විහාර මන්දිරය සඝ සතු කිරීම
ලේ දන්දීමේ පින්කමක්
බදුබර සැහැල්ලුවේ අනාගත ප්‍රතිලාභ
බදු අඩු කිරීම මගින් රජයක් අපේක්ෂා කරන්නේ පෞද්ගලික අංශයට වැඩිපුර ආයෝජන සිදු කිරීමට අවස්ථාව ලබා දීමයි. බදු අඩු කිරීම නිසා අනිවාර්යයෙන්ම පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ ආදායම් ඉහළ යන්නේය. එලෙස ආදායමක් ලෙස වැඩිපුර ලැබෙන මුදල ඔවුන් ප්‍රති ආයෝජනය කරනු ඇතැයි රජයේ අපේක්ෂාවය. මේ ඔස්සේ නිෂ්පාදන ප්‍රමාණ ඉහළ යෑමේ හැකියාවක් නිර්මාණය වන අතර අලුතින් ව්‍යාපාර ආරම්භ කරන්නටද පුද්ගලයින් තුළ පෙළඹීමක්ද ඇති කරයි.
රට දැඩි ණය උගුලක සිරවී සිටින බව කියමින් බලයට පැමිණි යහ පාලන ආණ්ඩුව රට පාලනය කළ කාලය තුළ ජනතාව අංශ කිහිපයකින් පීඩනයට පත් වූහ. එක් පැත්තකින් වංචාව දූෂණය හා නාස්තිය ඉහවහා යද්දී තවත් පැත්තකින් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩ නැගිණි. ජාතික ආරක්ෂාව සම්බන්ධව පාලකයින් තොතැකීමේ ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්තවාදය නිමාවට පත්ව වසර 10 කට පසු අන්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකටද රට ලක්විය. මේ ඔස්සේ එතෙක් ආරක්ෂා වී පැවැති සාමය රටින් තුරන්ව ගිය අතර විදේශ සංචාරකයන්ගේ පැමිණීම ද සීඝ්‍ර ලෙස පහත වැටීම නිසා රට තව තවත් ආර්ථික වශයෙන් ප්‍රපාතයට ගමන් කරන තත්ත්වයක් නිර්මාණය වූයේය. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර නිරන්තරව පැවැති ගැටුම අස්ථාවරත්වය නමැති ගින්නට පිදුරු දමන්නා මෙන් විය. මෙම සියලු කාරණා හමුවේ එම කාලයේදී රටක සංවර්ධනය සම්බන්ධව අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වන මිණුම් දඬු ඉහළ පහළ ගියේ සංවර්ධන පිළිබඳ බලාපොරොත්තු සුන් කරමිනි. දළ ජාතික ආදායම,ඒක පුද්ගල ආදායම වැනි ඉහළ යායුතු දර්ශක පහතට ගමන් කරද්දී විරැකියාව,රාජ්‍ය ණය ප්‍රමාණය වැනි පහතට ගමන් කළ යුතු දර්ශක ඉහළට ගමන් කළේය. මේ ආකාර විකෘති ස්වභාවයකින් ගොඩ නැගෙමින් තිබූ ආර්ථිකය යම් ස්ථාවරත්වයකට ගෙන ඒම රට බාරගත් නව ජනපති ප්‍රමුඛ ඇමැති මණ්ඩලයේ වගකීමය.
බදු කළමනාකරණය
රජයක් පවත්වා ගෙන යාමට බදු අවශ්‍යයය. මේ නිසා ලෝකයේ සෑම රටක්ම බදු ආදායම් රැස් කරයි. එක් පැත්තකින් බැලුවහොත් බදු රාජ්‍ය ආදායමයි. මෙම මුදල් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් වැය කිරීම ආණ්ඩුවක වගකීමය. බදු එකතු කිරීමට ප්‍රමුඛතාව දුන් පසුගිය ආණ්ඩුව ඒවා වැය කිරීමේදී කලමණාකරණයකින් යුතුව එය කරන බවක් පෙනෙන්ට නොතිබිණි. බදු අයකර ගත යුත්තේ කාගෙන්ද යන්න පිළිබඳව නිසි අවබෝධයකින් යහ පාලන ආණ්ඩුව ක්‍රියා නොකළේය. බලයට පත්වන විට 11% ක්ව පැවැති වැට් බද්ද 15% ක් දක්වා වැඩි කළේය. ඉන් නොනැවතී වාර්ෂිකව රුපියල් මිලියන 400 ක වෙළෙඳාමක් ඇති ව්‍යාපාරවලින් පමණක් අය කළ වැට් බද්ද රුපියල් මිලියන 50 ක සීමාවක් දක්වා පහතට ගෙන ඒමටද ඔවුන් ක්‍රියා කළේය. මේ නිසා මහා පරිමාණ ව්‍යාපාරිකයාට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාටද වැට් ගෙවීමට සිදු විය. අනවශ්‍යය ලෙස ව්‍යාපාරිකයින් මත බදු බරක් පැටවීමෙන් සිදුවූයේ ව්‍යාපාර රැසක් වැසී ගොස් බෙහෝ පිරිසකට රැකියා අහිමි වීමය. මේ නිසාම වත්මන් ජනපතිවරයා බලයට පත් කිරීම පිණිස ව්‍යාපාරික ප්‍රජාව වෙතින් ඉහළ දායකත්වයක් හිමිව තිබිණි. සිව් වරසක් පුරා ව්‍යාපාරික ප්‍රජාව කළ ඉල්ලීම්වලට කන් නොදුන් යහ පාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති මෙරට අති බහුතර ජනතාවක් පැහැදිලි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. ජනපති ධූරයට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්ව දින කිහිපයකින් 15% අගයක තිබූ වැට් බද්ද 8% ක් දක්වා පහත දමනු ලැබීය. රුපියල් මිලියන 50 ක පැවැති වැට් ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් ලක්ෂ 250 ක් දක්වා ඉහළ දමා තිබේ. මේ නිසා විශාල ව්‍යාපාරිකයින් සංඛ්‍යාවක් වැට්වලින් නිදහස් වනු ඇත.
බදු අඩුකර රටක් කරවිය හැකිද යන්න ඊළඟට මතුවන ප්‍රශ්නයයි. විශාල මුදලක් ණය වාරික ලෙස ගෙවීමට තිබියදී මේ ආකාර බදු අඩු කිරීමක් සිදු කරනු ලැබ තිබෙන්නේ මහ මැතිවරණය තෙක් ජනතාව මුලා කිරීම සඳහා බවට පරාජිත දේශපාලන කණ්ඩායම් චෝදනාවක්ද නගයි. පසුගිය යහ පාලන ආණ්ඩුව සකසුරුවම් ආර්ථිකය සම්බන්ධව කිසිවක් දැන සිටියේ නැත.
අනාගත අපේක්ෂා
ඔවුන් කළේ ජනතා බදු මුදලින් බාල් නැටීමය. රුපියල් ලක්ෂයක් වැයකර නිවසක සාදා දී එහි ප්‍රචාරණයට ලක්ෂ 25 ක් වැය කරන්නේ නම් එහි සකසුරුවම් බවක් නැත. රටක් පාලනය කිරීම යනු නිවසක පාලනයට සමානය. රටක පාලකයෝ ජනතාවගේ මව්පියන් බදුය. දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මව්පියන් තීන්දු තීරණ ගන්නා පරිදි පාලකයින්ද රට වැසියන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුතුය. තමන්ට ලැබෙන වැටුපෙන් පියා මත්පැන් බී සූදු කෙළින්නේ නම් දරුවන්ට යහපත් කල දවසක් උදාවන්නේ නැත. පසුගිය ආණ්ඩුව කළේද මෙයට සමාන දෙයකි. ඔවුන්ට තිබුණේ සංදර්ශන පැවැත්වීම මිස සැබෑ ලෙස රට ගොඩ නැගීමේ අවශ්‍යතාව නොවේ. වංචා දූෂණ පිටු දකින බව කියමින් බලයට පැමිණි පිරිස් කළ වංචා දූෂණ ජනපති විසින් පත්කළ කොමිෂන් සභා වාර්තාවලින් රටම දැන ගත්තේය. ව්‍යාපාරිකයින් මහන්සි වී උපයන මුදල බදු ලෙස අය කරමින් බාල් නැටීම නිසා රටේ බරපතළ ආර්ථික කඩා වැටීමක් නිර්මාණය විය. ආණ්ඩුව බදු අය කළේ පාතාල නායකයකු ව්‍යාපාරිකයකුගේ ගෙලට පිහියක් තබා කප්පම් ලබා ගන්නා පරිද්දෙනි. ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කර තිබෙන සකසුරුවම් ආර්ථිකය සම්බන්ධව සියවස් ගණනාවකට පෙර බුදුන් වහන්සේද අපූරුවට දේශනා කර තිබේ. තමන් උපයන මුදලින් කොටසක් වැයකර කොටසක් අනාගතය වෙනුවෙන් ඉතිරි කරන ලෙස උන්වහන්සේ දේශනා කළහ. සකසුරුවම යනු මෙයයි.
රටක ආර්ථිකය ඉහළට ගෙන ඒම පිණිස රජයකට ප්‍රධාන වශයෙන් අනුගමනය කළ හැකි මාර්ග දෙකක් තිබේ. රාජ්‍ය ආයෝජන ප්‍රමාණය වැඩිකරමින් යටිතල පහසුකම් දියුණු කර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩ නැගීමට අවශ්‍ය පසුබිම සැකසීම එක් ක්‍රමයකි. එහිදී රාජ්‍ය වියදම ඉහළ යන බැවින් මේ මොහොතේ රජයට එම මාර්ගය වෙත ප්‍රවිශ්ඨ වීම අසීරුය. මෙම පසුබිම තුළ මේ මෙහොතේ රජයට කළ හැකි වඩාත් සුදුසුම දේ නම් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමය. බදු ඉහළ දැමීම හෝ පහළ දැමීම කළ යුතුව තිබූ අනිවාර්ය දෙයකි. බදු ඉහළ දැමීමෙන් සිදුවන්නේ රාජ්‍ය ආදයම වැඩි වීමයි. බදු අඩු කිරීම මගින් රජයක් අපේක්ෂා කරන්නේ පෞද්ගලික අංශයට වැඩිපුර ආයෝජන සිදු කිරීමට අවස්ථාව ලබා දීමයි. බදු අඩු කිරීම නිසා අනිවාර්යයෙන්ම පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ ආදායම් ඉහළ යන්නේය. එලෙස ආදායමක් ලෙස වැඩිපුර ලැබෙන මුදල ඔවුන් ප්‍රති ආයෝජනය කරනු ඇතැයි රජයේ අපේක්ෂාවය. මේ ඔස්සේ නිෂ්පාදන ප්‍රමාණ ඉහළ යෑමේ හැකියාවක් නිර්මාණය වන අතර අලුතින් ව්‍යාපාර ආරම්භ කරන්නටද පුද්ගලයින් තුළ පෙළඹීමක්ද ඇති කරයි.
බදුවල අතුරු පල
මෙරට සමස්ත බදු ආදායම පවතින්නේ 18% ක පමණ අගයකය. රටකින් රටකට මෙම අගය වෙනස් වෙයි. රජය කරනු ලබන වියදම් ආයෝජන ලෙස සැලකිය හැකිය. මේ ආකාරයට රජය කරනු ලබන වියදම් මත බදු ආදායම තීරණය වෙයි. රජයේ අයෝජනවලට මෙන්ම රාජ්‍යය පවත්වා ගෙන යෑමටත් නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි දේටත් මෙම මුදල් වැය කෙරයි. මෙම වියදම් නිසි ලෙස කලමණාකරණය කර ගැනීමේ හැකියාව රජයක් සතු විය යුතුය.
බදු අඩු කිරීම නිසා පෞද්ගලික අංශයේ ආදායම් ඉහළ යාමට සාපේක්ෂව ආයෝජන හා ඉතිරි කිරීම් ඉහළ යයි. මේ සියල්ලෙන් සිදුවන්නේ නිෂ්පාදනය වර්ධනය වීමය. මෙම බදු අඩු කිරීමෙන් එවැනි පරිසරයක් රටේ නිර්මාණය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ රටේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට භාවිත කළ මොඩලයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙම ක්‍රමය මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත් රටවල් ඕනෑ තරම් තිබේ.
සකසුරුවම් ප්‍රතිපත්තිය
මෙම බදු අඩු කිරීම නිසා රට තවත් අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි පවසන්නේ ආර්ථිකය සම්බන්ධව නිශ්චිත වැටහීමක් නොමැති අයයි. නැතහොත් දේශපාලනික වාසිය වෙනුවෙන් යහපත් දේ යහපත් ලෙස දකින්ට අකමැති පිරිස්ය. රජයට මේ මොහොතේ පවතින බරපතලම අභියෝගය වන්නේ වියදම් නිසි ලෙස කළමනාකරණය කිරීමය. ඒ ඒ ආණ්ඩු විසින් ලබගත් ණය මුදල් වාරික ගෙවිය යුතුව තිබේ. රාජ්‍යය පවත්වා ගෙන යෑම වෙනුවෙන්ද මුදල් වැය කළ යුතුය. නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි දේද ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතුව තිබේ. මේවා රජය හමුවේ ඇති මූලික අභියෝගයි. මේ අතර ආයෝජනත් යම් ප්‍රමාණයක් කිරීමට හැකි නම් වැදගත්ය. බදු අඩු කිරීම නිසා 18% ක පවතින රාජ්‍යය බදු ආදායම 15% ක් දක්වා අඩු වීමට පුළුවන. ලැබෙන මුදල් සකසුරුවම් ලෙස වැය කරමින් මෙය කළ නොහැකිද?. එය කළ හැකිය. රජයේ අනවශ්‍යය වියදම් විශාල ලෙස කපා හැරීමක් දක්නට ලැබෙයි. ටෙලිකොම් සභාපති වැටුප රුපියල් මිලියන 02 කේ සිට ලක්ෂ 2.5 ක් දක්වා ගෙන ඒම ඊට එක් උදාහරණයක් පමණි. රාජ්‍යය ආයතන වල මුල් පුටු වලට මෙතෙක් කල් පත් කරනු ලැබුවේ දේශපාලන හිතවතුන් මිස සුදුසු පුද්ගලයින් නොවන්නේය. දැනුම, අත්දැකීම්, අවංකත්වය වැනි කිසිදු ගුණාංගයක් නොමැති බොහෝ අය මෙලෙස පත්වීම නිසා රාජ්‍යය ආයතන කඩා වැටිණි. ඒවා පවත්වා ගෙන යන්නට සිදුවූයේ ජනතා බදු මුදල් වැය කරමිනි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් පැවතගෙන ආ ක්‍රමය වෙනස් කරමින් රාජ්‍යය ආයතනවල සභාපති ධූර හා අධ්‍යක්ෂ මණ්ඩලවලට සුදුසු පුද්ගලයින් නම් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම ඉතා වැදගත් තීරණයකි. සුදුසු පුද්ගලයින්ට තනතුරු ලැබීමෙන් යම් ආකාරයට පාඩු ලබන රාජ්‍යය ආයතන අලාභයක් නොලබන තත්ත්වයට ගෙන ඒමට මේ ඔස්සේ හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. එමඟින්ද අනවශ්‍යය ලෙස වැය කෙරෙන බදු මුදල් රැක ගැනීමට පසුබිම උදාවනු ඇත.
තමන්ගේ ආදායමට අනුව වියදම් ගලපා ගන්නා ආකාරය සම්බන්ධව අප දැනුවත් වීම වැදගත්ය.රාජ්‍යය ආයතන වල සභාපතිවරුන්ට,ලේකම්වරුන්ට මෙය අභියෝගාත්මක කාලපරිච්ඡේදයකි. පෞද්ගලික අංශය මත අනවශ්‍යය ලෙස බරක් පටවා බදු ලෙස උපයා ගන්නා මුදලින් කොටසක් ඩැහැගෙන ගත කළ විනෝද සමය දැන් නතර කළ යුතුය. බදු ප්‍රතිපත්ති ලිහිල් කළ විට ඇතිවන තවත් වාසියක් වන්නේ ජනතාව බදු වංචා කිරීමට දක්වන උනන්දුව අඩු වීමය. නව ව්‍යාපාර බිහිවීම ඔස්සේ අලුතින් බදු ගෙවීමට එකතු වන පුද්ගල ප්‍රමාණය ඉහළ යෑමටද මෙය හේතුවනු ඇත. වැට් බද්ද අඩු කිරීමත් සමඟ ඍජු බදු ආදායම වක්‍ර බදු ආදායම ඉහළ යෑමේ ප්‍රවනතාවක් පවතී. එය සිදුවන්නේ ක්‍රමානුකූලවය.
රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැන් ජනතාවට සැකයක් හෝ බියක් නොමැත. විදේශ ආයෝජන ගලා ඒමට එය එක් හේතුවක් වනු ඇත.තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ බදු රජය විසින් අඩු කරනු ලැබ තිබේ.ලෝකයේ ඉහළම ආදායම් ලබන ක්ෂේත්‍රය බවට පත්ව තිබනේනේ තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශ ක්ෂේත්‍රයි.අපේ රටේ ආර්ථිකයේ තරම පවතින්නේ ඩොලර් බිලියන 90 කට ආසන්න අගයකය.අවුරුදු 2500 කට වැඩි ඉතිහාසයක් ගැන කතා කරන අපේ ආර්ථිකයේ තරම එය වුවත් මුහුණු පොතේ නිර්මාතෘ සකර්බර්ග් වටිනාකම ඩොලර් බිලයන 75 කි. මයිකෝ සොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්ගේ ආර්ථිකයේ තරම ඩොලර් බිලියන 106 කි. ඇමර්සන් හිමිකරු ජෙෆ් බේසස්ගේ වත්කම ඩොලර් බිලියන 108.7 කි. මේ අයගේ වයස සලකා බලන විට ඔවුන් මෙතනට පැමිණියේ කෙසේද යන්න සලකා බැලීම ඉතා වැදගත්ය. ඔවුන් මෙතරම් මුදල් සම්භාරයක් උපයා තිබෙන්නේ තොරතුරු තාක්ෂණය ඔස්සේය. ජනපතිවරයා මෙහි වැදගත්කම තේරුම් ගනිමින් තොරතුරු තාක්ෂණ අංශයට බදු සහන ලබා දීම කාලෝචිත පියවරකි. මේ ඔස්සේ අපේ උගත්,දක්ෂ,නිර්මාණශීලී තරුණ පරපුරට නව දොරටුවක් ලෝකය වෙත විවිර වනු නොඅනුමානය.
ජනතා විශ්වාසය
යහ පාලන ආණ්ඩුවට තිබූ විශාලතම ගැටලුවක් වූයේ ඔවුන්ට මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත හිමි නොවීමය.මෙවර ජනපතිවරණයේදී ප්‍රබල ලෙස සිංහල බෞද්ධ ඡන්ද පදනම ඉස්මතුව පෙනුණද 2015 ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදීද බහුතර සිංහල බෞද්ධ පදනම තිබුණේ පාලකයින්ට එරෙහිවය.රට කරගෙන යාමේදී මෙම විරෝධය අවස්ථා කිහිපයකදීම ඉස්මතු වනු දක්නට ලැබිණි.ආර්ථික කළමනාකරණය කරනු වෙනුවට ඔවුන් කළේ දේශපාලන කළමනාකරණයකි.මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කරනු ලැබුවේ ආර්ථික ප්‍රශ්නයකට නොව දේශපාලන ප්‍රශ්නයකටය.ජත්‍යන්තර වශයෙන් මෙම වී ගබඩා කිරීම සම්බන්ධව ප්‍රචාරය කරමින් දේශපාලන වාසියක් ලබා ගන්නට ආණ්ඩුව උත්සහ කළත් අවසානයේ සිදුවූයේ එමින් තිබූ ගුවන් යානාත් නතර වී එය ආර්ථික ප්‍රශ්නයක් බවට පත්වීමය.ගුවන් තොටු පෙළොක වී ගබඩා කළ බවට ප්‍රචාරයවූ පසු එම ස්ථානයට ගුවන් යානා ගොඩ බැස්සවීම අනතුරු දායක වන්නේ එහි කුරුල්ලන් ගැවසීමේ ඉඩක් පවතින නිසාය.මේ ආකරයට දේශපාලන හා ආර්ථික ප්‍රශ්න නිවැරදි ලෙස ගලපා ගැනීමේ නොහැකියාවක් ඔවුනට තිබිණි.පසුගිය ජනපතිවරණයේදී ඔවුන්ට අත් විඳින්නට සිදුවූයේ එහි ප්‍රතිපලය.
යුග යුග දිලෙන දිනමිණ
දිනමිණ පුවත්පතට වසර එකසිය දහයක් ගතවීම මෙරට මාධ්‍ය ඉතිහාසයේ සුවිශේෂි සංදිස්ථානයක් සනිටුහන් කරන්නකි. මෙතෙක් පැමිණි එම දීර්ඝ ගමන තුළ මෙරට සමාජයේ සාධනීය පරිවර්තනයක් සිදු කිරීමට දායක වූ අයුරු මෙන්ම කාලීනව අභියෝග ජයගත් ආකාරය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතුව තිබේ.
දිනමිණ පුවත්පත මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේහය පෝෂණය හා ශක්තිමත් කිරීම උදෙසා ප්‍රශස්ත ලෙස දායක වූවා සේ ම එය එලෙසින් ම ඉදිරියේ දී ද සිදුවනු ඇති බවට කිසිදු සැකයක් නැත.
පෘථිවියේ වඩාත් ම බලවත් වූවක් ලෙස මාධ්‍ය හැඳින්විය හැකිය. ඒ මන්ද යත් පුවත්පත ඇතුළු මාධ්‍යයට ජන මනස පාලනය කිරීමේ ද හැකියාවක් පවතින හෙයිනි. එසේම මේ වනවිට මාධ්‍ය පුද්ගලයකු සමාජානුයෝජනය කිරීමේ ප්‍රධානතම මාර්ගයක් බවට ද පත්ව තිබේ. මෙවන් පසුබිමක් තුළ ඉතා වගකීමෙන් යුතුව මාධ්‍ය කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පවතී.
මාධ්‍ය නිදහස සෑම සමාජයක ම අපේක්ෂා කරන්නකි. මාධ්‍ය සතුව වගකීම් ද පවතී. මාධ්‍ය නිදහස වගකීමෙන් යුතුව භාවිතය අත්‍යවශ්‍ය වූවකි. වර්තමානයේ දී අවධානයට ලක්වන ප්‍රධාන තර්කයක් නම් වඩාත් පුළුල් මාධ්‍ය නිදහසක් උදෙසා හඬ නැගුවද, පවත්නා නිදහස වුවද වගකීමෙන් යුතුව භාවිත කරන්නේද යන්නය.
මාධ්‍ය සතුවිය යුතු වගකීම් පැහැදිලි කර ගනිමින් ඒවා ඔසවා තැබීම සඳහා සමාජයට කාර්යභාරයක් පවතී. එසේම, ජනතාවට ද මාධ්‍ය නිදහස ආරක්ෂා කරගැනීමේ වගකීමක් පවතී. පුද්ගල චරිත දූෂණය කිරීම, ග්‍රාහක සිත් කෙළෙසීම, අසංවේදීකරණය, ව්‍යාජ තොරතුරු හා මවාපෑම් පිළිබඳව ද මාධ්‍යයට විවිධ චෝදනා පවතී.
මාධ්‍ය ආචාරධර්ම පිළිබඳව අප බෙහෙවින් සාකච්ඡා කරන්නෙමු. සැබවින්ම විෂය මූලිකත්වය, සාධාරණත්වය හා සමබරතාව ආදී සංකල්ප පිළිබඳව බොහෝවිට අවංකව කටයුතු කරන්නේදැයි විමසිය යුතුය. බාහිර පාර්ශ්ව විසින් නෛතික හා එසේ නොවන ආකාරවලින් පාලනයට ලක්වීමට වඩා මාධ්‍ය ස්වයං නියාමනයකට ලක්වීම වැදගත් වේ. මාධ්‍ය සතු බලය අයුතු ලෙස භාවිතයෙන් ජනතාව ආරක්ෂා විය යුතුය. ස්වයං නියාමනයකින්, සාධාරණත්වයෙන් යුතුව කටයුතු කිරීම මෙහිලා මාධ්‍ය සතු වගකීමකි.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුවත්පතට වඩාත් සාධනීය භූමිකාවක් පවතී. තොරතුරු බෙදාහරිමින් මෙන්ම නිවැරදි වාර්තාකරණය මගින් ජනතාව අතර සාධනීය ජනමතයක් ඇති කිරීම හා හැසිරවීම සිදු කළ හැකිය. එහෙත් එසේ නොවන අවස්ථා ද පවතින බව සැළකිය යුතුය.
පුවත්පත කර්මාන්තයකට වඩා මහජන ආයතනයකි. එසේ කටයුතු කිරීම ද අවශ්‍යතාවකි. පුවත්පත ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාම සඳහා වැදගත් භූමිකාවක් ඉටුකරනු ලබයි. රජයක ප්‍රතිපත්ති හා ඔවුන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳ ජනතාවට දැනුම් දීම, ඥානනය කිරීම සිදු කළ හැකිය. එසේම පුවත්පත මගින් ජනතාවගේ අපේක්ෂා, හැඟීම්, ප්‍රාර්ථනා හා දුක් ගැනවිලි ආදිය පිළිබඳව රජයට දැනුවත් කිරීම ද සිදුකරනු ලබයි. එසේම පුවත්පතට රජය හා ජනතාව අතර පවත්නා පරතරය පිරවීමට ද කටයුතු කළ හැකිය. විශේෂයෙන් ම පුවත්පත සතු බලය අයුතු ලෙස භාවිතයෙන් වැළකීම වැදගත් වේ. ස්වයං නියාමනයකින්, සාධාරණත්වය පෙරදැරිව කටයුතු කිරීම වැදගත් වේ.
නිදහස් සමාජයක පුවත්පත ඇතුළු මාධ්‍ය සමාජයේ යහ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය වේ. සමාජයේ ඇතැම් ප්‍රශ්න කළ යුතු දේ නිදහස්ව ප්‍රශ්න කිරීම සඳහා මාධ්‍ය දායක වේ. ඇතැම්විට යම් පාර්ශ්ව විසින් තම ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීම අනවශ්‍ය යයි සිතන්නේ ද විය හැකිය. එහෙත් පුවත් සහ පුවත්පත එකිනෙක වෙන් කළ නොහැකි පරිද්දෙන් ප්‍රජාතන්ත්‍රවාදය සමඟ බැඳී පවත්නා අතර එය වඩාත් ශක්තිමත් කිරීම සඳහා ආධාර වේ.
මහජන උනන්දුව නිර්වචනය කිරීම පහසු කටයුත්තක් නොවේ. මන්ද යත් ඒ පිළිබඳව විවිධ පුද්ගලයන් සතුව ප්‍රතිවිරුද්ධ වූ අදහස් ද පවත්නා බැවිනි. පුවත්පතට සෑම දෙයක් කෙරෙහි ම සාමූහික වගකීමෙන් බැඳී කටයුතු කිරීමට සිදු වේ.
පුවත්පත පෙර සේ ම ජනමත නිර්මාණයේ සහ මෙහෙයවීමේ පෙරගමන්කරුවෙකි. පුවත්පතක පිටපත් ව්‍යාප්තිය අනෙකුත් මාධ්‍ය ග්‍රාහකත්වයට සාපේක්ෂව අඩු මට්ටමක පැවතිය ද එම තත්ත්වය එහි බලපෑමේ ශක්තිය දුර්වල කිරීම කෙරෙහි කිසිදු ලෙසකින් බලපානු නොමැති බව සඳහන් කළ හැකිය. ඇතැම් විද්‍යුත් මාධ්‍ය නාලිකා තම ප්‍රවෘත්ති ප්‍රකාශවලට අමතරව පුවත්පත් ගෙන එමින් ඒවාද විස්තර කරති. එසේම ජනතාව ද සෙසු මාධ්‍යවලට වඩා පුවත්පතක පළ වූ පුවතක් කෙරෙහි වඩාත් අවධානයක් යොමු කරති. විශ්වසනීයත්වයක් දකිති.
පුවත්පතක පුවත්, ලිපි හා ඡායාරූප ආදිය පළ කිරීමේ දී ව්‍යසනවලට හා/හෝ කම්පාවන්ට ලක්වූවන් පිළිබඳව සංවේ දී ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. මෙවන් දේ පළ කිරීමේ දී වගකීම් විරහිතව නොසැළකිලිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් මාධ්‍ය ජනතාවගේ පිළිකුළට පාත්‍රවීම හා විවේචනයට ලක්වීම සිදුවිය හැකි සේ ම අදාළ වින්දිතයන්ට ද අසාධාරණයක් සිදු වේ. එය ඇතැම්විට තවත් එවැනි ව්‍යසන හෝ කම්පනකාරී සිදුවීම්වලට ද මාර්ගය තනන්නක් ද විය හැකිය.
අනර්ථකාරී තොරතුරු රැස්කිරීමේ දී හා වාර්තා කිරීමේ දී ඒවා මනාව හඳුනා ගැනීම හා ඒ අනුව උචිත ඵලදායී නිගමනයන්ට එළඹීම සිදු කළ යුතු වේ. මහජන නියෝජිතයන්ට වඩා සාමාන්‍ය ජනතාවගේ තොරතුරු ගලනය පිළිබඳ අයිතිය හඳුනා ගනිමින් කටයුතු කිරීම ද වැදගත් වේ. මහජන රුචිය වර්ධනය කිරීම ද අවශ්‍ය වේ. මෙහි දී ”සතිමත් සන්නිවේදනය” ඉතා වැදගත් වන්නකි. තම රටවල ප්‍රශ්න, ගැටලූ හා තත්ත්වයන් හඳුනා ගනිමින් ඒ අනුව එම රටවලට ගැළපෙන ආකාරයෙන් සන්නිවේදනය භාවිත කිරීම පිළිබඳව මේ වනවිට වඩාත් සාකච්ඡාවට ලක් වේ. මේ වනවිට ”සතිමත් සන්නිවේදනය” ආසියානු කලාපය පාදක කර ගනිමින් සන්නිවේදන සංකල්පයක් ලෙස ද වර්ධනය වෙමින් පවතී. සැබවින්ම ශ්‍රී ලාංකේය මාධ්‍ය න්‍යායක් ගොඩනැගීම හා භාවිතයට ගැනීම අවශ්‍ය වී තිබේ. වසර එකසිය දහයක් ඉක්ම වූ දිනමිණ පුවත්පතට ද ඒ සඳහා සමාජ සංවාදයක් ගොඩනගමින් දායක විය හැකිය. පුවත්පතට, දැනුම් දීම, අධ්‍යාපනය ලබා දීම හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම ආදිය තුළින් සමාජයට සේවයක් සිදු කළ හැකිය. කරුණු සහ සහානුකම්පනය වර්තමානයේ පවත්නා තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට ගෙන ඒම වැදගත් ය. ජනතාව ධනාත්මක සිදුවීම් පාදක වාර්තාවන් කරා යොමු කරගැනීම සඳහා සැළසුම් සකස් කිරීම වැදගත් වේ.
