Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

රෝස­මල් අතුළ මාව­තක් නොවූව ද පාසල් දිවිය සුන්ද­රය

$
0
0
ජන 30, 2018 01:00

ජීවිතයේ සත්වන දශකයට පා තබා සිටින මේ මොහොතේ වසර දොළහක පමණ වූ මගේ පාසල් ජීවිතය පිළිබඳ ආපසු හැරී බලන්නට මට කල්පනා වූයේ කිම්දැයි නිශ්චිතව සිතා ගැනීමට මම අපොහොසත්මි. එහෙත් ආසන්නතම හේතුව ලෙස මට හැඟෙන්නේ, පසුගිය දෙසැම්බර් හත්වන දා මාතර සුජාතා බාලිකාවේ කලා උළෙලට සහභාගී වන්නට ලද අවස්ථාවයි. එහිදී සුජාතාවන් සමඟ මෙන්ම ආරාධිත පාසල් දූ පුතුන් , ගුරු මව්වරුන් හා ගීත රස වින්දනයකට හවුල් වූ මොහොතේ, නිල්වලා ගඟෙන් එගොඩහ මුහුදු තීරයේ මා අකුරු කළ සාන්ත සර්වේෂස් විදුහල පිළිබඳව මෙන්ම එහිදී පස්වන ශ්‍රේණියේ දී පමණ සිංහල ඉගැන්වූ ගුරුතුමා පිළිබඳව ද සඳහන් කරන්නට සිදු වූයේ ගුරුවරුන් අප පාසල් ජීවිතයට කෙතරම් විසාල බලපෑමක් කළා ද යන්න ඒත්තු ගැන්වීමටයි. සාන්ත සර්වේෂසය මගේ සිව්වන පාසලයි. පස්වන ශ්‍රේණියට පැමිණෙන්නට පෙර පාසල් හතරක අකුරු කළා යැයි කිවහොත් එය ඇදහිය නොහැක්කක් ලෙස ද සිතෙන්නට ඉඩ ඇත. එහෙත් එය සැබෑවකි. මා අකුරු කළ පළමු පාසල බෙලිඅත්ත ශ්‍රී පඤ්ඤානන්ද මිශ්‍ර පාඨශාලාවයි. බෙලිඅත්ත තංගල්ල පාරේ මඳ දුරක් යන කල්හි තරමක උස් බිමක අද ද මගේ පළමු පාසල දකින්නට ලැබේ. පාසල් බිම තිබූ විසාල කෝං ගහක් සෙවණේ පුංචි පුටු රවුමට තබා ගුරුතුමී කවි ගායනා කළ'යුරු අද වුව සිහිපත් කළ හැකිය. පාසල අවසානයේ යෝවද තංපව රෝමනු ජේසු ගාථාව මහ හඬින් ගායනා කළ ද එහි අරුත නම් දැන නොසිටියෙමි. පාසලේ සිට අම්මාගේ මහ ගෙදරට විනාඩි පහක්වත් ගත නොවන පා ගමනක් වූවත්, බෙලිඅත්ත පොලිස් කාර්යාලය ඉදිරිපිට තනා තිබූ පිං තාලියෙන් වතුර බීම පුරුද්දක් වී තිබිණ. පළමු ශ්‍රේණියේ සිට තුන්වන පන්තියට එක්වර ඉහළ ගියේ ( double promotion ) පන්තියේ වැඩ හොඳ නිසා වන්නට ඇතැයි අම්මා කියනු මට මතකය. ඒ දිනවල එවැනි ඩබල් ප්‍රොමෝෂන් දීමේ ක්‍රමයක් තිබී ඇත. පළමු පාසලෙහි වැඩි කල් අකුරු කිරීමට ඉඩ නොලැබුණේ අම්මාගේ ගමේ සිට තාත්තගේ ගම වූ ගන්දර නිවසට අපට යන්නට සිදු වූ බැවිනි. මාතර කතරගම මුහුදුබඩ මහා මාර්ගයේ සැතපුම් පහක් (කිලෝමීටර් 8) ගිය තන්හි කුඩා ගමක් වූ ගන්දර හමුවේ. එහි බොහෝ දෙනාගේ රැකියාව ධීවර කර්මාන්තය බව දැන ගන්නට වැඩි දවසක් ගත නොවිණ. ගන්දර අපගේ නිවස පිහිටා තිබුණේ මුහුදු වෙරළින් තරමක් ඇතුළට වන්නට වූවත් ගොඩැල්ලවත්ත නමින් හැඳින් වූ වත්තේ කන්ද උඩට ගිය කල පරක් තෙරක් නොපෙනෙන මහා සාගරය පෙනේ. ඇතැම් රාත්‍රි කාලයක මුහුද රළ බිඳෙණ හඬ සිතට බියක් ගෙන දුන් බවද මතකය. එසේ මුහුද හඬාවැටෙන්නේ වාරකන් කාලයට බව පසුව අම්මාගෙන් දැන ගතිමි. ඒ කාලයට ධීවරයෝ මුහුදු යෑමෙන් වැළකී වාරකන් නොමැති මුහුදුකර සොයා යන බවත් පසුව දැනගත්තෙමි.

මගේ දෙවන පාසල මාතර කතරගම ප්‍රධාන මාර්ගයෙහි පිහිටා තිබූ ගන්දර විද්‍යාලයයි. එය පිරිමි පාසලකි. දැන් මහා විද්‍යාලයකි. බෙලිඅත්තේ පළමු පාසල මෙන් සිත් නොගත්තද එහිදී පළමු වතාවට පාසලේ විවිධ ප්‍රසංගයක් දකින්නට වාසනාව ලදිමි. වේදිකාව සැරසීමට අවශ්‍ය තිර සඳහා සාරි කීපයක් ඉල්ලාගෙන එන්නට හේවා මහත්තයා ගේ දෙවිනුවර ගෙදරට ගිය ගමන අදත් මතකයේ වෙයි. වෙල් නියරක් උඩින් යද්දී දිය කඩිතිවල රිදී පාටින් පීනූ පුංචි මාලු පැටවුන්ගේ දර්ශනයක් පළමුවරට දිටිමි. විවිධප්‍රසංගයේ දී ශිෂ්‍යයෙක් ගායනා කළ අකුරට යනවයි කියලා ටිකිරි අය්ය බැදිවලමයි කවි පංතිය මිහිරි ගායනාවක් ලෙස මතකයේ රැඳිණ. පංතියේ සිසුන්ගෙන් වැඩි දෙනා ඉගෙන ගැනීමට වඩා එකිනෙකා අතර රණ්ඩු සරුවල් කිරීමටත් බෙලිඅත්තේ දී කිසි දිනෙක අසා නැති අමු තිත්ත කුණුහරුප කීමටත් හපනුන් බව වැටහෙන්නට දිගු කලක් ගත නොවිණ. මල්ලීත් මමත් ඔවුන් අතර නොගැළපෙන චරිත වූ අතර අපගේ කලිසම් කමිසවලට වඩා ඔවුන්ගේ ඇඳුම් දුප්පත් බව පෙනිණ. ගන්දර විද්‍යාලයේ මතක අතර මා සමඟ එකම පංතියේ ඉගෙනුම ලද දයා එදිරිසිංහ මතකය. අද ඔහු සම්මානිත මහාචාර්යවරයෙක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගොස් සිටී. පළමුවතාවට මුහුදු වෙරළට යන්නටත් රැල්ල පාගන්නට මෙන්ම ඇතැම් දවසක අම්මා දුන් සත විසිපහකට හෝ පණහකට ගොඩට එන ඔරුවකින් මාලු මිලට ගන්නටත් පුරුදුවී සිටියෙමි. මට මෙන්ම අම්මාට ද ගන්දර පාසලේ ඉගෙනීම ඇල්ලුවේ නැත. වැල්ලේ කොල්ලන් සමඟ එකට වැටී අප දෙදෙනා නරක් වේ යැයි, ඉගෙනුම කඩාකප්පල් කර ගනීවි යැයි ඈ තුළ බියක් තිබුණා විය යුතුය. මල්ලීත් මමත් මාතර ඉංග්‍රීසි පාසලක් වූ සාන්ත සර්වේෂස් කොලීජියට (St.Servatius College ) ඇතුළු කිරීමට ඈ උත්සාහ කළාය. අද මෙන්ම ඒ දිනවල ද ජනප්‍රිය පාසලකට ඇතුළුවීම සඳහා පාසල විසින් පවත්වනු ලබන විභාගයකට පෙනී සිටිය යුතු වීය. ඒ අනුව සාන්ත සර්වේෂශයට ඇතුළුවීමට පෙනී සිටිය ද ඉංග්‍රීසි දැනුම මඳ වීමෙන් ඒ අවස්ථාව අහිමි වීය. එහෙත් අම්මා නොවේ පසුබට වූයේ. ඈ අප දෙදෙනා මාතර වැල්ලමඩම රෝහණ මහා විද්‍යාලයට ඇතුළු කළාය. මිශ්‍ර පාසලක් වූ රෝහණය රුහුණු විශ්වවිද්‍යාලයට පෙර මාතර කතරගම ප්‍රධාන මාර්ගයෙහි හමුවේ. ජීවිතයේ පළමු වතාවට කැඩෙට් ශිෂ්‍ය බළකායක් පිළිබඳ දැනගත්තේ රෝහණයේ ඉගෙනුම ලද වසරේදීය. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු රෝහණයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් බව මා දැන ගන්නේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි උපාධි අපේක්ෂකයෙක්ව සිටි සමයේ තම ශාස්ත්‍රපති උපාධිය සඳහා සති අන්තයේ එහි පැමිණි චන්ද්‍රසිරි පල්ලියගුරු හමුවූ අවස්ථාවකය. පසුකාලීනව රැඟුම් පාලක මණඩලයේ, චිත්‍රපට සම්මාන ජූරියක, ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයක, සාහිත්‍ය විනිශ්චය මණඩලයක අසුන් ගනිමින් දැඩි මිත්‍ර සන්ථවයක් ඇති කරගත් මිතුරකු බවට පත්ව සිටී.

සර්වේෂසයට යාමට අපහසු වූයේ ඉංග්‍රීසි දැනුම අඩුවීම නිසා බැවින් අම්මා ඊට පිළියම් කරන්නී, මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ ඉහළ පංතියක උගෙනමින් සිටි, ගන්දර කඩ වීදියේ නිවැසි දයානන්ද මාමා ගෙදරට කැඳවා මල්ලීටත් මටත් ඉංග්‍රීසි ටියුෂන් ලබා දීමය. ඒ සඳහා ඔහුට මුදලක් ද අම්මා දුන්නාය. මගේ තුන්වන පාසලින් සිව්වන පාසලට යාමේ ප්‍රවේශ විභාගයෙන් ඉහළින්ම සමත් වී අම්මාගේ සිහිනය වූ මාතර සාන්ත සර්වේෂස් කොලීජියට යන්නට වරම් ලබන කල පස්වන පංතියේ සිටි බවය මතක. සර්වේෂස් ඇතුළත්වීමේ සම්මුඛ පරීක්ෂණයේ දී වැලන්ටයින් ගුණසේකර (?) ගුරුතුමා ඉංග්‍රීසියෙන් ඇසූ ප්‍රශ්නවලට නිර්භීතව එකවර පිළිතුරු දුන්නේ දයානන්ද මාමාට පින් සිදුවන්නටය. කෙසේ හෝ මගේ සිව්වන පාසල පාසල් ජීවිතයෙ කඩඉම් පාසල ලෙස ආදරයෙන් සිහිපත් කරමි. රජයට අයත් නොවූ කතෝලික පල්ලියට සම්බන්ධ පාසලක් වීම නිසා එහි බුද්ධාගම පවා විෂයයක් ලෙස ඉගෙනීමට අවස්ථාවක් නොවීය. ජෝසෆ් රාජපක්ෂ විදුහල්පති පියතුමා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ක්‍රීඩා සඳහා ද විසාල උනන්දුවක් දැක්වූ විදුහල්පතිවරයකු වූයේය. පළමු වතාවට ක්‍රිකට්, පාපන්දු ක්‍රීඩා මොනවාදැයි දැනගත්තේ දැකගත්තේ සිව්වන පාසලේදීය. ඇතැම් හවසක රාජපක්ෂ පියතුමා පාසලේ පාපන්දු කණඩායම සමඟ කොටුවෙගොඩ පාසල් ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වට ද සහභාගී වනු දැක ඇත්තෙමි. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක පළමු අත්දැකීම ලබන්නේ සාන්ත සර්වේෂස් විදුහලෙහි වෝල්ටර් නිවාසය වෙනුවෙන් ගෝනියේ බැස දිවීමේ තරගයකට සහභාගීවීමෙනි. 1960 සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් පාසල් රජයට පවරාගැනීමෙන් පසු බුද්ධාගම විෂය ඉගැන්වීම ඇරැඹුණු අතර, නාරද හාමුදුරුවන්ගේ ධර්ම සංග්‍රහය අත්පොත් කොට පළමු විභාගයේදීම බුද්ධාගමට සියයෙන් සියයක් ලකුණු ලබා ගත්තා ද මතකය.

මගේ සතරවන පාසල ජීවිතයේ කඩඉම් ලකුණ සටහන් කළ පාසල වූයේ ජීවිත ගමනේ හත්වන දශකය තෙක් අත්හැර දැමීමට අපොහොසත්, ඊට ආදරය කරන සාහිත්‍ය කලා ජීවිතයේ ඇරැඹුමට සාන්ත සර්වේෂස් විද්‍යාලයේ පස්වන පංතියේ සිංහල ඉගැන්වූ ටී.කේ. ( තල්පාවිල කංකානමගේ ) සෝමපාල ගුරුතුමාගෙන් ලද අත්වැල නිසාය. හෙළ හවුලට අයත් සාමාජිකයකු වූ එතුමා ප්‍රාථමික පංතියේදීම නිවැරැදිව, සිංහල ලියන්නට, කියන්නට, නිර්මාණාත්මකව රචනාවක් ලියන්නට දුන් ගුරු උපදෙස් සඳහා කිනම් මිලක් නියම කළ හැකිවේද? පාසල් පංති පුස්තකාලයට කොළඹින් පොතපත ගෙනැවිත් බාල කාලයේ සිට කියැවීමට අප හුරුපුරුදු කළෝ එතුමෝය. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී.සේනානායක, ඩබ්ලියු.ඒ.සිල්වා, මඩවල රත්නායක, රත්නසිරි එරත්න, ටී.බී.ඉලංගරත්න ආදීන්ගේ නවකතා, පරිවර්තන, මෙන්ම ගුණසේන සමාගම පළ කළ ලිහිණි පොත් පෙළ ද පුස්තකාලයට ගෙනැවිත් අපගේ කියවීමේ සා පවස නිවන්නට ගත් උත්සාහය අද දවසේ ඉඳහිට පොතක් පළකරන මොහොතක සිහියට නැගෙන වාර බොහෝය. ගෙදර වැඩ සඳහා ලියා එන්නැයි පැවරෙන රචනාවක් කියවා බලා එතුමන්ගේ පෑනේ කොළපාට තීන්තෙන් පිටුව පුරා වැටුණු හරි ලකුණ සමඟ වූ පද කිහිපය කටපාඩම්ය. 'පබඳ අගී හෝ පබඳ ජයයි'සටහන් වූ රචනා සෑම සතියකම මා සතු වූයේ කෙසේදැයි අදත් මට සිතා ගත නොහැකිය. පුවත්පතක මගේ අත් අකුරු මුද්‍රිත අකුරු සේ මා ප්‍රථම වතාවට දකින්නේ සෝමපාල ගුරුතුමාගේ ඇගැයීමට ලක් වූ සඳ පහන් රැයක් නම් එක්සයිස් පොත් පිටුවක මා අතින් ලියැවුණු රචනාව සිළුමිණ කමලා ළමා සමාජයෙහි අඟල් තුන හතරක දිග තීරුවකිනි. රචනාව අග ඒ.පී.ජී. බුද්ධදාස, සාන්ත සර්වේෂස් විද්‍යාලය, මාතර යනුවෙනි පළවී තිබුණේ. දීර්ඝ ලිවිසැරියක ඇරැඹුම ඒ කුඩා රචනාව වේ යැයි කෙසේ අදහම්ද? එහෙත් පරමාදර්ශී ඇදුරිඳු සෝමපාල සිංහල ගුරුතුමාගේ යෝධ සෙවණැල්ල සුදු කලිසමකින් හා කමීසයකින් සැරසී පා පැදියකින් පාසලට ආ කෙසඟ සිරුරක් සහිත කුඩා මිනිසාගේ සිරුර වසා පැතිරී ඇත්තාක් සේ දැනේ. ඔහුගේ හෙළ බස් ආර සිසුදරුවන් වූ අපගේ ලියැවිල්ලට කළ බලපෑම කොතෙක්ද යත්, පාසලේ නම ලියන කල, College යන්න සාන්ත සර්වේෂස් කුලාජියැ යනුවෙන් ලියන්නට පුරුදුව සිටි බව මතකයේ වේ. සර්වේෂසයේ ඉගෙනුම ලද සමයෙහි දී ම ක්‍රිකට් ක්‍රීඩාවට , පාසල නිමාවී හවස පහ හය වන තුරු බඩගින්නේ උයන්වත්ත පිටියේ තරග නැරඹීමේ පිස්සුව හැදුණේ අද වන තෙක්ම සුව කර ගත නොහෙන ඇබ්බැහිවීමකට ඇද දමමිනි. පාසල් පංතියේම ඉගෙනුම ලබමින් පාසල් කණ්ඩායමට ඇතුළත්ව දක්ෂ පිතිකරුවකු වූ නිලවීර, නිහාල් ලයි, තිලක් කාසිගේ, එස්.එච්.කරුණාදාස ආදී වැඩිහිට් ශිෂ්‍යයන්ගේ ක්‍රිකට් හරඹ නරඹා මල්ලීත් මමත් බසයේ ගෙදර ඒමට දුන් සත දහය හෝ පහළොවින් වඩේ කා රෑ බෝ වන තෙක් මාතර සිට ගන්දරට පයින් ගෙදර බඩ ගෑවේ සර්වේෂස් විදුහලේ ඉගෙනුම ලද සමයට තවත් මිහිරි මතකයක් එක් කරමිනි. ක්‍රිකට් තරග නැරැඹීමේ උච්චාවස්ථාව වූයේ සාන්ත සර්වේෂස් සාන්ත තෝමස් වාර්ෂික මහා ක්‍රිකට් ගැටුමයි. එගොඩහ මොගොඩහ (ගඟෙන් මෙගොඩ කොටුවෙගොඩ හා ගඟෙන් එගොඩ ) සටන දිවයිනේ ක්‍රිකට් මහා තරග ඉතිහාසයෙයෙහි දෙවන පැරණිම තරගය ( රාජකීය සාන්ත තෝමස් තරගයට පසු ) බව පසු කාලයක දී දැනගත් පසුව මෙන්ම අප පාසලට සනත් ජයසූරිය වැනි විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු බිහිකරන්නට හැකිවීම තුළ අද පවා පාසල පිළිබඳ දැනෙන ආඩම්බරය අසීමිතය.

සර්වේෂසයට ආයුබෝවන් කියා කොළඹට පැමිණෙන්නට සිදුවන්නේ අම්මාගේ ඕනෑකමටත්, තාත්තාගේ රැකියාව ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියැදුරු තනතුරකට පරිවර්තනය වීමත් සමඟය.

කොළඹට ආසන්න පිළියන්දල පදිංචියට පැමිණ මධ්‍ය විද්‍යාලයට පිවිසීමට වරම් නොලදින් පිළියන්දල මාම්පේ ශ්‍රී ශොභිත මහා විද්‍යාලය මගේ පස්වන පාසල බවට පත්වූයේ එක් වසරක ඉගෙනුමකට පමණි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රථම වතාවේදීම සමත්වන්නේ උසස් පෙළ ඉගෙනුමට අවශ්‍ය සියලු සම්මාන හා සුදුසුකම් ලබමින් වීම ශොභිතයේ එක් වසරක මතකයෙහි වේ. එතෙක් පංතියේ පළමුවැනියා වූ ශිෂ්‍යයාට මා නිසා එම ස්ථානය අහිමි වූයේ සියලුම වාර විභාගවල දී මා පළමුවැනියා වූ බැවිනි. පංති බාර රණසිංහ ගුරුතුමිය, ඉංග්‍රීසි ඉගැන්වූ ජයසිංහ ගුරුතුමා, විදුහල්පති කල්දේරා ආදීන්ගේ මුහුණු මගේ මතකයට පිවිසේ. පංතියේ මිතුරන් වූයේ සේනාරත්න හා ප්‍රේමසිරිය. මොවුන් අද කොහිදැයි නොදනිමි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන තෙක් කාලය තුළ අපට පිළියන්දලින් නුගේගොඩ තවත් කුලී නිවසක පදිංචියට එන්නට සිදුවූ බැවින් තවත් කෙටි කාලයකට උඩහමුල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නට සිදු වූයේ එය මගේ සයවන පාසල ලෙස පාසල් නාමාවලියට එකතුවෙමිනි.

උසස් පෙළ පංතියේ ඉගෙනගත් කාලය මගේ සත්වන පාසල ලෙස ලියැව්න්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පෙර ඉගෙනුම ලැබූ අවසාන විදු මව් ලෙසය. කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය නම්වූ පෞද්ගලික විශ්වවිද්‍යාල අනුබද්ධ පාසලක් වූ එය මගේ පාසල් ජීවිතයේ හමුවූ විශිෂ්ටතම ගුරුවරුන් මෙන්ම සාහිත්‍ය කලා හා දේශපාලන ක්ෂේත්‍ර නියෝජනය කළ ශිෂ්‍ය මිත්‍රයන් රැසක්ම හමු වූ පාසල වේ. සරසවියට දොරටු විවර කොට දුන් ශ්‍රී ලංකා විද්‍යාලයෙහි ඉගෙනුම ලද දෙවසර පාසල් ජීවිතයේ දෙවන කඩඉම සේ මම අද දකිමි. අමරසේන හේවාමද්දුම, සුනන්ද මහේන්ද්‍ර, තිස්ස කාරියවසම්, රොහාන් ජයවර්ධන, ඉන්දික එදිරිසූරිය, ජයසිරි ලෙනෝරා ආදී ගුරු පිරිසක් ද, සුනිල් සරත් පෙරේරා, ග්‍රැන්විල් සිල්වා, ගාමිණී කාරියවසම්, පාසල් මිතුරා වූ දයා එදිරිසිංහ, මහින්ද විජේසේකර ආදීන්ද හමුවන්නේ මගේ සත්වන පාසල් අධ්‍යාපන කාලය තුළදීය. සාහිත්‍ය කලා නිර්මාණ ක්ෂේත්‍ර කෙරෙහි වූ ලෝලීත්වය දෙගුණ තෙගුණ වූ සිසුවකු ලෙස විද්‍යෝදය විශ්වවිද්‍යාලයට පිවිසීමට මග හසර සලසා දුන්නේ ශ්‍රී ලංකා විද්‍යාලය වූවත්, පළමු පාසලේ දී ඇසුණු කවි ගායනාවේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී සුනන්ද මහේන්ද්‍ර ඇදුරුතුමා විසින් ගායනා කළ සඳැස් නිසඳැස් කවිය දක්වා මසිතට ළංවූ කවි මිහිරෙහි තවමත් ජීවත් වන්නෙමි. කවිය මගේ ආත්ම ප්‍රකාශනය වන්නේත්, අනෙකුත් සියලු කලා ක්ෂෙත්‍ර තුළ නිර්මාණශීලී දායකත්වයට දොරටු හැරෙන්නේත් සත්වන පාසල වූ ශ්‍රී ලංකා විද්‍යාලයෙනි. එවකට ගුවන්විදුලියේ ප්‍රචාරය වූ ජනප්‍රිය දැනුම මිණුම ඇට්ලස් හෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා විද්‍යාලය නියෝජනය කළ කණ්ඩායමයෙහි සාමාජිකයෙකු වන්නට වාසනාව ලද මා මයික්‍රපෝනයක් ඉදිරියේ ලලිත් එස්. මෛත්‍රීපාල වැනි නිවේදකයෙක් හමුවේ පිළිතුරු දෙන්නටත්, අවසාන මහා තරගය දක්වා අප පාසල ගමන් කළ මොහොතේත් කණ්ඩායම් සාමාජිකයකු ලෙස සිටින්නට ලැබීම ශිෂ්‍ය ජීවිතයේ නොමැකෙන සටහනක් ලෙස ලියැවී තිබේ. පාසල් සංඛ්‍යාව දිගු වූ තරමටම ගුරුවර නාමවලියද, මිතුරු නාමාවලියද දිගු වී ජීවිතය ජීවත්කරවීමට මග හසර කියා දී ඇති බව හැඟේ. අඟහිඟකම්වලින් පිරුණු දිගු පාසල් ගමනක් අතර මග නතර නොවී තීර්ථයක් කරා එන්නට දුක්මහන්සි වූ මාපියන් මෙන්ම ඒ සා වූ දුෂ්කර ගමනේදී මා වැනි කුරා කුහුඹු මිනිසකු හට අකුරු කියාදුන්, මා තුළ සැඟවුණු කිනම් හෝ නිර්මාණශීලීත්වයක් හඳුනාගෙන මට අතදුන් සියලු ගුරුවර ගුරුවරියන් මෙන්ම පාසල් ද මගේ දිවි ගමනේ සෙවණැලි සේ මගේ මතකයෙන් ඈත් නොවී පවතින බව දනිමි.

බුද්ධදාස ගලප්පත්ති


දුරුත්තේ උණු­සුම

$
0
0
ජන 30, 2018 01:00

නිකිණි උණුසුම මෙන් නොව දුරුතු සීතල කැමැත්තෙන් ඉවසන දරුවෝ හිමිදිරියේ අවිදි වූ සැණින් දිව ගොස් පිරික්සා බලන්නේ පොල්තෙල් බෝතලයයි.

“ඊයේ රෑ කොච්චර සීතලද අම්මා. ඒ වුණාට ‍පොල්තෙල් බෝතලේ මිදිලා නෑනේ... “

දවසේ පළමු කටයුත්ත ලෙස පොල්තෙල් බෝතලය දෑතින් ගන්නා දරුවන් වෙත කඩා පනින්නට මට නොසිතේ.

“ඕකා වට්ටලා හලන්ඩකෝ බලන්ඩ. පොල්තෙල් දැං කොච්චර ගණන්ද කියලා ඔයගොල්ලො දන්නවාද?” යි නොඅසන මම ‘උෂ්ණත්වය හුඟාක් පහළ වැටෙන්ඩ ඕන තෙල් මිදෙන්ඩ‘යි කියමි.

“ඉතිං අම්මා ...ඊයේ රෑ හරිම සීතලයිනෙ...දැනුත් සීතල ඉවසන්ඩ බෑනේ.... හරියට නුවරඑළි ගියා වගේ...”

බඩපිස්සා සිය නිවුන් ‍සොහොයුරා වැලඳගනියි.

“ඒක තමා අයියලා මල්ලිලා තුන්දෙනා තුරුලු වෙලා හිටියෙ ...එක ඇඳක් හිස්...”

මද්දුත් නිවුන්නුත් එකිනෙකාට තරයේ තුරුලු වී නිදා සිටින අන්දම අතිශය පහන් සිතින් බලාහුන් මම කෙමෙන් වැඩෙන කල මේ ළෙන්ගතුකම ක්ෂය නොවේවායි ප්‍රාර්ථනා කළෙමි. ගම්දනව් තුළ සහෝදර ප්‍රේමය වියැකී යන්නේ ඉඩම් හබ හේතු කොටගෙනය . දෙමව්පියන්ගෙන් පසු වැඩිමහල් පුත්‍රයාට ඉඩම් අයිතිය පැවරෙන අතර සෙසු සහෝදර සහෝදරියන්හට සාධාරණව එය බෙදාදෙන්නේ ඉතාමත් කලාතුරකිනි. බොහෝවිට සිදුවන්නේ වැඩිමහල් සහෝදරයා තනිව භුක්ති විඳීමයි. ගොවිජනපද ඉඩම් නීතිය වෙනස්විය යුත්තේ එවන් අසාධාරණයන්ට ලක් වී බිම් අඟලක් හෝ අහිමිව මහමඟට ඇද වැටෙනු තරමට අසරණවන්නන් නිසාය.

දුරුතු සීතලට පිළියමක් ලෙසින් යාම්තම් අඳුර ගලා එනවිටම වසන ලද දොර නැවත විවර කරන්නට සිදුවූයේ ආගන්තුක සම්ප්‍රාප්තියක් හේතුකොටගෙනය. සැබැවින්ම ඒ තරුණ මුහුණු හුරු පුරුදු වන්නාක් මෙන්ම බුද්ධිමත් හා ළෙන්ගතු ඇසුරක මිහිරියාවෙන් අපි උතුරා ගියෙමු.

‍මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින තරුණයකු සමඟ ගත කළ කාලය සැබැවින්ම අරුත්බර විය. ඔහු උපාධිධාරියෙක් ද වෙයි. ඔහු ඉතා නිරවුල්ව පවත්නා තත්ත්වය විග්‍රහ කළේය. උගත් බුද්ධිමත් තරුණ පරපුරේ ජීවය හා කැපවීම පිරිසිදු හා සාධාරණ දේශපාලන සංස්කෘතියක් බිහි කරන්නට කොතරම් ඉවහල් වන්නේ දැයි මා කල්පනා කළේ පුරවැසියකුට වඩා අම්මා ‍කෙනෙකුන් ලෙසිනි.

වඩා යහපත් හා යුක්තිගරුක හෙට දවසක් පිළිබඳව සිහින දුටු පරම්පරාවක එකියක ලෙස අපේ දරුවන් හෝ එබඳු අයුක්තියෙන් අවභීතියෙන් හා අසාධාරණයෙන් ජරා ජිර්ණ ‍නොවූ ලොවක ජීවත්වන බව සිතීම පවා ආහ්ලාදජනක නොවන්නේද? කලින් කලට මෙබිම ගලන ලද ලෙයින් හා කඳුලින් කකියන හදවතින් වුව අපි අපේ දරුවන් වෙනුවෙන් සිහින දකිමු. වෙර වෑය‍මෙන් හදා වඩා ගත් දරුවන් ‍හෝ හෙට දවසේ ප්‍රීතියෙන් හා අනෙකා පීඩාවට පත් නොකොට සහෝදර ජාතීන් සමඟ සමගි‍යෙන් ජීවත් වන්නේ නම් එපමණක් ප්‍රමාණවත් නොවේද මවකට? පියෙකුට?

“හරි හම්බ කරගැනීමේ චේතනාවක් අපිට ඉතිං කොහෙත්ම නෑනේ... අවංකවම ගමට සේවයක් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නෙ...”

සොහොයුරාගේ තියුණු හඬද අවංක බැල්මද දරුවන්ගේ පියාගේ පවා සිත ඇද බැඳ ගත් බව පෙනෙන්නට තිබිණ .

“අපිම හොරුන්ට මැරයන්ට ඡන්දෙ දීලා අපෙං හොරකම් කරන කොට අපිටම පන්නා පන්නා ගහනකොට දොස් කියන එකනෙ ඉතිං මෙච්චර කල් කළේ.. .”යි ඔහු තවත් වැදගත් සැබෑවක් කී‍වේය.

“දේශපාලනඥයා වගේම ඡන්ද දායකයාත් දැනුවත් වෙන්න ඕන. වටිනා අයිතියක් වෙන ඡන්ද අයිතිය අවභාවිත නොකර ඉන්නත් ඔක්කොම හොද කියලා ඡන්දය නොදී ඉන්න එකත් ‍දෙකම වැරදියි.”

අපේ උගත් බුද්ධිමත් මිත්‍රයා සන්සුන් සරින් තෙපළුවේය . මම වහා එකඟ වීමි. “පොඩි පුතා එන්ඩකෝ ඇවිත් ටිකක් කතා කරන්න කෝ”. යි මා ම‍ගේ දෙවැන්නාට හඬ ගෑවේ ඉලන්දාරියෙකුට පිළිසඳරේ යෙදෙන්නට සුදුසුම තැනැත්තා පැමිණ සිටින බව පසක් කර ගනිමිනි.

“ මල්ලිට උදව් කරන්ඩ වෙයි . උගත් බුද්ධිමත් තරුණයන්ව පළාත් පාලන ආයතනවලට යවන එක අපේ යුතුකමක් ව‍ගේ ම වගකීමක්නෙ..”

