘතිය පැසිපන්දු ක්‍රීඩාවට යෝග්‍ය නොවුවද, ඔහු දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයකු ලෙස පාලේ නමක් දිනා ගත්තෙකි. සිය මිතුරන්ගේ ඊර්ෂ්‍යාවට බඳුන් වන ආකාරයේ මිල අධික ‘නයිකි‘ ක්‍රීඩා සපත්තු එකතුවක්ද ඔහු සතුව තිබී ඇත. දක්ෂ ක්‍රීඩකයකු වුවද, කිම් යනු පාසල්වියේ සිටම පරාජය වීම පිළිකුල් කළ අයෙකි. ඔහුගේ පාසල් මිතුරකු වන මාර්කෝ ඉම්හොෆ් පවසන්නේ කිම් හැමවිටම ජය හිමිකරගැනීම ඉතාම වැදගත් කොට සැලකූ බවයි. කිම් අදටද ප්‍රකට කරමින් සිටින්නේ ළමා වියේ සිටම ඔහු තුළවූ පරාජය වීමට අකමැති මානසිකත්වය බව අමුතුවෙන් කිව යුතු නැත.

ස්විට්සර්ලන්තයේ පාසල් අධ්‍යාපනය ලබන කාලයේ කිම් ජොන් අන්ගේ අනන්‍යතාව රහසක්ව තබාගැනීමට ඔහුගේ පියා ඇතුළු වැඩිහිටියන් පෙළඹී තිබේ. කිම්ගේ පාසල් වියේ හොඳම මිතුරා වන මිකේලෝ පවා තම උතුරු කොරියානු මිතුරා හඳුනාගෙන සිටියේ ස්විට්සර්ලන්තයේ වූ උතුරු කොරියානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරියකුගේ පුතු වන ‘පැක් අන්‘ ලෙසයි. නමුත් සෙසු මිතුරන්ට වඩා පැක් අන් වෙනස් බව මුලසිටම මිකේලෝට අවබෝධ වී තිබිණි. එකල සාමාන්‍ය දරුවකුට මිලදී ගත නොහැකි රූපවාහිනී, වීඩියෝ පටිගත කිරීමේ යන්ත්‍ර, ප්ලේ ස්ටේෂන් වැනි සුඛෝපභෝගි බඩු භාණ්ඩ රාශියක් පැක් අන්ට තිබූ බව ඔහුට මතක ය. එසේම පැක්ට ඕනෑකරන ඕනෑම ආහාරයක් සකස්කර දෙන ඔහුගේම සුපවේදියකු ද, රියැදුරකු ද හා පෞද්ගලික ගුරුවරයකු ද සිට ඇත. මිකේලෝ කියන පරිදි දිනක් පැක් තම අනන්‍යතාව මිකේලෝට හෙළිකොට තිබුණද, ඔහු එවෙලේ ඒ බව පිළිගෙන නැත. ඒ විහිළු තහළුවලට ප්‍රිය කරන තම මිතුරා තමා රැවටීමට ගත් උත්සාහයක් බව සිතමිනි.

මිකේලෝ පවසන පරිදි කෙතරම් සාදවලට සහභාගී වුවද පැක් මත්පැන් බිඳක් හෝ තොල නොගැවෙකි. ඔහු සම වයසේ සෙසු පිරිමි ළමුන් මෙන්, ගැහැනු ළමුන් කෙරෙහි උනන්දුවක් දැක්වුවකුද නොවීය. මවුරටින් ඈත්ව විසීම නිසා තම මිතුරා සාංකාවෙන් පසුවූ බව මිකේලෝට දැනුණද ඔහු කිසිවිටක උතුරු කොරියාව පිළිබඳ කතා කරනු අසා බව පවසයි. නමුත් තම ස්ටීරියෝ රේඩියෝවෙන් පැක් නිතරම පාහේ ශ්‍රවණය කොට ඇත්තේ උතුරු කොරියානු ගීත පමණකි.

කිම් ජොන් අන් මෙන්ම ඔහුගේ වැඩිමහලු සහෝදරයා වන ‘කිම් ජොන් චුල්‘ හා බාල සහෝදරිය ‘කිම් යෝ ජොන්‘ද ඔහු සමඟ එක්ව අධ්‍යාපනය ලබා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ය. එම කාලයේ ඔවුන් රැකබලාගෙන ඇත්තේ ඔවුන්ගේ මවු පාර්ශ්වයේ නැන්දණියක වන ‘කෝ යොන් සුක්‘ විසිනි. 2016 වසරේදී වොෂින්ටන් පෝස්ට් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය කියා තිබුණේ එම වකාවනුවේ තමා කිම් දරුවන්ගේ මව ලෙස පෙනී හිඳිමින් සාමාන්‍ය පවුලක් ලෙස ඔවුන් සමඟ ජිවත්වූ බවයි. ඔවුන්ට හැකිතාක් සාමාන්‍ය ජීවිතයක් ලබාදීමට උත්සාහ ගත් යොන් සුක්, සිය මිතුරන් නිවසට කැඳවාගෙන ඒමට කිම් දරුවන්ව දිරිගන්වා තිබේ. ඔවුන් වෙනුවෙන් රසකැවිලි පිළියෙල කිරීමට ඇය ප්‍රිය කළාය. කෙසේවුවද කිම් සහෝදර සහෝදරියන් අසාමාන්‍ය ලෙස ආරක්ෂා කෙරෙන බව ඔවුන්ගේ අසල්වැසියන්ට රහසක් වූයේ නැත. එය එකල නිතරම ඔවුන්ගේ කුතුහලයට බඳුන්වු මාතෘකාවක්ව තිබිණි.

කිම්ගේ ඇතැම් මිතුරන් මෙන්ම ‘මවු තනතුරෙහි‘ සිටි නැන්දණියද පවසන පරිදි කිම් කුඩා වියේ සිටම ඉවසිලිවන්ත නොවූ, වහා කිපෙන සුලු චරිතයකි. කෝපයට පත්වූ විට ඔහු හැසිරී ඇත්තේ විය හැකි අනිටු ඵලවිපාක ගැන හෝ නොතකා ය. යොන් සුක් කියන්නේ කිසිවිටක කිම් තම මව සමඟ එකටෙක කියමින් වාදයට නොගිය දරුවකු බවයි. ඒ වෙනුවට සිය විරෝධය ප්‍රකාශ කිරීමට ඔහු විකල්ප ක්‍රම යොදාගෙන තිබේ. නිරාහාරව හිඳිම, කිම් විරෝධය ප්‍රකාශ කළ එබඳු‍ වෛකල්පිත ක්‍රමයක් විය. පාසල් නිවාඩු සමයේදී කිම්ගේ නැන්දණිය ඔවුන් සියලු දෙනාම ස්විට්සර්ලන්ත ඇල්ප්ස් කඳුවැටිවලත්, ඉතාලියේත්, ප්‍රංශ රිවෙයිරාවේත් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩා සඳහාත් රැගෙන ගියාය. පසුකලෙකදී කිම් ජොන් අන් උතුරු කොරියාවේ නායකත්වයට පත්වීමෙන් පසු ‘වොන්සාන්‘ හි හිම මත ලිස්සායාමේ ක්‍රීඩා සඳහාම වෙන් වූ දැවැන්ත නිවාඩු නිකේතනයක් ඉදි කළේ ළමා වියේ එම මතක සැමරුම් අනුව යමිනි. ඒ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 35 ත් 350ත් අතර මුදලක් වැය කළ කිම් ජොන් අන්, ස්විට්සර්ලන්තයට ආවේණික උස් කඳුබිම්වල පිහිටි ගොවිපොළක් හා තණබිමක්ද 2013දී උතුරු කොරියාවේ ඉදි කළේය. ඒ සියල්ල ඔහුගේ ළමා වියේ ස්විස් මතකයන් වෙනුවෙනි.

2000 වසර මැදභාගයේදී ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය නිමා කළ කිම්, උතුරු කොරියාව බලා ගියේ සිය මිතුරන්ගෙන් සමුගන්නේ හෝ නැතිවය. පාසල් බලධාරින් පවසන පරිදි පියා විසින් පැක් පාසලෙන් ඉවත් කරවාගෙන ඇත්තේ තවදුරටත් ඔහුට අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීම නිෂ්ඵල වූවක් බව නිගමනය කිරීම නිසාය. නමුත් ඇතැමුන් පවසන්නේ ඇමරිකානු සංස්කෘතිය කෙරෙහි කිම් දැක්වූ ළැදියාව, නියමිත කාලය අවසන් වීමට පෙරම ඔහු උතුරු කොරියාව වෙත ගෙන්වා ගැනීමට හේතුවූ බවයි. ස්විට්සර්ලන්තයේ උතුරු කොරියානු තානාපති කාර්යාලය, කිම් එහි ගත කළ කාලය මුලුල්ලේ ඔහු කෙරෙහි දැඩි විමසිල්ලෙන් පසුවූ බවට සාක්ෂි ඕනෑ තරම් ය. ඔහුගේ මිත්‍ර සබඳතා හා වෙනත් සමීප සබඳතා සියල්ල පියා වන කිම් ජොන් ඉල් හා උතුරු කොරියානු බුද්ධි අංශ නිලධාරින් වෙත වාර්තා කිරීමට තානාපති කාර්යාලය සැදී පැහැදී සිට ඇත.