වර්තමානයේ ඇතැම් වාර්තා මූලාශ්‍ර රහිතව ඉදිරිපත් වන ආකාරයක් ද දැකිය හැකිය. කරුණු සහ මත අතර බන්ධනය වෙන් කොට දැක්වීම අවශ්‍ය වන්නකි. බොහෝවිට පුවත් සහ විවරණ අතර පවත්නා වෙනස බොඳ වී ගොස් පවතී.
දිනමිණ පුවත්පත ඉටුකරනු ලබන සුවිශාල කාර්යභාරය පැසසිය යුතුය. එය වාණිජමය අරමුණු හා තම පටු න්‍යායපත්‍ර මුඛ්‍ය කරගත් පුවත්පතකින් ඔබ්බට ගිය පුවත්පතක සාධනීය කාර්යභාරයකි. එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කොට ඉදිරිටයත් පවත්වාගෙන යාම සඳහා රජය මෙන්ම ජනතාවත් සම්බන්ධ කරන්නා වූ පාලමක් ලෙස ද හැඳින්විය හැකිය.
රජයේ ප්‍රතිපත්ති, සැළසුම්, ක්‍රියාමාර්ග ආදිය මනාව, ප්‍රශස්ථ අයුරින් ග්‍රාහකගත කිරීම අවශ්‍ය ය. එය එසේම අභියෝගයක් ද වේ. කවර සංවර්ධන කටයුත්තක් වුවද ජනතා සහය නොලැබේනම් එය ආරම්භ කොට පවත්වාගෙන යාම අසීරු ය. ඇතැම්විට කළ නොහැක්කක් ද වේ. ජනතා සහාය ලබාගැනීම සඳහා නිවැරදි තොරතුරු ආදිය පාඨකයාට ලබාදීම පමණක් නොව අවශ්‍ය ක්‍රියාමාර්ග කෙරෙහි පෙළඹීමට අවශ්‍ය උත්තේජන ද සැපයීම කළ යුතු වේ. මෙම කාර්යය මනා අවබෝධයෙන් හා ඉතා සියුම්ව කළ යුත්තකි.
ජනතාව අතරට ගොස් ඔවුන්ගේ අදහස්, යෝජනා, දුක් ගැනවිලි ආදියට සවන් දී ඒ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කිරීම ද අවශ්‍ය ය. එය ප්‍රශස්ත පාලනයක් සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. මෙහිලා මාධ්‍යවේදියා ජනතාවට වඩා ඉදිරියෙන් ගමන් කරන්නකු ලෙස කටයුතු කිරීම වැදගත් වේ.
දිනමිණ ජනතාවට දැනුම නිෂ්පාදනය කරන්නා වූ පුවත්පත් අතරින් ප්‍රධාන පුවත්පතක් ලෙස ද හැඳින්විය හැකිය. එසේම එය විවිධ ජනකොටස් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සුහදතාව ගොඩගනමින් ජාතික ඒකාබද්ධතාව ඇතිකිරීම උදෙසා පසුගිය කාලය පුරා අප්‍රතිහත ධෛර්යයකින් යුක්තව කටයුතු කර තිබේ. එසේම සමාජ ආරක්ෂකයකු වශයෙන් ද වඩාත් වගකීම් සහගතව කටයුතු කරනු ලබයි. ඇති වූ සහ ඇතිව තිබෙන තත්ත්වයන් පිළිබඳව මනා අවබෝධයක් ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව පරික්ෂාකාරී වීම හා දුරදක්නා නුවණ මෙහිලා වැදගත් වේ. එසේම දිනමිණ කවදත් සමාජයේ සියලූ කොටස් ආමන්ත්‍රණය කිරීමත් රටෙහි උරුමයන් ඉදිරි පරපුරට සම්පේ‍්‍රෂණය සඳහාත් දක්වන කැපවීම අගය කළ යුතුය.
අනාගත අභියෝග ජය ගනිමින් දිනමිණට තවත් සියවස් ගණනාවක් මෙරට ජනතාව අතර රැඳෙනු ඇත!
එතෙර මෙතෙර පොලිස්
කොටකෙතන නිවසක කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිද්ධියට වැරදිකරු විදියට එම කාන්තාවගේම පුත්‍රයා අත්අඩංගුවට පත් වූ බව ඔබට ඇතැම් විට මේ වනවිට අමතකව තියෙන්නට ද පුළුවන. එම සැකකරු පිළිබඳ විස්තර පොලිසිය විසින් මාධ්‍යට ලබාදෙන අතර ඒ අනුව පැවසෙන්නේ වැලන්ටයින් දිනයට පෙම්වතියට තැග්ගක් ලබාදිමට පුත්‍රයා මවගෙන් මුදල් ඉල්ලු බවත්, මුදල් ලබා නොදුන් නිසා මවව ඝාතනය කළ බවත් ය
පොලීසිය සුද්දාගේ ය. පොලෝසිය අපේ ය. පොලීසිය නීතිය ක්‍රියාත්මක කළ අතර පොලෝසිය බැලුවේ නීතිය නමන්නට ය. පොලීසිය අපරාධකරුවන් පිළිබඳ පරීක්ෂණ සිදු කොට සියලු සාක්කි ඇතිව ඔවුන් උසාවියට ඉදිරිපත් කර දඩුවම් ලබා දුන්නේ ය. පොලෝසිය කළේ ඔවුන් ආයුධ පෙන්වන්නට එක්ක ගොස් පලා යෑමට සලස්වා මරා දැමීම ය.
මේ දිනවල පොලීසි ගැන නිතර කියවෙන අතර එය වඩාත් දැඩිව කතා කරන මාතෘකාවක් බවට පත් වූයේ ඉන්දියාවේ පශු වෛද්‍යවරියක් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමත් සමග ය. කෙළවරක් නැති ස්ත්‍රී දූෂණ වලක්වා ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් ඉන්දීය පොලීසියට මහජන චෝදනා එල්ල වූ අතර ඔවුන් සිය ගැලවීමට පාදා ගත්තේ සමූහ දූෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැක කරුවන් හතර දෙනා ම මරා දමමිනි. ඒ මගින් ඉන්දීය පොලීසිය කියා සිටියේ ඔවුන් ද ලංකාවේ පොලෝසිය වගේ එකක් බව ය.
මේ ගැන බහුතර ශ්‍රී ලාංකික ප්‍රතිචාරය වූයේ ඉන්දීය පොලීසියේ ඒ කටයුත්ත පිළිබඳව ගෞරවාදරය පළ කිරීම ය. ඒ කියන්නේ ඔවුන් ද ඉන්දීය පොලීසිය ලංකාවේ පොලෝසිය වගේ වීම ගැන ඉමහත් ලෙස සතුටට පත් වී ඇති බව ය. වෙනත් විදිහකට ඔවුන් කියන්නේ ලංකාවේ පොලීසියට ද පොලෝසියක් වන ලෙස ය.
සමූහ දූෂණයෙන් පසු පශු වෛද්‍යවරියක නොව ඕනෑම කාන්තාවක් මරා දැමීම වැනි අපරාධයක් ගැන අපරාධකරුවන්ට සමාව දිය නොහැකි ය. නීති ප්‍රකාරව ඔවුන්ට දඩුවම් පැමිණවීමට හැකි සෑම දෙයක්ම ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතනවලින් සිදු කළ යුතු ය. එසේ සිදු කරන අවස්ථාවක ඒ ගැන ඔවුන්ට ජනතාවගේ කෘත වේදීත්වය ද පළ කළ යුතු ය. එහෙත් අපට ප්‍රශ්නයක් ඉතිරි කෙරේ. මේ සැකකරුවන් අපරාධකරුවන් මද? අප මෙසේ අසන්නේ අපේම පොලෝසියේ අතීත කටයුතු නිසා ය. සේයා සදෙව්මි ඝාතනයට පොලිසිය අවස්ථා තුනකදි මිනිසුන් තුන්දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගත් බව වාර්තා විය. මෙම සැකකරුවන් පෞද්ගලික නිවසක රඳවා ගනිමින් වද දුන් බවටත් කතා පැතිර ගියේ ය.
එම සැකකරුවන් අතරින් කොණ්ඩයා කියන පුද්ගලයා ටක්කෙටම වැරදිකරු බව මාධ්‍ය මගින් ද ප්‍රචාරය කෙරුණේ ය. මුළු ලංකාවම කොණ්ඩයා වැරදිකරු බව විශ්වාස කළ බවක් පෙනී ගියේ ය. ඔහු පොලිසියට හසු නොවි මිනිස්සුන්ට හසු වුනා නම් අනිවාර්යයෙන්ම ගහලා මරණ තත්වයක් පවා ඇතිවන්නට ඉඩ තිබුණේ ය. නමුත් DNA පරීක්ෂණය නිසා ඔවුන් තුන්දෙනාම නිවැරදිකරුවන් බවට ඔප්පු විය.
මෙසේ සැක පිට කවුරුන් හෝ අල්ලා ගන්නට පොලීසිය පෙළඹෙන්නේ එසේ නොකිරීමෙන් ජනතාව නොසන්සුන්තාවයට පත් වන නිසා බව පොලීසිය වෙනුවෙන් කතා කරන අය කියති. එය එසේ නම් තත්වය තවත් භයානක ය. එයින් කියන්නේ පොලීසිය තමන්ගේ රාජකාරිය නීති ප්‍රකාරව නොකර ජන ආකර්ෂණය දිනා ගැනීමේ උත්සාහයක නිරත වෙන බව ය.
අසරණ මිනිසෙකු සැක පිට අත්අඩංගුවට ගැනෙන අතර ඔහුට ඉන් ගැලවීමක් නැති වන්නට ඒ නිසා ම සිදු වීම භයානක ය. ඔහුව ජීවතක්ෂයට පත් කිරීම හරහා සැබෑ අපරාධකරුවාට ගැලවීමට ද ඉඩක් ඇති වීම එහි ඇති භයානකත්වය තවත් තීව්‍ර කරන්නේ ය.
මේ එකම සිද්ධිය නොවේ. කොටකෙතන නිවසක කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිද්ධියට වැරදිකරු විදියට එම කාන්තාවගේම පුත්‍රයා අත්අඩංගුවට පත් වූ බව ඔබට ඇතැම් විට මේ වනවිට අමතකව තියෙන්නට ද පුළුවන. එම සැකකරු පිළිබඳ විස්තර පොලිසිය විසින් මාධ්‍යට ලබාදෙන අතර ඒ අනුව පැවසෙන්නේ වැලන්ටයින් දිනයට පෙම්වතියට තැග්ගක් ලබාදිමට පුත්‍රයා මවගෙන් මුදල් ඉල්ලු බවත්, මුදල් ලබා නොදුන් නිසා මවව ඝාතනය කළ බවත් ය. මේ සිද්ධිය මාධ්‍යවල අකුරෙන් අකුර රසකර කර ලියවෙන අතර මුළු රටම ඒ ගැන කම්පාවට පත් වෙන්නේ ය. එපමණක් නොවේ, ඒ කතාව අසන ජනයා අපරාධකරුවාට හෙන ඉල්ලන අතර, ඔහු අවුරුද්දකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින්නේ ය. ඒ අතර ඔහුගේ කිසියම් වාසනාවකට සැබෑ වැරදිකරු ද අසුවෙන්නේ ය. ඒ හේතුව නිසා ඔහු නිදහස ලබන මුත් ඔහුට විඳින්නට සිදු වූ අපකීර්තියට හා අවමානයට විසඳුමක් නැත. වඩාත් වැදගත් වන්නේ පොලෝසියේ ක්‍රමයට එය විසඳිනි නම් අද ඔහුට යුක්තිය ඉටු කිරීමට ඔහු ජීවතුන් අතර පවා නොමැති වීමට ඉඩ තිබීම ය. එපමණක් නොවේ. සැබෑ වැරදිකරුද සඟවා අපකීර්තියෙන් මිදීමට පොලෝසියට ම සිදු වීම ය.
සමාන තෙවැනි සිද්ධියකුත් අපේ රටින් මෑතක දී වාර්තා වී ඇත. ඒ උතුරේ පොලිස් නිලධාරින් දෙන්නෙක් මුරපොළකදි ඝාතනය වීම සම්බන්ධව ය. ඒ සම්බන්ධයෙන් සැක පිට පොලීසිය පුනරුත්ථාපනය වු හිටපු එල්ටීටීඊ සමාජිකයෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරන්නේ ය. වැරදිකරුවෙකු යැයි කියන්නට කෙනෙක් අසු වූ නිසා පරික්ෂණ මන්දගාමි වෙන අතර, කාලයකට පසු, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ පාපොච්චාරණයෙන් සැබෑ අපරාධකරු හෙළිවන්නේ ය. ඒ වන විටත් අර දෙමළ මිනිසා එම ඝාතනයට සම්බන්ධව සැකකරුවෙක් හැටියට හිටියේ බන්ධනාගාරයේ ය. ඔහුත් පොලෝසියේ ක්ෂණික යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයට අසු වූයේ නම් අද ජීවතුන් අතර නැත.
මේ සිද්ධි තුනම අපට කියන්නේ පොලෝසියේ අනිසි “කාර්යක්ෂමතාවය” අනතුරුදායක බව ය. නීතිය නමනවා වෙනුවට කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම බව ය. එහිදී සිදුවන යම් පමාවක් ඉවසීමට ශිෂ්ඨ සම්පන්න මිනිසා සූදානම් විය යුතු බව ය. කැලේ නීතිය පොලෝසියකට මිස පොලීසියකට උචිත නැති බව ය. මේ සියල්ලෙන් අවසාන විශ්ලේෂණයේ බැට කන්නේ ද කිසිවක් කර කියා ගන්නට බැරි අසරණ මිනිසුන් පමණක් බව ය. ප්‍රශ්නය ඇත්තේ පොලීසියේම නොවේ. පොලීසිය පොලෝසියක් කරන්නට වුවමනා මහ ජනයාගේ ය. ඔවුන් පොලීසිය පොලෝසියක් වන විට හුරේ දාන නමුත්, සැකකරුවන් ක්ෂණිකව මරා දැමීම සම්බන්ධයෙන් පොලීසියට පදක්කම් පළඳන නමුත්, සල්ලිකාර අපරාධ කරුවෙකු ජනාධිපති සමාවක් ලැබ හිරෙන් එලියට එන විට මීක් කියන්නේ නැත. ඒ කියන්නේ උණුසුම ඉවර නම් ඔවුන්ට එහෙමට ගායක් නැති බව ය. ඔවුන්ගේ කතන්දර ගණන් ගෙන පොලීසිය සිය වෘත්තීය ගරුත්වය ඉවත නොහෙළිය යුතු බව ය. ඔවුන්ගේ කඩිකුලප්පුව ඉදිරියේ වෘත්තීය සංයමය පොලීසිය විසින් රැකිය යුතු බව ය.
පැරණි පොලීසියේ තිබුණේ සෑහෙන ගවේෂණයකින් පසු හැකිතාක් සාක්කි සොයා ගැනීමකින් පසු සැක කරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සම්ප්‍රදායකි. ඒ අතීතය ගැන ජාතික පුවත්පතකට ලිපියක් සපයන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ගුණවර්ධනය මහතා කියන්නේ අද බොහෝ විට ගවේෂණ ආරම්භ කරන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුය කියා ය.
එපමණක් නොවේ. අත්අඩංගුවට පත් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කරමින් සපයන බී වාර්ථාවේ හැකිතාක් අඩුවෙන් තොරතුරු සපයන්නට එදා පොලීසිය ප්‍රවේසම් වූ බව එතුමා කියන්නේ ය. ඒ පරීක්ෂණයට එවැනි තොරතුරු ජනමාධ්‍ය හරහා ජනගත කිරීමෙන් බාධා ඇති විය හැකි නිසා ය.
ඒ සියල්ලෙන් කියවෙන්නේ සැකකරුවෙකු අපරාධකරුවෙක් ලෙස හංවඩු ගසා එලොව යැවීම තරමටම ඔහු හෝ ඇයව අපරාධකරුවෙකු ලෙස සමාජගත කිරිමට පෙර ද ප්‍රවේසම් වීම පොලීසියේ යුතුකම බව ය.
පොලීසිය “පොලෝසියක් වීම” ගැන එතුමා කම්පා වෙතත් රටේ බහුතරයක් මිනිසුන් නම් ඉන් ආශ්වාදයක් ලබන බව පෙනෙන්නට තිබේ. ඒ බව ප්‍රකට වුනේ ඉන්දීය පොලීසියට ලංකාවෙන් පලවන ගෞරවාචාර නිසා පමණක් නොවේ. අතීතයේ ලංකාවේ පොලීසියට ද සමාන සිද්ධි සම්බන්ධයෙන් ගෞරවය පුද කරන්නට ලංකාවේ ජනයා කටයුතු කර ඇති නිසා ය.
පොලීසිය තුළ වෘත්තීමය සංවරය හා සදාචාරය පවත්වා ගැනීම විශාල අභියෝගයක් බව ඇත්ත ය. ඒ විශාල බලයක් ඔවුන් සතුව තිබීම නිසා ය. තමන්ගේ නිලධාරීන් කරන ඇතැම් වැරදි සම්බන්ධයෙන් දඩුවම් නොකර ඔවුන් රැක ගැනීමට ඉහළ නිලධාරීන් තුළ පෙළඹවීමක් ඇති වීම මේ තත්වය තවදුරටත් තීව්‍ර කිරීමට හේතුවක් වී තිබේ.
එය ලංකාවේ ඉන්දියාවේ පමණක් නොව ඇමරිකාවේ පවා පොලීසියට විරුද්ධව එල්ල වන පැමිණිල්ලකි. ඇමරිකාවේ කල්ලන් සම්බන්ධයෙන් එහි පොලීසිය හැසිරෙන ආකාරය ගැන කළු ජාතිකයන් තුළ ඇත්තේ කළකිරීමකි. අප්‍රසාදයකි. කළු ජීවිත ද වටින්නේ ය (black life matters) යන ව්‍යාපාරය පැන නැගීමට ද පොලීසියේ ක්‍රියාකාරිත්වය හේතුවක් වී තිබේ.
ඕනෑම කෙනෙක් තුළ බලයක් ඒකරාශි වූ විට එය අපහරණය කිරීමේ ඉඩකඩක් ද ඒ සමග විවෘත වන්නේ ය. එය පොලීසිය සම්බන්ධයෙන් පමණක් වෙනස් වන්නට ඉඩක් නැත. ලංකාවේ පොලෝසියට එරෙහිව ද පසු ගිය කාලයේ මතු වූ එක් පැමිණිල්ලක් වූයේ සුළු ජාතිකයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ අලස කමක් ඔවුන් දක්වන බව ය. වාර්ගික ගැටුම් ඇති වූ ඇතම් තැනක ඒවාට භාජනය වූයේ සුළු ජාතිකයන් නම් ඒවාට ඉඩ දී පොලෝසිය අහක බැලූ බව ය. ඒ නිසා ම ඇතැම් තැනක නීතිය ක්‍රියාත්මක කිරීම උදෙසා පොලෝසිය වෙනුවට හමුදාවේ හෝ පොලීසියේ ම විශේෂ කාර්යය බලකායේ සහය ගැන විශ්වාසය තබන්නට සිදු ව ඇති බව ය.
පොලීසියේ ඇතැම් නිලධාරීන් සිය බලය දේශපාලන ස්වාමීන් වෙනුවෙන් අපහරණ කරන ලද බවට චෝදනා අද වන විට එල්ල වන්නේ බලයට පත් නව ආණ්ඩුවෙනි. එය අතීතයේ ද එල්ල කරන ලද චෝදනාවක් වුව ද බලයට පත් නව ආණ්ඩුව චෝදනාවක් කිරිමෙන් නොනැවතී ඒ පිළිබඳව පරීක්ෂණයකට ද සැරසෙන බවට කරන කියන වැඩ කටයුතු වලින් පෙනෙන්නට තිබේ. මේ වන විට අපරාධ මර්ධන කොට්ඨාෂයේ හත්සිය හතරකට රටින් පිටුවීමට තහනම් පනවා තිබෙන්නේ ඔවුන්ගේ කටයුතු විභාග කිරීමට විය යුතු ය.
චෝදනාව එල්ල වන්නේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා සාක්කි සකස් කිරීම අරමුණු කොට ගෙන මිනිසුන්ට බලපෑම් කළ බවට ය. එසේ කළේ නම් එය බරපතල වැරැද්දකි. ඒ සම්බන්ධයෙන් අපක්ෂපාත පරීක්ෂණ පවත්වා එසේ කළ අයට දඩුවම් කළ යුතු ය.
එසේ වුව ද ඒ පරීක්ෂණ ද අපක්ෂපාත නොවන්නේ නම් හා නිවැරදිව රාජකාරී කළ නිලධාරින්ට ඉන් දඩුවම් ලැබෙන්නේ නම් ඇති වන තත්වය යහපත් වන එකක් නැත. ඒ හරහා පොලීසියේ නිලධාරීන්ට දෙන පණිවුඩය අපරාධකරුවන් දේශපාලන වශයෙන් බලවත් නම් ඔවුන් හඹා ගොස් සිය දිවි නසා ගන්නට එපා යන්න නම්, පොලීසියෙන් මහජන අපේක්ෂා ඉටුවන එකක් නැත. ඒ නිසා ම මේ චෝදනා විභාග කර බලන්නට වෘත්තීමය වශයෙන් අපක්ෂපාතව කටයුතු කරන මණ්ඩලයක් පත් කළ යුතු ව තිබේ. නැතිනම් වන්නේ මෙයින් ද පොලීසිය පොලෝසියක් වී නතර වීම ය.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ගුණවර්ධන මහතා දි අයිලන්ඩ් පුවත් පතේ පළ වූ තම ලිපිය මගින් එවැනි අපක්ෂපාත පරීක්ෂණයක වැදගත් කම අවධාරණය කරන්නේ අතීතයේ එවැනි චෝදනා ඉදිරිපත් වූ අවස්ථා ද ඒ අවස්ථා වල කටයුතු සිදු වූ ආකාරය ද සිහියට නගමිනි.
ඒ එක් සිද්ධියක් වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක පාලන සමයේ දී ය. ඒ වකවානුවේ විදේශ විනිමය වංචා සම්බන්ධයෙන් ගවේෂණය කර එම වංචා කළ උනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත බාර ව තිබුනේ ටිරල් ගුණතිලක නම් නිලධාරියාට ය. ඔහු එසේ වංචා කළ බොහෝ දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නමක් දිනා ගෙන තිබුනේ ය. එහෙත් එයින් උරණ වූ පසු කලෙක බලයට පත් වූ ආණ්ඩුව ටිරල් ගුණතිලක ඇතුළු එම පරීක්ෂණ වලට සම්බන්ධ නිලධාරීන් මාරු කර යැවූ අතර ජනාධිපති පදවියට පත් ජේ ආර් ජයවර්ධන මහතා සීඅයිඩීය පොළොවට සමතලා කරන බවට තර්ජනය කළ බව ද ඒ ලිපියේ සඳහන් ය. එහෙත් මැතිව් පීරිස් නඩුව ඇතුළු වැදගත් නඩු රාශියක් සම්බන්ධයෙන් සාර්ථකත්වය ලබා ගත් ටිරල් ගුණතිලකට පසු කලෙක ජනාධිපති ජේආර් ජයවර්ධන මහතා විසින්ම වැදගත් ගවේෂණ ගණනාවක් පැවරූ බව ද එහි සඳහන් ය. ඒ ජනාධිපති විශේෂ කොමිසමකින් පොලිසියේ කටයුතු විභාග කොට ඔවුන් වරදක් නොකළ බව ඔප්පු වූ පසුව ය.
ගාමිණී ගුණවර්ධන මහතා තම ලිපියෙන් පෙන්වා දෙන්නේ පොලීසිය තමන් සතු බලය භාවිතා කළ යුත්තේ පරිස්සමින් බවත්, පොලීසිය විසින් යම් අකටයුතු යමක් කළේ නම් ඒ පිළිබඳව නිසි පරීක්ෂණයන් සිදු කළ යුතු බවත්, එසේ කිරිමෙන් තොරව පොලීසියේ නිලධාරීන්ට දඩුවම් කිරිමෙන් ඔවුන් අධෛර්යය වීම නීති ගරුක මෙන්ම විනය ගරුක පාලනයක් ඇති කිරීමට බාධා ඇති කළ හැකි බවත් ය.
බන්ධනාගාරයේ තාප්පයේ ලියා තිබෙන වැකියකින් කියවෙන්නේ සිරකරුවනුත් මනුස්සයින් බව ය. ඒ අර්ථයෙන් ම පොලීසියේ සිටින්නේත් මනුස්සයෝ ය. ඔවුන්ට සමාජයේ සෙසු මිනිසුන්ට නැති ගුණධර්ම තිබෙන්නට විදිහක් නැත. එහෙත් විශාල බලයක් ඔවුන් සතු නිසා ම ඔවුන්ගේ හැසිරීම වෘත්තීමය ගරුත්වයක් ඇති ව සිදු කළ යුතු ය.
පොලීසියට සේවය කරන්නට සිදු ව ඇත්තේ විවිධ බාධක මැද්දේ ය. එක පැත්තකින් අසාධාරණ ඉල්ලීම් කරන ඇතැම් දේශපාලනඥයන් ය. අනෙත් පැත්තෙන් සිවුරට මුවා වී ජඩ වැඩ කරන ඇතැම් සංඝයා වහන්සේ ය. තව පැත්තකින් තමන් නීතියට උඩින් ඉන්නා බව හඟින වෙනත් ආගම්වලට අයත් ඇතැම් පූජකයන් ය. තව පැත්තකින් විශ්ව කර්ම උත්තර අපේක්ෂා කරන, වෙඩි වගේ උත්තර ඉල්ලන, බහුතරයක් මහජනයා ය. මහජනයාට ඒ සඳහා උඩගෙඩි දෙමින් ආවේග ශීලි ලෙස හැසිරෙන මාධ්‍ය ය. අනෙත් පැත්තෙන් පක්ෂග්‍රාහීව කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන පොලීසියේම ලොකු මහත්තුරු ය. ඒ සියල්ලට මැදිවන පොලිස් නිලධාරියාට සිදු වන්නේ අවසානයේ පොලීසිය පොලොසියක් කර තමන්ගේ වැඩක් බලා ගැනීම ය. ඒ නිසා ම පොලිස් නිලධාරියාට වෘත්තීමය සේවයක් කළ හැකි වාතාවරණයක් සාදා දීම රට කරවන අයගේ පමණක් නොව මහජනතාවගේ ද මාධ්‍ය වල ද යුතුකමකි. පසු ගිය දිනක ජනපති ආර්යාව ගමන් කළ රථයේ රියැදුරා කළ නීතිය කඩ කිරීමක් නිසා, පොලීසිය විසින් ඔහුගේ බලපත්‍රය ලබා ගත් අවස්ථාවේ, කිසිදු මැදිහත් වීමක් නොකර නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට ඉඩ හසර ලබා දුන් බවට පුවතක් සමාජ ජාලා හරහා සංසරණය විය. එහි ඇත්ත නැත්ත කුමක් වුව ද අපට අවශ්‍ය වන්නේ නම් පැහැදිලිවම එවැනි වාතාවරණයකි. අප ජීවත් වන්නේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් දඩ කොලයක් නිකුත් කිරිමේ වරදට ගුටි කෑ, තම රථයට ද, නිවසට ද, අලාභහානි කරගන්නට සිදු වූ, අවසානයේ වැඩ තහනමකට ද ලක් වූ පොලිස් නිලධාරියෙකු සිටි රටක නිසා ම මෙවැනි වාතාවරණයක් ඇති කර ගත හැකි නම් එය අතිශයින් ගරු කටයුතු ය. එවැන්නක් සිදු නොවි තිබිය දි මෙය ප්‍රචාරය කරන ලද්දේ නම් එයින් ද පල වන්නේ විනය ගරුක මිනිසුන්ගේ අපේක්ෂාව ය. පොලෝසියක් වෙනුවට පොලීසියක් දකින්නට කැමති මිනිසුන්ගේ අපේක්ෂාව ය.
විනය ගරුක රටක් හැදීමට අපේක්ෂා කරන ආණ්ඩුවක් විසින් කළ යුතු අංක එකේ කාර්යය වන්නේ පොලෝසියක් වී ඇති පොලීසිය නැවතත් පොලීසියක් බවට පත් කිරීම ය. ආණ්ඩුව ඒ සඳහා පෙළඹවීමත්, පොලෝසිය පොලීසියක් කිරීම සඳහා ආණ්ඩුව දියත් කරන යම් ව්‍යායාමයක් තිබේ නම් ඒවාට සහය දීමත්, මහජනයාගේත් මාධ්‍යවලත් සෙසු සමාජ බලයක් ඇති කණ්ඩායම්වලත් අත් නොහැරිය හැකි වගකීම ය.
මතකය තහවුරු කරගන්නා ක්‍රම
සංවිධානය නැතහොත් ක්‍රමික සකස් කිරීම, පුහුණුව සහ විචිත්‍රකරණය (Organization, Rheasal, elaboration) මඟින් මොළයට අධ්‍යයනයන් ආරෝපණය (impose) කිරීම සහ තහවුරු කිරීම වැදගත් වේ. මෙම ගොනුකළ ස්ථාපිත මතකය (Consolidated memory) සඳහා භාවිතා වන ස්නායු සම්බන්ධතා මනාව ශක්තිමත් වීමට ඉහත කී කාරණා ඉතා වැදගත් වේ. එනිසා ඉගැන්වීමේදී ගුරුවරුන් මෙම කාරණා පිළිබඳ මූලික අදහසක් ඇතිකර ගැනීම වැදගත් ය.
සංවිධානය (organization) යන්න ගැන පළමුව සිතා බලමු. යමක් ක්‍රමානුකූලව පිළිවෙළකට සංවිධානය කර ගැනීම (orgnize) එය අධ්‍යයනය කිරීම සඳහා පහසු වෙයි. උදාහරණයක් ලෙස ඉතිහාසය ගැන හැදෑරීමේදී ඒවා එක් එක් පුද්ගලයා සහ කාර්යයන් වෙන වෙන ම අධ්‍යයනය කරනවා වෙනුවට සියල්ල ම එක පිළිවෙළකට (order) සකස් කර අධ්‍යයනය කිරීම පහසු ය. මෙහිදී ළමයින් කවි කතන්දර ඇතැම් විට අසභ්‍ය ශබ්ද භාවිතා කරමින් මතක තබාගැනීමට කරුණු සංවිධානය කර ගැනීම දැකිය හැකිය. එහිදී ඇතැම් විට කරුණු ප්‍රස්ථාර ගත කිරීමට හා පහසුවෙන් මතක තබාගැනීමට හැකි වේ. එබැවින් දරුවන් සඳහා දෘශ්‍යමය සංවිධානය ඉතා වැදගත් ය. එය සාමාන්‍යයෙන් ලිඛිත තොරතුරු ලබාදීමට වඩා දෘෂ්ටිමය මාධ්‍යය සම්බන්ධව ක්‍රියාත්මක කිරීම අනුව හා මතකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.