මා ගෘහමූලිකයා අමතා කතා ක‍ළේ ප්‍රතිචාරය කෙබඳු අන්ද‍මේ එකක් වනු ඇත්දැයි සැකයෙනි.

“හොරු, කුඩුකාරයෝ, අපරාධකාරයෝ එතෙන්ට යවලා බෑනේ. මේ වගේ දක්ෂ ළමයි තමා යවන්න ඕන. මං උදව් කරන්නම් යි ඔහු මා අපේක්ෂා නොකළ අන්දමින් පැවසුවේය.”

“ මල්ලි අඳුරනවනං ‍පොලිසියේ ලොකු මහත්තයව වැඩේ ලේසියි. “ අපි කුකුසින් දල්වාගත් නෙතින් ඔහු දෙස බලා සිටි‍යෙමු.

“ගමේ කොල්ලො ටික කුදල‍ගෙන ගිහිං දෙක තුනක් ඇනලා රිමාන්ඩ් කරනවා. ඊට පස්සෙ මල්ලි ගිහිං කොල්ලො ටික එළියට ගන්නවා පොඩි සත්තමකුත් දාලා ඕ අයි සී මහත්තයට” යි ඔහු පැහැදිලි කළේ ය.

“ඊට පස්සෙ?” යි මම අනුවණ ලෙස ප්‍රශ්න කළෙමි.

“ඊට පස්සෙ ඉතිං ඡන්ද ටික සේරම මල්ලිට“

අපි හඬ නගා සිනාසෙණෙමු. එවන් මජර දේශපාලන සංස්කෘතියක් වෙනස් කරන්නට වෙහෙසෙන දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් ලෙස ඔහු ඒ යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළේය.

“අපි අපේ මිනිසුන්ව දැනුවත් කරමු අයියේ” යි ඔහු සුපුරුදු සන්සුන් ස්වරයෙන් තෙපළුවේය.

ශාන්ති දිසා­නා­යක

සුදු දෙවි­වරු කළු කිරීම සහ කළු දේශ­පා­ල­න­ඥ­යන් සුදු කිරීම

$
0
0
ජන 30, 2018 01:00

ඉන්දියාවේ සුදු දෙවිවරු කළුවෙන් වර්ණ ගැන්වීමේ ව්‍යාපෘතියක් ඉතා සාර්ථක වී ඇති බව බීබීසී ගුවන් විදුලිය පෙන්වා දී තිබුණා. මේ ව්‍යාපෘතිය අරඹා තිබෙන්නේ ඉන්දියාවේ කළු හම් සහිත කණ්ඩායමක්. එහි නිර්මාතෘවරයා හැටියට සැලකෙන්නේ භාරත්වාජ් සුන්දර් නම් බොලිවුඩ් නිෂ්පාදකයෙක්. උපතින් තද කළු සමක් සහිත ඔහු එවන් වර්ණයෙන් යුතු මිතුරන් කිහිප දෙනකුද හවුල් කරගෙන ඇරඹූ මේ ව්‍යාපාරය අද ඉතා ජනප්‍රිය වී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

පැහැපත් ඡවි වර්ණයට ඉන්දියානු සමාජයේ ඇති විශාල පිළිගැනීම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉන්දියානු සමාජයේ මිනිසුන්ගේ සමාජ තරාතිරම තීන්දු කිරීමේදී පවා සමේ වර්ණය ප්‍රබල සාධකයක් ලෙස සැලකෙනවා. ඒ නිසාම සම පැහැපත් කරන අංගරාග හා විලවුන් වර්ගවලට ඉන්දියානු වෙළඳපොළේ තිබෙන්නේ පුදුමාකාර ඉල්ලීමක්. ඒත් එක්කම ඉන්දියන් ජනතාව අතර ඉතා ප්‍රචලිත දෙවි දේවතාවුන්ගෙන් සීයට අනූ නවයක්ම සුදු පැහැති අයයි. ඉන්දියාවේ දකින්න ලැබෙන පොස්ටර්, දින දර්ශන වැනි හැම ප්‍රචාරක කටයුත්තක් සඳහම දෙවිවරුන්ගේ රූප භාවිත කිරීමේ සම්ප‍්‍රදායක් පවතිනවා. කොටින්ම රික්සෝවල පවා අලවා තිබෙන්නේ විවිධ පැහැති දෙවිවරුන්ගේ රූප. මෙතරම් දුරට ජන ජීවිතයට කාවැදී තිබෙන ඇදහිල්ලක් වෙනස් කිරීමට සුන්දර් සමත් වීම අදහන්න බැරි දෙයක් හැටියටයි විචාරකයන් සලකන්නේ.

ඉන්දියාවේ සිදුවෙමින් පවතින සුදු දෙවිවරුන් කළු කිරිමේ මේ ව්‍යාපාරය තනිකරම අලෙවිකරණ ප්‍රයෝග මත සිද්ධ කෙරෙන්නක්. වඩාත් තේරෙන භාෂාවෙන් කියනවා නම් මාකටින්වලින් කෙරෙන වික්‍රමයක්.‘‘අඳුරු වර්ණය දිව්‍යමය වෙයි’’ යන තේමා පාඨය යටතේ දියත් කෙරුණු සියුම් ප්‍රචාරක වැඩ පිළිවෙළ මේ වන විට කෙතරම් ජනප්‍රිය වී ඇත්දැයි කීවොත් චෙන්නායි ඇතුළු ඉන්දියාවේ නගර රැසක නිවෙස්වල හා දෙවොල්වල වැඩවසන දෙවි දේවතාවුන්ගේ රූප කළු පැහැ ගැන්වෙන්නට පටන් අරන්. මේ අනුව මෙතරම් කලක් පැහැපත් ඡවි වර්ණයට දැඩි රුචියක් දැක් වූ ඉන්දියානුවන් අඳුරු පැහැති සමකට ලොල් කරන්න පටන් අරන්. ‘‘අඳුරු සම ලස්සනයි’’යන්න ඔවුන්ගේ ආදර්ශ පාඨය බවට පත් වෙලා.

මේ මානසික ස්වභාවය ඉන්දියානු සමාජය තුළ මුල්බස්සවනු ලැබුවේ පරම්පරා ගණනක් පුරා ඔවුන්ගේ සිත් තුළ කාවැදී තිබුණු පුරාතන විශ්වාසයන් මුලින්ම උදුරා දමමිනුයි. මෙයින් පැහැදිලි වන්නේ අද ඉන්දියාව පමණක් නොව මුළු ලෝකයම මෙහෙයවන මානසික බලවේගය බවට අලෙවිකරණ උපක්‍රම හෙවත් මාකටින් සිස්ටම්ස් පත් වී ඇති බවයි. මේ පුවත දුටු සැණින් මට මතක් වුණේ මේ දවස්වල අපෙ රටේ පැවැත්වෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු ගැනයි. භාරත්වාජ් සුන්දර් විසින් ඉන්දියාවේ සුදු දෙවිවරු කළු කෙරුවා වගේ අපේ රටේ කළු දේශපාලනඥයන් සුදු කිරීමේ සියුම් ප්‍රචාරක වැඩපිළිවෙළක් සිදුවෙමින් පවතින බව පෙනෙනවා. දූෂණයෙන් හා භීෂණයෙන් රට කැලඹූ ඇතැම් දේශපාලනඥයන්ගේ චරිතවලට සුදු ආලේප කර ඔවුන් ජනතාවට අලෙවි කිරීමට විවිධ ඒජන්තවරුන් දරන උත්සාහය සුළු පටු නැහැ.

ජනතාවගේ දේපළ සොරකම් කළ උදවිය ජනහිතවාදී මහජන සේවකයන් ලෙස පින්තාරු කිරිමේ සිට ස්ත‍්‍රී දූෂකයන් උපාසක මහත්තුරු ලෙස වෙස් ගැන්වීම දක්වා වූ දැවැන්ත මෙහෙයුමක් මේ ඒජන්තයන් හරහා ක්‍රියාත්මක වෙන්නේ නියම ගරිල්ලා මාකටින් උපක්‍රම අනුගමනය කරමිනුයි. කිසියම් භාණ්ඩයක හෝ පුද්ගලයකුගේ යථාරූපය වසංකොට නැති ගුණයක් හුවා දැක්වීම මගින් පාරිභෝගිකයා මුලා කිරීම පිළිබඳ අපූරු උපමා කතාවක් නස්රුදින්ගේ කතා අතර දක්නට ලැබෙනවා. ඉන්දියාවේ දෙවිවරුන්ගේ පාට මාරු කිරීම වගේම ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගේ යථා ස්වරූපය වසං කිරීමත් නස්රුදින්ගේ කතාවත් එක්ක හොඳටම පෑහෙන නිසා අපේ පාඨකයන්ගේ දැනගැනිම සඳහා එයත් මෙහි දක්වන්නම්.

නස්රුදින්ගේ කතාව මෙහෙමයි. තමන්ගේ ලෙඩ අස්සයා විකුණාගන්න නස්රුදින් මාකට් එකට යනවා. එතන ඉන්න මාකටින් ඒජන්තයෙක් අස්සයාව නොවටිනා ගණනකට විකුණාදීමට ඉදිරිපත් වෙනවා.‘‘බලන්න මේ අපූරු අස්සයා. මෙහෙම කැහැටුවට හිටියාට මෙයාට අලියෙක් වගේ බර අදින්න පුළුවන්... කඟවේනෙක් වගේ දුවන්න පුළුවන්..මෙයා උසස්ම වර්ගයේ අස්සයෙක්..මෙහෙම චාන්ස් එකක් ආය හම්බ වෙන්නේ නැහැ...’’ ආදි වශයෙන් ඒජන්තයා එයාගෙ මාකටිං භාෂාවෙන් අස්සයාගේ වටිනාකම වර්ණනා කරන්න පටන් ගත්තා. මිනිහගේ මාකටින් පාර මොනතරම් සාර්ථක වුණාද කිව්වොත් ටික වෙලාවක් යන විට නස්රුදින්ට මෙහෙම හිතුණා. ‘‘අපරාදෙ මෙච්චර වටිනා අස්සයෙක් විකුණල දාන එක..මේ මනුස්සයා කියනකම් මං මුගේ වටිනාකම දැනං හිටියේ නැහැනෙ’’ එහෙම හිතපු නස්රුදින් අස්සයා විකූණන අදහස අතහැරලා ලෙඩ අස්සයවත් දක්කගෙන ආපහු ගෙදර ගියා.

මේ දවස්වල රට පුරා අහන්න දකින්න ලැබෙන මැතිවරණ මාකටිං උපක්‍රමවලට රැවටී රටට හා ජනතාවට හතුරුකම් කළ දේශපාලුවන් හැටියට හංවඩු ගසා පැත්තකට කරපු පරණ කට්ටියවම ආයෙත් තෝරාගත්තොත් අපටත් සිද්ධ වෙන්නේ නස්රුදින්ට සිදු වුණ දේම බව අමතක කරන්න නරකයි. 

කමල් පෙරේරා

ගාන්ධි ඝාතනය දෙස නැවත හැරී බැලීම

$
0
0
ජන 30, 2018 01:00

මහත්මා ගාන්ධි ඝාතනය වී අදට (1/30/2018) වසර හැත්තෑවක් (70) ගතවේ. ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයෙන් මුදවා ගැනීමේ මෙහෙයුමේ පුරෝගාමියකු වූ මහත්මා ගාන්ධි වෙඩි තබා මරා දැමූවේ ඇයි යන කාරණාව ගැන පර්යේෂණ, සාකච්ජා, විශ්ලේෂණ බොහෝ සිදු කර ඇත. මහත්මා ගාන්ධි වෙඩි තබා මරා දැමීමේ අපරාධය සම්බන්ධයෙන් අට දෙනකු වරදරකරුවන් සේ ඔප්පු වූ අතර, නාතුරාම් ගෝඩ්සේ (Nathuram Godse) සහ නාරයන් ආප්තේ (Narayan Apte) යන අයට මරණ දඬුවම නියම විය.

මහත්මා ගාන්ධි මරා දමා බොහෝ කල් ගෙවුණ තැන ඒ දෙස නැවත් හැරී බලන ඉතිහසඥයෝ, දේශපාලන වචාරකයෝ සහ අනෙක් අය එම ඝාතනය හුදෙක් මුස්ලිම් විරෝධි, හින්දු දේශපාලනික මතවාද දරන කිහිප දෙනකුගේ නොමඟ යෑමක් ලෙස ලඝු කොට නොදක්වති. එය වෛරයේ ප්‍රතිඵලයක් ලෙස හුවා දක්වනවාට වඩා ඔබ්බට ගිය උපක්‍රමශීලී දේශපාලනික කුමන්ත්‍රණයක් ලෙස ඔවුහූ පෙන්වා දෙති. ඉන්දියාව හින්දූන්ට පමණක් අයිති රටක් ලෙස දේශනා නොකළ මහත්මා ගාන්ධි එදිරිවාදියකු ලෙස දකින්නේ හින්දු ඉන්දියාවක් විශ්වාස කරනා පිරිස පමණක් නොවේ. භේදකාරී දෘෂ්ටිවාදින්, ගාන්ධි නිසා ඉන්දියාවේ ඇති වූ යම් වෙනස්කම්, ඇතැම් පුරුදු නොරුස්සන පිරිසත්, ඉන්දීය දේශපාලනයේ මහත්මා ගාන්ධි නොපැවතීම ආශිර්වාදයක් ලෙස සැලකීම විවෘතව කතාබහට ලක්වෙන කාරණාවකි.

මහත්මා ගාන්ධි ඉතිහාසයෙන් මකා දැමීමට ඇති උවමනාව පිළිබඳ විවිධාකාර පිරිසක් වෙත ඇඟිළි යොමු වූවත්, 1949 මැයි පස් වැනිදා උසාවියට අවසාන ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් නාතුරාම් ගෝඩ්සේ, තෙවරක් වෙඩි තබා මහත්මා ගාන්ධි මරා දැමීමේ සම්පූරණ වගකීම භාර ගෙන තමන් විසින් එසේ කිරීම ගැන අනාගතයේදී ඇගයෙනු ඇතැයි සඳහන් කළේය. ඉන්දියාව බෙදා වෙන්කිරීමේදී හින්දුන් මිලියන ගණනක් විනාශ කර මුස්ලිම් භක්තිකයන් වෙනුවෙන් වඩා වාසි සහිත තත්ත්වයක් ඇති කිරීමට මහත්මා ගාන්ධි හේතු වී යැයි තදින් විශ්වාස කළ නාතුරාම් ගෝඩ්සේගේ වචනය අදහන හින්දු මූලධර්මවාදී මත්වූවෝ වෙති.

ගාන්ධි මරා දැමීමට හේතුවක් ලෙස ගෝඩ්සේගේ නිදහසට කාරණා කෙතරම් අතාර්කික මුත් එංගලන්තයෙන් ඉන්දියාවට විය යුතු වූ බල සංක්‍රාන්තිය සාමකාමි මෙහෙයුමක් නොවී ජීවිත බිලිගත් අවිධිමත් යුද්ධයක් බවට පත් වීමට මහත්මා ගාන්ධිගේ භූමිකාවෙන් බලපෑමක් වීද? නැති නම් ඉන්දියාව බෙදා වෙන්කිරීමේ සැලැස්මේ කිසි තැනක ගාන්ධිට භූමිකාවක් නොවීද? ඉන්දියාව බෙදා වෙන්කිරීමට අනුග්‍රහ නොදැක්වූ මහත්මා ගාන්ධිගේ දෑතේ ඉන්දියාව බෙදා වෙන් කිරීමේදී ගැලූ ලේ ගෑවී ඇති බවට චෝදනා එල්ල වෙන්නේ ඇයි?

ඉන්දියාව බෙදා වෙන්කිරීමට එකඟ නොවූවත් දිනෙක ඒ වෙන බව දැන ඒ ගැන නිසි පියවරක් නොගෙන සිටි නිසා මහත්මා ගාන්ධි වරදකරුවකු වෙන බවට අදහසක්, යෝජනාවක් වැනි දෙයක් ඉදිරිපත් කිරීම ඇරුණු විට මහත්මා ගාන්ධි ඉන්දියාව අවිධිමත් ලෙස බෙදා වෙන්කිරීමට පිඹුරුපත් ඇඳි බවට සාක්ෂි ඉදිරිපත් කිරීමක් කිසිවකුට කළ නොහැකිය. මුස්ලිම් මිනිසුන්ට කැමැති නම් ස්වරජ්‍යක් පිහිටුවා ගැනීමට අයිතියක් ඇති බවට, මහත්මා ගාන්ධි හරිජන් පුවත්පතට ලියමින් සඳහන් කර ඇත (1940). එවැනි බෙදීමකට අකමැති හින්දුන්ට ඊට විරුද්ධ විය හැකි බවද ඔහු කලකට පසුව ලියා සඳහන් කර ඇත (1947). ඔහුගේ මේ ප්‍රකාශ පැහැදිලි කිරීම කළ හැක්කේ ඔහු පමණි. එම ප්‍රකාශ අර්ථ නිරූපණය කරගැනීමට අනුව කෙනෙක් ඔහුව ඉන්දියාව බෙදා වෙන්කිරීමේදී වූ සංග්‍රාමයට සෘජුව හේතු වූ වරදකරුවකු ලෙස දැකීමට හෝ එම අහේතුක විනාශය වැළැක්වීමට කටයුතු නොකිරීමෙන් වක්‍රාකාරීව වගකිව යුතු වරදකරුවකු ලෙස දැකීමට පුළුවන.

රටක් බෙදා වෙන්කිරීම පිළිබඳ සාකාච්ඡාව අප සැණෙන් කලබල කරවන මාතෘකාවක් නමුත් ඉන්දියාව කොටස් වීම යටත් විජිතවාදයෙන් නිදහස් වීමේදී හදිසියේ ඇතිවූ ප්‍රතිඵලයක් නොවේ. බ්‍රිතාන්‍ය පාලනය නිසා වෙනත් මුහුණුවරක් ගත් නමුත් පැරණි වඩා සංකීර්ණ දේශපාලනික ගැටලුවක් නිසියාකාරව පිළියම් නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ බෙදා වෙන්වීම සිදු විය. ඉන්දියාව නොබෙදා එහි පළමු අගමැති වීමට මුස්ලිම් නායක මොහොමඩ් අලි ජින්නාට ආරාධනා කරන්නැයි යෝජනාවක් මහත්මා ගාන්ධි විසින් වයිස් රොයි මවුන්ට්‌බැටන් සාමිවරයා වෙත ඉදිරිපත් වී මුත් එම තනතුර බලාපොරොත්තු වූ හින්දු නායකයෝ ඊට විරෝධය පෑහ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් ඉන්දියාව වෙත බලය නැවත පැවරීම රැජිනගෙන් මහත්මා ගාන්ධි වෙත බලය පැවරීමක් වාගේ සරල සංක්‍රාන්තියක් නොවෙද්දී සංකීර්ණ දේශපාලනික තීරණ ගැනීම් රාශියක ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව බෙදී, ජනතාවගේ ලේවලින් සීමා මායිම් ඇඳීම සිදු විය. හින්දු මුස්ලිම් දෙපිරිසම විනාශ වූ මොහොතක හින්දුන් වනසා දැමීමට වරදකරු කර මහත්මා ගාන්ධි වෙඩි තබා මරා දැමීමට මිනිසුන් කිහිප දෙනකු ගත් තීරණයේ කිසිම නිරවද්‍යතාවක්, යුක්තිසහගත බවක් නැත.

හිමාලි එන්. ලියනගේ

ජීවි­තය වගේද මත්පැන්

$
0
0
ජන 30, 2018 01:00

‘‘ටොම්සන් මහත්තයා... අද මොකද නිකම් හෝන්දු මාන්දු වෙලා වගේ....‘‘ කියා ඇසුවේ උන්නැහේය.

‘‘ හරි ඉතින් මං හෝන්දු මාන්දු වෙලා වගේ තමයි. ඒ වුණාට උන්නැහේ නම් බොහොම සන්තෝසෙන් ඉන්නේ... මොකක් හරි වාසියක් වෙලා වත්ද‘‘ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘‘ වාසියක් කිව්වට වාසියක්මත් නෙවෙයි... ඒ වුණාට මං කල්පනා කළේ කාන්තාවන්ට මත් පැන් මිල දී ගැනීමේ තහනම ඉවත් කරලා.. කාන්තාවන්ටත් මත් පැන් බොන්න නීතියෙන්ම අවසර දුන්නම.. ඉතින් කොච්චර ජොලිද..... කියා උන්නැහේ කීවේ පුදුම සන්තෝසයකිනි.

‘‘ ඒ කියන්නේ දැන් මොකද වෙලා තියෙන්නේ’’ කියා ඇසුවේ එතැනට එමින් සිටි ඇම්බන් මහත්තයාය.

‘‘ වෙලා තියෙන්නේ කියන්නේ... දැන් බලන්නකෝ ඔය රෙස්ටුරන්ට්... නැත්නම් තැබෑරුම්...වයින් ස්ටෝර්ස්... කිසිම ගතියක් නෑ නේ.. නිකම් හිතන්න... දැන් ඔන්න මේසේ වටේ පිරිමි ඉඳ ගෙන බොනවා.. කිසි ගතියක් නෑ නේ..අන්තිමට ගහ ගන්නවා.. එච්චරයි නේ.... එහෙමද ඕකට ගෑනු කාණ්ඩෙත් එකතු වුණොත්.. මොන ජොලියක් තියෙයිද මං කියන්නේ... ’’ කියා උන්නැහේ නිකම් වයින් කරපු ගානට කරකැවුණේය.

‘‘ ඔව්.. ඒකත් හරි.. අපිත් දියුණු රටක් වෙන්න නම් ඒ විදිහේ වෙනස්කම් තියෙන්න හොඳ නෑ... අපරාදේ මේ නඩු දැමිල්ල කරන්න මෙච්චර කල් පරක්කු වුණේ... ඕක කරන්න තිබුණේ ඔය නිදහස ලබාපු කාලේ දීමයි.. එහෙම කළා නම් අද කොච්චර අපූරුවට නිදහස සමරන්න තිබුණාද... නිකං හිතන්න දෙකක් දා ගෙන ගෑනු නටන්න ගත්තම නියම සංදර්ශනේ...’’

ටොම්සන් මහත්තයා කිසිවක් නොකියා ඒ අතට මේ අතට ඇවිදිමින් සිටියේය.

‘‘ ඇයි මොකද ටොම්සන් මහත්තයා... වෙන කල්පනාවක... මොකක් හරි ප්‍රශ්නයක්ද ’’ කියා ඒ සැරේ ඇසුවේ ඇම්බන් මහත්තයාය.

‘‘ ප්‍රශ්නයක් තමයි ඇම්බන් මහත්තයා... අර වීරවිල දැරියගේ මරණය ගැන විස්තරේ ඇහුවම මට නිකම් දරා ගන්න බැරි කම්පාවක් ඇති වුණා... ’’ කියා ටොම්සන් මහත්තයා කීවේ බොහොම දුකෙනි.

‘‘ මේකනේ ටොම්සන් මහත්තයා... ඒකෙත් හැටි බලන්නකෝ.. ඒ සිද්ධියෙත් මුල බීමත් කම නේ.. මේක තිරිසනුන්ගෙන් පිරිච්චි සමාජයක් වෙච්චි... මේ වගේ තිරිසන් අපරාධ කරන්න පිරිම පෙළඹෙන කොට ඒකට දඬුවම් මුකුත් නෑ නේ.. ඒක නේ... අන්තිමේ අපරාධකාරයන්ගේ මානව හිමිකම් හොයන සමාජයක් නේ බිහි වෙලා තියෙන්නේ... ’’ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ ඒක නම් ඇත්ත ඇම්බන් මහත්තයා.. දැන් ඔය කෙනකුගේ ජීවත් වීමේ අයිතිය තවත් කෙනෙක් පැහැර ගන්නවා.. එතකොට මිය ගිය තැනැත්තාගේ මානව හිමිකම් කෝ... ඒවා ගැන කතා කරන්න කෙනෙක් නෑ.. එතකොට එහෙම කරපු අපරාධකාරයකුගේ මානව හිමිකම් හොයලා මරණ දඬුවම නවත්තලා... ඔය හිරේට දාලා ටික දවසක් ගිහිල්ලා... සමාවකුත් දීලා ආයෙත් එළියට එනවා... මං කියන්නේ එකෙකුට මරණ දඬුවම දුන්නා නම් අනික් අයගේ ජීවත් වීමේ අයිතිය රැකෙනවා... ඒ වුණාට වැඩක් නෑ නේ... ’’ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘‘ටොම්සන් මහත්තයා කියන දේ නම් ඇත්ත තමයි.... ඔය අද මානව හිමිකම් ගැන කතා කරන සුද්දෝ මේ රට අල්ලා ගෙන හිටපු කාලේ මේ රටේ ජනයා නින්දිත විදිහට මරා දාපු හැටි අද මතක නෑ.. උන් තමයි අද අපට මානව හිමිකම් උගන්නන්නේ.... මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකය පුරාම යටත් විජිතවල ජනයා තිරිසන් විදිහට මරලා දාලා තියෙනවා... එදා උන්ට ඔය මානව හිමිකම් මතක් වුණේ නෑ... ’’

‘‘ ඒක තමයි... ’’ කියා උන්නැහේත් හිස වැනුවේය.

‘‘ මං කියන්නේ ඇම්බන් මහත්තයා... දැන් මේ වීරවිල දැරිය මොන තරම් අහිංසකද. ඉස්කෝලේ ගිහිල්ලා... ශිෂ්‍ය නායිකාවක් වෙලා... පස්සේ පොලිසියට බැඳිලා තමන්ගේ අම්මා තාත්තා රස්සා කරන්නනේ හිතා ගෙන ඉඳලා තියෙන්නේ..... අන්තිමේ ඒ ඔක්කොම එක පැය කීපයකින් වතුරේ.’’

‘‘ ඒක තමයි ටොම්සන් මහත්තයා... මං කල්පනා කළේ... අර කිව්වත් වගේ.. ඔය කාන්තාවන්ගේ ජීවත් වීමේ අයිතිය... කාන්තා සුරක්ෂිතතාව ගැන ලොකුවට කතා කරන ඔය කාන්තාවෝ මත්පැන් බොන්න නඩු දාන්න යනවා.. ඒ වුණාට මං නං දැක්කේ නෑ ඔය වීරවිල දැරියගේ මරණය... ඒ දැරිය දූෂණයට ලක් වීම සම්බන්ධයෙන් එක වචනයක ප්‍රකාශයක් කරලා තිබුණා... අඩු ගණනේ ඔය දැරිය රෝහලේ දවස් කීපයක්ම අන්තිම හුස්ම පිට කර ගන්න දුක් විඳිද්දී මේ කාන්තාවෝ එක්කෙනෙක්වත් රෝහලට ගියාද කියලා මං නං පත්තරේකවත් තියෙනවා දැක්කේ නෑ... ’’ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ ඒක ගැන මොනවට කියනවද ඇම්බන් මහත්තයා... කාන්තාවන්ගේ ජීවත් වීමේ අයිතියට වඩා මත්පැන් බීමේ අයිතිය ලොකුයි නේ... ’’ කියූ ටොම්සන් මහත්තයා නිහඬව පාර පැත්තට ඇවිද ගෙන ගියේය.

බන්දුල පී දයාරත්න

වමත් ආග­මක්

$
0
0
ජන 30, 2018 01:00

බොහෝ දෙනකු පොදුවේ පිළිගන්නා කාරණයක් වන්නේ ආගම හා සදාචාරය විසින් මනුෂ්‍යත්වය හා ශිෂ්ටත්වය, සදාචාරය, ගුණ වගාව ඇති කරන බවයි. එහෙත් ඒ තුළින්ම එය විනාශ කරන බවට පවත්නා අත්දැකීම් බොහෝය. ආගම නිසාම ඇති කරගත් යුද්ධ නිසා විනාශවූ ජීවිත, දේපළ ගණනය කළ නොහැකි තරම්. ශිෂ්ටත්වයේ සදාචාරයේ මුවාවෙන් කෙරෙන නීති විරෝධී, අමානුෂික ක්‍රියාකාරකම්ද විශාලයි. මේ ගැන නිකමට ආයෙ ආයෙමත් හිතන්න සිදුවුණේ මත්පැන් නීතිය ඉදිරියේ ලාංකීය ස්ත්‍රීන්ට වෙනස්කොට සලකන්නට නීතිය යළිත් බලාත්මක වූ හින්දයි. ‍මේ ගැන මාගෙ අදහස කුමක්දැයි විමසූ පුවත්පතකට ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාදී මං ගෙදරට එද්දී මායියා, හිටියේ දවසේ පත්තරය පෙරළමින්.

"ඔයාට බොන්න ඕනද?"මං ඇහුවා.

"නෑ. මං ඇහුවේ ඔයාට මත්පැන් බොන්න ඕනද කියලා?"

"විකාරද? ඔළුව නරක්වීගනෙ එනවද කොහෙද?"එහෙම කියාගෙන මූණ නොරොක් කරගත්තු මායියා, පත්තරෙත් ගසා බසා දමා නැඟංටලා යන්න ගියා. මං එයා හොයාගෙන කුස්සියට ගියා.

"විහිළුවට නෙවෙයි අනේ. මං ඔයාගෙන් ඇහුවේ ඔයාට මත්පැන් බොන්න ආසවක් තියෙනවද? ජීවිතේ කවදාහරි එහෙම ආසාවක් ඇති වෙලා තියෙනවද, කියලා දැන ගන්න?"

මං ආදරෙන් එහෙම කීවම එයා මං දිහා හොඳට බැලුවා.

"නෑ. මට එහෙම හිතිලා නෑ. ඒත් එකෝමත් එක දවසක යාළුවෙක්ගෙ පාර්ටි එකකදී මං වයින් ටිකක් බීවා. ඒකත් මට ඇල්ලුවේ නෑ. ඒ හින්දා මං ඒක ගැන හිතන එක නැවැත්තුවා. මං දන්නවා මට එහෙම හිතුණත්, මං ඒ දේ කරත් ඔයාගෙන් බලපෑමක් නෑ කියලා"මායියා, එහෙම කීවම අපි දෙන්නා අතර තියෙන අවබෝධය ගැන ඇත්තටම සතුටක් දැනුණා.

"ඇයි ඔයාට ඒ ගැන හදිස්සියේ අහන්න හිතුණේ?"මායියා අහනවා.

"මේ දවස්වල කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්නට ලබාදුන්නු හැකියාව ආයෙම උදුරාගත්තු එක ගැන කතා බහක් යනවනේ. ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක්ම ගොනුකරලත් තියෙනවා. ඒ ගැන පත්තරේක වැඩ කරන නංගි කෙනෙක් මගේ අදහස ඇහුවා. මං ඉතිං කීවා. ඔයාගෙ අදහස දැන ගන්න ඕනවුණා."

"ඔයා මොකක්ද කීවේ?"

"ඇත්තටම මේක මත්පැන් මිලදී ගන්න ඉඩදෙන්න කියලා හරි මත්පැන් පානය කරන්න අවසර ඉල්ලලා හරි කරන අරගලයකක් නෙවෙයි. මේක නීතිය ඉදිරියේ සමානව සලකන්න කියලා කරන ඉල්ලීමක්. මත්පැන් පානය කරනවද, නැද්ද කියන එක තීරණය කරන්න ඒ අයට ඉඩ දෙන්න ඕන. ඒක තව කාට හරි තීරණය කරලා ඒ තීරණයට එකඟවෙන්න කියලා බලකරන්න කාටවත් අයිතියක් නෑ"

"ඒක ඇත්ත. ඔයා කියන දේ තමයි හරි"මායියා, සෑහෙන කාලෙකට පස්සේ මගේ අදහසට එකඟවෙලා. අපි දෙන්නට සතුටුයි. ඔන්න ඒ සතුට වැඩිවෙලා තිබුණේ නෑ. ශ්‍රී ලංකාවේ වම නියෝජනය කරන, මේ වෙලාවෙ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයෙක් වෙච්චි පොඩිඑකා හදිසියේම පාත්වුණා.

"අප්පච්චිගෙන් ප්‍රකාශයක් ගත්තා කීව පත්තරයක් කාන්තාවන්ට මත්පැන් අයිතිය ඉල්ලීම ගැන මොකද කියන්නෙ කියලා මගෙනුත් ඇහුවා. මං කීවා හොඳවයින් දෙකක්."

"මොනවද උඹ කීව දෙක?"

"එකම පත්තරේ එකම පිටුවක, අප්පච්චියි පුතණ්ඩියයි හැප්පෙනවා ඊළඟ සතියේ බලාගන්න පුළුවන්."එහෙම කියාගෙන මායියා, එතැනින් අයින්වුණා.