රුක්ලන්ති පෙරේරා


කාන්තාරයේ නැව රෙපෙයාර් කරන තැන

$
0
0
ජන 27, 2018 01:00
ඔටුවකුට බෙහෙතක්

වැළි කතරෙහි එහා මෙහා ඇවිදමින් යන ඔටුවන්ට අනෙකුත් සත්ත්වයන්ට මෙන් තම අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගත නොහැක. එමෙන් ම මැදපෙරදිග රටවලට ආවේණික වූ දැඩි උණුසුම හේතුවෙන් මෙම සත්ත්වයන්ට විදින්නට වන දුක් ගැහැට අනන්ත ය. විශේෂයෙන් ම ලෝකයේ ජීවත් වන සත්ත්වයන් අතුරින් ජල හිඟතාවයට මුහුණ දෙන සත්ත්ව කොට්ඨාසයක් ලෙස ද ඔටුවන් හැඳින්විය හැකි ය. කාන්තාරයේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන ඔටුවන්ගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම සඳහා ඉදි කළ රෝහලක් පිළිබඳ පුවතක් පසුගිය දිනක සඳහන් ව තිබුණි.

ඩුබායි රජයේ මැදිහත්වීම මත 2016 වර්ෂයේ දී ආරාබි එමිර් රාජ්‍යයේ ඩුබායිහි ඔටුවන්ට පමණක් වෙන්වූ රෝහලක් ඉදි කිරීමට සැළසුම් කරන ලදී. මෙම රෝහල ඩුබායිහි ඉදි කරන ලද ප්‍රථම ඔටු රෝහල ලෙස නම් කර ඇත. ඔටුවන් මැදපෙරදිග ජීවත් වන මිනිසුන්ට නැතුවම බැරි සත්ත්වයෙකු වීම සහ කාන්තාරවල ඇවිදගෙන යමින් දුෂ්කර ජීවිතයක් උරුමකරගත් මෙම සත්ත්වයන්ගේ ජීවිත සුරක්ෂිත කර ගැනීමත් අරමුණ කර ගනිමින් මෙවැනි රෝහලක් ඉදි කිරීමට පියවර ගත් බව ඩුබායි රජය වාර්තා කර තිබේ. දීර්ඝ කාලයක් කාන්තාරවල ඇවිදගෙන යාම හේතුවෙන් දුර්වල වී ගෙවී යන ඔටුවන්ගේ ශරීර අවයව යළි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා බෝහෝ විට ශෛල්‍යකර්ම කිරීමට සිදු වේ. ඒ හේතුවෙන් මෙම රෝහලේ විශේෂිත ශෛල්‍යාගාරයක් සහ එම ශෛල්‍යාගාරයට විශේෂිත වූ වෛද්‍ය කණ්ඩායමක් ද සේවය කරනු ලබයි. මෙම රෝහලේ අභ්‍යන්තර පිහිටීම මුළු මනින්ම සකස් වී පවතින්නේ ඔටුවන්ට අනනන්‍ය වූ ආකාරයට ය. විශේෂයෙන් ම රෝහලේ ඇඳ, ශෛල්‍යකර්මවලට අවශ්‍ය උපකරණ, සහ අනෙකුත් අංගෝපාංග නිර්මාණය කර ඇත්තේ ඔටුවන්ට ආවේණික ක්‍රමවේදවලට අනුව ය.

පවුම් මිලියන 8.11 ක් වැය කර ඉදි කරන ලද මෙම රෝහල මහජන‍යා යටතට පත් කරන ලද්දේ 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දීය . ‍රෝහල විවෘත කීරීමේ උත්සවය සඳහා පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තන් වුයේ ඩුබායි රාජ්‍යයේ අගමැති ඇතුළු එම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකි. මෙම රෝහල තුළ එකවර ඔටුවන් 20 දෙනෙකුට පමණ නේවාසික ප්‍රතිකාර ගැනීමට හැකිය. ලොව උසස්ම තත්ත්වයෙන් යුත් වෛද්‍ය උපකරණවලින් මෙම රෝහල සමන්විත වන අතර ඔටුවන් සඳහා මෙහි සුවිශේෂී වූ එක්ස්-රේ පරීක්ෂාවන් ද සිදු කිරීම විශේෂත්වයකි.මෙම රෝහලේ වෛද්‍ය උපකරණ ආනයනය කර තිබෙන්නේ දකුණු ඇමරිකාවෙනි. විශේෂඥ ශෛල්‍යවෛද්‍යවරයකු වන කෙඩ්රික් චාන් අවුරුදු 25 ක පමණ අත්දෑකීම් ඇති පළපුරුදු වෛද්‍යවරයෙකි. එපමණක් නොව ඔහුගේ ප්‍රධානත්වය යටතේ පුහුණු කරන ලද වෛද්‍යවරු කණ්ඩායමක් එංගලන්තය, මෙක්සිකෝව, සහ ජර්මනියේ සේවය කරමින් සිටී.

"මෙම රෝහලෙන් නවීන ක්‍රමවේදයන් යටතේ ඔටුවන්ට සුවිශේෂී ශෛල්‍යකර්ම සිදු කරනවා. සැබවින්ම අපි ඔටුවන්ට සිදු කරන ප්‍රතිකාර මඟින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කර හැකි වනවා. "මෙම සත්ත්වයින් ඉතාමත් ලෙහෙසියෙන් හසුරවන්න පුළුවන් සත්ත්ව කොට්ඨාසයක් කියලා අපි විශ්වාසයෙන් යුක්තව කියනවා"යනුවෙන් විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයකු වන කෙඩ්රික් චාන් මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

"අපි ඩුබායි රාජ්‍යයේ සිටින විවිධ සෞඛ්‍ය ගැටලුවලට පත් වූ ඔටුවන් සොයා ලබා කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරනු ලබනවා. අප ‍ඔටුවන්ට කරන සැත්කම් සඳහා පවුම් 745 ක් අය කරන අතර එක්ස්රේ පරීක්ෂාවක් සඳහා පවුම් 82 ක මුදලක් අය කරනු ලබනවා. සැබවින්ම අපි මැදපෙරදිග රාජ්‍යවලට අත්‍යවශ්‍ය සත්ත්වයන්ට ප්‍රතිකාර කරමින් උත්සාහ කරන්නේ මෙම සත්ත්වයින් සුරක්ෂිත කිරීමටයි."යනුවෙන් මෙම රෝහලේ අධ්‍යක්ෂක වන මොහොමඩ් අල් ‍බුලෝෂී පවසයි.

අන්තර්ජාලය ඇසුරිණි.

මදාරා මුදලිගේ

අමෙරිකාව ආණ්ඩුවෙන් අඩක් වැසෙයි

$
0
0
ජන 27, 2018 01:00
ධම්මික සෙනෙවිරත්න

අමෙරිකා ආණ්ඩුවේ ඇතැම් කොටස් හා කාර්යයන් මෙලෙස අක්‍රීය කිරීමට සිදුවීම දැවැන්ත අන්තර්ජාතික ප්‍රවෘත්තියක් වීම විමතියට කාරණයක් නොවේ. ලොව බලවත්ම රාජ්‍ය සහ එම ආර්ථිකය ගමන්කරමින් ඇති අර්බුදයේ තරම ඉන් පිළිබිඹුවීම ඊට මූලික හේතුවකි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වී වසරක් සපිරෙන විටම අමෙරිකා ආණ්ඩුවේ ඇතැම් කොටස් ක්‍රියා විරහිත කිරීමට (Shutdown) සිදුවිය. ඉකුත් 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඇරැඹි එම අක්‍රිය කිරීම 22 වැනිදා සවස දක්වාම පැවැතිණි. මීට පෙර අවසන් වරට මෙවැන්නක් සිදු වූයේ 2013 වසරේදීය.

මෙහිදී සිදුවන්නේ වැය ඇස්තමේන්තු පිළිබඳ නිගමනයකට එළැඹෙන තෙක් ෆෙඩරල් ආණ්ඩුවේ ඇතැම් කොටස් අක්‍රිය කිරීමයි. රජයේ සේවකයන්ට නිවාඩු ලබා ගැනීමට සිදුවන අතර එම නිවාඩු සඳහා ගෙවීමක් නොකෙරේ. ජාතික ආරක්ෂාව, විදුලිය උත්පාදනය, ගුවන් ගමන් හැසිරවීම වැනි අත්‍යවශ්‍යම සේවා සැපයෙන නමුදු වීසා, ගමන් බලපත්‍ර වැනි සේවා සැපයීමේදී පමාවක් සිදුවිය හැකිය. අමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මතිස් කියා සිටියේ ඔහුගේ දෙපාර්තමේන්තුවෙන් 50% ක් අක්‍රිය වූ බවය. නමුදු සේවා පවත්වාගෙන යාම, පුහුණු වීම්, බුද්ධි මෙහෙයුම් ආදියේ ද ඇණහිටීමක් සිදුවිණි. 2013 අක්‍රිය කිරීමේදී ජාතික උද්‍යාන ද වසා දැමිණි. එය මහජනයාගේ කෝපයට ද හේතු විය. බොහෝවිට මේ කාරණය සැලකිල්ලට ගනිමින් මෙවර එම උද්‍යාන වසාදැමීමෙන් වැළැකී තිබේ.

සුළුතරයේ බලය පෙන්වීම

අදාළ වියදම් දැරීම වෙනුවෙන් එම ඇස්තමේන්තු කොන්ග්‍රසය මඟින් සම්මත කිරීම හා ඊට ජනාධිපති ට්‍රම්ප්ගේ අත්සන යෙදීම 19 වැනිදා මැදියම් රාත්‍රිය වනවිට සිදුවිය යුතුව තිබිණි. එහෙත්, එය සිදු නොවූ බැවින් එම ක්‍රියාවිරහිත කිරීම දියත් කෙරිණි.