රියසල් (Rhearsal) එනම් නැවත නැවත යම් ක්‍රියාකාරකමක්, අභ්‍යාසයක් කිරීම, අධ්‍යයනයන් සඳහා ඉතා වැදගත් වේ. ගණිතය, විද්‍යාව වැනි විෂයයන් මෙන් ම නර්තනය, සංගීතය වැනි විෂයයන් ද වැදගත් වේ. සමහර අවස්ථාවල පැය දෙක තුනක් පමණ දිගු නාට්‍යයක් කුඩා කොටස් ලෙස ගෙන පුහුණු කරවා එහි කොටස් එකිනෙක අමුණා සම්පූර්ණ නාට්‍යය පුහුණු කිරීම (Rhearsal) මඟින් මතක තබාගැනීම පහසු වීමට හේතු වේ. අධ්‍යයනය කරන කාරණා නැවත නැවත ක්‍රියාත්මක කිරීම මඟින් මෙම තත්ත්වයට දැනුම තහවුරු කරගත හැකිය. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම මේ අතර ඉතා ම වැදගත් ය. අප පාසල් පද්ධතිය තුළ දකින පිටපත් ලිවීම, කියවන විට ලිවීම දිනපතා කෙටි රචනා ලිවීම, භාෂාව අධ්‍යයනය ආදිය මේ සඳහා හොඳ උදාහරණ වේ. තවද භාෂාව අධ්‍යයනයේ දී නිතර ඒවායේ අක්ෂර (spellings) අදහස් තේරුම් (Meanings) භාවිතාවන් (usages) ව්‍යාකරණ (grammar) පිළිබඳව හැදෑරීම ද ගත හැකිය.
පාසල් නාට්‍යයක් නිර්මාණය කිරීමේ යෙදී සිටින ළමයින්ට ඉහත පැහැදිලි කළ ආකාරයට සමස්ත නාට්‍යය ම එක දිගට පුහුණුවීම් කිරීමට නොයා එය කෙටි දර්ශන වාර හෝ කොටස් ලෙස පුහුණුවීම් කිරීමට මඟපෙන්වීම ලබාදීම සාර්ථක හා ඵලදායී වේ. නාට්‍යයේ දෙබස් නැවත නැවතත් ශබ්ඳ නඟා කීම, නියමිත රිද්මයට අනුගතව රංගනයේ යෙදෙමින් දෙබස් කීම මතක තබා ගැනීම පහසුවීමට සහාය වෙයි. නාට්‍යයක රංගන හා ගායන, වාදන ශිල්පීන් වේදිකාවට පිවිස ඉදිරිපත් කිරීමට පෙර සූදානම් වෙන්නේ ෙම් පුහුණුවීම් (Rheasal) කරමිනි. නැතහොත් ඔවුනට නාට්‍යයේ පෙළ, තමන්ගේ කොටස හරියට ම මතක නැති වන්නට පුළුවන. භාෂාවක රටා සමුදායක් තිබේ. එහි රිද්මය හරියට අවබෝධ කරගත් විට අක්ෂර වින්‍යාසය ඇතුළු බොහෝ දේ පාඩම් කර ගැනීමට අධ්‍යයනය කිරීමට පහසු වේ. උක්ත ආඛ්‍යාත සම්බන්ධය ව්‍යාකරණයේ වැදගත් ම අංගයකි. ÒගියෙමුÓ යැයි වැකියක් අවසන් කළ විට එහි උක්තය ÒඅපිÓ විය යුතු බව අපි දනිමු. එසේ ම ÒගියෙමිÓ යන්න අවසානයට යෙදුනොත් උක්ත ආඛ්‍යාතය ගැළපීමට, නිවැරදි වීමට උක්තය ÒමමÓ විය යුතු බව ද අපි දනිමු. මෙවැනි එක් පොදු කාරණාවක් මතක තබා ගැනීෙමන් කොහේ හෝ තැනක හෝ අවස්ථාවක ÒඅපිÓ හෝ ÒමමÓ යන්න උක්ත වන සේ තැබුවොත් ක්‍රියා පදය කෙසේ විය යුතු දැයි ළමයාට මතකයේ සිටිනු ඇත.
අලංකරණය හෙවත් විසිතුරු කිරීම (elaboration) ද විෙශ්ෂ වැදගත්කමක් ගනී. මෙහිදී තමා ලබාගත් තොරතුරු විශ්ලේෂණය සහ පුළුල් ලෙස අර්ථ ගැන්වීම හඳුනාගත හැකිය. (expanding information). එසේ ම විශ්ලේෂණාත්මකව තහවුරු කර ගත් දැනුම තමා නොයෙකුත් අධ්‍යයන කටයුතු මඟින් තහවුරු කරගත් දැනුම සමඟ සංසන්දනය කිරීමත් වැදගත් වේ. බොහෝ විට ළමයින් සාලංකාර (elaborate) නො කිරීම නිසා නොයෙකුත් දැනුම් සම්භාරයක් වෙන වෙන ම පැවතීම සහ ඒවා සම්බන්ධ කර ගත නො හැකි වීමත් දක්නට හැකිය. එය මූලික අඩුවක් ලෙස පෙනී යයි. ප්‍රායෝගිකව මතක ගබඩාව ශක්තිමත් කිරීම සඳහා සන්සන්දනය කිරීම මෙන් ම විශ්ලේෂණය මනාව තහවුරු කර ගැනීමත් වැදගත් වේ. මෙසේ කිරීම සඳහා ශිෂ්‍යයාට විවෘත ප්‍රශ්න ඉදිරිපත් කිරීම ගුරුවරයාගේ වගකීමකි.
උදාහරණ හැටියට පොළොන්නරුව සම්බන්ධව ඔබේ අදහස් හෝ ඔබ දන්නා දේ මොනවාදැයි ප්‍රශ්නයක් විමසිය හැකිය. එවිට ඒ ගැන ළමයා දන්නා දේ කියනු ඇත. පොළොන්නරු රාජධානිය ගැන, එහි නටබුන් ගැන, සමහර විට ඒ යුගය ගැන ළමයා දන්නා දේ කියාවි. එසේ නමුත් පොළොන්නරුව සහ කුරුණෑගල රාජධානිය දෙක අතර ඇති විශේෂ වැදගත්කම සඳහන් කරන්නැයි ළමයාට කී විට එය පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. මේ ප්‍රශ්න කළ ආකාරය සංකීර්ණය. ඊට පිළිතුරු දීම සඳහා රාජධානි දෙක ගැන ම හොඳ අධ්‍යයනයක් තිබිය යුතුවාක් මෙන් ම ඒ දෙක අතර සමාන අසමානකම්, වෙනස්කම් මොනවාදැයි හරියාකාර අවබෝධයක් නොතිබී ඒ සඳහා පිළිතුරු දීම අසීරු වේ.
අධ්‍යාපනය නැතහොත් ඉගෙනීම සඳහා නවීන සොයා ගැනීම් ඔස්සේ අධ්‍යාපනයේ ක්‍රම ශිල්ප හඳුනාගෙන ඒ අනුව ඒ සොයා ගැනීම්වල ප්‍රතිඵල ළමයාට දිය යුතුය. එසේ නැතිව සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවලින් බැහැරවීමේ මැළිකම තබාගෙන එෙතක් මෙතෙක් කරගෙන ආ ක්‍රමයට අනුගතව සිටීමට බොහෝ දෙනා කටයුතු කරති.
කරුණාතිලක හඳුන්පතිරණ
නැණ හීන අධිපති
නැණ හීන අධිපතියා,දරුණු පාලකයෙක් වෙයි.හිතෝපදේශය 28:16
නුවනින් දකින හැම දෙයකම, ගැඹුරින් අවබෝධ කර ගැනීමට දෙයක් ඇති බවත් එය වටහා ගැනීමට නම් මිනිසකුට නුවණ අවැසි බවත්, කුඩා කල අපට කියා දුන්නේ සිංහල ගුරුතුමාය. නුවණ නැති අය සමඟ ජීවිතය ගෙවීම අපහසු බවද, ඔවුන් සිටින ස්ථානයන්හි අරගල, ගැටුම් අධික බවද හෙතෙම කීය. එතුමා එය පැවසුවේ වරක් දෙවරක් නොවේ. පාසලේ හෝ පන්ති කාමරයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූ ඇතැම් අවස්ථාවක, ගුරුතුමා මේ කතාව කී සැටි මට මතකය.
ගුරුතුමාගේ කතාවේ යථාර්ථය පිළිබඳ සෙවිය යුත්තේ කොතැනින්ද? එය උක්ත උපුටා ගැනීමෙන්ම ආරම්භ කිරීම මැනවයි සිතේ. “නැණ හීන අධිපතියා, නපුරු පාලකයෙක් වෙයි.” මෙය මොනතරම් නම් සත්‍යයක්ද? යමකුට මුලින්ම අධිපතියකු මුණගැසෙන්නේ කොහොමද? අධිපතියකු මුණගැසෙන්නේ පුරවැසියකුටය. එසේ හෙයින් අධිපතියා පුරවැසියාගේ ජීවිතයට බොහෝ සෙයින් බලපානු ඇතැයි බොහෝ දෙනකුට සිතෙනු ඇත. එහෙත් තම අධිපතියා මුලින්ම මුණ ගැසෙන්නේ තමා වෙතින්ම බව සිතන්නේ අප කීයෙන් කී දෙනාද?
අප ජීවත් වෙන ස්ථානයේ අධිපතිත්වය දරනුයේ, කවරකු විසින් හෝ පත්කරනු ලැබ ඇති නායකත්වය විසින් බව අප බොහෝ දෙනකුගේ අදහසය. එබැවින් කිසිදු තර්කයක් නොනඟා අපි එකී අධිපතිවාදවට යටත් වෙමු. සියල්ලට එකඟ වෙමු. එහෙත් විචාරශීලි මනසකින් යුතුව යමක් නොදැක, ස්වාධීන මතයක් පල නොකොට, එහෙයි ප්‍රතිපත්තියෙන් යුතුව හිස නමන, අපගේ නුවණ පිළිබඳ නැවත වාරයක් අප සිතා බැලිය යුතුය.
නුවණ නැති හිසක් සහිත පුද්ගලයකු තවත් අයකුට කතා කරන අයුරු බලන්න. සමහර විට එකී කතා ස්වරූපය ඉතා ප්‍රචණ්ඩ විය හැකිය. ඉන් අනෙකා මහත් අසීරුතාවයටත් වේදනාවටත් පත්වෙන ආකාරය ඔබ කොතෙකුත් දැක ඇතිවාට සැකයක් නැත. ඇතැම් විට අපද ඒ අවස්ථාවට මුහුණ දී සිටින්නට පුළුවන. එවිට අප සිත්වල ඇති වූයේ කිනම් හැඟීමක්ද? ඔවුන් අපට නපුරු වූවා යැයි අනන්තවත් අපට සිතුණු වග අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඒ පිළිබඳ ගැඹුරින් සිතා බලන කල, එකී අනුවණ පුද්ගලයා, මුලින්ම නපුරු වී ඇත්තේ අපට නොව තමන්ටමය.
අනුන්ට නපුරු වීම යනු තමන්ට නපුරු වීමක් ලෙස සිතෙන්නේ කෙසේද? මොහොතකට සිතන්න. තව කෙනකුට සාහසික ලෙස බැණ අඬගාන මිනිසා මුලින්ම, සිය සිත දරුණු කරගත යුතුය; කෝපගත යුතුය; තම දෑස වෛරයෙන් රතු කර ගත යුතුය; තම හෘදය ගැහෙන සාමාන්‍ය තත්ත්වය, ඊට වඩා වැඩි කර ගත යුතුය; තම දිව, ඒ වෙනුවෙන් රළු කරගත යුතුය. තම ලෙය, වඩාත් උණුසුම් කරගනු වස්, ශරීරය ගිනි උඳුනක් කර ගත යුතුය. සෑම මස්පිඬක්ම දැඩි කර ගත යුතුය. මේ සියල්ල අනෙකා හෙලා දැකීම පිණිසය. එබැවින් තමා අනෙකාව පීඩනයට පත් කිරීමට පෙර, තමාවම පීඩනයට පත් කරගෙන හමාරය. එසේ හෙයින් තමන්ගේ අනුවණ අධිපතියා තමන්ම බව අමුතුවෙන් කිව යුතුය. බොහෝ විට අනෙකා හෑල්ලු කරමින් කතා කරන කෙනකු දෙස බලන්න. එකී තැනැත්තා සිතෙනුයේ තමා අනෙකාව හෑල්ලු කරමින් වීරයකු බවට පත් වූ බවය; අනෙකාට වඩා සියල්ල දත් බව ප්‍රදර්ශනය කළ බවය. එහෙත් සැබැවින්ම සිදුවෙනුයේ, ඔහු හෝ ඇය අනුන් ඉදිරියේ නපුරු අනුවණයකු බව ඔප්පු වීම පමණි. එවැන්නකුට සිය අඩුලුහුඬුකම් පහදා දෙන්නට කිසිවකු ඉදිරිපත් නොවේ. මන්දයත් ඔහු අනුවණ අධිපතියකු බැවින්, තමන්ටද නපුරු වෙතැයි මිනිසුන් සිතන බැවිනි. එහෙත් ඇතැම් අවස්ථාවාදීහු තමන් ඔහුට පක්ෂපාතීබව මූනිච්චාවට පෙන්වති; ඔහුගේ අනුවණකම් නැතිනම් නපුරුකම් අගයති; ඒ මදිවාට ඔහුට උඩගෙඩි දෙති; එසේ කොට සුළු සුළු වාසි පතති. එවැන්නෝ නරි මෙන් හැසිරෙති. අනුවණ අධිපතිහු එවැනි හිවල් නිවටයන්ගේ සහාය පතන්නේ තමන්ගේ තනිකමෙන් මිදීමටය.
අනුවණ අධිපතීන් නපුරු බැවින්, ඔවුන්ට එරෙහිව කිසවෙක් කිසිවක්ම නොකියති. ඒ තමා පිට නපුර වැටීම වලකාගනු පිණිසය. එහෙත් අවස්ථවාදීන් හැරුණුකොට කිසිවෙක් ඔහුට ජය ඝෝෂා නොනගති; ප්‍රශංසා නොකරති. ඇගයීම් නොකරති.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බලන්න. ලංකාවේ අන්තිම රජුට සිය කිරුළ අහිමු වූයේද සිය බිසෝවරුන් සමඟ රටින් පිටුවහල්වීමටද සිදුවූයේ ඇයි? අනුවණ සමඟ එතී ආ ප්‍රචණ්ඩත්වය හෙවත් නපුර ජනතාව පිටු දැක්කහ. එබැවින් එහි ආනිසංස විඳීමට සිදුවූයේ ඔහුට පමණක් නොව මුළුමහත් රට වැසියාටමය. ඇහැළේපොළ කුමාරි හාමි ඇතුළු දරුවන්ගේ විපත සිහි කරන්න. එය සිදු වූයේ අනුවණ නායකයකුගේ නපුර නිසා නොවේද? සිය දරුවා වංගෙඩියෙහිලා කොටවන්නට අණ දුන්නේ කවුරුන්ද? අනුවණ අධිපතියකු නොවේද?
තම කුරිරු අධිපතීන් නිසා සිය දරුවන්ගේ වංගෙඩියෙහිලා කොටන මවුවරු අදත් සිටිති. පියවරුද සිටිති. ඒ ගැන කියවන ඔබ විමතියට පත්වෙනු ඇත. එය කවදා, කෙසේ, කවුරුන් විසින් කරන ලද්දක්ද යන්න දැන් ඔබට ගැටලු නැගෙනු ඇත. මඳක් නැවතී සිතන්න. අනුවණ අධිපතියකු යටතේ පීඩනයට පත්වෙන ආයතනයක සේවකයෙක් හෝ සේවිකාවක් ගැන හිතන්න. ඔහු හෝ ඇය මවක හෝ පියකු නම් තමා සිය අධිපතියාගේ නපුරට ගොදුරු වී නිවෙසට යන සෑම දිනෙකම සිය දරුවන්ගේ සිත නොහොත් මනස වංගෙඩියක දා කෙටුවේ නැතිද? තම පීඩනය විවිධාකාර ලෙස දරුවන් මත අතහැරියේ නැතිද? දරුවන්ගේ දියුණුව වෙනුවෙන් වෙන් කළ යුතුව තිබුණ කාලය අනුවණ අධිපතියාගේ නපුර ගැන තැවෙන්නට තව දුරටත් වැය කළේ නැතිද?
මේ පිළිබඳ ලියන්නට නම් තව බොහෝ දේ ඇත. එහෙත් දැන් අවශ්‍ය වෙන්නේ මේ සටහන් තව දුරටත් ලියා ඔබ වෙහෙසට පත්කිරීම නොවේ. එහෙත් දැන් අප සිතිය යුතුය. අනුවණ අධිපතින්ගේ නපුර ගැන මෙන්ම අප ගැනද අප සිතිය යුතු වේ. නපුරු අධිපතින් යටතේ දිවි ගෙවන්නේ කෙසේද? ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද යන්න ගැන අප දැන් සිතිය යුතුය. යහපත පිරි ලොවක් තනන්නේ කෙසේද යන්න පිළිබඳ දැන් අප සිතිය යුතුය. එහිදී “නුවණ” ජීවිතයට කෙතරම් වැදගත්ද යන්න ඔබට මෙනෙහි කර ගතහැකි වනු නොඅනුමානය.
ගවලෙන භාවනාවක්
දිගු කලෙක සිට දෙවියන් වහන්සේගේ පැමිණිල්ල දිවැසිවර යෙසායා වෙතින් මෙසේ එළිදැක්විණි.
‘මා විසින් හදා වඩා ඇති දැඩි කර ගන්නා ලද දරුවෝම මට විරුද්ධව කැරලි ගැසූහ. ගවයාට උගේ අයිතිකාරයා ගැන දැනුමක් ඇත. කොටළුවාට උගේ ස්වාමියාගේ පට්ටිය ගැන තේරුමක් ඇත. එහෙත් මාගේ ඉශ්රායෙල් සෙනඟට එවැනි දැනුමක් නැත. මාගේ සෙනඟට තේරුම් ගැනීමක් කොහෙත්ම නැත’. (යෙසායා 1:2-3) මිනිසාට දෙවියන් වහන්සේ වෙතට ළඟාවීමට ඉහලට නැගීමට නොහැකිවුයෙන්, අති උසස් වූ මණ්ඩලයෙහි වැඩි විසු දෙවියන්වහන්සේ පහලට බැස, මනුකය ගෙන, උපත ලබා මිනිසා අතර විසු සේක.
‘ධර්මයාණෝ මිනිසත් බව ගෙන අප අතර වැඩ විසු සේක’. (ශු.ජොහන් 1:14)
නත්තලේ මැදියම් රැයේ දිව්‍ය යාගයෙන් පසු ජනයා තෙරපි තෙරපී ඇදී යන්නේ ගවලෙනේ ගව ඔරුවේ නිදන ජේසු බිළිඳා බැහැදැකීමටය. පඬුරු පුදන්නටය. සැම දෙනාගේම ඇස යොමුවන්නේ ශුද්ධ වූ පවුල වෙතය. ගවලෙනේ ජේසුතුමා, මරියතුමිය, ජුසේ තුමා සිටිති. මේ තිදෙනා, එනම් ශුද්ධවූ පවුල, ලොවේ සෑම කිතුනු පවුලකම සංකේතය වෙයි.
දේව දුත ප්‍රකාශය
‘උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක. පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යැයි කියනු ලබන සේක. දාවින්ගේ සිංහාසනය දෙවි ස්වාමීන්වහන්සේ උන්වහනසේට ප්‍රදානය කරනු ලබන සේක. උන්වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සඳහටම රජකම් කරනසේක.’ දාවිත් රජුගේ පුත් සලමොන් කුමරු උපත ලත් සඳා, බෙත්ෂිබා, රාජකීය චාරිත්‍රානුකූලව, බිළිඳා රෙදිවලින් ඔතා තැබුවා සේ, මරියතුමීද, රජුන්ගේ් රජු වන සිය පුත් කුමරු රෙදිවලින් ඔතා යහන් තොටිලි නැතිවූයෙන් ගවඔරුවේ, වියලි පිදුරු මත තැබුවාය.
ගව ඔරුව සතුන්ගේ ආහාරය තබන ස්ථානයයි. ජේසු බිළිඳා නිදන ගව ඔරුව, කිතුනු ජනතාවගේ, ආත්මික ආහාරය වෙන ගැලවුම්කාරයාණන්ගේ මාංශයත් රුධිරයත් දරන පාත්‍රයේ සංකේතයයි. ගවඔරුවේ නිදන බිළිඳා ගැලවුම්කරුවාණෝය. දෙවියන් වහන්සේමය. මේ ස්වර්ගයෙන් පහළ වූ ජීවනදායක ආහාරයයි. පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන ලබන ගිවිසුමේ රුධිරයයි.
ශුද්ධ වු පවුලට පසෙකින් බැළුවන්ය. බැටළුවන් අහිංසකය, කීකරුය. එඩේරාගේ කටහඬ, හඳුනන, එඩේරා පස පසු යන සත්ත්ව විශේෂයකි. ගවලෙනේ බැටළුවෝ කිතු සමිඳුන්ගේ කට හඬ හඳුනන, එතුමන්ට සවන් දෙන, උන්වහන්සේ පසු පස යන කීකරු ජනතාව සංකේතවත් කරයි.
තැනක කොටළුවෙකි. කොටළුවා, දඩබ්බර, වහා කිපෙන, ඇතැම් විට පා පහර දෙන සතෙකි. ගවලෙනේ කොටළුවා ක්‍රිස්තුස් වහන්සේ හඳුනන, එහෙත් ඇතැම්විට, අකීකරුවන, විරුද්ධකම් පාන ජනතාව සංකේතවත් කරයි.
‘අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය වේවා’යි සටහන දෑතට ගත් දේව දුතයෙක් ගවලෙන මුදුනේ දැක්වේ.
දෙවිඳුන් ලොව උපත ලත් මොහොතේ ස්වාමින් වහන්සේගේ දූතයන් එඩේරුන්ට දර්ශනය වී ක්‍රිස්තොත්පත්ති මංගල පුවත සැලකළ ආකාරය මේ දේව දූතයා සිහියට නංවයි.
දේවදූත ප්‍රකාශ විශ්වාස කළ, එඬේරු, සිය බැටළු රැල තණ බිමෙහි අතහැර දමා දාවිත්ගේ නුවර, බෙත්ලෙහෙමේ උපන් ගව ඔරුවේ නිදන බිළිඳා බැහැ දැකීමට එහි ගියහ.
ගවලෙනේ ගැලවුම්කරුවාණන් බැහැ දැකීමට එහි ගිය එඩේරු, ක්‍රිස්තුස් වහන්සේ වෙත ඇදෙන විශ්වාසවන්ත කිතුනු ජනතාවගේ සංකේතයයි. එඬේරු දරුවා ගැන තමන්ට දැනුණ දේ ප්‍රකාශ කළහ. ඒ ඇසූ සියල්ලෝම එඩේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූහ. කිතු උපත ලෝකයා වෙත ප්‍රථම වරට ප්‍රකාශ කළ එඩේරු ලොව පුරා ගොස් සකල ලෝකයා හට සුබ අස්න දේශනා කරන ප්‍රජාවේ සංකේතයයි.
ගවලෙනට ඈතින් ජුදෙව්වන්ට රජු වන, උත්තමයාණන් බැහැ දැකීමට පෙරදිගින් පැමිණි ශාස්ත්‍රවන්තයන්ට මඟ පෙන්වූ අරුම පුදුම තරුවය. කිතු සමිඳාණන් වෙත පැමිණෙන සැම දෙනාගේ මඟ සලකුණ වන සංකේතය එයයි. එතුමාණෝ ජීවනයද, මාර්ගයද සත්‍යය වන සේක.
කිතු සමිඳාණෝ ලෝකයේ ආලෝකයයි. ‘ලෝකයේ ආලෝකය මමය. මා අනුගාමිවන්නා අඳුරෙහි නොහැසිර ජීවන සේ ආලෝකය ලබන්නෙහිය.’ (ශු. ජොහාන් 8:12)
ශාස්ත්‍රවන්තයෝ රන්ද, තුවරලාද, ගන්ධ රසයද පුදා වැඳ නමස්කාර කළෝය.
‘තාර්සිස්හි සහ ද්වීපවල රජවරු එතුමාට තෑගි ගෙනෙන්නෝය. ෂෙබා සහ සේබාහි රජවරු එතුමාට පඬුරු පුදන්නෝය. එතුමන් අභිමුව රජවරු වැඳවැටෙන්නේ යයි ගීතාවලියේ සඳහන්ව ඇත.’
(ගීතා 72 :10)
දෙව්මැදුරුවලද නිවෙස්වලද නත්තලට ගවලෙන සාදති. ගවලෙන හුදෙක් සැරසිල්ලක් නොව , අර්ථවත් කරුණු කාරණා, සංකේත රාශියකින් පිරි, භාවනාවට යෝග්‍ය දසුනකි. ගවලෙන වෙත අප යා යුත්තේ සමිඳුන් හැබැහින්, මසැසින් නොව මනසින් දැකීමටය. ඔබ සැමට සුබනත්තලක් වේවා!
කොරළවැල්ලේ ක්‍රිස්ටි ප්‍රනාන්දු
දිළිඳුන් රජුන් කරන නත්තල
නත්තල ආශ්වාදජනකය; සතුට හා සොම්නස ගෙනෙන සුළුය; නත්තලේදී සතුටුවීම සාධාරණය. මන්දයත් විශ්වාසී සමස්තයට ගැලවීම, විමුක්තිය උදාකරලීම පිණිස සිය ජීවිතය පූජා කළ, ජේසුස් ස්වාමින් වහන්සේගේ උත්පත්ති මංගල්‍යය නත්තලේ දී සිහිපත් කරන හෙයිනි.
නත්තල දිළිඳුන්ට සතුට ප්‍රීතිය උදාකර දිය යුතු අවස්ථාවකැයි ශුද්ධවූ සභාව අපට උගන්වනු ලබයි. ඉතා දිළිඳු ලෙස ගවහලෙක “ජේසු බිළිඳු උත්පත්තිය” සිදුවන්නට දෙව් පියාණන් ඉඩ හරින ලද්දේ මාලිගාවක වුවද එම උපත සිදුවන්නට ඉඩ තිබියදීය.
නත්තල, බෙදා හදා ගැනීමට සුදුසුම වකවානුවක් ලෙස සභා මාතාව අපට උගන්වන්නේ උස් පහත්, උගත් නූගත්, දිළිඳු - පොහොසත් කිසිදු ආකාරයක භේදයකින් තොරවය. දිළිඳුන් ලෙස මෙහිදී ගම්‍ය වනුයේ අඩු ආදායම්ලාභීන්ම යැයි අප වරදවා වටහා නොගත යුතුය. අධ්‍යාත්මිකව, මානසිකව, සමාජීයව දිළිඳුන් ද “දිළිඳු” යනුවෙන් අර්ථකථනය කෙරෙන බව අප සිතට ගත යුතුය.
ආර්ථික අසීරුතා කිසිවක් නොමැති අය අතර ද ඉහත කියැවුණු ආකාරයේ “දිළිඳුන්” අපට දැක ගත හැකි ය. එවැන්නන්ගේ “දිළිඳු” බව අපට ඇස්පනාපිට නොපෙනෙන්නට ඉඩ ඇත. චෛතසිකව දිළිඳු වූවන් ඇති හැකි අය අතර නැතැයි අපට කිසිසේත් සිතිය නිගමනය කළ නොහැකිය. අප ඇසුරු කරන්නන් අතර අපට එවැනි දිළිඳුන් මුණගැසුණහොත් ඔවුන් චෛතසිකව “පොහොසත්” කිරීමට කටයුතු කිරීම අපගේ යුතුකමය; වගකීම ය; අයිතිය ය.
ආර්ථික අසීරුතා ඇත්තන් වෙත දයා කරුණාව පෑම නත්තලේ දී අපෙන් අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. එවැනි පවුලක් හෝ දෙකක් තෝරාගෙන අපට හැකියාව ඇති පරිදි ඔවුන් නිරතුරු අත්දකින දුක, කඳුළින් මුදවාලන්නට අත්වැලක් සැපයීමට මෙවර නත්තලේදී අපට හැකිවෙතොත් වඩාත් ප්‍රීතිමත් අර්ථවත් නත්තලක් ගත කරන්නට අපට හැකිවනු නොඅනුමානය. මෙහිදී එම අතහිත දීම රහසේම කළ හැකි නම් විපාකය වඩාත් වැඩි වනු ඇත. “දකුණතින් දුන් දෙය වමත නොදනීවා”යි ජේසු සමිඳුන් දුන් දැක්ම අනුයන්නට අපි හිතට ගනිමු! “නත්තලේ අසිරිය” ඇඟට පතට දැනෙන්නට අපි වාසනාවන්තයෝ වන්නෙමු නම් අපි සැබෑ කිතුනුවෝ වෙන්නෙමු.
ජේසු සමිදාණන් දෙසූ දහම ජීවිතය තුළ ‘ජීවත්’ කිරීමට අපි ප්‍රායෝගිකව වෙර දරමු. දෙව් පියාණෝ ලෝවාසී සමස්තයට විමුක්තිය උදාකර දීම සඳහා සැබෑ ලෙසම සිය පුතනුවන් දායාද කළ සේක. එයින් නොනැවතුණු උන්වහන්සේ මරණයට පත්වූ තම පුතනුවන් තෙදිනකින් මරණය පරාජය කර විජයග්‍රාහීව උත්ථාන කළ සේක. එදා පටන් උන්වහන්සේ සගයේ මෙන්ම අප අතර ද වාසය කරමින් අපට අතහිත දෙන සේක. උන්වහන්සේ අප ගලවාගෙන අවසන්ය. ප්‍රේමවන්ත පියාණන් වන දෙවිසමිඳාණෝ දුබල, දුර්වල, නිතර පවට ඇදවැටෙන අපට අකීකරු පුත්‍රයාගේ උපමා කථාවේදී මෙන් මුළුමණින්ම සමාව දී අප වැළඳගන්නා සේක.