"ඇයි යකෝ මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ගෑනුන්ට බොන්න දෙන එකද ලොකුම ප්‍රශ්නය. මේකෙන් වෙන්නේ අපේ සංස්කෘතිය විනාශ කරන එක"පොඩි එකා කියනවා. මං නෝන්ඩියට හිනාවුණා.

"'සංස්කෘතිය'කියන වචනෙ තේරුමවත් දන්නෙ නැති වාමාංශික පක්ෂයක සාමාජිකයකුගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ"මං එහෙම කීවම, පොඩි එකාගෙ මූණ රතුවුණා. ඒත් කරන්න දෙයක් නෑ.

"මමත් ඒ පත්තරේට කීවේ දෙකයි තමයි. ඒත් ඒ කාරණා දෙකක්. පළවෙනි කාරණය, නීතිය ඉදිරියේ පුරවැසියෙක් ලෙස කාන්තාව, වෙනස් කොට හෝ විශේෂ කොට සලකන්න බෑ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ කියන්නෙ කාන්තාවන්ට එක නීතියකුයි, පිරිමින්ට තව නීතියකුයි තියෙන්න විදිහක් නෑ. අනෙක් කාරණය නම් තමන් කැමති ඕනම රැකියාවක නිරත වෙන්න කාන්තාවන්ටත් පුරවැසියන් ලෙස අයිතියක් තියෙනවා. ඒ නිසා මත්පැන් විකිණීම, ඒවා සැපයීම, වෘත්තියක් ලෙස කරන්නට කැමති කාන්තාවන්ට ඒක තහනම් කරනවා නම් එතනත් මූලික අයිතිවාසිකම් කඩකරලා තියෙනවා."

පොඩි එකා යන්න ගියා. මමත් කාමරයට ආවා. අර කවුදෝ කෙනෙක් කීව කතාව ආයෙ ආයෙමත් මට තහවුරු වුණා.

"ලංකාවෙ වම කියන්නෙත් ආගමක්" 

බණ්ඩි රාල

පෙම්වතියගේ පියා ලණුව ගිලී

$
0
0
ජන 30, 2018 01:00

 එයාර් ෆ්‍රාන්ස් ගුවන් සේවිකාවක වූ මොනික් ලැවලියර් ඇබග්නේල්ට හමුවූවේ වින්ඩ්සර් හොටලයේදී පැවැති සාදයකදීය. ඇබග්නේල්ට තමා සබඳකම් පැවැත්වු සියගණනක් කෙල්ලන් අතරින් මොනික් විශේෂ වූයේ ඇය චරිතයෙන් මෙන්ම පෙනුමින්ද රොසාලිට බෙහෙවින් සමාන වූ නිසාය. ඔවුන් දෙදෙනා ඉතා හොඳින් එකිනෙකා හා පෑහුණු අතර, ඇබග්නේල්ව හමුවී තෙදිනකින්ම මොනික් සිය ආදරවන්තයා පවුලේ සාමාජිකයින්ට හඳුන්වා දුන්නාය. ඒ සියල්ලන්ම අතරින් ඇබග්නේල්ගේ සිත් ගත්තේ මොනික්ගේ පියා වියපත් ‘පපා ලැවලියර්ය‘. මුඳ්‍රණ ආයතනයක හිමිකරුවකුවු පපා ලැවලියර් ලවා තම ව්‍යාජ චෙක්පත් වඩාත් විශ්වාසනීය ලෙසත්, වෘත්තීයමය හැඩහුරුකමකින් යුතුවත්, මුද්‍රණය කරගැනීමට මේ කදිම අවස්ථාවක් බව ඇබග්නේල්ට වැටහිණි. දිවා භෝජන සංග්‍රහය අතරවාරයේ ඇබග්නේල් සිය අදහස පපා ලැවලියර්ට ඉදිරිපත් කළේ සුහද යෝජනාවක් පරිද්දෙනි. තම දියණියගේ පෙම්වතා පෑන් ඇම් ගුවන් නියමුවකු බව දැන ගැනීම ඇගේ පියාගේ ප්‍රමෝදයට හේතුව තිබිණි.

“පපා, මම කැමතියි යෝජනාවක් කරන්න. මට පෑන් ඇම් වෙළඳ කාර්යාලයත් එක්ක හොඳ සබඳතාවක් තියෙනවා. මට පුළුවන් වේවි ඔයාට පෑන් ඇම්ලාගේ මුද්‍රණ වැඩ ටිකක් අල්ලලා දෙන්න. පපාගේ අදහස මොකද්ද ඒගැන ?“

කියලාවත් කරගන්නට බැරි මෙබඳු වාසියක් නොමිලේම තම කරපිට වැටෙන්නට යන බව දැන ගැනීමෙන් පපා ලැවලියර්ගේ ඇස් ප්‍රීතියෙන් දිලිසෙන්නට විය.

“අපොයි පුළුවනි. ඔයාට අවශ්‍ය ඕනෑම ම්‍රද්‍රණ වැඩක් අපේ ආයතනය ඉහළින්ම කරලා දෙනවා, ඒ වගේම ඒ ගැන ඔයාට ස්තුතිවන්ත වෙනවා.“ මොනික්ද සිය පියාගේ කතාවට පොහොර දැම්මාය.

“මගේ තාත්තායි සහෝදරයොයි එකතුවෙලා ඔයා කියන ඕනෑම මුද්‍රණයක් කරලා දේවි. එයාලා තමයි ප්‍රංශයේ ඉන්න හොඳම මුද්‍රණ ශිල්පියෝ. මට සහතිකයි ඒ ගැන.“

ඒ වනවිට ඇබග්නේල්ට තම ව්‍යාජ පෑන් ඇම් චෙක්පත්වල ඇති අඩුපාඩුකම් ගැන හොඳ වැටහීමක් තිබිණි. මෙක්සිකෝවේදි ගුවන් සේවිකාවකගෙන් ලද හැබෑම පෑන් ඇම් චෙක්පත සමඟ සිය හොර චෙක්පත් සංසන්දනය කළ ඇබග්නේල්ට එක් දෙයක් හොඳින්ම අවබෝධ විය. ඒ තමා මෙතුවක් කල් හොර පෑන් ඇම් චෙක්පත් මාරුකරමින් වුවද නීතියෙන් ගැලවී සිට ඇත්තේ පෙර පිනක් නිසා බවය. ඔහුගේ චෙක්පත් මගඩියට හසුවු අයකැමිවරුන් නියත ලෙසම කිසිදා සැබෑ පෑන් ඇම් චෙක්පතක් දැක නැතිවා විය යුතු බව ඔහු නිගමනය කළේය. නැතිනම් ඇබග්නේල් ඒ වන විට සිටිය යුත්තේ සිරකූඩුවකය. නමුත් යුරෝපයේ දී තමාට එවන් වාසනාවක් පහළ නොවන බව ඇබග්නේල් අනුමාන කළේය. ඒ පෑන් ඇම් ගුවන් සේවයේ ක්‍රියාකාරිත්වය වඩාත් ව්‍යාප්තව තිබුණේ ඇමරිකාවෙන් පිට යුරෝපීය රටවල නිසාය. ප්‍රංශයේදී සිය පෑන් ඇම් මගඩිය ජයටම කරගෙන යාමට නම් පපා ලැවලියර්ගේ සහාය අත්‍යවශ්‍ය බව සේම තමා සන්තකයේ ඇති සැබෑ චෙක්පතේ විශ්වාසනීයත්වය තහුවරු කර ගත යුතු බව ඇබග්නේල් තීරණය කළේය. මහද්වීපය අනුව පෑන්ඇම් චෙක්පත්වල වර්ණ කේතය වෙනස්විය හැකිද යන්නට සැකයක් ඔහු තුළ විය. යළිත් වරක් ඔහු පෑන් ඇම්හි දුරකතන ක්‍රියාකරු ඇමතීය.

“හායි! මම ඩෙයිගල් භාණ්ඩ ප්‍රවාහන සේවයේ ජැක් රොජර්ස්. මට මේ ඔයාලගේ සමාගමෙන් චෙක් පතක් ලැබිලා තියෙනවා. ඒත් මම හිතන්නේ ඒක වැරදීමකින් අපට දුන් එකක් කියලයි.“

“උහ්, මිස්ටර් රොජර්ස්, ඇයි ඔයා ඒ වගේ දෙයක් කියන්නේ ? “ දුරකතන ක්‍රියාකරු අන්දමන්දව සිටින බව හැඳිනගත් ඇබග්නේල් සිය ස්වරය වඩාත් ශක්තිමත් කර ගත්තේය.

“මෙන්න මේකයි. මට ඔයාලගේ නිව්යෝක් කාර්යාලයෙන් ඩොලර් එක්දහස් නවසියයක චෙක්එකක් ලැබිලා තියෙනවා. නමුත් ඒ ගෙවීමට හරියන ඉන්වොයිසියක් මං ගාව නැහැ. පෑන් ඇම් සමාගමට අපි සේවයක් ලබාදුන්නා කියලා ඔප්පු කරන්න මං ගාව කිසිම වාර්තාවක්වත් නැහැ. මේ චෙක් එක මොනවගේ ගෙවීමකටද කියලා ඔයාට අදහසක් තියෙනවාද ?“

“මේ මොහොතේ නම් නැහැ මිස්ටර් රොජර්ස්. ඔබට හොඳටම විශ්වාසද චෙක්එක අපේ සමාගමෙන් දුන් එකක් කියලා?“

“මට පෙනෙන විදිහට නම් එහෙම තමයි. ඒක පෑන් ඇම් කියලා ලොකු අකුරින් උඩින්ම මුදුණය කරපු කොළ පාට චෙක්එකක්. “ ඇබග්නේල් විස්තර කළේ මවාගත් චෙක්පතක් මිස තම අතේ ඇති චෙක්පත නොවේ. එතරම් පළපුරුද්දක් නැති ලාබාල දුරකතන ක්‍රියාකරුද ඇබග්නේල් බලාපොරොත්තුවූ පරිදිම ඇම ගිල්ලේය. ඔහු සැබෑ පැන්ඇම් චෙක්පතක බාහිර ස්වරූපය කදිමට විස්තර කළේය.

“මිස්ටර් රොජර්ස් කියන විදියට ඕක අපේ චෙක් එකක් වෙන්න බැහැ. අපේ චෙක් නිල් පාටයි.මුලු මුහුණම ආවරණය වෙන විදිහට ඒක පෑන් ඇම් කියන වචනය ලියවිලා තියෙනවා. ලෝක සිතියමත් මුද්‍රණය වෙලා තියෙනවා. ඔයාගේ චෙක් එක එහෙම එකක්ද?“

දුරකතන ක්‍රියාකරු ඇබග්නේල්ගේ අත රැඳි චෙක්පත එයාකාරයෙන්ම විස්තර කළත් ඔහු ඒ බව පිළිගැනීමට ගියේ නැත. ඒ වෙනුවට ඇබග්නේල් කළේ සියලු සැක දුරු කරගැනීමට පොරබදින්නකු කරන තවදුරටත් ආවේගාත්මකව සිය ප්‍රහාරාත්මක ප්‍රශ්න එල්ල කිරිමයි.

“ඔයා ඔය පෑන් ඇම් චෙක්එකක් අතේ තියාගෙන ද ඔය කතා කරන්නේ?“ ඔහු විමසුවේ දැඩි ස්වරයකිනි.

“ඔව් ඇත්තෙන්ම. ඇයි මහත්මයා එහෙම .....?“ දුරකතන ක්‍රියාකරුට තම කතාව අවසන් කිරිමටවත් ඉඩ නොතබාම ඇබග්නේල් කඩාගෙන පැන්නේය.

“කවුද ඒක අත්සන් කරලා තියෙන්නේ? පාලනාධිකාරිවරයා කවුද ?“

ඔහු ඇබග්නේල්ගේ අතෙහි චෙක්පතේ සඳහන් නම ම කියා සිටියේය. එහි පහළවු අංක පෙළද එයාකාරයෙන්ම විස්තර කළේ ඇබග්නේල්ගේ සැක දුරු කරමිනි. නමුත් ඇබග්නේල්ගේ ජිවිතයේ ඇත්තට තැනක් තිබුණේ නැත.

“මේකේ තියෙන්නේ වෙන මොකද්දෝ නමකුයි, අංක පේළියකුයි. කමක් නැහැ. මමත් හිතන්නේ මෙතන මොකක් හරි පැටලැවිල්ලක් කියලායි. උදව්වට ස්තූතියි“ සියල්ල එලෙස තහවුරු කරගත් ඇබග්නේල් කල් නොයවාම පපා ලැවලියර් හමුවී ඔහුට පෑන් ඇම් චෙක්පත් දසදහසක් මුද්‍රණය කිරීමට ඇණවුමක් ලබා දුන්නේය. ඒ සඳහා නිදර්ශකයක් ලෙස ඉදිරිපත් කළේ මෙක්සිකොවේදී පෑන් ඇම් ගුවන් සේවිකාවකගෙන් ලබාගත් සැබෑ චෙක්පතයි. මොනික් නිවසේ නැති වේලාවක් මේ සඳහා තෝරා ගැනීමට හේ පරෙස්සම් විය.

“පපා අපි මේ පඩි චෙක්පත් ඇමරිකාවේදි මුද්‍රණය කරන්නේ ලොකු වියදමක් දරලයි. මම කිව්වා එයාලට ඔයාට පුළුවන් කියලා මීට වඩා අඩු වියදමකින් මීටත් වඩා හොඳ වැඩක් පෙන්වන්න. ඔයා හිතනවද මේක පුළුවන් කියලා.“

වියපත් මුද්‍රණ ශිල්පියා චෙක්පත පරික්ෂා කළේ ඉතා සැලකිල්ලෙනි. “නිව්යෝක්වලදී මේකට එයාලා කොච්චර අය කළාද මහත්මයා?“ ඇබග්නේල්ට ඒ ගැන කිසිදු හැඟීමක් නොතිබුණත් ඔහු නිව්යෝක් මුද්‍රණශිල්පීන්ට අපහාසයක් නොවන ආකාරයේ සාධාරණ මිලක් ඉදිරිපත් කළේය.“

“ චෙක් දහකට ඩොලර් තුන්සියපනහක් විතර.“

ඩොලර් දෙසීයකට එය කරදීමට පපා ලැවලියර් භාර ගත්තේ මහත් ආඩම්බරයකිනි. ඔහුට තිබුණේ එකම ගැටළුවකි. ඒ ඇබග්නේල් හා තම දියණිය අතර මිත්‍රත්වයට මදිපුංචිකමක් නොකර ඔහුගෙන් අත්තිකාරමක් ලබා ගැනීමය. එම අත්තිකාරම එදිනම ඇබග්නේල් ගෙවනු ලැබුවේද පෑන් ඇම් චෙක්පතකිනි. මේ නිසා පපා ලැවලියර්ට ඔහු පිළිබඳ සැකයක් ඇති කර ගැනීමට කිසිදු හේතුවක් තිබුණේ නැත. සතියකට පසු පපා ලැවලියර්, පිටුවකට හතරක් වන සේ මුද්‍රිත, නැවුම් සුවඳ විහිදුවන අලුත්ම අලුත් පෑන් ඇම් චෙක් පොත ඇබග්නේල්ට ඉදිරිපත් කළ විට ඔහු ඔල්වරසන් නොනඟා සිටීයේ දැඩි ආයාසයකිනි. එය එතරම්ම චිත්තාකර්ෂණීය විය. එවක් පටන් ඇබග්නේල්ට සිය හොර ජාවාරම්වලට අවශ්‍යවූ ඕනෑම ලදුපතක්, ඉන්වොයිසියක් පමණක් නොව ඔහුගේ පෑන් ඇම් හැදූණුම්පතද අලුතින්ම මුද්‍රණය කර දුන්නේ පපා ලැවලියර් විසිනි. එපමණක්ද නොව ඔහුට වෙනත් පුද්ගයන්ගෙන්ද ඇණවුම් ලබා දීමට ඇබග්නේල් ඉදිරිපත් වුයේ නිර්ලෝභිවය. නමුත් ඒ සියලු ඇණවුම්වල හිමිකරුවා ඇබග්නේල්ම බව පපා ලැවලියර් දැන සිටියේ නැත. ඇබග්නනේල් කියන්නේ පපා ලැවලියර් යනු අහිංසක මෝඩයකු බවයි. කිසිවිටෙක මේ දැවැන්ත ඇණවුම් පිළිබඳ සැක පහළ නොකළ පපා ලැවලියර්, තම මුද්‍රණ සේවය ඇමරිකාවේද ව්‍යාප්ත කිරීමට පුරෝගාමී වීම ගැන ඇබග්නේල්ට මුව පුරා ස්තූති කළේ වරක් දෙවරක් නොවේ. ඔහු මොනික්ගේ පවුලේ උදවියට තමා හඳුන්වා දුන්නේ පෑන් ඇම්හි මහජන සබඳතා ප්‍රවර්ධනය කිරිමට පැරිසීයට එවනු ලැබූ නියෝජිතයෙක් ලෙසයි.

පැරීසිය සිය ව්‍යාජ චෙක්පත්වලින් සුඛිත මුදිත කළ ඇබග්නේල් ඒවායේ අංක කේත වෙනස් කළේ පෑන් ඇම් සමාගමට පවා සිය හොර අල්ලාගැනීමට ඉඩ තිබුණේ අවුරා දමමිනි.

චෙක්පත් හා ඒවා වංචා කිරීම සම්බන්ධයෙන් බැංකු විධායකයකුට වඩා වැඩි දැනුමක් ඇබග්නේල් සතුවිය. පපා ලැවලියර්ද තමාටත් වඩා තම දියණියගේ පෙම්වතා විශ්වාස කළේය.ඒ තබා ඇබග්නේල්ගේ චෙක්පත් පෑන් ඇම් සමාගම විසින්ද සැබෑ චෙක්පත් ලෙස නොයෙක්වර තහවුරු කළේය. තමාගේ මේ සාර්ථකත්වය ගැන ඇබග්නේල්ට පුදුම නොවී සිටිය හැකි වූයේ නැත. පැරීසියේ අවසන් බැංකුවද හොර චෙක්පතකින් රේඛණය කළ ඇබග්නේල්ගේ මීළඟ නැවතුම වූයේ ඇමරිකාවේ බොස්ටන් නගරයයි. බොස්ටන් නුවරද ඇබග්නේල්ට කිසිදා අමතක නොවන නගරයකි. මන්ද ඔහු පළමුවරට සිරබතේ රස බැලුවේ එහිදී බැවිනි.

පැරිසියෙන් පලායාම සඳහා ඇබග්නේල් බොස්ටන් නුවර තෝරාගත්තේ එහි තිබුණේ සංඛ්‍යාවෙන් අසීමිත වූ බැංකු ප්‍රමාණයක් නිසාය. එදිනම මයාමි බලායාම ඔහුගේ අභිප්‍රාය විය. නමුත් එම සැලසුම කල්දැමීමට සිදුවූයේ ගුවන් තොටුපළේදි ඇබග්නේල් මුල්ම අවධියේ දැන හඳුනාගත් ගුවන් සේවිකාවක මුණගැසීම නිසාය. ඇය සමඟ කදිම විනෝදජනක සැඳෑවක් ගතකර යළි බොස්ටන් ගුවන් තොටුපළට පැමිණෙන විට මයාමි බලායාමට එදිනට නියමිත ගුවන් ගමන් සියල්ල මඟහැරී තිබිණි. ගුවන් තොටුපළ පර්යන්තයේම එදිනම රාත්‍රිය ගතකිරීමට සිතාගත් ඇබග්නේල් අසල වූ බංකුවක හිඳගෙන හාත්පස විමසන්නට වූයේ ගුවන්යානයක් පැමිණෙන තුරු ගත කරන කාලය අපතේ නොයවා තවත් කුමක් හෝ ඵලදායි හොර ජාවාරමකට යෙදවීමේ අරමුණ ඇතිවය. ඔහුගේ කල්පනා ලෝකය බිඳි ගියේ ඇමතීමකිනි.

“ෆ්‍රැන්ක් ඇබග්නේල්?“

සිය ජිවිතයේ අසන්නට ලැබුණු වඩාත්ම බියකරු වචනවලින් ඇබග්නේල් අන්දමන්දවී ගියේය.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ රුක්ලන්ති පෙරේරා

හෙට : ඇබග්නේල් පොලිස් කූඩුවේ

මැද පන්ති සිනමාව දුප්පතුන්ට විවරකළ ධර්මසේන පතිරාජ

$
0
0
ජන 30, 2018 01:00

 අතිශයින්ම දේශපාලනික වූ සිය සිනමා, ටෙලානාට්‍ය හා සාහිත්‍යය භාවිතාව තුළින් කලාකරුවෙකු ලෙස තම කාර්යභාරය අතිවිශිෂ්ට ලෙස නිම කළ ධර්මසේන පතිරාජ මහතා ජීවිතයෙන් සමුගත්තේය. බොහෝ දෙනෙක් ධර්මසේන පතිරාජව දන්නෙ විශිෂ්ටතම සිනමාකරුවෙකු ලෙසය.

එහෙත් ඊට අමතරව ලංකාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ටෙලි නාට්‍යක් වූ කඩුල්ල ඔහුගේ නිර්මාණයක් වේ . 2013 වසරේ හොඳම පරිවර්තනය ලෙස සම්මාන ලැබූ පේද්රෝ පරමෝ ධර්මසේන පතිරාජගේ පරිවර්තනයකි. විසිවන සියවසේ ලෝක සාහිත්‍යයේ දිදුලන නවකතාවක් වූ ජුවාන් රැල්ෆෝ ගේ මෙම නවකතාව පරිවර්තනය අතිශයින්ම දුෂ්කර කාර්යයකි. පතී ගේ පරිවර්තනය විශිෂ්ටය. එහෙත් අවාසනාවට මෙම විශිෂ්ට පරිවර්තන කෘතිය පාඨකයා අතරට එතරම් ⁣නොගියේ යැයි හැඟේ.

වම් ඉවුරේ සිනමාකරුවන් ලෙස හැඳින්වුනේ ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර හා ධර්මසිරි බණ්ඩාරනායක යන තිදෙනාය. අදවන විට වසන්ත ඔබේසේකර මහතා හා ධර්මසේන පතිරාජ මහතා ජීවිතයෙන් සමු අරගෙන අවසන්ය. ඉතින් පතී ගැන කතා කිරීමට ඔහුගේ වම් ඉවුරේ සිනමා මිතුරා වන ධර්මසිරි බණ්ඩාරනායකට වඩා කවරෙක් නම් සුදුසු වේද?

වම් ඉවුර ගැලවුණා. ලාංකේය සිනමාවෙ වම් ඉවුර ලෙස හැදින්වුණේ ධර්මසේන පතිරාජත් වසන්ත ඔබේසේකරත් මමත්. සත්තකින්ම මම වාසනාවන්ත වුණා ඔවුන් සමඟ එසේ හඳුන්වාගැනීමක් ලැබීමට තරම්. අන්තිමට මම විතරක් විතරක් ඉතිරි වුණා. ඉතින් ලොකු අනාතභාවයක් තමයි දැනෙන්නෙ. වසන්ත ඔබේසේකර මිය ගිය විට ඔහුගෙ සිරුරත් සමඟ ඔහු කළ සියල්ලත් වැළලී ගියා වාගෙ. ඔහුගෙ මිණියත් සමඟ ඔහුගෙ සිනමාව ඇතුළු සියල්ල ගැලවී ගියා. ඔහු මියගිය වග බොහෝ දෙනෙක් දන්නෙත් නෑ. ඉතිහාසය කියන්නෙ ගල් කණු ටිකක් විතරක්ද? පුදුම රටක් මේක. ජේෂ්ඨතම සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මේ අවස්ථාවට සංවේදී වුනේ එසේ පවසමින්.

ඔය පොන්මනී සිනමා පටය පතී හැදුවෙ ඔහු යාපනේ විශ්ව විද්‍යාලයෙ වැඩකරන අවදියෙ. මේකට ඔහු දෙමල කලාකරුවන් රාශියක් එක්කර ගත්තා. එහෙම ප්‍රයත්නයක් ලංකාවෙ සිනමා ඉතිහාසයෙ කවදාවත් සිදුවෙලා තියනවද? මේවා ඉදිරියට ගෙන යන්න තවත් පතිරාජ කෙනෙක් බිහිවෙයි කියලා හිතුවට බිහිවෙන්නෙත් නෑ. මොකද ඒකට පොළවක් නිර්මානය වෙන්නෙ නැහැ. අපි ජාතියක් විදියට හරි පුදුම තරම් අකෘතඥයි. ඉන්දියාවෙ මෙහෙම නෑ. ලෝකෙ කොහෙවත් මෙහෙම නෑ. අපි කවදාවත් පාඩම් ඉගෙන ගන්නෙ නෑ. අපිට මේවා ඉදිරි පරම්පරාව වෙත ගෙනයන්න කිසිම වැඩ පිළිවෙලකුත් නෑ. හැමදාම කතා කරනවා විතරයි.

ඒ කතා කරන තැන්වල පමණක් ඔවුන් ගැන හැමදාම සඳහන් වෙනවා.

පතිරාජගෙ සිනමාව අපට ලොකු බලපෑමක් වුණා. ඇත්තවශයෙන්ම පතී අහස්ගවුව හැදුවෙ නැත්නම් මගෙ අතින් හංස විලක් සිනමාපටය හැදෙන්නෙ නැහැ. පතිරාජ

සිනමාවේ පමණක් නොවෙයි ගීත රචනය තුලත් මහත් ප්‍රතිභාවක් ප්‍රකට කළා අවස්ථාවක් තිබෙනවා. හංස විලක් සඳහා ඔහු රචනා කළ

"හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්"

ගීය මීට හොඳ උදාහරණයක් . ඔබ හංස විලක් චිත්‍රපටය නරඹා ඇත්නම් දන්නවා ඇති මේ ගීය සිනමාව හා කෙතරම් නම් සමීපද කියා. ධර්මසිරි බණ්ඩාරනායක මේ ගෙවුණු ස්වර්ණමය යුගයක සිනමාව ගැන තවදුරටත් අදහස් ප්‍රකාශ කළා.

පතී විතරක් නෙමෙයි වසන්ත ඔබේසේකරත් අපේ සිනමා නිර්මාණ වලට ලොකු බලපෑමක් කළා. ඔහු මියගියාට පසු ඔහුගෙ නිර්මාණ ආරක්ෂා කරගන්න කවුද කතා කළේ. මම ඔහුගෙ මළ⁣ ගෙදරදි කතාවක් කරලා පැවසුවා ඔහුගෙ පලඟැටියෝ සිනමා පටය ආරක්ෂා කරගන්න කියලා. ඒක ජනතාවට දකින්න සලස්සන්න කියලා. ඒත් වැඩක් නෑ. එක කාලෙකට ⁣එකක් අල්ලාගත්තම ඒක ගැන විතරක් මුළු සමාජයම පාරම්බානවා. අනිත් කිසිවක් ඒ කාලෙයෙ කතා කළාට වැදගත් නෑ. එච්චරයි.

සිනමා කරුවන් එතෙක් නොදුට නොඇසූ තැන්වලට ඔහු විසින් ප්‍රෙක්ෂකයා රැගෙන ගියා.

1971 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම පරිවර්තන පිටපතට හිමි රාජ්‍ය සම්මානයද දිනා ගත්තේ ඔහු විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද පුටු නාට්‍යයේ පරිවර්තනයයි. එම නාට්‍ය ඉයුජින් අයෙනෙස්කෝගේ "ද චෙයාර්ස් 'නම් වේදිකා නාට්‍යයේ පරිවර්තනයකි.

හැත්තෑව දසකයේදී සිනමාවට පිවිසි පතිරාජ එතෙක් ප්‍රධාන වශයෙන් ග්‍රාමීය, නාගරික ප්‍රභූ පංතිය පිළිබඳ පිළිබිඹුවක් වූ ලාංකේය සිනමාවට නාගරික මෙන්ම ග්‍රාමීය විරැකියාවෙන් පෙළෙන මිනිසුන් රැගෙන ආවේය. සොල්දාදුවා, විජේ, කුණු ට්‍රැක්ටරේ වැඩකරන මහතුන්, කාර් පන්නන චන්දරේ, ඇන්ටනි මුදලාලි, හෙලන්, සහ විලී මහත්තයා වැනි ඇත්ත පොළොවේ පය ගසා සිටින චරිත සිනමාවට හඳුන්වා දුන්නේය. 1974 දී තිරගතවූ අහස් ගව්ව, මෙරට සිනමාව තුළ රැකියා විරහිත තරුණ පරම්පරාවේ, ජීවන අරගලය, සිනමාවෙන් පැවැසීමට ගත් ප්‍රථම උත්සාහය වේ. අහස් ගව්ව හදන විට ඔහුගේ වයස අවුරුදු 31ක් පමණක් විය. 1974 දී තමන්ගේ ප්‍රථම චිත්‍රපටය අහස් ගව්ව, ලාංකේය ප්‍රේක්ෂකයන්ට පිරිනමමින් 2016 තෙක් පැමිණි දිගු සිනමා චාරිකාවෙහි එයා දැන් ලොකු ළමයෙක් (1977) පොන්මනී, දෙමළ චිත්‍රපටය (1977) බඹරු ඇවිත් (1978), පාරදිගේ (1980) සොල්දාදු උන්නැහේ (1981) , වාසුලි ( 1994, මෙතෙක් තිරගත වී නොමැත) මතුයම් දවස (2001) සක්කාරං ස්වරූප (2016) යන චිත්‍රපට ධර්මසේන පතිරාජ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ නිමැවුම්ය. වසර පනහක සිංහල සිනමාවේ, හතරවන විශිෂ්ට චිත්‍රපටය සේ බඹරු ඇවිත් විචාරක සම්භාවනාවට පාත්‍ර වීමත්, ඔහුගේම සොල්දාදු උන්නැහේ එකළොස් වන ස්ථානයටත් අහස් ගව්ව දහතුන්වන විශිෂ්ට චිත්‍රපටය බවට තෝරා ගැනීමත් තුළ ධර්මසේන පතිරාජගේ සිනමාවෙහි විශිෂ්ටත්වය මැනවින් සනාථ වේ.

සටහන-ජයන්ත කහටපිටිය


මම රැල්ලට යන්නේ නෑ

$
0
0
ජන 30, 2018 01:00

මධුෂාන් හත්ලහවත්ත

කෙනෙකුගේ හැකියාව කියන්නෙ යට ගහන්න පුළුවන් විදිහෙ දෙයක් නම් නෙවෙයි. ඒ නමුත් කවදා කොතන හරි උඩ මතුවෙන ඒ හැකියාවට නියම තැන ලැබෙන්නේ තම තමන්ගේ කැපවීමේ තරමට. මුතු කිරිල්ලි. ඉඳුවරී, පෑදිය රැල්ල, සිත් අහස ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවක එකිනෙකට වෙනස් චරිතවලට හුස්ම දුන් ඔහු, පසුගිය අවුරුද්දේ රයිගම් හොඳ ම නැගී එන නළුවාට හිමි සම්මානය දිනාගන්නේ සුදත් රෝහණයන්ගේ ගිරිකුල ටෙලිනාට්‍ය වෙනුවෙන්. ඒ ඔහු සතු වුණු හැකියාවට කැපවීම කියන දේ හොඳින් මුහුවුණු නිසා. මෙහෙම කියද්දිම ඔබ දන්නවා මං මේ කියන්න යන්නෙ කා ගැනද කියලා. ඔව්. ඒ මධුෂාන් හත්ලහවත්ත ගැන තමයි. කාලයක් කිසි සද්දයක් බද්දයක් නැතුව හිටිය මධුෂාන් හත්ලහවත්ත මෑතකදි ආයෙමත් කරළියට ආවේ ITN නාලිකාවේ විකාශය වන "මහි පූජා ටෙලි වෘත්තාන්තයෙන්.

l රයිගම් හොඳ ම නැගී එන නළුවාට හිමි සම්මානය දිනා ගත්තට පස්සෙ කාලයක් පේන්න නැතුව හිටියා නේද?

හොඳයි නේද එහෙම ඉන්න එක. මේ යන රැල්ලට ම අපිත් යන්න හොඳ නෑ නේ.

l කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා ඉන්න හේතුව හිතට ගැලපෙන චරිත නොලැබීමද?