රිපබ්ලිකන් නියෝජිතයන් මෙම අක්‍රිය කිරීම හඳුන්වන්නේ ෂුමර් ක්‍රියා විරහිත කිරීම යනුවෙනි. ඊට හේතුව සෙනෙටයේ ඩිමොක්‍රටික් සුළුතරයේ නායක එක් ෂුමර් අදාළ පනත් ‍අවහිර කරන මෙන් ඉල්ලා සිටීමය. ඩිමොක්‍රටික් නියෝජිතයන් පවසන්නේ මෙහිදී ට්‍රම්ප් දැඩි ස්ථාවරයක පිහිටා සිටින සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳ කේවල් කිරීමට තමන්ට හැකිවූ බවය.

2013 දියත් කළ මෙවැනි අක්‍රිය කිරීම දින 16ක් පුරා බලපැවැත්විණි. ජනාධිපති ඔබාමාගේ පනත් පමා කිරීම එහිදී සිදුවූ අතර ක්‍රියාවිරහිත කිරීමේ ප්‍රතිඵල වශයෙන් ජාතික උද්‍යාන සහ ස්මාරක වසා දැමීම, රජයේ සේවකයන්ට වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට සිදුවීම ආදිය දැනගත හැකි විණි. අමෙරිකා, කැනඩා දේශසීමාව කි. මී. 8891 ක දුරක් මුර සංචාරයේ යෙදීමට සිදුවූයේ එක් භටයකුට පමණි.

අය-වැය සම්බන්ධයෙන් උද්ගත වූ අවුල්සහගත තත්ත්වයක් හේතුවෙන් රිපබ්ලිකන් ජනාධිපතිවරයකු සිටියදී මෙන්ම කොන්ග්‍රසයේ බහුතර බලය ද රිපබ්ලිකන් පක්ෂයට තිබියදී මෙලෙස ආණ්ඩුවේ ඇතැම් කොටස් අක්‍රිය කිරීමට සිදුවූයේ 1980න් පසු පළමු වතාවටය.

රජයේ වියදම් සඳහා ඉදිරිපත් වූ පනත සම්මත වීමට අවශ්‍ය ඡන්ද 60 ලබාගැනීමට අසමත් වූ අතර ඡන්දය ප්‍රකාශ වූයේ 50 – 49 ක් වශයෙනි. රිපබ්ලිකන් නියෝජිතයන් 5 දෙනකු ද ඡන්දය ප්‍රකාශ කළේ ඊට එරෙහිවය.

මේ තත්ත්වය පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් තබමින් පවසා සිටියේ, දේශසීමාවල ආරක්ෂක කටයුතු හා හමුදාමය කාර්යයන් සඳහා ප්‍රතිපාදන සම්පාදනයේදී රිපබ්ලිකන් නියෝජිතයන්ට කොපමණ තරම් අරගලයක යෙදීමට සිදුව තිබේදැයි නිරීක්ෂණය කිරීමට ලැබීම වැදගත් අවස්ථාවක් බවය. මෙම අක්‍රිය කිරීම ‘ෂුමර් අක්‍රිය කිරීම’ ලෙස ප්‍රකට වුවද ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස එය ‘ට්‍රම්ප් අක්‍රිය කිරීම’ ලෙස හැඳින්වීමට ද හැකි බවය. මෙහි දේශපාලන මිල ගෙවීමට සිදුවන්නේ කවර පාර්ශ්වයකට ද යන්න මාධ්‍ය ද අවධානය යොමුකර සිටින වැදගත් කාරණයකි.

අනාගත තත්ත්වය

මෙම අක්‍රිය කිරීම ආරක්ෂාව හා හමුදාමය කාර්යයක් සම්බන්ධයෙන් බලපාන අන්දම වැඩි අවධානයකට ලක්ව තිබිණි. එය යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවේම ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් පමා කිරීමට හේතුවනු ඇතැයි කරුණු ඉදිරිපත්වී ඇත.

එමෙන්ම මින් පෙරද අත්දැක ඇති පරිදි මෙවැනි අවස්ථාවල බොහෝදුරට අර්බුදයට යන්නේ සමාජ ආරක්ෂණ, සුබසාධන ආදී වැඩපිළිවෙළය. ඒවාට වෙන්කෙරෙන මුදල් ප්‍රතිපාදන කපාහැරීමක් බොහෝදුරට සිදුවේ. මෙවර අක්‍රිය කිරීමේදී ද ළමා සෞඛ්‍ය රක්ෂණ වැඩසටහන (CHIP) ගැන වැඩි අවධානයක් යොමුව තිබිණි.

වත්මන් මුදල් වර්ෂය වෙනුවෙන් ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොපවතින පසුබිමක මෙවැනි තාවකාලික අක්‍රිය කිරීම් ඉදිරි මාස කිහිපය තුළදී ද අපේක්ෂා කළ හැකිය. ජනාධිපති ට්‍රම්ප් සංක්‍රමණික ප්‍රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දැඩි පිළිවෙතකි. එය ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ පටන්ම දැකිය හැකිවිය. ළමයින් රටට ගෙනඒම පිළිබඳ ප්‍රතිපත්තිය (DACA) ආසන්න අක්‍රිය කිරීමේදී කේන්ද්‍රීය සාධයක් බවට පත්විය.

ට්‍රම්ප් මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූ අමෙරිකා, මෙක්සිකෝ දේශසීමා පවුර වැනි ව්‍යාපෘතීන්ට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීම ද අර්බුදයට ලක්වන ලකුණු පහළවී තිබේ. මෙහිදී ඩිමොක්‍රටික් පක්ෂය දැරූ වෑයම ව්‍යර්ථ කිරීමට රිපබ්ලිකන් පක්ෂයට හැකිවීම ඔවුන් ලැබූ තාවකාලික ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිවේ.

අමෙරිකා ආණ්ඩුවේ 2018 මූල්‍ය වර්ෂය ඇරැඹුණේ 2017 ඔක්තෝබර් 1 වැනිදාය.විසර්ජන පනත සම්මත නොවීම ඊට බලපෑ අතර කොන්ග්‍රසය ආණ්ඩුවේ වියදම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදුන්නේ අවස්ථා 3කදීය. පළමුවැන්න, 2017 දෙසැම්බර් 8 වැනිදා ද දෙවැන්න, දෙසැම්බර් 22 වැනිදා ද සිදුවූ අතර තුන්වැන්න ජනවාරි 19 වැනිදාට යෙදිණි. ක්‍රියා විරහිත වීම දියත් වූයේ එම තුන්වැනි අවස්ථාවේය.

අමෙරිකා ආණ්ඩුවේ ඇතැම් කොටස් හා කාර්යයන් මෙලෙස අක්‍රීය කිරීමට සිදුවීම දැවැන්ත අන්තර්ජාතික ප්‍රවෘත්තියක් වීම විමතියට කාරණයක් නොවේ. ලොව බලවත්ම රාජ්‍ය සහ එම ආර්ථිකය ගමන්කරමින් ඇති අර්බුදයේ තරම ඉන් පිළිබිඹුවීම ඊට මූලික හේතුවකි. විදෙස් මාධ්‍ය එය නොයෙක් දෘෂ්ටිකෝණවලින් විග්‍රහ කර තිබිණි. අමෙරිකාවේ යුරෝපීය මිතුරන් මෙන්ම චීන, රුසියා මාධ්‍ය ද සමස්තයක් ලෙස එය විග්‍රහකළේ අමෙරිකානු දේශපාලන පද්ධතියේ යම් තියුණු වරදක් ඇතැයි අනුමාන කරමිනි. ඇතැම් විග්‍රහ මඟින් ජනාධිපති ට්‍රම්ප්ට හා රිපබ්ලිකන් පාලනයට ඇඟිලි දිගු වී තිබිණි. මෙම අක්‍රිය කිරීමෙන් පෙනෙන්නේ යම් බලවත් වරදක් සිදුව ඇති බවය යන්න බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

තම රටවල පුරවැසියන්ට මෙම ක්‍රියාවිරහිත කිරීම බලපාන්නේ කෙසේද යන්න ගැනද සෙසු රටවල් වැඩි උනන්දුවක් දැක්වූ බව පැහැදිලි විය. සිය සංචාරක කටයුතුවලට එය බලපානු ඇති ද යන්න දැනගැනීමට ද ඔවුන්ට වුවමනා වී තිබිණි.

ජනමාධ්‍ය කී කතා

මෙක්සිකෝවේ පළවන ප්‍රධානම පුවත්පත වන ‘එල්යුනිවර්සල්’ පෙන්වාදී තිබුණේ කොන්ග්‍රසයේ මණ්ඩල 2 කට රිපබ්ලිකන් බහුතරයක් සහිතව තිබියදී මෙලෙස අක්‍රිය කිරීමකට යාමට සිදුවූ පළමු ජනාධිපතිවරයා ට්‍රම්ප් බවය.

බ්‍රිතාන්‍යයේ ‘ෆයිනෑන්ෂියල් ටයිම්ස්’ පුවත්පත ද ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති විවේචනාත්මකව විග්‍රහ කර තිබිණි. ඩිමොක්‍රටික් පක්ෂය සමඟ නිසියාකාර ගනු - දෙනු කිරීමට ඔහු අසමත්ව ඇති බවද ධවල මන්දිරයේ තීරණාත්මක නිලධාරීන් නොතකා හැර ඇති බව ද ඉන් පෙන්වාදී තිබිණි.