නත්තලේ දී අප ද වසර පුරා එකිනෙකා අතින් වූ වැරදිවලට හදපත්ලෙන්ම සමාව යදිමු; සමාව දෙමු. යහපත් පාපොච්චාරයක් කර, අධ්‍යාත්මික පරිශෝධනය කර ගත් ආත්මයක් ඇතිව නත්තල සමරන්නට හිතට ගනිමු. සමාව දීමේ හා සමාව ගැනීමේ නත්තලක් ප්‍රායෝගිකව අත්දකින්නට නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය යාගය ප්‍රයෝජනයට ගැනීමට සමහර පූජාප්‍රසාදිවරුන් ගන්නා වෑයම අතිශය වැදගත්ය. එකිනෙකාට සාමය පැතීමේ අවස්ථාව ඒ සඳහා කදිම අවස්ථාවක් ලෙස අපි දකිමු!
නත්තල “ආවෝ ගියෝ” න්‍යායයෙන් ඈත්වී, වසර පුරාවට නත්තලේ දී ගන්නා යහ තීන්දු තීරණ ක්‍රියාවට නැංවීමට සිතට ගත්තේ නම් එය කෙතරම් අපූර්ව ආදර්ශයක් වේද? තම තමන්ට හැකියාව ඇති පරිදි වසර තුළදී කීපවතාවක්වත් ප්‍රජා සත්කාරක ක්‍රියාකාරකම්වල නියැලීමට මීසම් මට්ටමෙන් තීන්දුවක් ගැනීමට මීසම් සේවක ගරු පියවරු හා මීසම් ධර්ම සේවා සභා මූලිකයෝ පියවර ගන්නේ නම් වසර පුරා නත්තලේ අසිරිය අත්දකින්නට හැකි වනු නොඅනුමානය.
නත්තල බාහිරව සැමරීම මුළුමණින්ම අධෛර්ය කළ යුතු යැයි අපට නොහැඟේ. බාහිරව නත්තල් සූදානම් නව වසරට හොඳ සූදානමකි. ගේ දොර වතුපිටි අලංකාර කර, නත්තලට ඇරියුම් කිරීමක් වන එම සූදානම “අධ්‍යාත්මික සූදානම” ට ද හොඳ ප්‍රවේශයක් ගෙනදෙන බව අපට හැඟේ.
“ජේසු බිළිඳු උත්පත්තිය” අපට කිසිසේත් ලුහුකොට, සුළුකොට සැලකිය නොහැකිය. එය එසේ වන්නේ නත්තලේ දී සිහිපත් කෙරෙන සාමයේ කුමරයාණන්ගේ නැවත ආගමනයට අප සුදුසු පරිදි හැඩගැසීමට ද අපි හිතට ගත යුතු හෙයිනි. “අලුත් අහසක් අලුත් පොළොවක්” සඳහා පෙර සූදානම නත්තලෙන් නත්තලට ඇති කර ගැනීමට අප හිතට ගතයුත්තෙමු. ශු. බයිබලයේ අවසන් ග්‍රන්ථයෙන් ලෝ වාසී අපට ඉඟි කරන ජේසු සමිඳාණන්ගේ නැවත ආගමනය තව බොහෝ ඈත යයි සිතා රිසිසේ පවට ඇදී යමින් ජීවත් වීම කිතුනු අපට කිසිසේත් තරම් නොවේ. “එළිදරව්වෙන්” අපට ඉඟි කරන ඒ “අලුත් අහස අලුත් පොළොව” කවදා උදාවේදැයි හරියාකාරව අප නොදනිතත් ඊට සූදානමින් දිවි ගෙවීම අපගේ යහපත පිණිස වන්නේමය.
නත්තල අපට නියගයෙන් උරුම කරදී ඇති “සන්තෘෂ්ටිය” යුක්තිසහගතව විඳදරා ගනිමින්, අනුනට හිරිහැරයක් නොවන අයුරින් පමණක් නොව අනුන්ට සෙතක් සැලසෙන පරිදි ගත කිරීමට අපි තරයේ සිතට ගනිමු.
නත්තලේදී ශුද්ධවූ පවුලේ තිබූ මිහිරියාව අප පවුල්වලටද වැද්ද ගැනීමට අවැසි පරිසරයක් ඇති කර ගැනීමට වෙහෙසෙමු. අප සසුන්සුරන්නේ වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිරතුරු අපට ජීවිතාදර්ශයෙන් ලබා දෙන ප්‍රායෝගික අත්දැකීම් අප ජීවිතවලට ද නතු කරගනිමින් අප අදහන දහම ජීවිතය තුළ ප්‍රායෝගිකව “ජීවිගැන්වීම” ට හිතට ගනිමින් මෙම නත්තලේ දී හදවතින්ම එකිනෙකාට සුබ නත්තලක් ප්‍රාර්ථනා කරමු. එම ප්‍රාර්ථනය “දිනමිණ’ පාඨක සංසයටද නිබඳව ලැබේවා යි අපි ප්‍රාර්ථනා කරමු.!සැමට අසිරිබර නත්තලක්....!!!
ඩික්සන් කොංගනීගේ
රාගම විශේෂ
ජොසපියානු කැරොල් මෙහෙය
“ආලෝකයේ ආලෝකය දිලේවා” යන තේමාව කොටගත් කොළඹ 10, සාන්ත ජෝශප් විදුහල් සාන්ත සිසිලියා ගායනා කණ්ඩායම ඉදිරිපත් කරනු ලැබූ “ජොසපියානු නත්තල් කැරොල් ගායනා මෙහෙය” පසුගියදා එම විදුහලෙහිදී පැවැත්විණි. එම උත්සවය ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වතිකානු අපොස්තලික තානාපති, පියරේ න්ගුයෙන් වෑන් ටොට් අගරදගුරු හිමියෝ ජේසු බිළිඳා ප්‍රතිමාව තැන්පත් කළ අයුරු. විදුහල් අදියුරු රංජිත් අන්ද්‍රාදි පියතුමා ද එහි වේ. මෙහිදී ජ්‍යෙෂ්ඨ සිසු ගායනා කණ්ඩායම නත්තල් කැරොල් ගායනයක් ඉදිරිපත් කළ අයුරු.
සේයාරූ - වත්තල විශේෂ - ජෝශප් පයස් විසිනි
වරාය නගරය අනාගතයට ආයෝජනයක්
දේශපාලන අරමුණු වෙනුවෙන් මෙවැනි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති කළ වැරදිසහගත අර්ථ දැක්වීම් හමුවේ ජනතාව තුළ ඇති කරන ලද බිය පළමුව තුරන් කළ යුතුය. එය කළ යුතු හොඳම ආකාරය වන්නේ මෙය ඉතාමත් විනිවිදභාවයෙන් සිදුවන ගනුදෙනුවක් බව ජනතාවට තහවුරු කිරීමය. පෝට්සිටියේ යම් තැනක යම් වරදක් නොවේ නම් ජනතාව දැනගත යුතුම කරුණු සැකහැර දැනගැනීමට ඉඩහැරීමේ නොහැකියාවක් ආණ්ඩුවට තිබිය නොහැක.
භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය යන මූලික ආර්ථික සම්පත් මත රටක සංවර්ධනයේ තරම තීරණය වේ. එහිදී ද භූමිය යන සාධකය අතිශයින් තීරණාත්මක ය. මන්ද බොහෝ විට අපට භූමියේ දැකිය හැක්කේ ක්ෂය වීමකි. රටක ජනගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ භූමිය සම්බන්ධයෙන් බොහෝ අර්බුද උද්ගත වන අතර එවන් වාතාවරණයකදී එම රටෙහි භූමියට අලුතින් භූමි ප්‍රමාණයක් එකතුවීම දැකිය හැක්කේ ඉතාමත් සාධනීය කරුණක් ලෙස ය. එබැවින් 2014දී ආරම්භ කළ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝට්සිටි) මඟින් ගාලුමුවදොර පිටිය දෙසට වන්නට ඇති හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් මුහුද ගොඩකිරීමෙන් ශ්‍රී ලංකාවේ භූමියට අලුතින් එකතු වීම මෙරට සෑම පුරවැසියකුට ම සතුටු විය හැකි තත්ත්වයකි.
නව වෙළඳ නගරයක්
වර්තමානය වන විට කොළඹ නගරය දැකිය හැක්කේ ඉතාම ජනාකීර්ණ, සංකීර්ණ සහ තදබදයෙන් යුක්ත කලාපයක් ලෙස ය. පෝට්සිටි ව්‍යාපෘතියත් සමඟ නව මූල්‍ය නගරයක් නොඑසේ නම් වෙළෙඳ නගරයක් නිර්මාණය කිරීමේ හැකියාව පවතී. එලෙස ඉදිවන මූල්‍ය නගරයක ව්‍යාපාර, නිවාස සහ වෙනත් ඉදිකිරීම් සඳහා විශාල වශයෙන් භූමිය වෙන් කිරීමක් දැකිය හැකි ය. ලොව පුරා මූල්‍ය නගර පිළිබඳ සලකා බැලීමේදී වර්තමානය වන විට ඩුබායි රාජ්‍යයට හිමි ව ඇත්තේ ඉතා ප්‍රබල තත්ත්වයකි. ඒ හා තරගකාරී මට්ටමකින් පවත්වාගෙන යා හැකි මූල්‍ය නගරයක් පෝට්සිටි ව්‍යාපෘතියේ සංවර්ධනයත් සමඟ කොළඹ නගරය තුළ නිර්මාණය වනු ඇතැයි අපට අපේක්ෂා කළ හැකි අතර එමඟින් ජාත්‍යන්තර වශයෙන් අත්කර ගත හැකි වාසි සහගත තත්ත්වයන් ද බොහෝමයකි. රට තුළට ආයෝජකයන් සහ ආයෝජන අවස්ථාවන් ගලා ඒම සහ නව කර්මාන්ත නිර්මාණය වීම ඒ අතර දැකිය හැකිය. ආයෝජකයන්ට ආරාධනා කිරීමත් සමඟ විදේශීය ආයෝජකයන් විශාල ප්‍රමාණයක් නව මූල්‍ය නගර වෙත ඇදී එනු ඇතැයි අපේක්ෂා කරන අතර දේශීය ආයෝජකයන්ට ද මෙය සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. මෙයාකාරයෙන් බලන කල පෝට්සිටිය මෙරට අනාගත ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කෙරුණු දැවැන්ත සහ සුවිශේෂී ආයෝජනයකි.
ආරම්භයේ පටන් පෝට්සිටිය හා බැඳුණු ගැටලු සහගත කරුණු කිහිපයක් ද විය. ඒ අනුව පළමුකොට අවධානය යොමු වූයේ ස්වභාවික භූමිය කෘත්‍රීම ව වෙනස් කිරීමක දී එතුළින් ඇතිවිය හැකි පාරිසරික සාධක සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාව නම් මේ දිවයින ස්වභාවික ව යම් හැඩයක් ගෙන පැවති අතර ඒ හරහා මුහුදු ජල ගමන් කිරීම, රළ ගමන් කිරීම් වැනි සංසිද්ධීන් ක්‍රමවත්ව සිදුවිණි. භූමියේ හැඩය කෘත්‍රීම ව වෙනසකට ලක්කළ විට එතුළින් ස්වභාවික පරිසරයට සිදු විය හැකි බලපෑම කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් ලබාගත යුතු සේ ම යම් හෙයකින් අහිතකර බලපෑමක් ඇතිවිය හැකි නම් ඒ වෙනුවෙන් ද පිළියම් යෙදිය යුතු ය. විශාල ආයෝජනයක් හරහා සිදු වන මෙවන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකදී ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකොට ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
අලුතින් එකතු වූ නව භූමියේ දේපළ අයිතිය සම්බන්ධයෙන් ද ගැටලු සහගත තත්ත්වයක් පැවතිණි. පෝට්සිටියෙන් යම්කිසි ප්‍රමාණයක් චීනයට පැවරෙන්නේ ද? නොඑසේ නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් බලපෑමක් කළ හැක්කේ කවරාකාරයෙන් ද? යනාදී කරුණු පිළිබඳ නීතිමය තත්ත්වය ද වඩා වැඩි අවධානයකට යොමු විය යුතු ය. මන්ද යම් ආකාරයකින් සින්නක්කර පැවරීමක් සිදු වුවහොත් වෙරළේ සිට නාවික සැතපුම් 12ක් දක්වා අපට අයත් වන භෞමීය මුහුදු ප්‍රදේශය ද භූමියේ සින්නක්කර අයිතියත් සමඟ චීනයට අයත් වන්නේ ද; එවන් අයිතියක් ඇති වුවහොත් මුහුදු ගමන් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් යම් ආකාරයක අවසරයක් ගත යුතු ද යනාදී ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඇත්තේ යම් ආකාරයක අපැහැදිලි තත්ත්වයකි. රජය ඉදිරිපත් වී මෙවැනි කරුණු සම්බන්ධයෙන් සැබෑ ලෙස ම පවතින නීතිමය තත්ත්වය පිළිබඳ ජනතාව තුළ නිවැරදි අවබෝධයක් ඇති කරවීම අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස දැකිය හැකි අතර මෙරට භෞමික අඛණ්ඩතාවයට සහ මුහුදු සීමාවේ අයිතියට අහිතකර බලපෑමක් එල්ල නොවන්නේ නම් පෝට්සිටියේ දැකිය හැකි වෙනත් වරදක් නැති තරම් ය.
කුඩා දූපතක් වන මෙරට, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝට්සිටි) හරහා යම් තරමකින් විශාලවීමක් දැකිය හැකි අතර අලුතින් එකතු වූ භූමි කොටසේ පරිපාලනය සිදු වන්නේ කෙසේ ද? යන කාරණාව පිළිබඳව ද අපට තවම පැහැදිලි අවබෝධයක් නැත. ඒ වෙනුවෙන් නව නගර සභාවක් නිර්මාණය කරන්නේ ද? නොඑසේ නම් නව නගරය කොළඹ නගර සභාවේ පරිපාලනය යටතට ම ගෙන එන්නේ ද, විශේෂයෙන් ම මූල්‍ය නගරය නිර්මාණය කිරීමෙන් අනතුරු ව ආගමන විගමන නීතිරීති සංශෝධනය කිරීමට සිදු වන්නේ ද, යන කාරණා ද විශේෂ අවධානයට නතු විය යුතු ඒවා ලෙස සැලකිය හැකිය. මේ පිළිබඳ ජනතාව තුළ නිවැරදි අදහසක් ඇති කරවීම රජයේ යුතුකම වන අතර එය සිදු කළ යුත්තේ වඩාත් විනිවිද භාවයකින් යුක්ත ව ය. මේ සියලු කාරණා නිර්දේශපාලනීකරණය කොට බලන විට කිසිදු පුද්ගලයකුට මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ අවාසි සහගත තත්ත්වයක්, අයහපතක් හෝ වරදක් දැකිය නොහැකි බව මගේ අදහස යි.
සංවර්ධන උපාය මාර්ග
මෙම ව්‍යාපෘතියට අදාළව ක්‍රියාවට නැංවීමට නියමිත විවිධ සංවර්ධන උපාය මාර්ග රැසකි. ඒ ඔස්සේ විදේශ ආයෝජන ගලාඒම, නව ව්‍යාපාරික අවස්ථා ඇතිවීම, නව ඉදිකිරීම් සිදු වීම, සංචාරක ව්‍යාපාරයට වැඩි දායකත්වයක් ලැබීම අපේක්ෂිත ආකාරයෙන් සිදුවුව හොත් එතුළින් මෙරට ආර්ථිකය අත්කරගනු ඇත්තේ සැලකිය යුතු වර්ධනයකි.
මේ වන විට අප මුහුණපාන ප්‍රධානතම ගැටලුවක් වී ඇත්තේ ආනයනවලට සාපේක්ෂව අපනයන ඉතාම පහළ මට්ටමක පැවතීම ය. එසේ හෙයින් අපනයන වැඩි කරන ආර්ථිකයක් නිර්මාණය කිරීම විශේෂ අවධානයක් ලබාදිය යුතු කරුණකි. එසේ ම අප බොහෝවිට හුරු ව සිටින්නේ වෙළෙඳ ආර්ථිකයකට වුව ද අපට උචිත වන්නේ නිෂ්පාදන ආර්ථිකයකි. අප හැකි ඉක්මනින් වෙළෙඳ ආර්ථිකයෙන් නිෂ්පාදන ආර්ථිකයකට නැඹුරු විය යුතු අතර මෙරට තුළ භාණ්ඩ නිෂ්පාදනයට සහ ඒ තුළින් රැකියා අවස්ථා ඇති කිරීමට ප්‍රමුඛස්ථානයක් ලබාදිය යුතු ය. එපමණක් නොව ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය රට තුළ ගලා නොඒම ද අප මුහුණපාන ගැටලුවක් වන බැවින් වැඩි වශයෙන් උත්සාහ ගත යුත්තේ විදේශ විනිමය රට තුළට ගලා එන ව්‍යාපාර සහ ආයෝජන දිරි ගැන්වීමට ය. පෝට්සිටිය දැකිය හැක්කේ එකී සියලු අරමුණු ළඟා කරගත හැකි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ය.
හම්බන්තොට වරාය නගරය ද පෝට්සිටිය හා සමාන ව අවධානයකට නතු විය යුතු ය. මේ සංවර්ධන ව්‍යාපෘති දෙකම චීන ආයෝජනය. හම්බන්තොට වරාය නගරය තුළ ද නිර්මාණය වෙමින් පවතිනුයේ අති විශාල ආර්ථික මධ්‍යස්ථානයකි. ඒ හරහා අපනයනවලට යහපත් බලපෑමක් ඇති වේ යැයි අපේක්ෂා කළ හැකිය. එසේ ම පෝට්සිටිය සහ හම්බන්තොට වරාය පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ වෙන් වෙන් වශයෙන් නොව, ලෝකයේ මේ වන විට සිදුවන සමස්ත සංවර්ධනයට සමගාමීව ය. වර්තමානය ලෝකයේ සමස්ත සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ‘එක් තීරයක් එක් මාවතක්’ සංකල්පය ඉතා සුවිශේෂීය. එක් තීරයක් එක් මාවතක් සංකල්පය ඔස්සේ යන විට සේද මාවතේ ඉතා ම වැදගත් සන්ධිස්ථානය වන්නේ ශ්‍රී ලංකාව නම් කුඩා දූපත ය. වර්තමානයේ මුහුදු ගමන් මාර්ගය පිළිබඳ අවධානය යොමු කරන විට ජපානයේ හෝ චීනයේ සිට යම් භාණ්ඩ ප්‍රමාණයක් මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරන්නේ නම් එම භාණ්ඩ යුරෝපය වෙත ළඟා වන්නේ සිංගප්පූරුව හරහා විත් ශ්‍රී ලංකාවට පහළින් ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව ය. චීනය යෝජනා කරන නවතම සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘ක්‍රා’ (Kra) හි අපේක්ෂාව වී ඇත්තේ තායිලන්තය ආසන්නයේ විශාල ඇළක් නිර්මාණය කොට චීනයේ සිට එන සියලු නැව් සිංගප්පූරුව හරහා ගමන් නොකොට කෙටි මාර්ගයකින් යුරෝපයට යැවීම ය. යම් හෙයකින් එය යථාර්ථයක් බවට පත්වුවහොත් සිංගප්පූරුව අද සිදු කරන ආර්ථික කටයුතුවලට වඩාත් ම සුදුසු විකල්පය වන්නේ ශ්‍රී ලංකාව ය. එනම් එක් තීරයක් එක් මාවතක් සංකල්පය යටතේ ‘ක්‍රා’ (Kra) යථාර්ථයක් වන විට ලෝකයේ ඉතා ම කාර්යබහුල වරායක් බවට පරිවර්තනය කළ හැකි හොඳ ම වරාය වනු ඇත්තේ හම්බන්තොටය.
මෙම සමස්ත සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සලකා බැලීමේදී හම්බන්තොට වරාය සහ පෝට්සිටියේ ප්‍රතිඵල අපට ලැබෙන්නෙ අද හෙට නොවේ. නමුත් සමස්ත ව්‍යාපෘතිය පුරා ම ශ්‍රී ලංකාවේ මෙම සංවර්ධන ක්‍රියාවලි ද්විත්වය හරහා විශාල පරිවර්තනයක් කළ හැකි බව නම් විශ්වාස ය. චීනය යෝජනා කොට ඇත්තේ ඔවුන්ගේ ඇඟලුම්, වාහන, විදුලි උපකරණ ආදී නිෂ්පාදන බොහොමයක් ශ්‍රී ලංකාව තුළ නිපදවා හම්බන්තොට සිට යුරෝපයට ප්‍රවාහනය කිරීමට ය. එවිට අප අපේක්ෂා කරන නිෂ්පාදන ආර්ථිකය මෙරට තුළ නිර්මාණය කළ හැකි අතර එතුළින් අපනයන මුල්කරගත් ආර්ථිකයක් ද ඇති වේ. එසේ ම විදේශ විනිමය ගලාගෙන ඒම ද සිදු වේ.
මෙම සංවර්ධන ව්‍යාපෘති දෙස බලන විට පැවති ආණ්ඩුවේ සහ පවතින ආණ්ඩුවේ දැකිය හැකි වරද නම් මේ සඳහා දේශපාලනය මුසු කිරීම ය. නමුත් දේශපාලන කණ්ණාඩිය ගලවා පසෙකින් තැබූ විට දැකිය හැක්කේ මේ සෑම සංවර්ධන ක්‍රියාවලියක් ම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා ම සුබදායි, ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට හේතු වන බව ය. එම සංවර්ධනය අනාගත පරපුරට ඉතා හොඳින් භුක්ති විඳිය හැකි තත්ත්වයක් උදා වනු ඇති බවය.
ආණ්ඩු පෙරළියත් සමඟ 2015 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පෝට්සිටිය නවතා දමන බවය. නමුත් ඔවුන්ට ආණ්ඩු බලය ලැබී ටික කලක් ගත වන විට, නවතා දමන බව කී පෝට්සිටිය පෙරටත් වඩා හොඳින් ක්‍රියාත්මක වූ බව අපට මතක ය. එසේනම් පෝට්සිටියේ වරදක් තිබිය හැකි ද? පැවති ආණ්ඩුවත් පෝට්සිටිය ක්‍රියාවට නංවන්නේ නම්, පවතින ආණ්ඩුවත් ක්‍රියාවට නංවන්නේ නම් ඒ ආණ්ඩුව කරන විට මේ ආණ්ඩුව දොස් නඟන්නේත් මේ ආණ්ඩුව කරන විට ඒ ආණ්ඩුව දොස් නඟන්නේත් පෝට්සිටියේ වරදක් නිසා නොව, එය දේශපාලනයේ ස්වභාවය නිසා ය.
සැකය දුරුකිරීම
දේශපාලන අරමුණු වෙනුවෙන් මෙවැනි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති කළ වැරදිසහගත අර්ථ දැක්වීම් හමුවේ ජනතාව තුළ ඇති කරන ලද බිය පළමු ව තුරන් කළ යුතු ය. එය කළ යුතු හොඳ ම ආකාරය වන්නේ මෙය ඉතාමත් විනිවිදභාවයෙන් සිදුවන ගනුදෙනුවක් බව ජනතාවට තහවුරු කිරීම ය. පෝට්සිටියේ යම් තැනක යම් වරදක් නොවේ නම් ජනතාව දැනගත යුතු ම කරුණු සැකහැර දැනගැනීමට ඉඩහැරීමේ නොහැකියාවක් ආණ්ඩුවට තිබිය නොහැක. එජාප ආණ්ඩුව පැවති කාලයේ පෝට්සිටිය සම්බන්ධයෙන් ජනතාව තුළ යම් සැකයක් පැවතියේ ජාත්‍යන්තරයට නැඹුරු, පරගැති සහ අගතිගාමී ආණ්ඩුවක් ලෙස එජාපයට වැදී තිබුණු ලේබලයත් සමඟ ය. නමුත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ එවන් ආකල්පයක් නොවේ. ඇතැම්විට පෝට්සිටිය එජාප ආණ්ඩුව යටතේ විවෘත කළේ නම් බොහෝ සෙයින් විරෝධතා පැනනඟින්නට ඉඩ පැවති නමුත් මේ ආණ්ඩුව යටතේ එවැන්නකට අරඅඳින බවක් පෙනෙන්නට නැත. කෙසේ වෙතත් මෙය විනිවිදභාවයකින් යුතුව සිදු වන ගනුදෙනුවක් බව ජනතාවට පසක් කරදීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එය වඩා උචිත වනු ඇත. එසේ ම ඕනෑම කාසියක දෙපැත්තක් ඇති බව අපි දනිමු. පෝට්සිටියේ ද යහපත් භාවිතයන් සේ ම යම් යම් අයහපත් තත්ත්වයන් පවතින්නේ නම් ඒ පිළිබඳව ද ජනතාව සමඟ විවෘත ව කතා කිරීම වැදගත් ය. සිදුවිය යුත්තේ ජනතාව කරුණු නොදැන මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගැනීම නොව, නිරාකරණය කරගත යුතු තැන් ඇතොත් සාකච්ඡාවෙන් සහ අවබෝධයෙන් නිරාකරණය කරගැනීම ය.
කාංචනා සිරිවර්ධන
රට නැඟුමට ජනපති ගත් මඟ
පරිසරයට හිතකර ආකාරයකින් සංවර්ධන කටයුතු සිදු කිරීම මෑතකාලීනව දක්නට ලැබෙන හොඳ ප්‍රවණතාවයකි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් පරිසර ආරක්ෂාව හා පරිසර අලංකරණය නැවත විධිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. කොළඹ නගරයේ නිදහස් චතුරස්‍රය, ගාලු මුවෙදාර පිටිය, පිටකොටුව අසල පවිත්‍රතා සේවාවන් සිදුවන අයුරු නිරීක්ෂණය කිරීමට පොලිස් නිලධාරීන් යොදා ගෙන ඉතා කඩිනමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමෙන් සුන්දර රටක් ගොඩනැඟිය හැකිය. ආකල්පමය වෙනස්කම් සිදුකිරීම මඟින් රටේ සෑම පුරවැසියකුම කසළ කළමනාකරණය සඳහා වන පොදු ජාතික අරමුණක් වෙනුවෙන් දායක කර ගත යුතුය. මෙය ආරම්භ විය යුත්තේ පුරවැසියාගේ හදවතිනි. රටේ සෑම පුරවැසියකුම කසළ කළමනාකරණය කිරීමේ ජාතික අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන්නකු බවට පත් කළ යුතුය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම පාහේ දක්නට ලැබුණේ අර්බුද හා පසුබෑම්ය. එහෙත් වත්මන් රජය ජනතාවට අවශ්‍ය භෞතික වර්ධනයක් කරා රට රැගෙන යන ආකාරය දැකගත හැකිවීම සතුටට කරුණකි. ගුණාත්මක වශයෙන්, මානුෂීය වශයෙන් ජනතාව බලාපොරොත්තු වන සංවර්ධන ක්‍රියාවලියක් වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වූ සැණින්ම ක්‍රියාත්මක කිරීම ඊට හේතු වී තිබේ. රට අභ්‍යන්තරයේ සිදුවන දේශපාලන වෙනස්කම්, ආරක්ෂක තත්ත්වය, ගමනාගමනයේදී සිදුවන අවහිරතාවලට විසඳුම් සෙවීම, ඉදිරිපත් කිරීම හා ක්‍රියාත්මක කිරීම වර්තමාන රජයේ පැවත්මට සාධනීය බලපෑමක් සිදුකර ඇත.
නව රජය බලයට පත්කිරීමෙන් මෙරට ජනතාව බලාපොරොත්තු වූයේ දේශපාලන සදාචාරය හා කඩිනම් ආර්ථික වාද්ධියක් කරා රට ගමන් කරනු දැකීමයි. ජනතාව අපේක්ෂා කළ ආකාරයටම පොදුජන පෙරමුණ ආණ්ඩුව බලයට පත්වීම රටේ ආර්ථිකයට මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රයන්ට හිතකර යැයි ආණ්ඩුව ගනු ලැබූ පියවර ඔස්සේ විශ්වාස කළ හැකිය.
ශ්‍රී ලංකාවේ මෙතෙක් බලයට පත් වූ කිසිදු ආණ්ඩුවක් කෙටි කාලයක් තුළ සිදු නොකළ ව්‍යවස්ථාදායක, විධායක හා පරිපාලන වෙනස්කම් රැසක් වත්මන් ආණ්ඩුව විසින් සිදුකර තිබේ. ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් කිරීමේ අරමුණින් මෙම කාල පරිච්ඡේදය තුළදී ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ වඩාත් සාධනීය මට්ටමක පවතී. රටේ බහුතර ජනතාව වත්මන් ජනාධිපතිවරයා පිළිබඳ පැහැදිලි විශ්වාසයක් ගොඩනඟා ගැනීමට එය හේතු වී ඇත. රටේ දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් සිදුවීමේ පෙර නිමිති දෘෂ්‍යමාන වීමද එයට සෘජුවම බලපා ඇත.
ලෝකයේ දියුණු රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය කළමනාකරණය ඉතාමත් අඩු මට්ටමක පවතී. ඒ සම්බන්ධයෙන් ස්ථීර වැඩපිළිවෙළක් සකස් කර ජාතික ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කළ යුතුයි. එසේම රටේ මුදල් නාස්තිය අවම කිරීමට සුදුසු ක්‍රමවේදයක් ඉතා ඉක්මණින් සකස් කළ යුතුය. සෑම රාජ්‍ය ආයතනයකටම මේ සම්බන්ධයෙන් කළ යුතු රාජකාරි කොටසක් වෙන්කළ හැකිය.
පොදු දේපළ සුරක්ෂිත කිරීම, පොදු දේපළ අයථා පරිදි ප්‍රයෝජනයට ගැනීම හා නාස්ති කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග වඩා සාධනීය මට්ටමකට රැගෙන ඒමටද කටයුතු කළ යුතුය. දැනට මේ සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම හා ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හොඳ ප්‍රවණතාවයකි.
විශේෂඥ සේවය
අප රටේ රාජ්‍ය ආයතන අභ්‍යන්තර කළමනාකරණයේ පැහැදිලි වැඩපිළිවෙළක් දක්නට නොලැබීම කනගාටුදායකය. මේ සම්බන්ධව නීතිය බලාත්මක කිරීමට පෙර රජයේ ප්‍රධාන ආයතනවල ක්‍රියා පටිපාටිය අවධානයට ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදයක් ලෙස පෙන්වාදිය හැකිය.