මට ඕනකම තිබ්බෙ හොඳ වැඩ ටිකක් කරන්නයි. ඉතින් කාලයක් ගත්තා. මේ යන ක්‍රමයට ජනප්‍රිය රැල්ලට යන්න අදහසක් නෑ. කොහොමටත් කරන්නං වාලෙ කරන්න බෑ. හේතුව මං ගුරුවරයෙක්. පිළියන්දල “හර්මන් මයිනර්” විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උගන්වනවා. වේදිකා නාට්‍යවලින් ආපු කෙනෙක් විදිහට මට හිතන්නෙ හරයක් තියෙන දේවලට විතරක් සම්බන්ධ වුණොත් හොඳයි කියලා.

l මධුෂාන් හත්ලහවත්ත රංගන ක්ෂේත්‍රයට පය තියපු හැටි ගැන දැනගන්න කැමතියි ?

මම ඉස්සෙල්ලම ආවේ වේදිකා නාට්‍යවලින්. පස්සෙ ITN නාලිකාවේ "මුතු කිරිල්ලි"ටෙලිනාට්‍යට සම්බන්ධ වුණා. ඒ තමයි මගේ පළවෙනි ටෙලිනාට්‍යය. එතනින් පස්සේ ඉතින් නිර්මාණ ගණනාවකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා.

l ඔබට තියෙන්නෙ කලාවට සම්බන්ධ පවුල් පසුබිමක්ද?

මගේ අයියා තමයි චාමික හත්ලහවත්ත කියන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයා. අපේ පවුලෙන් මමයි අයියයි තමයි කලාවට සම්බන්ධ.

l පෙනුමෙන් වගේ ම හැසිරීමෙන් ඔබ ජගත් චමිලට සමානයි. දෙන්නා අතර ඥාති සම්බන්ධයක් තියෙනවද? නැත්නම් ඔබ ඔහුව අනුකරණය කරනවද?

එහෙම කිසි දෙයක් නෑ. අපි හොඳ යාළුවො. නෑකමක් නම් නෑ. ඒත් නෑකමකට එහා ගිය ලොකු බැඳීමක් තියෙනවා අපි අතර. පහුගිය දවස්වල මමයි ජගත් අයියයි "මාරක ළිඳේ සවාරියක්"කියන වේදිකා නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා.

l ඉස්සරහට මොන වගේ නිර්මාණවලින්ද ඔබ ප්‍රේක්ෂකයෝ අතරට එන්නෙ?

මං රඟපාන වේදිකා නාට්‍ය තුනකුත් මේ ටිකේ දුවනවා. ඒ ඇරුණම “රුවිත හතර”,“ප්‍රභා යාමය” ටෙලිනාට්‍ය වගේ ම තව ෆිල්ම් එකක් එන්න තියෙනවා, අනුරුද්ධ ජයසිංහ රෝහණ විජේවීරගෙ චරිතය අල්ලලා කරපු. "මිණිගංදෑල"ටෙලිනාට්‍යයේ රූගත කිරීම් පහුගිය කාලෙ සිදු වුණා. ප්‍රධාන නළු නිළියන් එකසිය ගණනකගේ දායකත්වයෙන් රූගත කෙරුණු මිණිගංදෑල මට මගේ රංගන ජීවිතයේ ලැබුණු සුවිශේෂ කඩඉමක් කියන්නත් පුළුවන්. ලාංකීය ටෙලි වංශ කතාවේ විශාල පෙරළියක් ඇති කෙරෙන මිණිගංදෑල ටෙලිනාට්‍යයේ සුවිශේෂ චරිතයකින් මම ප්‍රේක්ෂකයන් හමුවට ළඟදී ම එනවා.

l පාසල් කාලෙ ගැනත් ටිකක් මතක් කරමුද?

මං ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. ඉස්කෝලේ යන කාලෙ ඉඳලම නාට්‍ය තමයි ආසාවෙන් ම කළේ. කතා කරන්නත් පොඩි හැකියාවක් තිබුණා. මං ඉස්කෝලෙ විවාද කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලෙ පළමු පෙළ සංචිතයෙ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සමහර විට නළුවෙක් නොවුණා නම් මේ වෙද්දි මම ක්‍රිකට් ගහනවා. හැම දේම බැලන්ස් කරගෙන අන්තිමේ දි කොහොම හරි කැම්පස් එකටත් පය තිබ්බා. දැනුත් මම ජයවර්ධනපුර කැම්පස් එකේ මනෝවිද්‍යා උපාධිය හදාරනවා.

l නළුවෙක් විදිහට ඔබ ආව ගමනෙ, ළඟින් ඉඳන් හයියක් වුණේ කවුද?

වැඩිපුර ම මගේ පවුලෙ අය තමයි. අම්මා, තාත්තා, අයියා වගේ ම මගේ වයිෆ් තිළිණි වීරසිංහවත් ඉස්කෝලෙ යාළුවො හැමෝමවත් ආදරෙන් මතක් කරන්න ඕන. ඒ හැමෝගෙන් ම ලැබුණ ශක්තිය ධෛර්යයත් එක්ක තමයි මේ වගේ ගමනක් එන්න මට වාසනාව ලැබුණෙ.

l මධුෂාන් හත්ලහවත්ත කියන්නෙ රංගන කටයුතු එක්ක ගොඩක් කාර්යබහුල චරිතයක්ද?

ඇත්තට ම කාර්ය බහුල චරිතයක් නම් නෙවෙයි. මං බොරුවට කයිවාරු ගහන්න කැමති නෑ මට චරිත ගොඩකට ආරාධනා ලැබෙනවා... ඒ වුණත් මම තෝරගෙන සීමිත ප්‍රමාණයක් කරනවයි කියලා. හැබැයි මේ වෙලාවෙ ලංකාවෙ ගොඩක් නිෂ්පාදනය වෙනවා, අවර ගණයේ නාට්‍ය ,කොමඩි නාට්‍ය, වැඩසටහන්. මම සියල්ලට ම බැඳෙන්නෙ නැතුව හොඳයි කියලා හිතෙන නාට්‍ය නිර්මාණවලට විතරක් දායක වීගෙන ඉන්නවා. සමහර ආරාධනා බාරගන්න බෑ. මොකද කලාව කියන්නෙ සල්ලිමත් නෙවෙයි. හැබැයි ඒ ප්‍රකාශය මම කරන්නෙ මට වෙන වෘත්තියක් තියෙන නිසා. ඒක අනිත් නළුවන්ට අදාළ නැති වෙන්න පුළුවන්. වෘත්තියෙන් ම නළුවො වුණාම සල්ලි හොයන්න, ඒ අයට කැමති චරිත නැතුව, ලැබෙන චරිත කරන්න වෙන වෙලාවලුත් තියෙනවා.

l අපේ ටෙලිනාට්‍ය කලාවයි, චිත්‍රපට කලාවයි ගැන ඔබට තියෙන අදහස?

රංගනයේ දී ඉන්දියාව හොයනවානෙ ලස්සන මූණු වගේ ම කැත මූණුත්. ධනුෂ් කිව්වම ලස්සන කෙනෙක් නෙවිනෙ. ඒ වුණත් එයාගෙ හැකියාවට හරියන තැන එයා හදාගෙන තියෙනවා වගේ ම එයාට ඒ තැන හදලා දීලා තියෙනවා. සීනි බෝල හොයන්නෙ නැතුව අපිත් හෙව්වා නම් රඟපාන්න පුළුවන් හොඳ කොල්ලො ටිකක් මේ කලාව මීට වඩා දියුණු තැනකට ගෙනියන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. ඒ වගේ ම මම හිතනවා වේදිකාවෙන් ඒ අඩුව පුරවයි කියලා. වේදිකාවේ ඉන්නවා අතිදක්ෂයො. ඒත් ඒ අයට අවස්ථාවන් ලැබෙන්නෙ නෑ ඉස්සරහට එන්න. එහෙම ලැබුණා නම් මං හිතනවා මේ ටෙලි නාට්‍ය කලාවයි සිනමාවයි දෙක ම මීට වඩා ගොඩක් වෙනස් වෙයි කියලා. මං කියන්නෙ රඟපාන්න කොල්ලො ඉන්න ඕන. ජගත් අයියා, උද්දික ප්‍රේමරත්න, රොෂාන් රවීන්ද්‍ර වගේ නළුවො බිහිවෙන්න ඕන ලංකාවේ. කෙල්ලො නොවන කොල්ලො ටිකක් ලංකාවෙ නළුවො විදිහට බිහිවෙන්න ඕන කියන එක තමයි මගෙ නම් අදහස.

කාංචනා සිරිවර්ධන

ආර්ථිකයට අලුත් සවියක්

$
0
0
ජන 30, 2018 01:00

 ආසියාවේ පිබිදෙන ආර්ථිකයන් සහිත රටවල් තුනකින් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ආර්ථික සංවර්ධනමය සහාය පළවිය. ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාව කොන්වී ගිය අවධිය දැන් නිමාව තිබේ.

තායිලන්තය, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව එම රටවල් තුනයි. තායිලන්තය අග්නිදිග ආසියාවේ සහල් සංස්කෘතියට අයත්වන රටකි. එහි වගා කළ හැකි බිම්වලින් සියයට 55ක් වී වගාවට යටව තිබේ. ජනගහණයෙන් සියයට 47ක් වී වගාවෙන් යැපෙති. ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය හැඩගැස්වීමේ ලා තායිලන්තය මහෝපකාරි වූ රාජ්‍යයකි.

ශ්‍රී ලංකා - තායි තානාපති සබඳතා 60 වසර සමරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බැහැදුටු ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිනිය කෘෂිකර්මාන්ත සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ආධාර කරන බවට ප්‍රතිඥාවක් ද දුන්නා ය.

සිංගප්පූරුව මලයා ෆෙඩරේෂනයෙන් මිදී දේශපාලන ස්වාධීනත්වය අත්කර ගත්තේ 1965 දී ය. ඒ වනවිට ශ්‍රී ලංකාව සිය දේශපාලන නිදහස ලබා වසර 17 කි. සිංගප්පූරුව අද ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව අතර ඉදිරියෙන්ම සිටින රටකි.

දීර්ඝ කාලීන ගැටුම් මැද ඉන්දුනීසියාව 1945 ඕලන්ද අධිරාජ්‍යවාදයෙන් මිදී දේශපාලන ස්වාධීනත්වය ප්‍රකාශ කළ නමුත් දිගටම නොසන්සුන්තා හමුදා කුමන්ත්‍රණ ආදිය නිසා රට අවුල්ව තිබුණි. වසර 32ක සුහර්තෝ සෙනෙවියාගේ පාලනයෙන්පසු ජනාධිපතිවරණ ක්‍රියාවලියක් සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයකට එරටට මඟ පෑදුණේ 2004 දී ය. මේ වනවිට ඉන්දුනීසියාව සහ තායිලන්තය ආර්ථික සටනක යෙදෙමින් දෙරටම කරට කර සිටිති.

ආයෝජන දර්ශකයේ අපේ තැන්

ලොව පුරා විසිර සිටින ආයෝජකයන් ඒ සඳහා පරිශීලනය කරනු ලබන අත්පොත EASE OF DOING BUSINES INDEX නමින් හැඳින්වේ. මේ දර්ශකය පරිශීලනය නොකරන ව්‍යවසායකයන් හා දේශපාලකයන් විරලය.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පහසුකම්, ස්ථාන තෝරා ගැනීම්, බලපත්‍ර සඳහා ගතවන කාලය, විදුලි බලය, රැකියා අවස්ථා හා ශ්‍රමය, කම්කරු නීති දේපොළ ලියාපදිංචි, බදු සහන යනාදි කරුණු පදනම්කර ගනිමින් මේ දර්ශකය සකස් කරනු ලැබේ. ලෝක බැංකුව වාර්ෂිකව මේ දර්ශකය පිළියෙල කරයි.

රටවල් 190 ක් පාදක කර ගනිමින් සැකසූ 2018 මෙම දර්ශකය දැන් එළි දක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 111 වන ස්ථානයයි. ශ්‍රී ලංකාවට පසුපසින් 112 අංකයට සිටින්නේ අප්‍රිකාවේ ගෝත්‍රික රාජ්‍යයක් වන ස්වාසිලන්තයයි. පසුගිය පාලන සමයේදී ස්වාසිලන්ත‍යේ රජතුමා සිය බිරින්දෑවරුන් ද සමග ශ්‍රී ලංකාවට පැමිණියේ රාජ්‍ය අමුත්තකු ලෙසිනි. ශ්‍රී ලංකාවට ඉහළින් අංක 110 ට සිටින්නේ මලාවි රාජ්‍යයයි.

පොහොසත් රටක් 2025 දැක්මේ සඳහන් කරන්නේ මෙම දර්ශකයේ අංක 70 මට්ටමට ළඟාවීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවයි. ව්‍යාපාරික හා ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම් මේ දර්ශකයේ ඉහළට පැමිණිය යුතුමය. මේ වසරේ ඉහත කී දර්ශකයේ ඉහළම ස්ථානයට පැමිණ තිබෙන්නේ නවසීලන්තයයි. එහි අංක 2 පැමිණ ඇත්තේ සිංගප්පූරුවයි. තායිලන්තය අංක 26 හිමිකර ගෙන ඇත. ඉන්දුනීසියාවට හිමිව ඇත්තේ 72 වන ස්ථානයයි. එහෙයින් ඍජු විදේශ ආයෝජන මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා තායිලන්තය, සිංගප්පූරුව හා ඉන්දුනීසියාව යන රටවල් ජයග්‍රහණය ලබා ඇත. ඍජු ආයෝජන ආකර්ෂණය සඳහා එම රටවල් විසින් අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම ශ්‍රී ලංකාවට එම රටවලින් ගත හැකි එක් පාඩමකි.

ප්‍රධානම වගාව වී වගාව නමුත් උක්, කෝපි, මඤ්ඤොක්කා යන වැවිලි සඳහා ද තායි රජය උනන්දු වෙයි. වාණිජ මට්ටමින් රබර් හා උක් වගා කරන්නට පෞද්ගලික අංශයට අවස්ථාව සලසා ඇත. එසේම රසායනික පොහොර විරහිත කෘෂිකර්මාන්තය සඳහා රාජකීය අනුග්‍රහය දැක්වේ.

තායිලන්තය කවර අයුරින් ශ්‍රී ලංකා කෘෂිකර්මාන්තයට උදව් කරන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු එරට මාධ්‍ය වාර්තාවල පළවිය. ඒ අනුව පශ්චාත් අස්වනු හානි මැඬීමටත්, නූතන තාක්ෂණය කෘෂිකර්මාන්තයට උපයෝගිකර ගැනීමට සහාය වීමටත් එරට සූදානම් ය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉඩෝරයට සමාන ඉඩෝරයකට මුහුණ දීමට තායිලන්තයට සිදුවිය. එවිට කෘත්‍රිම වැසි මගින් කෘෂිකර්මාන්තය රැක ගැනීමට තායිලන්තය විශාල වෙහෙසක් ගත්තේය. මේ අනුව කෘත්‍රිම වැසි පිළිබඳ වූ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට තායිලන්තය ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.

සිංගප්පූරු අගමැති ලී ෂියැන් ලූන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකා සිංගප්පූරු වාණිජ සබඳතා තවත් ශක්තිමත් කරමිනි.

වෘත්තීය පුහුණු අවස්ථා, රැකියා අවස්ථා මෙන්ම තව තවත් අයෝජන අවස්ථා ද ශ්‍රී ලංකාවට හිමිවීම මේ සංචාරයේ තවත් ප්‍රතිඵලයකි.

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ දීර්ඝ ලිපියක් ස්ට්‍රෙට්ටයිම්ස් පුවත්පතේ ජනවාරි 24 දා පළවිය. මේ ලිපිය ලියා තිබුණේ ELGIN TOH නම් පුවත්පත් කලා‍වේදියා විසිනි.

ඔහු පවසන අන්දමට දෙරටේම කුඩා හා විශාල ප්‍රමාණයේ සමාගම් මේ ගිවිසුම නිසා වඩ වඩා ශක්තිමත් ව්‍යාපාරික අවස්ථා උදාකර ගනිති.

1997 ප්‍රීමා සමාගමය ලංකාවට පැමිණ මෙරට කර්මාන්තකරණයට දායක විය. ඒ හා සමානව HYFLUX සහ SEMBCORP යන සමාගම් ශ්‍රී ලංකාවේ කටයුතු සඳහා ඉදිරියේ දී දායක වනු ඇත. එසේම හෝටල් සහ ආහාර පාන ‍ක්ෂේත්‍රයේ ආයෝජනයට සිංගප්පූරු ආයතන ඉදිරිපත්වීමට ද නියමිතය.

එම ලිපිය පවසන අන්දමට සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම සාර්ථක කර ගැනීම සඳහා ආචාර්ය සමන් කැලේගම මහතා බොහෝ සේ උනන්දු විය. ඒ පිළිබඳව මාස 18ක් අදහස් හුවමාරු විය.

මෙරටට ආර්ථික ශක්තියක්

සිංගප්පූරු - ශ්‍රී ලංකා දෙපාර්ශ්වයේ වෙළෙඳාම 2017 දී ඇමෙරිකා ඩොලර් බිලියන 2.7 දක්වා වර්ධනය වී ඇත. මෙය ඉදිරියේ දී තවත් වැඩිවනු ඇතැයි එම පුවත්පත සඳහන් කරයි.

ඉන්දුනීසියාව අද දියුණු කාර්මික රටක් බවට පත්ව තිබෙන්නේ විවිධ දුෂ්කරතා පසු කරමිනි. එදා සුහර්තෝ සෙනෙවියාගේ පාලනය දූෂණයෙන් පිරුණු එකකි. රාජ්‍ය අරමුදල් සිය පවුලේ බැංකු ගිණුම්වලට බැර කිරීම් ඇතුළුව ඥාති සංග්‍රහ චෝදනා ලද ඔහුගේ රජයට එරෙහි මහජන විරෝධතා මැද ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය.

ඒ සමග දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ඇරැඹිණි. 2012 දී ඉන්දුනීසියාව , ඉන්දියාව පසු කරමින් ආර්ථික ඉලක්ක සපුරා ගත්තේය. තායිලන්තය මෙන්ම මෝටර් රථ කර්මාන්තයෙන් ඉදිරියට එන ඉන්දුනීසියාව තෙල් නිපදවන රටකි. ශ්‍රී ලංකා ඉන්දුනීසියා තානාපති සබඳතා ඇරැඹී දැනට වසර 65 කි. දෙරට නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය අනුව දෙරට සබඳතා තව තවත් දිරිමත් වනු ඇත.

ඉන්දියාව, බංගලිදේශය, ඇෆ්ඝනිස්ථානය , පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල් සමග කලාපීය සබඳතා තරකර ගැනීමේ සංචාරයක යෙදෙන ඉන්දුනීසියා නායකයා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට උපකාර කිරීමට ද ඉදිරිපත් විය. ගුවන්පාලම්, දුම්රිය පෙට්ටි සැපයීම් ආදියේ දී ඉන්දුනීසියාව ශ්‍රී ලංකාවට සහාය දෙන වාණිජ හා ආයෝජනය පිළිබඳ ඒකාබද්ධ වැඩසටහනක් ද අරඹනු ඇත.

ජෝකෝ විඩෝඩෝ ඉන්දුනීසියා ජනාධිපතිවරයාගේ පාකිස්ථානු සංචාරය පිළිබඳව බිස්නස් රෙකෝඩර් සඟරාවට ලිපියක් ලියන ඉස්ටිකාර් අලි මාලික් ආසියාවේ ආර්ථික ශක්තියක් ලෙස ඉන්දුනීසියාව හඳුන්වා දෙයි. සාක් වාණිජ මණ්ඩලයේ ද උසස් නිලධාරියෙක් වන ඔහු ආසියාතික රටවල වෙළෙඳ කටයුතු වර්ධනය කරගැනීමේ දී නිතරම වැඩි වෙළෙඳ වාසිය හිමිව ඇත්තේ ඉන්දුනීසියාවට බවද කියයි.

ඉන්දුනීසියාව ඇඟලුම් කර්මාන්තය, වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, දුම්රිය අංශය සහ සෙසු කර්මාන්ත සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකාව තෝරාගෙන ඇතැයි ඉන්දුනීසියා ව්‍යාපාරික අංශයනට අදාළ මාධ්‍ය වාර්තා පවසා තිබුණි.

එසේම අධ්‍යාපන අවස්ථා පුළුල් කරගැනීමට දෙරටම එකගව ඇත. කලාපයම මුහුණ දෙන ප්‍රශ්නයක් නම් මත්ද්‍රව්‍ය හුවමාරුවයි. ඒ සඳහා මත්විරෝධි සටනට දෙරටම එක්වීමේ තීරණයකට එළඹ තිබේ. දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකා - ඉන්දුනීසියා දෙපාර්ශ්වයම මූලික සාකච්ඡා ඇරැඹි බවද කියැවේ.

මිතුරු සබඳතාවලින් ලැබෙන වාසි

ඉන්දුනීසියා ජනාධිපතිවරයා බංගලාදේශයේ සංචාරයක ද යෙදුණි. ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත ජනාධිපතිවරයාගේ සංචාරය කලාපීය රටවල යටිතළ පහසුකම් වර්ධනය, මත් උවදුර පිටු දැකීම, කර්මාන්ත සංවර්ධනය සිවිල් ගුවන්සේවා සංවර්ධනය අරමුණු කර ගත් සංචාරයක් ලෙස හඳුන්වයි. එසේම ඉන්දුනීසියාව, මියන්මාරය තුළ සිය ආයෝජන වැඩිකරමින් සිටී. මියන්මාරයේ අභ්‍යන්තර ගැටුම් නිසා මුස්ලිම් සුළු ජන පිරිස් රාශියක් දැන් අසල්වැසි බංග්ලාදේශයට පලාවිත් අනාථයන් ලෙස එරට ජීවත් වෙති.

ඉන්දුනීසියාව ආසියාන් රාජ්‍ය හවුලේ සබඳතා ගැන බෙහෙවින් උනන්දු වෙයි. ශ්‍රී ලංකාව නියඟ නිසා අස්වනු අහිමි වූ විට සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය. එසේම මියන්මාරය වාර්ගික ගැටුමට සම්බන්ධ වූ විට ඒ ගැන දැඩි ලෙස උනන්දු වූ රාජ්‍යයකි.

බංගලිදේශය මෙන්ම මියන්මාරය ද ඉන්දුනීසියාවට නැතිවම බැරි රාජ්‍යයකි. ඉන්දුනීසියාව සහ බංගලාදේශය සමග ඉන්ධන ගිවිසුමකට එළැඹීමේ සූදානමක සිටී. එසේම මියන්මාරයේ ආයෝජනයට ද සූදානමින් සිටී. මේ දෙරට අතරම සිදුවන වෙළෙඳ ගනුදෙනුවල වැඩි වාසිය ඉන්දුනීසියාවටය.

ඉන්දුනීසියා මියන්මාර් ව්‍යාපාරික හවුල 2017 සැප්තැම්බර් 29 දින මියන්මාර් යැන්ගුන් හෝටලයේ දී ද්විපාර්ශ්වික ආයෝජන සමුළුවක් පැවැත්වූහ. එම සමුළුවට ඉන්දුනීසියාවේ සමාගම් 30කට අයත් නියෝජිතයෝ 50ක් සහභාගි වූහ. මියන්මාරයේ සමාගම 50 ක නියේජිතයෝද ඊට සහභාගි වූහ.

එහිදී සූර්ය බල ශක්තිය, ඖෂධ, විදුලි සහ ඉලැක්ට්‍රොනික් උපකරණ නිෂ්පාදනය, කිරි ගව අංශය , පශු නිෂ්පාදන, මස් කර්මාන්තය, ඇඟලුම් අංශය, සම් බෑග් නිෂ්පාදනය, සුවඳ විලවුන් නිෂ්පාදනය, සබන් , පාරම්පරික හස්ත කර්මාන්තය, තේ සහ කෝපි නිෂ්පාදනය යන ව්‍යාපාරික අංශ සංවර්ධනයට දෙරට නියෝජිතයෝ එකඟ වූහ. දෙරට අතර වාණිජ වටිනාකම 2017 දී ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 735 කි. එය 2016 ට වඩා සියයට 35 කින් වැඩිය. මේ අතර ඉන්දුනීසියාව ද සිය රටට විදේශ ඍජු ආයෝජන උකහා ගැනීමේ නිරතව සිටී. 2016/17 ආදායම් වර්ෂයේ ඇමෙරිකා ඩොලර් බිලියන 7.81 ක ඍජු විදේශ ආයෝජන අකර්ෂණයට ඉන්දුනිසියාව සමත් විය. මෙවැනි ආර්ථිකයක් සහිත රටක් සමග සබඳතා දැඩිකර ගැනීම ශ්‍රී ලංකාවට ද වාසිදායකය.

කරුණාරත්න අමරතුංග

සිව් වැදෑරුම් හෙළිදරව්ව

$
0
0
ජන 31, 2018 01:00
වසන්ත ප්‍රිය රාමනායක

සාමාන්‍යයෙන් නම් මෙවැනි අක්‍රමිකතා වුවද හෙළිදරව් වන්නේ හා පරීක්ෂණ පැවැත්වෙන්නේ ඊට අදාළ රජය බලයෙන් ඉවත් වී විපක්ෂයට ගිය පසුවය. නැතිනම් ඉවත් කරනු ලැබු පසුවය. එහෙත් වත්මන් රජය යටතේ ම අමාත්‍යවරයකුට පදවිය හැර යාමට හා අගමැතිවරයා හා අමාත්‍යවරු කීපදෙනෙක්ම කොමිසම ඉදිරියට ගොස් සාක්ෂි දෙන හා සාක්ෂිවලට කැදවන තැනට පත්විමේ විශේෂත්වයක් ඇත.

රාජ්‍ය නායකයන් විවිධ අවස්ථාවල මාධ්‍යවේදීන් හමුවීම සාමාන්‍යයෙන් ඕනෑම රටක සිදු වන්නකි. අපේ රටේ මසකට වරක් ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් සිදු වේ. මෙය හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ ද සිදු වූවකි. වත්මන් ජනාධිපතිවරයා ද එම ක්‍රමවේදය අනුගමනය කරමින් සිටී.

රටේ පාලනයට අදාළ පැහැදිලි කිරීම් පමණක් නොව මතභේදාත්මක අනාවරණයන්ද මෙහි දී සිදු වන අතර අදාළ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ ඍජුව අදහස් හුවමාරු කර ගැනීමට මෙහි දී මාධ්‍යවේදීන්ටද ඉඩකඩ සැලසේ.

පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එවැනි හමුවක් ජනාධිපති නිල නිවසේ දී පැවැත් විණ. එය උණුසුම් හෙළිදරව් කිරීම්වලින් සමන්විත හමුවීමක් වී තිබෙන බව ජනමාධ්‍ය වාර්තාවලින් තහවුරු වේ.

ජනාධිපතිවරයා මෙවර මාධ්‍ය ප්‍රධානීන් හමුවන්නේ සිය ධුරකාලයෙන් වසර 3ක් ගෙවී යෑමෙන් අනතුරුවය. මීට ඉහත කීප වරක් මෙවැනි හමුවීම් පැවැති අතර මෙවර තවත් විශේෂත්වයක් වන්නේ වසර 3කට පසු වත්මන් සන්ධාන රජය යටතේ පැවැත්වෙන මැතිවරණයක් අභියස මෙම හමුව පැවැත්වීමය. මැතිවරණය පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරා ගැනීම වුව ද, ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වන විටත් එය ජාතික මට්ටමේ මැතිවරණයක් බවට පත් කර ගෙන සිටී. මේ නිසා මැතිවරණ වේදිකාව දිනෙන් දින ජාතික මට්ටමේ කාරණාවලින් උණුසුම් වෙමින් පවතී. ජනාධිපතිවරයා මාධ්‍ය හමුව පවත්වන්නේ මෙවන් පසුබිමකය. එසේම ප්‍රධාන පක්ෂවල මැතිවරණ වේදිකාව වඩාත් උණුසුම් වෙමින් පවතින පසුබිමකය.

මැතිවරණ උණුසුම

මෙහි අනෙක් විශේෂත්වය ජනාධිපතිවරයාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙසින් මැතිවරණ වේදිකාව උණුසුම් කරමින් සිටීමයි. එම හමුවෙන් පසුව වුව ද ඔහු සන්ධ්‍යා කාලයේ ගත කරන්නේ මැතිවරණ වේදිකාවකය. එමෙන් ම ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ වේදිකාවේ වේගවත් මෙන් ම අකාර්ෂණීය කථිකයා බවට ද පත්ව ඇත. මෙතෙක් ඔහු ගෙන් නො ඇසූ ගනයේ ආන්දෝලනාත්මක කරුණු එහි දී හෙළිදරව් වෙමින් පවතී.

අනෙක් පැත්තෙන් වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ පක්ෂය හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂය එකට එක් වී ගොඩනඟා ගත් සන්ධාන රජයකි. ඊට හේතු වූයේ කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති වීමයි. වෙන දා සිදු වන්නේ කුඩා පක්ෂ මාරු කිරීම් පදනම් කරගනිමින් වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය අණ්ඩුව පිහිටුවීමය. එහෙත් මෙවර සිදු වූයේ ජාතික, ජාත්‍යන්තර වශයෙන් වැදගත් ප්‍රධාන කාරණා කිහිපයක් විසඳීම අරමුණු කර ගනිමින් සීමිත කාලයකට බල පැවැත්වෙන පරිදි ප්‍රධාන පක්ෂ දෙක එකට එක් වූ සන්ධාන රජයක් ගොඩනඟා ගැනීමය.

මේ වන විට නැති නම් මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන විට එ.ජා. හා ශ්‍රී.ල.නි.ප. සන්ධාන එකමුතුවේ කාල සීමාව ද අවසන් වී ඇත. නිශ්චිත කාල පරාසයක් තුළ වුවද එකට එකතු වීමට හේතු වූ කාරණා ඉටු වීමේ ක්‍රියාවලියේ හොඳ නරක වෙන ම කතා කළ යුතු මාතෘකාවකි. කොහොම නමුත් එකට ආණ්ඩු කරමින් වෙන වෙන ම තරඟ කිරීම හා මැතිවරණ වේදිකාවේ ආණ්ඩු කරන අයම විවේචනයන් එල්ල කර ගන්නා දේශපාලනය මෙරට ඡන්දදායකයාට අත්දැකීමක් ලෙසින් විඳ ගැනීමට ප්‍රථම වරට හැකි වී තිබෙන්නේ ද මෙම පළාත් පාලන මැතිවරණයේ දී ය.

ඉන් ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෙක් රටේ ජනාධිපතිවරයා ලෙසින් මාධ්‍ය ප්‍රධානීන් හමු වීම වැදගත් නොවීමට නම් හේතුවක් නොමැත. මෙහි දී ජනාධිපතිවරයා කිසිදු පැකිලීමකින් තොරව ජාතික වශයෙන් වැදගත් ප්‍රධාන කාරණා කීපයක් මාධ්‍ය ප්‍රධානීන් හමුවේ හෙළිදරව් කර තිබෙන බව පෙනේ. මාධ්‍ය ප්‍රධානීන් සියල්ල මේ වන විට සිය මාධ්‍ය හරහා ජනතාවට හෙළි කරමින් සිටී. ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන්ටම මෙම හෙළිදරව්ව කරන ලද්දේ ජනතාවගේ ද දැන ගැනීම සඳහා විය යුතු ය.

ප්‍රථමයෙන් ම මේ රටේ ණය බර ගැන එතුමා කරනු ලබන හෙළිදරව්ව පුදුම සහගතය. ඒ අනුව රටේ ණය බර රු. ට්‍රිලියන 1ක් නොව, 10කි. ට්‍රිලියනයක් යනු කෝටි ලක්ෂයකි. ඒ අනුව කොපමණ ධනස්කන්දයක් අපේ රට ණය වී ඇද්දැයි සිතාගත හැකි ය. මින් රටට පැමිණ ඇත්තේ ට්‍රිලියන 1ක් යැයි සඳහන් කිරීමෙන් මෙහි බැරැරුම්කම පැහැදිලි වේ. මින් ට්‍රිලියන 9කට සිදු වූ දෙයක් සොයාගත නොහැකි බවත් එකී මුදල් වැය කොට සිදු කළ එකඳු සංවර්ධන ව්‍යාපෘතියක් හෝ මහජන සහනාධාර කටයුත්තක් හෝ අනෙක් කටයුත්තක් සිදු වු බවට නිල ලිඛිත සාක්ෂි නොමැති යැයි සඳහන් කිරීමෙන් ප්‍රශ්නයේ බරපතළ ස්වරූපය පැහැදිලි වේ. ඒ සමඟම පසුගිය තෙවසර තුළ රජයට ලැබිය යුතු විශාල මුදලක් පුද්ගලික සමාගම් කිපයක් වෙත ලැබීමට සැලැස්වීමෙන් රජයේ ආදායම අඩු වී ඇති බව ද ජනාධිපතිවරයාගේ හෙළිදරව්වේ සඳහන් වේ.