ඇතැම් මාධ්‍ය මෙය ට්‍රම්ප්ගේ වරදක් නොව අමෙරිකානු දේශපාලන ක්‍රමයේ වරදක් ලෙස විග්‍රහ කර තිබේ. එය මූලික වශයෙන්ම බිඳවැටී ඇති බව ඉන් පෙන්වා දී තිබිණි.

අමෙරිකානු දේශපාලන පද්ධතිය බරපතල අර්බුදයට යාමක් ලෙස මෙය අක්‍රිය කිරීම හැඳින්විය හැකි බව චීන ප්‍රවෘත්ති සේවය, ෂිංහුවා අවධාරණය කර තිබිණි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් ලෙස මෙය විග්‍රහ කළ හැකි යැයි කියා සිටියේ, ෂිංහුවා පුවත්පතට විග්‍රහයක් සැපයූ ලියු චැංග්ය.

රුසියානු මාධ්‍ය විශ්ලේශනයන්ට අනුව, අමෙරිකාවේ දේශපාලන ක්‍රමය පමණක් නොව සමස්ත රාජ්‍යයම අර්බුදයට ලක්වෙමින් තිබේ. රටක් වශයෙන් ඔවුන් බංකොලො‍ත් වන අයුරු මේ ගමන් මාර්ගයේ ඉදිරියේදී දැකගත හැකි වන බව ඉන් පෙන්වා දී ඇත.

මහලු නෝනාගේ කනෙන් රිංගයි

$
0
0
ජන 29, 2018 01:00

 

හෝටල් හිමිකරු වූ ‘පිටී‘ එදින රාත්‍රි භෝජනය සඳහා ඇබග්නේල් සමඟ එක්වෙද්දී ඔහු සිටියේ ඕනෑම දෙයක් කරවාගත හැකි ආකාරයේ විනෝදජනක ස්වභායකිනි. සිය දුක්ගැනවිල්ල ඇබග්නේල් ඔහු හමුවේ දිග හැරියේය.

“පිටී, මම හරිම අකරතැබ්බයක හිරවෙලා ඉන්නේ.“ ඇබග්නේල් තවත් බේගලයක් ඇදබෑමට ප්‍රවේශය සකස් කර ගත්තේය.

“යකාටම ගියාවේ! මොන වින්නැහියක්ද දැන් කරගෙන තියෙන්නේ ?“ පිටී කතාවට රුකුල් දුන්නේය.

මගේ නිව්යෝක්වල ප්‍රධානියා මේ දැන් මට කතා කළා. එයා කියනවා අද දවල් වෙනකොට මම මෙක්සිකෝවෙන් ලන්ඩනයට පිටත්වෙලා, එහෙන් පිටත් වෙන්න තියෙන පෑන් ඇම් ගුවන්යානයේ පාලනය භාරගන්න කියලා. ඒකේ නියමුවා හදිසියේ අසනීප වෙලා. මම මේ කරකියා ගන්න දෙයක් නැතිවයි ඉන්නේ“

“ඉතින් මොකද ? ඕක මහා ලොකු දෙයක්යැ ? මට තියෙන කරදර ඔයාට තිබුණා නම් ඔයා මොනවා කියාවිද ?“ පිටී කියා සිටියේ සැහැල්ලුවෙන් සිනාසෙමිනි. ඇබග්නේල් එය එසේ නොවන බව අඟව හිස සැළුවේ සිය මුහුණට තවත් බැරූරුම්බවක් ආරූඪ කර ගනිමින්.

“ මේකනේ පීටි, මගේ ගාව පාස්පෝට්එකක් නැහැනේ. ඒක නිව්යෝක්වල දාලා ඇවිල්ලා. ගුවන් නියමුවෙක් විදිහට පාස්පෝට්එක නිතරම මං ගාව තියෙන්නම ඕනෑ. විශේෂයෙන්ම මෙහෙම රටකින් රටකට පියාසර කරත්දී. මේ කලබලේ හැටියට මට නිව්යෝක් ගිහිල්ලා ඒක ගන්න පුළුවන්කමකුත් නැහැ. මගේ ලොක්කා දැනගත්තොත් මම මෙක්සිකෝ සිටිවල ඉන්නේ පාස්පෝට් එකත් නැතිව කියලා රස්සාවත් ඉවරයි. මම මොකද්ද කරන්නේ ?“

ඇබග්නේල්ගේ සාර්ථක රංගනය හමුවේ පීටී අසරණ වූ නමුත් කදිම විසඳුමක් ද ඔහු සතු විය.

“ඔයා ඇත්තටම කරදරේක වැටිලයි ඉන්නේ. මට මෙහෙම දෙයක් ඔයා වෙනුවෙන් කරන්න පුළුවන්. ඒක සාර්ථක වෙයිද කියලා නම් මට පොරොන්දු වෙන්න බැහැ. ඒත් අපි උත්සහ කරලා බලමු. ඔයා අහලා තියෙනවාද ‘කිටී කෝර්බට්, ගැන?“

“කවදාවත් නැහැ. “

“එයා මෙක්සිකානු සමාජ සිදුවීම් වාර්තා කරන්නියක්. වයසක ආර්යාවක්! අවුරුදු විස්සක තිහක ඉඳලා මගේ හෝට‍ලයට එන ගරු කටයුතු කෙනෙක්. කාරණා දන්න අය කියන්නේ එයාට මෙක්සිකෝ ජනපති මන්දිරයේ ඉඳලා ඇමරිකාවේ ධවල මන්දිරය දක්වාම සබඳතා තියෙනවා කියලයි. ඒක ඇත්ත අර කවුළුව ගාව මේසේ ඉඳගෙන ඉන්නේ එයා. කොච්චර උසස් කාන්තාවක් වුණත් හරිම නිහතමානිය. ඇමරිකානුවන්ට එයා කොහොමත් කැමතියි. කොටින්ම එයාලට අම්ම කෙනෙක් වගෙයි. උදව්වක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. බීමක් අරන් දීලා, ලස්සන වචන ටිකක් දාලා, පොඩ්ඩක් අඬලා හුරතල් වුණොත් එයා අපිට උදව් කරාවි. “

කිටී කෝර්බට් ඇත්තෙන්ම දයාන්විත කාන්තාවක වුවාය. මිනිත්තු කිහිපයක සුහද කතාබහෙන් පසු ඇය පිටී ඇමතුවාය.

“හොඳයි හෝටල් මහත්තයා. දැන් මට කියන්න මොනවාද ඔයාට මේ පාර ඕනේ කියලා. ඔයා කවදාවත් මගෙන් උදව්වක් අරගන්නේ නැතුව නැගිටිලා යන්නේ නැහැ කියලා මම දන්නවා.“

“දෙයියන්පල්ලා ! මම කිසිම දෙයක් ඔබතුමියගෙන් ඉල්ලන්නේ නැහැ. නමුත් මේ ෆ්‍රෑන්ක්ට පොඩි අකරතැබ්බයක් වෙලා. ෆ්‍රෑන්ක් ඔයාම කියන්න.“

තමා පීටීට කියූ බේගලයම ඇබග්නේල් කිටී හමුවේද ඇඳ බෑවේය. ඊටත් වඩා තත්වය බැරූරුම් බව දක්වමින් ඔහු වැළපුණේ මහලු ආර්යාවගේ හිත උණුවන අන්දමිනි. කිටීට ඇබග්නේල්ගේ අඳෝනාව නෑසු කන් ඇතිව සිටිය නොහැකි විය.

“ ඔයාට පාස්පෝට් එකක් නැතුවම බැහැ. එහෙම නේද? හැබැයි ප්‍රශ්නේ ඔයාට දැනටමත් එකක් තියෙනවා. ඒක නිව්යෝක්වල. ඔයාට පාස්පෝට් දෙකක් ළඟ තියාගන්න බැහැ. ඒක නීතිවිරෝධියි. ඔයා දන්නවානේ ?“

“මම දන්නවා. මටත් හිතට වද දෙන්නේත් ඒකම තමයි. ඒත් මට මේ රස්සාව නැති කර ගන්න බැහැ නෝනා. තවත් ගුවන් සේවයකට එක් වෙන්න මට තව කල්පයකටත් බැරි වේවි. පෑන් ඇම් එකට තේරුණෙත් අවුරුදු ගාණක් එයාලගේ පොරොත්තු ලැයිස්තුවේ ඉඳලයි.‘ ඇබග්නේල් නැවතී හුස්මක් ගත්තේය. “මට පයිලට් රස්සාව නොකර ඉන්න බැහැ නෝනා. මගේ ජීවිතයත් හරි, මේ රස්සාවත් හරි. ගුවන්යානා පැදවීම තමයි මගේ ජිවිතය.“

කිටි කොර්බට් හිස වැණුවේ කල්පනා සහගත අනුකම්පාවකිනි. ඇය පිටී ගෙන් දුරකතනයක් ඉල්ලා සිටියාය. අංකයක් කරකවා ඇය ස්පාඤ්ඤ බසින් කතා කරන්නට පටන් ගත්තාය.

“සොන්ජා, මේ කිටී කොර්බට්. මට ඔයාගෙන් උදව්වක් ඕනෑ.....“ ඇය ඇබග්නේල් පත්ව සිටින දුෂ්කරතාව සිය මිතුරියට විස්තර කළාය.

“මට තේරෙනවා සොන්ජා. නමුත් මම ඒකට විකල්පයක් හිතලයි තියෙන්නේ. ඔයා එයාට පාස්පෝට් එකක් නැතිවුණාම හරි හොරකමට ලක්වුණාම හරි කරන විදියට.තාවකාලික පාස්පෝට් එකක් නිකුත් කරන්න එයා නිව්යෝක්වලට ගියාම ඒක ඉරලා දාලා අලුත් එකක් ගන්න පුළුවන්නේ.“ එහා කෙළවරෙන් කියැවෙන දේට සාවධානව ඇහුම්කන් දුන් ඇය ඇබග්නේල වෙත යළි හැරුණාය.