අල්ලස් හා දූෂණය තුරන් කළ එකම රට නවසීලන්තය වේ. වර්තමාන ස්කැනේඩියානු රටවලත් එවැනි තත්ත්වයක් දැකගත හැකිය. ඕස්ට්‍රේලියාව, මැලේසියාව හා යුරෝපා රටවල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා හෝ එවැනි ආයතන කිසිවක් නොමැතිව දූෂණය තුරන් කරගෙන ඇත. මැලේසියාවේ අල්ලස හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවය එරට සංවර්ධන ක්‍රියාදාමයට ප්‍රබල බලපෑමක් එල්ල කළේය. මෙම කරුණු සලකා බලමින් සහ ශ්‍රී ලංකාවේ පසුගිය වසර කිහිපය තුළ මෙවැනි කරුණු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇති ආකාරය සැලකිල්ලට ගනිමින් අදාළ පියවර ගැනීම වඩාත් සුදුසු යැයි හැඟේ.
අල්ලස් හා දූෂණ සම්බන්ධ නඩු 3964කින් 2015 වර්ෂයේදී විසඳා ඇත්තේ නඩු 108කි. 2016 වසරේ නඩු 3450 කින් නඩු 87ක්ද, 2017 වසරේදී නඩු 2768කින් නඩු 73ක් ද වැනි අඩු ප්‍රමාණයකි. ඇතැම් නඩු විසඳීමට සාක්ෂි ප්‍රමාණවත් නොවීම ඇතැම් සාක්ෂි අතුරුදහන් කිරීම වැනි හේතු මීට බලපා තිබේ. 2018 වසෙර්දී විසඳා ඇති නඩු ප්‍රමාණය පෙර වසරවලට සාපේක්ෂව වැඩි වී තිබීම ඉතිහාසගත වාර්තාවකි.
මෙම තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට විශේෂඥතාවෙන් යුතු කණ්ඩායමක් බඳවාගනිමින් වඩාත් පලදායී ආකාරයට හැසිරවීම වඩාත් සුදුසු ක්‍රමවේදයකි. මෙය සමාජයේ එක් කොටසකට පමණක් සිදුකළ හැකි කාර්යයක් නොවේ. සමාජයේ එක් කොටසක් පමණක් ඊට සහය දීම ද ප්‍රමාණවත් නොවේ. ජනතාව තුළ ආකල්ප සංවර්ධනය කරමින් වඩා පලදායී මහජන සම්බන්ධතාවයක් ගොඩනඟා ගනිමින් ජනතාවගේ සෘජු දායකත්වය ලබා ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතුය.
ආර්ථක වර්ධනයක් උදාකරගැනීමේ අරමුණින් රැකියා අවස්ථා ඇති කිරීමට කටයුතු කිරීම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කරමින් අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම රටේ ජනතාවගේ අභිවෘද්ධියට හේතු වේ. එහිදී ජනමාධ්‍ය, පාසල් හා විශ්වවිද්‍යාල ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ හා පෞද්ගලික අංශ ආදී සෑම ක්ෂේත්‍රයකම ප්‍රතිපෝෂණයක් ලබා ගැනීමට කටයුතු කිරීමෙන් මෙහිදී වඩාත් සාර්ථක ප්‍රතිඵල අපේක්ෂා කළ හැකිය. ලෝකයේ බලවත් රටවල්වල අධ්‍යාපන පටිපාටිය සාර්ථක වී තිබෙන්නේ ද ඉහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම නිසාය.
ශ්‍රී ලංකාව දුගීභාවයෙන් නිදහස් කර ගැනීමට නම් රටේ ජනතාවට හොඳ අධ්‍යාපන පසුබිමක් ගොඩනැඟිය යුතුය. ජනතාවට වගකීමට බැඳී සිටින දේශපාලන නායකයන් ලෙස මෙම අභිමතාර්ථ කරා ළඟාවීමේදී උපරිම වශයෙන් කැපවීම අත්‍යවශ්‍ය වේ.
රාජ්‍ය යාන්ත්‍රණය නිර්දේශපාලනීකරණය කිරීම ලෝකය කාලයක සිට මුහුණ දෙන ප්‍රමුඛ අභියෝගයකි. වර්තමාන ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය පෙර පැවැති තත්ත්වයට බොහෝ ප්‍රජාතන්ත්‍රවාදීව ශක්තිමත් වන ආකාරය දැකගත හැකිය. රජයක් වශයෙන් ලැබූ මෙම ජයග්‍රහණය වර්තමානයට පමණක් නොව අනාගතයේදී සාධනීය බලපෑමක් සිදු කිරීමට ද ඉවහල් වේ.
රාජ්‍ය නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් හා විනය පාලනය යනාදිය අගතිගාමීත්වයෙන්, පක්ෂපාතීත්වයෙන් තොරව ස්වාධීනව ක්‍රියාකරවීමට වර්තමාන ජනාධිපතිවරයා ක්‍රියා කරන ආකාරය දැකගත හැකිය. රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ පින්තූරය වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම මෙරට ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූවකි. මෙවැනි ක්‍රමවේදවලින් නිරූපණය වන්නේ ජනාධිපතිවරයාගේ නිහතමානී රාජ්‍ය නායකත්වයයි.
ලංකාවට දේශපාලන නිදහස ලැබුණ ද ආර්ථික නිදහස ලැබුණේ නැත. මෙරටෙහි ජාතික ආර්ථිකයක් නිර්මාණය වී නැත. වර්තමානයේ එහි ගමන්මඟ වෙනස්වීමේ සාධනීය ලක්ෂණ දැකගත හැකිය. පවතින ආනයන අපනයන අර්ථ ක්‍රමයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ නිර්මාණය වීම රටට හා රටේ ජනතාවට හිතකර වේ.
දැඩි විනයක් සහ බලගතු ආරක්ෂාවක් සහිත රටක් ගොඩනැඟීමට මෙන්ම කාර්මික, කෘෂිකාර්මික හා සේවා අංශ වඩාත් පලදායී හා සක්‍රීය කිරීමට ද ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සාධනීය වේ. ජනතාවගේ ආදායම ඉහළ නංවාලීම, සැමට ආදායම් ලැබිය හැකි මාර්ග සකස් කිරීම, ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගැනීම ආදී ඉලක්ක සාක්ෂාත් කරගත හැකි වන්නේ බුද්ධිමත් නායකයකුට පමණි. දුප්පත්කමින් හා පසුගාමීත්වයෙන් මිදීමට නම් රටේ ආර්ථික සංවර්ධනය තවත් පුළුල් විය යුතුය. විදෙස් ආයෝජන, නව කර්මාන්තශාලා, සේවා අංශ, තාක්ෂණය මුල්කරගත් වැඩපිළවෙළක් ඔස්සේ ක්‍රියාත්මක කරවීම අත්‍යවශ්‍ය කරුණකි. විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා අහිමි වන තරුණ තරුණියන් අනාගත ජීවිකා වෘත්තීන් සඳහා යොමුකරවීමට වැඩපිළිවෙළක් සකස්විය යුතුය. ඒ සඳහා වෘත්තිය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ඒ ඒ ක්ෂේත්‍රයන්ගෙන් ඉදිරියට යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. රටක් ඉදිරියට යාමට නම් සියලු ක්ෂේත්‍රයන් සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් එරට බිහිවිය යුතුය. එය අවස්ථාවක් කරගනිමින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම අනාගත ආයෝජනයකි.
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ අපනයන කෘෂිකර්මාන්තයට දැඩි තර්ජනයක් එල්ල වීමෙන් රටේ ආර්ථික වෘද්ධිය දැඩි පසුබෑමකට ලක්විය. ආනයන අපනයන පරතරය සතුටුදායක මට්ටමක නොපැවති අතර දැන් එම තත්ත්වය වෙනස් වෙමින් පවතී. මෙරට ගොවියාගේ කෘෂි නිෂ්පාදනවලට වෙළඳ පොළක් සකසා දෙමින් ප්‍රතිඅපනයන තහනම් කිරීම හොඳ පියවරකි. රාජ්‍ය නායකයකු වශයෙන් ගන්නා මෙවැනි සෘජු ප්‍රතිපත්ති සෙසු නායකයන්ට පවා ආදර්ශයකි.
කෘෂි සංවර්ධනය
කෘෂිකර්මාන්තය සඳහා නව තාක්ෂණික ක්‍රම යොදා ගැනීමට අපේක්ෂා කිරීමත් ක්ෂේත්‍රයට පිවිසීමේදී ගොවියාට අසාධාරණයක් නොවන අයුරින් ගොවි නිෂ්පාදනවලට වටිනාකමක් ලබාදීමත් රට සංවර්ධනය කරා ගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගත් වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගයන්ය. දරිද්‍රතාවය තුරන් කිරීම, ආහාර හිඟය තුරන් කිරීම, ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය ඉහළ නැංවීම සඳහා කෘෂිකාර්මික අංශය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීම රටේ කෘෂිකර්මාන්තයේ සංවර්ධනයට ඉවහල් වේ.
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වන බැවින් පළමුව දියුණු කළ යුතු වන්නේ කෘෂිකර්මාන්තය බව තේරුම් ගත්තේ රාජපක්ෂවරු පමණි. ඊට පෙර බලයට පත් පාලකයන් මේ සඳහා කිසියම් ආරම්භයක් ගත්තද රටේ කෘෂිකාර්මික ව්‍යුහයේ වෙනසක් ඇති කිරීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් වූයේ නැත. මෙරට ගොවිතැනට හිමිවිය යුතු සුවිශේෂී ස්ථානය හිමිවූයේ වත්මන් ආණ්ඩුව යටතේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා බවට පත්වන්නේ රටේ බහුතරයකගේ කැමැත්ත එතුමාට තිබූ බැවිනි. වසර තුනක් වැනි කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සුවිශාල ජයග්‍රහණයක් ලබාගත හැකිවූයේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වචනවලට පමණක් සීමා නොවන ප්‍රායෝගික ක්‍රියාවලියක් බවට ජනතාව තුළ තිබූ විශ්වාසය සහ පිළිගැනීමයි. මෙරට ආර්ථික හා වාණිජ, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී ඇති අභියෝගවලට ක්‍රමානුකූලව විසඳුම් සෙවීම මෙන්ම සියලු ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට ගන්නා පියවර එම ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ අඩංගු වී තිබුණි.
ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැති රටකට විදේශීය ආකර්ෂණය අවධානය යොමුවන්නේ නැත. රට පිළිබඳව පවතින විශ්වාසය බිඳවැටීම නිසා ජාත්‍යන්තර වශයෙන් රටට බලපෑමක් සිදුවේ. එය අනාගත වෙළෙඳ පොළට සෘජුව බලපාන බව තේරුම් ගනිමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට වර්තමාන ජනාධිපතිවරයා ක්‍රියාත්මක වූයේය. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සේවයේ යෙදවීමත්, සෑම දිස්ත්‍රික්කයකම මහජන ආරක්ෂාව සඳහා හමුදා කණ්ඩායම් යොදවා තිබීමත් එහිදී දැකගත හැකිය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වන්නේ මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් පවතින මොහොතකදීය. ජාතික සංහිඳියාව තහවුරු කරමින් ලැබූ ජයග්‍රහණය සාමකාමීව සැමරීමට තරම් ගෝඨාභය රාජපක්ෂ මතහා නිහතමානී විය. මෙරට සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයට විසඳුම් පෙනෙන තෙක් මානයක නොතිබුණද ඒවට කඩිනම් විසඳුම් ලබාදෙන ආකාරයක් වර්තමානයේ දැකගත හැකිය. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිසංවිධානය කාර්යක්ෂමව සිදුවන අතර ජාතීන් අතර සංහිඳියාව පවත්වාගෙන යාම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇත. නීතියේ ආධිපත්‍යය නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම රට තුළ සකස් කරමින් පවතී. මීට පෙර අවස්ථා ගණනාවකදීම දේශපාලන නායකයන් මේ සඳහා උත්සාහ දැරූවද පටු දේශපාලන අරමුණු හා අභිමතාර්ථ ඉස්මතු වීම නිසා එම අවස්ථා මගහැරී ගියේය.
ජනවර්ග අතර එක්සත්භාවය, සහයේගීතාවය, අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනඟා එක රටක්, එක ජාතියක් යන සංකල්පයට අනුගත කිරීම සිදුවිය යුතුය. තිස්වසරක කුරිරු ත්‍රස්තවාදය පරාජය කළ ද මානසික යුද්ධය ජයග්‍රහණය කර නොමැති නම් එය රටේ සංවර්ධනයට විශාල බාධාවක් වේ.
මහජන ආරක්ෂාව
ලෝකයේ දියුණු ඇතැම් රටවල්වල ආරක්ෂක නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී සේවයෙහි නිරත වෙමින් සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව සපයන ආකාරය දැකගත හැකිය. පුරවැසි ආරක්ෂාව තහවුරු කර ජනතාවට අනවශ්‍ය බියක් හෝ අපහසුතාවයක් ඇති නොකිරීමට එම රටවල් පියවර ගෙන ඇති ආකාරය අවධානයට ගනිමින් ක්‍රියාත්මක වන්නේ නම් මහජනයා හා ආරක්ෂක නිලධාරීන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නිසි පරිදි සිදුවී පුරවැසියාට සැහැල්ලුවෙන් ජීවත්වීමට අවස්ථාව උදා වේ. ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි තත්ත්වයක් එකවර නිර්මාණය කිරීම අපහසු වුවද පියවරෙන් පියවර ක්‍රියාත්මක කළ හැකිය. වඩාත් සාමකාමී සමාජයක් ඇති කිරීමට හා සමාජ සහයෝගීතාවය ශක්තිමත් වීමට මෙය හේතු විය හැකි ය.
රටක සංවර්ධන ක්‍රියාවලියේදී දිගුකාලීන ඉදිරි සැලසුම් සකස් කළ යුතු ය. නිශ්චිත ඉලක්ක වෙත ළඟා වීමේදී මූලික පියවර ක්‍රියාවට නැංවීමට අවශ්‍ය නායකත්වය රටේ ජනාධිපතිවරයා විසින් ගත යුතුය. පුළුල් හා ශක්තිමත් යටිතල හසුකම් ගොඩනැඟීම රටේ ජනතාවගේ මෙන්ම විදේශීය ජනතාවගේ ආකර්ෂණයට හේතු වේ. එවැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් නව්‍යකරණ ක්‍රියාමාර්ග මඟින් වඩාත් පුළුල් නාගරික සංවර්ධනය හා ජනාවාස ඇතුළුව සියලු ඉදිකිරීම් වඩාත් පරිසර හිතකාමී ලෙස කිරීමට සැලසුම් ක්‍රියාත්මක විය යුතුය.
පරිසරයට හිතකර ආකාරයකින් සංවර්ධන කටයුතු සිදු කිරීම මෑතකාලීනව දක්නට ලැබෙන හොඳ ප්‍රවණතාවයකි. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසිය විසින් පරිසර ආරක්ෂාව හා පරිසර අලංකරණය නැවත විධිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. කොළඹ නගරයේ නිදහස් චතුරශ්‍රය, ගාලු මුවෙදාර පිටිය, පිටකොටුව අසල පවිත්‍රතා සේවාවන් සිදුවන අයුරු නිරීක්ෂණය කිරීමට පොලිස් නිලධාරීන් යොදවා ඇත. ඉතා කඩිනමින් දිවයිනේ සෑම ප්‍රදේශයකම මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමෙන් සුන්දර රටක් ගොඩනැඟිය හැකිය.
ආකල්පමය වෙනස්කම් සිදුකිරීම මඟින් රටේ සෑම පුරවැසියකුම කසළ කළමනාකරණය සඳහා වන පොදු ජාතික අරමුණක් වෙනුවෙන් දායක කර ගත යුතුය. මෙය ආරම්භ විය යුත්තේ පුරවැසියාගේ හදවතිනි. රටේ සෑම පුරවැසියකුම කසළ කළමනාකරණය කිරීමේ ජාතික අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන්නකු බවට පත් කළ යුතුය.
ශ්‍රී ලංකාවේ මෙතෙක් බලයට පත්වූ කිසිදු රාජ්‍ය නායකයෙක් මෙවැනි කරුණු පිළිබඳව අවධානය යොමු කළේ නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහු දියුණු රටවලින් ලද අත්දැකීම් හේතුපාදක වී ඇත. ලෝකයේ දියුණු රටවල් ආදර්ශයට ගනිමින් ක්‍රියා කළ ලංකාවේ එකම රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතාය. වත්මන් ආණ්ඩුවේ විදේශීය ප්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තරය තුළ යහපත් සබඳතා ජාලයක් වර්ධනය කර ගැනීමට අවස්ථාව රටට හිමි වී ඇත. අපට අහිමි වී තිබූ ජාතික අභිමානය නැවත ගොඩනැංවීමට හැකි වීම රටේත් ජාතියේත් වාසනාවකි.
රටක ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී පුරවැසි සහභාගීත්වය ලබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. රජයේ සියලු ඉලක්ක යථාර්ථයක් බවට පත්කරගත හැකි වන්නේ දේශපාලන, ආර්ථික හා සමාජ ඇතුළු සෙසු ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කර ගැනීමට ජනතා සහයෝගය මෙන්ම බහුතර ජනතා කැමැත්ත ලබා ගැනීමෙනි. ජනතාව හා රජය අතර පවතින දුරස්ථභාවය අවම කිරීමට එය පිටිවහලක් වේ. ඉහත කරුණු සාර්ථක කරගැනීම සඳහා මෙරට ප්‍රමුඛතම විද්‍යාඥයන් සහ බුද්ධිමතුන්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර ගැනීම වඩාත් උචිත යැයි සඳහන් කළ හැකිය.
පමුදිනී සමරනායක
එන්න නාවල නාගරික තෙත් බිම් උද්‍යානයට
කුරුලු කොබෙයියන්ගේ කිචි බිචි රාවය දෙසවන පිනවයි.තණ පිඩලි මත පිනි බිඳු විසිරී පවතින්නේ රටාවක් පරිද්දෙනි. ඇළ මාර්ගය අසලින් පාත්තයෝ තරගයකට මෙන් එහා මෙහා යති.මල් පඳුරු අතරින් විහිදෙන හිරුගේ රශ්මි කදම්භය වැලි මං තීරුව මත පතිත වී පරිසරය ආලෝක කරයි. අවටින් හමා එන සිසිල් සුළඟ සියලු විඩා නිවාලයි.
මේ සොඳුරු වටපිටාව හඳුන්වනු ලබන්නේ නාවල නාගරික තෙත් බිම් උද්‍යානය හෙවත් වැලි පාර්ක් යනුවෙනි. එවක ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ඉදි කළ මෙය 2013 දුරුතු මස 12 වන දින ජනතා අයිතියට පත් කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ දේශයට නූතනත්වය ද, ජාතියට ආරෝග්‍ය ද, පරිසරයට චමත්කාරය ද , කැන්දු අසිරිමත් මහින්ද චින්තනයේ තවත් එක් සදාතනික සිහිවටනයක් ලෙස මෙම නාගරික තෙත් බිම් උද්‍යානය නිර්මාණය කර තිබේ .
මෙම උද්‍යානය යනු ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව ලංකාවේ තුළ ඉදි වූ පළමු නාගරික තෙත් බිම් උද්‍යානය යි. විවිධ මල් පඳුරු පාත්ති ක්‍රමයට වගා කර ඇත. මෙහි ඇතුළත සියලුම බැමි කළු ගල්වලින් නිර්මාණය කර තිබීම සුවිශේෂී වේ. මෙහි සුදු වැලි අතුරන ලද ඇවිදින මංතීරුව වෙනත් උද්‍යානවල තිබෙන මංතීරුවලට වඩා වැඩි පළලකින් නිර්මාණය කර තිබීම හේතුවෙන් එක් වරකට කිහිප දෙනෙකුට ඇවිදීමේ පහසුකම් තිබේ. ඇවිදින මංතීරුවේ මැද සහ දෙපස හිද ගැනීම සදහා තැනින් තැන සිමෙන්ති පඩි සකස් කර තිබේ.
මෙම උද්‍යානයෙහි අලංකාරය සඳහා ටොන් 13.3 බරකින් යුතු ජය සිකුරු ක්‍රියාන්විතයට අයත්ව තිබූ ට්‍රැක් ආමර් ඉන්ෆැන්ට්‍රි කම්බැට් වෙහිකල් T 86 ට්‍රැක් රථය මහජන ප්‍රදර්ශනයට තබා ඇත. ශාරීරික ව්‍යායාමවල යෙදෙන්නන්, ප්‍රේමවන්තයින්, යහළු යෙහෙළියන්, මෙන් ම ඡායාරූප ශිල්පීන් ද මෙම උද්‍යානය තුළ නිරන්තරයෙන් දැක ගත හැකි වේ. මෙම උද්‍යානයට ඇතූළුවන සෑම පුද්ගලයෙක්ම විනීතව හැසිරිය යුතු බව දැනුවත් කිරීමේ පුවරු මගින් පෙන්වා දී තිබේ.
මෙම උද්‍යානයට පැමිණි දෙදෙනෙක් දැක් වූ අදහස් මෙසේය.
ඕෂධ විලේබඩආරච්චි - “මමයි, මගේ යාළුවොයි කොළඹ ආවහම ගොඩක් වෙලාවට මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවහම කාලය
ගෙවනවා දැනෙන්නේ නෑ. මෙතන නිදහස උපරිම වශයෙන් තියනවා. කොළඹට කිට්ටුවෙන් මේ වගේ තැනක් ඉදි කරලා තියන එක ගොඩක් වටිනවා. අපි වගේ තරුණ අයට මෙතන හොද තැනක්“.
ධනංජය චතුරංග - “මම ඡායාරූප ගන්න ගොඩක් කැමති කෙනෙක් . තෙත් බිම් පරිසරයක ඉන්න සතුන් බොහෝමයකගේ ඡායාරූප මෙතනදී ගන්න පුළුවන්. නගරය මැද මේ වගේ ස්ථානයක් ඉදි කරලා තියන එක අපි වගේ අයට ගොඩක් ප්‍රයෝජනවත් .නාවල වගේ ජනාකීර්ණ ප්‍රදේශයක මේ වගේ උද්‍යානයක් ඉදි කරලා තියන එක ඇත්තටම හොඳ දෙයක්“.
කුඹුක්, මූණ මල්, කොබෝනීල, ඇහැළ,කරඳ,නුග,ගොඩපර,දිය නා , දම්, බෝවිටියා, හීන් බෝවිටියා, ඇඹුල්, පේර, නාරං, ආදී ශාක වර්ග බොහෝමයක් මෙන් ම තෙත් බිම් පරිසරයෙහි සිටින සත්ත්ව කාණ්ඩ අතරින් කහ මැටි කොකා, කුරුදු මැටි කොකා, පලා කොකා, කළු මැටි කොකා,රෑ කොකා, කණ කොකා, ගෙරි කොකා, ආදී කොක් කුලයට අයත් පක්ෂීන් ද මෙහිදී දැක ගත හැකි ය. උද්‍යානයේ මැද කොටසේ පොළොන්නරුවේ කුට්ටම් පොකුණට සමානව ඉදි වූ පොකුණකි. පොකුණ තුළ සීමිත වතුර ප්‍රමාණයක් පමණක් කළමනාකරණය වන පරිදි එහි පද්ධතිය සකස් කර ඇත. ඇවිදින මංතීරුව දිගේ ඉදිරියට ගිය විට බෝට්ටුවක ඉදි කර තිබෙන Garton's Ark අවන්හල හමුවේ. ආහාර ගන්නා ගමන්ම බෝට්ටු සවාරියක් යෑමේ හැකියාව මෙහි පැවතීම සුවිශේෂී ය.
අක්කර 18 ක වපසරියක පැතිරී පවතින උද්‍යානයෙහි නඩත්තු කටයුතු මෙම උද්‍යානය ඉදි කර අවධියේ සිට අද වනතෙක් යහපත් අන්දමින් සිදු කර ගෙන යනු ලබයි. පසුගිය දිනක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් රාජකාරිවලට යන අතරතුරේදී මෙම උද්‍යානයට පැමිණ යෑම සුවිශේෂී සිදු වීමකි. එතුමන්ගේ අනුදැනුම මත ඉදි කෙරුණු මෙම උද්‍යානයේ නඩත්තු කටයුතු පිළිබදව එහිදී ඔහු වඩාත් සතුටට පත් ව ඇත. උස් තාප්පවලින් වටවුණු කලබලකාරී නගරයක පරිසරයට චමත්කාරය කැන්දන පරිදි ඉදි කර තිබෙන මෙම නාගරික තෙත් බිම් උද්‍යානය ගත සිත නිවාගන්නට කදිම තෝතැන්නක් බව නැවතත් කිව යුතුය.
මදාරා මුදලිගේ
ඡායාරූප- නිශ්ශංක විජේරත්න
අපි අඬදබර පාලනය කරන්නෙත් විශ්වාසවලින්
කුලගෙයි දෝංකාරය, සමාජ වෙනස්වීම, දකුණු ආසියාතික සමාජය වැනි සමාජ විද්‍යාත්මක පර්යේෂණ කෘති රචනා කළ වසන්තා සුබසිංහගේ නවතම කෘතිය, ‘සංස්කෘතිය සහ සංවර්ධනය’ පසුගියදා ජනගත කෙරිණි.
ඔබ, ‘ සංස්කෘතිය සහ සංවර්ධනය‘ කෘතිය තුළ, ‘සංස්කෘතිය‘ යන්න පිළිබඳ අර්ථකථනය කිරීමේදී, සමාජ විද්‍යාඥයන් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් දක්වා තිබෙනවා. ඒ මඟින් පිළිබිඹු වෙන්නේ, එයට නිශ්චිත අර්ථයක් නැති බවද?
සංස්කෘතිය පිළිබඳ නිශ්චිත එක් අර්ථයක් සපයන්න බැරිව තිබෙන්නේ, මේ පිළිබඳ අරුත්ගැන්වීම් කරන්නේ, පුද්ගලයා ජීවත් වන සමාජයේ ම සාමාජිකයන් නිසයි. ඒත්, මූලික වශයෙන් ගත්තහම, එහි වචනාර්ථය අනුව නම් 'වගා කිරීම'යන මුලික තේරුම තමයි ඉදිරිපත් වෙන්නෙ. පරම්පරාවෙන් පරම්පරාවට සමාජය තුළ පිළිගෙන ඇති සිතුම් පැතුම් , අගනාකම් සහ විනිශ්චය පමණක් නෙමෙයි, ඒ සමාජයේ මිනිසුන් අඳින පලඳින ආකාරය, කන බොන විධිය අලුත් සාමාජිකයන් වෙත තිලිණ කරන්නේ සංස්කෘතික දායාදයක් විදිහටයි. මේ කෘතිය මඟින් මම, සංස්කෘතිය පිළිබඳ විවිධ නිර්වචන වගේ ම, ඊට අදාළ ප්‍රායෝගික නිදසුන් උපකාර කර ගනිමින් විස්තර කිරීමට උත්සාහ ගත්තා.
සමාජයේ පවත්නා විශ්වාස, සමාජ හැසිරීමට බලපාන බව මෙහි සඳහන්.ඒ පිළිබද කතා කළොත්?
සමාජයක භෞතික සංස්කෘතිය සහ අභෞතික හෝ භෞතික නොවන සංස්කෘතිය යනුවෙන් කොටස් දෙකක් හඳුනා ගන්න පුළුවන්. ස්වභාවික ද්‍රව්‍ය සහ කෘත්‍රීම නිෂ්පාදන ලෙස අපට මුණගැසෙන ගස්, ගල්, ඇළ දොළ, සතා සී පාවා වගේ ම, ගෙවල් දොරවල්, යාන වාහන, ඇඳුම් පැලඳුම් ආදී අනේක විධ දේ , අපගේ භෞතික සංස්කෘතිය කියාපානවා. මේවා ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. ඒත්, අදහස්, ධර්මතා, සාරධර්ම, භාෂාව, සංකේත වැනි දේ ඇතුළත් භෞතික නොවන සංස්කෘතිය, වෙනස් වෙන්නේ මන්දගාමිවයි.
උදාහරණයක් විධිහට අප අපේ සමාජයේ 'විශ්වාස'පිළිබඳ සලකා බලද්දි, අප සතුව කෙතරම් විශ්වාස තිබෙනවද? කියා හිතෙනවා. ගස්, ගල්, සත්තු පමණක් නෙමෙයි, ඔවුන්ගේ හඬවල් පවා පදනම් කරගත් විශ්වාස අප සතුයි. සතර වරම් දෙවිවරු, අල්පේ ශාක්‍ය සහ මහේශාක්‍ය දෙවිවරු පමණක් නෙමෙයි, ප්‍රාදේශීය බලය සහිත දෙවිවරු ද අපගේ විශ්වාස අතර පවතිනවා. මේ විශ්වාසවලින් අපට ලැබෙන උදව්ව මොකද්ද? අප ජීවත් වන වට පිටාව ගැන අපට සංවේදී වීමට පුළුවන් වීමත්, මිනිසුන් වන අපට කරන්න බැරි දේ අදෘශ්‍යමාන බලවේගවලට පැවරීමත් මේ මඟින් සිදු වෙනවා. අපි ජීවත් වෙන්නේ සංකීර්ණ සමාජයක. අත්දැකීම් වගේ ම, මිනිසුන් තේරුම් ගැනීමත්, ඔවුන් සමඟ ජීවත් වීමත්, දිනෙන් දින අසීරු වෙමින් පවතිනවා. සිත් රිදවීම්, අන්සතුවීම්, කලබලකාරී සහ ප්‍රචණ්ඩකාරිත්වය තුළ නිතරම මුදා හැරීමක් දකින්න පුළුවන්. අඬදබර පාලනය කර ගැනීමට පවා අප විවිධ විශ්වාස යොදා ගන්නවා. ග්‍රාමීය ප්‍රදේශවල පමණක් නෙමෙයි, නගරයේ පවා මේ වගේ කටයුතු මොන තරම් ප්‍රසිද්ධද?
විශ්වාස මඟින් සමාජ ප්‍රගමනයට ලැබෙන මෙහෙය කොයි වගේද?
ඕනෑම සංස්කෘතික අංගයකින් පිරිමැසුණේ, ඒ ඒ සමාජ අවස්ථාව තුළ පැවැති සමාජ කාර්යභාරයයි. පුද්ගලයා තුළ 'තමන්ට කළ නොහැක්කක් නොමැත'යනුවෙන් විශ්වාසයක් ගොඩනැගෙනවා නම්, එය සමාජ ප්‍රගතියට හේතුවක්.
මැක්ස් වෙබර් කියන්නේ, සංවර්ධනය ආගම සමඟ සම්බන්ධ කරමින් කතා කළ සමාජ විද්‍යාඥයෙක්. ඔහුට අනුව අප වැනි රටවල් සංවර්ධනය නොවෙන්න හේතුවෙලා තියෙන්නේ ආගමයි. ඒ පිළිබද ඔබේ තාර්කික අර්ථකථනය කුමක්ද?