මේ කියන්නේ යහපාලන ආණ්ඩුව යටතේ ම රජයට ලැබිය යුතු සමහර මුදල් හොර පාරෙන් සමාගම් වෙත යෑමට සැලැස්වීමකි. එම මුදල් රජයට සම්බන්ධව සිටී. ඇතැම් අයගේ ව්‍යාපාරවලට වාසිදායක අයුරින් ගොස් ඇති බවක් ද ජනාධිපතිවරයාගේ සඳහන් කරයි. එසේ නම් තත්ත්වය තවත් බරපතළය.

දෙවනුව ජනාධිපතිවරයා සඳහන් කළේ අය වැය මගින් විවිධ අමාත්‍යංශවලට වෙන් කරනු ලබන මුදලින් 40%ක් පමණ වියදම් කිරීමකින් තොරව නැවත වසර අවසානයේ භාණ්ඩාගාරයටම පැමිණෙන බවය. වෙන විදිහකින් එතුමා මේ සඳහන් කරන්නේ සමස්ත වශයෙන් අමාත්‍යාංශවලට වෙන් කරනු ලබන මුදලින් 60%ක වඩා වැය නොකරන බවකි. මෙය විශේෂයෙන්ම ප්‍රාග්ධන වියදම් විය හැකිය. මෙය රජයේ කාර්යක්ෂමතාවය, ආර්ථික සංවර්ධනය හා ජනතා අපේක්ෂා යන කාරණා සම්බන්ධයෙන් ජනතාව තුළ මවිතය හා ප්‍රශ්නකාරී බවක් ඇති කරන ආන්දෝලනාත්මක පුවතකි.

තෙවනුව ජනාධිපතිවරයා විශේෂයෙන්ම ජනතාවට බලපාන බඩු මිල වැඩි වීමට හේතු වන කරුණක් සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කළේය. එනම් දිවයිනට ගෙන එන රු. 500/=ක් වටිනා භාණ්ඩයක් වුව ද පාරිභෝගික ජනයා අතට පත්වන්නේ රු. 1500/=ක පමණ මුදලකටය යන්නයි. මේ ගැන සොයා බැලිය යුතු ආයතනය ලෙසින් එතුමා නම් කරනු ලැබුවේ පාරිභෝගික සේවා අධිකාරියයි. මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී අදාළ බලධාරින් දැනුවත් කරනු ලැබුවද ප්‍රතිඵලයක් නොලැබුණ බව මාධ්‍ය ප්‍රධානින් ඉදිරියේ පැවසීමට ද එතුමා මැළි නොවීය.

එසේ ම රටේ නායකයා ලෙසින් බඩු මිල සම්බන්ධයෙන් ඔහු කොතරම් සංවේදීව සිටිනවා ද යන්න මින් පැහැදිලි වේ. පාරිභෝගික සේවා අධිකාරිය සම්බන්ධයෙන් මෑත යුගයේ මෙතරම් කර්කෂක හෙළිදරව්වක් අසන්නට නොලැබුණි. මීට අදාළ යාන්ත්‍රණය ඔවුන් විසින් සැලසිය යුතු ව ඇත. එහෙත් තවමත් එවැන්නක් නැති බව පෙනේ. රට ඇතුළට පැමිණෙන භාණ්ඩයක් අදාළ බදු අය කිරීම්වලින් පසුව පාරිභෝගිකයා අතට පත් වන්නේ කීයට ද යන්න පිළිබඳ අවබෝධයක් අදාළ බලධාරී ආයතනවලට නැති නම් ඒවා ජනතාවගේ මුදල් කාබාසිනියා කරන සුදු අලි බවට පත්වීම වැළැක්විය නොහැකිය.

යුගයක වෙනස

සිව්වෙනුව එතුමා කළ හෙළිදරව්ව මේ රට තුළ සෑම මැතිවරණ වේදිකාවකම වගේ වැඩිපුරම කතාබහට ලක්වන බැඳුම්කර මගඩියයි. එය මේ ආණ්ඩුව බලයට පත් වී මාස 3ක් ඇතුළත සිදු වූ මංකොල්ලයක් ලෙසින් ප්‍රකටව ඇත. මේවා දැක දැක, දන්නා අය බලාගෙන සිටීම ගැන මෙහි දී කණාගටුවෙන් වුවද සඳහන් කළේය. තමාගේ හෙට දවස ගැන කල්පනා කිරීමෙන් තොරව මේවාට විරුද්ධව දැඩි පියවර ගැනීමට සිදු වී තිබෙන බව ද ඔහු පැවසීය. මෙය වත්මන් යහපාලන රජය යටතේ සිදු වූ යහපාලනයට නොව අවපාලනයකටවත් නොගැලපෙන සිදුවීමකි.

එහෙත් එහි දී රජය ඒ ගැන සෙවීමට කටයුතු කිරීම, පාර්ලිමේන්තුවේ විවාද කිරීමට හා කෝප් කමිටුව මගින් ද සොයා බැලීමට ඉඩදීමට නම්‍යශිලී වී තිබීම යහපත්ය. සාමාන්‍යයෙන් නම් මෙවැනි අක්‍රමිකතා වුවද හෙළිදරව් වන්නේ හා පරීක්ෂණ පැවැත්වෙන්නේ ද, ඊට අදාළ රජය බලයෙන් ඉවත් වී විපක්ෂයට ගිය පසුවය. නැතිනම් ඉවත් කරනු ලැබු පසුවය. එහෙත් වත්මන් රජය යටතේ ම අමාත්‍යවරයකුට පදවිය හැර යාමට හා අගමැතිවරයා හා අමාත්‍යවරු කීපදෙනෙක්ම කොමිසම ඉදිරියට ගොස් සාක්ෂි දෙන හා සාක්ෂිවලට කැදවන තැනට පත්විමේ විශේෂත්වයක් ඇත. එය හොඳ යහපාලන මූලධර්මයක් ක්‍රියාත්මක වීමකි. ඊට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දුන් නායකත්වය හා නොබියව අවැසි නියෝග නිකුත් කිරීම අඩුවෙන් තක්සේරු කළ යුතු සංසිද්ධියක් නොවේ. වත්මන් ජනාධිපතිවරයා නොසිටින්නට මෙවැන්නක් වුවද සුපුරුදු ලෙසම යට ගැසීමට ඉඩ තිබුණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මේ සඳහා අගමැතිවරයා හා රජය වශයෙන් දෙන ලද සහාය ඉතා අගය කළ යුතු ය. කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේ දී සාමාන්‍යයෙන් වෙනත් නායකයෙක් එළිපිට මාධ්‍ය ඉදිරියේ නොකරන මට්ටමේ වැදගත් සිව් වැදැරැම් හෙළිදරව් කිරීමක නිරත විය. එය එතුමාගේ රාජ්‍ය පාලනයේ නව හැඩතලයක් මෙන් ම රට වශයෙන් ගත් කල නව ප්‍රවණතාවයකි. ජනතාව හා රට පැත්තෙන් එය යහපත්ය. එහෙත් එය හෙළිදරව්වකට පමණක් සීමා නොවී අදාළ වන පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ද ජනාධිපතිවරයා විසින්ම ගනු ඇත යන්න ජනතාවගේ ප්‍රාර්ථනයයි.

පෙබරවාරි 10 පුංචියට නොගන්න

$
0
0
ජන 31, 2018 01:00
අසේල කුරුළුවංශ

සීමිත බල ප්‍රදේශයක් සහිත කොට්ඨාසයක් තුළ පක්ෂ කිහිපයක් තරග වදින නිසා මැතිවරණ දූෂණ සිදු කිරීමට යම් අසීරුතාවක් පැවැතීමත් ජනතාව දැන් දැන් සමාජ හෝ නීතී විරෝධී ක්‍රියා පිළිබඳ වෙනදාට වඩා අවදියෙන් සිටීමත් සුබ නිමිත්තකි.

මෙවර පළාත් පාලන මැතිවරණය අංශ ගණනාවකින් සුවිශේෂි එකක් වන්නේය. පළමු වැන්න නම් මෙතෙක් පැවැති සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනුවට කොට්ඨාස හා සමානුපාතික යන ක්‍රම දෙකේ මිශ්‍රණයක් ලෙස මැතිවරණය ක්‍රියාත්මක වීමය. දෙවැන්න නම් නව සීමා නිර්ණය යටතේ මෙතෙක් පැවැති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 335 සිට 341 දක්වා ඉහළ යෑමය. ඒ අලුතින් එක්වන පොළොන්නරුව මහ නගර සභාව හා මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙනි. තෙවැන්න පළාත් පාලන අයතනවල මෙතෙක් නියෝජනය වූ සභික සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යෑමය. සිව්වැන්න නම් සෑම පළාත් පාලන ආයතනයකම 25 % ක අනිවාර්යය කාන්තා නියෝජනයක් තිබිය යුතු බවට යෝජනා වී තිබීමය. මේ අනුව එළඹෙන පෙබරවාරී මස 10 දින මැතිවරණය පැවැත්වීමෙන් පසු අවම වශයෙන් 1986ක කාන්තා නියෝජනයක් පළාත් පාලන ආයතන තුළ දක්නට ලැබෙනු ඇති බව පැෆරල් සංවිධානය පවසයි.

නව සීමා නිර්ණයත් සමඟ හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමය තුළ මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ යාමට නියමිතය අතර එය සභිකයන් 3870 කගේ වැඩිවීමකි. සියලු පළාත් පාලන ආයතනවලට අදාළව, එකවර මැතිවරණය පවත්වන පළමු වතාව මෙය බව කියන මැතිවරණ කොමිෂන් සභාව ඒ වෙනුවෙන් රුපියල් කෝටි 350 ක් වැය වෙතැයි අපේක්ෂා කරයි. සමානුපාතික ක්‍රමය යටතේ මෙතෙක් පැවැති පළාත් පාලන ආයතන 335 සඳහා පත්ව සිටි සභිකයන් 4486 දෙනාගේ වැටුප් හා දීමනා වෙනුවෙන් රජය මාසයකට වැය කළ මුදල රුපියල් කෝටි 72 කි. වැඩි වෙන 3870 ක් වන නව සභික සංඛ්‍යාව වෙනුවෙන් අමතරව තවත් රුපියල් කෝටි 84ක් වැය කළ යුතුව තිබෙන බව පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. මේ ආකාර අතිවිශාල මුදලක් වැය කරමින් පළාත් සභා පවත්වා ගෙන යායුතුද යන ප්‍රශ්නය අද ජනතාව තුළ පැන නැගී ඇත්තේ අපේක්ෂකයන් අතර මහජන මුදල් අවභාවිතය, මිනිමැරුම් , මුදල් වංචා, ස්ත්‍රී දූෂණ, නීතී විරෝධී මත්පැන් ජාවාරම ඇතුළු විවිධ චෝදනාවලට ලක්වූවන් හැටකට ආසන්න පිරිසක් සිටින බව මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් පෙන්වා දීම තුළිනි.

කොට්ඨාසයට මන්ත්‍රි කෙනෙක්

කොට්ඨාසයට වග කියන මහජන නියෝජිතයකු පත් කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ කලක පටන් සමාජ කතිකාවක් පැවතිණ. 1978 වසරේ හඳුන්වා දුන් දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් මනාප ක්‍රමය සහිත සමානුපාතික ඡන්ද ක්‍රමය කරළියට පැමිණිය දා පටන් ජනතාව මෙම මැසිවිල්ල නැගූ අතර දශක තුනකට පසු ජනතාවට යළිත් කොට්ඨාසයට වගකියන මහජන නියෝජිතයකු පත් කර ගැනීමේ අවස්ථාව මෙවර උදාවී තිබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. දේශපාලනය තුළ කාන්තා නියෝජනය සම්බන්ධයෙන්ද මෙතෙක් මෙරට පැවැතියේ සතුටුදායක තත්ත්වයක් නොවේ.

මේ නිසාම කාත්තාවන් සඳහා අනිවාර්ය නියෝජනයක් ඇති කරලීමට නව මැතිවරණ ක්‍රමය යටතේ ප්‍රතිපාදන සකස් වී තිබේ. කාන්තා නියෝජනය පාර්ලිමේන්තුව තුළ 5. 8 % ක පමණද පළාත් සභාව තුළ 4% ක් පමණද පවතින නමුත් ප්‍රාදේශීය සභාවට එනවිට එය 1. 9 % ක අගයක් දක්වා පහත බැස තිබිණි. මෙම පසුබිම තුළ පසුගිය කාලය තුළ මෙරට පළාත් පාලන අයතන 335 ක් නියෝජනය කළ සභිකයන් 4486 දෙනා අතර කන්තාවන් සිටියේ 86 දෙනෙක් පමණක් බව පළාත් පාලන අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

සෑම පළාත් පාලන අයතනයනයකට කාන්තා නියෝජනය ඉහළ යෑමෙන් අල්ලස හා දූෂණය 50 % ක පමණ අගයකින් අඩු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි පෙන්වා දෙන රෝහණ හෙට්ටිආරච්චි මහතා කාන්තා නියෝජනයයේ ධනාත්මක බලපෑමක් බල ප්‍රදේශයට ලබා ගත හැකි වන්නේ ආසන සංවිධායකවරයාගේ දේශපාලන ගමන ශක්තිමත් කිරීමට දායකත්වය දක්වමින් ඔවුන්ට ඇඟෑළුම්කම් පාන කාන්තාවන්ට අපේක්ෂත්වය දීමෙන් නොවන බවද අවධාරණය කරයි. දක්ෂ, උගත්, නිර්මාණශීලී හා ප්‍රදේශයේ ජනතා ප්‍රශ්නවලදී පක්ෂ, පාට බේදයෙන් තොරව කටයුතු කරන කාන්තාවන්ට අපේක්ෂකත්වය ලබාදීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල කොට්ඨාසයට ලබාගත හැකි බව ඒ මහතාගේ අදහසයි.

ජනතාවගේ වගකීම

පසුගිය මැතිවරණ ගණනාවකදී ජනතාව හැසිරුණු ආකාරය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ මහජන නියෝජිතයන් ලෙස පත් කිරීමට නුසුදුසු පුද්ගලයන් ජනතාව විසින් තමන්ගේ නියෝජිතයන් ලෙස පත්කර ඇති බවයි. පාර්ලිමේන්තු සභාවාර මාධ්‍යයට නිරාවරණය වීම හේතුවෙන් මෙම තත්ත්වය පිළිබඳ රටේ ජනතාවට අවබෝධයක් ලබා ගැනීමට හැකි වුවත් පළාත් සභා හා ප්‍රාදේශීය සභාවල මන්ත්‍රී හැසිරීම් සම්බන්ධව එතරම් පැහැදිලි අවබෝධයක් ජනතාවට නොමැත.

නුසුදුසු පුද්ගලයන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ විසින් ඔවුන්ට එල්ලවන චෝදනාවලින් බේරීම සඳහා ඉදිරිපත් කළ තර්කය වූයේ ජනතාව ඡන්දය දී ඔවුන් පත් කර ඇති බැවින් වරදක් ඇත්නම් එහි වගකීම ජනතාව බාරගත යුතු බවයි. මනාප ඡන්ද ක්‍රමය යටතේ අපේක්ෂකයන් රැසක් සිටියදී ඇයි එවැනි පුද්ගලයන්ට ඡන්දය පාවිච්චි කළේ කියන කාරණය කාගෙනුත් අසන්නට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී තිබිණි. නව මැතිවරණ ක්‍රමය යටතේ කොට්ඨාසයට එවැනි පුද්ගලයකු ඉදිරිපත් කළ හොත් ඍජුව අදාළ දේශපාලන පක්ෂයට ඇඟිල්ල දිගු කිරීමේ අවකාශ දැන් ජනතාවට තිබේ.

එමෙන්ම සොරකු, මැරයකු, අපරාධකරුවකු හෝ මත්පැන් ජාවාරම්කරුවකු තමන්ගේ කොට්ඨාසයෙන් ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට පත්කර යැවීමට ජනතාව කටයුතු කළහොත් අදාළ ප්‍රදේශයේ ජනතාව පිළිබඳ තක්සේරුවක් කිරීමේ අවකාශය නව මැතිවරණ ක්‍රමය යටතේ රටටම ලැබෙන බව පැෆරල් සංවිධානය පවසයි. මේ නිසා ජනතාවට තමන් කළ වරද වෙනත් කෙනකු වෙත පවරා අත පිසාදා ගැනීමේ අවකාශයද මෙවර මැතිවරණයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට අහෝසි වී ගොස් ඇත.

මේ නිසා කොට්ඨාසයට ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳ නිසි තක්සේවරුවක් කරමින් ඔවුන්ගේ පක්ෂය, පාට, කුලය ආදී කරුණු සැලකිල්ලට නොගෙන ගමට වැඩක් කළ හැක්කේ කාටද යන්න පිළිබඳ අවධානය යොමුකර ඡන්දය භාවිත කිරීම ජනතාවගේ වගකීමකි. ඉදිරිපත් කරන ඕනෑම අපේක්ෂකයකුට ඡන්දය ලබා දීමට සූදානම් නොමැති බව ප්‍රධාන පක්ෂවලට පෙන්වා දීමට ජනතාව මෙවර ඡන්දයේදී උනන්දු වන්නේ නම් එය ඉදිරියේදී කොට්ඨාසයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න කොට්ඨාසයේ ජනතාව විසින්ම තෝරා ගන්නා තත්ත්වයක් දක්වා වර්ධනය වීමට බලපානු ඇත. සමස්ථයක් ලෙස ගත් කල මෙවර මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා තරමක අඩුවීමක් පවතින බව පොලිස් වාර්තා පෙන්වා දෙයි.

සීමිත බල ප්‍රදේශයක් සහිත කොට්ඨාසයක් තුළ පක්ෂ කිහිපයක් තරඟ වදින නිසා මැතිවරණ දූෂණ සිදු කිරීමට යම් අසීරුතාවක් පැවැතීමත් ජනතාව දැන් දැන් සමාජ හෝ නීතී විරෝධී ක්‍රියා පිළිබඳ වෙනදාට වඩා අවදියෙන් සිටීමත් සුබදායක නිමිත්තකි. මේ පිළිබඳ ජනතාව අවදියෙන් සිටින බව සමාජ මාධ්‍ය මගින් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

කොට්ඨාස මට්ටමින් මැතිවරණය පැවැත්වෙන බැවින් කොට්ඨාසය එක ඡන්දයකින් හෝ ජය ගන්නා පක්ෂයේ අපේක්ෂකයා මහජන නියෝජිතයකු ලෙස තේරී පත්වෙයි. මෙම පසුබිම තුළ මෙවර මැතිවරණයේදී එක් ඡන්දයක් පවා තීරණාත්මක බලවේගයක් වනු ඇති අතර ජනතාව මේ බව තේරුම් ගෙන ඡන්දය පාවිච්චි කිරීමට උනන්දු විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

සියල්ලන්ගේ වගකීම

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ඔස්සේ 1933 දී සර්ව ඡන්ද බලය හිමිකර ගත් ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යය බව පෙන්වා දෙන පැෆරල් සංවිධානය නව මැතිවරණ ක්‍රමයක් යටතේ පවත්වන මෙම මැතිවරණය රටක් ලෙස මෙරට ඉදිරි ගමනට අතිශයින් තීරණාත්මක බව පවසයි. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ස්ථාපිත කිරීමෙන් පසු පවත්වනු ලබන ප්‍රථම මැතිවරණය නිදහස් හා සාධරණ ලෙස පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම පිණිස දේශපාලන පක්ෂවලට මෙන්ම අපේක්ෂකයන්ද සුවිශාල වගකීමක් පැවරී තිබේ. එය හඳුනාගෙන කටයුතු කරන පුද්ගලයන් මහජන ඡන්දයෙන් ඔසවා තබන්නට ජනතාව තීන්දු කරන්නේ නම් ගමේ පුංචි ආණ්ඩුව වඩා වැඩදායි එකක් වනු ඇත.

ඒ සම්මානයත් රාක්කයේ තිබ්බා

$
0
0
ජන 31, 2018 01:00
අනුරසිරි හෙට්ටිගේ

2009 වසරේදී 'රන්සිරිමල්'කෘතිය සඳහා, විශිෂ්ටත ම යොවුන් නවකතාවට හිමි ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය දිනා ගනිමින් සම්මානයට පාත්‍ර වූ ඔහු, 2011 වසරේදී කළුවරයි පුරහඳ කෘතිය සඳහා ප්‍රශස්තම නවකතාවට හිමි සයිබර් අවකාශ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබී ය. 2012 වසරේදී 'සිංහබාහු එනකං'කෘතිය සඳහා රාජ්‍ය සම්මානය, ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය, විද්‍යෝදය සාහිත්‍ය සම්මානය යන සම්මාන ත්‍රිත්වයෙන් ම පුදලද හෙතෙම, එම වසරේදී ම 'කොළඹ ළමයි කෘතිය සඳහා, විශිෂ්ටතම යොවුන් නවකතාවට හිමි රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබී ය. 2016 වසරේදී 'දිමියා'කෘතිය සඳහා විශිෂ්ටත ම කෙටිකතා සංග්‍රහයට හිමි රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ඔහු, වසර දෙකකදී ම ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ විය. මෙවර ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලේදී හොඳ ම සිංහල නවකතාව ලෙස පිදුම් ලැ‍බුවේ, අනුරසිරි හෙට්ටිගේ විසින් විරචිත 'පණ්ඩක පුත්‍ර වස්තුව'කෘතිය ය. මේ එම කෘතිය පිළිබඳ ඔහු සමඟ කළ කතාබහකි.

කියවන සමාජය තුළ පවතින විවිධත්වය තෘප්තිමත් කිරීම, ලේඛකයා සතු සමාජයීය වගකීමක්. ඒ ඒ සමාජ ස්ථර, සාහිත්‍ය කතිකාව තුළ රඳවා ගැනීම සිදු කළ යුතුමයි. රටක මානව අභි‍ෙප්‍ර්රණ සාධකයක් ලෙසත්, සාහිත්‍යයට වටිනාකමක් එක් වෙනවා.

පසුගිය දශකයකට ආසන්න කාල සීමාව තුළ, රාජ්‍ය සම්මානය, ගොඩගේ, ස්වර්ණ පුස්තක, විද්‍යෝදය ආදී සම්මාන ගණනාවකින් ම ඔබ පිදුම් ලැබුවා වගේ ම, අවසන් වටයට නිර්දේශ වුණා. මෙවර ෆෙයාර් වේ ගාලූ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔබේ ‘පණ්ඩක පුත්‍ර වස්තුව‘ නවකතාවයි. මේ සම්මානය පිළිබඳ ඔබට දැනෙන හැඟීම කෙබඳුද?

2009 වසරේ සිට මගේ සාහිත්‍ය නිරන්තර සම්මාන අගැයීම්වලට පාත්‍ර වුණා. ඒ අතරේ රාජ්‍ය සම්මාන තුනක්, ගොඩගේ සම්මාන දෙකක්, විදුදය සම්මානයක්, සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන දෙකක් සහ ස්වර්ණ පුස්තක අවසන් සම්මාන නිර්දේශ දෙකක් මගේ සම්මාන රාක්කයට පැමිණියා. මගේ සාහිත්‍ය සම්බන්ධයෙන් සමාජයේ විශාල අගැයීමක් පවතින බව ඒ හැම අවස්ථාවකදීම මට හිතුණා. ඒත්, නවකතාව විෂයයෙහි නිර්දේශ අවස්ථා කිහිපයක් මිස, ප්‍රධාන සම්මානයක් ලැබිලා තිබුණෙ නැහැ. විශේෂයෙන් ම රාජ්‍ය සම්මානයේ අවසන් වටයටවත් නිර්දේශ වෙලා තිබුණෙ නැහැ. පණ්ඩක පුත්‍ර වස්තුව නවකතාවටත් මේ ප්‍රතික්ෂේපයමයි ලැබුණේ. එය 2017 ගොඩගේ සම්මානයේ අවසන් කෘති දහය තුළ තිබුණත්, අන් කිසිම සම්මානයක අවසන් වටයේ කෘති දහය දොළහ අතරට ආවේ නැහැ. ගොඩගේ සම්මානයේ දී පවා අවසන් කෘති පහට ඇතුළත් වී තිබුණෙත් නැහැ. ඒත්, ෆෙයාර් වේ සම්මානයේ අවසන් සම්මානිත කෘති පහට ඇතුළත්ව තිබුණා. එහිදි අවසන් විනිශ්චයේ දී පණ්ඩක පුත්‍ර සම්මානය ලබනවා. ඒක මගේ නවකතාවක් ලත් ඉහළම අගය කිරීමක්. අනෙක මේ සම්මානය දැනට ශ්‍රී ලංකාවේ හිමි කරගෙන තියෙන්නේ ලේඛකයන් තිදෙනකු විතරයි. සේපාලි මායාදුන්නේ සහ ටෙනිසන් පෙරේරා මට කලින් මේ සම්මානය ලබා තිබුණා. ඒ නිසා, මේ සම්මානය පිළිබඳ මට විශේෂ තෘප්තියක් තිබෙනවා. ඒත්, පොදුවේ සම්මානයක් හිමි වූ පසු එය රාක්කයක සිර කර, පෙර සිටි මිනිසා ම ලෙස සමාජය තුළට යළි ඇතුළු වීම මේ වනවිටත් සිදු වී අවසන්. ඒ සම්මානය මට දැන් අතීතයක් විතරයි. මං දැන් හිතන්නෙ මගේ ඊළඟ නිර්මාණය ගැනයි.

'පණ්ඩක පුත්‍ර වස්තුව', ඉතිහාසයක් සහිත පරපුරක පණ්ඩකයෙක් වටා දිවෙන කතාවක්. ඒ ගැන කතා කළොත්?

පණ්ඩක පුත්‍ර වස්තුව නවකතාවට ප්‍රස්තුත වෙන්නෙ අර්ධ නාරි අර්ධ පුරුෂ ජීවයකු ලෙස ජානමය විකෘතියකට ලක්ව සිටින තරුණයකු පිළිබඳ කතාවක්. මේ තරුණයා උප්පත්තිය ලබන්නෙ පිරිමි ළමයකු විදිහටයි. ඔහු වැඩෙන්නෙ දැඩි නාගරීකරණයකට නතුව තිබෙන කොළඹ නගරයේ වතු පරසරයක. තමා තුළ වැඩෙන ස්ත්‍රී ජාන ක්‍රියාකාරීත්වය කුමක්දැයි නොදැන, ඔහු බාල කාලයේදීම අපයෝජනයකට ලක් වෙනවා. ව්‍යාජ සදාචාරයක් කර පින්නා ගත් සමාජයක් සමඟ ගැටෙමින්, ඔහු සොයන්නෙ තමාගේ ලිංගික අනන්‍යතාව කුමක්ද කියලයි. බුදුරජාණන් වහන්සේ සංඝයාට පැනවූ තහනම් ඇසුර පිළිබඳ කතිකාවේ පළමුව මේ ‘පණ්ඩකයන්'ගැන සඳහන් වෙනවා. ඉන් අදහස් වෙන්නේ, අර්ධ නාරි, අර්ධ පුරුෂ මිනිස් ජීවින්, ගැහැනු, පිරිමි බේදයට අයත් නොවුණ විශේෂ මිනිස් කොට්ඨාසයක් බවයි. එසේ ම, ඔවුන් පුරුෂයන්ගේ ආකර්ෂණයට නතු වෙනවා. එනිසා මේ ප්‍රශ්නයට ඉතිහාසයක් තියෙනවා. මේ නවකතාවේ හමු වෙන්නෙ එවන් ඉතිහාසයක් සහිත පරපුරක පණ්ඩකයෙක්.

ඔහු සමඟ සමාජයීය ගනුදෙනුව පවත්වන ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට, තමන්ගේම වූ ලිංගික අනන්‍යතාවක් ඇතත්, ඔවුන් අතෘප්තිමත් ලිංගික ජීවිතයක් ගෙවන ආකාරයත් ඔහුට දැනෙනවා. එසේ ම, මිනිසාට අධ්‍යාත්මික විමුක්තිය ඇතැයි කියන ආගමික සංස්ථාව තුළ දී පවා ඔහුට ලැබෙන්නෙ ව්‍යාජ ආදරයක්. මේ සාංක්‍රාන්තික ලිංගික ජීවියකු බව හඳුනා නොගන්නා සමාජය, ඔහුට සලකන්නෙ අපරාධකාරයකුටත් වඩා පහත් අධමයකු ලෙසිනුයි.

මේ අසාධාරණ පිටු දැකීමට මුහුණ දෙමින්, සිරිමල් නම් පිරිමි සිරුරක් සහිත ස්ත්‍රී ලිංගික හැඟීම් දරන තරුණ මානවකයා, සමාජය හරහා ගමන් කරමින්, අවසානයේ තමා පිළිබඳ කිසියම් තීන්දුවකට එළැඹෙනවා. එය අවසානයක් නැති අවසානයක් බව ඔහුත් දන්නවා. සමාජයත් දන්නවා. ඒත්, අදටත් ඒ ක්‍රියාවලිය එසේ ම සිදු වෙමින් පවතිනවා.

මේ නිර්මාණය, සාර්ථක අවසානයක් කරා මෙහෙය වූ හේතු කාරණා මොනවාද?

මේ නවකතාවේ තේමාවේ ඇති විශේෂය නිසා, ඒ සඳහා උචිත ආඛ්‍යානවේදයක් සකස් කර ගැනීමටත් සිදු වුණා. තේමාව වගේම, එයත් මට විශාල අභියෝගයක් වුණා. සිංහල නවකතාවේ තේමාත්මක සහ ආකෘතිමය සීමා අතික්‍රමණය කිරීමට මා තුළ පවතින කැමැත්ත, මේ නිර්මාණය සාර්ථක අවසානයක් කරා මෙහෙය වූ බවයි මට දැනෙන්නෙ. එසේ ම, නාගරික භාවිතය තුළින් උකහා ගත් නව බස් වහරක් භාවිතයට ගැනීමටත් මං උත්සාහයක් ගත්තා. ඒ සියල්ලම එකතු වී, මේ නවතම තේමාවට අදාළ නව නිර්මාණයක් බිහි වූ බවයි මගේ විශ්වාසය.

සෙසු නිර්මාණවලට සාපේක්ෂව මේ කෘතියෙහි ඇති විශේෂත්වය ඔබ දකින්නෙ කොහොමද?

මගේ අන් නිර්මාණ සහ මේ නවකතාව අතර පැහැදිලි වෙනස්කම් කිහිපයක්ම තිබෙනවා. පළමුව මෙහි තේමාව. එය සභ්‍ය, අසභ්‍ය සීමාවට පහසුවෙන් කොටු කළ හැකි තේමාවක් බව මං දැන හිටියා. ඒ නිසා, දැඩි අවධානයකින් යුතුව අවස්ථා සහ සිද්ධි, චරිත තෝරා ගැනීමක් කළ යුතුව තිබුණා. එසේ ම, මේ විෂය පහසුවෙන් අත්දැකීම කර ගත හැකි ආකාරයේ එකක් නෙමෙයි. එසේ ම, හිතළු ලෙස උපකල්පනයකට ලක් කරලා, මේ මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්නය විහිළුවක් බවට හෝ පහත් ලිංගික මාත්සර්යයක් බවට හෝ අර්ථ ගැන්වීමකට ලක් වෙනවා දකින්නත් මගේ කැමැත්තක් තිබුණෙ නැහැ. ඒ නිසා, මට ඉතා සැලකිල්ලකින්, පියවරෙන් පියවරට මේ චරිතයත්, ඒ වටා පෙළ ගැසෙන සෙසු චරිතත් අවශ්‍ය පමණට විකාශය කිරීමට සිදු වුණා.