“ඔයා ගාව උප්පැන්න සහතිකේ තියෙනවාද?“

“ඔව් මම ඒක මගේ පර්ස්එකේ තියාගෙනමයි ඉන්නේ. ටිකක් පොඩිවෙලා. හැබැයි කියවාගන්න පුළුවන්.“

“ඔව් සොන්ජා එයා ගාව උප්පැන්නේ තියනවා. එහෙම නම් ඔයාට පුළුවන් නේද මේක කරලා දෙන්න? නියමයි! ඔයා නම් හැබෑම මිතුරියක්. මම ඔයාට ණය ගැතියි. අපි ලබන සතියේ හමුවෙමු.“

කිටී ඇමතුම විසන්ධිකොට ඇබග්නේල් වෙත හැරුණාය. “හොඳයි ෆ්‍රෑන්ක් ඔයාට හෙට දහයට මෙක්සිකෝ සිටිවල ඇමරිකානු තානාපති කාර්යාලයේ සහාය තානාපතිවරිය සොන්ජා ගන්ඩර්සන් හමුවෙලා පාස්පෝට් එකක් ගන්න පුළුවන්. ඔයාගේ පාස්පෝට් එක නැතිවෙලා. ඔයා ගැන අහන කාට වුණත් කියන්නේ එච්චරයි. මේ දේවල් ඔයා වෙන කාටහරි කියලා තිබුණොත් ඒක ඔයාගේ අවසානය.“

ඇයව උණුසුම්ව සිපගත් ඇබග්නේල්ට දැණුන සතුට වචනයට පෙරළිය නොහැක. කිටි, පිටී හා තමාද වෙනුවෙන් හොඳම වර්ගයේ ෂැම්පේන් ඇණවුම් කළ ඇබග්නේල් සතුට වැඩිකමටම ජිවිතයේ පළමුවරට ෂැම්පේන් බිඳක් තොල ගෑවේය. ඔහුගේ සිතට මහත් සහනයක් දැනෙමින් තිබිණි. ඉන් පැයකට පසු සිය හොඳම ඇදුම් කට්ටල තුනකුත් මුදලුත් පමණක් සූට්කේසයකට අසුරාගත් ඇබග්නේල පිටීට සමුදුන්නේ, කළ උදව්ව වෙනුවෙන් ඔහුට තවත් ව්‍යාජ පෑන් ඇම් චෙක්පතකින් ගෙවීම් කරමිනි. මෙක්සිකෝ සිටි හි ඇමරිකානු තානාපති කාර්යාලයේ සොන්ජා ගන්ඩර්සන් හමුවේ පසුදින ඇබග්නේල් පෙනී සිටියේ පෑන් ඇම් නිල ඇඳුමින් සැරසී බලාපොරොත්තු පෙරදැරිවය. කඩිසර එමෙන්ම කාර්යක්ෂම තැනැත්තියක වූ සොන්ජා ගන්ඩර්සන් මිනිත්තුවක්වත් අපතේ නොයවා වැඩට බැස්සේ සිය මිතුරියට ෙවූ පොරොන්දුවට සාධාරණය ඉටු කිරීමටය.

“කරුණාකරලා ඔයාගේ උප්පැන්න සහතිකේ දෙන්න.“ ඇබග්නේල් දුන් සහතිකය හොඳින් අධ්‍යනය කළ ඇයට කිසියම් ගැටලුවක් මතුවු බව පෙණිනි.

“මම හිතුවේ කිටී මට කිව්වේ ඔයාගේ නම ෆ්‍රෑන්ක් විලියම්ස් කියලායි. නමුත් මේකේ විදිහට ඔයාගේ නම ෆ්‍රෑන්ක් ඩබ්. ඇබග්නේල් (කණිෂ්ඨ)“

ඇබග්නේල් සිනාසුනේය. මිට වඩා අපහසු කපොලු ඔහු ඕනෑතරම් පැන තිබේ. “ඇත්තෙන්ම. මගේ නම ෆ්‍රෑන්ක් විලියම්ස් ඇබග්නේල් (කණිෂ්ඨ). ඔයා දන්නවානේ කිටීගේ හැටි. එයා ඊයේ රෑ ටිකක් වැඩියෙන් ෂැම්පේන් බීලයි හිටියේ. එයා හැමෝටම මාව හඳුන්වලා දුන්නේ ෆ්‍රෑන්ක් විලියම්ස් කියලයි. ඒත් මම හිතුවේ එයා ඔයාට මගේ හරිම නම දෙන්න ඇති කියලයි. “

“වෙන්න ඇති.“ ගන්ඩර්සන් මහත්මිය එවර සිය එකඟත්වය පළ කළාය. “එයා ඊයේ රෑ කියපු හුඟක් දේවල් මට පැහැදිලිව ඇහුණෙත් නැහැ. මේ යක්ෂ මෙක්සිකානු දුරකතන මාර්ග හැමතිස්සේම ලෙඩ දෙනවා. කමක් නැහැ. ඔයා කොහොමටත් පෑන්ඇම් ගුවන් නියමුවෙක්. ඔයාට ෆ්‍රෑන්ක් විලියම්ස් කියලා නමේ කොටසකුත් තියෙනවානේ. ඒ නිසා ඔයා වෙන්න ඕනෑ ඇය කියපු තැනැත්තා.“ එසේ කියමින් තමාට උපන් සැකය තමා විසින්ම ලොප්කරගත් සොන්ජා ගන්ඩර්සන් ඇබගනේල්ට තාවකාලික ගුවන්ගමන් බලපත්‍රයක් සකස් කර දුන්නාය. විනාඩි පහළොවකට පසු තානාපති කාර්යාලයෙන් පිටවූ ඇබග්නේල් යළිත් සිය සාමාන්‍ය ඇඳුමකට මාරුවී ගුවන් තොටුපළ වෙත ගොස් ලන්ඩනයට ගුවන් ප්‍රවේශපතක් මිලදී ගත්තේය. ඒ කලකට පසු මුදල් ගෙවා ඔහු මිලදී ගත් පළමු ගුවන් ටිකට්පතය. ගුවන්යානය තවත් පැයක් පමණ ප්‍රමාද වන බව දැනගත් ඇබග්නේල් එම කාලය අපතේ නොහැර මෙක්සිකෝවෙන් පිට වීමට පෙර අවසන් වරට සිය ව්‍යාජ චෙක්පත්වලින් එරට අගනුවර විසිතුරු කළේය. ඇබග්නේල් බ්‍රිටිෂ් ඕවර්සීස් එයාර්වේස් ගුවන් යානයට ගොඩවුයේ අමතර ඩොලර් හයදහස් පන්සියයක් අතැතිවය. ඒ මෙක්සිකෝ පොලිස් නිලධාරින්ද තමා පසුපස හඹාඑන පොලිස් නඩයට ඇඳාගනිමිනි.

ලන්ඩනයේ ගතකළ සතියක කාලයද ඇබග්නේල්ට මානසිකව සුවදායක කාලයක් වුයේ නැත. ඇමරිකානු, මෙක්සිකානු මෙන්ම ලන්ඩනයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් නිලධාරින් යන මේ කවුරුත් සැදි පැහැදි සිටින්නේ තමා වැනි හොර මැරයන් අත්අඩංගුවට ගැනීමට බව හෙතෙම නිතර සිහි කළේය. තමාගේ බෙල්ලටම තොණ්ඩුව සිරවී ඇති බව දැන දැනම වුවද, තක්කඩිකම් නතර කිරීමට ඔහුට සිත දුන්නේ ද නැත. ඒ වෙනුවට ඇබග්නේල් උත්සහා කළේ, ඕනෑම අපරාධකරුවෙක් කරන්නා මෙන් ඒවා සාධාරණීකරණය කරමින් තමා සනසා ගැනීමටය. නීතියෙන් පැන යාමට නම් තමාට වැඩි වැඩියෙන් මුදල් අවශ්‍ය බවත්, මුදල් සෙවීමට නම් හොරකම හා වංචාව සරුවටම කරගෙන යා යුතු බවත් ඇබග්නේල්ගේ විශ්වාසය විය. ආත්ම ආරක්ෂාව වෙනුවෙන් හොරකම් කරන බව තමාටම ඒත්තු ගැන්වු ඇබග්නේල් සතියකට පසු ප්‍රංශයට පලා ගියේ ලන්ඩනයද හොරචෙක්පත්වලින් සංතෘප්ත කිරීමෙන් පසු ය. ඇබග්නේල් සිටියේ, කිසිදු පාලනයකින් තොරව කරකැවෙමින් තිබෙන මෙරිගෝ රවුමකින් බිමට බැස ගැනීමට නොහැකි අයෙකුට දැනෙන තෝන්තුවාවකිනි.