සංස්කෘතියෙහි දැකිය හැකි ප්‍රධානම මුලිකාංගයක් වෙන්නේ, 'ආගම'කියන සංකල්පය. පුද්ගලයකුගේ ජීවිතයෙහි හැසිරීම ගොඩනැගීම කෙරෙහි 'ආගම'සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා. ආගම මඟින් මිනිසුන් ගලවාගත නොහැකියි. වරක් කාල් මාක්ස් 'ආගම අබිං'ලෙස සඳහන් කළේ, ඒ නිසාමයි. ආගමට මිනිසුන් ඇබ්බැහි විය හැකියි. එය හොඳට වගේ ම නරකට වුණත් යොදා ගැනීමට ආගමික නායකයන්ට පුළුවන්. යුරෝපයේ ධනවාදය කඩිනම් කිරීමට සහ ව්‍යාප්ත කිරීමට ප්‍රොතෙස්තන්ත්‍ර දහම මුලික වූ ආකාරය මැක්ස් වෙබර්, ඔහු විසින් රචිත ප්‍රොතෙස්තන්ත්‍ර ආගම සහ ධනවාදයේ නැගීම'යන කෘතියෙන් පෙන්වා දෙනවා. මුදල් හම්බ කිරීමෙන් ඈත්ව සිටි සාම්ප්‍රදායික කතෝලික මිනිසා, නිෂ්පාදනයට දායක කර ගත්තේ දෙවියන් වෙත ළඟා වීමට තිබෙන කෙටි ම මාර්ගය එය බව පෙන්වමිනුයි. ආගම ඒ තරමට ම මිනිසුන් සමඟ බැඳී තිබෙනවා.
සංස්කෘතික හර පද්ධතිය, පාරිසරික තිරසර බව රැකීමට යොදාගත හැකි ආකාරය පිළිබඳ ඔබ මෙහිදී කතා කරනවා. ඒ පිළිබඳ කතා කළොත්?
සංස්කෘතිය පිළිබඳ නිවැරැදි කියවීමකින්, මේ සඳහා අපට නිදසුන් ගත හැකියි. නිදසුනක් දක්වනවා නම්, අපගේ සිංහල සංස්කෘතියට'තිරසාර'බව අලුත් දෙයක් නෙමෙයි. කුඩා කාලයේ පටන් ම අපි දරුවන්ට කියා දුන්නේ, පරිසරය රැක ගැනීම අප විසින් කළ යුතු ම දෙයක් විධිහටයි. අරපිරිමැස්මෙන් සම්පත් භාවිතය කියා දුන්නේ කවියෙනුයි. නැත්නම් ආදර්ශයෙනුයි.
'මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ,
පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි'
'මොනවද මුත්තේ මොකද කරන්නේ ......
වැනි කවි මඟින් ඒ බව පසක් කර ගන්න පුළුවන්. අපගේ සාම්ප්‍රදායික ගම ඔබට මතකද? අප පමණක් නෙමෙයි, සතුන් පවා අප රැකිය යුතු බව පෙන් වූ ආකාරය, 'කුරුලු පාළුව'නමින් සතුන් වෙනුවෙන් බිම් කොටසක් වෙන් කළ ආකාරයෙන් ම පැහැදිළි වෙනවා. අහසින් වැටුණු දිය බිදක්වත් අප මුහුදට නිකරුනේ යැව්වේ නෑ.
බුදු දහමත්, ස්වභාවික සම්පත් රැකීමත් සමාන්තරව ගෙන ගියා.
‘සමාජ සංස්කෘතික දායාද‘ කෘතිය මඟින් සංවර්ධනයට එරෙහි සංස්කෘතික සාධකයක් විධිහට, කාන්තා හිංසනය පිළිබඳ ඔබ කතාබහ කරනවා. ඒ වගේ ම, ඔබ රචනා කළ ‘දකුණු ආසියාතික සමාජය‘ කෘතිය තුළ, කුලය පිළිබද ඒ ඒ සමාජ විද්‍යාඥයන්ගේ පර්යේෂණ පිළිබඳ කතා බහට ලක් කරනවා. ඔබ දකින විධිහට, රටක සංවර්ධනය කෙරෙහි ‘කුලය‘ නමැති සාධකය බලපාන්නෙ කුමන ආකාරයටද?
අප තවමත් සංවර්ධනයට එරෙහි සංස්කෘතික බාධක ලෙස හඳුනාගෙන සිටින ආගම, කුලය, කාන්තාව පිළිබඳ සාම්ප්‍රදායික මත, සංවර්ධනයට හිතකර පෙලඹුම් විධිහට යොදාගත හැකියි. 'කුලය'ලංකාවේ ස්ථරායන සාධකයක් විධිහට හඳුනා ගන්න පුළුවන්.
සමාජ වෙනස් වීම හමුවේ කුලය සම්බන්ධව ඇති මාන වෙනස් වෙලා. ඒත්, එය නිලීනව, එනම් නොපෙනෙන විධිහට ක්‍රියාත්මක වන ආකාරයක් හඳුනා ගන්න පුළුවන්. ඒ කෙසේ වෙතත්, ඒ ඒ කුලයට ආවේණික වෘත්තියක් හඳුනා ගත හැකි නිසා, අපට ඒවාට නව මුහුණුවරක් ලබා දීමෙන්, ඔවුන්ට හොඳ ආදායම් මාර්ගයක් ලබා දිය හැකියි. ආර්ථික අතින් ඔවුන් ශක්තිමත් කිරීමට හැකි වුණොත්, පහත් යැයි සම්මත කුල පිළිබඳ හැඟීම වෙනස් කිරීම අපහසු දෙයක් නෙමෙයි. අධ්‍යාපනය මඟින් මිනිසුන් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ ම, ඒ හරහා නව සංස්කෘතික වටිනාකම් ඇති කරන්නත් පුළුවන්. සියල්ල සිදු කරන්නේ මිනිසුන් විසින්මයි.
ලෝකය පුරා ම, අද වනවිට සාම්ප්‍රදායික නැටුම් කලාව, රූකඩ කලාව, ආභරණ කලාවට පමණක් නෙමෙයි, පාරිසරික තිරසාර බව රකින කර්මාන්ත පවා දියුණු වෙමින් පවතිනවා. ඒ නිසා, අපේ දේශීය වේවැල් කර්මාන්තය, වෙස් මුහුණු කර්මාන්තය, හකුරු කර්මාන්තය ආදියට නව මුහුණුවරක් ලබා දෙන්න අපට පුළුවන්.
ඔබ, ‘සමාජ වෙනස්වීම‘ කෘතිය තුළ, නවීකරණයට එරෙහි සංස්කෘතික බාධක පිළිබඳ කතා කරනවා. අප වගේ රටවල ඔබ හඳුනාගත් එවැනි බාධක මොනවද?
මේ කෘතිය මඟින් මම උත්සාහ කළේ, සමාජයේ නියත ලක්ෂණය වන 'වෙනස්වීම'ගැන ශාස්ත්‍රීය පැහැදිලි කිරීමක් කිරීමටයි. සමාජ වෙනස්වීමේ කාරක සහ ඒවාට සමාජය මුහුණ දීමේදී ඇති වූ නව තත්ත්ව සහ ගැටලු හඳුනා ගැනීමක් ඉන් සිදු වුණා. ලෝකය බටහිරකරණයට නතු වීමට බලපෑ නවීකරණත්, ගෝලීයකරණයත් මිනිසුන් එක ම පවුලක් කිරීමට ගත් උත්සාහය සාර්ථ වී තිබේද? යන්න සෙවීමට මේ කෘතිය හරහා උත්සාහ ගත්තා. මාධ්‍ය මඟින් අප කෙතරම් ළං වුණත්, එකිනෙකාගේ දුක, සතුට, සම සේ බෙදා ගැනීමට අපි අපොහොසත් වෙලා. ලෝකයේ එක ජන කොටසක් අප්‍රමාණ විධිහට සම්පත් භුක්ති විඳිනකොට, යන්තමින් කුස පුරවා ගැනීමට අසමත් මිනිසුන් කොතරම් සිටිනවද? ලෝකයේ අවි වෙළෙඳාම, බෙහෙත් වෙළෙඳාම සහ මත්ද්‍රව්‍ය වෙළෙඳාම මෙතරම් ලාභ උපයන වෙළෙඳාම් බවට පත් වුණේ කොහෙමද? අප මේ පිළිබඳ සිතිය යුතුයි.
'කුලගෙයි දෝංකාරය'කියන්නේ මීට වසර කිහිපයකට පෙර ඉදිරිපත් කළ ඔබේ පර්යේෂණ අත්දැකීමක්. එදා ඔබ ලද එම පර්යේෂණ අත්දැකීම්, අද වෙනකොට වෙනසකට ලක්ව ඇතැයි ඔබ සිතනවද?
මගේ කුළුඳුල් ග්‍රන්ථය 'කුලගෙයි දෝංකාරය'නමැති කෘතියයි. එය මාගේ පළමු පර්යේෂණ අත්දැකීම. අපේ සංස්කෘතියෙහි තිබෙන ඉතාමත් අශිෂ්ට චාරිත්‍රයක් වන 'සළු බැලීම'හෙවත් විවාහයේදී කාන්තාවගේ 'කන්‍යාභාවය පිරික්සීමේ සිරිත පිළිබඳයි මම එහිදී සොයා බැලුවේ. කන්‍යාවිය යන වචනයෙහි අර්ථයවත් නොදත් අපි, විද්‍යාව මෙතරම් දියුණු ලෝකයේ, තවමත් ඒ මත, කරපින්නාගෙන ඒමක් දැකිය හැකියි. හැබැයි එම සමාජ චාරිත්‍රය මෙතරම් කලක් පැවත ඒමෙන් බලාපොරොත්තු වෙන්නේ, කාන්තාවන්ගේ විවාහයට පෙර ලිංගික සබඳතා පාලනය කිරීමයි. එයින් ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්ත වීම වළැක්වීමත්, කාන්තාවන්ට විශේෂ වටිනාකමක් අත්කර දීමත් අපේක්ෂාව වුණා. ලිංගිකත්වය කියන්නේ, අදටත් අප සමාජයට වඩාත් රහස්‍ය මාතෘකාවක්. ඒ නිසා, මීට වසර විස්සකට පෙර මේ පර්යේෂණය කිරීම ගැන මට සියුම් අභිමානයකුත් තිබෙනවා.
පසුගිය වසරේදීත් සමාජ විද්‍යා විශේෂවේදී සිසුන් යොදා ගනිමින්, කන්‍යාභාවය පිළිබඳ ප්‍රශ්න දෙකක් ඔවුන්ගෙන් විමසා සිටියා. එහිදී සිසුවියන්ට යොමු කළ පැනය වුණේ, විවාහ වනතුරු කන්‍යාවියක්ව සිටීමට බලාපොරොත්තු වන අය සිටීද? යන්නයි. සිසුන් වෙත යොමු කළ පැනය වුණේ, කන්‍යාවියක් විවාහ කර ගැනීමට අපේක්ෂා කරන්නේද? යන්නයි. එයින් ලැබුණු පිළිතුර වුණේ, තවමත් ඔවුන් කන්‍යාවියක් ප්‍රාර්ථනා කරන බවයි.
ඉරෝෂීණී දීපිකා
ලිවීමේදී මට පේන්නෙ මා විතරමයි
අමෙරිකානු කතාකරුවකු වන ටී.සී.බොයිල් නවකතා 14ක් සහ කෙටිකතා 100ක් පමණ ප්‍රකාශයට පත් කර ඇත. 1988 දී 'වර්ල්ඩ්ස් එන්ඩ්'නවකතාව වෙනුවෙන් පෙන් ෆෝල්ක්නර් සම්මානය දිනා ගන්නා ලදී. දැනට ඔහු කැලිෆෝනියා සරසවියේ ඉංග්‍රීසි මාහාචාර්යවරයකු ලෙස සේවය කරයි.
ප්‍රබන්ධයක් කියන්නෙ එක්තරා මායාවක්. නමුත් මේ ප්‍රබන්ධය පවා විශ්වාස නොකරන තත්ත්වයට ඇද හෙලන ඕනෑම දෙයක් විසින් පාඨකයාව කතාවෙන් එළියට විසි කරනවා. ඒකෙන් මායාව පවා විනාශයට පත් වෙනවා. මේ නිසා ප්‍රබන්ධයක් ලිවීමේදී ඔබේ තොරතුරු නිවැරැදිව දක්වන්න ප්‍රවේසම් වෙන්න ඕනා. මිනිස්සු එක්ක සම්මුඛ සාකාච්ඡා කරන්න මම කොච්චර අකැමති වුණත් 'වෙන් ද කිලින්ග්ස් ඩන්'ලියනකොට හිතුණෙම ජීව විද්‍යාඥයෙක් හෝ දෙන්නෙක් මුණ ගැහිලා කතා කරන්න තිබ්බා නම් කොයිතරම් අපූරුද කියලයි. ස්වභාව සංරක්ෂණ ආයතනයක් පවත්වගෙන යන කාන්තාවක් එක්ක බොහොම මිත්‍ර වුණා. ඈත් එක්ක වනාන්තරේ ඇවිදින්න පවා ගියා. ඒ අතරේ නරින්ව අල්ලා ඔවුන්ට කරපටි දමා යළිත් වනාන්තරයට නිදහස් කළා. ඔවුන් ගැන සාරවත් තොරතුරු රාශියක් එක් රැස් කරගන්නත් පුළුවන් වුණා. මගේ පොත කියවන ජීව විද්‍යාඥයෝ ඒ තොරතුරු නිවැරැදි බවට සහතික කරාවි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම නොයෙකුත් ක්ෂේත්‍ර ගැන නිපුණත්වයට පත් වුණ තවත් මිත්‍රයෝ රාශියක් මට හිටියා. සමහරු තුවක්කු සහ මෝටර් සයිකල් පිළිබඳ විශේෂඥයෝ. 'චක්'කියන්නේ අන්න එහෙම මෝටර් සයිකල් ගැන නිපුණයෙක්. මගේ කතාවක මෝටර් සයිකලයක් ගැන ලියන්න වුවමණා වුණ සැනින් මම චක් ට දුරකතන ඇමතුමක් දෙනවා. "චක්, 1956 දී වයස 14 කොල්ලෙකුට තියෙන්න ඇත්තෙ මොන වගේ මෝටර් සයිකලයක්ද?"ඒ සුළු ප්‍රශ්නෙ විතරක් ඔහුට ඇති. ඒ ගැන දැනගන්න වුවමණා කරන සෑම සියලු දෙයක්ම 'චක්'මට පැහැදිලි කරලා දෙනවා.
'Sin Dolor'නවකතාව ලියන කාලේ මට වුවමණා වුණා ජානමය දුර්වලතාවලින් පෙළෙන කුඩා පිරිමි ළමයකුගේ ශාරීරික ස්වභාවය ගැන විස්තර කරන්න. ඔහුට කිසිදු ශාරීරික වේදනාවක් දැනෙන්නෙ නෑ. ඒ ගැන ලියූ පසුව මම මගේ පවුලේ වෛද්‍යවරයා වෙතින් කරුණු කීපයක් පැහැදිලි කරගත්තා. මම ලියන්න පටන් ගත්ත මුල්ම කාලේ 'ඔයාගෙ කතාවල ඉන්න කාන්තා චරිත හරිම පැතලියි'කියලා මගේ නෝනා කිව්වා. ඇත්තටම ඒ කාලෙ මම ලියපු නවකතාවල ඉන්න චරිත හරිම පැතලියි කියලා මටත් පිළිගන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි ඒ කාලෙ මම ලියපු නවකතාවල හිටපු පිරිමි චරිතත් හරිම පැතලියි කියලා ඒ වෙලාවෙ මම, මගේ බිරිඳට කිව්වා. ඉන් පස්සේ නවකතාවල චරිත ගැන පූර්ණ අධ්‍යයනයක් කරන්න මට පුළුවන් වුණා. චරිත සම්පූර්ණයෙන් තේරුම් ගැනීම අපහසුයි. නමුත් කාලාන්තරයක් මුළුල්ලේ ලිවීමෙන් චරිත යම් ප්‍රමාණයකට හඳුනාගන්න පුළුවන්. සමහර දක්ෂ ලේඛකයන් නිමවන චරිත විසින් කතාව සම්පූර්ණයෙන්ම පාලනය වෙනවා. නමුත් මම සම්බන්ධයෙන් ගත්තොත් චරිත විසින් නවකතාව පාලනය කිරීම ඒ තරම්ම අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි. කතාවක් මැවීමේ ක්‍රියාදාමයේදී ලොකු කැන්වසයක් මත තියෙන කුඩා ද්‍රව්‍ය විදිහටයි මට චරිත පෙනෙන්නේ. සමහර විට සමහර චරිතවලට කතාව ඇතුළේ මීට වඩා ප්‍රමුඛතාවයක් ලබා දුන්නොත් චරිත විසින් මීටත් වඩා කාර්යභාරයක් ඉෂ්ඨ කරාවි කියලත් මට හිතෙනවා.
ලේඛකයෝ මානසික අසමබරතාවයෙන් පෙළෙනවා කියලා මම විශ්වාස කරනවා. ප්‍රබන්ධ ලිවීමට එළැඹීමම ඒ අසමබරතාවය පාලනය කරගන්න උත්සාහ කිරීමක්. ඒ වගේම ප්‍රබන්ධ ලිවීමම එක්තරා නියුරෝසියානු ලක්ෂණයක්. මේ තත්ත්වයට පත් වුණාට පස්සේ ඔබට මොනවද කරන්න පුළුවන් කියලා ඊළඟට හිතන්න පටන් ගන්න ඕනා. මගේ ජීවිතේට නම් ඒකෙන් ලොකු ඉලක්කයක් සහ සාහිත්‍යය වෙනුවෙන් යම්කිසි අභිප්‍රායක් ලැබුණා. ලිවීමේදී මට පේන්නෙ මාව විතරයි. සාහිත්‍ය අනුන් වෙනුවෙන් නිර්මාණය කරනවා වෙනුවට මම කැමති මම වෙනුවෙන් සාහිත්‍ය භාවිත කරන්නයි. ලිවීමේදී මගේ පාඨකයෝ මොනවද හිතන්නෙ කියලා ලොකුවට මම තකන්නෙ නැහැ.
රයිටර්ස් බ්ලොක් ආවොත් පාවිච්චි කරන්න කියලා උණ්ඩ පුරවපු මැග්නම් දශම 357 පිස්තෝලයක් මගේ ලියන මේසෙ උඩ තියෙනවා. දෙයියන්ගෙ පිහිටෙන් තාම මට ඒක පාවිච්චි කරන්න වුවමණා වුණේ නැහැ. මම ලියන්න පටන් ගත්ත කාලෙ ගැන මතක් කළොත් මුලින්ම හිතුවෙ මම ලියන්නෙ අවධානය දිනා ගන්න, ප්‍රසිද්ධ වෙන්න, මගේ සතුරන්ව විනාශ කරන්න කියලයි. ඒක හරියටම හරි. ඒවා නිසා තමයි මම ලියලා තියෙන්නේ. මගේ අම්මයි-තාත්තයි සුළු රැකියා කරපු දෙන්නෙක්. අපේ පවුලෙන් මුලින්ම උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලබාගත්තෙ මම. මගේ තාත්තා බස් රථ රියදුරෙක් සහ මුරකරුවෙක් විදිහට රස්සා දෙකක් කළා. මගේ අම්මා පාසලේ ප්‍රධානියාගේ ලේකම්වරිය විදිහට සේවය කළා. මම හැදුණේ-වැඩුණේ බොහෝ අපහසුතා මැද්දේ. මට ඕන වුණේ ඉතිහාසය සහ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙක් වීමටයි. ඔය අතරේ මම නිර්මාණාත්මක ලේඛනය ඉගෙනගන්න පටන් ගත්තා. වයස 24 දි මම ලියපු කතාවක් ප්‍රකාශයට පත් වුණා. ඊට පසුවයි මම ලිවීම ගැන උනන්දු වෙලා ලේඛනය ඉගෙන ගන්න වැඩමුළු ආදියට සහභාගි වෙන්න උත්සාහ කළේ.
මම දෛනික ලිවීමේ පුරුද්දක් ඇති කෙනෙක්. මම උදේම ලියන්න පටන් ගන්නවා. හැන්දෑවෙ 2.30 වගේ වෙනකොට ලිවීම නතර කරනවා. ඊට පස්සේ වෙනත් ඕනෑම දෙයක් කරන්න මට වෙලාව ඉතිරි වෙලා තියෙනවා. එක්කො මුහුදු වෙරළේ ඇවිදින්න යන්න, එහෙමත් නැත්නම් කන්දක් නඟින්න මේ ඉතිරි වෙලාව පාවිච්චි කරන්න පුළුවන්. වයින් ඩිංගිත්තක් බොන්න, අහල පහල තියෙන ගම්මානයක් දිහාට ඇවිදගෙන යන්නත් මට ඒ වෙලාවෙ පුළුවන්කම ලැබෙනවා. පොත් කියවන්න, බයිසිකල් පදින්න වගේම චිත්‍රපටි බලන්නත් කාලය හැන්දෑවෙන් පස්සෙයි උදා වෙන්නේ. මේ ක්‍රියාවලිය හැමදාම මේ විදිහටමයි වෙන්නේ. ලිවීම කියන්නෙ එක්තරා ඇබ්බැහියක්. මගේ ජීවිතේ ලිවීම හැර වෙනත් වැදගත් දෙයක් නැති තරම්. මම ලේඛකයෙක් නොවුණා නම් සංගීතඥයෙක් වෙන්න තිබුණා කියලා වෙලාවකට හිතෙනවා.
කාංචනා අමිලානි
ආශ්‍රිත කියැවීම්:
l http://bit.ly/2PSh9vv
l http://bit.ly/38Nc9Rq
l http://bit.ly/2MhEZjx
l http://bit.ly/2S68sAi
මේ කෘතිය විරු චරිත ගැන අවධානය සඳහායි
සිළුමිණ පුවත්පතේ ‘පුන්කලස’ ශාස්ත්‍රීය අතිරේකයේ පළ වූ ‘පහන් කණුව’ විශේෂාංගය යටතේ සාහිත්‍ය ලෝකයේ දැවැන්තයන් පිළිබඳ අමල් යශෝමන් ජයසිංහ ලියූ පුවත්පත් ලිපි පෙළ, ‘සාහිත්‍ය බැබළවූ ගත්කරුවෝ හා කලාකරුවෝ 1 හා 2’ ලෙස ප්‍රකාශයට පත්ව ඇත.
සිළුමිණ පුවත්පතේ පළ වූ එම ලිපි පෙළ ග්‍රන්ථයකට ගන්න, හිතුවෙ ඇයි?
මම සිළුමිණ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් සිටි අවදියේ, එවකට සිළුමිණ කර්තෘ කරුණාදාස සූරියාරච්චි මහතා මට පැවසුවා සිළුමිණ පුන්කලස අතිරේකයේ ‘පහන් කණුව’ විශේෂාංගයට ශ්‍රී ලංකාවේ සිටි දැවැන්ත චරිතවල ජීව දත්ත ඇතුළත් ලිපි පෙළක් පළ කරනවා. ඒක අධ්‍යයනය කරලා, එයට උචිත ආකාරයට සාරවත් ලිපි පෙළක් ලියන්න කියලා. එය තමයි මෙහි ඇරැඹුම.
වෙනසකට තිබුණේ, එතුවක්කල් ඒ ලිපි ලියලා තිබුණේ පුස්තකාල පොත පත මූලාශ්‍ර කරගෙන. ඒත්, ඒ ආකාරයෙන්ම පාඨකයන්ට එම ලිපි කෘතියකට අන්තර්ගත කරන එක හොඳ නෑ කියලා මට හිතුණා. ඒ නිසා මං ඒ දැවැන්ත චරිතවල පසු පරම්පරාවල අය සම්බන්ධ කරගෙන, මෙය සකස් කළා.
2014 - 2016 දෙවර්ෂය ඇතුළත පුන්කලස අතිරේකයේ පළ වුණු ලිපි පෙළ තමයි මෙලෙස මං මුද්‍රණය කළේ. මේ ලිපි පෙළ අධ්‍යාපන ග්‍රන්ථයක් විධිහට ප්‍රකාශයට පත් කළා. එසේ කිරීමට හේතුව, මතු පරම්පරාවට වගේම, නොදන්න අයට තොරතුරු දැනගන්න මෙය හොඳ නිසයි.
ඔබ එම ලිපි මේ පොතට ගත්තෙ පුවත්පතේ පළ වූ ආකාරයටමද? නැතිනම් යම් යම් වෙනස්කම් සිදු කළාද?
නැහැ. එම ලිපි පෙළම ඒ ආකාරයටමයි කෘතියට ගත්තෙ.
ඔබ මෙවැනි ගත්කරුවන්, කලාකරුවන් තෝරා ගැනීමට හේතුව සහ එහි වැදගත්කම මොකක්ද?
අද වනවිට, සමාජයේ, අපේ රටේ, විරු චරිත පිළිබඳ අවධානය ගිලිහී ගිහින් තිබෙනවා. මේ චරිත අතීතයටම එකතු වෙලා, කාලයාගේ වැලි තලාවෙන් වැහිලා යනවාට වැඩිය, දැන් පරම්පරාවටත්, මතු පරම්පරාවටත්, වැඩිහිටි, බාල, මහලු ඕනෑම අයකුට ඒ චරිතවලින් උකහා ගත හැකි දේ බොහෝමයි. ඒ දැනුම ලබාදීමේ අරමුණින් තමයි මේ චරිත තෝරා ගත්තෙ. ඒ වගේම, මේ චරිත තව තවත් ජීවමාන කළ යුතුයි කියන ආදරණීය හැඟීමකුත් මගේ හිතේ තිබුණා.
පැරැණි අපේ රජවරුන්ගේ සිට මෑතකාලීන පරපුර දක්වා වැදගත් චරිත පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත්. ඒ ගැන කතා කළොත්?
එක්දහස් අටසිය ගණන්වල මිය ගිය අය වගේම, එක්දහස් දෙසිය ගණන්වල මිය ගිය රජ පරම්පරාවේ චරිතත් මෙහි අඩංගු වෙනවා. විශේෂයෙන් මම මෙහිදී බැලුවේ රට, දැය, සමය වෙනුවෙන් උපරිමයෙන් සේවයක් කළේ කවුද කියන එක ගැනයි. ඒ වගේම, යම්කිසි කුතුහලයකින් යුතුව රසවිඳිය හැකි චරිත තියෙනවාද? කියන එකත් මේ චරිත තෝරා ගැනීමේදී මා බැලුවා. එම චරිතවල ශෘංගාරයක් තියෙනවා නම්, ඒකත් මං ගත්තා. ඒකාකාරී බවෙන් මිදෙන්න, ඒ විධිහට තෝරා ගැනීම පිටිවහලක් වුණා.
ඔබ මෙහි සඳහන් ගත්කරුවන්ගේ හා කලාකරුවන්ගේ තොරතුරු සොයාගත් ආකාරය පිළිබඳ කතා කළොත්?
ලේක් හවුස් පුස්තකාලය වගේම, බොහෝ ඇසූ පිරූ පුද්ගලයන් සමඟ සාකච්ඡා කළා. මේ චරිත ජීවත් වූ ප්‍රදේශවලටත් මම ගිහින් තොරතුරු හෙව්වා. උදාහරණයක් විදිහට මෙරට පළමු නවකතාව ලියූ ඒ සයිමන් ද සිල්වා මහතා එවකට ජීවත්වෙලා සිටියේ බොරැල්ල ‘ෆෙයාර් ෆීල්ඩ් ගාඩ්න්’ ප්‍රදේශයේ. මං එහෙට ගියා. ඒ අවට පුද්ගලයන්ගෙන් සෝදිසි කර බැලුවහම, සයිමන් ද සිල්වා මහතාගේ තුන්වැනි පරම්පරාවෙ මුනුබුරු මිනිබිරියො මාතර ඉන්නවා කියලා එක් වයෝවෘද්ධ මහත්මයෙක් පැවසුවා.
ඊට පස්සෙ මම මාතර ගියා. අදාළ ප්‍රදේශයට ගොස් විස්තර සොයා බලලා, ඒ නිවෙසට ගියා. ඔවුන් මා හොඳින් පිළිගෙන, මට අවශ්‍ය තොරතුරු ලබා දුන්නා. ඒ තොරතුරු අතර මෙතුවක් ග්‍රන්ථාරූඪ නොවූ තොරතුරු රැසක් තිබුණා.
මේ ග්‍රන්ථ පෙළ තවත් ඉදිරියට කරගෙන යාමට ඔබ අදහස් කරනවාද?
මේ ග්‍රන්ථ පෙළ ඉදිරියටම කරගෙන යන්න අදහසක් තිබෙනවා.
මං මේ වනවිට ඒ වෙනුවෙන් චරිත සොයමින්, අධ්‍යයනය කරමින්, සුදුසු චරිත තෝරා ගනිමින් සිටිනවා. නිකන් ආවාට ගියාට චරිත නෙමෙයි, ජනතාවගේ හද ගැස්ම ලබමින්, විඳිමින්, මිනිසුන්ගේ දාඩිය සුවඳ මැද සිටිය, මිනිසුන් ආදරය කරන චරිත තෝරා ගන්න මං වෙහෙසෙනවා. ඒ චරිත මෙලෙස ගෙන හැර පෑම සමාජයට වඩාත් ඵලදායී වෙයි කියා මං හිතනවා.
මේ ලිපි පෙළ කෘතියකට ගැනීමේ වැදගත්කම?
මේ ලිපි පෙළ වටිනවා. ඒ නිසා ඒවා නොකඩවා ලබා දෙන්න කියලා, ඒ කාලෙදි පාඨකයන් අපගෙන් ඉල්ලීම් කළා. මේ ලිපි පෙළේ වටිනාකම තේරුම් ගත් පිරිසක් සිළුමිණ පුවත්පත වටා සිටියා.
මේක මුද්‍රණය වීමට පෙර මෙන් ම පසුවත්, ඉතා හොඳ පැසසුම් ලැබුණා. නොදන්නා කරුණු රැසක් වගේම චරිතවල සැඟවුණු තොරතුරු, ඔවුන් දුක් විඳි ආකාරය හරි ම සරලව, ළඟන්නා සුළු භාෂාවකින් මෙයට එක් කළා.
ඒ වගේම, මේ පොත් කුඩා ළමයාගේ සිට වැඩිහිටි ඕනෑම අයකුට කියවන්න පුළුවන්. ජීවිතය ගැන දැනගන්න, අත්දැකීම් ලබා ගන්න , දැනුම ලබන්න එය ඉතා වටිනා කෘතියක්.