සමහර අවස්ථාවල දී ස්ථානීය නිරීක්ෂණ පමණක් නෙමෙයි, සම්මුඛ සාකච්ඡා වැනි අවස්ථා පවා සකස් කර ගැනීමට සිදු වුණා. පණ්ඩකයා යනු කවරෙක්ද යන්න නිසි ලෙස වටහා ගැනීම ම අභියෝගයක් බව මට තේරුම් ගියේ, ප්‍රස්තුතය තුළ ගමන් කරමින් සිටියදීයි. පණ්ඩකයා යනු ඔබ පහසුවෙන් වටහා ගන්නා ‘නපුංසකයින්‘ ම පමණක් නොවන බව පමණක් මම දැනට කියන්නම්. ඉතිරිය නවකතාව කියැවීමෙන් ඔබට වටහා ගන්න පුළුවන් වේවි. මේ අත්දැකීම තුළ නිර්මාණ නිමිත්තක් මිසක්, නිර්මාණ ආතතියක් තිබුණෙ නැහැ. ඒ නිසා, මේ නිර්මාණය වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරන්න සිදු වුණා.

ලේඛකයකු ලෙස 25 වසරක පමණ කාලයක් තිස්සේ ඔබ ළමා, යොවුන්, නවකතා, කෙටිකතා, පර්යේෂණ ආදී ක්ෂේත්‍ර කිහිපයකට අයත් නිර්මාණ ඉදිරිපත් කරනවා. හොඳ නිර්මාණකරුවකුට අවැසි මෙන් ම, අගය කළ යුතු මේ විවිධත්වය ගැන ඔබේ අදහස කෙබඳුද?

ලේඛකයා කියන්නෙ, සාහිත්‍යයේ සියලූ ම ශානර, නැත්නම් ප්‍රවර්ග ඇසුරෙහි නිර්මාණකරණයෙහි යෙදීමට ශක්‍යතාවක් ඇති කෙනකුටයි. එනිසා ඔහු කිසි විටෙක තමාගේ හැකියා කිසියම් ප්‍රවර්ගයකට පමණක් සීමා කළ යුතු නැහැ. ඔහුට ළමයින්ගේ මනසත්, යොවුනන්ගේ මනසත්, තරුණ සහ වැඩිහිටියන්ගේ මනසත් පිළිබඳ මනා කියැවීමක් තිබිය යුතුයි. එසේ ම, ඇකඩමික අවශ්‍යතා කුමක්දැයි කියා අවබෝධයකුත් තිබිය යුතුයි. ඒකට හේතුව, මේ සියල්ලම නිර්මාණාත්මක සාහිත්‍ය මඟින් තෘප්තිමත් කළ හැකි අවශ්‍යතා නිසයි. ඒ නිසා, ලේඛකයා, අතීත, වර්තමාන සහ අනාගත කාලත්‍ර නියෝජනය කරන්නකුගේ භූමිකාව දරන බවයි මගේ විශ්වාසය.

මේ එක් එක් සාහිත්‍ය ශානර සඳහා එකිනෙකට වෙනස් කොන්දේසි පවතිනවා. ලේඛකයා ඒ පිළිබඳ අවබෝධයෙන් සිට, සිය නිර්මාණ කාර්යයෙහි නිරත වීමයි වැදගත්. එවිට ඔහුට සාර්ථක විය හැකියි. කියවන සමාජය තුළ පවතින විවිධත්වය තෘප්තිමත් කිරීම, ලේඛකයා සතු සමාජයීය වගකීමක්. ඒ ඒ සමාජ ස්ථර, සාහිත්‍ය කතිකාව තුළ රඳවා ගැනීම සිදු කළ යුතුමයි. රටක මානව අභිපේ‍්‍රරණ සාධකයක් ලෙසත්, සාහිත්‍යයට වටිනාකමක් එක් වෙනවා. මන්ද, කියැවීමෙන් ලබන තෘප්තිය, ඔහුගේ ජීවනයට කිසියම් ආලෝක ධාරාවක් එල්ල කළ හැකි නිසයි. ඒ අර්ථයෙන් ගත්තහම, සාහිත්‍යකරුවා සමාජයට දැඩි බලපෑමක් සහිත පුද්ගල චරිතයක්. මං මේ සාහිත්‍ය ශානර සියල්ලම පාහේ ඇසුරු කර නවා.

යොවුන් සාහිත්‍ය වෙනුවෙන් හරවත් නිර්මාණ එකතු වීමේ දුර්වල බවක් පෙනෙනවා. ඔබ ‘රන් සිරිමල් ‘ සහ 'කොළඹ ළමයි‘ වැනි කෘති යොවුනන් වෙනුවෙන් සමාජගත කරනවා. එම නිර්මාණ ඇසුරෙහි ඔබ ලැබූ ප්‍රතිචාර කෙබඳුද?

මේ වනවිට මා යොවුන් සාහිත්‍ය කෘති හතරක් සමාජගත කර තිබෙනවා. ඉන් කෘති දෙකක් සම්මානයට පාත්‍ර වුණා. මේ සියලූ කෘති ඔස්සේ මං උත්සාහ කළේ, ශ්‍රී ලාංකේය යෞවනයා ව්‍යාජ වීර චාරිකා වින්දනයෙන් මුදාගෙන, තමා පය ගසා සිටින පොළොවේ ස්වභාවය අවබෝධ කර දීමයි.

එසේ ම, ජීවිතය හමුවේ පවතින අභියෝගය කිසියම් සෞන්දර්යාත්මක ප්‍රවේශයකින් අවබෝධ කර දිමටයි මං උත්සාහ ගත්තෙ. එම නිර්මාණවල සිටින ළමා වීරයන්, ලෙයින්, මසින් සැදුණු, දුක වගේම සතුටත් එක සේ භුක්ති විඳින අය. රන් සිරිමල් තුළදි දුක දිනා ක්‍රීඩා ලෝකය ජය ගන්නා ළමයකුත්, රාමන් නිර්මාණය තුළ එල්ටීටීඊ ළමා සොල්දාදුවකු, අහිමිව ගිය තමාගේ ළමා ලෝකය සොයමින් ගමන් කරන වීර චාරිකාවත්, කොළඹ ළමයි තුළ දී මෑත අතීතයට අයත් කොළඹ ප්‍රදේශයේ ළමයින්ගේ ජීවන තතු සහ ඔවුන් දුක දිනන මඟ සොයා පහදා ගැනීමට ගන්නා උත්සාහයත්, නිර්මාණාත්මකව ඉදිරිපත් කළා.

නිර්මාණකරණයේ දී ඔබ බොහෝ විට, ෆැන්ටසියෙන් නිදහස් යථාර්ථයෙහි පිහිටා නිර්මාණ ඉදිරිපත් කරන බව පේනවා.ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මේ පෙනී සිටීම ගැන ඔබ මොකද හිතන්නෙ?

ප්‍රබන්ධ සාහිත්‍ය බිහි වෙන්නෙ මිනිස් ජීවිතයේ යථාව ගවේෂණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහටයි. ඈත අතීතයේ ප්‍රබන්ධනාත්මක සාහිත්‍යයට නෑකම් කියන ආගමික සාහිත්‍ය තුළ පවා පැවතුණේ, යථාව ජය ගැනීමට ගත් උත්සාහයක්.

නූතන යුගයේ සාහිත්‍ය තුළත්, විවිධ යුගවලදි අවස්ථාවෝචිතව කිසියම් අධි යථාර්ථමය එළැඹුම් පැවතුණා. කිසිවකු කිසි විටෙක සම්පූර්ණයෙන්ම යථාර්ථය අවසන් කළ බවක් සටහන්ව නැහැ. යථාර්ථය සෑම සාහිත්‍ය යුගයකදිම බලවත් සාහිත්‍යමය මැදිහත් වීමට උර දුන්නු ප්‍රපංචයක් බව අපට අමතක කරන්න බැහැ. ශ්‍රී ලාංකේය සාහිත්‍ය පසුතලය ගත්තහම, ආරම්භයේ පටන් වසර හතළිහක් පමණ කාලයක් යථාර්ථයේ විවිධ ස්වර මිස, පූර්ණ සංශෝධනයකට ලක් වුණේ නැහැ. හැටේ දශකයේ දී එහි කිසියම් සෙලවීමක් වුණත්, එය ආකෘතික වෙනසක් මිස, තේමාත්මක වෙනසක් ලෙස සිදු වුණේ ඉතා සීමිතවයි.

ගම උතෝපියාවක් විදිහට දිගින් දිගටම උත්කර්ශයට ලක් වෙමින් තිබියදියි මං සාහිත්‍යයේ අත් පොත් තබන්නේ. මගේ අත්දැකීම් සීමාව නාගරික පසුතලයක වැඩෙන්නෙ. ඒ නිසා මං තේමාත්මකව කිසියම් නැවුම් බවක් එකතු කළත්, ආඛ්‍යානවේදය යථාර්ථයෙහි රඳවා තබා ගත්තා. ඒත්, පසුකාලීනව අධියාථාර්ථයේ සීමාව ස්පර්ශ කිරීමට හැකි ආකාරයේ තේමා ඇසුරේ කිසියම් අත්හදා බැලීමක නිරත වුණා. පණ්ඩක එවැනි උත්සාහයක්. එහි තේමාත්මක අභියෝගය ජය ගැනීම සඳහා දීර්ඝ සිහිනයක් සහ කිසියම් ආකාරයක ෆැන්ටසිමය අවකාශයක් නිර්මාණය කිරීමට මට සිදු වුණා. චරිත ස්වභාව සහ ඔවුන් මුහුණ දෙන අත්දැකීම් ෆැන්ටසයිස් කිරීමකට ලක් කිරීමටත් සිදු වුණා. එය ආකෘතිමය අත්හදා බැලීමක් ඇසුරේ වැඩුණක්.

එහෙම තත්ත්ව මඟ හැර යන්න ලේඛකයාට බැහැ. ලෝකයේ නව්‍ය ජයග්‍රහණවලට සාපේක්ෂව විවිධාංගීකරණයකට නතුවයි මිනිස් ජීවිතය විකාශනය වෙන්නෙ. එවන් මිනිස් ජීවනය හෙළිදරව් කිරීමට පැරැණි උපකරණ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා, නව සාහිත්‍යමය උපකරණ භාවිත කිරීමට අපටත් සිදු වෙනවා. ඇත්තම කිව්වොත්, පැරැණි යතුරුවලින් අරින්න බැරි තරමට, නූතන මිනිස් ලෝකයේ දොරරගුල විශාලයි. ඒ වගේම විකෘතියි. ව්‍යාජයි. එහි දී, නව උපක්‍රම ඇසුරේ මිනිස් ජීවිතය විභාග කරන්න අපට සිද්ධ වෙනවා. එය විවිවේචනයට ලක් කරන්නේ ලෝක සාහිත්‍යයේ නව ජයග්‍රහණ පිළිබඳ අවබෝධයක් නැති අයයි.

ගාලු සාහිත්‍ය අවකාශයේ වර්ණ බහුලත්වය

$
0
0
ජන 31, 2018 01:00
කාංචනා අමිලානි

ගාලු කො‍ටුව සැ‍රැසී උන්නේ විවාපත් වන්නට ලක ලෑස්ති වන මනාලියක මෙනි. සෑම අතුරු පාරකම ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙල යැයි සඳහන් සුදු සහ නිල් බැනර් ය. මේ සා ප්‍රබෝධයක්, මේ සා උත්කර්ෂයක් සාහිත්‍ය උදෙසා ඇති වීම සතුට දනවන සුළු ය. ප්‍රධාන සාහිත්‍ය උළෙල කීපය හැරුණු විට, විකල්ප සාහිත්‍ය උළෙල අතරින් පතර මතු වුවත්, ඉන් එකකුදු මේ සා ප්‍රබෝධයක් සහ සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට සමත් වූයේ නැත. සාහිත්‍ය විෂයෙහි සාම්ප්‍රදායික මුහුණු සහිත අත පෙවීම් හැරුණු විට, නව ප්‍රවණතා කෙරෙහි ආශක්ත වීමට ඉඩ නොසලසන හෙයින් ම, නිදිබර ගතියකින් පසුවීම මහත් කනගා‍ටුවකි. මේ නිදිබර, කුසීත සාහිත්‍ය උත්සව වඩාත් වර්ණවත් කිරීමට ගාලු සාහිත්‍ය උළෙලට හැකි වූයේ, එහි ම අන්තර්ගත සුවිශේෂී හැඩය හේතුවෙනි. සාහිත්‍ය උත්කර්ෂවත් ලෙසත්, නූතනවාදී ලෙසත් සැමරීම එකී නව හැඩයයි. සාහිත්‍ය, ජීවිතයෙන් ගලවා වෙනතකට ගෙන හුදෙකලා කිරීම නවතා, ජීවිතය සමඟ සැමරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීම ඒ නව හැඩයයි.

තෙවැනි වරට පැවැති ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලේ සාහිත්‍යාංග රාශිය ඇතුළත, විදෙස් රටවලින් සපැමිණි ලේඛක, ලේඛිකාවන්ගේ සංවාද කව මුල්ම තැනක් ගනී. එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, දකුණු අප්‍රිකාව, අමෙරිකාව, ඉන්දියාව සහ පාකිස්තානයෙන් පැමිණි මේ ලේඛක පිරිවර අතර, චාල්ස් ඇලන්, සෙලීන් ඇට්කින්සන්, ශ්‍රබානි බාසු, ලෝරන්ස් බොයිසියර්, අමිත් චවුද්‍රි, සිද්ධාර්ත් දාස්ගුප්තා, සෙබස්තියන් ෆලූක්ස්, සැන්ඩ්‍රා ජෙන්සන්, ඇලෙක්සෙන්ඩර් මැක්කෝල් ස්මිත් සහ පන්කජ් මිශ්‍රා මුල් තැනක් ගනී. මේ ලේඛක, ලේඛිකාවන් සමඟ පැවැති සංවාද කව අතිශය ප්‍රබෝධවත් ඒවා ද විය. බහුතරයට සහභාගී වීමට ටිකට්පත් මිලදී ගත යුතු විය. නොමිලේ ඇතුළු වීමට ඉඩ තිබුණේ අල්පයකට පමණි.

ෆෙයාර්වේ සාහිත්‍ය උළෙලේ කූටප්‍රාප්තිය සිදු කළ 'ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන උළෙල'උත්කර්ෂවත් ලෙස පසුගිය 26 වැනිදා රාත්‍රියේ පැවැත්වුණි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ මේ උළෙලේ, හොඳ ම සිංහල නවකතාව, දෙමළ නවකතාව සහ ඉංග්‍රීසි නවකතාව වෙනුවෙන් සම්මාන පුදනු ලැබී ය.

සාහිත්‍ය උළෙලවල ලබා දෙන අල්ප මුදල් ත්‍යාග අභිබවා යමින්, සම්මානිත නවකතාව සඳහා රුපියල් ලක්ෂ පහක් ද, අවසන් වටයට නිර්දේශ සෙසු කෘති සඳහා රුපියල් ලක්ෂයක් ද පිරිනැමුණි. මෙවර විනිසුරු මඬුල්ල විසින් අදාළ සම්මාන සඳහා නවකතා 13ක් නිර්දේශ කරනු ලැබීය. ඒ , සිංහල බසින් රචිත නවකතා 05ක්, දෙමළ බසින් රචිත නවකතා 04ක් සහ ඉංග්‍රීසි බසින් රචිත නවකතා 04ක් වශයෙනි. මෙවර සිංහල භාෂා අංශයේ විනිසුරු මඩුල්ලට ගාමිණී වියන්ගොඩ, බුද්ධදාස ගලප්පත්ති සහ ප්‍රභා මනුරත්න සහභාගී විය.

නිශ්ශංක විජේමාන්නගේ 'හඳ පළුව තනි තරුව', විමල් උදය හපුගොඩාඅරච්චිගේ 'යකඩ සිල්පර', කීර්ති වැලිසර ගේ 'ගරුඬ මුහුර්තය', අනුරසිරි හෙට්ටිගේ ගේ 'පණ්ඩක පුත්‍ර වස්තුව'සහ දීප්ති මංගලා රාජපක්ෂ ගේ 'නිකිණි කළුවර'කෘති මෙවර සම්මානයට නිර්දේශ විය. ඒ අතරින් හොඳ ම සිංහල නවකතාව ලෙස අනුරසිරි හෙට්ටිගේ විසින් විරචිත පණ්ඩක පුත්‍ර වස්තුව'ගෞරව බහුමාන සම්මානයට පාත්‍ර විය.

මේ සම්මාන උළෙලේ දමිළ අංශයේ විනිසුරු මඩුල්ල වී.මහේෂ්වරන්, සුමති සිවමෝහන් සහ එම්.එස්.එම්. අනේස් ගෙන් සැඳුම්ගෙන තිබුණි. මෙවර දමිළ භාෂා අංශයෙන් නිර්දේශිත කෘති අතර එම්.බලාසිංහම් ගේ 'තෂුම්බු', ජේ.වහබ්දීන් ගේ 'කුලයිමුරිසල්', තේනියම් විසින් රචිත 'ඊතනම්'සහ එන්.යෝහේන්ද්‍රනාදන් ගේ 'නීන්තික් කදන්ද නෙරුප්පාරු'නිර්දේශ වී තිබුණි. මේ අතරින් හොඳ ම දෙමළ නවකතාව ලෙස තේනියම් විසින් රචිත 'ඊතනම්'කෘතියට හිමි විය.

මෙවර ඉංග්‍රීසි භාෂාව සඳහා වන කාණ්ඩයේ විනිසුරු මඩුල්ල වශයෙන් රංජනී ඔබේසේකර, ජොලි සේමසුන්දරම් සහ අරූන් වේලාන්දාවේ ප්‍රේමතිලක ආදීන්ගෙන් සමන්විත වුණි. රුක්මණී සමරනායකගේ ‘Dutugemunu: Prince of Destiny’, ශංකරී චන්ද්‍රන්ගේ ‘Song of the Sun God’, මාරියෝ පෙරේරා ගේ ‘Wrath of Kali: The dark side of God සහ අමන්දා ජේ විසින් රචිත 'The other one'නිර්දේශිත ග්‍රන්ථ විය. ඒ අතරින් හොඳ ම ඉංග්‍රීසි නවකතාවට හිමි සම්මානය අමන්දා ජේ විසින් රචිත 'ද අදර් වන්'හිමි කර ගන්නා ලදී.

එමෙන්ම ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළෙලේ ප්‍රථම වතාවට 'සාර්ක් සාහිත්‍ය සම්මානය'පිරිනමන ලදී. ඇෆ්ගනිස්ථානයේ සාහිත්‍ය සහ සංස්කෘතික සංවර්ධනය උදෙසා කරනු ලැබූ අනූපමය මෙහෙය වෙනුවෙන් ඒ සම්මානය නජිබුල්ලා මලලායි ට හිමි විය. ගාලු සාහිත්‍ය උළෙලේ නිර්මාතෘ වූ ජෙෆ්‍රි ඩෝබ්ස් වෙනුවෙන් ද විශේෂිත සම්මානයක් පිරිනැමුණි.

කවි සඳහා පිදෙන 'එඩ්වර්ඩ් ලියර්'සම්මානය ලබා දීමේ උත්සවය දඩැල්ලේ 'අවුල් ඇන්ඩ් ද පුසිකැට්'හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි. අවසන් වටයට පස් දෙනෙකු ‍තෝරා ගත් අතර තරඟකරුවන් විසින් තම කවි කියවන්නට යෙදුනි.

ශානිකා රත්නායක විසින් රචිත The walrus and the elephant, අයේෂා රත්නායක විසින් රචිත The insatiable Ceylonese girl, සකුණි කුරේ විසින් රචිත The Sri Lankan Owl and the Pussycat, කදීජා සම්සුදීන් විසින් රචිත The Little Giant, ශාහිමා රාෂීඩ් විසින් රචිත A Little boy and his books අවසන් වටය සඳහා නිර්දේශ වී තිබුණි. මේ සියල්ල අතරින් කදීජා සම්සුදීන් විසින් රචිත The Little Giant වෙනුවෙන් කවි සඳහා පිදෙන එඩ්වර්ඩ් ලියර් සම්මානය හිමි විය. දෙවැනි ස්ථානය ෂාහිමා රාෂීඩ් ද, තෙවැනි ස්ථානය සකුණි කුරේ විසින් ද දිනාගනු ලැබීය.

සාහිත්‍ය අවකාශකය පුළුල් පියාසැරියක නිරත වන්නාක් මෙන් හැඟීමක් දැනවූ හෙයින්, එයින් කුඩා පෙත්තක් කපා පෙන්වීමට කැමැත්තෙමි. නූතනවාදී සාහිත්‍යයක් ඉල්ලා සටන් කරන අනාගත පරපුරට, විශාල ආලෝක කදම්බ එල්ල කරන ගාලු සාහිත්‍ය උළෙල තවමත් කුඩා පිරිසක් වෙත පමණක් අවශෝෂණය වීම තරමක් කනගා‍ටුදායක ය. බොහෝ විට චූල සාහිත්‍ය වපසරියක වැඩ කටයුතු කිරීම ඊට හේතුවක් විය හැකි ය. ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ මහා කලාපය වෙනත් භූමියක පැවතීම ද ඊට තවත් හේතුවක් විය හැකි ය. එනමුත් , ගාලු සාහිත්‍ය උළෙලේ විශාල සෙවණැල්ල ක්‍රමාණුකූලව සෙසු ඉම් පෙදෙස් කරා ද ගමන් කිරීමට තවත් මද කාලයක් ගත වනු ඇත. සාහිත්‍ය විෂයෙහි කේන්ද්‍රගත ඉලක්ක වෙනස් වීමද ඉන් පසුව සිදු විය හැකි ය.

මේ කුඩා හෙවනැල්ල පෘථුල වීම කෙරෙහි 27 වැනි සෙනසුරාදාවේ දෙවැනි වරට පැවති ගාලු සාහිත්‍ය සිංහල දිනය ට බලපෑමක් කළ හැකි ය. ගිය වසරේ පැවැති සිංහල දිනයට සාපේක්ෂව එහි ඉඩ ප්‍රමාණය මද වශයෙන් ඇහිරී තිබුණේ යැයි කිව හැකි මෙවර සිංහල දිනය, එතරම් සැප පහසුවක් සාහිත්‍ය ලෝලීන්ට ලබා නොදුන්නාක් සේ ය. සිංහල කාව්‍යයේ දෛනික ජීවිතය පිළිබඳ ආවර්ජනා මැයෙන් තිබූ කවි සංවාදය සඳහා ලක්ශාන්ත අතුකෝරල සහ සුහර්ශිනී ධර්මරත්න සහභාගී විය. සංවාදය මෙහෙයවනු ලැබූයේ සහන් කසීර වික්‍රමසිංහ විසිනි. ෆෙයාර්වේ සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ කෘතීන් හි ලේඛකයන් වූ අනුරසිරි හෙට්ටිගේ, නිශ්ශංක විජේමාන්න, උදය හපුගොඩ ආරච්චි, කීර්ති වැලිසරගේ සහ දීප්ති මංගලා රාජපක්ෂ ආදීන් නවකතා සංවාදයට සහභාගී විය.

සංවාදය මෙහෙයවනු ලැබූයේ ආචාර්ය ප්‍රභා මනුරත්න විසිනි. නවකතාවේ සිට චිත්‍රපටය දක්වා අනුවර්තන ක්‍රියාවලිය පිළිබඳ සංවාදයට දිලීප අබේසේකර, අශෝක හඳගම, සමන් වික්‍රමාරච්චි සහ සුමිත්‍රා රාහුබද්ධ සහභාගී විය. සංවාදය මෙහෙයවනු ලැබූයේ අනෝමා රාජකරුණා විසිනි. සිංහල කෙටිකතාව: වර්තමානය කියවීම සඳහා වූ ආඛ්‍යාන කලාවක් මැයෙන් පැවැති සංවාදයට ආචාර්ය ලියනගේ අමරකීර්ති, සුදර්ශන සමරවීර සහ කාංචනා ප්‍රියකාන්ත සහභාගී විය. සංවාදය මෙහෙයවනු ලැබූයේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ විසිනි.

මේ ගාලු සාහිත්‍ය උළෙලේ හැඩය සහ පැහැය පෙත්තක් කොට කපා පෙන්වීමකි. ඒ අපූරු හැඩය අනාගතයේ දී තවත් විචිත්‍ර වනු දැකීම මගේ කුඩා සිහිනයකි.

ඡායාරූප-The foto cube

තුෂර බිඳු නැති ප්‍රභාතය කුමට?

$
0
0
ජන 31, 2018 01:00
රන්ජන් අමරරත්න
ඊ. පී. ගුණපාල

වතුර නැති විලෙන් ප්‍රයෝජනයක් නැත. මල් නැති උයන් ලස්සන නැත. සන්තෘෂ්ටිය නැති ජීවිතයෙන් පලක් නැත. තුෂර බිඳු නැති ප්‍රභාතය ද චමත්කාර නැත. එලෙස ම සංවේදනා නැති නවකතාවෙන් ද වින්දනයක් ලැබිය නො හැකි ය.

එක අතෙකින් එය පරම්පරා දෙකක කතාවකි. මුල් පරම්පරාව හා සාම්ප්‍රදායික ගම විස්තර කිරීම සඳහා කතුවරයා සැලැකිය යුතු ඉඩ හසරක් ලබා ගනී. දෙවැනි පරම්පරාව හා නූතන සමාජ ක්‍රියාකාරකම් විස්තර කිරීම සඳහා කතුවරයා තවත් විශාල ඉඩ හසරක් ලබා ගනී. තව අතෙකින් එය එක්තරා පවුලක ක්‍රම - විකාශය පිළිබඳ වෘත්තාන්තයක් හැටියට ද ගත හැකි ය. හේන්වල ගමේ ගුරු - ගෙදර හෙවත් ඉස්කෝලේ ගෙදර අතීත - වර්තමාන කතාව ඊට ඇතුළත් ය. තවත් අතෙකින් එය ගම හා නගරය අතර පවත්නා විභේදනය පෙන්වයි. කතාවේ මුල් කොටස ග්‍රාමීය පසුබිමට අයත් ය. කතාවේ දෙවැනි කොටස නාගරික පසුබිමට අයත් ය.

ඉහතින් සඳහන් කළ විස්තර කිරීම යන්න විශේෂ අවධාරණයකි. විස්තර කිරීම යන්නෙන් හැ‍ඟෙන්නේ නව ප්‍රබන්ධ විධිවල ශිල්පීය ලක්ෂණයක් වන නිරූපණය මෙහි නැති බව ය. තව අර්ථයක් වන්නේ කතුවරයාගේ ආඛ්‍යානය ගැන සතුටු විය නොහැකි බව ය. තවත් අර්ථයක් වන්නේ නවකතාවක් වෙනුවට කතාන්දරයක් වෙත අප යොමු වෙමින් සිටින බව ය.

කතුවරයා ම සඳහන් කරන අන්දමට ‘ප්‍රභාතය’ නම් නවකතාව සත්‍ය සිදුවීමක් පාදක කරගෙන රචනාවී ඇත. සත්‍ය සිදුවීමක් පාදක කර ගැනීම යන්න සාහිත්‍යයේ ද, සිනමාවේ ද උපාය මාර්ගයකි. ඉන් කුතුහලය ඇවිස්සෙයි. ආකර්ෂණය අවදි වෙයි. “ෆොගටන් ගර්ල්” නම් කෘතියක් 2015 මුල් කාර්තුවේ දී නිකුත් විය. ඒ ලන්ඩනයේ දී ය. එම කෘතියෙන් කියැවෙන්නේ ඩිමෙන්ෂියා නම් මානසික රෝගයෙන් පෙළෙන තරුණ මවකගේ කතාන්දරයකි. වයස අවුරුදු තිස් දෙකක් වූ මේ කාන්තාව, හිටි හැටියේ ම වයස අවුරුදු පහළොවක පාසල් දැරියක බවට පත් වෙයි. අදටත් වාර්තා තබමින් අලෙවි වන මේ කෘතියෙහි මුල් කවරයෙහි ලොකු අකුරින් සටහන් ව ඇත්තේ, මෙය ප්‍රබල සත්‍ය කතාවක් බව ය.

“ෆොගටන් ගර්ල්” කෘතිය ප්‍රබන්ධ නොවන ගණයට අයත් වන්නේ වුව, එය නවකතාවකට වඩා රසවත් ය. නිරූපණය එහි කදිමෙට පවතී. සත්‍ය සිදුවීමක් පාදක කොට නව ප්‍රබන්ධයක් රචනා කිරීමේ දී වැදගත් වන ප්‍රධාන සාධක දෙකක් අර්නස්ට් හෙමින් වේ පෙන්වා දී ඇත.

(I) මුල් සිදුවීමෙහි ගතික හඳුනා ගැනීම

(II) උපුටාගත යුතු දේ තෝරා ගැනීම

මෙහි ගතික යන්නෙන් අදහස් වන්නේ, මුල් සිද්ධියෙහි ස්වභාවය, ප්‍රතිඵලය, හේතු - සාධක ආදිය නිවැරැදිව වටහා ගැනීම ය. උපුටාගත යුතු දේ යන්නෙන් අදහස් වන්නේ, මුල් සිද්ධියෙන් කාලයකට පසු එම සිද්ධියෙහි සංවේදනා දැනෙන අයුරින් ප්‍රති - රචනය කිරීමට අවශ්‍ය දේ ය. මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් බව පෙනී යයි. ඇතැම් ලේඛකයෝ ඉවෙන් එය සිදු කරති. තවත් ලේඛකයෝ පුහුණුවෙන් එය ඉටු කරති.

‘ප්‍රභාතය’ නවකතාවේ රචක ඊ.පී.ගුණපාල මහතා මුල් සිද්ධිය ඒ අයුරින් විස්තර කිරීමට උත්සුක වන බවක් පෙනී යයි. ඒ අනුව කතාන්දරයක් අසා සිටින්නට අපට සිදුවේ. එම කතාන්දරය තුළ අනවශ්‍ය විස්තර,වැල්වටාරම් හා කතාවට කිසිසේත් අදාළ නොවන දේ පවතී. ප්‍රධාන දුර්වලතාවක් වන්නේ, සිදුවීම් හා චරිත ඔස්සේ පාඨකයාගේ හැඟීම් - දැනීම් අවදි නොවීම ය.

කතුවරයා මෙහි එන චරිත ඔස්සේ ප්‍රකාශයට පත් කරන සමාජ ධර්මතා කිහිපයක් ද තිබේ. ඒවා පාඨක සමාජයට බෙහෙවින් වැදගත් යැයි සිතන්නට ද පුළුවන.

(I) සිද්ධි - අවස්ථා හා පසුබිම් අනුව

පුද්ගලයා වෙනස් විය යුතු ය.

(II) ජීවිතය ජයගැනීම සඳහා කාලයට ද

ඉඩ දිය යුතු ය.

(III) අහඹු සිදුවීමකින් පුද්ගලයාගේ ජීවිත

ගමන වෙනස් විය හැකි ය.

(IV) මාපියන් සිය දරුවන් ගැන නිරන්තර

අවදියකින් පසුවිය යුතු ය.

ඉහත කී සාධක හතර සාක්ෂාත් කළ හැකි සිද්ධි ගණනාවක් පවිත්‍රා නම් චරිතය වෙතින් උකහා ගත හැකි ය. පවිත්‍රා යනු මේ කතාවේ ප්‍රධාන චරිතය යි. නවකතාවේ පසු භාගය මුළුමනින් ම වෙන්කර ඇත්තේ ඇගේ ජීවිතයේ නැග්ම විස්තර කිරීමට ය. ඇය උන්නතිකාමී ගැහැනියකි. අවස්ථාවට හා කාලයට අනුව වෙනස් වීමේ හැකියාව ඇයට ඇත. කතුවරයා මේ තත්ත්වය උපුටා දක්වන්නේ, ජීවත් වීමේ කලාව හැටියට ය.

පවිත්‍රාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ අහඹු සිදුවීමකි. ඇය මස්සිනා අතින් අනාථ වෙයි. ඊට ඇගේ මාපියන් ද වගකිව යුතු ය. ගර්භනී තත්ත්වයට පත්වන පවිත්‍රා ගෙදරින් පැන යයි. ඇය තවත් කිහිප දෙනකු අතින් දූෂණයට ලක් වෙයි. පාදඩ සමාජයට එක් වී ජීවිතය ගෙන යන පවිත්‍රා පසුව සාර්ථක ව්‍යාපාරික ගැහැනියක බවට පත් වෙයි. කතුවරයා පවිත්‍රාගේම නැග්ම තාර්කික ලෙස ගොඩ නඟයි. පවිත්‍රා අනාථ කළ මස්සිනා ද පසුව ඇය සොයා එයි.