ඔහුට සුරූපී ප්‍රංශ තරුණියක වන මොනික් ලැවලියර් හමුවන්නේ එවන් අවධියකදීය. ඇය එතෙක් ඔහුට දැනෙමින් තිබු අසහනය දුරු කළා පමණක් නොව පහසු ධන ආකරයකට ද මඟ හෙළිකළාය. ඒ මුද්‍රණ ශිල්පියෙකු වු සිය පියාට ඇබග්නේල් හඳුන්වා දීමෙනි. වැඩිහිටි දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන ඇබග්නේල් අදටද තමා ඇයට බෙහෙවින් ණයගැති බව කියන්නේ කිසිදු පැකිලීමක් නැතිවය. ඇබග්නේල් මොනික් සමඟ හාද වෙත්දී ඔහු පැරිසියේ පැය තුනකට වඩා ගත කර තිබුණේ නැති බව ඔහුට මතකය.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා 

පිය සෙනෙ­හ­සින් උපන් කතා

$
0
0
ජන 30, 2018 01:00

රුසියානු ලේඛක ඇලෙක්සැන්ඩර් රස්කින්ගේ "When Daddy Was a Little Boy" (මගේ පියාගේ ළමා කාලය) නමැති ළමා සාහිත්‍ය කෘතිය පිළිබඳව යමක් ලිවීමේ අදහසින්, අන්තර්ජාලයේ සැරිසරනා'තර කුන්ජිලා මාසිලාමනි නමැත්තියක, දෙසැම්බරයේ දී එක්කොට තිබූ කෙටි සටහනක් අසල මගේ නෙත රැඳුණි. එය මෙසේ විය.

"කොල්කතාවේ සිට මගේ නිවස බලා යමින් සිටියදි, ඇලෙක්සැන්ඩර් රස්කින්ගේ "මගේ පියාගේ පුංචි ළමා කාලය"නමැති පොත කියැවීමි. එක් කලෙක සෝවියට් පතපොතින්, ඉන්දීය පොත් සාප්පු පිරී තිබුණි. ඒ අතීතය දැනුදු මා තුළ ඇති කරන්නේ සතුටකි. විටෙක එය වේදනාකාරීය. දැන එම ළමා නවකතාවේ මලයාලම් පරිවර්තනයක් ද පළ වී ඇත."

මෙය කියැවූ සැණින් මා තුළ සිටින අතීතකාමී පාඨකයා ද ආවර්ජනාත්මක කාල යාත්‍රාවක යෙදෙන්නට විය. සිංහලයට පරිවර්තනය වූ රුසියානු සහ සෝවියට් සාහිත්‍ය කෘති, ළමා සාහිත්‍ය හා නොවැටහෙන දේශපාලන කෘති, අපේ පොත් රාක්කවලට ද එන්නට පටන් ගත්තේ 60-70 දශකයන්හි සිටය. සෝවියට් දේශයේ ම මුද්‍රණය කොට එවූ, අමුතු සිංහල අකුරු සහිත අලංකාර පෙනුමෙන් මෙන්ම මිලෙන් ද අඩු එම පොත්, යොවුන් වියේ සිට අප සිත් දිනා ගැනීමට සමත් විය. දැදිගම වී. රුද්‍රිගු, පද්ම හර්ෂ කුරණගේ වැනි නම් ද, සිංහල පරිවර්තකයන් වශයෙන් අප මතකයෙහි රැඳුණි. අප නොදැන සිටි සෝවියට් ලේඛක ලේඛිකාවන්ගේ කෘතින් සිංහලට නැඟුණු නමුදු දොස්තයෙව්ස්කි, තෝලස්තෝයි, චෙකෝෆ්, ගෝර්කි ආදීන්ගේ ලෝක ප්‍රකට සාහිත්‍ය නිර්මාණ ඒ අතරට එක්වූයේ ඉතා අඩුවෙනි. එකල පැවැති සෝවියට් සංස්කෘතික ප්‍රතිපත්තිය ඊට බලපෑ බව, අපට හෙළි වූයේ පසු කාලයක දී ය. කිසිදු සෝවියට් කවියකුගේ කෘතියක් සිංහලට පරිවර්තනය නොවීම ද විශේෂයකි.

රුසියාවේ මුද්‍රණය කොට එවන ප්‍රකාශන අලෙවිය සඳහාම වෙන් වූ, මහජන ප්‍රකාශන ආයතනය, කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටා තිබුණි. ඊට අමතරව, කෝට්ටේ පාරේ ඇත්ත කාර්යාලය ඉදිරිපස ද කුඩා පොත් සලක් තිබූ අතර ඉංග්‍රීසි, සිංහල රුසියානු ප්‍රකාශන එතනින් ද මිලදී ගත හැකි විය. කොමියුනිස්ට් පක්ෂයට හිතවත් වූ ද, 'ඇත්ත'පත්‍රයට ලිපි සපයන්නා වූ ද නොඑසේ නම් එහි කතු මඬුල්ලේ අය හෝ ඔවුන් හමුවීමට එන ප්‍රකට චරිත එම පොත් හලේ දී ද දැක ගන්නට ලැබුණි. සයිමන් නවගත්තේගම, එම පොත් හලට වැදී පොත් තෝරන අන්දම මට නිතර ඇස ගැසුණි.

සෝවියට් දේශයෙන් උණු උණුවේ ආ, ඇතැම් බරපතළ ඉංග්‍රීසි පොත්, රුපියල් දෙක, තුන වැනි අඩු මිලට අප එදා එකතු කර ගත්තේ, අනාගතයේ දී හෝ භාෂා දැනුම වැඩුණු පසු, කියවන අපේක්ෂාවෙනි. ඇත්තෙන්ම, එම තීරණයේ වටිනාකම පසුව අපට දැනුණේ 1991 දී සෝවියට සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් අනතුරුව විදේශ භාෂා පරිවර්තන ව්‍යාපෘතිය ද නතරව ගිය හෙයිනි. එදා එසේ සුලබව තිබූ සෝවියට සාහිත්‍යය, අපේ පරම්පරාවේ බොහෝ දෙනකුට මහත් ආස්වාදයක් මෙන්ම නිර්මාණ ආභාෂයක් ද වූ බව සැබෑවකි.

වර්ණ මුද්‍රිත පොත් දුලබ එකල, සෝවියට් ළමා පොත්, ඉතා ජනප්‍රිය විය. මිළ අඩු හෙයින් කාහටත් මිළදී ගත හැකි විය. 'නොගැළපෙන රෝද', 'හත්පෙති මල', 'වැඩ බැරි දාස', 'ලස්සන වසිලිස්සා'වැනි ළමා පොත් එදා කියවූ අයගේ මතකයේ තවමත් රැඳී ඇති බවට සැක නැත. (පින්තූර කතා, වීර කූඹියා, සුදු මුවා තවත් එබඳු පොත් කීපයකි.)

'ප්‍රගති ප්‍රකාශන' (Progress Publishers) නමින් මුලදී හැඳින්වුණු, සෝවියට් විදේශ භාෂා ග්‍රන්ථ ප්‍රකාශන (FLPH), ළමා ග්‍රන්ථ පළ කළේ 'රාඩුගා' (RADUGA) නමිනි. විද්‍යා හා තාක්ෂණ ග්‍රන්ථ 'මිර්' (Mir) නමින් හැඳින්වුණි. 'ස්පුට්නික්'නමින්, ඩයිජස්ට් වර්ගයේ සඟරාවක් ද, 'සෝවියට් ලිට්රේචර්'නමින් අගනා සාහිත්‍ය සඟරාවක් ද පළ කෙරුණි. ඊට අමතරව 'සෝවියට් දේශය'සඟරාව ද සිංහල, දෙමළ භාෂාවලින් ප්‍රකාශයට පත්විය. 71 කැරැල්ල සමයේ දී සෝවියට් නවකතා, කෙටිකතා පොත් පවා සැකයට භාජනය වූයෙන්, බොහෝ දෙනා ඒවා ගිනිබත් කිරීමට පෙළඹුණි. පසු කලෙක, 'කුරුළු'ප්‍රකාශකයන් විසින්, එම සෝවියට් සිංහල පරිවර්තන කීපයක් නැවත මුද්‍රණය කරනු ලැබීම අගය කළ යුතු ය.

ඇලෙක්සැන්ඩර් බොරිසොවිච් රස්කින් (Alexander Borisovich Raskin) ලියූ පියාගේ ළමා කාලයේ අත්දැකීම් කෘතිය, ජනප්‍රිය ජයසිංහ විසින් 2013 දී සිංහලට නැඟුවේ 'පුංචි කාලේ තාත්තා'යනුවෙනි. එහි රචකයාගේ පෙරවදනේ සඳහන් අන්දමට, මෙය පියකු විසින් ඔහුගේ දියණියට කියූ කතා පෙළකි. ඔහු මෙසේ ද කියයි.

"... වරක් සාෂාගේ කන ඉතාම නරක විදහට රිදෙන්න ගත්තා. ඈ හැඬුවා. කොහොමටවත් ඇයට නිදා ගන්න හම්බ වුණේ නෑ. මම ඇයගේ වේදනාව අඩුවෙන්න විහිළු කතා කියන්න ගත්තා. ඇය මා කියූ කතාවලට කැමති වුණා. ඇගේ තාත්තා ළමා කාලයේ කරපු දඟකාරකම්වලට, ඈ මවිතයෙන් යුතුව සවන් දුන්නා. ඇගෙ කන රිදෙන හැම විටකම, "තාත්තෙ, මගේ කන රිදීගෙන එනවා. මට කතන්දරයක් කියන්නැ"යි පැවසුවා. ඉතින් ඒ හැම අවස්ථාවක ම මම ඇයට අලුත් කතාවක් කිව්වා."

කලකට පසු, අහම්බෙන් මෙන්, පොත් රාක්කයෙන් කෙළවරක තිබී හමු වූ මෙම ළමා කතා පොත, නැවතත් මගේ සිත රුසියානු-සෝවියට් ළමා කතා සාහිත්‍යය වෙත ගෙන යාමට සමත් විය. ජනප්‍රිය ජයසිංහයන් ද , එය රසවත් හා සරල බසින් සිංහලයට නඟන්නට සමත් ව ඇත. රුසියාව තමන්ගේ විදේශීය පාඨකයා අමතක කර දැමූ බැවින් ද, මෙබඳු ප්‍රකාශන අගය කළ යුතුය.