යශෝදා ඉන්දීවරී
ඡායාරූප විමල් කරුණාතිලක
පිටිසර සිරිය දෙනෙත් අභිමුව
අතීතයේ පටන් කවිය, ජන ජීවිතයේ සෙවණැල්ල සේ ළඟ රැඳී ඇත. දුක, සතුට, කෝපය, විරහව වැනි හැඟුම් ප්‍රකාශ කිරීමට, විවිධ ජීවනෝපායවල යෙදෙන විට ඇති වන විඩාව සහ පාළුව දුරු කර ගැනීමට, සියුම් අනුවේදනීය සිදුවීම් ප්‍රකාශ කිරීමට, සෙත් පැතීමට මෙන් ම වස් වැදීමට ද කවිය බොහෝකොට උපයෝගී කරගත් බව පැහැදිලි ය. විටෙක අවියක් වන කවිය, තව විටෙක සිත් සුවපත් කරන ඔසුවක් ය. මෙලොව එළිය දකින බිලිඳකු මවගේ තුරුලේ ලබන උණුහුමට ආදරය මුසු කරන්නේ කවියෙනි. දරුවන් සුව සිහින දකිමින් මව් ඇකයේ නිදන්නේ, මවගේ කවි අසමිනි. එපමණක් නොව, යටත් විජිත සමයේ සිංහල ජාතිය පරගැති මානසිකත්වයෙන් මුදාලමින්, නිදහස් සටන වෙනුවෙන් පුබුදුවාලීමට ද කවිය මනා රුකුලක් වූ බව කියැවේ.
‘කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට පිවිසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් ඒ ගැන නොතකන්නේ
ඇස් ගෙඩිවලට හෙණ ගහල ද සිහලුන්නේ’
ඇස්. මහින්ද හිමියන්ගේ මේ කාව්‍ය නිර්මාණය ඒ සඳහා කදිම නිදසුනකි. කෙසේ වෙතත් වර්තමානයේ දී අප විවිධ භාව ප්‍රකාශ කිරීමට යොදා ගන්නා මෙන් ම රස විඳීම වෙනුවෙන් ඇසුරු කරන කවිය, යුග ගණනක් මුළුල්ලේ පෝෂණය වෙමින්, කඩා වැටෙමින්, විටෙක ගැරහීමට ද, තව විටෙක ඇගැයීමට ද ලක් වෙමින් විකසනය වූවකි.
චමින්ද උඩවෙල විසින් සම්පාදනය කරන ලද ‘කේයස්ගේ සුදෝ සුදු කවි විමසුම සමඟ සාගර පලන්සූරිය කවි ලකුණ’ නම් ග්‍රන්ථය සන්ථව ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත්තේ, කවියට බෙහෙවින් ඇලුම් කරන ඔබ වෙනුවෙන් ම ය. එකල ජන ජීවිතය මනා සේ පිළිබිඹු කළ ජන කවිය, කොළඹ කවිය, සාගර පලන්සූරිය දිවිමග තොරතුරු, සුදෝසුදු කවි පංතිය සහ කේයස්ගේ මල්හාමි, කැලෑ දරුවා, කන උන්දෑ, විමතිය, සිරිමා වැනි තවත් කවි පංතීන් ද ඉගිළෙන සිහින පද්‍ය විචාරය ද මේ ග්‍රන්ථයට අන්තර්ගත වේ.
කොළඹ යුගයේ ප්‍රකට කවියකු වන සාගර පලන්සූරිය විසින් රචිත ඉතාමත් ජනප්‍රිය කවි කතාවක් වූ සුදෝ සුදු කාව්‍ය ග්‍රන්ථය පිළිබඳ නව රස වින්දනාත්මක ප්‍රවේශයක් ගෙන ඒමට, සම්පාදකවරයා මෙහිදී උත්සාහ දරා ඇත. එසේ ම, සුදෝ සුදු බිහිවුණු අව්‍යාජ පාරිසරික සිතුවම සෞන්දර්යාත්මක ව මේ කෘතිය තුළ විග්‍රහ වෙයි. ඈත අතීතයේ පිටිසර ගමක විසූ තරුණියක සහ තරුණයෙන් දෙදෙනකු අතර පැවතුණු සරල මානවීය බන්ධුතාව ඔස්සේ දිගහැරුණු මේ කවි කතාව, දශක කිහිපයක් තිස්සේ ශ්‍රී ලාංකේය ජනයා අතර අති මහත් ජනප්‍රියතාවක් උසුළන්නකි. එකී මානව සුන්දරත්වය ඊ ළඟ පරම්පරාව කරා රැගෙන යාම මේ ග්‍රන්ථයේ අරමුණ වී ඇති බව පැහැදිලි ය.
ටිකිරි ගමේ රාළහාමිගේ පුතු ය. අදිරි එගම වෙසෙනා ගොවියෙකුගේ පුතු ය. ළපටි වියේ පටන් ඔවුනතර වූයේ දැඩි කුළුපගකමකි. එසේ ම මේ දෙදෙනා ම එක සේ ඇලුම් කළ සොඳුරු යුවතියක් විය. නමින් හීන් මැණිකේ වූ ඇය, එගම වෙසෙන අංගොහාමි නම් වැන්දඹුවගේ සුරතල් දියණිය යි.
‘හීන් මැණිකෙ මගෙ කියමින් කී ටිකිරි
බණ්ඩගෙ බසට කිපිලා හැඩි දැඩි අදිරි
බහින් බස් වෙලා ගහ ගැනුමට ඉදිරි
පත් වූ කීප වේලාවක මේ ළදැරි’
‘ගහගන්නට එපා දෙන්නාට ම බිරිඳ
වෙන්නම් නුඹල දෙන්නම මාගේ නොවෙද
සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද
කියමින් සැනසුවා සුමිහිරි බස් බොළඳ’
කුඩා කල පටන් ඔවුන් තිදෙනා අතර ගොඩනැඟුණා වූ සෙනෙහස, එතරම් සොඳුරු ලෙස පද බඳිමින් මනාව ප්‍රකාශ කිරීමට කේයස් කවියෙන් පෑ දස්කම් අපූර්ව ය. අදිරි සහ මැණිකේ අතිනත ගැනීමත්, අඳ දරුවකුට මාපියන් වීමත්, ටිකිරි හීන් මැණිකෙට බැඳි සෙනෙහස සිතෙහි ම සඟවා ගැනීමත්, සුදෝ සුදු පද්‍ය පංතිය ඔස්සේ ඉදිරියට ඇදෙන අන්දම මේ ග්‍රන්ථයෙන් පිළිබිඹු වේ. එසේ ම, ටිකිරිත්, හීන් මැණිකේත්, අඳ පුතුත් එක වහලක් යටට වීම සහ අදිරිගේ වියෝව සමඟින් කවියා පද්‍ය පන්තිය අවසානය කරා ගෙන යන අපූර්වත්වය, පාඨක චිත්ත සන්තානයේ සනිටුහන් කරන්නට මේ ග්‍රන්ථයේ රචකයා දරා ඇති උත්සාහය අගය කළ යුතු ය.
කාංචනා සිරිවර්ධන
පරිපාලක පීඩනයෙන් බැටකන ගුරුවරු
ඉහළ අධ්‍යාපන නිලධාරීන් නොයෙකුත් චක්‍ර ලේඛන නිකුත් කරති. පහළ අධ්‍යාපන නිලධාරීන් කටයුතු කරනුයේ ප්‍රාදේශීය වංශාධිපතීන් ලෙසය. පත්වීම්, නිවාඩු ලබා ගැනීම් හෝ වෙනත් අවශ්‍යතාවක් සඳහා ගුරුවරුන් විසින් දේශපාලකයින් හා කලාප කාර්යාලයේ හෝකොට්ඨාස කාර්යාලයේ හෝ පියන්ගේ නැති නම් කාර්යාල කාර්ය සහායකගේ සිට අනිකුත් නිලධාරීන්ට බැගෑපත් විය යුතුය.
අලුත් ජනාධිපතිගේ මැතිවරණ ප්‍රකාශනයේ අධ්‍යාපනය පිළිබඳ ඉදිරිපත් වූ යෝජනා මෑතකදී ඉදිරිපත් වු හොඳම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අදහස් මාලාවක් ලෙස හැඳින්වීම වරදක් නැත. විශේෂයෙන්ම පළමු වරට “විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්” යන ප්‍රකාශනය මැතිවරණ පොරොන්දුවලට එකතු වීම සුවිශේෂී වේ. අධ්‍යාපනයේ ඇති බරපතළම ප්‍රශ්නය විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය බවට අධ්‍යාපනඥයින් පුන පුනා කියද්දී ඒ ගැන මෙතෙක් දේශපාලන මට්ටමෙන් ප්‍රමාණවත් අවධානයක් ලැබී නොතිබිණි.
ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය
ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් සඳහා ජාතික මට්ටමෙන් විභාග කෙරෙන විෂයයන් ගණන අඩු කිරීම මෙන්ම හා ඒ සමගාමීව විෂය මාලාව වඩා සරල කිරීම හා පාසල් කාල සටහනේ විභාග සූදානම සඳහා වැය කෙරෙන කාලය අඩු කිරීම කළ යුතුය. නමුත් එපමණක් නොසෑහේ. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබා දීම යන්න ඉගෙනුම් ඉගැන්වීම ක්‍රියාවලියේ හා පාසැල පරිසරයේ ගුණාත්මක බව මත රදා පවතී. එම ගුණාත්මක බව විභාග ප්‍රතිඵලවලින් මැනීමට නොහැකිය. ගුණාත්මක බවේ තීරකයා වන්නේ දරුවන් සමඟ ගැවසෙමින් කෙලින්ම දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන කටයුතුවල යෙදෙන ගුරුවරයාය. පරිපාලකයාගේ කාර්යභාරය ගුරුවරයාගේ එම කටයුත්ත පහසු කිරීමය. නමුත් අප රටේ අධ්‍යාපන ප්‍රතිපාදන බෙදී යන ආකාරයත්, එම ප්‍රතිපාදනවලින් ගුරුවර ගුරුවරියන්ට ලැබෙන පහසුකම් බලන විට පරිපාලකයන්ගෙන් අවශ්‍ය සේවය ගුරුවරයාට ලැබේද යන ප්‍රශ්නය පැන නැගේ.
ගුරුවරුන් සම්බන්ධව වැදගත් තීරණ දෙකක් නව රජය විසින් තම පළමුවන කැබිනට් රැස්වීමේදීම ලබා දීම සුබදායී පියවරකි. ගුරු වෘත්තිය සංවෘත වෘත්තියක් කිරීම හා සියලුම ගුරු විද්‍යාල උපාධි ප්‍රධාන ආයතන බවට පත් කිරීම සඳහා අධ්‍යයනය කර පියවර ගැනීමට රජය තීරණය කර ඇත. නමුත් වඩා ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රශ්නයක් වන අධ්‍යපාන පරිපාලනයේ දුර්වලතා ගැන අවධානයක් නොමැතිවීම ලොකු අඩුපාඩුවකි. ඒ ගැන අවධානය යොමු කිරීම මේ ලිපියේ අරමුණයි.
2003 ජාතික අධ්‍යාපන කොම්ෂන් සභා වාර්තාවට අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට බාධා පමුණුවන ප්‍රධානතම ව්‍යුහාත්මක ප්‍රශ්න ලෙස හදුන්වාගෙන ඇත්තේ, (අ) දේශපාලඥනයන්ගේ අනවශ්‍ය ඇගිලි ගැසීම්,
(ආ) නිලධාරීන්ගේ උකටලීබව, අකාර්යක්ෂමතාව හෝ නොහැකියාව හා,
(ඇ) රේඛීය අමාත්‍යාංශය හා අනිකුත් ආයතන හා පළාත් සභා අතර සම්බන්ධීකරණයක් නැති වීමයි. ඇත්තෙන්ම මේ කාරණා නිසා අවසානයේ බැට කන්නේ ගුරුවරයාය. ගුරුවරයා යනු රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට පළාත්, කලාප, කොට්ඨාස මට්ටමේ නිලධාරීන් හා විදුහල්පතිවරයා යන ධූරාවලියක පහළින්ම සිටින තැනැත්තාය.
රටේ දේශපාලකයෝ පාසල්වලට ඇතුළු වී ගුරුවරුන්ට තර්ජනය කරති. ඉහළ අධ්‍යාපන නිලධාරීන් නොයෙකුත් චක්‍ර ලේඛන නිකුත් කරති. පහළ අධ්‍යාපන නිලධාරීන් කටයුතු කරනුයේ ප්‍රාදේශීය වංශාධිපතීන් ලෙසය. පත්වීම්, නිවාඩු ලබා ගැනීම්හෝ වෙනත් තම අවශ්‍යතාවක් සඳහා ගුරුවරුන් විසින් දේශපාලකයින් හා කලාප කාර්යාලයේ හෝ කොට්ඨාස කාර්යාලයේ පියන්ගේ නැති නම් කාර්යාල කාර්ය සහායකගේ සිට අනිකුත් නිලධාරීන්ට බැගෑපත් විය යුතුය.
මැතිවරණ පොරොන්දු සාර්ථක කර ගැනීමට නම් ගුරුවරයා බල සම්පන්න විය යුතුය. එනම් අධ්‍යාපන පරිපාලන පද්ධතිය ගුරුවරයා පෙළන්නක් නොව ගුරුවරයාට සැබෑ සේවයක් දෙන්නක් විය යුතුය. ෆින්ලන්තය අධ්‍යාපනයේ උච්චස්ථානයේ සිටින්නේ මූලිකව එම රටේ පාලකයන් විසින් ගුරු වෘත්තියට දෙන ප්‍රමුඛතාවය හේතුවෙනි. තිස් වසරක තිස්සේ කොටි ත්‍රස්ත්‍රවාදයට එරෙහි යුද්ධයේ හැරවුම් ලක්ෂයක් වූයේ “අපි වෙනුවෙන් අපි” තේමා පාඨය තුළින් සොල්දාදුවා පිළිබඳ ගෞරවයක් හා ආදරයක් රටේ ජනතාව අතර ඇති කිරීමයි. අධ්‍යාපනයේ තිරසාර වෙනසක් සඳහා අධ්‍යාපනයේ පාබල සෙබළුන් වන ගුරුවරුන් පිළිබඳවද එවැනිම ව්‍යාපාරයක් අවශ්‍ය බව මගේ මතයයි.
ගුරුවරුන් පෙළන ප්‍රාදේශීය පරිපාලනය
රජයේ නිලධාරීන් ගුවන් තොටුපොලේදී හා වෙනත් සේවා ස්ථානවලදී අති විශේෂ පුද්ගලයින් ලෙස පහසුකම් ලබා ගැනීම ගැන අප්‍රසාදය පළ කරමින් පසු ගියදා ජනාධිපතිවරයා කියා සිටියේ රජයේ නිලධාරීන් ජනතාවගේ සේවකයින් මිස ජනතාවට ඉහළින් විශේෂ වරප්‍රසාද ලැබිය යුතු අය නොවන බවයි. එම කතාව අධ්‍යාපන ක්ෂේත්‍රයටද ඉතා වැදගත්ය. මෙහිදී සේව්‍යයා ජනතාව නොව අධ්‍යාපනයේ පාබල සෙබළුන් වන ගුරුවරු ගුරුවරියන් හා ඔවුනට නායකත්වය දෙන විදුහල්පතිවරුන්ය. අප රටේ අධ්‍යාපන පරිපාලකයින්ට ඒ බව විශේෂයෙන් මතක් කර දිය යුතුව ඇත.
දහතුන්වන සංශෝධනයෙන් ප්‍රතිපත්ති සම්පාදනය හා ජාතික පාසල් කළමනාකරණය හැරුණු විට සියලු අධ්‍යාපන සැපයීමේ කටයුතු පළාත් සභාවලට පවරා ඇත. පළාත් අමාත්‍යාංශ හා ඒවා අනුබද්ධ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මේ කටයුතු සිදු කරන්නේ එක් එක් පළාත පුරා විසිරුණු අධ්‍යාපන කලාප කාර්යාල හා උප-කලාප කාර්යාල හෝ කොට්ඨාස කාර්යාල හරහාය. ජාතික පාසල් 354 හැරුණු විට 9841 ක් වූ පළාත් ආණ්ඩු යටතේ පාලනය වන පාසල් හා ඒවායේ සේවය කරන දෙලක්ෂයකට අධික ගුරුවරුන්ට සේවා සපයන්නේ මේ ආයතනයයි. එම ආයතන ගුරුවරුන්ට සේවයක් නොව පීඩාවක්ම කරන ආයතන බවට සාක්ෂි බොහෝය. උදාහරණ ලෙස රජයේ සේවකයින් යම් කාරණයක් සඳහා රටින් බැහැර වීමේදී ඒ සඳහා ඉහළින් අනුමැතිය ලබා ගත යුතුව ඇත. පරිපාලන ධූරාවලියේ පහළින්ම සිටින ගුරුවරු ගුරුවරියන්ට මේ සඳහා පස් හය වතාවක් වත් කලාප කාර්යාලයට යෑමට සිදුවීම සාමාන්‍ය සිද්ධියකි. මෙයට අමතරව එක් අධ්‍යාපන කලාපයකින් තව කලාපයකට මාරුවක් ලබන ගුරුවරයෙකුගේ ලිපි ගොනුව යාවත්කාලීන කිරීමට අවුරුද ගණනක් ගතවෙන අවස්ථාද ඇත. එකී නොකී මෙවැනි කරුණු සඳහා ෂෝට් ලීව් දමා කලාප කාර්යාලයට ගොස් එම කාර්යාලවල කාර්යාල කාර්ය සහයක ගේ සිට සෑම නිලධාරියකුට බැගෑපත් වීමට ගුරුවරුන්ට සිදුවේ.
ගුරුවරුන් වැඩි පිරිස මෙවැනි කාල නාස්ති කිරීම් හෝ බාල්දු කිරීම්වලට ප්‍රතිචාර ලෙස තවත් පඩියට වැඩ කරන රජයේ සේවකයන් බවට පත්වීම පුදුමයක් නොවේ. අධ්‍යාපන පරිපාලකයා යනු ගුරුවරයාගේ සේවකයා යන මානසිකත්වයෙන් ගුරු වෘත්තීය නගා සිටුවන තුරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නිසි පල නෙළාගත හැකි නොවනු ඇත. .
දුරස්ත පාලකයෙක් වන රේඛීය අමාත්‍යාංශය
1943 පළවූ කන්නන්ගර වාර්තාව නමින් ප්‍රසිද්ධ රාජ්‍ය සභා වාර්තා සම්පාදන කමිටුවේ සාමාජිකයින් 24 දෙනාගෙන් 8 දෙනක්ම ක්‍රියාකාරී හෝ විශ්‍රාමික පාසල් විදුහල්පතිවරු වූහ. අද දින වන විට ගුරු වෘත්තියට බලපාන ප්‍රතිපත්ති හෝ සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රවීණ ගුරුවරුන් හෝ විදුහල්පතිවරුන්ගේ අදහස් විමසීමක් සිදු නොවේ. පවතින ගුරු සංගම්වලට ජනප්‍රිය සටන් පාඨවලට එහා යන ප්‍රතිපත්ති විශ්ලේෂණ හැකියාවක් නැත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
දහතුන් වසරක අධ්‍යාපනය යනු පසු ගිය රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනසකි. මෙම ප්‍රතිපත්ති සැකසීම සියයට සියයක්ම බාර දී තිබුණේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවකටය. උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීම භාරව සිටින්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ය. තම වෘත්තියට බලපාන වෙනස්කම් ගුරුවරුන් හෝ විදුහල්පතිවරුන් හඳුනාගන්නේ වරින් වර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර පළාත් අධ්‍යාපන ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ඨාස අධ්‍යක්ෂ හරහා දැනුම් දෙන චක්‍ර ලේඛන මඟිනි.
ගුරු වෘත්තියට ගෞරවයක් ලබා දීමට නම් ගුරුවරුන් වෘත්තීය සංගම් ලෙස පමණක් නොව වෘත්තිකයන් ලෙස සංවිධානය විය යුතුය. ගුරු පුහුණු පීඨ උපාධි ප්‍රධාන ආයතන ලෙස උසස් කිරීම සඳහා අධ්‍යයනයක් කිරීමට අලුත් රජයේ පළමුවන කැබිනට් රැස්වීමේදීම අධ්‍යාපන අමාත්‍යාංශයට බලය පවරා ඇත. රජය බලාපොරොත්තු වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම් මෙම පීඨවලට ප්‍රවීණයන් බඳවා ගැනීමත් ඒ අයගේ වෘත්තිමය තත්වය නංවාලීමත් අතිශයින් වැදගත් වේ. මෙහිදී රේඛීය අමාත්‍යාංශවල දැනට සේවක අතිරික්තයක් ඇතිද, එසේ නම් ඒ අතිරික්තය නැවත ගුරු වෘත්තියට නව උපාධි මට්ටමේ ගුරු පුහුණු පීඨ හරහා සම්බන්ධ කර ගැනීම ගැනත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතුය.
රේඛීය අමාත්‍යාංශයේ සේවක අතිරික්තයක්?
2019 අයවැය ඇස්තමේන්තු වාර්තාවට අනුව දස දහසකට කිට්ටු පාසල් සංඛ්‍යාවක ඉගෙන ගන්නා මිලියන හතරකට වැඩි වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවකට අදාළ සේවා සපයන විභාග දෙපාර්මේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්මේන්තුව හා විෂය මාලා සංවර්ධනය හා ගුරු පුහුණුව කරන ජාතික අධ්‍යාපන ආයතනය යන තුනෙහි නියුතු සේවක සංඛ්‍යාව පිළිවෙළින් 558, 336 හා 346 ලෙස වේ. ආයතන තුනෙහි මුළු සේවක සංඛ්‍යාව 1,330 කි. ඒ අතර අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් සේවක සංඛ්‍යාව 58,817 ක්ද ඉන් ජාතික පාසල්වලට අනුබද්ධ ගුරුවරු සංඛ්‍යාව 46,944 ක් ලෙසද වාර්තා වේ. මේ අනුව රේඛීය අමාත්‍යංශයට අනුබද්ධ විදුහල්පතිවරුන් ඇතුළු පරිපාලකයින් සංඛ්‍යාව 12,000 කට ආසන්නය.
අමාත්‍යාංශයේ කාර්යභාරය ලෙස එම ඇස්තමේන්තුවේම දක්වා සිටින්නේ - ප්‍රතිපත්ති සම්පාදනය හා අධීක්ෂණය හා ඇගයීම; ජාතික හා සන්ධීය භාෂා ප්‍රවර්ධනය; පාසල් සංවර්ධන මණ්ඩල පරිපාලනය; අධ්‍යාපන ආයතන නීත්‍යානුකූල කිරීම; ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය හා ජාතික පාසල් සඳහා භෞතික හා මානව සම්පත් සැකසීම යන කාර්යයන්ය. 2018 වර්ෂය සඳහා අමාත්‍යංශයෙන් වාර්තා කෙරෙන විශේෂ ව්‍යාපෘති 15න් 12ක්ම පාසල්වලට භෞතික සම්පත් ලබා දීම හෝ ඉදිකිරීම පිළිබඳ ව්‍යාපෘතීන්ය. ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය, පෞද්ගලික පාසල්වල නීත්‍යානුකූල බව පිළිබඳ හෝ පාසල් සංවර්ධන මණ්ඩල පිළිබඳ වගකීමක් ඇති මුත් එවැනි වාර්තා අමාත්‍යාංශය මඟින් ප්‍රකාශ කර නැත. අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්ති හා අධ්‍යාපනයේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් කාලීන ලෙස අමාත්‍යාංශය මඟින් ලබා දෙන බවටද අපට පැහැදිලි නැත.
රේඛීය අමාත්‍යංශය පිළිබඳව ඇති මෙම සීමිත සංඛ්‍යා ලේඛන අනුව වුවත් අපට එම අමාත්‍යංශයේ කාර්යක්ෂමතාව පිළිබඳ සාධාරණ සැකයක් මතුවේ. රේඛීය අමාත්‍යාංශය මගින් පරිපාලනය සඳහා යෙදෙන 12,000 ක කාර්ය මණ්ඩලය දරුවන්ගේ අධ්‍යාපනයට ඍජුවම සම්බන්ධ වන ගුරුවරුන් බලසම්පන්න කිරීමේ ඉලක්ක කරා වඩා කාර්යක්ෂම ලෙස මෙහෙයවීමට නව ඇමතිවරයාගේ අවධානය යොමු විය යුතුය.
ඩිජිටල්කරණයෙන් ගුරවරු බල ගැන්වීම
පසුගියදා , විභාග දෙපාර්මේන්තුව විසින් ගුරුවරුන්ගේ විභාග සුදුසුකම් සනාථ කිරීම එක ක්ෂණයකින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබා දීමේ සේවයක ආරම්භක රැස්වීමට සහභාගී වීමට මට අවස්ථාව ලැබිණි. මීට පෙර යම් ගුරුවරයකු විසින් අදාළ විභාග දෙපාර්මේන්තු සුදුසුකම ලබා තිබුණත් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට වසර දෙකක් ගත වන අවස්ථාද තිබී ඇත. අලුත් ක්‍රමයට අනුව කලාප අධ්‍යක්ෂකට මුරපදයක් යොදා ගෙන සැණින් ගුරුවරයෙකුගේ සුදුසුකම් පිළිබඳ සනාථ කිරීම ලබා ගත හැක.
ගුරු මාරු වීම් සඳහාද ගුරුවරුන් අතට වැඩි බලයක් දීම සුදුසු යයි මම සිතමි. මා දන්නා විද්‍යා උපාධි ගුරුවරියකට වසර දහයකට පසු තම අනිවාර්ය ගුරු මාරුව සඳහා ලැබුණේ ප්‍රාථමික පාසලකි. ඒ එම කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් කලාපයේ සීමා තුළ තමන්ගේ හැකි ප්‍රමාණයට ගුරු මාරු කිරීම් තුළින් ලබා ගත් වැරදි ප්‍රතිඵලයකි ඒ. ගුරුවරුන් පිළිබඳ ජාතික දත්ත පද්ධතියක් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට විවෘත කිරීම මඟින් ගුරුවරුන්ට සේවා ස්ථාන පිළිබඳව හෝ විදුහල්පතිවරුන්ට තමන්ගේ ගුරු මණ්ඩලයට සුදුසු ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙමින් වඩා ඵලදායී ගුරු පවීම ක්‍රමයක් රටට ලබා ගත හැක.
සමස්තයක් ලෙස කලාප කාර්යාල හෝ අමාත්‍යාංශ යනු ගුරුවරුන් රස්තියාදු කරවන තැන නොවී ඒ අයට ඩිජිටල් තාක්ෂණය හෝ වෙනත් ක්‍රම හරහා සේවා සපයමින් ගුරුවරයින් මුල් පුටුවේ හිඳුවන තාක් රජය බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ තවත් හොඳ උත්සාහයන් සමූහයකට සීමා වනු ඇත.
ඡායාරූපය - අන්තර්ජාලයෙනි
මඩපිටින්... පොලිස්... කෝලං
නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළ ළඟින් වමට විහිදුනු මාවතේ සැතපුම් දෙකක් පමණ දුර ගිය විට 'පොල්වත්ත වංගුව'හමුවේ. වංගුවේ දකුණුපස ප්‍රපාතාකාර බෑවුමකින් යුක්තය. ඒ අසලින් වැටුණු කුඩා අඩි පාර කෙළවර වන්නේ, සමෝච්ච ක්‍රමයට සැකසූ කුඹුරු යායකිනි. කුඹුරුවලට යාබද පාළු ඉඩමක දිගේලි කළ එළ ගවයකු හෝ මී වස්සකු නඟන 'උම්බෑ'නාදය බොහෝ දුරට ඇසිණි.
'පොල්වත්ත වංගුව'ඇති සාවියේ සැතපුම් කාලක් පමණ යනතුරු ගෙයක් දොරක් දක්නට නැත. එහි වම්පසින් ඇති කඳුගැටයේ, නිසරු පොල් ගස් ඇති පෙදෙස සොහොන් බිමක් ලෙසිනුත් භාවිත විය. ඇතැම් සොහොනක හේදී, වියළී ගිය මල්වඩම් ද, මතුපිට පොත්ත ඉවත් කර ඊයම් පැහැ ආලේපයක් තවරන ලද පුවක් කඳන් ද, මරණය ගැන දුක්මුසු හැඟීම් ජනිත කළේය.
දිවා සමයේ නම් ගැහැනුන් හෝ ළමුන් තනිපංගලමේ 'පොල්වත්ත වංගුවෙන්'ගමන් කළේ නැත. හොල්මං, අවතාර කාගේවත් මූණට මුලිච්චි නුවූ නමුත්, ටික කලකට පෙර පොල්වත්ත බලාගත් මුරකරුවාගේ බෙල්ල කපා, එරමිනියා ගාලේ දමා තිබූ දා පටන්, ඉතානිර්භීත පිරිමි පරාණයක් මිස, රෑ ජාමේ අන් කිසිවකු ඒ පෙදෙස තරණය කළේ නැත.
'ජෝකීනු'අම්මණ්ඩි ජීවත් වූයේ 'පොල්වත්ත වංගුවෙන්'දකුණුපස තිබූ කුඩා අඩිපාර දිගේ පහළට බැස ගිය විට හමුවන, කුඹුරු යායට යාබද ඉඩම් කෑල්ලකය. ('අම්මණ්ඩි'යන වදන මැදිවියේ හෝ වයෝවෘද්ධ පිරිමින් සඳහා උඩරට ඇතැම් ගම්මානවල යෙදුණු ගෞරවාන්විත ඇමතුමක් විය.) 'ජෝකීනු'අම්මණ්ඩි සතුව එළුවෝ සහ මී ගවයෝ කීප දෙනෙක් වූහ. තමන්ගේම වන කුඩා ලියදු කීපයක් ද තිබූ ඔහු සී සෑමට, පෝරු ගෑමට හෝ කොළ පෑගීමට තමන්ගේ ගවයන් කුලියට දී කීයක් හෝ උපයා ගත්තේය. නැතහොත් සී සෑමෙන් හෝ පෝරු ගෑමෙන් යමක් හම්බ කර ගත්තේය. එහෙත් එකල ඒ සඳහා ලැබුණේ ඉතා සුළු මුදලකි.