පවිත්‍රාගේ මානුෂීය සබඳතා පාඨකයා තුළ යම් හැඟීමක් ඇති කිරීමට සමත් බව කිව යුතු ය. පවිත්‍රා හා කුලසිරි අතර සම්බන්ධය, සෝමසිරි මුදලාලි සමඟ පවිත්‍රා ගෙන යන වෛවාහික ජීවිතය, පවිත්‍රාට හමුවන වයලට් නෝනා, ලොරි රියැදුරා, පොලිස්කාරයා හා තවත් අය නූතන සමාජය පිළිබඳ හරස් කඩක් අප ඉදිරියෙහි තබයි. මේ නවකතාවේ වැදගත් ම ලක්ෂණයක් වන්නේ, විවිධ සමාජ ක්‍රියාකාරකම් තාත්වික ලෙස විස්තර කිරීම ය.

අභියෝග හමුවේ ජීවිතයෙන් පලා යෑම මනුෂ්‍යත්වයට තරම් නොවන බව නූතන ඉගැන්වීම වේ. ආගම හා දර්ශන ඔස්සේ ද, මානසික විද්‍යාව ඔස්සේ ද, ධනාත්මක චින්තනය වැනි විෂයයන් ඔස්සේ ද අභියෝගවලට මුහුණ දෙන ආකාරය උගන්වයි. මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ස්වේච්ඡා සංවිධාන රාශියක් ලොව පුරා පවතී. ජීවිත හානි සිදු කර ගැනීම හා බරපතළ විනාශ සිදු කිරීම මේ මඟින් යම් ප්‍රමාණයකට හෝ අඩු වී ඇතැ’යි සිතන්නට පුළුවන.

ශ්‍රී ලංකාව දිවි නසාගැනීම සම්බන්ධයෙන් කුප්‍රකට රාජ්‍යයෙකි. විවිධ හේතු මත දිවි නසා ගැනීම් සිදු වේ. මෙහිලා පිළිගත යුතු මූලික සාධක දෙකක් වන්නේ, අභියෝගයට මුහුණ දීමේ අපහසුව හා අනෙකාගෙන් පළි ගැනීමට ඇති වුවමනාව ය. ප්‍රභාතය නවකතාවේ පවිත්‍රාට ද මේ සාධක දෙක බලපෑවේ ය. එක අතෙකින් සමාජයට මුහුණ දීමේ හැකියාවක් ඇයට නො තිබිණි. තව අතෙකින් තමා උගුලකට හසු කරගත් මස්සිනා ද, එම අවස්ථාව ඔහුට ලබාදුන් ඥාතීන් ද ඇයට පෙනී ගොස් තිබුණේ පරම හතුරන් ලෙසින් ය. පවිත්‍රා දිවි නසා ගත්තේ නැත. ඈ ඒ වෙනුවට නිවෙසින් පලා ගොස් ,ජීවිතයට මුහුණ දුන්නා ය. එක අතෙකින් වීර චරිතයක් මේ ඔස්සේ නිර්මාණය වෙයි.

“ලොරියෙන් පැන යාමට මෙය හොඳ ම අවස්ථාව වුව ද, ඉන් සිදුවිය හැකි සෙතක් ඇය නොදුටුවා ය. එසේ කළහොත් තමා මීටත් වඩා භයානක ප්‍රපාතයකට ඇද වැටිය හැකි බව මෙනෙහි කළ ඈ, එම අදහස අත්හැර දැමුවා ය.”

(පිටුව 168)

පවිත්‍රා ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්නේ තනි තීන්දු මත ය.එහෙත් ඇයගේ තීන්දු - තීරණ පමණක් නොව; ක්‍රියාකාරකම් පවා අවස්ථාවට හොඳින් ගැළපෙයි. සමාජය ගැන සියුම් නිරීක්ෂණයක් ඇය සතු බව පෙනෙයි. පාදඩ ලෝකයේ සිටින ඇය එහි සිටම සිය අවධානය යොමු කරන්නේ පන්සල වෙත ය. පන්සල් ගමනින් ඇයගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වෙයි. කටකාර, උපාය ශීලී තරුණ පවිත්‍රා වෙතින් ප්‍රකාශයට පත් වන්නේ සමාජය සමඟ ගැටීමට අවශ්‍ය ශූර බුද්ධිය යි. ඒ බුද්ධිය නොතිබෙන්නට පවිත්‍රා දිවි නසාගත යුතු ය.

උන්නතිකාමී චරිත කේන්ද්‍ර කොටගත් සාහිත්‍යයට ‍ හා සිනමාවට හොඳ ඉල්ලුමක් ලෝකය තුළ පවතී. සටන් කලාව පිළිබඳ ඇතැම් චිත්‍රපට පවා නිර්මාණය වී ඇත්තේ, උන්නතිකාමය පදනම් කරගෙන ය. අයුක්තියට එරෙහි ව සටන් වැදීම, අභියෝග ජය ගැනීම පමණක් නොව; පළිය ගැනීම ද මේ ක්‍රියාවලියට ඇතුළත් ය. එබඳු නවකතා විශේෂයක් ද පවතී. අප්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවල මේ නවකතාවලට වැඩි ඉල්ලුමක් පවතී. ප්‍රභාතය නම් නවකතාව ද හොඳ සංස්කරණයකින් යුතුව නැවත පළ කළහොත්; මීට වඩා ඉදිරියෙන් පවතිනු ඇත.

කතුවරයා සිය ප්‍රබන්ධකරණයේ දී ශිල්පීය වශයෙන් දක්වන දුර්වලතාව, අංශ කිහිපයක් ඔස්සේ දැක්විය හැකි ය.

(I) කතා වස්තු ගොඩනැඟීම

(II) නිරූපණය

(III) භාෂා භාවිතය

(IV) අනුසන්ධානය

හොඳ නවකතාවකට ප්‍රබල කතා වස්තුවක් අවශ්‍ය වෙයි. කතා වස්තුව යනු සිද්ධි ගළපා ගනිමින් නිර්මාණය කරගනු ලබන සැකිල්ලයි. හෙවත් ව්‍යූහය යි. මේ කතුවරයා සත්‍ය සිදුවීමෙහි ඇතුළත් ප්‍රධාන සිදුවීම් ඉස්මතු කරන බවක් පෙනෙන්නට නැත. ඔහු චරිත හා අවස්ථා නිරූපණය කරනු වෙනුවට ඒවා විස්තර කරයි. එය මේ නවකතාවේ තවත් දුර්වලතාවකි. නිර්මාණාත්මක භාෂාවක් ඇත්තේ ම නැති තරම් ය. ඇතැම් විට පුවත්පත් භාෂාව මීට වඩා ඉදිරියෙන් තැබිය හැකි ය. සිද්ධි, චරිත හා කතා විකාශයෙහි මනා සම්බන්ධතාවක් ද දකින්නට නැත. එබැවින් එය විසිරුණු කතාවක් සේ පෙනී යයි.

මෙය කතුවරයාගේ ප්‍රථම නවකතාව බව ද සඳහන් වෙයි. ඔහු නවකතාවක ශිල්පීය ලක්ෂණ ගැන තව බොහෝ දේ උගත යුතු ය. කතුවරයාගේ කැපී පෙනෙන ලක්ෂණය සමාජ නිරීක්ෂණයයි. එය පවත්වා ගනිමින්, සාර්ථක ප්‍රබන්ධයක් ගෙතීම වෙත ඔහු යා යුතු ය.


අත පුච්චා ගැනීම

$
0
0
ජන 31, 2018 01:00

තමන් නො දන්නා දේ සහ තමන් පිළි නො ගන්නා‍ දේ මිථ්‍යව යැයි බොහෝ දෙනා කියති.ඔවුහු විද්‍යාඥයෝ ලෙස පෙනී සිටින්නා හ.මිථ්‍යාවේ විරුද්ධ වචනය විද්‍යාව යැයි සිතන බව පෙනේ.අන්න එතැනම ඇත්තේ

ලොකු අවුලකි.මිථ්‍යා දෘෂ්ටියේ විරුද්ධ වචනය සම්‍යක් දෘෂ්ටිය යි.විද්‍යාවේ විරුද්ධ වචනය අවිද්‍යාව යි.ප්‍රාචීන භාෂාවල විජ්ජා යනුවෙන් අදහස් කරන්නේ විද්‍යාව ය.එහෙත් පසු කලෙක බටහිර භෞතිකවාදය ඔළුවට ගත් අය විද්‍යාව ඔවුන්ට ම අයත්කර ගෙන ඊට අයත් නොවන සියල්ල මිථ්‍යාව ලෙස බැහැර කළෝ ය.පුදුමය කියන්නේ තමා පෙනී සිටින විද්‍යාවේ භාෂා නිරුක්තියවත් නොදැන අනෙක් දැනුම් පද්ධතීන්ට මිථ්‍යාව ලෙස ගැරහීම ය.

ඔවුන්ට අනුව ජ්‍යොතිෂය මිථ්‍යාවකි.වාස්තු ශිල්පය ද මිථ්‍යාවකි.ඔවුන් පිළිගන්නේ ඇස,කන,දිව,නාසය,ශරීරය යන පසිඳුරන්ට පමණක් ගෝචරවන දේ පමණි.මේ යාන්ත්‍රික භෞතිකවාදී විශ්වාසය බිඳ වැ‍ටී දැන් සියවස් තුනක් පමණ ගත වී ඇත.එහෙත් ඒ බව නො දන්නා නිසාදෝ ඇතැම් විද්‍යාඥයෝ තමන් නො දන්නා සියල්ල ද බොරු යැයි විශ්වාස කරති.නියම මිථ්‍යාදෘෂ්ටිය නම් මෙයයි.

ලෝකය ඇති සැටියෙන් දැකීම සම්‍යක් දෘෂ්ටිය යි.එසේ නො දැකීම මිථ්‍යා දෘෂ්ටිය යි.අන් අයට මිථ්‍යාව වපුරන්නෝ යැයි චෝදනා නගන මේ උදවිය තමන් මිථ්‍යා දෘෂ්ටියේ කර වටක් කිඳා බැස සිටින බව නොදකී.

ජ්‍යොතිෂය වුවමනා නම් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂයක් බවට පෙරළා ගත හැක.වුවමනා නම් එය අධ්‍යාත්මික භාවිතයක් බවටත් වර්ධනයකර ගත හැක .එසේ කළ හැකි වන්නේ තම තම නැණ පමණින්ය.විද්‍යාව යනු බටහිර දැනුම් පද්ධතියට පමණක් සීමා වූ යෙදුමක් ලෙස භාවිතය‍ට ගැනීම ම අවිද්‍යාවකි.අවිද්‍යාව ඉතා සරලව සමාන කළ හැක්කේ අන්ධ භාවයට ය.ලෝකයේ යථාව ඇත්ත ඇති සැටියෙන් නොදැකීම එම පුද්ගලයා‍ගේ ප්‍රශ්නයක් මිස ලෝකයේ පැවැත්ම පිළිබඳ ගැටලුවක් නොවේ.

විදුලි බලය පියවි ඇසි‍න් දුටු කිසිවෙක් තවම අපට හමු වී නැත.සිහින් කම්බියක් ඔස‍සේ ගලා යන විදුලි දහරාව පියවි ඇසින් දකින්නට නො ලැබේ.එහෙත්අපට එහි ඵලය පමණක් දක්නට ලැබේ. දැල්වෙන විදුලි බල්බය කරකැවෙන විදුලි පංකාව විදුලිය ඇති බවට සංඥාවකි.ජ්‍යොතිෂය ද එබඳුම විදුලි බලයකි.

ප්‍රතිඵලය මිස එය ක්‍රියාකාරී වන ආකාරය නො පෙනේ.යට කී විද්‍යාඥයන් ලෙස කල්පනා කරන්නේ නම් ජ්‍යොතිෂ සිද්ධාන්ත ක්‍රියාකරන ආකාරය නො පෙනෙන නිසා එය මිථ්‍යාවකි.තඹ කම්බියක් මිස ඒ ඔස්සේ විදුලිය ගමන් කරන ආකාරය නො පෙනේ.එසේ නම් අර විද්‍යාඥ තර්කය අනුව විදුලිය ද නො පවතී.හැබැයි මෝඩකමටවත් එම කම්බිය ස්පර්ෂ කළ හොත් තරු විසි වෙන පාඩමක් ඉගෙන ගන්නට ලැබෙනු ඇත.ජ්‍යොතිෂය ද එසේමය.බොරු පණ්ඩිතකම් පා එවැනි දෙයක් මිහිපිට නැතැයි සිතා කටයුතු කරන පුද්ගලයන්ට සිදුවන්නේ ද අත පුච්චා ගැනීමට ය.

කේ.සී.ජේ.රත්නායක

මේ සතිය ඔබට

$
0
0
ජන 31, 2018 01:00

ජනවාරි මස 31 සිට පෙබරවාරි මස 06 දක්වා

මේෂ
වෘත්තිමය වෙනස්කම්

තම උත්සාහායන්ට බාධා අවහිරතා මතු වේ. විශේෂයෙන්ම බාධා මතුවන්නේ වෘත්තීය කටයුතු සඳහා ය. උරුම හිමිකම් පිළිබඳ කරදර ඇති වෙයි. ආනයන - අපනයන කටයුතුවල නිරතව සිටින්නන්ට යම් ප්‍රගතියක් පෙන්වනු ලැබේ. ක්ෂේත්‍රයේ කටයුතුවලටද කරදර ඇති වේ. කලා ක්ෂේත්‍රයට සුබ කාලයකි. වෘත්තිමය හදිසි වෙනස්කම් ඇති වේ. හදිසි වාසස්ථාන වෙනස්කම් ද පාසල් වෙනස්කම්ද ඇතිවිය හැක. සෙම් අමාරු ඇති වේ.

වෘෂභ
හදිසි ධන ලාබ

අඹු - සැමි භේද ඇතිවිය හැක. දුර ගමන් යෙදේ. ඒවා අවාසිදායකය. හදිසි ධනවාසි ඇති වේ. එසේම එම වාසි වියදම් වීඹත් පෙන්වයි. විදේශ ගමන් අපේක්ෂා කළ අයට එම බලාපොරොත්තු ඉටුවේ. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායකය. වෘත්තිමය කටයුතුවලට සුබ නැත. දෛනික ආදායම් හෝ වැටුප් ලබන්නන්ට හිතකර වෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රවලට එතරම් හිතකර කාලයක් නොවේ. ලේ විෂවීම් සිදුවිය හැක.

මිථුන
ලොතරැයි ජය

හදිසි බාධා ඇතිවේ. හදිසි ධනවාසි ද ලබයි. කොන්ත්‍රාත්, අඩමාන ව්‍යාපාර ආදියේ යෙදෙන්නන්ට හිතකර කාලයක් නොවේ. ලොතරැයි ජය අත්වෙයි. පෙම්වතුන්ට සුබ නැත. අපචාර චෝදනා එල්ල විය හැක. කලා ක්ෂේත්‍රයේ නිරත වූවන්ට තරග, ගැටුම් ආදියට මුහුණපෑමට සිදු වේ. පාසල් අධ්‍යාපනයට නරක නැත. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට බාධා අවහිරතා ඇති වෙයි. පියා හා උසස් නිලධාරීන් සමඟ ගැටුම් ඇතිවිය හැක. මුත්‍රා ආබාධ ඇති වේ.

කටක
විදේශ ගමන්

ව්‍යාපාර කටයුතුවලට හොඳ සතියකි. සමාජ කටයුතුවල ද යෙදේ. නිවාස ලාභ ලැබේ. මහා පරිමාන කොන්ත්‍රාත් ව්‍යාපාර තමන්ට නතුකර ගත හැක. පවුලේ අඹු - සැමි සමගිය බි‍ඳේ. ප්‍රේමවන්තයන්ට හිතකර කාලයකි. කලා ක්ෂේත්‍රයේ යෙදෙන්නන්ට ඉස්මතුවීමට අවස්ථාව ඇත. පාසල් හා උසස් අධ්‍යාපනයට හිතකර සතියකි. අපේක්ෂිත විදෙස් ගමන් යෙදේ. මංගල කාරණාවලට නරක නැත. අය පක්ෂය සුබදායකය. අධි රුධිර පීඩනය ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.

සිංහ
ගුප්ත රෝග

ඉඩම් අරගල ඇතිවිය හැක. ක්‍රීඩා හා සිනමා ක්ෂේත්‍රයේ නිරත වූවන් අපහසුතාවලට පත්වීමට ඉඩ ඇත. කොන්ත්‍රාත්, ව්‍යාපාර කඩා වැටීමට භාජනය වේ. හදිසි රෝහල් ගතවීමකට ඉඩ ඇත. තම සේවා ස්ථානයේ නිරන්තර වෙනස්කම්වලට භාජනය විය හැක. අධ්‍යාපන ක්ෂේත්‍රයේ බාධා අවහිරතා පෙන්වයි. දැඩි ස්වාධීනත්වයක් පිළිබඳ හැඟීමක් ඇති වන අතර හදිසි කෝපය ද ඉස්මතු වේ. මංගල යෝජනා ගැන ප්‍රවේශම් විය යුතුය. ගුප්ත රෝග ඇති වේ.

කන්‍යා
මංගල යෝජනා

කලාවට සුබදායි සතියකි. පෙම්වතුන් අපවාදවලට ලක්විය හැක. අසල්වාසීන් හා විරසකභාව ඇති වේ. ඉඩම් හබ ඇති විය හැක. ඒවා විකිණීමේ ගනුදෙනුවලට ද යාමට ඉඩ ඇත. පාසල් අධ්‍යාපනයට යම් යම් දුෂ්කරතා ඇත. තම සහෝදරයන් හා විරසකභාවයන් ඇතිවිය හැක. හදිසි ධන යෝග පෙන්වයි. ලොතරැයි ජයග්‍රහණ ඇතිවේ. මඟුල් තුලා කටයුතුවලට බාධා නැත. මංගල යෝජනා සාර්ථක විය හැක. පාදයේ ආබාධ ඇතිවෙයි.

තුලා
අධ්‍යාපනයේ ප්‍රගතියක්

නව කාර්යයන් ඉටුකර ගැනීමට වාසනාව බලපායි. අය පක්ෂයේ ප්‍රගතිය සඳහා දැඩි වීර්යයක් ගනු ලැබේ. ඉඩම් ගනුදෙනු ඇති අයට නරක නැත. වෘත්තීමය කටයුතුවලටද අහිතකර තත්ත්වයක් නොමැත. අසල්වාසීන් හා ගැටුම් ඇතිවිය හැක. පාසල් අධ්‍යාපනයේ පසුබෑමක් ඇති වේ. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. මේ නිසා විදේශ ගමන්ද යෙදිය හැක. විවාහ මංගල යෝජනාවලට බාධා ඇති වේ. ඒවා කල් ගතවිය හැක. රුධිර පීඩනය ඇතිවියහැක. ප්‍රවේශම්වන්න.

වෘශ්චික
ගේ දොර වියදම් වැඩිවේ

තම ආදායම් තත්ත්වයේ ප්‍රගතිය සඳහා දැඩි කැපවීමක් යොදයි. මේ ආයාසයේදී සාධාරණ හෝ අසාධාරණය ගැන එතරම් තැකීමක්ද නොකරයි. වියදම් වැඩි වුවත් ඵල ප්‍රයෝජනවත් දෙයටම වියදම් කරයි. තම දරුවන් සඳහාද නිවාස කටයුතු සඳහාද වැඩි වියදම් පෙන්වයි. අපේක්ෂිත විදේශ ගමන් යා හැක. ප්‍රතිවාදීන් හා හැලහැප්පීම්වලට යාමේ ඉඩකඩ වැඩිය. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. කලාවට සුබදායි සතියකි. හිස ආශ්‍රිතව ආබාධ ඇති විය හැක.

ධනු
නීතිවේදීන්ගෙන් උදව්

තම කාර්යයන් ඉටුකර ගැනීමේදී වාසනාව බලපායි. නීති ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවිය හැක. පාසල් අධ්‍යාපනයට හිතකර කාලයකි. පෙම්වතුන් අපවාද ලබයි. ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට පාදයේ ආබාධ ඇතිවේ. පැවිදි නායකයන්ගෙන්, නීතිවේදීන්ගෙන් ගුරු ආචාර්යවරුන්ගෙන් උදව් උපකාර ලබයි. හදිසි ධනවාසි ලැබේ. වියදම් අධික ය. එහෙත් අවශ්‍ය වේලාවට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය කෙසේ හෝ ලබාගත හැක. තමා සතු යම් යම් දේ අස්ථාන ගත වේ. රුධිර දෝෂ ඇති වේ.

මකර
ප්‍රේම සබඳතා

ඉඩම් කටයුත්තක් නිසා හෝ ඉඩමක් ගැනීම සඳහා වියදම් කිරීමට සිදුවේ. ව්‍යාපාරවල යෙදෙන්නන්ට අලාභයක් නැත. වෘත්තීමය කරුණකට හෝ ව්‍යාපාරවලට හෝ විදේශගතවීමට අපේක්ෂා කරන අයට හිතකර කාලයකි. හිතුවක්කාර ප්‍රේම සම්බන්ධතාවලට යොමු වේ. කලාවට හිතකර කාලයකි. පින් දහම් කටයුතුවලට වියදම් කරයි. තම සහෝදරයන් හා පැරණි මිතුරන් වෙනුවෙන් වෙහෙසේ. වෘත්තීමය වෙනස්කම්වලට හේතුවිය හැක. අධ්‍යාපනයට නරක නැත. ආමාශ ගත ආබාධ ඇතිවේ.

කුම්භ
අපවාද ලබයි

වෘත්තීමය ක්‍රියාකාරකම්වලට ප්‍රබල පිහිටීමක් පෙන්වයි. උසස්වීම්, මාරුවීම් සමඟ, ප්‍රබල පරිපාලන බලයක් ලැබිය හැක. අධ්‍යාපනයට සුබ සතියකි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසිදායකය. හදිසි දුර බැහැර ගමන් යෙදේ. පියාට අපල ගෙනදේ. කලා‍වේ නිරත වූවන් කීර්තියට පත්වේ. ව්‍යාපාරවලට හදිසි ආයෝජන යොදවයි. පෙම්වතුන් අපවාද ලබයි. දරුවන්ගේ කටයුතු සඳහා අමතර වියදම් පෙන්වයි. හවුල් ව්‍යාපාරිකයන්ට සුබ සතියකි. පින් දහම් වැඩවල යෙදේ. රුමෙටික් ආබාධ ඇතිවේ.

මීන
පරිපාලන යෝග

හදිසි ධනවාසි මෙන්ම, හදිසි ධන හානිද ඇති වේ. ලබන ධනවාසිය රැක ගැනීමේ අපහසු තත්ත්වයක් පෙන්වයි. පරිපාලන යෝග ඉස්මතු වෙනත් , අභියෝග, විවේචන මධ්‍යයේ වෘත්තිමය කටයුතු කර ගැනීමට සිදුවේ. විදේශ මූලාශ්‍රවලින් ලැබෙන ආදායම් හිරවීම්වලට ලක්විය හැක. උසස්වීම් ලබාගැනීමේ ආයාසයක් පෙන්වයි. එය කළ හැකි බවද පෙන්වයි. වෘත්තීය ක්ෂේත්‍රයේ වෙනස්කම් ඇතිවිය හැකිය. පාසල් අධ්‍යාපනයට සුබදායකය. උසස් අධ්‍යාපනයේ දැඩි බාධා ඇති වේ. දේශපාලනයේ යෙදෙයි. අපේක්ෂිත විදේශ ගමන් යා හැකිය. අධිරුධිර පීඩනය ඇතිවිය හැකිය. ප්‍රවේශම් වන්න.

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

ඇබග්නේල් පොලිස් කූඩුවේ

$
0
0
ජන 31, 2018 01:00

18 වැනි කොටස

සුපිරි සුඛෝපභෝගී ජිවිතයකට පුරුදුව සිටි ඇබග්නේල්ට අඳුරු අපිරිසිදු, සිරමැදිරියේ තත්වය දෑසට කඳුළු නැංවීය. එය සිර මැදිරියක් නොව මී ගුලකි. පිළිකුල් සහගතය. සියල්ල අවසාන විය යුත්තේ මෙලෙස දැයි සිතූ ඔහුට දැනුණේ කියාගත නොහැකි අසරණකමකි. පසු දින තමා එෆ්.බී. අයි. නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වු පසු ජිවිතය ගෙවීයනු ඇත්තේ උසාවිවල බව සිහි කළ ඇබග්නේල්ට පිහිට පතා යාච්ඤා කිරීමට පවා සිත්විය. නමුත් තමා වැනි හොරුන්ට උපකාර කරන්නේ මොන දෙවිවරුද?

බියෙන් ගැහෙමින් ඇබග්නේල් උඩ බිම බැලුවේ මේ කඩා වැටෙන්නට යන මරාලයෙන් තමා ගලවන ලෙසට දෙවියේ යදිමිනි. ඒ මතක ඇති කාලයකින් ඔහුට ඇබග්නේල් කියා නාදුනන පුද්ගලයකු ඇමතු පළමු අවස්ථාවය. ඉදිරියේ සිටගෙන සිටින මැසචුසෙට්ස් ප්‍රාන්තයේ පොලිස් නිලධාරින් දෙදෙනා ඇබග්නේල් දුටුවේ තමා නිරයට ඇදගෙන යාමට පැමිණි යම දූතයන් දෙදෙනෙක් ලෙසයි.

“ඔයා නේද ෆ්‍රෑන්ක් ඇබග්නේල් ?“ එක් පොලිස් භටයෙක් එලෙස විමසුවේ දැඩි ස්වරයකිනි. ඉන් වෙව්ලා ගියද, ඇබග්නේල් පිළිතුරු දුන්නේ අසාමාන්‍ය ලෙස නිවුණු ස්වරයකිනි. ඒ ගැන ඔහුටම පුදුම සිතුණි.

“මගේ නම ෆ්‍රෑන්ක් තමයි. හැබැයි ෆ්‍රෑන්ක් විලියම්ස්. “

“කරුණාකරලා මට හැඳුනුම්පත දෙන්න?

“පොලිස් නිලධාරියාගේ හඬ කාරුණික බවක් ඉසිලුවද, ඔහුගේ දෑසින් කියැවුණේ තමා එය එසැණින් ඉදිරිපත් නොකළහොත් බලහත්කාරයෙන් කකුල්වලින් ඔසවා සාක්කු සොලවා හෝ ලබාගැනීමට වුවද පැකිලෙන්නේ නැති බවය. මේ නිසා ඇබග්නේල් කල් නොයවාම සිය ව්‍යාජ පෑන් ඇම් හැඳුනුම්පත හා ෆෙඩරල් ගුවන් බලපත්‍රය පොලිස් නිලධාරින්ට ඉදිරිපත් කළේ නිර්දෝෂීභාවය මවාපෑමට උත්සාහ දරමිනි.

“ මට තේරෙන්නේ නැහැ මේ මොකක් ද කියලා. මෙතන ලොකු වැරදීමක් වෙලා කියලා සහතිකයි. මේ මගේ පෑන් ඇම් හැඳුනුම්පත. මම පෑන් ඇම් ගුවන් නියමුවෙක් “

ව්‍යාජ හැදුනුම්පත හා ගමන් බලපත්‍රය පරීක්ෂා කළ පොලිස් නිලධාරින් දෙදෙනාට සැකය දුරුකර ගැනීමට ඒවා හේතුවක් වූයේ නැත. මේ ඉන්නේ මෙතෙක් කල් නීතියෙන් කට්ටි පනිමින් සිටි තක්කඩි ඇබග්නේල්ම බව ඔවුනට හොඳටම විශ්වාසය. ඇබග්නේල්ට ඇත්ත කියන ලෙස ඔවුහු බලකළහ.

“පුතා ඇයි ඔයා ඇත්තම කියලා වැරැද්ද පිළිගන්නේ නැත්තේ. ඔයා ෆ්‍රෑන්ක් ඇබග්නේල්. ඒකේ දෙකක් නැහැ. එහෙම නේද ?“ එක් පොලිස් නිලධාරියෙක් කියා සිටියේ කාරුණික ස්වරයකිනි.

“මොන ෆ්‍රෑන්ක් කියලාද කිව්වේ?. දෙයියම්පා මම නම් ඔය කියන විදියේ ෆ්‍රෑන්ක් කෙනෙක් ගැන ඇහුවෙත් අදයි. ඔයාලා කවුරු පස්සේ එලවනවාද කියල මම දන්නේ නැහැ. හැබැයි ඒ මම නෙවෙයි.“

“අපිට මෙතන ඔයත් එක්ක වාද කර කර ඉන්න බැහැ. අපි ඔයා දැන් පොලිසීයට ගෙනියනවා. හ්ම්, නඟින්න කාර් එකට “

පොලිසියේදී ඇබග්නේල් ඉදිරිපත් කෙරුණේ ලුතිනන්වරයකු හමුවටය. සැර පරුෂ පෙනුමකින් යුතු ඔහු පොලිස් නිලධාරින් දෙදෙනා වෙත කඩා පැන්නේ රෑ මැදියමේ මේ ගෙනා කරදරය ඉවසාගත නොහැකිවය.

“මොකද්ද යකෝ මේකේ තේරුම ?“

“සර් අපි හිතන්නේ මේ ඉන්නේ ෆ්‍රෑන්ක් ඇබග්නේල් කියලයි. එයා කියන්නේ එයා පෑන් ඇම් ගුවන් නියමුවෙක් කියලා.“ එක් පොලිස් නිලධාරියෙක් පිළිතුරු බැන්ඳේය. එවර ලුතිනන්වරයා පරික්ෂාවෙන් ඇබග්නේල් දෙස බැලුවේ කවුරු ඇත්ත කියන්නේද කියා තහවුරු කර ගැනීමටය.

“ඔයාට ගුවන් නියමුවෙක් වෙන්න තරම් වයස ඇති කියලා මට නම් පෙනෙන්නේ නැහැ. ඇයි ඔයා ඇත්තම කියන්නේ නැත්තේ? ඔයා අපි කාලෙක ඉඳලා හොයමින් ඉන්න ෆ්‍රෑන්ක් ඇබග්නේල් තමයි. එයා ගුවන් නියමුවෙක් විදිහටත් පෙනී ඉන්නවා. ඔයා එයාගේ හැඩරුව විස්තරයට හරියටම ගැලපෙනවා.“

“ මගේ වයස අවුරුදු තිහයි. මගේ නම ෆ්‍රෑන්ක් විලියම්ස්. පෑන් ඇම් ගුවන් නියමුවෙක්. මට මගේ නීතිඥයාට කතා කරන්න ඕනේ.“ ඇබග්නේල් බෙරිහන් දෙන්නට විය. ලුතිනන්වරයා සුසුමක් හෙළීය.

“නීතිඥයෙක්ට කතා කරන්න ඔයාට විරුද්ධව අපි තාම කිසිම චෝදනාවක්වත් කරලා නැහැ. මෙන්න මෙයාව අරගෙන ගිහිල්ලා දාන්න කූඩුවට. චෝදනාව අයාලේ යෑම කියලා, දාලා එයාට නීතිඥයෙක්ට කතා කරන්න ඉඩ දෙන්න. ඒ අතරේ ෆෙඩරල් පොලීසියටත් දන්වන්න. එයාලා දෙකින් එකක් කරලා දාවි.“ ලුතිනන්වරයා උපදෙස් දුන්නේය.

“අයාලේ යන්නෙක්!“. ඇබග්නේල් මොර දෙන්නට විය. “ දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! මම කොහොමද අයාලේ යන්නෙක් වෙන්නේ. මං ගාව දැනටත් ඩොලර් දෙසීයක් තියෙනවා.“

“වෙන්න පුළුවන්. හැබැයි ඔයා සාධාරණ රැකියාවක් කරනවා කියල ඒකෙන් කියැවෙන්නේ නැහැ. ගෙනියන්න මෙයාව කූඩුවට.“ලුතිනන්වරයා අණ දුන්නේය.

සිරමැදිරිය භාරව සිටි සාජන්වරයාට පවා ඇබග්නේල් අයාලේ යන්නෙක් බව විශ්වාස කිරීම උගහට විය.පෙනුමින් ඇබග්නේල් අංක එකේ ජේත්තුකාරයෙක් වූ නිසාය.

“යකාට ගියාවේ! මෙයා අයාලේ යන්නෙක් නම් ඔයාලා මෙහෙට කෙල්ලෝ එහෙම ගේන එකක් නැතිවෙයි කියලා මම හිතනවා.“

“එයාට විරුද්ධව චෝදනාව විදිහට ඒක ලියලා, එයා අද රෑට කූඩුවේ තියන්න. එයාව භාර ගන්න එෆ්.බි.අයි එකෙන් හෙට උදේට ඒවි. “පොලිස් නිලධාරින් දෙදෙනා ඇබග්නේල්ව සාජන්වරයාට භාර දුන්නේ එලෙස කියමිනි. සාජන්වරයා ඇබග්නේල්ට සැලකුවේ අනුකම්පා සහගතවය. තමා සන්තකයේ තිබු බඩුබාහිරාදිය භාරගෙන ලදුපතක් දෙද්දි ඇබග්නේල් අයැද සිටියේ තම පෑන් ඇම් ගුවන් නියමු බලපත්‍රය ළඟ තබා ගැනීමට ඉඩ දෙන ලෙසයි.