මේ කෘතියේ කතා නායකයා, තාත්තාය. ඔහුගේ පියා සීයා ද මෙහි වෙයි. ළමා වියේ දඟකාරකමින් පිරුණු මේ කතා තුළ ඇති උපහාස රසය නිසා, එය වැඩිහිටියකුට වුව විනෝදාත්මක කියැවිමක් වෙයි. මෙහි එන ඇතැම් කතා තුළින් හුදු ළමා වියට මිස, අධ්‍ය­ාපන මනෝ විද්‍යාඥයන්ට අවශ්‍ය ආදර්ශ පාඨ ‍සොයාගත නොහැකි වීම ද විශේෂත්වයකි. නිදසුනක් ලෙස, 'තාත්තා සංගීත පාඩම උගත් හැටි'පිළිබඳ කතාවේ දී, පියානෝ වාදනය ඉගෙනුමට යන ළමයකුට එය තිත්ත වෙයි. ගුරුවරිය එන විට ඔහු ඇඳ යටට රිංගයි. සංගීතයට වෛර කරන්න ගනී. අවසා‍නයේ දී වැඩිහිටියකු වූ පසුව හෝ, ඔහු සංගීතයට වැඩි කැමැත්තක් නොදක්වයි. පියානෝ වාදනයට හෝ තාලයට ගීතයක් ගැයීමට නොහැකි වෙයි. මෙයින් අපට හැ‍ඟෙනුයේ කුඩා ළමයකුට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හැම දේම පැටවිය නොහැකි බවයි. (අපේ රටේ 'ශිෂ්‍යත්ව අම්මලා'ද, මේ පොත කියවන්නේ නම් ඉතා වටී.)

මෙහි එන ළමයා 'පුංචි තාත්තා'වැඩිහිටියකු වූ පසු අයිස්ක්‍රීම් වෙළෙන්දකු වීමට ආශා කරයි. අයිස් ක්‍රීම් එකක් විකුණන හැම විටකම තමන්ට ද එකක් කෑ හැකි යැයි ඔහු සිතයි. ටික දවසකින්ම ඔහුගේ අනාගත බලාපොරොත්තු රැකියාව දුම්රිය රියදුරකුට වෙනස් වෙයි. ඉන්පසු රාත්‍රී මුරකරුවෙක්, කවියෙක්, යන්ත්‍ර ක්‍රියාකරුවෙක්, ‍එ‍ඬේරෙක් යනාදී වශයෙන් වරින් වර වෙනස් වෙවී ගොස් අවසානයේ 'බල්ලකු"වීමට තීරණය කෙරෙයි.

සර්කස් සංදර්ශනයක් නැරැඹීමට යන පුංචි තාත්තාට, සිංහයන් හීලෑ කරන්නාගේ කසය, ඇඳුම හා පිස්තෝල කෙරෙහි ආශාවක් ඇතිවෙයි.

"මේ සතුන් බයවෙන්නෙ මගේ ඇස්වලට."සිංහයන් හීලෑ කරන්නා ශබ්ද නඟා නිවේදනය කරයි. "මගේ ඇස් බලගතුම ආයුධයයි. මිනිහෙකුගේ ඇස්වල බැල්ම ඉදිරියේ, සතකුට කොහෙත්ම හිටගෙන ඉන්න බෑ."

පුංචි තාත්තාටත්, මෙය අත්හදා බලන්න ඕනෑකමක් ඇතිවිය. අන්තිමේ දී, ඒ සඳහා ඔහු තෝරා ගන්නේ බල්ලෙකි. ලොකු බල්ලෙක් කියන්නෙත් තරමක සිංහයෙක් වගෙයි. කෙසේ වෙතත්, ඒ 'බලු-සිංහ'හීලෑව අවසන් වන්නේ, පුංචි තාත්තාට දොස්තර ළඟට ගොස්, එන්නත් ලබා ගැනීමට සිදුවීමෙනි.

ඇලෙක්සැන්ඩර් පුෂ්කින්. ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින් ආදීන්, සිංහල පාඨකයාට අමුත්තන් නොවුණත්, ඇලෙක්සැන්ඩර් රස්කින් නම් ආගන්තුකය. 40 දශකයේ දී, මොස්කව් නුවර සාහිත්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන්නකු බවට පත් රස්කින් 'ක්‍රොකඩයිල්' (කිඹුලා) සඟරාවේ කතු මඬුල්ලට බැඳුණේය. ඉතා හොඳ උපහාස රචකයකු වූ ඔහුගේ කෙටි කවි හා රස කියුම් දනන් තුඩග පැවතුණි. 'It's Me' (1968), I Love the Storm in early May'වැනි කෘතීන් 6ක්, ඔහුගේ උපහාස ලිපි එකතු වශයෙන් පළ වී ඇත. 'පුංචි තාත්තා'ගැන ලියූ ළමා පොත් 3කි. චිත්‍රපට තිර රචකයකු ද වූ රස්කින් 1941 දී, 'Victory'හා 1947 දී 'Spring'චිත්‍රපට සඳහා සිය දායකත්වය ලබා දුනනේ ය. 1971 පෙබරවාරි 4දා ඔහු, මොස්කව් නුවරදි, ලොවින් සමුගත්තේය.

(කීර්තිමත් ලේඛිකාවක හා පුළුල් හදවත් තිබූ දායාන්විත කාන්තාවක ලෙස, සමකාලීනයන් අතර ගෞරවයට පාත්‍ර වූ, ෆ්‍රීඩා එබ්‍රමනෝවා විග්දොරෝවා (Frida Abramanova), යනු රස්කින්ගේ බිරිඳය. ලේඛකයන්ගේ නිදහස් සිතිවිල මර්දනය කරමින් හිස එසැවූ සෝවියට් නිලධාරිවාදයට එරෙහි වූ, මානව හිමිකම් ක්‍රියාකාරිනියක ද වූ විග්දොරෝවා උපකාරයක් අවශ්‍ය තැනට, ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූයේ, අවදානම නොතකමිනි. සෝවියට් සමූහාණ්ඩුවේ, විශ්වදේශ ප්‍රතිපත්තියට (Cosmopolitanism) එරෙහිව අදහස් දැක්වීම නිසා, ඇය 'කොට්සොමොල්ස්කයා ප්‍රව්ඩා'පුවත්පතින් ද නෙරපනු ලැබුවාය. රුසියානු කිවිසර, ජෝශප් බ්‍රොඩ්ස්කිට විරුද්ධව පැවැති නඩු විභාගයේ දී, විග්දොරෝවාගේ කාර්යභාරය, ලොව පුරා බුද්ධිමතුන්ගේ, කලාකරුවන්ගේ ප්‍රශංසාවට ලක්විය. 1950 දී වයස 50ක් ව තිබියදි, ඇය මිය යන්නේ පිළිකාවකට ගොදුරු වීමෙනි.

වර්තමාන ශ්‍රී ලංකාවෙහි, ළමා පොත් ලිවීම සෙල්ලමක් බවට පත් කර ගෙන ඇත. එහෙත්, ලේඛන කලාවේ ඇති අසීරුතම අංශයක් වන්නේ ළමා සාහිත්‍යකරණයයි. රස්කින් ලියුවේ ළමා පොත් තුනකි. මේ මොහොතේ පවා, ඔබ ඔහු ගැන කියවූයේ, ඒ පොත්, සැබෑ ළමා පොත් වූ නිසාමය. ළමා පොත් ලිවීම 'බාලයන්'ට කළ හැකි වැඩක් නම් නොවන්නේමය. 

කපිල කුමාර කාලිංග

කඩ­වුණු පොරො­න්දු­වට හැත්තෑ එකයි

$
0
0
ජන 30, 2018 01:00

ශාලාවේ විදුලි එළි නිවී ගියේ ය. තිරය මත පතිත වූ ආලෝකයත් සමඟ මිනිසකු කතා කරනු දක්නට ලැබිණි. විස්මයකි. මේ මනුස්සයා කතා කළේ සිංහලෙනි. ඊට පෙර රිදී තිරය මත කිසිවකු සිංහලෙන් කතා කරනු දුටු කෙනෙක් නොවී ය. ඉතින් නරඹන්නෝ ප්‍රීතියෙන් පිනා ගියහ. විස්මයෙන් බලා සිටියහ. තිරය මත සිට කතා කළ තැනැත්තා පැවසූයේ මෙවන් දෙයකි.

“ප්‍රථම සිංහල චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව මම තමුන්නාන්සේලාට ඉදිරිපත් කරමි.” (මේ දක්වා ඇත්තේ ඔහු ඉදිරිපත් කළ අදහසයි. ඔහුගේ තෙපලූ වචන මීට වෙනස් මඳකින් හෝ වෙනස් විය හැක.) ඒ වචන මෙසේ තිරය මත සිට කතා කළ තැනැත්තා කතා කළේ කැඩුණු සිංහලෙනි. මෙසේ රිදී තිරය මත සිට මුලින් ම සිංහල කතා කළ තැනැත්තා ‘එස්. එම්. නායගම්’ ය. මුල් ම සිංහල කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍ර කලා මුවිටෝන් නම් සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළේ නායගම් ය. ඒ අවුරුදු 71 කට කලිනි. දිනය හරියට ම සඳහන් කරන්නේ වී නම් ඒ 1947 ජනවාරි 21 වැනිදා ය.