'ජෝකීනු'ගේ රූප සොබාව ද අමුතුය. හේ බට දණ්ඩක් සේ සිහින්ය, කළු පැහැතිය. දොඩම් ගෙඩියක් තරමට පිටුපසට බැඳි කොණ්ඩයේ එක් කෙස් ගසක්වත් පැසී තිබුණේ නැත. නාසය හා මුඛය අතර අන් අයට වඩා වැඩි පරතරයක් තිබූ නිසා ඝණව වැවූ උඩු රැවුල කැපී පෙනුණේය. පිජාමා සරමක් හැඳ සිටියද එහි පැහැය කුමක්දැයි කිව නොහැකි විය. අත් දිග සුදු කමිසය ද නිසි ලෙස හැඳ සිටීමට වඩා, වම් අතේ හා උරයේ දමාගෙන නිදහසේ තබාගැනීමට ඔහු වඩාත් මනාප විය. නිබඳ බුලත් විටෙන් සප්පායම් වූ බැවින් දත් වහල්ල රටඉඳි ඇට සේ පෙනිණි. වෙහෙස වී දවස තිස්සේ හී හානා බැවින් 'හී ජෝකීනු'නමින් ප්‍රකට විය. එසේම කෑමට වඩා 'බීමට'ගිජු වූයේය.
පදම වැඩි වූ විට 'ජෝකීනු'හැසිරෙන්නේ ද අන් කිසිම මත් ලෝලියකුට වඩා වෙනස් අන්දමිනි. ඔහු වැනි වැනී පාරේ තොටේ යන ගමන්, සී සානා විටදී මෙන් ඉතා ළයාන්විත ස්වරයෙන් 'ඕසලන්නට'පටන් ගනී.
'මයෙ... රත්තරං පොඩි වහු දරුවෝ... උවෝ... උවෝ... උවෝ... ඕ... ඕ... ඕ... ඕ... ඕ...'
එක දිගට හුස්ම අල්ලා මෙසේ ඕසලන්නට ඔහු තරම් සමතකු පැත්ත පළාතේ සිටියේ නැත. එයට වෙලාවක් අවේලාවක් ද තිබුණේ නැත. කෙසේ වුවත් ඒ දුක්මුසු හඬ ඇසෙන්නේ ගොංමං යාමයේ හෝ රෑ පානේය. එවිට ගම්මු මෙසේ කියති.
'ඕං... ඇහෙනවද 'හී ජෝකීනු'ට අදත් වැඩිවෙලා. දැං ඉතිං ගෙදරට යනකල්ම ඔහොම තමයි'
'ඒත් ඉතිං අපේ ගමේ අනික් බේබද්දො වගේ උන්දැ කුණුහරුප වපුරන්නෙ නෑ නොවැ. උන්දැගෙ පාඩුවේ ඕසලනවා විතරයි නෙවැ'
දිනක් 'පොල්වත්තේ වංගුව'ද පසුකර වෙනත් ගමක සී සෑමකට ගිය 'ජෝකීනු'දිවා කිසටත් පෙර බඹර පදම ද ඉක්මවූයේය.
'මං දැන් ගෙදර ගිහිං එන්ට ඕනෙ'
'ජෝකීනු'වැනි වැනී කීවේ ගහෙන් ගෙඩි එන්නා සේය.
'අම්මණ්ඩි කීවම අහපංකෝ. දැං යන්ට එපා. බත් ඩිංගක් කාලම යං'එසේ කීවේ ඔහුගේ සගයාය.
එබසට ජෝකීනු සරදම් සිනා පෑවේය.
'බොලං බත් කන්ට මං බඩගිනි නෑ. මං සුටුස් ගාලා ගිහින් එඤ්ඤං. උඹ කාලා හිටිං'
හොඳ හැටි බීමත් වූ පසු 'ජෝකීනු'කිසිවකුගේ බහට අවනත නොවන හිතුවක්කාරයකු විය. මෙසේ පදම වරදින ඇතැම් දවසක ඔහු මඩ පිටින්ම කුඹුරෙන් ගොඩට එන අවස්ථා ද ඇත. එවිට සුව පහසුව වැතිරෙන ඔහු මෙසේ දොඩවයි.
'මට දැං නං කෙළින් ඉන්ට බෑ. උඹලම පුළුවන් නං හා ගනිල්ල. නැත්තං මං හෙට ඇවිල්ල වැඩේ කරල දෙඤ්ඤං...'
ගිනි මද්දහනේ 'ජෝකීනු'සගයාගේ අවවාද ද නොඅසා තාර පාර දිගේ වැනි වැනී පිටත් විය. මඩෙන් නැහැවී ගිය සිරුර පාලනය කරගනු බැරිව ඔහු පාර පුරා විසිවෙමින් යන්නට විය. 'පොල්වත්ත වංගුව'හරියට එන විට පාළුව නිසාදෝ 'ජෝකීනු'ඕසලන්නට පටන් ගත්තේය.
'මුදුනේ පලයං මයෙ අප්පෝ.... උවෝ... උවෝ... උවෝ... උවෝ... මයෙ බකිරි බතෝ... ඕ... ඕ... ඕ...'
හරියටම මේ වෙලාවට පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානියා වූ, පොලිස් පරීක්ෂකවරයා රැගත් ජීප් රිය පොල්වත්ත වංගුවට ආසන්නයෙන් ධාවනය වෙමින් තිබුණේය. තමන්ට ඉදිරියෙන් 'සිග් - සැග්'ක්‍රමයට පාර පුරා යන කළු, කෙසඟ රුව ප්‍රධානියාගේ අවධානයට ලක් විය.
'කවුද අයිසෙ අර පාර පුරා වැනි වැනී යන වැද්දෙක් වගේ මිනිහ. මේ යකා හොඳටම බීලා නේද? නවත්තනව ජීප් එක මොන පිස්සෙක්ද බලන්න'
අපරාධ අංශයේ පොලිස් ප්‍රධානියා මේ පොලිසියේ සේවය සඳහා පැමිණියේ මෑතකදීය. නීතිය අකුරට ඉටු කරන තරුණ නිලධාරියකු වූ ඔහු, නීතිගරුක ජනයාගේ ප්‍රසාදය නොමඳව දිනාගත්තේය.
මහ හඬින් තිරිංග දමා තමන්ට ඉදිරියෙන් නැවැත්වූ රථය ගැන කේන්තියෙන් 'ජෝකීනු'ඒ දෙස බැලුවේය. කොතරම් බීමත් වුවත්, පියවි සිහිය අහිමි නොවන ඔහු සිද්ධ වෙන්නට යන ඇබැද්දිය මනාව වටහා ගත්තේය.
'අප්පට සිරි පොලිස් ජීප්පෙක! අලුත් ලොකු මහත්තයද කොහෙද?'
ඕසැලීම නැවතිණි. එහෙත් සිරුර පාලනය කර ගැනීමට 'ජෝකීනු'අසමත් විය. රථයෙන් බිමට බට සද්දන්ත, ප්‍රතාපවත් නිලධාරියා ජෝකීනුගේ හිසේ සිට පාදාන්තය දක්වා දැඩි බැල්මක් හෙළීය.
'ඒයි ලොක්කො... මොකද මේ කෑ කෝ ගහගෙන පාර පුරා යන්නෙ. තමුසෙ හොඳටම බීලා නේද? තමුන්ගෙ වයසටවත් ගැලපෙනවද ඔය බීම?'
'ජෝකීනු'බැගෑපත් සිනාවක් පෑවේය. මෙතෙක් වේලා එක් අතක් පමණක් උරයට දමා තිබූ කමිසය ඇඳ ගත්තේය. බමන මතින්ම පිළිතුරු දුන්නේය.
'ලොකු මහත්තයා නේද මේ? මහත්තයා ගැන අපෙ අප්පෝ හැමෝම කතා වෙනවා. තමුන්නැහේගෙ ගුණ යහපත්කමමයි කියන්නෙ... අනේ මහත්තයෝ! මං මේ උදේ හිටන් හීයක් හාලා අපේ ගෙවල් පැත්තට ගෙහුං එන්ට කියලා...'
'මේ යකා නං ගල් ආඳෙක්...!'පොලිස් පරීක්ෂකවරයා සිතුවේය. එහෙත් මේ වියපත්, කෙසඟ මිනිසා තමා ගැන ප්‍රසාදයෙන් කතා කළ බව ඔහුට අමතක කළ නොහැකි විය.
'හා... හා... ඒවයිං වැඩක් නෑ. තමුසෙ හොඳටම බීලා. ඔව් ඉතිං මේ පැත්ත කසිප්පු විමානෙ බව මං දැනගෙන ඉන්නෙ. හරි කියනවා මට තමුසෙ කොහෙන්ද මේ ජරාව බීවෙ?'
'මං බුන්න තැනද අපේ මහත්තය අහන්නෙ?'පොලිස් ප්‍රධානියාට කේන්ති ගිය බව හොඳ හැටි පෙනෙන්ට විය.
'නැත්තං ලොක්කො... තමුසෙ නොවෙයි නං මංද දැන් බීලා ඉන්නෙ?'
'මං... මං... තමයි බුන්නෙ... ඇඟේ පතේ අමාරුවට සුට්ටක් බුන්නා...'
'ඒක තමයි මං දැං අහන්නෙ? කොහෙන්ද බිව්වෙ?'
'සෑර්... මං බුන්නෙ අලකොලෙන්...'පොලිස් පරීක්ෂකවරයා අන්දමන්ද විය. ඔහු රාළහාමිලා දෙස බැලුවේය.
'අයිසෙ මේ ලොක්ක මොනවද කියන බහුභූත?'
එවර ප්‍රදේශය ගැන හොඳින් දන්නා රාළහාමි කෙනෙකු මෙසේ කීය.
'සර් ඔය කියන්නෙ මත්පැන් බිව්වෙ අලකොලෙන් කියලා. කුඹුරෙ වීදුරු නෑනෙ. අලකොලේට දාගෙන බොන්ට ඇති'
'එහෙමද? හරි මට තමුන් බිව්ව තැන පෙන්නනවා!'
එවර 'ජෝකීනු'ලැජ්ජා සහගත ලෙස සිනාසුණේය. ඔහු දකුණතේ දබැරැඟිල්ල සිය මුවට ළං කළේය.
'අනේ සමාවෙන්න ලොකු මහත්තයෝ... මං බුන්නෙ කටින්...!'
'මොකක්? ඒ පාර මොනවද මේ මිනිහා කියන්නෙ?'
එවර නම් කොස්තාපල් මහත්වරුන්ටද හොඳටම සිනාසෙන්නට වුවමනා විය. එහෙත් ප්‍රධානියා ඉදිරියේ විනයගරුක විය යුතුය.
'සර්... ලොක්කා කියන්නෙ මත්පැන් බිව්වෙ මිනිහගෙ කටින්ලු'
'හැබෑට එහෙමද ලොක්කො...? තමුන් මාව විහිළුවට අරගත්තද? එනවා යන්න පොලිසියට! නගිනවා ජීප් එකට...!!'
පොලිස් ප්‍රධානියාගේ ගෝරනාඩුවට 'ජෝකීනු'අම්මණ්ඩි බිය වූයේ නැත. ඔහු තමන්ගේ කෙසඟ සිරුර දෙස බලා මෙසේ කීවේය.
'මඩපිටින්... පොලිස්... කෝලං...!'
එසේ පැවසූ 'ජෝකීනු'අම්මණ්ඩි කිසිදු කලබලයක් නැතිව, වැනි වැනී පෙරට ගමන් කළේය. ප්‍රශ්නාර්ථයෙන් තමන් දෙස බලා ඉන්නා ප්‍රධානියා දෙස බැලූ පොලිස් භටයකු ඒ කතාවේ අරුත පැහැදිලි කළේය.
'ඒ කිව්වෙ සර්.... මේ මඩ පිටින් ඉන්න ගමන් පොලීසි අරන් යන්නෙ ඇයි? ඒ මොන කෝලමක්ද කියල?'
ප්‍රධානියා තවත් යමක් කියන්නට පෙර වෙනත් පොලිස් භටයකු ඊට අලුත් අදහසක් එක් කළේය.
'ඔය මිනිහ අහිංසකයෙක් සර්. බීගත්තම ඕසලාගෙන යනව ඇරෙන්න කාටවත් වරදක් නෑ...'
වැනි වැනී ඉදිරියෙන් ගමන් කරන වියපත් මිනිසාගේ කළු, කෙසඟ රුව දෙස බැලූ පොලිස් ප්‍රධානියා සුසුමක් හෙළා ජීප් රියට ගොඩ විය.
Tiniwick 2705@gmail.com
මරණ සහතිකය ලියා ගැනීම
1970 වසර සිට පර්යේෂකයන් ගෝලීය වශයෙන් වන පාරිසරික විද්‍යාව කළමනාකරණය පිළිබඳ විවිධ වාර්තා එළි දැක් වු අතර, 2010 වසරේ ලොව පුරා ශාක මහා පරිමානයෙන් වඳවී යන වග එළිදරව් කළහ. ආර්ජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව සිට ස්විස්ටර්ලන්තය දක්වා සිම්බාබ්වේ, කැනඩා, චීනය සිට දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව දක්වා මෙම ව්‍යසනය සිදූවෙමින් පවතින වග අනාවරණය කිරීමට ඔවූහු සමත්වූහ. ශාක වඳ වූ විගස ඒ මත යැපෙන පක්ෂීන් සහ වෙනත් ජීව විශේෂ ද අතුරුදන් වීම සත්‍යයකි.
පෘථිවි ඉතිහාසය තුළ සත්ත්ව සහ ශාක විශේෂයන් වඳවීයාම දැන් ඉතා වේගයෙන් සිදූවේ. මෙය තරමක විවාදාත්මක මතවාදයකි. එහෙත් පෘථිවි ග්‍රහයාගේ පාරිසරික බිඳවැටීම දැන් ඉතා පැහැදිලිය. අන් කිසිම යුගයකට වඩා මහා පරිමානයෙන් සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ විනාශය දැන් අනපේක්ෂිත අයුරින් අඛණ්ඩ ව සිදූවෙමින් පවතී. එය සයවැනි මහා විනාශය (sixth great extinction) යැයි විද්‍යාඥයෝ හඳූන්වති. කොඳූඇට පෙළ සහිත සහ රහිත සත්ත්ව විශේෂ මෙන් ම පෘථිවියේ සෑම ඉමක ම ශාක දිනෙන් දින විශාල ලෙස අතුරුදන් වේ. ජෛවවිද්‍යාත්මක ශූණත්වයට පෘථිවිය පත්වීම 21 වන සියවසේ අනුවේදනීය කතා පුවතකි. එහෙත් අප යථාර්ථය අවබෝධ කර ගත යුතුය. පූර්ව යුගයන්ට වඩා වේගයෙන් කෑදර මානව ආක්‍රමණික ක්‍රියාකාරකම් මෙම අන්තරාවට හේතු වී ඇත. සොබාදහමේ යථා ස්වරූපය අවබෝධකර නොගත් අවිධිමත් සංවර්ධනය උදෙසා මානව මැදිහත්වීම නිසා හටගත් දේශගුණික වෙනස එහි පෙරටුගාමී මෙහෙවරක් ඉටු කරයි. වත්මත් මානව බල දේශපාලනික ක්‍රියාකාරිත්වය මත ගෝලීය උණුසුම අවමකර ගැනීම දැන් සීමාව ඉක්මවා ගොස් ඇති වග මැඩ්රිඩ් දේශගුණික සමුළුව සහ විමෝචන පරතර (Emissions Gap 2019) වාර්තාවෙන් පසක් වේ. ගෝලීය ආර්ථිකය කාබනික කරණය බල දේශපාලනික වුවමනා සහ සමාගම් ලාභය විසින් යටපත් කර ඇත. එමෙන් ම පාරිභෝජන මතවාදය මත හැඩගැසූ නූතන මානව ජීවන රටාව පෘථිවියේ මහා පාරිසරික බිඳවැටීමට අවශ්‍ය සියලු මංපෙත් සකසා අවසන්ය. අප ජීවත්වන අන් සියලු බල දේශපාලනික වුවමනා අභිභවනය කළ යුගයේ මහා අභියෝගය හඳූනාගැනීමට පෘථිවි නිරීක්ෂණ චාරිකාවක් වෙත අපි ඔබ ව කැඳවායන්නෙමු.
පරාග සංයෝජකයා අතුරුදන්වීම
“පෘථිවිය මතුපිටින් මීමැස්සා අතුරුදහන්වුව හොත්, මානවයාට ජීවත්විය හැකි වසර හතරක් පමණි” යැයි 20 වන සියවසේ භෞතිකවිද්‍යාඥ අල්බර්ට් අයින්ස්ටයින් වරක් ප්‍රකාශ කළේය. ගෙවී ගිය කාලය තුළ ජීව විද්‍යාව පෘථිවිය මත හඳූනාගත් සත්ත්ව විශේෂ මිලියන දෙකක් පමණ වන අතර, ඉන් 97%ක් කෘමි විශේෂයන්ය. භූමි සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සිට සමූද්‍ර ජීව සහ ශාක විශේෂ දක්වා ආහාර දාමයේ කෘමීහු හැසිරෙති. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කෘමී ජීව විශේෂඥයකු වූ ඊ.ඕ.විල්සන්ගේ නිරීක්ෂණයට අනුව යම් හෙයකින් කෘමීන් මහිතලයෙන් අතුරුදන් වුව හොත් සමස්ත පරිසරයේ ම ජෛවවිවිධත්වය බිඳවැටෙයි. මානවයාගේ ආහාර දාමයෙන් 2/3 ක් යැපෙන්නේ සෘජු ව හෝ වක්‍ර ව කෘමීන්ගේ පරාග සංයෝජනය මතය. එහෙත් මානවයා තවමත් මෙම යථාර්ථය අවබෝධ කර ගත් වග දක්නට නොමැත.
ජර්මනියේ කලාප 63 ක් පුරා වසරකට පෙර දිගුකාලීන ව සිදූ කළ කෘමී විශේෂයන්ගේ අතුරුදන්වීම පිළිබඳ පර්යේෂණය කෘමීන් වඳවීයාම සහ අභාවය ඉතා මැනවින් වර්තා කළේය. එම වාර්තාවට අනුව පියාසලන කෘමී විශේෂ 76% ක් ගෙවීගිය වසර 30 තුළ අතුරුදන්ව ඇත. එයට සමාන්තරව යුරෝපා මහාද්වීපය කළ නිරීක්ෂණයේ දී මී මැසි, සලබ, ගොළුබෙලි සහ කෘමී විශේෂ මහා පරිමානයෙන් වඳවීයන වග සොයාගත්තේය. පෘථිවියේ වත්මන් මහා පාරිසරික බිඳවැටීමට හේතුව කුමක් ද? ඒ තරගකාරී පරිභෝජන සමාගම් මතවාදය මත භ්‍රමණය වන කෑදර මානව ක්‍රියාකාරිත්වයයි. කෘමී විශේෂ වාස භූමි විනාශයට ආසන්න හේතුව කෘමී නාශක භාවිතය, වාණිජ කෘෂිකර්මාන්තය, පාරිසරික දූෂණය, දේශගුණික වෙනස සහ අවිධිමත් නාගරික සංවර්ධනයයි.
අමෙරිකානු කෘමි විද්‍යාඥ බ්‍රෙඩ්ෆෝර්ඩ් ලිස්ටර් 1976 වසර සිට පොටෝරිකෝ රාජ්‍යයට අයත් එල් යුන්ක්‍යූ ජාතික වනාන්තරයේ වසර 40 ක් සිදූ කළ පර්යේෂණයෙන් පත්තෑ, කෘමි, කකුළු, මකුළු ඇතුළත් ආත්‍රපොඩාවන් (Arthropods) 98% ක් සීග්‍රයෙන් වඳවීයෑමේ අනතුර ලොවට ඇඟවීය. එමෙන්ම අමෙරිකානු වැසි වනාන්තර පද්ධතියේ කෘමි විලෝපිකයන් (කෘමීන් ආහාරයට ගන්නා සත්ත්ව විශේෂ) කුඩා පක්ෂි, කටුසු, උරග, මැඩි විශේෂ කෘමීන්ගේ අභාවයත් සමඟ අතුරුදහන්වන වග සොයාගත්තේය. සැබවින් ම දැන් පෘථිවිය පුරා සෑම තැනක ම මෙම ඛේදවාචකය සිදූව අවසන්ය. ආන්තික කාලගුණික සිදූවීම් කැලෑ ගිනි ගැනීම, ගංවතුර ඉපිලයාම සහ සුළි කුණාටු පාරිසරික බිඳවැටීම ඉහළයාමට හේතු වී ඇත.
සමුද්‍ර ජීව අභාවය
සත්ත්ව රාජධානිය කොඳූ ඇට පෙළ සහිත සහ රහිත යැයි කොටස් දෙකකට බෙදෙන අතර ඉන් 97% ක් කොඳූ ඇට පෙළ රහිත සත්ත්ව විශේෂයන්ට අයත්ය. තාරකා මත්ස්‍ය, කොරල්, ජෙලි මත්ස්‍ය, කකුළු, ඉස්සා සහ කවාටයන් (බෙල්ලන්) එම ගණයට ඇතුළත් සත්ත්ව විශේෂයන්ය. සමූද්‍ර ජීව විද්‍යාඥවරියක වන රචල් කාෂන් 1955 වසරේ රචිත The Edge of the Sea ග්‍රන්ථයෙන් මෙම සත්ත්ව විශේෂ ගැන විශාල අවධානයක් යොමු කළාය. ඇගේ පුරෝකථනය වූ සමුද්‍රය යනු ජෛව විවිධත්වයෙන් යුතු මහා වානාන්තරයක් යන්න අඩ සියවසකට පසු දැන් ඉතා පැහැදිලිය. 2013-14 අතර ඇලස්කාව සිට මෙක්ෂිකෝව දක්වා කාලයේ වයිරස් රෝගයකින් තාරකා මත්ස්‍ය විශේෂ 20 ක් පමණ අනතුරට පත්ව ඇතැයි Seattle Times පුවත්පත වාර්තා කළේය. පැසිෆික් වෙරළ තීරයේ 99% ක් උක්ත රෝගාබාධයෙන් වැනසී ගියේය. සාගර ජලයේ ඔක්ෂිජන් 50% ක් අඩුවීම සහ කාබනික වායු උරාගැනීම නිසා සමස්ත සාගර පද්ධතියෙන් මත්ස්‍ය විශේෂ අඩකට වඩා වැඩි පිරිසක් වඳවී යාම දේශගුණික වෙනස නිසා සිදූ වූ ව්‍යසනයකි.
ජෙලි මත්ස්‍යයන් ආහාරයට ගත් මුහුදූ ළිහිණි සහ ජලජ පක්ෂි විශේෂ අතුරුදහන් වන වග National Geographic 2015 සඟරාව ප්‍රකාශ කළාය. 2019 සැප්තැම්බර් මස Audubon සඟරාව ඇලස්කාවේ ආහාර නොමැතිව මියැදෙන මුහුදූ පක්ෂීන් Cassin’s auklets, thick-billed murres, common murres, fork-tailed petrels, short-tailed shearwaters, black-legged kittiwakes, and northern fulmars සහ ඔවුන්ගේ කැදලි වාසයෙන් තොරවීම සහ දෙවන පරපුර බිහිනොවීම පාරිසරික බිඳවැටීමක් යැයි සඳහන් කළේය. සාගරයේ අතවශ්‍ය කොටසක් වූ තාරකා මත්ස්‍යයන් අතුරුදන්වීම මෙම ව්‍යසනයට මූලික හේතුවයි.
කොඳූ ඇට පෙළ සහිත සත්ත්ව විශේෂවල අභාවය
සත්ත්ව රාජධානියෙන් kingdom Animalia 3% ක් කොඳූ ඇට පෙළ සහිත සත්ත්ව විශේෂවේ. ඉන් මත්ස්‍ය, උභයජීවී, උරග, පක්ෂී සහ ක්ෂිරපායි සත්ත්ව විශේෂ 62.839 ක් ජීව විද්‍යාව හඳූනාගෙන ඇත. ජෛවවිද්‍යාත්මක ශූන්‍යයත්වය “biological annihilation” (සමුලඝාතනය) නමැති වදන 2017 වසරේ මුල්වරට ජෙරාල්ඩෝ කෙබලෝස්, පෝල් ඉර්ලිච් සහ රොඩොල්ෆෝ ඩිර්ෂෝ විසින් ඉදිරිපත් කළ කොඳූ ඇට පෙළ සහිත සත්ත්ව විශේෂවල අභාවය පිළිබඳ පර්යේෂණ වාර්තාවක සටහන් කර තිබිණ. ගෝලීය සත්ත්ව විශේෂයන් වඳවීයාම හෝ සමුලඝාතනය පෘථිවිය මුහුණ දෙන නව අත්දැකීමකි. 2019 වසරේ ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කළ පෘථීවියේ නිරෝගීභාවය සහ අනෙක් ශාක සහ සත්ත්ව ජීව පැවැත්ම කෙරෙහි මානව ක්‍රියාකාරිත්වයේ බලපෑම පිළිබඳ Living Planet Report වාර්තාව ලෝක වනසත්ත්ව අරමුදල සහ ලන්ඩනයේ සත්ත්වවිද්‍යා සංගමය ඉතා ඉහළින් අගය කළේය.උක්ත නිරීක්ෂණයට අනුව 1970 - 2014 කාලය තුළ පෘථීවිය මතු පිට කොඳූ ඇට පෙළ සහිත ජීව ගහනයෙන් 60% ක් වඳවීයාමේ තර්ජනයට ගොදූරුවී ඇත. මිරිදිය ජලාශ දැඩි අනතුරට ලක් ව ඇති අතර දකුණු සහ මධ්‍යම අමෙරිකාවේ කොඳූ ඇට පෙළ සහිත ජීව විශේෂ 89% ක් අභාවයට යමින් පවතින වග එහි සඳහන් වේ. ලොව පුරා එම තර්ජනය 83% ක් දක්වා ඉහළ යමින් පවතී. පර්යේෂණය සඳහා කොඳූඇට පෙළ සහිත ජීව විශේෂ 16.704 අතරින් 4.005 ක් තෝරා ගෙන තිබුණි. ජීව ශූන්‍යතාවයට එක් ජීව විශේෂයක් වූ මානව ජනගහනයේ වර්ධනය, නාගරිකකරණය, වාණිජ බෝග වගාව සහ තරගකාරී පරිභෝජන රටාව විසින් නිර්මාණය කළ දේශගුණික වෙනස අර්බුදයේ වර්ධනයට හේතු වෙයි.
ශාක විශේෂ අභාවය
1970 වසර සිට පර්යේෂකයන් ගෝලීය වශයෙන් වන පාරිසරික විද්‍යාව කළමනාකරණය පිළිබඳ විවිධ වාර්තා එළි දැක් වු අතර, 2010 වසරේ ලොව පුරා ශාක මහා පරිමානයෙන් වඳවී යන වග එළිදරව් කළහ. ආර්ජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව සිට ස්විස්ටර්ලන්තය දක්වා සිම්බාබ්වේ, කැනඩා, චීනය සිට දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව දක්වා මෙම ව්‍යසනය සිදූවෙමින් පවතින වග අනාවරණය කිරීමට ඔවූහු සමත්වූහ. ශාක වඳ වූ විගස ඒ මත යැපෙන පක්ෂීන් සහ වෙනත් ජීව විශේෂ ද අතුරුදන් වීම සත්‍යයකි. මෙක්ෂිකෝවේ පක්ෂි විද්‍යාඥවරික වන ජෙනී ෆෙයර් සහ ඇගේ සහායක කණ්ඩායම 2003 - 2013 දක්වා කළ නිරීක්ෂණයයෙන් කුඩා පක්ෂි ජනගහනයෙන් 45% ක් අතුරුදන් ව ඇතැයි වග වාර්තා කළහ. එක්සත් ජනපදයේ සෑම වසරක ම ආසන්න වශයෙන් පක්ෂීහු මිලියන 988 ක් පමණ නූතන මානව ගෘහනිර්මාණ ආශ්‍රීත විවිධ සිදූවීම් නිසා මියයති.
ඕස්ට්‍රේලියාව සහ කැනඩාවේ මිලියන 365 - 400 අතර ප්‍රමාණයක් ඝාතනය වේ යැයි මහාචාර්ය සභාන්කාර් බැනර්ජී (Subhankar Banerjee) කලාව සහ පාරිසරිකවිද්‍යාව විසින් රචිත biological annihilation ග්‍රන්ථයේ සඳහන් වේ. එය 17 වන සියවසේ නෙදර්ලන්තය පොහොසත්වීම සඳහා උත්තර ධ්‍රැවයේ තල්මසුන් වාණිජ වශයෙන් ඝතනය කළා වැනි සමූල ඝාතනයකි. 19 වන සියවසේ බයිසන් ගවයන් මරාදැමීම ආසන්න වශයෙන් වඳවී යාමට හේතුවක් වූ අතර 1854 ස්වදේශික නායක සියටල් වොෂින්ටනයේ සුදූ ආණ්ඩුකාරයාට යැවූ ලිපියට ප්‍රතිචාර දක්වමින් “හැකි සෑම මී ගවයකු ම මරා දමන්න, මී ගවයා buffalo අවසන් වූ විගස රතු ඉන්දියානුවා ද අතුරුදන් වේ” යැයි නව සුදූ ජනපදිකයෝ කියා සිටියහ. ලෝක වනජීව අපරාධ ලේඛනයට අනුව 1970 -2012 කාලය තුළ සත්ත්ව ජීව විශේෂ 58% ක් වඳවී ගොස් ඇත. එනම් අදින් වසර 42 කට පෙර පෘථිවිය මත හැසිරුණ ජීව ප්‍රමාණයෙන් අඩක් අද දක්නට නොමැත. සමූද්‍ර ජීව විශේෂ 800 ක් මානවයා ඉවත ලන පොලිතීන්, ප්ලාස්ටික් සහ මහපොළවට ජීරණය නොවන අපද්‍රව්‍ය හේතුවෙන් ආපදාවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ නව පාරිසරික වාර්තාව පෙන්වාදෙයි.
කෘෂි රසායන මත පදනම් වන ගොවිතැන විසින් පසෙහි සාරවත්බව විශේෂයෙන් ම නයිට්‍රජන් (nitrogen) විනාශ කර පස නිසරු කර ඇත. අවමානුෂික යුද්ධය විසින් සමස්ත පරිසයට වස විෂ පමණක් නොව ගණනය කළ නොහැකි සත්ත්ව සහ ශාක ජීව විශේෂ මිහිතලයෙන් උපුටා දමා ඇත. මානව ජනගහනයෙන් සෑම 13 ක්ම එනම් සමස්ත ජනගහනයෙන් බිලියන 2.5ක් මන්දපෝෂණයෙන් පෙළෙති. අද ඔබ මෙම ලිපිය කියවන විට ශාක සහ සත්ත්ව ජීව විශේෂ 200 ක් මිහිතලයෙන් සමු ගනිති. හෙට තවත් 200 ක් පමණ අතුරුදන් වෙති. ඇතැම්විට මෙම සියවස අවසානයට පෙර කෑදර ආසාවන් නිසා මානවයා නිර්මාණය කළ දේශගුණික වෙනස හේතුවෙන් මානවයා ද මිහිතලයෙන් සමුගනු ඇත.