“මේකයි, සාජන් මහත්තයා, පෑන් ඇම් නීතිවලට අනුව නියමු බලපත්‍රය හැම තිස්සේම ළඟ තියාගන්න එක අනිවාර්යයි. පොලිස් අත්අඩංගුවේ හිටියත් ඒක එහෙමයි. කරුණාකරලා මට ඒකට ඉඩ දෙන්න.“ සාජන්වරයාට ඇබග්නේල් ගැන යම් සැකයක් තිබුණා නම්, ඔහුගේ හැදුනුම්පත හා ෆෙඩරල් බලපත්‍රය දුටු විට එයද අහෝසි විය.

“ප්‍රශ්නයක් නැහැ පුතා. මටත් හිතෙන්නේ මෙතන මොකක් හරි වැරදීමක් වෙලා. ඒකට මගේ සම්බන්ධයක් නැතිවීම ගැන මම සතුටු වෙනවා.“

සුපිරි සුඛෝපභෝගී ජිවිතයකට පුරුදුව සිටි ඇබග්නේල්ට අඳුරු අපිරිසිදු, සිරමැදිරියේ තත්වය දෑසට කඳුළු නැංවිය. එය සිර මැදිරියක් නොව මී ගුලකි. පිළිකුල් සහගතය. සියල්ල අවසාන විය යුත්තේ මෙලෙස දැයි සිතූ ඔහුට දැනුණේ කියාගත නොහැකි අසරණකමකි. පසු දින තමා එෆ්.බී. අයි. නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වු පසු ජිවිතය ගෙවීයනු ඇත්තේ උසාවිවල බව සිහි කළ ඇබග්නේල්ට පිහිට පතා යාච්ඤා කිරීමට පවා සිත්විය. නමුත් තමා වැනි හොරුන්ට උපකාර කරන්නේ මොන දෙවිවරුද ? ඇබග්නේල් සිතින් වැළපෙමින් සිටියදි හදිසියේම සිරමැදිරිය අසලට ආ පුද්ගලයකු නිසා ඔහුගේ බලාපොරොත්තු යළි පණ ගැහෙන්නට වන්නේය.

බලාගෙන යන විට හොරුන්ට වුවද දේවදූතයන් සිටින බව ඇබග්නේල්ට සිතුණේ අනපේක්ෂිතව පැමිණි මෙම පුද්ගලයා ගලවා ගැනීමේ දූතයකු බව ඔප්පු වූ හෙයිනි.

සුරුට්ටුවක් මුවෙහි රඳවාගත්, කකුලුවෙකුගේ බඳු පෙනුමින් යුතු මෙම හීන්දෑරි අමුත්තා තමන් දෙස විපරමින් බලද්දී ඇබග්නේල්ට සිතුණේම තමා මුගටියෙකුගේ බැල්මට හසුව ඇති බවකි. ඔහුගේ පෙනුම මෙන්ම බැල්මද ඇබග්නේල්ට ඇල්ලුවේ නැත. අවසානයේදි අමුත්තා හඬ අවදි කළේය.

“ හොඳයි, එහෙනම් කියමුකෝ බලන්න මේ බලු කූඩුවේ ලගින්න තරම් තමුන් කරපු වැරැද්ද මොකද්ද කියලා.“ අමුත්තා එලෙස ඇසුවේ දුම් රොදක් පිට කරමිනි.

“අයාලේ යෑම“ ඇබග්නේල් කෙටියෙන් පිළිතුරු දුන්නේ ඔහුගෙන් සහයක් ලැබේයැයි බලාපොරොත්තු නොවූ නිසාය.

“මොනවා! අයාලේ යාම? ඒත් ඔබ පෑන් ඇම් ගුවන් නියමුවෙක්නේ. කොහොමද අයාලේ යන හිඟන්නෙක් වෙන්නේ ? කවුරුහරි ඔයාගේ ගුවන් ටිකට් හොරකම් කළාවත්ද ?“ අමුත්තා අසා සිටියේ විස්මයෙන් දෑස් විසල් කර ගනිමිනි. දැන් නම් ඔහුගේ පෙනුම නියම කකුලුවකු බඳු යැයි ඇබග්නේල්ට සිතිනි.

“කවුද ඔයා? “

“හඳුනගන්න මගේ පියාඹන මිත්‍රයා, මම ඇලෝසියස් ජේම්ස් ‘ඇපදෙන‘ බේයිලි. විශිෂ්ටම ඝණයේ ඇපකාරයෙක්. පොලිසිය ඉන්නේ ඔයාලව හිරේ දාන්න මම වගේ අය ඉන්නේ ඔයාලව ඇප දීලා එළියට ගන්න.“ අමුත්තා තමා එලෙස හඳුන්වා දුන්නේ හඳුනා ගැනීමේ කාඩ්පතත් සිර මැදිරියේ කපොලු අතරින් ඇබග්නේල් වෙත දිගුකරමිනි.

මේ කිසිසේත්ම පැහැර නොහැරිය යුතු අවස්ථාවක් බව සිහි කළ ඇබග්නේල් තමා පත්ව සිටින තත්වය කටට ආ බොරුවක්ද සමඟ කියා දැම්මේය.

“මම ඇත්තම කියන්නම්. ගුවන් තොටුපලේදි කෙල්ලෙක්ට අතවරයක් කරන්න හදපු මිනිහෙක්ට මම නැතිවෙන්න දුන්නා. අපි දෙන්නාගේ ගෝරිය දැකලා එතැනට දුවගෙන ආපු පොලිස්කාරයෝ දෙන්නා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව දෙන්නවම පොලිසියට කුදලාගෙන ආවා. ඉතිං මම මෙතන. මට ඔය වාගේ අහක යන කරදරවලට පැටලෙන්නේ නැතිවයි ඉන්න තිබ්බේ. මම කරගෙන තියෙන වින්නැහිය මගේ කැප්ටන් දැනගත්තොත් රස්සාව නැති වෙන එක ගැන කතා දෙකක් නැහැ.“ ඇබග්නේල් සිය අවනඩුව කදිමට රඟපෑවේය. මෙබඳු හොර තක්කඩියන් හිසේ කෙස් ගණනට දැක තිබු ‘ඇප දෙන‘ බේයිලි පවා ඉන් රැවටුණු බව විසල්කරගත් දෙනෙතින් ඇබග්නේල් දෙස බලා සිටි අයුරින් පැහැදිලි විය.

“මොන හරුපයක්ද මේ ඔයා කියන්නේ? ඔයාට ඇප දීලා එළියට ගන්න කවුරුත් නැත්ද? ඔයාගේ යාලළුවෙකුට කතා කරලා බලන්න“

“මට මෙහේ කිසිම යාළුවෙක් නැහැ. ආවේ භාණ්ඩ ප්‍රවාහන යානයකින්. වැඩ කරන්නේ ලොස් ඇන්ජලීස්වල.“

“ඔයාගේ කාර්යමණ්ඩලේ කට්ටිය කෝ ? එයාලගෙන් කෙනෙක්ට කතා කරන්න“

“එයාලා කෙළින්ම ඉස්තාන්බුල් ගියා“ ඇබග්නේල් තවත් බොරු දෙසන්නට වන්නේය. “මම නිවාඩුව ගත්තා මයාමිවල ඉන්න කෙල්ලෙක් බලන්න යන්න.“

“බලාගෙන ගියහම ඔයා ලොකුම කරදරයක වැටිලයි ඉන්නේ.“ මොහොතකට බැරෑරුම් ස්වභාවයක් මවාගත් බේයිලිගේ දෑස් උද්යෝගයෙන් දිලිසෙන්නට විය. නියත ලෙසම ඔහුට කිසියම් සැලසුමක් පහළ වන්නට ඇත. “හොඳයි මගේ සටන්කාර ගුවන් නියමු මිත්‍රයා, මම බලන්නම් ඔයාව මේ වළෙන් ගොඩගන්න මොකද්ද කරන්න පුළුවන් කියලා.“බේයිලි යළි ඇබග්නේල්ගේ සිර මැදිරිය වෙත පැමිණියේ විනාඩි දහයකට පමණ පසුය. එම කාලය ඇබග්නේල්ට දැනුණේ කල්පයක් ලෙසිණි.

"එයාලා කියනවා ඔයාගේ ඇපය ඩොලර් පන්දහක් කියලා. ඔයා එයාලට සෑහෙන ඇණයක් වෙන්න ඇති. ඔයාගේ අතේ කීයක් විතර තියෙනවාද මිත්‍රයා?“

ඇබග්නේල්ගේ පිබිදුණු බලාපොරොත්තු යළි කිඳා බැස්සේය.“ඩොලර් දෙසීයක් විතර. සමහර විට ඊට අඩුත් ඇති“ බේයිලි කල්පනා කරන්නට විය. ඔහු යළි හඬ අවදිකළේ යමක් තීරණය කොටය.

“ඔයාට මොකක් හරි හැඳුනුම්පතක් තියෙනවද? “

“සත්තකින්ම“ ඇබග්නේල් සිය පෑන් ඇම් හැඳුනුම්පත සිර මැදිරියේ යකඩ කූරු අතරින් බේයිලිට දිගු කළේ සියුම් ආඩම්බරයකිනි. “ ඔයාට පෙනෙනවා ඇතිනේ මම සෑහෙන කාලයක ගුවන් නියමුවෙක් විදිහට වැඩ කරලා තියෙනවා. පෑන් ඇම්වලම මගේ සේවය අවුරුදු හතක්.“

එය හොඳින් පරික්ෂා කළ ‘ඇප දෙන‘ බේයිලි ඇසු දෙයින් ඇබග්නේල්ට ලොවම අමතක විය.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

හෙට : ඇප දෙන බෙයිලිට කෘත ගුණ දක්වයි

සිංහල කළේ
රුක්ලන්ති පෙරේරා 

නවම් පුන් පොහොය අදයි

$
0
0
ජන 31, 2018 01:00
ලෝල්ලේගොඩ ඤාණරංසි හිමි

සම්බුද්ධ ශාසනයේත්, බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඉතා පූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහොය දිනය සැලකිය හැකිය. සම්බුදු සසුනෙහි පහළ වූ ඉතා වටිනා මැණික් බඳු වූ සැරියුත් - මුගලන් දෙනම වහන්සේලා සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලබන ලද්දේ නවම් පොහොය දිනකය. බුදු සසුනෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පොහොය දිනකය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයුසංස්කාරය හළේත් නවම් පුන් පොහොය දිනකය. මේ අයුරින් බලන කළ නවම් පොහොය දිනය බොදුනුවන්ගේ සිත් සැදැහැවෙන් කුළුගන්වන ‍වැදගත් ශාසනික දිනයකි.

සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීමත් බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සන්නිපාතයත්, රජගහනුවර වේළුවනාරාමය කේන්ද්‍රකොටගෙන සිදුවිය. උරුවෙල, නදී, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂු පිරිස ද, අගසව් දෙනම ප්‍රමුඛ දෙසිය පනහක් භික්ෂූන් වහන්සේ ද යන එක්දහස් දෙසිය පනහක් රහතන් වහන්සේලාගෙන් බබළන වේළුවනය තුළදී සැරියුත් මුගලන් දෙනම වහන්සේලා දකුණත් සව් වමත් සව් වශයෙන් අග තනතුරු ලැබූ සේක.

මෙසේ අග තනතුරු දීමෙන් පසු බුදුරදුන් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක. ඕවාද ප්‍රාතිමෝක්ෂය ලෙස හඳුන්වනු ලබන්නේ ගාථා තුනකි. Òඛන්ති පරමං තපො තිතික්ඛා....Ó සබ්බ පාපස්ස අකරණං....Ó අනූපවාදො අනුපඝාතො... යන මෙම ගාථාවන් ධම්ම පදයෙහි බුද්ධ වග්ගයෙහි සඳහන් වේ.

සැරියුත් මුගලන් දෙනම වහන්සේලා පිරිනිවීමෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම ඛාපාල චේතියට වැඩම කළහ. එහිදී ආනන්ද හිමියන්ගේ ප්‍රමාදයක් බලා සිටි මාරයා විත් බුදුරදුන්ට පිරිනිවන් පෑමට ආරාධනා කළේය. බුදුරජාණන් වහන්සේ තුන් මසකට පසුව පිරිණිවන්පානා බව මාරයාට වදාළ සේක. ආයුසංස්කාරය හැරීම යනු මෙතෙක් කාලයකින් පසු පිරිනිවන් පාමියි කාලය සීමා කැර ගැනීමයි.

මෙවන් උතුම් සිදුවීම් රාශියක් සිදු වූ නවම් පුන් පොහොය දිනයෙහි පිළිවෙතින් සැරසී උතුම් වූ නිවන කරාම යාමට අපි අදිටන් කර ගනිමු.

ඇප දෙන බෙයිලිට කෘතගුණදක්වයි

$
0
0
පෙබ 1, 2018 01:00

 “ඔයා ගාව ඔයාගේ නමින් නිකුත් කරන්න පුළුවන් චෙක් එකක් තියෙනවාද ?“ ‘ඇප ‍දෙන බේයිලි‘ ඇසුවේ මුහුණට බැරෑරුම්බවක් නංවා ගනිමිනි. ඇබග්නේල්ට තවමත් මෙහි අවසානය කෙබඳු වනු ඇතිද කියා හැඟීමක් නොතිබිණි.

“තියෙනවා, හැබැයි ඒක අර සාජන්ට භාරදෙන්න වුණා.ඇයි ?“

මිත්‍රයා, මම ඔයාගෙන් ඒ චෙක්එක ගන්නයි යන්නේ. ඒ මේ මරඋගුලෙන් ඔයාව එළියට ගන්නවාට මගේ ගාස්තුව.“ ඔහු කියා සිටියේ සිනහවෙන් පොපියමිනි. “සාජන් මහත්තුරු ටික තව ටිකකින් ඔයා මෙතැනින් එළියට දැම්මාම ඔයාට ඒක මගේ නමට ලියලා දෙන්න පුළුවන්.“

‘ඇප දෙන‘ බේයිලි කියූ ලෙසම විනාඩි තිහකින් ඇබග්නේල් නිදහස ලැබීය. ඉහ වහා ගිය ප්‍රීතියෙන් යුතුව ගැලවුම්කරුගේ නමට සාමාන්‍ය සම්ප්‍රදාය පරිදි තම ඇපකරයෙන් සියයට දහයක්, එනම් ඩොලර් පන්සියයක චෙක් පතක් ලියූ ඇබග්නේල් තවත් අමතර ඩොලර් සියයක නෝට්ටුවක් බේයිලිගේ අත මිට මෙලවීය. ඇබග්නේල් පැවසූ පරිදි ඒ හාද්දක් දෙන්නට බැරිකම නිසා ලබාදුන් අමතර පාරිතෝෂකයෙකි. බේයිලිගේ දෙතොලතර නිතර රැදුණු සුරුට්ටුව නොවන්නට ඇබග්නෙල් ඔහු හාදුවලින් නහවනවා සහතිකය. ඔහු සිටියේ එතරම්ම ප්‍රීතියකිනි. ඇබග්නේල් මයාමි බලා යන්නට නියමිත බව දැනගත් බේයිලි ඔහුව ගුවන්තොටුපළට ඇරලවීමට තරම් කාරුණික විය. තමා එදින ගැලවී තිබෙන්නේ අනූනවයෙන් බව ඇබැග්නේල් දැන ගත්තේ පසුවය.

“ඉතාම විශ්වාස කටයුතු මාර්ගයකින්‘ ඇබග්නේල්ට පසුව දැනගන්නට ලැබුණේ, ඔහු නිදහස ලබා පැය කිහිපයකට පසු, කාලයක සිට තමා පසුපස පන්නමින් සිටින එෆ්.බී.අයි. නිලධාරි ෂෝන් ඔ‘රයිලි එහි පැමිණි බවයි. අවසානයේදි ඇබග්නේල් නමැති ජාත්‍යන්තර මට්ටමේ හොර දෙටුවා කොටුකර ගැනීමට ලැබීම ගැන හටගත් ප්‍රීතියෙන් ඔ‘රයිලි සිට ඇත්තේ උමතුවෙනි.

“කෝ අර ඇබග්නේල් කියන හොර තක්කඩියා ? ඔයාලා එයාව මොන කෙහෙම්මල් නමකින් අත්අඩංගුවට ගත්තාද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම අද ආවේ ඒ යකාව අරගෙන යන්න. ගේනවා මිනිහා මෙහාට.“ ඔ‘රයිලි අණදී ඇත්තේ දෝරේ ගලන සතුටකිනි.

“එයා අද උදේ පාන්දර ඇපදීලා නිදහස් වුණා සර්.“ සාජන්වරයා වෙනුවට පිළිතුරු බැන්දේ ජේලර්වරයාය. එවෙලේ සාජන්වරයා සේවා මුරය අවසන්කොට පිටව ගොස් තිබිණි. ඔ‘රයිලි කෝපයෙන් හා අපේක්ෂ­ාභංගත්වය නිසාවෙන් සන්නියක් සෑදුණ විලස ගැහෙන්නට පටන් ගත්තේය. කතා කිරීමට ශක්තියක් ලැබුණු සැණින් ඔහු ජේලර්වරයා වෙත කඩා පැන්නේ ඉහවහා ගිය කෝපයෙනි.

“ ඇප දුන්නා! ඇප දුන්නා ? මොන යකාද ඇප දුන්නේ?

‘ඇප දෙන බේයිලි‘ මිසක් වෙන කවුද ?“ ජේලර්වරයා කියා සිටියේ එය සාමාන්‍ය සිදුවීමක් ලෙසට සලකමිනි. කෝපයෙන් පුපුරු ගසමින් බේයිලි සොයාගිය ඔ‘රයිලි මෙම කතාවේ ඇත්ත නැත්ත ඔහුගෙන් විමසීය. “ඔහේ අද උදේ ෆ්‍රෑන්ක් විලියම්ස් කියලා කෙනෙක් ඇප දීලා බේරගත්තද ?“

“ඔය කියන්නේ අර ගුවන් නියමුවා ගැන‍ෙන්? ඔව් මම ඇප දුන්නා තමයි. ඇයි මොකද්ද වැරැද්ද?“

“කොහොමද ඌ ඔහේට ගාස්තුව ගෙව්වේ? කීයක් ගෙව්වද ?“ ඔ‘රයිලි පුපුරා ගැහෙන්නට විය.

“හැමෝම ගෙවන සාමාන්‍ය ගාණම තමයි,ඩොලර් පන්සීයයි. එයාගේ චෙක්එක තාම මගේ සාක්කුවේ.“ බේයිලි කියා සිටියේ චෙක්පත ඔ‘රයිලිට පෙන්වමිනි.චෙක්පත පරික්ෂා කළ නිලධාරියා එය මේසය මත හෙළුවේ අවඥාවෙනි.

“හොඳ වැඩේ තමුසෙට.“

“ඇයි මොකද්ද වෙලා තියෙන්නේ?“ බේයිලිට එෆ්.බී. අයි. නිලධාරියාගේ මේ හැසිරීම අණ්ඩර දෙමළයක් විය.

“මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඕක ඔහේගේ බැංකු ගිණුමට දාලා බලනවා “ ඔ‘ රයිලි එසේ කියුවේ ඇබග්නේල් බේලිට ලබාදී තිබුණේ ව්‍යාජ චෙක්පතක් වු බැවිනි.

ඇබග්නේල්ව දුටුතැන අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරෙන 1960 දශකයේදී ප්‍රචලිත වූ ඒ.පි.බී ( All Point Bulletin ) දැනුම්දීමක් නිකුත් කිරිමට සිය සහායක නිලධාරින් යෝජනා කළද ඔ‘රයිලි එය ප්‍රතික්ෂේප කළේය.

“වැඩක් නෑ. ඒ යකා ඇත්තේ මේ වෙනකොටත් සැතපුම් පන්සියයකටත් එහා. බොස්ටන් පොලිසියට මෑන්ගේ වලිගේවත් අල්ලන්න හම්බවෙන්නේ නැහැ.“

දුරදිග බලා වැඩකරන ප්‍රඥාවන්තයකු නම් ඔ‘රයිලි කියු දෙය කරන්නට තිබිණි. නමුත් ඇබග්නේල් වුකලී දූරදර්ශි නුවණක් තිබුවෙක් නොවේ. බේයිලිගේ මෝටර්රිය ගුවන්තොටුපලෙන් ඈත්වු සැණින් ඇබග්නේල් ක‍ළේ කැබ් රියකින් ළඟම වූ හෝටලයකට ගොස් එහි කාමරයක් වෙන්කරවා ගැනීමයි. පසු දා උදෑසනින්ම ඔහු තවත් අලුත්ම ප්‍රයෝගකාරී මෙහෙයුමකට සූදානම් විය. ගුවන්තොටුපලේ ශාඛාවක් පිහිටි ළඟම තිබු බැංකුව ඇමතූ ඇබග්නේල් එහි ආරක්ෂක අංශය හා සම්බන්ධ විය.

“මම කොනර්ස්. ඔයාලගේ අලුත්ම ආරක්ෂක නිලධාරියා. මේ නෝනා, මට මෙතන ප්‍රශ්නයක්! මගේ නිල ඇඳුම අත්වැරදීමකින් ඉරිලා ගියා. අද රෑ සේවා මුරයට අඳින්න කොහෙන්ද මට අලුත් නිල ඇඳුමක් ගන්න පුළුවන් ?“ ඇබග්නේල්ගේ සැර පරුෂ වචන හමුවේ දුරකතන ක්‍රියාකරවන්නිය සලිත වුවාය.

“අපේ නිල ඇඳුම් සපයන්නේ ‘බෙකී සහෝදරයන්‘. කෙළින්ම එතෙන්ට යන්න මහත්මයා. එයාලා අවශ්‍ය කරන ඇඳුම් සපයාවි.“ ඇය පැවසුවේ කලබලයට වචනද පටලවා ගනිමිනි.

බෙකී සහෝදරයන්ගේ ආයතනයෙන් ආරක්ෂක නිල ඇඳුමක් ලබාගැනීම ඇබග්නේල්ට සුළු දෙයක් විය. කිසිවෙක් ඔහුගෙන් කිසිවක් ප්‍රශ්න කළේද නැත. බැංකුවේ නම කමිසයේ ඉහළ වම් කෙළවරේ සටහන් කළ ආරක්ෂක නිල ඇඳුම් කට්ටලයකින් සැරසී බෙකී බ්‍රදර්ස් ආයතනයෙන් පිට වූ ඇබග්නේල්ගේ ඊළඟ නැවතුම වූයේ පොලිස් ආම්පන්න අලෙවිසලකි. පොලිස් භටයන් පලඳින හම් ඉන පටියක් ඉන් මිලදීගත් පසු ඇබග්නේල්ගේ ආරක්ෂක නිලධාරි පෙනුම සම්පුර්ණ වීමට අඩු වූයේ එකම එක් දෙයකි. ඒ පොලිස් තුවක්කුවකි. ගිනි අවි අලෙවිසැලකින් ඔහු මිලදී ගත්තේ හැබෑ තුවක්කුවක් මෙන් පෙනෙන තුවක්කුවක අනුරුවක් පමණි. වෑන් රථයක්ද කුලියට ගත් ඇබග්නේල් යළිත් ගුවන් තොටුපළේ බීන් ස්ටේට් බැංකුවේ ශාඛාව බලා රිය ධාවනය කරද්දි එහි දොරවල ‘ආරක්ෂක සේවය - බීන් ස්ටේට් බැංකුව‘ යනුවෙන් පින්තාරුකොට තිබු අකුරු පේළියේ තීන්ත පවා වියළී තිබුණේ නැත.

රාත්‍රි 11.15 වන විට ඇබග්නේල් සිටියේ ගුවන්තොටුපළේ බීන් ස්ටේට් බැංකු ශාඛාවේ රාත්‍රි තැන්පතු සඳහා වූ පෙට්ටිය ඉදිරිපිටය. ඔහු අසලම වූ පුවරුවක සමසේ ලියවී තිබුණි.

“රාත්‍රි තැන්පතු පෙට්ටිය අබලන්ව ඇති බැවින් ඔබේ රාත්‍රි තැන්පතු ආරක්ෂක නිලධාරියාට ලබා දෙන්න“. එම දැන්වීම අසලම තැන්පතු බහාලීම සඳහා විශාල රෙදි තැපැල් මල්ලක්ද තිබෙනු දැකගත හැකි විය. එම රාත්‍රිය පුරාවටම තිස්පස්දෙනෙක් පමණ මුදල් හා භාණ්ඩ තැන්පතු එම මල්ලට බහාලූහ. ඇබග්නේල් ආරක්ෂක තැනට සුබ රාත්‍රියක් පතනවා හැරෙන්නට කිසිවෙකු වෙනත් විමසීමක් කළේද නැත. ගුවන් තොටුපලේ අවසාන අලෙවි සලද වසා දැමු පසු ඇබග්නේල් මල්ල ගැටගසා සිය රිය වෙත ඇදගෙන යාමට පටන් ගත්තේ එසවීමට බර වැඩි වූ නිසාය. එය ඇදගෙන යාම පවා පහසු වුයේ නැත. ගුවන්තොටුපළේ වූ එක්තරා ගැටියක මල්ල සිරවුයේ මේ අතරයි. එය නිදහස්කර ගැනීමට ඇබග්නේල් දැරූ උත්සාහය ව්‍යර්ථ විය. දැවැන්ත මල්ලක් සමඟ හරි හරියට සටනක් කරන ආරක්ෂක නිලධාරියාව දුටු පොලිස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ තමා අසලම පිටුපසින් සිටගෙන සිටින බව ඇබග්නේල් නොදත්තේය. ඉන් එක් අයෙක් හදිසියේම කළ ඇමතීමෙන් ඇබග්නේල් පාෂාණිභුත විය.

“යාළුවා, කරදරයක් වගෙයි නේද?“ හිස කරකවා බැලුවිට දුටු දෙයින් ඇබග්නේල් කෙතරම් බිය වූවාද යත් ඔහුට සුළුදිය පහවන්නට තිබිණි. ඔහු ආයාසයෙන් දෙතොලට මදහසක් නංවාගත්තේය. වාසනාවකට මෙන් ඔහුට නිර්මාණශීලී බොරුවලින් අඩුවක් වූයේ නැත. පොලිසිය සම්බන්ධයෙන් ලැබූ අමිහිරිම අත්දැකීමේ උණුසුම පහව යාමටත් පෙරම මුහුණ පෑ මේ අකරතැබ්බය නිසා ඔහු මහත් සේ කම්පනයට ලක්ව සිටියත් කතා කළේ කිසිවක් සිදු නොවු ගානටය.

“අපේ බැංකුවේ රාත්‍රි තැන්පතු පෙට්ටිය අබලන්. ඒ නිසා මම මේ ඊයේ රෑ තැන්පතු ටික මල්ලකට එකතුකර ගත්තා බැංකුවට ගෙනියන්න. පුහ්! පුදුම බරක්නේ මේකේ තියෙන්නේ. මේක උස්සන්න සැම්සන් ( බයිබලයේ පුරාණ ගිවිසුමේ එන යෝධ ශක්තියක් තිබු පුද්ගලයෙකි ) කෙනෙක් වෙන්න ඕනෑ . “ කොක් හඩලා සිනාසුණු පොලිස් නිලධාරින් දෙදෙනා අවසානයේ ඇබග්නේල්ට සමුදුන්නේ බරැති මල්ල ඇදගෙන ගොස් ඔසවා මෝටර් රථයට දැම්මාටද පසුවය. ඒ යළි අවශ්‍ය වුවහොත් උදව් පතන ලෙසට ඉල්ලීමක්ද කරමිනි. දවසේ වික්‍රමය එලෙස සාර්ථකව නිමාකළ ඇබග්නේල් පැයකටත් අඩු කාලයකදී යළි හෝටල් කාමරයට පැමිණියේය. ගතින් හෙම්බත්ව සිටියද ඔහුගේ ප්‍රිතිය දොරේ ගලමින් තිබුණි. මහන්සිය නොබලා මල්ලේ තිබූ දේ තෝරන්නට පටන්ගත් ඔහු තමාට වෙන් කරගත්තේ මුදල් නෝට්ටු පමණි. මාරු කාසි, ක්‍රෙඩිට් කාඩ්පත්, චෙක්පත් යනාදි අනෙකුත් සියල්ල නාන බේසමට විසිකර දැමුවිට ඔහු අතේ ඩොලර් හැටදෙදහස් අටසියයක් නෝට්ටුවලින් ඉතිරි විය. බලාගෙන යන විට රාත්‍රි තැපැල් මුරකරුවෙක් වීමද නරකම නැතැයි ඔහුට සිතිණි.

මුදල් පොදිබැඳගත් ඇබග්නේල් කඩිනමින් ක්‍රියාකාරී විය. ඊළඟ පැයේදි ඔහු සිටියේ මයාමි බලා යන ගුවන්යානයකය. ගමන අතර නිව්යෝක් නුවරදී යානය ගොඩබැස් වූ පැය භාගයක කාලය ඇබග්නේල් මානව හිතවාදියෙක් ලෙස ගත කළේය. බොස්ටන් ගුවන්තොටුපළේ කළමනාකාරවරයාට ඇමතුමක් ගත් ඇබග්නේල් බීන් ස්ටේට් බැංකු කාර්ය මණ්ඩලයට දැන්වීමට වැදගත් පණිවුඩයක් ලබාදුන්නේය. ඒ පෙරදින රාත්‍රි තැන්පතු කොල්ලයේ වැඩි කොටසක් ‘රෙස්ට් හැවන්‘ හෝටලයේ අංක 208 දරණ කාමරයේ නාන බේසමෙන් සොයාගත හැකි බවයි. එහා කෙළවරෙන් තවත් යමක් අසන්නට පෙර ඇමතුම විසන්ධි කළ ඇබග්නේල් මයාමිවල ගත කළේ දිනක් පමණි. එතැනින් ඉස්තාන්බුල් බලා යන ගුවන් යානයකට ගොඩ වී ටෙල් අවීව් නුවරින් ගොඩ බැස ගත්තේය. ඇබග්නේල්ගේ හිතට සහනයක් දැණුනේ එවිටය. දැන් නම් තමාගේ වලිගයවත් ඇල්ලීමට බොස්ටන් පොලිසියට නොහැකි බව ඔහුට හොඳටම විශ්වාසය. එහෙත් ඇබග්නේල්ට තවත් එක් යුතුකමක් ඉටු කිරීමට තිබිණි. ඔහු ඇමරිකානු බැංකුවක් සොයා ගියේ තමාගෙන් ඉටුවිය යුතු ඒ වගකීම ඉටු කිරිමටය. අයකැමිවරයා ඉදිරියේ ඩොලර් නෝට්ටු මිටියක් තැබු ඇබග්නේල් ඩොලර් පන්දහසක වටිනාකමට සරිලන චෙක්පතක් ඉල්ලා සිටියේය.

“මට මේකට හරියන්න ඩොලර් පන්දහක චෙක් එකක් ඕනෑ.“

“ඔව් සර්ගේ නම ?“ අයකැමිවරයාට මෙවර ඇබග්නේල් සිය ඇත්තම නම ලබා දුන්නේය

“ෆ්‍රෑන්ක් ඇබග්නේල් ජූනියර්“

“හොඳයි ඇබග්නේල් මහත්මයා, මේ චෙක්එක ඔයාගේ නමටද ලියැවෙන්න ඕනෑ ?“

“නෑ. ඒක බොස්ටන්වල ඇලෝසියස් ජේම්ස් ‘ඇප දෙන ‘ බේයිලිගේ නමට ලියන්න.“ ඇබග්නේල් යනු ලෝකයෙන් අඩක් ගොනාට ඇන්දු වංචාකරුවෙක් විය හැකිය. නමුත් තමාට කළ උපකාරය වෙනුවෙන් ඇබග්නේල් බේයිලිට සිය කෘතවේදීත්වය පුද කළේ අවංකවම ය.

ෆ්‍රෑන්ක් ඇබග්නේල් විසින් රචිත Catch Me If You Can කෘතිය සහ අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි

සිංහල කළේ රුක්ලන්ති පෙරේරා

හෙට : ඇබග්නේල්ට අනංග දසාවක්

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>