කඩවුණු පොරොන්දුව නම් මුල් ම සිංහල කතානාද චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වන ලද්දේ කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාවේ දී ය. මෙම මංගල දර්ශනයට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූයේ ඩී. එස්. සේනානායක මැතිතුමා ය. ඒ වන විට 1947 මහ මැතිවරණය පවත්වා නොතිබූ බැවින් ඩී. එස්. සේනානායක මැතිතුමා අගමැති ධුරයට පත් වී නොතිබිණි. එදින චිත්‍ර කලා මුවිටෝන් සමාගම මගින් සමරු පොත් රසිකයන් අතර බෙදා දී තිබුණු බවත්, සේනානායක මහතා ද ඔහුට ලැබුණු සමරු පොතේ තමන් ලවා අත්සන් තබා ගත් බවත් ‘එඩී ජයමාන්න’ නවසිය හැත්තෑව දශකයේ අගභාගයේ පළ වූ ‘සුරතුර’ සිනමා පුවත්පතට ප්‍රකාශ කර තිබී මා කියවූ බව මට මතක ය. කරුණාසේන ජයලත් හා කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා යන දෙදෙනා ද ඉතා අසීරුවෙන් සෙනඟ අතරින් රිංගා යමින් මෙම මංගල දර්ශනය නැරඹූ බව පුවත්පත්වලට ලියා (ජයලත්), කියා (කේ. ඒ. ඩබ්ලිව්) තිබී මා කියවූ බව ද මතක ය. වසර හැත්තෑ එකකට පෙර පැවති මෙම මංගල දර්ශනය නැරඹූ අයෙක් අද නම් සොයාගත නොහැකි වෙති’යන්න මගේ විශ්වාසයයි. එවැන්නෙක් අද වන විට ජීවත්ව සිටිති’යි විශ්වාස කරන්නට අසීරු ය.

කඩවුණු පොරොන්දුව රූ ගත කරන අවධියේ දී අවශ්‍ය චිත්‍රාගාර පහසුකම් ලංකාවේ නොතිබිණි. (එකල එළිමහන් රූගත කිරීම් නොවී ය.) එබැවින් සියලු කටයුතු සිදුවූයේ ඉන්දියාවේ ය. කඩවුණු පොරොන්දුවේ කණ්ඩායම ද සිය රූගත කිරීම් උදෙසා දකුණු ඉන්දියාවට ගියහ. ප්‍රථම සිංහල චිත්‍රපටය සඳහා පාදක කරගත්තේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා කණ්ඩායමේ වේදිකා නාට්‍යයකි. බී. ඒ. ඩබ්ලිව්. ඇතුළු මිනර්වා කණ්ඩායමට සිනමාව පිළිබඳ කිසිදු අවබෝධයක් නොවී ය. ඔවුහු වේදිකා තිර හා උපකරණ ආදිය ද පොදි බැඳ ගෙන ඉන්දියාවට ගිය බව කියැවේ.

චිත්‍රපටය සඳහා එක් වූ ශිල්පීහු ද ඉන්දියානුවෝ වූහ. අධ්‍යක්ෂකවරයා වූයේ ජේ. සිංහ නමැති ඉන්දියානුවෙකි. කැමරා අධ්‍යක්ෂණය කළේ කේ. ප්‍රභාකර් ය. සංස්කරණයෙන් පකීර් සලී දායක විය. මලයාලම් ජාතිකයෙකු වූ නාරායන් අයියර් කඩවුණු පොරොන්දුවේ සංගීත අධ්‍යක්ෂවරයා විය. නළුනිළියෝ මිනර්වා නාට්‍යවල රඟපෑ නළු නිළි පිරිසකි. ඔවුන්ට සිනමාව පිළිබඳ අවබෝධයක් නොවූ හෙයින් රංගනය වේදිකාවේ ඔවුන් පුරුදු පුහුණු වූ ආකාරයට ම සිදුවිය.

කඩවුණු පොරොන්දුවේ රංජනී ලෙස රඟ පෑ ‘රුක්මණී දේවී’ අතිශයින් ජනප්‍රිය නිළිය බවට පත්වූවා ය. මනප්පුවා ලෙස රඟ පෑ එඩී ජයමාන්න ද අතිශයින් ජනප්‍රිය විය. මීට අමතරව බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න (සැම්සන්), ජෙමිනි කාන්තා (ජොසී), රූපා දේවී (ටෙක්ලා), පීටර් පීරිස් (වික්ටර්), ස්ටැන්ලි මල්ලවාරච්චි (හේමපාල), මීරියම් ජයමාන්න (හිල්ඩා), ඇසිලින් බාලසූරිය, සූරියරාණි, හියුගෝ ප්‍රනාන්දු, ඩී. ටී. පීරිස් වැනි නළු නිළියෝ සෙසු චරිත රඟපෑහ.

කඩවුණු පොරොන්දුවේ ගීත දොළහක් ඇතුළු විය. (ග්‍රැමපෝන් තැටියට ඇතුළු වූයේ මින් දහයක් පමණි.) මේ අතර ළපටි රූපෙ ඈගේ (එඩී ජයමාන්න), සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා (රුක්මණී/හියුගෝ), මගෙ සක බඹරේ (එඩී/ජෙමිනී) වැනි ගීත තිබිණි. ගීත හියුගෝ ප්‍රනාන්දු රචනා කළ අතර නාරායන් අයියර් සංගීතවත් කළේ ය.

කඩවුණු පොරොන්දුවේ ගීත නිර්මාණය කරන විට සිදුවූ රසවත් සිදුවීමක් ආතර් යූ. අමරසේනගේ ‘සිංහල සිනමා වංශය’ නම් කෘතියේ තිබී කලකට පෙර කියවීමි.

සංගීතඥ නාරයන් අයියර් ඔහුට පුරුදු මලයාලම් බසින් සිංහල වචන කොළයක ලියාගෙන ගී ගයන ආකාරය ගායක ගායිකාවන්ට කියා දුන්නේ ය.

“ මගෙ ෂෙක බඹරේ ඩෙන් කෙරකේ මාව ෂිෂාරා” නාරායන්ගේ වචන අසා සිටි හියුගෝ බඩ අල්ලාගෙන සිනාසුණේ ය. ඉන් නොනැවතුණු ඔහු ‘හිටගෙනද?’ අසමින් අයියර් උපහාසයට ලක්කළේ ය. “අන්න හොඳට ශබ්ද වෙන වචනයක්. ඒ වචනෙත් සින්දුවට ගන්න.” ගීත රචක හියුගෝ සින්දුවට යෝග්‍ය වචනයක් කීවේ යයි සිතූ අයියර් කීවේ ය. තමා කළේ විහිළුවක් බව හියුගෝ කීව ද අයියර් කීවේ එම වචනය ගීයට ඇතුළත් විය යුතු බවයි. හියුගෝ තමා කළේ විහිළුවක් බව කීමත්, අයියර් එම වචනය ගීයට ඇතුළු කළ යුතු යයි තරයේ කීමත් කෙළවර වූයේ ‍දෙදෙන රණ්ඩුකට සැරසීමෙනි. අන්තිමේ නායගම් මැදිහත් වී ගෝරිය බේරුවේ ය.

බී. ඒ. ඩබ්ලිව්. හා නායගම් ඇතුළු පිරිස කඩවුණු පොරොන්දුව තනන අතරේ ලංකාවෙන් ගිය තව පිරිසක් චිත්‍රපටියක් වෙනත් චිත්‍රාගාරයක ‘අසෝකමාලා’ නිපදවන්නට පටන් ගත්හ. ඒ ශාන්ති කුමාර් සෙනෙවිරත්න ඇතුළු පිරිසයි. දෙපිරිස අතර මුල් ම චිත්‍රපටය පෙන්වීම සඳහා වූයේ තරගයකි. කඩවුණු පොරොන්දුව ජයගත්තේ ය. අසෝකමාලා පරාජය විය.

අසෝකමාලා දෙවන විත්‍රපටිය සේ තිරගත වූයේ 1947 -04 -09 වන දින ය. සිලොන් තියටර්ස් වෙනුවෙන් සර් සිත්තම්පලම් ගාඩිනර් නිෂ්පාදනය කළ අසෝකමාලා ශාන්ති කුමාර් සමඟ ටී. ආර්. ගෝපු විසින් අධ්‍යක්ෂණය කරන ලදී. ශාන්ති කුමාර්, එමලින් දිඹුලාන, හර්බි සෙනෙවිරත්න, ඔස්ටින් අබේසේකර, මයිකල් සන්නස් ලියනගේ ඇතුළු පිරිසක් මෙම චිත්‍රපටයේ රඟපෑහ.

අසෝකමාලා සිනමා කෘතියේ අවධානයට ලක්වූයේ එහි සංගීතය හා මිහිරි ගීතයි. මොහමඩ් ගවුස් මෙහි සංගීත අධ්‍යක්ෂවරයා විය. පසුව පණ්ඩිත් අමරදේව නමින් සම්භාවනාවට පත් වූ ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා ගවුස්ගේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ය. ‘ශාන්ත මේ රාත්‍රියේ (භාග්‍යරතී), නයනා වැනී සුදෝ (මොහිදින් බෙග්/භාග්‍යරතී), ඇයි කලේ යමෙක් ආලේ (ඇල්බට් පෙරේරා) වැනි මියුරු ගී රැසක් අසෝකමාලාවට ඇතුළත් විය. 

 මහා­නාම දුනු­මාල

Viewing all 10762 articles
Browse latest View live